ජනාධිපති ආරක්ෂක අංශයේ ගොඩනැගිල්ලක ගින්නකින් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 47 ක් විනාශයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජනාධිපති ආරක්ෂක අංශයේ ගොඩනැගිල්ලක ගින්නකින් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 47 ක් විනාශයි

• බුර්කා, නිකාබ් ඡන්දපලට තහනම්

• රට, ජාතිය ගැන සිතා ඡන්දය භාවිතා කරන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ)

• ගෝඨාභයට සහය දක්වන්න, විදේශ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදත් (10) දිවයිනට (විඩියෝ)

• යහපාලන මඩ සතියේ පැවැත්වෙන ‘රාජ්‍ය කෙටි චිත්‍රපට උළෙල’ නරඹා විනෝදවන්න : විශාල මුදල් කුට්ටි වෙනුවෙන් ප්‍රසිද්ධියේ එළිබහින නවක නළුනිලියන් හඳුනාගන්න : 14 සහ 15 යන දෙදින සිදුවන දෙයක් ගැන හෙළිදරව්වක්, විමල්ගෙන් (විඩියෝ)

• දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය ගැන මහින්ද හෙළිකරයි (විඩියෝ)

• මෙරට පැවති යුදමය වාතාවරණය සහ පාස්කු ප්‍රහාරය ජනතාවට අමතකයි – පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් (විඩියෝ)

• ගෝඨාභයට එරෙහිව මඩ පෝස්ටර් බෙදූ, මඩාචාර්ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට (විඩියෝ)

• ගෝඨාට එරෙහි මඩ පත්‍රිකා බෙදු හර්ෂගේ ලේකම්වරයා රිමාන්ඩ්

• ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි කියයි (විඩියෝ)

• පවතින වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව ගෝඨාභය කියයි (විඩියෝ)

• හාලිඇල ඉන්ධන පිරවුම් හල අසල සිදුවු අනතුර – සීසීටීවී දර්ශන සහිතයි (විඩියෝ)

• MCC ගිවිසුම ගෝඨාගේ රජයක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ නෑ – පුජ්‍ය අතුරලියේ රතන හිමි (විඩියෝ)

• MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බලන්න පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

+++++++++++++++++++++++++++++++++++

ජනාධිපති ආරක්ෂක අංශයේ ගොඩනැගිල්ලක ගින්නකින් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 47 ක් විනාශයි

(11.11.2019 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොටුව මුදලිගේ මාවතේ පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ නේවාසික ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් ගින්නකින් එහි නවතා තිබූ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි 47 ක් විනාශ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ රාත්‍රි 10 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. පොලිසිය සහ කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

මහල් හතරකින් යුත් අදාළ ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

***************************************

බුර්කා, නිකාබ් ඡන්දපලට තහනම්

(11.11.2019 – 07:40 +0530 – hirunews.lk/sinhala)

බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්දපොලට පැමිණීම තහනම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ඡන්දපොලට පැමිණෙන සියලුම ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පැහැදිළිව මුහුණ පෙනෙන සේ ඇඳුම් පැළඳ සිටිය යුතු බවයි මැතිවරණ කොමිසම කියා සිටියේ.

කිසිදු හේතුවක් නිසා අනන්‍යතාව තහවුරු කරගැනීමට අපහසු, ඇඳුම් පැළදුම්, මුහුණු ආවරණ පැළඳ, ඡන්ද පොලට ඇතුලුවීමට ඉඩ නොදෙන බවද, ඒ සම්බන්ධයෙන් පොලීසියට උපදෙස් ලබාදී ඇති බවද වාර්තාවනවා ෴

***************************************

රට, ජාතිය ගැන සිතා ඡන්දය භාවිතා කරන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(10.11.2019 – 22:49 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණයේදී රට, ජාතිය ගැන සිතා ඡන්දය භාවිත කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති යුතුකම සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

***************************************

ගෝඨාභයට සහය දක්වන්න, විදේශ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදත් (10) දිවයිනට

(10.11.2019 – 22:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධීපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම වෙනුවෙන් අදත් (10) විදේශ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා.

ඔවුන් පෙන්වා දෙන්නේ, රට මුහුණ දී තිබෙන තත්ත්වයෙන් බේරාගැනීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා ස්පාඤ්ඤයේ සිට කණ්ඩායමක් QR 664 දරන ගුවන් යානයෙන් අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඉතාලියේ, මිලාන් නගරයේ සිටද තවත් පිරිසක් දිවයිනට අද (10) පස්වරුවේ පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින්.

ඔවුන් පිළිගැනිම සඳහා මීට පෙර ගෝඨාභයට සහය දැක්වීමට මෙරටට පැමිණි පිරිසක් පැමිණ සිටියා.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මව්බිමට පැමිණි දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයින් පිළිගැනීමේ හමුවක් තලවතුගොඩදී පැවැත්වුණා.

දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් පවත්වනු ලැබූ මෙම සුහද හමුවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද එක්ව සිටියා.

ඊට අමතරව, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා ඇමරිකාව, නවසීලන්තය, ඩුබායි, කුවේට්, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, ජපානය ඇතුළු රටවල් රැසක සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

මේ අතර, විදේශ ගත ශ්‍රී ලාංකික සංසදයද අද (10) කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.

***************************************

යහපාලන මඩ සතියේ පැවැත්වෙන ‘රාජ්‍ය කෙටි චිත්‍රපට උළෙල’ නරඹා විනෝදවන්න : විශාල මුදල් කුට්ටි වෙනුවෙන් ප්‍රසිද්ධියේ එළිබහින නවක නළුනිලියන් හඳුනාගන්න : 14 සහ 15 යන දෙදින සිදුවන දෙයක් ගැන හෙළිදරව්වක්, විමල්ගෙන්

(10.11.2019 – 20:38 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

වයිබර් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ 14 සහ 15 යන දෙදින විපක්ෂයේ ජනපති අපේක්ෂකයාට එරෙහිව මඩ ප්‍රචාර ගෙන යෑම සඳහා ආණ්ඩුව විශාල මුදලක් යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.

කොළඹ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ආණ්ඩුව ගෙන යන මඩ ප්‍රචාර සම්බන්ධව තමන් කළ හෙළිදරව් මේ වනවිට කරලියට පැමිණෙමින් තිබෙන බවයි.

ඒ අනුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැහැර ගැනීම් සිදුකළ බව කියන සුදුවෑන් රථ රියදුරෙක් සහ පැහැර ගැනීමට ලක්වූ බව කියන පුද්ගලයෙකු සමග අද (10) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.

ඊට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනා ඝන රැවුලකින් මුහුණේ ස්වරූපය වෙනස් කර පැමිණ සිටි බව දක්නට ලැබුණා.

මේ අතර, විමල් වීරවංශ මන්ත්‍රිවරයා අද මොරටුව ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී මේ සම්බන්ධව මෙලෙස අදහස් පළ කළා.

අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විමල් වීරවංශ මන්ත්‍රිවරයා ආණ්ඩුව විසින් ඉදිරි දින කිහිපය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සැලසුම් කර ඇති මඩ ප්‍රචාර සම්බන්ධව මෙවැනි අනාවරණයක් සිදුකළා.

***************************************

දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය ගැන මහින්ද හෙළිකරයි

(10.11.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කිරීම හැර උතුරේ ජීවත් වන ජනතාවගේ ගැටලු විසඳීමට කිසිදා උනන්දු නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (10) පෙරවරුවේ මුලිතිව් නගරයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධාන කළ ජන හමුවක් අද (10) පෙරවරුවේ මුලිතව් නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

***************************************

මෙරට පැවති යුදමය වාතාවරණය සහ පාස්කු ප්‍රහාරය ජනතාවට අමතකයි – පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්

(10.11.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

තිස් වසරක් පුරා මෙරට පැවති යුදමය වාතාවරණය සහ පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අද වනවිට ජනතාවට අමතක වී ඇති බව පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කඩුවෙල අද පැවති උත්වයකට එක්වෙමින්.

පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් රචිත ‘මහාවංශයේ තුන්වන කොටස’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (10) පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

+++++++++++++++++++++

පාලි මහා වංශයේ අවසාන භාගයේ සරල සිංහල අනුවාදය ග්‍රන්ථය එළිදැක්වෙයි

(10.11.2019 – 17:41 +0530 – hirunews.lk/sinhala)

පාලි මහා වංශයේ අවසාන භාගයේ සරල සිංහල අනුවාදය ග්‍රන්ථය, පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පරිවර්තනය කර එය එළිදැක්වීමේ උත්සවය කඩුවෙල නගර මධ්‍යයේ විශේෂ උත්සව සභාවකදී අද (10) සිදුකෙරුණා.

කල්‍යාණිවංශ නිකායේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහා නායක හිමියන් ප්‍රමුඛ 200 නමකට අධික වූ ගරුතර මහා සංඝරත්නයේත්, 4000 කට අධික සැදැහැවතුන් පිරිසකගේත්, සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා.

එම ග්‍රන්ථයේ පිදුම ද ගෝඨාභය රාජපක්ෂ වෙත පුද කර තිබීම විශේෂත්වයක්.

***************************************

ගෝඨාභයට එරෙහිව මඩ පෝස්ටර් බෙදූ, මඩාචාර්ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

(10.11.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් සැකසූ අත්පත්‍රිකාවක් ‍බෙදාහරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම අත්පත්‍රිකා සමග මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින් චෝදනා කළේ අදාළ සැකකරු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ආධාරකරුවෙකු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් සැකසූ අත්පත්‍රිකාවක් අද (10) පෙරවරුවේ විජේරාම කලා ප්‍රදේශය සහ මිරිහාන ප්‍රදේශය ආශ්‍රිතව බෙදාහැර තිබුණා.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින් කරන ලද සෝදිසියකදී අදාළ අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයා මිරිහාන ප්‍රදේශයේදී සොයා ගැනීමත් සමග ඇතිවුණේ මෙවන් තත්ත්වයක්.

එහිදී එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙකු එම අත්පත්‍රිකා මුද්‍රණය කරන ලද්දේ ඔහුගේ අනුදැනුම මත බව පිළිගත්තා.

පසුව මිරිහාන පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයා සහ අදාළ ලේකම්වරයා මිරිහාන පොලිසිය වෙත රැගෙන ගියා.

මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාද මිරිහාන පොලිසිය වෙත පැමිණ තිබුණා.

කෙසේ වෙතත් මිරිහාන පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු කඩිනම් නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයින් පැවසීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා.

මේ සම්බන්ධයේන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළ කලා.

කෙසේ වෙතත් මේ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ කිසිවෙකු මේ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා නොකළ බවත් එය සම්පුර්ණ අසත්‍යයක් බවත්ය ෴

+++++++++++++++++++++

ගෝඨාට එරෙහි මඩ පත්‍රිකා බෙදු හර්ෂගේ ලේකම්වරයා රිමාන්ඩ්

(11.11.2019 – 13:01 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ උත්සාහයක් ගත් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ දැන්වීම් අතර තිබුණු එම පත්‍රිකා තොගය හමු වූයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදාහරිමින් තිබියදී.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ (10) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ මුද්‍රණාලයක් සෝදිසි කරන්නේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස පත්‍රිකා මුද්‍රණය කරන බවට ලද පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ල කර තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමලාල් අතුකෝරාළ, නාගරික මන්ත්‍රි විරාජ් වික්‍රමනායක සහ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර යන මහත්ම මහත්මීන්.

අනතුරුව නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයා නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පෞද්ගලික මාර්ගයක් ඔස්සේ ගමන් කරන්නේ එහි නිවාස වෙත මෙම අත් පත්‍රිකා බෙදා දෙන බවට ලැබුණු තවත් තොරතුරක් මතයි.

එහිදී එම අපහාස පත්‍රිකා බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු හමුවිය.

එහිදී දැකගත හැකිවන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ පත්‍රිකා අතර තබා ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස පත්‍රිකාද බෙදා දෙන අයුරුයි.

කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු පිළිබඳ හෙළි කළේය.

එම ස්ථානයට එම හිටපු නාගරික මන්ත්‍රිවරයා ද පැමිණෙන අතර එහිදී හෙළි වන්නේ ඔහු කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ අමාත්‍යාංශයේ වත්මන් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවයි.

සිද්ධියෙන් පැය භාගයකට පමණ පසුව එම ස්ථානයට මිරිහාන පොලිසියේ නිලධාරීන් පැමිණෙන අතර සැකකාර පුද්ගලයන් පොලිසිය වෙත රැගෙන යන්නේ මගී බස් රථයක නංවාගෙනයි.

මිරිහාන පොලිස් ස්ථානයට කෝට්ටේ නගරාධිපති නීතීඥ මධුර විතානගේ මහතා ද පැමිණ සිටි අතර ඔහු චෝදනා කළේ පොලීසිය මේ සම්බන්ධයෙන් කාර්යක්ෂමව ක්‍රියා නොකළ බවයි.

ප්‍රශ්න කිරීමවලින් පසු අත් පත්‍රිකා බෙදූ පුද්ගලයා සහ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගැනුණි ෴

***************************************

ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි කියයි

(10.11.2019 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූල ලෙස ඉවත් කරගෙන ඇති බවත්, ඔහු තවදුරටත් ඇමරිකානු පුරවැසියෙකු ලෙසට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ඔහුගේ නීතිඥවරුන් පවසනවා.

කොළඹදී අද (10) විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනුයි ඔවුන් මේ බව අවධාරණය කළේ.

එම මාධ්‍ය හමුවට එක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ සිය සේවාදායකයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ සියළු ලිපි ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාර දී ඇති අතර ඒවා එම කොමිසම පිළිගෙන ඇති බවයි.

***************************************

පවතින වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව ගෝඨාභය කියයි

(10.11.2019 – 19:00 +0530 – hirunews.lk/sinhala)

තමා පැමිණියේ පවතින වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, කලාවැව ප්‍රදේශයේ අද (10) පැවති ජන හමුවකට එක්වෙමින්.

***************************************

හාලිඇල ඉන්ධන පිරවුම් හල අසල සිදුවු අනතුර – සීසීටීවී දර්ශන සහිතයි

(11.11.2019 – 10:35 +0530 – sinhala.adaderana.lk)

බදුල්ල-හාලිඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල සිදුවු රිය අනතුරිකින් ත්‍රීරෝද රථ රියදුරෙක් සුළු තුවාල ලබා තිබේ.

ඊයේ (10) දහවල් මෙම අනතුර සිදුව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

හාලි ඇල ප්‍රදේශයේ සිට බදුල්ල දක්වා ධාවනය වු මෝටර් රථයක එම දිශාවටම ධාවනය වු ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු සුළු තුවාල ලබා තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හාලිඇල පොලීසිය පවත්වයි.

***************************************

MCC ගිවිසුම ගෝඨාගේ රජයක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ නෑ – පුජ්‍ය අතුරලියේ රතන හිමි

(11.11.2019 – 09:34 +0530 – sinhala.adaderana.lk)

වර්තමානයේ කැබිනට් මණ්ඩලය විසින් සම්මත කර ඇති එම්.සී.සී ගිවිසුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.

නාත්තන්ඩියේ ඊයේ (10) උත්සව ශාලාවක පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අත්සන් කරන ලද එම්.සී.සී. ගිවිසුම ඉතාමත්ම බරපතල ගිවිසුමක් බවයි.

මෙම ගිවිසුම එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 400 කට මදක් වැඩි මුදලකට මුළු රටේම ස්වේරීත්වය පාවා දෙන ගිවිසුමක් බවද රථන හිමියන් පෙන්වා දෙයි.

මෙම ගිවිසුම 1815 වසරේ මාර්තු මාසේ අස්සන් කරපු කන්ද උඩරට ගිවිසුමට වඩා බරපතල ගිවිසුමක් බවත් උන්වහන්සේ පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වු රතන හිමියන්,

“පුද්ගලික සහ සාංඝීක ඉඩම් සුද්දෝ පවරා ගෙන ඒ ඉඩම් දැවැන්ත තේ වතු, රබර් වතු බවට පත් කලා. ඒ ප්‍රදේශවල ජීවත් වුණු අහිංසක ගැමියන්ට ඒ වතු වල රබර් කිරි කපන කුලී ශ්‍රමිකයින් බවට පත්වන්න සිද්ධ වුණා.

මෙම එම්.සී.සී.ගිවිසුමෙන් ලංකාවට අත්වන ඉරණම තමයි අපේ කොල්ලන්ට අවශ්‍ය වන්නේ නම් ඇඟ විකුණන්න පුළුවන් වෙයි. රූම් බෝයිලා වෙන්න පුළුවන් වෙයි. කර්මාන්ත ශාලා වල වහල් කම්කරුවෝ බවට පත් වෙන්න පුළුවන් වෙයි.

රට පුරා තියන වන ජීවී සහ වන සංරක්ෂණයට අයිතිඉඩම් සහ පුද්ගලික ඉඩම් පෞද්ගලීකරණය කරන්න ආණ්ඩුව බලාපොරොතු වෙනවා. ඒක කරන්නේ මුලින්ම දැනට බදු පදනම මත ගොවීන් සතුව ඇති ඉඩම් ස්වර්ණභූමි හෝ වෙනත් ක්‍රමයකට ගොවියාට පවරලා දෙනවා. ඊට පස්සේ ගොවීන් කරන්නේ ඒ ඉඩම් තුට්ටු දෙකට විකුණලා දාන එකයි.

එත්සත් ජනපදය මේ වන විට රජයට බලකරලා තියනවා මේ ඉඩම් සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කරන්න කියලා.

ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ තියන සමාගම් වලට අපේ රටට ඇවිත් අත්තනෝමතිකව ආයෝජනය කිරීමට අවස්ථාව ලබා දීමයි.

මේකෙන් සිද්ධ වෙන්නේ අපේ වන වියන් නැතිව යනවා. සතාසිව්පාවා නැතිව යනවා. මහජනතාවගේ ඉඩම් නැතිව යනවා. අපි එහි කුලී කරුවන් බවට පත්වෙනවා. මේ අනතුර අපි ඉතාමත්ම බරපතල විදියට තේරුම්ගත යුතුයි.

මේ අනතුර අපි අද තේරුම් ගත්තේ නැත්නම් අපේ ඉදිරි පරම්පරාවට අතීතයෙන් රැකගත් අපේ භූමිය අපිට අහිමි වෙනවා.

ඒ නිසා අපි මෙම ගිවිසුම පරාජයකළ යුතුමයි. දැනට තියන තත්ත්වය යටතේ මෙය පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ අන්ධයෝ ටිකදෙනෙක් ඉන්නවා. ඉතිං මේක සම්මත කර ගන්න පුළුවන්.

හැබැයි රටේ තියන නීතිය අනුව මේ වාගේ ගිවිසුමක් පාර්ලිමේන්තුවේදි සම්මත කරලා විතරක් මදි. ජනමත විචාරණයකටත් ඉදිරිපත් කළයුතු වනවා. ඒ නිසා මෙම ගිවිසුම පරාජය කරන්න නම් දැවැන්ත ජන මතයක් රට තුළින් අවශ්‍යවනවා.

ලබන 16 වැනිදා එන මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත්ම පැහැදිලිව කියා තිබෙනවා මහජනතාවට අහිතකර,මහජනතාව විරුද්ධ වන ඒ වගේම ජනතාවට හොරෙන් මෙවැනි ගිවිසුම් අත්සන් කරන්නේ හෝ ක්‍රියාත්මක කරන්නේ නැති බව.”

+++++++++++++++++++++++++++++++++++

09-11-2019

+++++++++++++++++++++++++++++++++++

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බලන්න පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

(11.11.2019 – 10:41 +0530 – sinhala.adaderana.lk)

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම වලක්වන තහනම් නියෝගයක් රජය වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුලක් නම් කර තිබේ.

අගවිනිසුරුවරයා විසින් නම්කර තිබෙන එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කටයුතු කරයි.

එල්.ටී. බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා , ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරති.

මෙම පෙත්සම් මේ මස 13 වන දා සලකා බැලීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ මහතා සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියාසිටින්නේ millennium challenge corporation වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30 වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි කියා සිටියේය.

එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *