මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වෙනත් රටකදී අත්සන් කිරිමේ සූදානමක් – විමල් විරවංශ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වෙනත් රටකදී අත්සන් කිරිමේ සූදානමක් – විමල් විරවංශ (විඩියෝ)

• සජිත් සිහිනෙන් හෝ ආණ්ඩුවක් සාදන්නේ නම් එහි අගමැතිවරයා කවුද යන්න රටට හෙළිකරන්න – රෝහිත අබේගුණවර්ධන (විඩියෝ)

• රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ඉල්ලීමක් කරයි (විඩියෝ)

• ඉටු කළ හැකි පොරොන්දු පමණක් ජනතාවට ලබාදී ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි (විඩියෝ)

• කෝටි 200 යේ හෙරොයින් සිද්ධියට, තවත් දෙදෙනෙකු අල්ලයි (විඩියෝ)

• ගෝඨාභයට තවත් දේශපාලන පක්ෂ 14 ක සහය (විඩියෝ)

• සජිත්ට, දෙමළ සන්ධානයේ සහය – කොන්දේසිවලට එකඟ වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා (විඩියෝ)

• උතුරේ දේශපාලන පක්ෂ සජිත් සහාය දීම තුළ ඇති යටි අරමුණ අවබෝධ කරගතයුතුයි (විඩියෝ)

• අදත් (04) දිවයින පුරා ගෑස් පෝලිම් (විඩියෝ)

• පොලිස් නිළ ඇඳුමට වීඩියෝ කැමරා

• නොවැම්බර් 15 දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු

• ආණමඩුවේ පැවති පොහොට්ටු රැළියට ගිය බස් රථයකට ප්‍රහාරයක්

• බුද්ධි අංශ ආරක්ෂා කිරීමට නව නීති – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• ආචාර්ය සරත් අමුණුගම කියපු රහස

• පිටරටින් බාල තේ ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවත්වනවා – ගෝඨාභය රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වෙනත් රටකදී අත්සන් කිරිමේ සූදානමක් – විමල් විරවංශ

(04.11.2019 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම රහසිගතව වෙනත් රටකදී අත්සන් කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම ගිවිසුමට එරෙහිව ‘ස්ටොප් යු.එස්.ඒ, මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා ජාතික ව්‍යාපාරය’, කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (04) පැවැත්වූ විරෝධතාවට එක්වෙමින්.

***************************************

සජිත් සිහිනෙන් හෝ ආණ්ඩුවක් සාදන්නේ නම් එහි අගමැතිවරයා කවුද යන්න රටට හෙළිකරන්න – රෝහිත අබේගුණවර්ධන

(04.11.2019 – 22:44 +0530 – hirunews.lk/sinhala)

සජිත් ප්‍රේමදාස මහතා සිහිනෙන් හෝ ආණ්ඩුවක් සාදන්නේ නම් එහි අගමැතිවරයා කවුද යන්න පිළිබඳ රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ අද (04) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ඉල්ලීමක් කරයි

(04.11.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදෙන දිවි ඇති තෙක් වැටුප තමන්ට ද ලබාදෙන ලෙස ‘සමස්ත ලංකා දිවි පිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය’ ඉල්ලා සිටිනවා.

ඔවුන් මෙම ඉල්ලීම සිදුකළේ අද (04) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

ඉටු කළ හැකි පොරොන්දු පමණක් ජනතාවට ලබාදී ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

(04.11.2019 – 19:18 +0530 – hirunews.lk/sinhala)

තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු ජනතාවට ඉටු කර පෙන්විය හැකි යථාර්ථවාදී පොරොන්දු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

බලපිටිය ප්‍රදේශයේ ඊයේ (03) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

කෝටි 200 යේ හෙරොයින් සිද්ධියට, තවත් දෙදෙනෙකු අල්ලයි

(04.11.2019 – 19:15 +0530 – hirunews.lk/sinhala)

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200 ඉක්මවූ හෙරොයින් තොගය පසුපස විදේශගතව සිට මෙහෙය වූ පුද්ගලයෙකු සිටින අතර, සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ප්‍රධාන ජාවාරම්කරුවන් 3 දෙනෙකු පිළිබදව ද තොරතුරු අනාවරණ වී ඇති බවයි.

කිලෝ 224 කට වැඩි බරකින් යුත් මෙම හෙරොයින් තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයින් 5 දෙනෙකු සමඟ නාවික හමුදාව ඊයේ අත්අඩංගුවට ගත් ලැබුවා.

එහිදී අනාවරණ වූයේ මෙම හෙරොයින් තොගය, පාකිස්තානයේ සිට බහුදින යාත්‍රාවකින් රැගෙන විත් නැවත ගොඩබිමට ප්‍රවාහනය කිරීම සඳහා කුඩා යාත්‍රාවක් පැමිණ ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල, කොච්චිකඬේ හා හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

***************************************

ගෝඨාභයට තවත් දේශපාලන පක්ෂ 14 ක සහය

(04.11.2019 – 19:11 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂයට සහය දැක්වීම සඳහා තවත් දේශපාලන පක්ෂ 14 ක් අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වුණා.

ඊට උතුරු – නැගෙනහිර නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක් ඇතුළත් වීම ද විශේෂත්වයක්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, ශ්‍රී ටෙලෝ සහ ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය යන ලියාපදිංචි දේශපාලන පක්ෂයි මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ.

මීට අමතරව ජනතා සේවක පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ ඇතුලු ලියාපදිංචි නොවූ දේශපාලන පක්ෂ 10 ක්ද අද අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටියා.

***************************************

සජිත්ට, දෙමළ සන්ධානයේ සහය – කොන්දේසිවලට එකඟ වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා

(04.11.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ එම තීරණය ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දීමට කටයුතු කරන බවයි.

දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂවලින් සැදුම් ලබන අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරන බව ඊයේ (03) නිවේදනය කළා.

දෙමළ සන්ධානයේ තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කරන එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පළ කළේ මෙවන් අදහසක්.

“ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඊයේ (03) තීන්දුවක් අරගත්තා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන්න. දෙමළ ජාතික සන්ධානය විදියට අපිත් ඒ තීන්දුව පිළිගන්නවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදී මේ තීරණයම අපි ගත්තා.

අපි ගත්ත තීරණය හරි. නමුත් අපි යළි රැස්වනවා. අපේ මේ, තීරණය ඉදිරියේදී නිළ වශයෙන් දැනුම් දෙනවා.”

කෙසේ වෙතත්, විපක්ෂය චෝදනා කරන්නේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස දෙමළ පක්ෂවල කොන්දේසි වලට එකඟත්වය පළ කිරීම නිසා සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

උතුරේ දේශපාලන පක්ෂ සජිත් සහාය දීම තුළ ඇති යටි අරමුණ අවබෝධ කරගතයුතුයි

(04.11.2019 – 07:26 +0530 – sinhala.adaderana.lk)

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම තුළ ඇති යටි අරමුණ අවබෝධ කරගතයුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ‘කඳුලින් ලියැවුණ රටක අපේක්ෂා’ ග්‍රන්ථය දොරට වැඩුමේ උත්සවයට අද (04) එක්වෙමින්ය.

***************************************

අදත් (04) දිවයින පුරා ගෑස් පෝලිම්

(04.11.2019 – 19:17 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ගෑස් බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව ප්‍රකාශ කළ ද, අලෙවිසැල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් චෝදනා කරන්නේ තවමත් ප්‍රමාණවත් පරිදි ගෘහස්ත ගෑස් ලබා ගත නොහැකි බවයි.

ඒ අනුව අද (04) දිනයේදීත් ප්‍රදේශ රැසක ගෑස් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.

ගෑස් සඟවා තැබූ සහ වැඩිමිලට අලෙවි කළ වෙළඳුන් 37 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

රට තුළ ගෑස් හිඟයක් මතුවීමත් සමඟ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙම වෙළඳුන් අත්අඩංගුවට ගත් බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.

***************************************

පොලිස් නිළ ඇඳුමට වීඩියෝ කැමරා

(04.11.2019 – 16:15 +0530 – hirunews.lk/sinhala)

පොලීසිය, දිස්ත්‍රික් සහ මැතිවරණ ලේකම් කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිය සේවා ස්ථානවලදී අද (04) උදෑසන ආරම්භ වූ අතර එය සාමකාමීව සිදුකෙරුණු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

හෙට (05) දිනයේදීත් පොලිසිය, දිස්ත්‍රික් සහ මැතිවරණ ලේකම් කාර්යාලවල සේවකයින්ට තැපෑලෙන් ජන්දය භාවිතා කිරීමට අවස්ථාව හිමි වනවා.

එමෙන්ම, තැපැල් ඡන්ද ඉල්ලුම් කර තිබූ රාජ්‍ය සේවකයින්ට පසුගිය 31 වනදා සහ නොවැම්බර් 1 වනදා ඊට අවස්ථාව ලබාදී තිබූ අතර, අදාළ දින දෙකේ ඡන්දය භාවිත නොකළ තැපැල් ඡන්ද දායකයින්ට මේ මස 7 වනදා ද තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට පැමිණ තැපැල් ජන්දය භාවිතා කළ හැකියි.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම නිරීක්ෂණය කිරීම සඳහා සෑම පොලිස් කොට්ඨාශයකටම කුඩා වීඩියෝ කැමරා ලබාදීමට කටයුතු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ කුඩා වීඩියෝ කැමරා 71 ක් සහ ඒ සඳහා භාවිත කරන ජැකට් 321 ක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.

***************************************

නොවැම්බර් 15 දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු

(04.11.2019 – 14:29 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මස 15 වනදා සිකුරාදා පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව ලබන 16 වන දා ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපතිවරණයේදී පාසල් බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා ෴

***************************************

ආණමඩුවේ පැවති පොහොට්ටු රැළියට ගිය බස් රථයකට ප්‍රහාරයක්

(05.11.2019 – 07:23 +0530 – sinhala.adaderana.lk)

ආණමඩුව නගරයේ ඊයේ (04) සවස පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකට ගොස් ආපසු කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට ලී කදන් දමා හරස් කර එහි සිටි පිරිසට පහර දී ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් වන අතර පහර කෑමට ලක්වු සිව් දෙනෙකු තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ආණමඩුවේ රැළියට සහභාගි වි ආපසු නවගත්තේගම කරුවලගස්වැව කුඩා මැදවච්චාය ප්‍රදේශයෙදී මෙම පිරිස ගමන් කල බස් රථයට ලී කදන් දමා බස් රථය හරස් ගම රැක සිටි 20 කට ආසන්න කාන්තාවන් හා පිරිමින් කණ්ඩායමක් විසින් ලී මුගුරුවලින් පහර දී ඇති බව පැවසෙයි.

මෙම පහර දිමේන් බස් රථයටද හානි සිදුව තිබු අතර පහර දීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමට ප්‍රමාද විම ගැන 100 කට ආසන්න පිරිසක් කරුවලගස්වැව පොලීසිය තුළදී විරෝධය මතු විමත් සමඟ නොසන්සුන්තාවයක් දැක ගත හැකි වී තිබේ.

පසුව එම ස්ථානයට පැමිනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියංකර ජයරත්න, සනත් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිස් එක්වී ජනතාව පත්ව සිටි නොසන්සුතාවයට සමතයකට පත් කර ඇත.

පසුව පොලිස්ථානයේ රැදි සිටි පිරිස් පහර දිම ගැන පොලිස්ථානයට පැමිණිල්ලක් දමා ඇත.

කෙසේ නමුත් පහර කෑමට ලක්වු පිරිස් පවසන්නේ තමන්ට කුඩා මැදවච්චිය ප්‍රදේශයේ එජාප ආධාරකරුවන් බස් රථය නවතා අමානුෂීක ආකාරයෙන් පහර දුන් බවයි ෴

***************************************

බුද්ධි අංශ ආරක්ෂා කිරීමට නව නීති – ගෝඨාභය රාජපක්ෂ

(04.11.2019 – 18:56 +0530 – sinhala.adaderana.lk)

බුද්ධි අංශ ආරක්ෂා කිරීමට නව නීති ගෙන එමින් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත යළි බලය පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (04) හලාවත පැවති ජනරැලියක් අමතමින්ය.

ඊයේ (03) දිනයේදිත් ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනරැලි කිහිපයකටම සහභාගි වුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන තවත් ජනරැලියක් ඊයේ (03) බුලත්සිංහලදී පැවැත්වුණි.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා කරාපිටිය නගරයේ පැවති ජනහමුවකටද සහභාගී වුණි.

අද (04) පෙරවරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හලාවත නගරයේ පැවති ජනරැලියකටද එක්වුණි.

එහිදි ජනතාවගෙන් හිමි වුයේ උණුසුම් පිළිගැනීමකි.

ජන රැලියට සහභාගීවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නාත්තන්ඩිය ප්‍රදේශයට ගුවනින් පැමිණි අවස්ථාවේ එම ස්ථානයට රැස්ව සිටි ප්‍රදේශවාසින් සමඟ සුහද පිළිසඳරකද නිරත වුණි.

***************************************

ආචාර්ය සරත් අමුණුගම කියපු රහස

(04.11.2019 – 17:56 +0530 – sinhala.adaderana.lk)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන උත්සවයේදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ කථාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉවත් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

අද (04) මහනුවර පැවති උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පැවසීය.

“ඔයාලට මම රහසක් කියන්නම්. එදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මාධ්‍යට නිකුත් කරන වෙලාවේ කථා හතරක් තිබුණා. එකක් තමයි සජිත් ප්‍රේමදාස, දෙවැනි එක තමයි කිරිඇල්ල, තුන්වෙනි එක තමයි රනිල් වික්‍රමසිංහ, හතර වෙනි එක තමයි වික්ටර් අයිවන්.

මෙයත් එක්ක කොයිතරම් තරහද කිව්වොත් සජිත් ප්‍රේමදාස පෑන අරගෙන රනිල් වික්‍රමසිංහගේ නම කපලා දැම්මා. රනිල් වික්‍රමසිංහ කථා කළේ නෑ. ඉතින් මේක විහිලුවක් නෙමෙයිද?

අගමැති හැටියට පත්කරන පුද්ගලයාගේ නම පෑන අරගෙන ජනාධිපති වෙන්න ඕනේ කියලා කපලා දානවා. මේවද දේශපාලන සදාචාරය? මේවද දේශපාලන අවංකභාවය? මේ වගේ අයද ඡන්දය ඉල්ලන්නේ?

කිරිඇල්ලට කථාවක් දුන්න පුද්ගලයා රනිල් වික්‍රමසිංහට කථාවක් දෙන්න බෑ කිව්වාම කොහොමද වැඩේ? අපේ ඇස් මනාපිට පේනවා මේ දෙන්නාට එකට වැඩ කරන්න බෑ කියලා.”

***************************************

පිටරටින් බාල තේ ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවත්වනවා – ගෝඨාභය රාජපක්ෂ

(04.11.2019 – 14:27 +0530 – sinhala.adaderana.lk)

යළිත් මෙරට තේ කර්මාන්තය නගා සිටුවීම අරමුණු කරගනිමින් විදේශවලින් ප්‍රමිතියෙන් තොර තේ ආනයන කර මෙරට තේ කොළ සමඟ මිශ්‍ර කිරීම වහාම නැවැත්වීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පව​සයි.

බුලත්සිංහලදී පැවති ජනරැලියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, වත්මන් රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් හා වැවිලි කර්මාන්ත වෙනුවෙන් කිසිදු අවබෝධයක් නොමැතිව කටයුතු කරන බවයි.

එනිසා සෑම වැවිලි අංශයක්ම කඩා වැටී ඇතැයි පැවසු ගෝඨාභය මහතා කම්කරුවාගේ සිට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ මෙන්ම ඉහළ ප්‍රමාණයේ කර්මාන්ත සියල්ල කඩා වැටී ඇතැයි ද පැවසීය.

ලංකාවේ ගුණාත්මක භාවයෙන් වැඩි තේ වෙනුවට පිටරටින් ගුණාක්මකභාවයෙන් අඩු බාල තේ ගෙනැවිත් ලංකාවේ තේ සමඟ මිශ්‍ර කර පිටරටට යැවීම නිසා තේවලට තිබු වෙළඳපොළ මේ වන විට නැතිවී ගොස් ඇතැයි ද පැවසු ගෝඨාභය මහතා, තේ වගා කිරීම සඳහා පිටරටින් බාල තේ ගෙන්වීම සම්පූර්ණයෙන් නවතා තේ වගාකරන්නන්ට ආධාර දී ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවත් කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *