ගෝටාට මඩ ගහන වැඩසටහන වටලන්න මැතිවරණ කොමිසම රූපවාහිනියට පනී.. වරදකරුවන් විසින් මැතිවරණ නිලධාරීන් සිරකරති.. රූපවාහිනියේ උණුසුම් තත්වයක්..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝටාට මඩ ගහන වැඩසටහන වටලන්න මැතිවරණ කොමිසම රූපවාහිනියට පනී.. වරදකරුවන් විසින් මැතිවරණ නිලධාරීන් සිරකරති.. රූපවාහිනියේ උණුසුම් තත්වයක්.. (ඔඩියෝ)

• පරණ ඇඳුම් අලුත් කර විකුණූ ජාවාරමක් පිටකොටුවෙන් සොයා ගැනේ

• ගලගොඩ හිමියන්ට එරෙහි නඩුව සලකා බැලීම ලබන වසරට (විඩියෝ)

• වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව අවලංගු කිරීමෙන් ජනතාව දුෂ්කරතාවට

• විදුලිබල මණ්ඩලයේ අධිකාරීවරුන් සංකේත වර්ජනයක

• ලහිලහියේ අධිවේගයේ අදියර කිහිපයක් විවෘත වෙයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ගෝටාට මඩ ගහන වැඩසටහන වටලන්න මැතිවරණ කොමිසම රූපවාහිනියට පනී.. වරදකරුවන් විසින් මැතිවරණ නිලධාරීන් සිරකරති.. රූපවාහිනියේ උණුසුම් තත්වයක්..

(07.11.2019 – 22:32 +0530 – lankacnews.com)

ජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට මැතිවරණ නිලධාරීහු පිරිසක් රූපවාහිනි සංස්ථාව වෙත අද සවස පැමිණියහ. කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරී කේ.සි. නිරෝෂන් මහතා ප්‍රමුඛ දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සංස්ථා භූමියට පැමිණ තිබේ. කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ප්‍රධාන පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ද මීට අයත්.

ප්‍රධාන පාලක මැදිරිය වෙත පැමිණි මැතිවරණ නිලධාරී කණ්ඩායම එහි සිටි සංස්ථා නිලධාරීන්ගේ අවසරය මත සිදුවෙමින් පැවති සංස්කරණ කටයුතු විමර්ශනය කළේ ය. එහිදී සංස්කරණය වෙමින් පැවති සැකකටයුතු වැඩසටහනක් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගැනීමට කේ.සි. නිරෝෂන් මහතා ක්‍රියා කළේය. ඒ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පහසු වක් වන බව පවසමිනි.

එම අවස්ථාවේ එහි පැමිණි කාර්යභාර නිලධාරී එරින් විජේකෝන් මහත්මිය මැතිවරණ නිලධාරීන් ගේ අනන්‍යතාව පරික්ෂා කළාය. ඊට සහයෝගය ලබා දුන් මැතිවරණ නිලධාරිහු තම හැඳුනුම්පත ඉදිරිපත් කළහ. තමන් පැමිණියේ කුමන රාජකාරියට ද යන්න ලිඛිතව ලබාදෙන මෙන් කාර්ය භාර නිලධාරී විජේකෝන් මහත්මිය දිස්ත්‍රික් සහකාර තේරීම් භාර වරයාගෙන් ඉල්ලා සිටියාය. ඊට පුර්ණ එකඟතා පළ කළ කේ. සි. නිරෝෂන් මහතා තම අත්අකුරින් පැමිණි කාරණය සටහන් කර අදාළ ලියවිල්ල එරින් විජේකෝන් මහත්මිය වෙත ලබා දුන්නාය.

අනතුරුව විමර්ශනය සඳහා සැක සහිත වැඩසටහනනේ සංස්කරණය වෙමින් පැවති කොටස ජංගම දුරකථනයෙන් පටිගත කළ ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු කණ්ඩායම පැමිණි රාජකාරිය අවසන් කරමින් සංස්ථා භුමියෙන් නික්ම යාමට තම මෝටර් රථය අසලට පැමිණියහ. ඒ සමඟම එම ස්ථානයට පැමිණි කාර්යභාර නිලධාරී එරින් විජේකෝන්, වැඩ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිලාර් කාසිම්, දමිළ ප්‍රවෘත්ති සහකාර අධ්‍යක්ෂ එම්. යකූබ් ඇතුළු පිරිසක් මැතිවරණ නිලධාරීන්ට විරෝධය පළ කරමින් තම අඩස්සියේ රඳවා ගැනීමට ක්‍රියා කළහ. මැතිවරණ නිලධාරීන් සංස්ථා භූමියෙන් පිටවීම වළක්වන ලෙස කාර්ය භාර නිලධාරිනිය රූපවාහිනි සංස්ථා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ සමඟ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුවත් කිරීමට සහකාර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ක්‍රියා කළේය. පැය භාගයකට ආසන්න කාලයක දී එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිලධාරීන් අඩස්සිය් රඳවා ගැනීම පිළිබඳව දැඩි විරෝධය පළ කළේය. සිය රාජකාරි ජීවිතය තුළ ඍජු තීරණ ගත් තමාට මෙවන් අවස්ථා අභියෝගයක් නොවන බව කියා සිටියේ ය.

දර්ශන රූපගත කරමින් සිටි රූපවාහිනී සංස්ථාවේ කැමරා ශිල්පීන් ඇමතු දේශප්‍රිය මහතා ලබාගත් දර්ශන තමා ඉදිරියේ ම මකා දමන ලෙස නියෝග කළේය. සංස්ථා පාලන අධිකාරියේ නියෝග මත එය රූපගත කල කැමරා ශිල්පීන්ට අදාළ දර්ශන තම කැමරා තුළම මකා දැමූහ.

මැතිවරණ නිලධාරීන් අඩස්සියේ තබා ගැනීමට කාර්යභාරය නිලධාරීනිය හා කීපදෙනෙකු ගත් උත්සාහයට සංස්ථා සේවකයන්ගේ සහයෝගය හිමි නොවූ අතර ඔවුන් මෙම සිදුවීමේ ප්‍රේක්ෂකයන් බවට පමණක් පත් විය. සිද්ධිය පිළිබඳව ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරී නිරෝෂන් මහතා කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

– රූපවාහිනී වාර්තා කරු

+++++++++++++++++++++

රූපවාහිනී සංස්ථාවේ උණුසුම් තත්වයක්

(07.11.2019 – nethnews.lk)

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පැමිණි පිරිසක් බලහත්කාරයෙන් එහි රදවා ගැනීමත් සමග අද පස්වරුවේ උණුසුම් තත්වයක් හට ගත්තා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් ප‍්‍රචාරය කිරීමට සැලසුම් කර තිබූ මඩ ප‍්‍රචාරයක් සම්බන්ධයෙන් තොරතරු විමසීමට එම පිරිස එහි පැමිණි අවස්ථාවේ මෙම තත්වය ඇතිව තිබෙනවා.

උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් කොළඹ අතිරේක දිස්ති‍්‍රක් ලේකම්වරයා මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++++++++++

අයුතු අවහිරයක් ගැන කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්ගෙන් පැමිණිල්ලක්

(07.11.2019 – 22:37 +0530 – lankadeepa.lk)

හදිසි පරීක්ෂාවකට රූපවාහිනී සංස්ථාවට ගිය කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට එළියට ඒමට නොදී සිවිල් ආරක්ෂකයන් ජාතික රූපවාහනී සංස්ථාවේ ගේට්ටුව වසා දැමුවේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අද (07) රාත්‍රී මෙම පරීක්ෂාවට පොලිස් නිලධාරීන්ද සමඟ රූපවාහිනී සංස්ථාවට ගිය බවත්, එහිදී අයුතු අවහිරයක් කළ බවත් කියමින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැමිණිලි කර ඇතැයි පොලිසිය කීවේය.

ඉහළින් ලැබුණු නියෝගයක් අනුව ගේට්ටුව වසන බව සිවිල් ආරක්ෂකයන් කීවේයැයි ද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් රූපවාහිනී සංස්ථා සේවකයන් ප්‍රකාශ කරනුයේ අනවසරයෙන් ජාතික රූපවාහිනියේ ප්‍රධාන පාලක මැදිරියට ඇතුළු වීමට ගිය පිරිසක් නතර කළ බවයි. පොලිස් නිල ඇඳුමින් සිටි පුද්ගලයෙක් ප්‍රධාන පාලක මැදිරිය ඇතුළ වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ බව ද සේවකයෝ කියති. පූර්ව දැනුම්දීමක් හා නිසි අවසරයක් නැතිව ප්‍රධාන පාලක මැදිරියට ඇතුළුවීම තහනම් බව ද සේවකයෝ පවසති.

මෙම සිදුවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද ඒ ගැන සොයා බැලීමට ජාතික රූපවාහිනියට ගොස් තිබේ ෴

***************************************

පරණ ඇඳුම් අලුත් කර විකුණූ ජාවාරමක් පිටකොටුවෙන් සොයා ගැනේ

(08.11.2019 – 14:34 +0530 – hirunews.lk/sinhala)

පාවිච්චි කරන ලද ඇඳුම් සෝදා පිරිසිදු කර අලුත් ඇදුම් ලෙස ප්‍රකාශ කර අලෙවි කිරීම සඳහා ඇසුරුම් කරමින් තිබූ ස්ථානයක් පිටකොටුව – මල්වත්ත පාරේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වටලා තිබෙනවා.

එම අධිකාරියේ බස්නාහිර බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත අදාළ ස්ථානය වැටලූ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ සඳහන් කළේ.

වෙළදපොළට නිකුත් කිරීම සඳහා ලේබල් කර ඇසුරුම් කරමින් තිබූ එම එක ඇඳුමක් රුපියල් 100 ක තොග මිලකට අලෙවි කෙරෙන අතර වෙළදපොළේදී එම ඇඳුමක් රුපියල් 150 ක මුදලකට අලෙවි කරන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එළඹෙන උත්සව සමයේදී මෙවැනි වංචනික ක්‍රියා බහුලව සිදුවිය හැකි බැවින් ඒ පිළිබද තොරතුරු 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෴

***************************************

ගලගොඩ හිමියන්ට එරෙහි නඩුව සලකා බැලීම ලබන වසරට

(08.11.2019 – 13:02 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්තිනී ස්කන්ධරාජා විසින් පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මස 27 වන දා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

අධිකරණ නියෝග කඩ කරමින් මුලතිව් – ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වූ බවට ශාන්තිනී ස්කන්ධරාජා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, මුලතිව් පොලිස් අධිකාරීවරයාට සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබුණා.

එම නඩුවට අදාළව අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය ලබාදුන් නොතීසි අනුව ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ලබන වසරේ පෙබරවාරි 27 වන දා නඩුව සලකා බැලෙන අවස්ථාවේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද ඔවුන්ට අභියාචනාධිකරණය දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, එදිනට අදාළ නඩු කටයුත්තට සහයදීම සදහා නීතිපතිවරයාට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ ෴

+++++++++++++++++++++

***************************************

වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව අවලංගු කිරීමෙන් ජනතාව දුෂ්කරතාවට

(08.11.2019 – 12:57 +0530 – hirunews.lk/sinhala)

කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල එක්දින සේවාව යටතේ ගැනෙන සියළුම කටයුතු අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් එම වාහනවල ලියාපදිංචි සහතික ලබා ගැනීමට පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවන්ට පත්ව තිබෙනවා.

මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය පරිදි පසුගිය මස 25 වන දා මෙලෙස එක්දින සේවාව යටතේ ගැනෙන සියළුම කටයුතු අත්හිටුවනු ලැබුවේ 64, 65, 32, ජී, එච්, ජේ දක්වා අංක කාණ්ඩවලට අයත් සියළුම වාහනවලයි.

සියළුම මෝටර් රථ පන්ති යටතට ගැනෙන රථ, සියළුම කැබ් රථ, ජීප්, වෑන් ඇතුළු සියළුම ත්‍රිත්ව කාර්ය වාහන, සියළුම ලොරි රථවලට ද මෙය අදාළ බව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබුණා.

මේ වන විට එම කාණ්ඩවලට අයත් වාහනවල මුල් ලිපි ගොනු නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සිට වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහනය දෙපාර්තමේන්තු කාර්යාලය වෙත රැගෙන යමින් සිටින බවයි එහි සේවකයෙකු කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙමගින් වාහනවල ලියාපදිංචි සහ පැවරීමේ සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාව අසීරුතාවන්ට ලක්ව ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වාහනවල චැසි අංක මාරු කිරීමේ අක්‍රමිකතාවක් හෙළිවීමත් සමඟ කෝප් කමිටුවේ නිර්දේශ මත මෙම එක්දින සේවාව තාවකාලිකව අත්හිට වූ අතර, ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට පියවරක් නොගෙන එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීම ගැටළු සහගත බවයි අදාළ නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.

අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත් නමුත් ඔහු කියා සිටියේ තොරතුරු ලබා ගැනීම සඳහා කාර්යාලයට පැමිණෙන ලෙසයි ෴

***************************************

විදුලිබල මණ්ඩලයේ අධිකාරීවරුන් සංකේත වර්ජනයක

(08.11.2019 – 08:18 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ යාන්ත්‍රික, සිවිල් සහ විදුලි අධිකාරීවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පසුගිය 4 වන දා වව්නියාව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය භාර විදුලි අධිකාරීවරයා ඇතුළු සේවක මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට රාජකාරී කටයුතුවලදී බාධා කරමින් කිසියම් පිරිසක් පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම නිසා අද (08) දිනය තුළ මෙම වර්ජනය සිදුකරන බවයි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ෴

***************************************

ලහිලහියේ අධිවේගයේ අදියර කිහිපයක් විවෘත වෙයි

(07.11.2019 – 20:22 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ග පද්ධතියේ තවත් අදියර කිහිපයක් අද (07) නිල වශයෙන් විවෘත වුණා.

කෙසේ වෙතත්, කඩවත – කෙරවලපිටිය පිටත වටරවුම් අධිවේගී මාර්ගය විවෘත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් පැමිණෙන බවට සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් කෙරවලපිටිය පිවිසුම ආසන්නයට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් මෙහිදී චෝදනා කළේ මාර්ගය ඉදිකිරීමේදී අත්පත් කරගත් ඉඩම් සඳහා තවමත් නිසි පරිදි වන්දි ලබාදී නොමැති බවයි.

කෙසේ වෙතත්, පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කළ අතර, ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ස්ථානයට පැමිණ මාර්ගය විවෘත කළේ.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවාකුඹුක සිට අන්දරවැව හරහා මත්තලට දිවෙන කිලෝමීටර් 21 ක කොටසද, අන්දරවැව සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 16 ක කොටසද අද (07) විවෘත කෙරුණා.

එහිදීද ප්‍රදේශවාසීන් චෝදනා කළේ නිසි පරිදි මාර්ගයේ ඉදිකිරීම් සිදුනොකර අනාරක්ෂිත තත්ත්වයක් යටතේ මාර්ග විවෘත කර ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *