තවත් කුමන්ත්‍රණයක් ගැන විමල් වීරවංශ ගෙන් හෙලිදරව්වක්

+++++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• තවත් කුමන්ත්‍රණයක් ගැන විමල් වීරවංශ ගෙන් හෙලිදරව්වක් (විඩියෝ)

• එජාපයට ගොඩින් බැරි නිසා මඩ ව්‍යාපාරයක් පටන් අරන් – කෙහෙළිය රඹුක්වැල්ල

• හෙද හෙදියන් සියළු දෙනා නිවාඩු – හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් හෙද සේවයේ

• එජාපයේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මනම්පිටියේදී ගෝඨාභයට එක්වෙයි (විඩියෝ)

• ගෝඨාට එරෙහිව මඩ ප්‍රචාර සහ කුමන්ත්‍රණ දියත් කිරීමේ සැලස්මක් (විඩියෝ)

• අපේ බලාපොරොත්තුව රටේ ආරක්ෂාව – අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් (විඩියෝ)

• පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් ගෙන් ඉල්ලීමක් (විඩියෝ)

• සෑම දිළිඳු පවුලකටම පෝෂණ මල්ලක් සහ රජයේ රැකියාවක් – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• ජයග්‍රහණයේ ප්‍රධාන ගෞරවය ශ්‍රීලනිපයටයි – බැසිල් රාජපක්ෂ (විඩියෝ)

• අලි ෂබ්රිගෙන් ආණ්ඩුවට චෝදනාවක් (විඩියෝ)

• TNA දෙමළ ජනතාව රවටනවා – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

• මංගලට හාමුදුරුවරු පේන්නේ කුලී හේවායන් වගේ – නිමල් සිරිපාල ද සිල්වා (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++++

තවත් කුමන්ත්‍රණයක් ගැන විමල් වීරවංශ ගෙන් හෙලිදරව්වක්

(08.11.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කුමන්ත්‍රණයක් පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (08) තවත් හෙලිදරව්වක් සිදුකළා.

ඒ, පොලොන්නරුව – බැඳිවැව ප්‍රදේශයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිළිබඳව එම මාධ්‍ය හමුවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් පළ කළා.

++++++++++++++++++++++++

එජාපයට ගොඩින් බැරි නිසා මඩ ව්‍යාපාරයක් පටන් අරන් – කෙහෙළිය රඹුක්වැල්ල

(08.11.2019 – 21:39 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ-හය තුල මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය හරහා මුදා හැරීමට පියවර ගෙන ඇති බව දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (08) මැණික්හින්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා :

“අපට තියෙන ආරංචි අනුව ප්‍රබල අමාත්‍යවරයෙකු තවත් කීපදෙනෙක් සම්බන්ධ කර ගෙන මඩ ගැසීමේ ව්‍යාපාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා.

මේ මඩ ව්‍යාපාරය මීළඟට එන දින පහ-හය තුල ඉතා ප්‍රබලව සමාජ මාධ්‍ය හරහා සහ අනෙකුත් මාධ්‍ය හරහා ඔවුන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

මඩ ව්‍යාපාරයක් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට රටේ ජනතාව උත්තරයක් හොයන්න ඕන. මඩ ව්‍යාපාරයක් ඕන වෙන්නේ ගොඩින් ඇවිත් බැරි නිසයි.

මේ වන විට ඕනෑම එක්සත් ජාතික පාක්ෂිකයෙකු ගෙන් ඇහුවොත් කියන්නේ පණහට පණහ වගේ නේද තියෙන්නේ කියලයි; කරට කර වගේ නේද කියලයි.

ඒක ඇත්ත; ඔවුන්ට කියන්න බෑ ඔවුන්ගේ අපේක්ෂකයා පරාදයි කියලා.

ඔවුනට කියන්න පුළුවන් හොඳම විදිහ තමයි ‘කරට කර වගේ නේද’ කියලා.

‘කරට කර නේද’ කියල කියන්නේ අපේ එකා පරදිනවා කියලා කියන්න බැරි නිසයි.

අපි නම් බොහොම පැහැදිලිව කියනවා සියයට 57 ත් 59 ත් අතර ඡන්ද ප්‍රමාණයක් අරගෙන ලක්ෂ 12 සිට 16 ක් දක්වා වැඩි ඡන්දයකින් නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජය ගන්නවා කියලා.

ඒ නිසා ඔවුන් මේ වන විට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන යමින් ඉන්නවා.

සුළු ජාතීන් ඉලක්ක කර ගෙන විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම සහරාන්ගේ බිරිඳ ගෙනල්ලා සහරාන් එක්ක තිබුණ සම්බන්ධකම් කියලා ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා.

ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරෙන් මේ මඩින් යන වැඩපිළිවෙළ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අගෞරවයක්.

ඒ නිසා හිතන්න එපා මඩ ප්‍රහාර එල්ල කරලා මේ රටේ ජනතාව මුලා කරන්න පුළුවන් කියලා.

බොහොම පැහැදිලිව අපි කියනවා අපි සුදානම් ඒ මඩ ප්‍රචාරත් එක්ක මේ රටේ ජනතාවට මුහුණ දෙන්න.”

*****************************************

හෙද හෙදියන් සියළු දෙනා නිවාඩු – හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් හෙද සේවයේ

(08.11.2019 – 17:07 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදියන් දින 03 ක් තිස්සේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් රෝහලේ රෝගී සත්කාරක සේවා සඳහා දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

අලූතින් ඉදිකරන ලද හම්බන්තොට රෝහලේ, ප්‍රධාන ඖෂධවේදියා සඳහා වෙන්කර තිබූ නිල නිවස හෙද නිලධාරීන් විසින් අත්පත් කර ගැනීමේ ගැටළුවක් හේතුවෙන් දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී ගැටුම්කාරී තත්ත්වයන් මතුවුණා.

එම නිල නිවසේ යතුර රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාරදෙන ලෙස අධිකරණය පසුගියදා නියෝග කළේ ඉන් අනතුරුවයි.

රෝහල් පරිපාලනයට විරෝධය පළ කරමින් පසුව හෙද හෙදියන් වර්ජනයක් ආරම්භ කළ අතර, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා සඳහන් කළේ වෛද්‍යවරුන් මැදිහත් වී හෙද සේවාවේ කටයුතුද පවත්වාගෙන යමින් හදිසි ප්‍රතිකාර සේවා සිදුකරන බවයි ෴

*****************************************

එජාපයේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මනම්පිටියේදී ගෝඨාභයට එක්වෙයි

(08.11.2019 – 16:24 +0530 – hirunews.lk/sinhala)

රටේ ගොවිජනතාවට සෙත සැලසෙන වැඩපිලිවෙලක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගනයේ අද (08) පැවති ජන රැළියකට එක්වෙමින්.

ඔහු ජන රැළිය අමතන අතරතුර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා තම ආධාරකරුවන් පිරිසක් සමග පැමිණ සහය පළ කළා.

මෙම ජනරැලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිඹුලාගල පොදු ක්‍රීඩාංගනයට ගුවනින් පැමිණි අතර, එම ස්ථානයට ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා.

එහිදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්ව සිටි පිරිස සමඟ සුහද කතාබහක නිරත වුණා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණෙන විට ජනතාවගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

++++++++++++++++++++++++

*****************************************

ගෝඨාට එරෙහිව මඩ ප්‍රචාර සහ කුමන්ත්‍රණ දියත් කිරීමේ සැලස්මක්

(08.11.2019 – 19:30 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි දින කිහිපයේදී මඩ ප්‍රචාර සහ කුමන්ත්‍රණ දියත් කිරීමේ සැලසුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි එම පක්ෂයේ නියෝජිතයින් අද (08) පැවති මාධ්‍ය හමු කිහිපයකදී හෙළි කළේය.

එක් මාධ්‍ය හමුනකදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පවැසීය.

ශ්‍රී.ල.පො.පෙ අවසාන සතියේ බෝම්බ පුපුරවන්න යන බවට ඉරාන් – හරීන් – අජිත් පෙරේරාට තොරතුරු ලැබිලා. මැතිවරණ කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්. ඒ පණිවුඩය මුලින්ම දෙන්න ඕන පොලීසියට.

රාජිත උතුරට ගිහින් කියනවා එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට පොදුසමාව දෙන බව. උතුරේදී වගේම දකුණේදීත් කියන්න. ශම්මි කරුණාරත්නට අධිචෝදනා. හමුදාවට එහෙමයි – එල්.ටී.ටී.ඊ යට මෙහෙමයි. මාර්ග ආඥාපනත් උල්ලංඝනය කරමින් විවෘත කළ දක්ෂිණ අධිවේගී මාර්ගයට මුදල් දෙන්න එපා. කිසිඳු ආකාරයකට ගැසට් කරලා නැහැ. ආපදාවක් වුණොත් වන්දි ගන්නත් බැහැ. ජනපති පත්වන බව විශ්වාසයි නම් කලබලේට මාර්ග විවෘත කරන්න ඕනේ නැහැ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා :

“හිස්බුල්ලා වගේ කෙනෙක් දාලා ගෝඨාභයට ඇමතුමක් දෙන විදිය පටිගත කරලා. ඔවුන්ගේ දෙවන පියවර හිස්බුල්ලාගේ හඬෙන් කියවා ගන්නවා ‘දෙවන මනාපය ගෝඨාභයට දෙන්න’ කියලා. සහරාන්ගෙ අන්තවාදය පෝෂණය කළ කිසිදු දේශපාලකයෙකුගේ සහාය අපට එපා.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය කියනවා TNA සහාය ලබන අපේක්ෂකයා මාස තුනකදී ඉල්ලීම් 13 ඉටු නොකළොත් ඊට එරෙහිව ජනතාව පෙළගස්වන බව. සජිත්ගේ මැතිවරණ ප්‍රකාශයේ ඒකීය රාජ්‍ය ගැන සඳහනක් නැහැ. ඉංග්‍රීසි ප්‍රකාශයේ ෆෙඩරල් ගැන සඳහන්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීම නැහැ. TNA කියලා ඇති මහා ශිෂ්‍ය සංගමයට ඉල්ලීම් ඉටු කරන්න සජිත් එකඟවුණු බව.”

මේ පිළිබඳ අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා :

“ඉරාන් පොලීසියට පැමිණිලි නොකළත් අපි ඒ ගැන පැමිණිල්ලක් දානවා. ඔහු වහාම අත්අඩංගුවට ගෙන බෝම්බ බිය ගැන පරීක්ෂණ කළ යුතුයි.

මහාචාර්ය තේනුවර ඇතුළු පිරිසක් භාෂා තුනෙන්ම ගෝඨාභයට එරෙහිව මුද්‍රණය කළ මඩ පොතක් බුද්ධි අංශ මැදිහත්වීමෙන් රේගුවේ රඳවාගෙන. මංගලගේ බලපෑම් මත බැංකු බැඳුම්කරයක් හරහා මඩ පොත් නිදහස් කර ගැනීමේ උත්සාහයක් තියෙනවා.”

*****************************************

අපේ බලාපොරොත්තුව රටේ ආරක්ෂාව – අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්

(08.11.2019 – 19:17 +0530 – sinhala.adaderana.lk)

රටේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන මහා සංඝරත්නයට MCC ගිවිසුම වැනි කාරණා මඟහැරිය නොහැකි බව ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘ඇමරිකන් ආක්‍රමණය’ නැමති කෘතිය අද පිළිගැන්වූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘ඇමරිකන් ආක්‍රමණය’ නැමති කෘතිය ඊයේ (07) පස්වරුවේ එළිදැක්වුණි.

මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමි :

“අපේ බලාපොරොත්තුව රටේ ආරක්ෂාව. මේ අවස්ථාවේ අපිට මඟහරින්න බැහැ.”

*****************************************

පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් ගෙන් ඉල්ලීමක්

(08.11.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk)

වර්තමානයේ රට තීරණාත්මක සංධිස්ථානයකට එළඹ ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නොව රටේ අභිවෘද්ධිය උදෙසා ඡන්ද භාවිත කළ යුතු බව අචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් පවසයි.

කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවක උන්වහන්සේ මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන් මේ බව පැවසීය.

“MCC බෙල්ල යන ගිවිසුමක්. ලංකාවේ මැද්දේ ඇමරිකන් දූපතක් හැදුවා වගේ. සජිත් ජනාධිපති වුණොත් ඉබ්බා ගඟට දැම්මා වගේ. බෞද්ධ රටක් නෙවෙයි කියලා මංගල කිව්වා.

සිංහල බෞද්ධයෝ තේරුම් ගන්න ඕනේ. සහරාන්ගේ කල්ලිය එක්ක හිටපු අය සජිත් එක්ක ඉන්නවා කියලා ආරංචියි. දුර බලලා ඡන්දය දෙන්න. සජිත් දෙමළ සන්ධානයේ ඉල්ලීම් දෙන්න සූදානම්. අගමැති කිව්වා දෙමළ සන්ධානයේ සහාය සජිත්ට කියලා.

ගෝඨාභය පිළිගන්නේ නැහැ කිව්වා. දෙපැත්තට බෙදාගන්න පුළුවන්. අවදානමෙන් ගොඩ එන එකම ක්‍රමය ජනාධිපතිවරණයේදී ඥානවන්තව ඡන්දය දීමයි. ගෝඨාභය නිර්පාක්ෂික පුද්ගලයෙක්. සංහිඳියාව වෙනුවට යුද්ධය ජයගත්තා.

මම කිසිඳු දේශපාලන පක්ෂයකට අදාළ නැහැ. නිදහස් මත දරන කෙනෙක්.”

*****************************************

සෑම දිළිඳු පවුලකටම පෝෂණ මල්ලක් සහ රජයේ රැකියාවක් – ගෝඨාභය රාජපක්ෂ

(08.11.2019 – 19:01 +0530 – sinhala.adaderana.lk)

තමා බලයට පැමිණි වහාම සෑම දිළිඳු පවුලකටම පෝෂණ මල්ලක් සහ සෑම දිළිඳු පවුලකම තරුණ සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට රජයේ රැකියාවක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලියකට අද (08) එක්වෙමින්ය.

පොළොන්නරුවේ ජන රැළියට සහභාගී වීම සඳහා අද දහවල් ගුවන් මගින් එහි පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ප්‍රදේශවාසීන් රැසක් දිඹුලාගල ක්‍රීඩංගනය වෙත පැමිණ සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලිය අද (08) පස්වරුවේ මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනරැලියට එක්වන අවස්ථාවේදී පැමිණ සිටි ජනකායෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

මෙම ජනහමුව පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු නායක සහ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සහාය පළකිරීම සඳහා වේදිකාව වෙත පැමිණියේය.

පොළොන්නරුව ජන රැළියට සහභාගීවීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පස්වරුවේ ගුවන් මගින් දඹුල්ලට පැමිණියේය.

ඔහුගේ පැමිණීම සැලවීමත් සමග ප්‍රදේශවාසීන් රැසක් ඔහු පිළිගැනීම වෙනුවෙන් දඹුල්ල කෘෂි විද්‍යාපීඨ භූමිය වෙත පැමිණ සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග පිළිසඳරක නිරත වුණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන මාතලේ දිස්ත්‍රික් ජනරැලිය අද (08) පස්වරුවේ පැවැත්වුනේ දඹුල්ල නගර සභා ක්‍රීඩාංගණයේදීයි.‍

*****************************************

ජයග්‍රහණයේ ප්‍රධාන ගෞරවය ශ්‍රීලනිපයටයි – බැසිල් රාජපක්ෂ

(08.11.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, දෙහිවල ප්‍රෙද්ශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්ය.

‘රට වෙනුවෙන් ගෝඨාභයට අත’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් පිරිසක් සමග දෙහිවල දී අද (08) පැවති ජන හමුවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එක්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා :

“එකතු නොවුණොත් දෙගොල්ලොම විනාශයි. පහුගිය අවුරුදු පහ ගැන පොතක් ලිව්වොත්. නොබෙල් සාම ත්‍යාගයත් හිමිවෙනවා.

ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයින් කරන පරිත්‍යාගය. රටේ ජයග්‍රහණයට, සෞභාග්‍යයට හේතුවෙනවා. ජයග්‍රහණයේ වැඩිම ගෞරවය ශ්‍රී.ල.නි.ප.යට. පොහොට්ටුවේ අය නම් කැමතිවෙන එකක් නැහැ. නමුත් සත්‍යය ඒකයි.”

*****************************************

අලි ෂබ්රිගෙන් ආණ්ඩුවට චෝදනාවක්

(08.11.2019 – 18:44 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට ආණ්ඩුව කටයුතු නොකළේ ජාතීන් අතර අසමගියක් ඇති කිරීමේ අරමුණින් බව ජනාධිපති නීතීඥ අලි ෂබ්රි මහතා චෝදනා කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ හංවැල්ල ප්‍රදේශයේ දී පැවැති ජන හමුවක් අතරතුරදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීතීඥ අලි ෂබ්රි මහතා :

“ඔබ දන්නවා පසුගිය පාස්කු ඉරිදා. අපේ නම ඇති ත්‍රස්ත්‍රවාදියෝ ටිකක් එකතුවෙලා බෝම්බ පුපුරුවා ගත් හින්දා. විශාල හානියක් සිද්ධ වුණා අපි අතර තිබුණු සමගියට, රටට, රටේ අනාගතයට, මිනිසුන් අතර තිබුණු බැඳීම්වලට, සහෝදරත්වයට. එකෙන් ගොඩ එන්නට අපිට සැහෙන කාලයක් යයි. මේ ආණ්ඩුව ඒකට වග කියන්න ඕනේ.

ඔවුන්ට තිබුණා බුද්ධි අංශ වාර්තා 97 ක්. ජම්මියතුල් උලමා සංවිධානයෙන් ගිහින් කිව්වා. ගම්වල මුස්ලිම් ගෑණු වාඩි වෙලා උද්ඝෝෂණය කරා මේ අය කරන කථා වැරදි කියලා. මේ අයට විරුද්ධව තිබුණා පැමිණිලි 15 ක්. මොකද්ද මේ ආණ්ඩුව කරේ? උඩ බලාගෙන හිටියා.

කිසිම පියවරක් ගත්තේ නෑ. ඔවුන්ට ඕනේ වුණේ මේක පුපුරවන්න. පුපුරවලා මිණිස්සු බේද කරන්නට. බේද කරලා වෙන කාට හරි ඇගිල්ල දිඟු කරල මුස්ලිම් ඡන්ද ටිකයි දෙමළ ඡන්ද ටිකයි එකතු කරන්න. එකතු කරගෙන තව බලයේ ඉන්න.

මේ අයට මේක අළුත් දෙයක් නෙමෙයි. හැමදාම ඒ ගොල්ලෝ කරගෙන ගියේ ඒ දේශපාලනය තමයි. අළුත්ගම ප්‍රශ්නයක් ඇති කරලා මුස්ලිම් මිණිහව සම්පූර්ණයෙන් පැත්තකට තල්ලු කරලා දලා එහි වගකීම රාජපක්ෂ මහත්වරුන්ට පැවරුවා.”

*****************************************

TNA දෙමළ ජනතාව රවටනවා – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

(08.11.2019 – 18:27 +0530 – sinhala.adaderana.lk)

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදෙන්නැයි ආර්.සම්බන්දන් මහතා අතුළු දෙමළ ජාතික සන්ධානය ‍දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීම හරහා සිදුවන්නේ එම ජනතාව නැවත වරක් රැවටීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා ඊයේ (07) කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා ඊයේ (07) මෙසේ පැවසීය :

“මේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව – විශේෂයෙන් උතුරු නැගෙනහිර ඉන්න දෙමළ ජනතාව වෙනත් ප්‍රදේශවල ඉන්න දෙමළ ජනතාව රටේ ඉන්න හමෝම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන්න ඕන කියලත් හංසයා ලකුණට ඡන්දය දාන්න ඕන කියලත් අපි තිරණය කළා.”

මේ අතර ඊ.පී.ආර්.එල්.එෆ් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා :

“ඉලංගෙයි තමිල් අරසු කච්චි ආරම්භයේ සිටම ඒ අයත් සමග ඉන්න අනිකුත් පක්ෂ එක්ක එකතුවෙලා හෝ නැතුව එක තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන එක තමයි එයාලා ගත්තු තීරණය.

එයින් පසුව වුණු හැම දෙයක්ම එයාලා අධ්‍යක්ෂණය කළ නාට්‍යක් කියලා අපි සිතනවා. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය විශ්වවිද්‍යාල සිසුන්ව අතකොලුවක් ලෙස භාවිත කරලා යෝජනා දහතුනක් හැදුවත් අන්තිමේදි හැමෝම මෝඩයන් කරන විදිහට තමයි ඒයාලා හැසිරුණේ.

විශ්ව විද්‍යාල සිසුන් විතරක් නෙවෙයි එයාලත් සමග එකම මේසේ දි කතාකරපු අපිවත් රැවැට්ටුවා. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන දිනවන්න ඕනේ කියලා කොන්දේසි රහිතව එයාට ඡන්දය දෙන්න කියලා දෙමළ ජනතාවට කියපු සුමන්දිරන්, ආර්.සම්බන්දන්, මාවෙයි සේනාධිරාජා, මෛත්‍රීපාල දැන් රැවැට්ටුවා කියනවා.

ඒ විදිහට තමයි දැන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙද්දී , ‘සජිත් අවොත් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි; බලය ලබාදෙයි’ කියලත් ආර්.සම්බන්දන් ත්‍රිකුණාමලයේදී කිව්වා. තවත් අවුරුදු හතර හමාරකින් පහකින් පස්සේ තමයි ‘සජිත් ප්‍රේමදාස අපිව රැවැට්ටුවා’ කියලා සම්බන්දන්ට තේරෙන්නේ.”

*****************************************

මංගලට හාමුදුරුවරු පේන්නේ කුලී හේවායන් වගේ – නිමල් සිරිපාල ද සිල්වා

(08.11.2019 – 14:59 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට රටේ සිටින හිමිවරුන් පෙනෙන්නේ ‘කුලී හේවයන්’ ලෙස බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

වැලිමඩ නාවෙල ප්‍රදේශවේ ඊයේ(07) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා :

“අපේ නායක ස්වාමින් වහන්සේ නමක් ඇමෙරිකානු මිලේනියම් ගිවිසුමට විරුද්ධව ප‍්‍රකාශයක් නිකුත් කරලා. උපවාසයක යෙදෙනකොට මංගල සමරවීර ඇමතිතුමා එයාගේ ටුවිටර් පණිවිඩයකින් කියනවා ‘උපවාස කරන්නේ කුලී හේවායන්’ලු. නායක හාමුදුරුවරු මංගලට පේන්නේ කුලී හේවායො වගේ.

එයා කිව්වා මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. අපි රැකගෙන ආපු අපේ දේශිය සංස්කෘතිය, සාරධර්ම මේ ඔක්කොම පාගලා පොඩි කරලා දැම්මා මේ ආණ්ඩුව.

විදේශිය රටවල තියෙන සමලිංගික විවාහ මේ රටේත් නිති ගත කරන්න හැදුවා. ඒ නිසා මේ රට නිවැරදි දිශාවට යොමු කරන්න අපිට දැන් කාලය ඇවිල්ලා තියෙනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *