මේජර් ජෙනරාල්වරුන් 3 කට රට යන්න වීසා නොලැබේ…සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බවට අනතුරු අඟවයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මේජර් ජෙනරාල්වරුන් 3 කට රට යන්න වීසා නොලැබේ…සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බවට අනතුරු අඟවයි

• රණවිරුගාය වැලඳුන පිරිස් ලංකාවට…

• MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම ජනවාරි 31 කට කල්යයි (විඩියෝ)

• නීතියේ ආධිපත්‍ය සුරැකීමට කැප වෙනවා – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• මහින්ද රාජපක්ෂ ගෙන් පැහැදිලි කිරීමක්

• හිමිකරු පොල් ඉඩමේ වලදැමු හැටි හොර කපුවා පාපොච්චාරණය කරයි

• සජිත් කොළයේ ලියලා දුන්න දේ සම්බන්ධන්ලා සුමන්තිරන්ලා ආඩම්බරයෙන් කියනවා – කෙහෙළිය රඹුක්වැල්ල (විඩියෝ)

• රටේ ආරක්ෂාව තහවුරු කළ නායකයෙක් ජනපති කරන්න – පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි (විඩියෝ)

• පූජ්‍ය අතුරලියේ රතන හිමි ගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

• රෝහණ විජේවීර ඝාතනය කර අදට අවු 30 යි… ඇසින් දුටු සාක්ෂියක් ජවිපෙ අනුරලාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මේජර් ජෙනරාල්වරුන් 3 කට රට යන්න වීසා නොලැබේ…සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බවට අනතුරු අඟවයි

(13.11.2019 – 13:49 +0530 – lankaleadnews.com)

වන්නි මෙහෙයුමේ සිටි මේජර් ජෙනරාල්වරුන් තිදෙනකුට ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව සහ බි‍්‍රතාන්‍ය යන රටවල ඉගෙනුම ලබන තම දරුවන් බැලීම සඳහා එම රටවල් විසින් වීසා බලපත් ලබාදීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙම මේජර් ජෙනරාල්වරුන් තිදෙනා ඉදිරිපත් කළ අයදුම්පත‍්‍ර ප‍්‍රතික්‍ෂේප කර තිබේ. එම මේජර් ජෙනරාල්වරුන් තිදෙනා ඉහත රටවල්වලට පැමිණියහොත් ‘සර්වලෝක නීතිය’ යටතේ අත්අඩංගුවට ගන්නා බවට අනතුරු ඇඟවීම් එල්ලවී ඇත.

මේ අතර මෙරට ඔස්ටේ‍්‍රලියානු තානාපතිවරයා මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ද අනතුරු අඟවමින් ඔස්ටේ‍්‍රලියාවට නොයන ලෙස ඉල්ලා ඇත ෴

***************************************

රණවිරුගාය වැලඳුන පිරිස් ලංකාවට…

(13.11.2019 – 14:00 +0530 – lankaleadnews.com)

මේ වනවිට ‘රණවිරුගාය’ වැලඳුන විශාල පිරිසක් මව්බිමට පැමිණෙමින් පවතින අතර සති අන්තය වනවිට තවත් විශාල පිරිසක් පැමිණීමට නියමිතය. ශ්‍රීලංකන් ගුවන්සේවය, එමිරේට්ස්, ෆ්ලයි ඩුබායි, එයා ඇරබියා, ඕමාන් එයා ආදී ගුවන් සේවා මගින් ඔවුන් එක්සත් අරාබි එමීරයෙන් පැමිණෙමින් ඇත.

මෙම සියලු කටයුතු සංවිධානය කරමින් විශාල කැපකිරීමක් කළ උපාලි විජේරත්න මහතා හැගීම්බර වෙමින් පවසා සිටියේ තමාට වයස අවුරුදු 12 ගතවෙද්දි තම පියා යුධහමුදා ක්‍රියාන්විතයකින් මිය ගිය බවත්, යුද්ධයේ අදුරු සෙවනැලි තම මතකයට නැඟෙන බවත්, රට ජාතිය රැකිය හැකි එකම නායකත්වය තෝරා ගැනීම වෙනුවෙන් මෙලෙස මව්බිමට පැමිණි බවත් ය.

විදෙස්ගත තම මිතුරන් 50 ක පමණ කණ්ඩායමක් එක්කර ගනිමින් ඒ වෙනුවෙන්ම සූදානම් කළ ‘රණවිරුගාය ටී ෂර්ට්’ පැලඳ සිටින ඡායාරූප දකින කාගේත් දෙනෙතට කඳුලක් එක්වනවා නොවනුමානය.

එමිරේට්ස් ගුවන් සේවයෙන් ප්‍රථමයෙන්ම සහන මිළකට ගුවන් ටිකට්පත් නිකුත් කළ අතර අනෙකුත් ගුවන් සේවා විසින්ද තම සේවාවන් වල මිළ තරඟකාරීව ලබාදෙන ලද බව පසුගිය දිනවලදී දක්නට ලැබුණි. එමිරේට්ස් ගුවන්සේවයේ කාර්‍යක්ෂමතාවය කෙසේද යත් ඡනාධිපතිවරණයේ මඩ ප්‍රචාරයන්ටද ඔවුන් විසින් පසුගිය දිනවල ප්‍රතිචාර දක්වා තිබුණි.

“අපි මෙවර ඡන්දෙට එන්න සෑහෙන උවමනාවකින් කල් තියාම සුදානම් වුනා. ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීමටත් පෙර අප ගුවන් සමාගම් සමග අඩුමිලට ගුවන් ගමන්පත් ගැනීම පිළිබඳව සාකඡා කළා. ඩුබයිහි කොන්සියුලර් ජනරාල් කාර්‍යාලයද අපට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ නිසා මේ වන විට විශාල පිරිසකට මව්බිමට තම යුතුකම් ඉටු කිරීමට පැමිණීමට හැකිව තියෙනව. ඒ ගැන අපිට සතුටුයි.” යනුවෙන් නම සඳහන් කිරීමට අකමැති අඩු මිළට ගුවන් ගමන්පත් ලබා ගැනීම පිණිස වෙහෙසවූ පුද්ගලයෙකු පැවසීය.

***************************************

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම ජනවාරි 31 කට කල්යයි

(13.11.2019 – 11:04 +0530 – sinhala.adaderana.lk)

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට සූදානම් වන Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් සලකා බැලීම සඳහා ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් අද (13) බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී.දෙහිදෙනිය, එස්. තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මෙම නඩුවට අදාළ පෙත්සම් පමණක් ලැබී තිබෙන බවත් ඊට අදාළ ඇමුණුම් ලැබී නොමැති බවත් කියා සිටියේය.

ඒ අනුව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි ඇය ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සම් ඉදිරිපත් කළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බව පෙන්වා දුන්නේය.

රජය විසින් අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් මගින් මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන අතිශය සංවේදී ගිවිසුම් බව පෙන්වා දුන් ජනාධිපති දුන් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා එම ගිවිසුම් අත්සන් කරනු ලැබූවොත් අමෙරිකානු හමුදාවලට නිල ඇඳුම් සහ ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාව තුළට පැමිණ නිදහසේ ගමන් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කර සිටියේය.

එලෙස පැමිණෙන ඇමරිකානු හමුදාවන් මෙරට හෝ ජාත්‍යන්තර කිසිදු නීතියකට යටත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙරට ඉඩම් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ බලය ඇමරිකාවට හිමිවන බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නේ මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව රජයේ ස්ථාවරය ලබන 13 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 31 වනදා සිදු කරන බවත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය කරනු ලබන ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුමඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය නීතිඥවරයාට දැනුම් දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් යන පාර්ශව විසින් පෙත්සම් ගොනු කර තිබූණි.

පෙත්සම්කරුවන් කියාසිටින්නේ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක් සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව කියා සිටියි.

එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

***************************************

නීතියේ ආධිපත්‍ය සුරැකීමට කැප වෙනවා – ගෝඨාභය රාජපක්ෂ

(13.11.2019 – 14:48 +0530 – sinhala.adaderana.lk)

නීතියේ ආධිපත්‍ය සුරැකීමට සැමවිටම කැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වීරවිල ප්‍රදේශයේ අද (13) පෙරවරුවේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජක්ෂ මහතා එක්වන ජනරැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් අවසන් ජනරැලිය අද (13) පෙරවරුවේ පැවැත්වුණේ වීරවිල පොදු ක්‍රීඩාංගණයේදීයි.

එම රැලියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණ සිටි පිරිසගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

රැලිය පැවැත්වෙන අතරතුර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක්වුයේය.

මෙහිදී අදහස් දැක්වු චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, අද වන විට කිසිදු සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක නොවන බවයි.

කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන විශාල පිරිසක් මෙම මොනරාගල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය කරන්නේ ජලය බවත් පැවසු ඒ මහතා, වාරි මාර්ග ක්‍රම අතීතයේ තම ආණ්ඩුව විසින් ආරම්භ කළ බවත් කියා සිටියේය.

උමා ඔය විවෘත කර නමුත් මේ වන විට එයට වතුර නැති බවත් එයට වතුර ලැබෙන්නේ 16 වන දින ජනතාව ගන්නා තීන්දුව අනුව බවත් චමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වු මහින්ද අමරවීර මහතා කියා සිටියේ, අද වන විට මැතිවරණයේ අවසාන දින කීපයට පැමිණ ඇති බවයි.

හෙටයි අනිද්දයි නොනගතේ දින දෙක බව පැවසු ඒ මහතා, පසුදින ඡන්දය පාවිච්චි කරන බවත් පැවසීය.

ඡන්ද ප්‍රතිඵලය ගැන කිසිදු ගැටළුවක් හෝ සැකයක් නොමැති බව පැවසු ඒ මහතා, ගෝඨාභය මහතා ජයග්‍රහණය කරනු ලැබුවේ 16 වන දින නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වු දිනයේ දී බවත් කියා සිටියේය.

ගෝඨාභය මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ද එකතු වී ලක්ෂ 67 කින් ජයග්‍රහණය කරන බවත් අමරවීර මහතා මෙහිදී පැවසිය.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, තම රජයක් තුළ පළමු කාර්යභාරය වන්නේ රට තුළ පූර්ණ ආරක්ෂාව තහවුරු කිරිම බවයි.

රට තුළ ස්ථාපිත කර තිබු වැඩපිළිවෙල නැවත වතාවක් ඇති කරන බවත් පැවසු ඒ මහතා, කිසිදු ත්‍රස්තවාදයකට ඉඩ නොතබන බවත් පැවසීය.

ජනතාවගේ මෙන්ම ඔවුන්ගේ දූ දරුවන්ගේ ආරක්ෂාවේ වගකීම තමා බාර ගන්නා බවත් පැවසු ගෝඨාභය මහතා, නීතියේ ආධිපත්‍ය සුරකීමට සෑම විටම කැපවෙන බවත් කියා සිටියේය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන හා සුරක්ෂිත කරන රජයක් ලෙස ජනතා අයිතීන් ආරක්ෂා කිරීමට කැපවෙන බවත්, තරුණයින්ගේ මානව සම්පත් දියුණු කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවත් පැවසීය.

***************************************

මහින්ද රාජපක්ෂ ගෙන් පැහැදිලි කිරීමක්

(13.11.2019 – 14:23 +0530 – sinhala.adaderana.lk)

වර්තමාන ආණ්ඩුවට දිනෙන් දින ඇති වූ අර්බුද නිරාකරණය කර ගැනීමට නොහැකි වූයේ ජනාධිපති සහ අගමැති අතර අන්‍යොන්‍ය අවබෝධයක් නොතිබීම නිසාවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වසර තිහක් පැවති ත්‍රස්තවාදී යුද්ධය වසර තුනහමාරක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කොට රට වේගවත් සංවර්ධණයකට ගෙනයාමට හැකි වූයේ එවකට ආරක්ෂක ලේකම් සහ තමා අතර තිබූ සහෝදර බැඳීම නිසා බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයා නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාණාවේ සාමාජිකයින් හමු වූ අවස්ථාවේදීය.

ඉදිරි දින කිහිපය තුළදී පිහිටුවන ලබන රජයක් යටතේ විධායකයන්, ව්‍යාවස්ථාදායකයත් අතර කිසිදු ගැටළුවක් ඇතිවීමට ඉඩක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

***************************************

හිමිකරු පොල් ඉඩමේ වලදැමු හැටි හොර කපුවා පාපොච්චාරණය කරයි

(13.11.2019 – 13:57 +0530 – sinhala.adaderana.lk)

අභිරහස් අන්දමින් සිය පොල් ඉඩමේ වලදමා තිබූ ආචාර්යවරයෙකුගේ මරණය සම්බන්ධව සැකපිට එම වත්තේම කලක් සේවය කළ මේ වන විට ව්‍යාජ කපුවෙකු ලෙසින් පෙනී සිටින අයෙකු කුලියාපිටිය පොලිසිය හා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙසින් අත්අඩංගුවට ගෙන තිබුණේ වැලිපැන්නගහමුල් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ කලක් මරණකරුගේ පොල් ඉඩමේ පොල් කඩමින් සිට පසුව මරණකරුට සිටි විශ්වාසවන්තම කපුරාල වශයෙන් සිටි අයෙකි.

සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ, පුද්ගලික අධ්‍යාපන ආයතනයක ආචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි 45 හැවිරිදි බී.එම්.නන්දිත මහින්ද බස්නායක නැමැත්තෙකි.

මරණකරු කලක පටන් විවාහ යෝජනා පිළිබඳ විමසිලිමත් වුවත් අධික ලෙස මිත්‍යා මතවල එල්බගෙන කටයුතු කරන්නෙක් නිසා බොහෝ විවාහ යොජනා මඟ හැරීගොස් තිබූ අයෙක් බවට මූලික පොලිස් විමර්ශනයේ දී හෙළිව ඇත.

හොරතෑපොල විහාරස්ථානයේ අපවත්වූ නායක හිමියෝ සමඟින් මරණකරු ජ්‍යෙතිෂ්‍ය කටයුතු සිදුකරගෙන තිබූ බවට එහිදී තොරතුරු අනාවරණය කරගෙන තිබූ පොලීසිය උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව සැකකරුට එම ආත්මය ආරූඪ වන බව පවසා සැකකරු විසින් මරණකරු රවටාගෙන ඇතැයි ද වාර්තාවෙයි.

ඉකුත් සතියේ මරණකරුගේ මව විසින් සිය පුතු නිවසේ නොමැති බවට අතුරුදන්වීමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව එහි ගොස් තිබූ පොලිස් කණ්ඩාමේ විමර්ශනශීලීත්වය නිසාම, අපරාධයක සැකයක් ඔස්සේ කළ පරීක‍්ෂණ අනුව නිවස පිහිටි ඉඩමේහිම වලදමා තිබූ මෘත දේහය සොයාගැනීමට පොලීසියට සුළුවේලාවකදී හැකිව තිබිණ.

ඉන් අනතුරුව අපරාධ විමර්ශන ඒකකය හා කොට්ඨාස අපරාධ අංශය මඟින් කළ විමර්ශන අනුව ඉතාමත් කෙටි කලකදී සැකකරු අනාවරණය කරගැනීමට හැකිව තිබිණ.

සැකකාර පුද්ගලයා විසින් කඩිනම් විවාහ යෝජනාවක් ලැබීමට නම් දෙවියන් උදෙසා කළ යුතු පූජාවන් කිහිපයක් මරණකරුට සිදුකර තිබූ අතර සැකකරුගේ ප්‍රකාශ අනුව එක් අවස්ථාවක දී රුපියල් හතලිස් දහසක් පමණ වටිනා සුරයක් පැළඳීමට අවශ්‍ය බව පවසා රුපියල් සියයක් හෝ නොවටින සුරය කපුවා විසින් පළඳවා තිබූ බව අනාවරණය වී ඇත.

ආසන්නම අවසථාවෙහි බෝණික්කෙකු මනාලියක් ආකාරයෙන් හැඩගන්වා නිවසේ ඇති රන් භාණ්ඩ සියල්ලක්ම පළඳවා පූජාවක් සිදුකළ යුතු බවට කළ යෝජනාවට එකඟවූ මරණකරු සැකකාර පුද්ගලයා විසින් යෝජනාකළ පරිදි පොල් ඉඩමේ අහීමාන අන්තයක වලවල් තුනක් කපා සූදානම් කර තිබී ඇත.

කපුවාගේ උපදෙස් මත එම ස්ථානයට පහන් සුවඳ දුම් ආදී පූජා ද්‍රව්‍යද ගෙන ආ මරණකරු කපුවා විසින් රැගෙන ආ උදැල්ල හා මන්තර පොල්ල නමින් හැඳින්වූ ගවයින් ගාල් කරන යකඩ ඉන්නද පසෙකින් තබා එක් වලකට බැස නිවසින් සිය මවට හොරෙන් රැගෙන ආ රණ් භාණ්ඩ සියල්ලක්ම බෝණික්කාට පළඳවන ලෙසට කපුවාගෙන් ලද උපදෙස් අනුව ක්‍රියාකර පහනක් දල්වන්නැයි සංඥා කර ඇත.

මරණකරු විසින් පහන දල්වන්නට සැරසීමේදී කපුවා අත වූ උදැල්ලෙන් වැරෙන් පහරක් එල්ල කළ බවත් ඉන් අනතුරුව මන්තර පොල්ල යනුවෙන් මරණකරුට හඳුන්වාදී තිබූ යකඩ යෂ්ටියෙන්ද පහරදී ඇති බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබූ කපුවා තවදුරටත් හුස්ම වැටෙමින් සිටියදීම පස් දමා වැසූ බවත් පාපොච්චාරණයක් සිදුකර ඇත.

මරණකරු විසින් ඉතා පිළිවෙලට දිනපොතක් ද පවත්වා ගෙන ගොස් තිබූ අතර සියලු විමර්ශන අනුව මරණකරු විශාල බූදලයකට හිමිකම් කියන අයෙක් බවද හෙළිව ඇත.

සැකකරු විසින් තමන්ට ත්‍රිරෝද රථයක් මිලට ගැනීමේ සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් එම අපරාධය කර තිබූ බවද පවසා තිබූ අතර රැගෙන ගොස් තිබූ රන් භාණ්ඩ පවුම් 6ක් පමණ මීගමුව රාජ්‍ය බැංකුවක රුපියල් ලක‍ෂ 4 යි හැටදහසකට උකස් තබා තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන තිබිණි.

එමෙන්ම සැකකාර කපුවා විසින් අපරාධයට යොදාගත් උදැල්ල, යකඩ යෂ්ඨිය ආදී බොහෝ දේ බිබිලාදෙණිය ප්‍රදේශයේ පාලමක් අසල දියේ සඟවා තිබිය දී සැකකරුගේ ප්‍රකාශ අනුව සොයාගත් බවද පොලීසිය කියයි.

මෙහි මූලික මහේස්ත්‍රාත් පරීක‍ෂණය කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය විසින් සිදුකළ අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී අජිත් ජයසේන මහතාද දායකවූ බව පොලීසිය පවසයි.

සැකකරු රන්භාණ්ඩ සමඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

වයඹ උතුරුමැද බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කුරුණෑගල දිසාවබාර නියෝජ්‍ය පොලිසපති බුද්ධික සිරිවර්ධන යන මහත්වරුන්ගේ අධීක‍ෂණය යටතේ කුලියාපිටිය කොට්ඨාසබාර පොලිස් අධිකාරී සමන් සිගේරා, සහකාර පොලිස් අධිකාරී රෝහණ ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍ෂක නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක‍ෂක චතුරංග, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත යන මහත්වරුන් ඇතුලූ පොලිස් කණ්ඩායමක් විසින් ඉතා සූක්ෂම ලෙස පරීක‍ෂණ කරමින් කෙටිකලක් ඇතුළත සැකකාර කපුවා අනාවරණය කරගෙන තිබිණ ෴

***************************************

සජිත් කොළයේ ලියලා දුන්න දේ සම්බන්ධන්ලා සුමන්තිරන්ලා ආඩම්බරයෙන් කියනවා – කෙහෙළිය රඹුක්වැල්ල

(13.11.2019 – 12:47 +0530 – sinhala.adaderana.lk)

සියලු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව තහවුරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (13) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර රාජ්‍ය බුද්ධි අංශ වාර්තා අනුව ද ගෝඨාභය මහතාට ඡන්ද සියයට 57-59 ත් අතර ප්‍රතිශතයක් හිමිව ඇතැයි පැවසු ඒ මහතා රාජිත සේනාරත්න මහතාගේ නාටකයෙන් පසුව ජනතාව තවත් සියයට 1 ක් පමණ ගෝඨාභය මහතාට පක්ෂ වී ඇතැයි ද පැවසීය.

මඩ ගැසීමට රාජිත සේනාරත්න මහතා සිදු කළ ක්‍රියාව පිළිකුල් සහගතව හෙළා දකින ජනතාව මෙවැනි තීරණ ගනු ලබන බවත්, 16 වන දා වන විට මෙය තවත් වර්ධනය විය හැකි බවත් මන්ත්‍රිවරයා කියාසිටියේය.

අද වන විට බුද්ධි අංශවල සිටින පුද්ගලයින් පවා රට නිවැරදි තැනකට යෑමට අවශ්‍ය තීරණ ගනු ඇතැයි විශ්වාසයෙන් සිටින බවත් මේ දිනවල වංචාවන්ට සම්බන්ධ මැති ඇමතිවරු තමන්ගේ ලිපි ලේඛන ඉවත් කරමින් සිටින බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

මේ අතර සුමන්තිරන් හා සම්බන්ධන් විසින් පසුගිය දා සිදුකරනු ලැබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.

‘සිංහලයන්ගේ මතවාදය පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය ලබා දීමෙන් පමණයි’ යන ජාතිවාදී ප්‍රකාශය සුමන්තිරන් විසින් යාපනය ප්‍රදේශයේ සිදු කරමින් ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, සම්බන්ධන් මහතා විසින් ඉතා පැහැදිලි ලෙස එල්.ටී.ටී.ඊ ය විසින් ලබා ගැනීමට ගිය සියලු දේ පොරොන්දුවක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ලබා දී දුන් බවට ප්‍රකාශ කරන බවයි.

කෙසේ නමුත් සුමන්තිරන් විසින් පොහොට්ටුවට චෝදනා කරමින්, පොරොන්දුවක් හෝ ලබා දීමට එකඟ නොවු බව පවසන බවත් කියා සිටියේය.

දේශපාලන වාසියක් උදෙසා තිස් දහසක් ජීවිත පුජා කර, ලබා ගත් ජයග්‍රහණය සජිත් ප්‍රේමදාස මහතා කොළයක අත්සන් කර ලබා දි ඇති බව බොහොම ආඩම්බරයෙන් සුමන්තිරන් හා සම්බන්ධන් පවසන බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

පොදු ජන පෙරමුණ බොරුවට හෝ පොරොන්දුවක් ලබා දීමට කිසිවිටෙකත් එකඟ නොවන බවත් පැවසු ඒ මහතා එය ඉතා ආඩම්බරයෙන් පවසන බවත් කියා සිටියේය.

***************************************

රටේ ආරක්ෂාව තහවුරු කළ නායකයෙක් ජනපති කරන්න – පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි

(13.11.2019 – 11:31 +0530 – sinhala.adaderana.lk)

රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි ජාතික නායකයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

එසේම සිය යුග මෙහෙවර ඉටු කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණයේ වැඩි වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට පැමිණෙමින් තිබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියි.

***************************************

පූජ්‍ය අතුරලියේ රතන හිමි ගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

(13.11.2019 – colombotoday.com)

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමෙන් ඉවත් වූ බවට උන්වහන්සේගේ ලිපි ශීර්ෂය සහ අත්සනින් යුතුව සමාජ ජාලාවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව සඳහන් කරමින් එහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය :

+++++++++++++++++++++

***************************************

රෝහණ විජේවීර ඝාතනය කර අදට අවු 30 යි… ඇසින් දුටු සාක්ෂියක් ජවිපෙ අනුරලාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි

(13.11.2019 – colombotoday.com)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (13) වසර 30 ක් සපිරෙයි.

ජවිපෙ දෙවැනි සන්නද්ධ කැරැල්ල අතරතුර උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟව සිටියදී අත් අඩංගුවට ගත් ඒ මහතාව 1989 නොවැම්බර් 13 වනදා අළුයම බොරැල්ල කනත්ත අසල දී වෙඩිතබා, ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු සිරුර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට දමා පුළුස්සා තිබිණි.

ජවිපෙ නිර්මාතෘවරයාගේ ඝාතනය පිළිබදව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයකු වන එවකට යුද හමුදා පොලීසියේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඉන්ද්‍රානන්ද ද සිල්වා ඉතා උද්වේගකරව අදහස් දක්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

එම වීඩියෝව පහතින් :

https://www.facebook.com/WeR4SL1/videos/2593787200698120/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *