එජාපය බෝම්බ පුපුරුවා පොහොට්ටුවට පැටවීමේ තැතක්..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• එජාපය බෝම්බ පුපුරුවා පොහොට්ටුවට පැටවීමේ තැතක්..

• කෝකිලායි වනය විනාශ කරන සජිත්ගේ කොන්ත්‍රාත්තුව අධිකරණයෙන් අත්හිටුවයි (විඩියෝ)

• අම්පාර බස් නැවතුම් පොළේ හිරු TV නාළිකාව පෙන්විය යුතු බවට නගර සභාව යෝජනාවක් සම්මත කරයි (විඩියෝ)

• සජිත් TNA කොන්දේසි 13 ට එකග වූ බව යාපන සරසවි ශිෂ්‍ය සංගමයේ කටින් පනී..

• ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන්න විදෙස්ගත ලාංකිකයන් දිවයිනට (විඩියෝ)

• නිවැරදිව මනාපය (ඡන්දය) ලකුණු කරන්න – මහින්ද දේශප්‍රිය (විඩියෝ)

• ෆේස්බුක් සාදයක් වටලා මීගොඩ දී තරුණ තරුණියන් 30 ක් අත්අඩංගුවට

• ගෝටාට මඩ ගහන්න විදේශයෙන් ගෙන්වූ මඩ පොත් තොගයක් රේගුවේ රදවාගනී.. මුදා හරින්නයි දැඩි බලපෑම්..

• නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 96% ක් බෙදා අවසන්

• ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදෙස්ගත මාධ්‍යවේදියෙකුට තර්ජනය කරන හඬ පටයක් එළියට (විඩියෝ)

• පැමිණිල්ලක් ගැන විමර්ශණ කරන්න රූපවාහිනී පරිශ්‍රයට ගිය මැතිවරණ කොමසමේ නිලධාරීන්ට බාධාවක් (විඩියෝ)

• සජිත්ට සහය දෙන්න ගිය ආබාධිත රණවිරුවෙකුගෙන් විශේෂ හෙළිදරව්වක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

එජාපය බෝම්බ පුපුරුවා පොහොට්ටුවට පැටවීමේ තැතක්..

(09.11.2019 – 06:28 +0530 – lankacnews.com)

පොළොන්නරුව බැඳිවැව පාරේ ලේක් හොටෙල් හි පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“2019 නොවැම්බර් 6 දින එරාන් වික්‍රමරත්න ඇමතිතුමා මැතිවරණ කොමිසමට හදිසි ලිපියක් යවනවා. එතුමාගේ මව්බස වන ඉංග්‍රිසි බසින් ඒ ලිපිය ලියා තිබෙන්නේ. ඒක අපේ මව්බසට පෙරලා ගනිමු. ඒ ලිපියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි සතියේ දී බෝම්බයක් පිපිරවීමට සැලසුම් කරන බවට තමන්ට විශ්වාසනීය ප්‍රවෘත්තියක් ලැබුණු බැවින් වහාම ජාතික ආරක්ෂක සභාව කැඳවීමට එජාපය කටයුතු කළ යුතු බවට තමන්ට ට්විටර් පණිවිඩයක් ලැබුණු බවයි.

බෝම්බ පිපිරවීමක් සම්බන්ධයෙන් බැවින් හරි නම් එතුමා මේ ලිපිය යැවිය යුත්තේ පොලිස්පතිතුමාට මිස මැතිවරණ කොමිසමට නොවේ. ඒකෙන් පේන්නේ ජාතික ආරක්ෂාවට වඩා දේශපාලන වාසිය තමන්ට වැදගත් බව මන්ත්‍රිතුමා සිතන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ මාස ගණනාවක් අනතුරු ඇඟවීම් කරලා තිබිය දී කිසිම පියවරක් නොගෙන තමන්ගේ ජීවිත විතරක් බේරා ගන්න එදා පල්ලි නොගිය හරින් ප්‍රනාන්දු සහ එරාන් වික්‍රමරත්න වැනි ඇමතිවරු මෙදා පාර කඩිමුඩියේ ප්‍රතිචාර දක්වන්නේ ඇයි? මෙතැන බෝම්බ බියක් තිබෙන නිසා නොවේ. එහි වගකීම ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ ට පටවා තිබුණු නිසා. ජනාධිපතිවරණයේ තම ප්‍රතිවාදියාගේ පක්ෂය මේකට ගාවලා තිබෙන නිසා.

රණවිරුවන් මුදලට අරගෙන බොරු වීඩියෝ හදපු, පාස්කු ප්‍රහාරය ගෝඨාභය මැතිතුමා මත පටවන්න බොරු වීඩියෝ හදපු එජාපය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි සතියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න හදන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නේ. ඒ නිසා ‘එජාපය විසින් බෝම්බයක් පුපුරුවලා ඒ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත පැටවීමේ වෑයමක් තිබෙනවා’ කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. එරාන් වික්‍රමරත්න අමාත්‍යතුමා පොලිසියට පැමිණිලි නොකළත් අපි මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා. මොකද පොදුජන පෙරමුණ බෝම්බ පිපිරවීමට සිටින කතාව පට්ටපල් බොරුවක් බව ඉතාම වගකීමෙන් දැඩිව අවධාරණය කරනවා.

සාමාන්‍යයෙන් ට්විටර් පණිවිඩයක මුලින්ම සටහන් වෙන්නේ පණිවිඩය එවූ අයගේ ට්විටර් නාමයයි. නමුත් එරාන් ඇමතිතුමා සිතා මතා ඒක යටපත් කරලා තිබෙනවා. එතුමාට ලැබුණු පණිවිඩය විශ්වාසනීය නිසානෙ එතුමා ඒක මැතිවරණ කොමිසමට යොමු කරලා මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නේ. ප්‍රවෘත්තිය විශ්වාසනීය බවට ඒ පණිවිඩයේ සඳහන් වෙනවානෙ. එරාන් ඇමතිතුමාට තොරතුර ලබා දුන් පුද්ගලයාව එතුමා විසින් පොලිසියට හෙලි කළ යුතුයි. ඔහුට ලැබුණු තොරතුරු විශ්වාසනීය බැවින් මේ බෝම්බකරුවන්ව ඔහු දන්නවා. මේ බෝම්බ කතාව ඇත්තක් ද? බොරුවක් ද? ඇත්තක් නම් ඒ පිටුපස සිටින්නේ කවුද යනාදිය දැන ගත හැක්කේ එවිටයි.

එරාන් ඇමතිතුමා මේ තොරතුරු හෙලි නොකරනවා නම් ජාතික ආරක්ෂාවට වැදගත් තොරතුරක් හෙලි නොකිරීම පිළිබඳ ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

+++++++++++++++++++++

අමාත්‍ය එරාන් වික්‍රමරත්නට එරෙහිව පැමිණිල්ලක්

(09.11.2019 – 23:22 +0530 – sinhala.adaderana.lk)

මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාට එරෙහිව පිවිතුරු හෙළ උරුමයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

අද (09) පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා විසින් පොලිස් මූලස්ථානයට පැමිණ මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා අත්අඩංගුවට ගන්නා මෙන් ඉල්ලා පැමිණිල්ලක් ගොනු ඇති බව වාර්තා වෙයි.

මෙම අවස්ථාව සඳහා කඩුවෙල නාගරික මන්ත්‍රී ශිරන්ත ජයලත්, නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් යන මහත්වරුන්ද සහභාගී විය ෴

***************************************

කෝකිලායි වනය විනාශ කරන සජිත්ගේ කොන්ත්‍රාත්තුව අධිකරණයෙන් අත්හිටුවයි

(08.11.2019 – 23:33 +0530 – lankaleadnews.com)

කෝකිලායි කලපුව ආශ්‍රිතව පවතින මහවැලි එච් කලාපයට අයත් භූමියක් එළි කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභායකදී එම වනය එලි කීරීම් වලක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය (06) නියෝග කෙරෙණි.

මහවැලි කලාපයට අයත් අක්කර 12,000 පමණ ප්‍රදේශයකින් අක්කර 200 පමණ මේ වන විට කිසියම් පිරිසක් විසින් එළිකර තිබෙන අතර මෙම එළි කරීම් සදහා මුලතිව් දිසාපතිවරයා අවසර ලබාදී තිබෙන අතර මේ පිළිබදව කිසිදු අවස්ථාවක මහවැලි අධිකාරියේ මහවැලි නිළධාරීන් දැනුවත් කර නොතිබිණි.

මෙම වන විනාශ නිසා ප්‍රදේශයේ ජනතාවට විශාල ලෙස පීඩා වන බවත් මෙම වනයේ සිටින වල් අලින් පවා මෙම වනය හෙලි පෙහෙලි කිරීම නිසා ගම් වදින බවත් එම නිසා මෙම ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ගම් වාසීන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අධිකරණයෙන් ඉල්ල සිටින ලදී.

අදාල අධිකරණ නියෝගයෙන් පසුව ‘ලංකා සී වොයිස්’ වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් චෝදනා කලේ වත්මන් රජයේ මැදිහත්වීමෙන් මෙම ක්‍රියාව සිදුකරන බවයි. මෙය වත්මන් ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ව්‍යාපෘතියක් බවත් එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දක්වන සහ මුදල් වියදම් කරන පුද්ගලයෙකු හට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී තිබෙන බවද ගම්වාසීන් චෝදනා කරන ලදී.

නඩු විභාය ලබන 20 වන දා යලි කැදවීමට තීරණ කරන ලදී.

***************************************

අම්පාර බස් නැවතුම් පොළේ හිරු TV නාළිකාව පෙන්විය යුතු බවට නගර සභාව යෝජනාවක් සම්මත කරයි

(08.11.2019 – 21:18 +0530 – hirunews.lk/sinhala)

අම්පාර බස්නැවතුම්පොළේ සවිකර ඇති රූපවාහිනී යන්ත්‍රවලින් හිරු නාළිකාව නැරඹීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව පවසමින් යෝජනාවක් අම්පාර නගරසභාව විසින් සම්මත කරගනු ලැබුවා.

ඒ රාජ්‍ය නිලධාරියෙකු අදාළ රූපවාහිනීවල විදේශීය නාලිකාවක් ප්‍රදර්ශනය කරන ලෙසට සිදුකළ දැනුම්දීමකට විරෝධය පළ කරමින්.

මේ අතර, නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයින් කොළඹ බේස්ලයින් ප්‍රදේශයේ පිහිටි ගම්භාර සිද්ධ සූනියන් දේවාල මහා විහාරස්ථානයේදී පොල් ගසා දේව කන්නලව්වක් සිදුකළේ වත්මන් රජය මගින් සිදුකරන මාධ්‍ය මර්දනයට එරෙහිවයි.

***************************************

සජිත් TNA කොන්දේසි 13 ට එකග වූ බව යාපන සරසවි ශිෂ්‍ය සංගමයේ කටින් පනී..

(09.11.2019 – 12:00 +0530 – lankacnews.com)

දෙමළ ජාතික සන්ධානය සහාය දෙන අපේක්‍ෂකයා ‘දෙමළ ජනතාවගේ කොන්දේසි 13’ ඉටු නොකළහොත් මාස 03 කින් පාරට බසින බවට යාපන විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සිදුකර ඇති ප්‍රකාශයෙන් ඉතා හොඳින් පෙනී යන්නේ සජිත් ප්‍රේමදාස මහතා ‘උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනයක් ලබාදීම, උතුරු නැගෙනහිර පළාත්වලින් සිංහල ජනතාව හා බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කිරීම’ ඇතුඵ ඉහත කී අන්තවාදී ජාතිවාදී කොන්දේසි 13 ට එකඟවී ඇති බව යැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පොළොන්නරුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා :

“ගෝඨාභය රාජපක්‍ෂයන්ට ඉදිරි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන තත්වයක් අපේ කඳවුර විසින් මේ වන විට උදා කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු පක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය, ඒ. ඒල්. එම්. අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය හා ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩී.පී පක්‍ෂය යන දේශපාලන සන්ධානය විසින් ගෙනයන ක්‍රියාන්විතය විසින් මෙම තත්වය නිර්මාණයකර තිබෙනවා. විවිධ සමීක්‍ෂණ මගින් හා විවිධ තොරතුරු මගින් ගෝඨාභය රාජපක්‍ෂයන්ට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව අපේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාට දැන ගැනීමට ලැබුණු විට ඔහු ඇතුළු ඔහුගේ කඳවුර ඉතාමත් අසරණ වූ ප්‍රතික්‍රියාවන්ට තල්ලු වී තිබෙනවා.

‘16 වැනිදායින් පසු සජිත්ගේ ජනපති සිහිනයත් ඉවරයි’

සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නවා, නොවැම්බර් 16 වැනිදායින් පසු එයාගේ දැන් දකින ජනාධිපති සිහිනයත් ඉවර වන බව. ඒ නිසා තමයි කිසිදු ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු මෙතෙක් සිදු නොකරපු බොළඳ කටයුත්තක එයා නියැලුණේ. එහිදී ඔහු තමන් ජනාධිපති ධුරයට පත්වූවා කියලා හිතාගෙන ජාතික කොඩිය පිටුපස තියාගෙන ජාතිය ඇමතීමක් වැනි යමක් සිදු කළා. එය සම්ප්‍රදායට පටහැනි, නීතියට පටහැනි පහත්, බොළඳ ක්‍රියාවක් බව කිව යුතුයි. බලවත් හීනමානයකින් පෙළෙන තැනැත්තකුට තමයි මෙවැනි දෙයක් කළ හැක්කේ. මෙවැනි අසනීපයකින් පෙළන සජිත් ප්‍රේමදාස මහත්තයාට අපි අනුකම්පා කළ යුතුව තිබෙනවා.

‘හිස්බුල්ලාගේ මනාපය?’

අපේ ප්‍රතිවාදී කඳවුර දැන් ඉතා හොඳින් දන්නවා ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව. ඒ නිසා ඔවුන් ඒ ජයග්‍රහණය පලුදු කිරීම සඳහා දැනටමත් කුමන්ත්‍රණ ගණනාවක් සිදුකර තිබෙනවා. ජනතා සහාය නිසා අපට එවැනි කුමන්ත්‍රණ ජනතාව ඉදිරියේ තැබීමට හැකි වුණා. ඉන් එකක් තමයි, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ගෝඨාභය රාජපක්‍ෂයන් අතර දුරකථන සංවාදයක් ඇති වූ බවත් එහිදී හිස්බුල්ලා ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් මත කටයුතු කරන බවත් පෙන්වීම. ඒ දුරකථන සංවාදය සහිත රූපරාමු සඳහා හිස්බුල්ලාගේ හැඩරුව ඇති පුද්ගලයෙකු මිල දී ගෙන තිබුණා, එජාප ජනාධිපති අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයෙන් ඒ මඩ කොන්ත්‍රාත්තුව ලබා දුන් දැන්වීම් ප්‍රචාරක ආයතනවල නම් ගම් සහිතව මේ බව ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා හෙළිදරව් කොට තිබුණා.

මේ නින්දිත මඩ ප්‍රහාරය හෙළි වුවත් එහි දිගුවක් ලෙස මේ අය උත්සාහ කරනවා, හිස්බුල්ලාට හොඳට සලකලා, ‘දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්‍ෂට දෙන්න’ කියා ඔහුගේ කටින් කියවා ගැනීමට. මෙහිදී අපි ඉතා පැහැදිලිව කියනවා, ‘අපි සහරාන්ලාට කිරි පොවපු කිසිදු දේශපාලනඥයකු ගෙන් කිසිවිටක, කිසිදු සහායක් ලබාගන්නේ නැහැ’ කියා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, හිස්බුල්ලා හෝ වෙනත් සහරාන්ලාගේ අන්තවාදයට කිරි පෙවූ මුස්ලිම් දේශපාලනඥයකු යොදාගෙන ඔහු ලවා ගෝඨාභය රාජපක්‍ෂයන්ට දෙවන මනාපය හෝ ඡන්දය ලබා දෙන ලෙස කියන වීඩියෝපටයක් සංසරණය වුවහොත් ඊට නොරැවටෙන ලෙස.

‘ජාතිවාදී – බෙදුම්වාදී කොන්දේසි 13 ට සජිත් එකඟ වෙලා’

අද (09) පුවත්පත්වල වාර්තා වන අන්දමට යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසා තිබෙනවා, ‘දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබාදෙන අපේක්‍ෂකයා කොන්දේසි 13 ඉටු නොකළහොත් මාස 03 කින් ජනතාවත් සමඟ පාරට බහිනවා’ කියා. දෙමළ ජාතික සන්ධානය සහයෝගය දෙන අපේක්‍ෂකයා සජිත් ප්‍රේමදාසයි. දෙමළ ජනතාවගේ කොන්දේසි 13 කියා ඔවුන් පවසන්නේ ප්‍රභාකරන් යුද්ධ කරලා දිනාගන්න හදපු ඊළමට පාර කැපෙන කොන්දේසි ටිකක්. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘ඒකීය රාජ්‍ය සංකල්පය’ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉංග්‍රීසි පිටපතෙහි ෆෙඩරල් පාලනයක් ගැනත් සඳහන්. ඒ වගේම සජිත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොතැනකවත් ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය’ දෙන බව කියන්නේ නැහැ. මේ සියල්ල දෙස බැලූවිට පෙනී යන්නේ ඉහත කොන්දේසි 13 ට සජිත් එකඟවී ඇති බව, දෙමළ ජාතික සන්ධානය විසින් යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇති බවයි. ඒ නිසයි ඔවුන් මේ විදිහට ‘මාස තුනකින් අපේ කොන්දේසි ඉටු නොකළහොත් පාරට බහිනවා’ කියා කල් තියාම අවධාරණය කරන්නේ. දකුණේ ජනතාවට ඇහෙන්න දෙමළ ජාතික සන්ධානය සජිත්ට කොන්දේසි විරහිතව සහාය දෙනවා කිව්වාට, ඔවුන් උතුරේ ජනතාවට කියන්නේ තමන් සජිත්ට සහාය දෙන්නේ ඔහු තම කොන්දේසි 13 ට එකඟ නිසා බවයි.

ඒ නිසා උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනයක් ලබාදීම, උතුර නැගෙනහිර පළාත්වලින් බෞද්ධ සිද්ධස්ථාන හා සිංහල ජනතාව ඉවත් කිරීම ආදී ජාතිවාදී, අන්තවාදී කොන්දේසි 13 කට සජිත් ප්‍රේමදාස එකඟ වී ඇති බව තමයි යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ සිදුකර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ. ඒ නිසා මේ රටේ ඒකීයභාවයට පක්ෂපාතී, බෙදුම්වාදයට, අන්තවාදයට විරුද්ධ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගෙන් අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ‘මේ රටේ ජාතික ආරක්‍ෂාව ඇතිව සාමකාමීව, සහජීවනයෙන් ජීවත්වීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂයන් දිනවන්න. ඒ වගේම තව සතියකින් ලැබෙන අන්ත පරාජයෙන් වියරු වැටී සිටින ප්‍රතිවාදී අපේක්‍ෂකයාගේ මඩ ප්‍රහාරයන්ට නොරැවටෙන්න’ කියා.”

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද එක්විය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++++++++++++++++

09-11-2019
09-11-2019

***************************************

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන්න විදෙස්ගත ලාංකිකයන් දිවයිනට

(09.11.2019 – 13:33 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණෙමින් සිටියි.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (09) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමිණියේය.

ඒ පොදුජන පෙරමුණු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය පළ කිරීම සඳහායි.

ඔස්ට්‍රෙලියාවේ මෙල්බන්හි සිටි ගායන ශිල්පි රනිල් මල්ලවආරච්චි මහතා ඊයේ (08) පස්වරුවේ UL 506 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

අද (09) උදෑසන කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් සිය මවුරටට පැමිණියේය.

UL 502 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් මෙරටට පැමිණි කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේ සිය යුතුකම ඉටුකිරීම සඳහා මෙරටට පැමිණි බවයි.

***************************************

නිවැරදිව මනාපය (ඡන්දය) ලකුණු කරන්න – මහින්ද දේශප්‍රිය

(09.11.2019 – 07:28 +0530 – sinhala.adaderana.lk)

තමාට හිමි වූ ඡන්ද පත්‍රිකාවේ නිවැරදිව තම මනාපය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද දායකයින්ට යලි ඡන්ද පත්‍රිකාව ලබා නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එම නිසා මනාපය සලකුණු කිරිමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

hirunews.lk/sinhala :

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු ලියවිල්ලක් ලෙස පිළිගැනෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හැඳුනුම්පතක් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට විශේෂිත කඩදාසියක මුද්‍රිත නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය හා ඡායාරූප සහිත ජාතික හැඳුනුම්පත් තොරතුරු ඇතුළත් තහවුරු කිරීමේ ලිපියක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බවයි.

මේ අතර, ඡන්දය සලකුණු කිරීමේදී ඡන්ද පත්‍රිකාවේ වැරදීමක් සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළා.

***************************************

ෆේස්බුක් සාදයක් වටලා මීගොඩ දී තරුණ තරුණියන් 30 ක් අත්අඩංගුවට

(09.11.2019 – 13:28 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ – කම්පෙයාහේන ප්‍රදේශයේ හෝටලයකදී ෆේස්බුක් සාදයක නිරත වූ තරුණ තරුණියන් 30 දෙනෙකු හෂීස් සහ ගංජා සමඟ අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට ගත් අය අතර තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 9 දෙනෙකු සිටින බවයි.

ඔවුන් සියළු දෙනා අවුරුදු 18 ත්, 25 ත් අතර පසුවන්නන් වනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 7 දෙනෙකු ළඟ ගංජා ග්‍රෑම් 27 ක් මෙන්ම තවත් එක් අයෙකු ළඟ හෂීස් මිලිග්‍රෑම් 200 ක් තිබී හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ ෴

***************************************

ගෝටාට මඩ ගහන්න විදේශයෙන් ගෙන්වූ මඩ පොත් තොගයක් රේගුවේ රදවාගනී.. මුදා හරින්නයි දැඩි බලපෑම්..

(09.11.2019 – 15:00 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

මහාචාර්ය තේනුවර ඇතුළු පිරිසක් පිටරටවල සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව මුද්‍රණය කරපු මඩ පොතක් මේ වන විට බුද්ධි අංශවල මැදිහත්වීම මත රේගුවේ රඳවාගෙන සිටිනවා.

රේගුවේ ජ්‍යෙෂ්ඨතම නිළධාරියෙක් මට ප්‍රකාශ කර සිටියා මංගල සමරවීර අමාත්‍යවරයාගේ බලපෑම් මත බැංකු බැදුම්කරයක් ඇපයට තබා මේ පොත් නිදහස්කර ගැනීමේ උත්සාහයක් පවතින බව.

රේගු අත්අඩංගුවේ පවතින ද්‍රව්‍යයක් බැංකු බැඳුම්කරය මත නිදහස් කළ හැක්කේ රේගු බදු සම්බන්ධයෙන් යම් සැකයක් පවතිනවා නම් පමණයි. යම් අවිනිශ්චිතභාවයක් තිබෙනවා නම් ඉහළම බද්ධ තැන්පතුවක් ලෙස තබලා භාණ්ඩ නිදහස් කරගත හැකියි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මත රඳවා ගෙන තිබෙන මුද්‍රිත ද්‍රව්‍ය කිසිසේත්ම බැඳුම්කරයක් මත ඇපකරයක් මත නිදහස් කිරීමට නොහැකියි.

ඒ නිසා මේ දේශපාලන මැදිහත් වීම නතර නොකළහොත් මැතිවරණ කොමිසම හරහා රේගුවට නියෝගයක් ලබා ගැනීමට සිදුවන බව රේගුවට සහ මංගල සමරවීර අමාත්‍යවරයාට අප සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

***************************************

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 96% ක් බෙදා අවසන්

(09.11.2019 – 19:31 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 96 ක් බෙදාහැර අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද අවසන් දිනටත් සිදුකළ බවයි.

කෙසේ වෙතත් යම් හේතුවක් මත මේ දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයෙක් සිටිත්නම් තම ප්‍රාදේශීය තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.

මේ අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළ සංවිධාන කටයුතු පිළිබද දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පැවැත්වුණා.

ඒ රාජගිරියේ පිහිටි මහබැංකු ශ්‍රවණාගාරයේදියි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන් ද එක්ව සිටියා.

ඡන්ද විමසීමේ කටයුතු සඳහා ඡුන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව හා ඡන්ද ගණන් කිරීම මෙන්ම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම පිළිබදව එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන් ෴

***************************************

ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදෙස්ගත මාධ්‍යවේදියෙකුට තර්ජනය කරන හඬ පටයක් එළියට

(09.11.2019 – 21:19 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ඔළුව නමැත්තා විදේශගතව සිටින මාධ්‍යවේදියෙකු මෙරටට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කරන හඬ පටයක් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ඒ, සිංහලේ ජාතික ව්‍යාපාරය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ එම මාධ්‍යවේදියාට තර්ජනය කරන හඬ ඇමුණුම යි :

***************************************

පැමිණිල්ලක් ගැන විමර්ශණ කරන්න රූපවාහිනී පරිශ්‍රයට ගිය මැතිවරණ කොමසමේ නිලධාරීන්ට බාධාවක්

(09.11.2019 – 21:10 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂකයෙකුට අපහාස වන අයුරින් වීඩියෝවක් සංස්කරණය කරන බවට ලද පැමිණිල්ලකට අනුව කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාගේ විමර්ශන කණ්ඩායමක් රූපවාහිනී සංස්ථාවේ පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

අදාළ විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව එම නිලධාරීන් රූපවහිනී සංස්ථා පරිශ්‍රයෙන් පිටව යාමේදී පිරිසක් ඊට බාධා කර තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයෙකුට අපහාස වන අයුරින් රූපවාහිනී සංස්ථාව තුළ වීඩියෝවක් සංස්කරණය කරන බවට පෙරේදා දිනයේ කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයාට පැමිණිල්ලක් ලැබී තිබුණා.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා තේරීම් භාර නිලධාරියා විසින් පොලිස් නිලධාරින් සිව්දෙනෙකුද සමන්විත විමර්ශන කණ්ඩායමක් රූපවාහිනී සංස්ථාව වෙත පිටත්කර ඇති අතර, ඔවුන් එහි පරික්ෂා කිරීමෙන් අනතුරුව නිලධාරීන් පිරිස එම පරිශ්‍රයෙන් පිටවීමේදී පිරිසක් ඊට බාධා කර තිබෙනවා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාගේ විමර්ශන නිලධාරී කණ්ඩායම රඳවා තබා ගැනීම පිළිබඳ විමසීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද රූපවාහිනී සංස්ථාවට පැමිණියා.

පසුව මෙම විමර්ශන කණ්ඩායම තම රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථා සේවක පිරිසට එරෙහිව කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්ද සිදුකරනු ලැබුවා.

මේ අතර, ජාතික කොංග්‍රසය විසින් අම්පාර – අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පැවැත්වූ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට මුස්ලිම් කොංග්‍රස් ආධාරකරුවන් පිරිසක් පහරදී තිබෙනවා.

මෙම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මේ අතර, ජාතික කොංග්‍රස් නායක ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා අදාල පහරදීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

සජිත්ට සහය දෙන්න ගිය ආබාධිත රණවිරුවෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්

(09.11.2019 – 20:52 +0530 – hirunews.lk/sinhala)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මීට පෙර සහය දැක්වූ යුද හමුදා ආබාධිත කෝප්‍රල් තේජාන් සමන් කුමාර විසින් විශේෂ හෙලිදරව්වක් සිදු කර තිබෙනවා.

හෙලිදරව්ව සිදුකරමින් ඔහු සඳහන් කරන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තමන්ට විවිධ වරප්‍රසාද ලබා දීමට එකඟ වූ බවයි.

අබාධිත කෝප්‍රල් තේජාන් සමන් කුමාර පසුගිය දිනවල කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවැත්වූණු ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට සහය පල කලා.

කෙසේවෙතත්, පසුව ඔහු තවත් රණවිරුවන් පිරිසක් සමඟ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දක්වන බවට ප්‍රකාශ කළේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී.

නමුත්, මේ වනවිට ඔහු සමාජ මාධ්‍ය වෙත විඩියෝවක් නිකුත් කරමින් විශේෂ හෙලිදරව්වක් සිදු කර තිබෙනවා.

***************************************

මුළු රටම දැනගත යුතු සිද්දියක් පිළිබඳව පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හෙළිකරයි (09.11.2019)

+++++++++++++++++++++++++++++++++++

MCC ගිවිසුම ගැන හෙළිකල පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවො (06.11.2019)

https://www.youtube.com/watch?v=xok3vIVXC8M
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *