ජාතික ආරක්‍ෂාවට එන්.ජී.ඕ. මැදිහත්වීමේ විපාකය

(13.11.2019 – divaina.com)

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ප්‍රධානතම අපේක්‍ෂකයන් රටේ ජාතික ආරක්‍ෂාව ගැන ප්‍රකාශ කර ඇත. එහෙත් පසුගිය සිව් වසර තුළ ජාතික ආරක්‍ෂාව නොසලකා හැරියේය.

මෙම කාලසීමාව තුළ ජාතික ආරක්‍ෂාව බිඳවැටීමට මුල් වූ හේතුව අපි අද හෙළිදරව් කරන්නෙමු.

  1. යුද හමුදාවේ බුද්ධි සේවාවට රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්වීම
  2. බුද්ධි ප්‍රධානියකු ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිට බල කිරීම
  3. ජාත්‍යන්තර කොටි සංවිධාන 12 ක තහනම ඉවත් කිරීම
  4. විදේශ රටවලට පැනගිය කොටි විවිධ නම්වලින් උතුරට පැමිණීම
  5. කොටි හිතවාදී විදේශගත දේශපාලකයන්ට ශ්‍රී ලංකාවට ඒමට ඉඩදීම
  6. තමිල්නාඩු දේශපාලකයන්ට උතුරේ දොර විවෘත කිරීම
  7. ව්‍යාජ සංහිඳියා ක්‍රියාමාර්ගය
  8. හමුදාව ගැන සෙවීමට විදේශ ගැති රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් පත් කිරීම
  9. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට රජයේ කටයුතුවලට මැදිහත්වීමට ඉඩ දීම

පාස්‌කු ප්‍රහාරය සිදුවූයේ රටේ ආරක්‍ෂක අංශ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා නොකිරීම නිසයි. එසේම ජාතික ආරක්‍ෂාවට ඍජුව මැදිහත්වීමට රජය ඉඩ දුන්නේ සතුරන් පිරිසකටය. ඒ ඩොලර් අරමුදල් ලබන එන්.ජී.ඕ. ප්‍රධානීන්ය. වන්නි මෙහෙයුම නිමාවී 2015 නව රජයක්‌ පිහිටුවීමෙන් පසු මෙරට පාලනයට මැදිහත්වූයේ මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ය. ඇතැම් එන්.ජී.ඕ ප්‍රධානීන්ට ස්‌විට්‌සර්ලන්තයේ සංචාරද හිමි විය. මේ තත්ත්වය මැද ලොව කිසිදු රටක්‌ තම ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීමටත් බුද්ධි ප්‍රධානියකු ඉවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින්ට ඉඩදේද? එහෙත් මෙරට සිදුවූයේ එම අවසානාවන්ත තත්ත්වයයි. දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත් වූ මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු 72 ක්‌ ආරක්‍ෂාවට ද අත තබා ඇත. එහි ප්‍රතිඵලය භයානක විය. පාස්‌කු ඉරිදා ප්‍රහාරය ඊට නිදසුනකි.

2015 පැවැති රජය සංහිඳියාව හමුදාව තුළට රිංගුවේය. හමුදා කණ්‌ඩායමක්‌ රුවන්ඩාවට ගොස්‌ එරට සංහිඳියා ක්‍රියාමාර්ග ගැන විමසනු ලැබීය. එහෙත් සතුරන් අවස්‌ථාව එනතුරු බලා සිටින බව හමුදාව අවබෝධ කර ගත්තේ නැද්ද?

මේ රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ කොටි පාලන සමයේ කොටින්ට සහය දැක්‌වීය. කොළඹ එක්‌ සංවිධානයක්‌ කොටින්ට අත්වාරු ලබා දුන්නේය. විදේශ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ ද කොටින්ට උදව්දීමට ක්‍රියා කරනු ලැබීය.

මේ නිසා රාජ්‍ය නොවන සංවිධානවල නීතිවිරෝධී ක්‍රියා හෙළි වීම නිසා එම සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට නතු විය. එහෙත් වත්මන් රජය රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශය පාලනයෙන් ඉවත් කෙරුණි.

මේ නිසා ජාතික ආරක්‍ෂාව වනසා දැමීමට හෝ ඊට එරෙහිව ක්‍රියා කිරීමටද එන්.ජී.ඕ. ප්‍රධානින්ට හැකි විය. මේ බව තහවුරු වූයේ මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් හමුදාවට එරෙහිව තොග පිටින් පෙත්සම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑවීමට ක්‍රියා කිරීමයි.

එසේ වුවත් රජය නිහඬ විය. මෙහි ප්‍රතිඵලය වූයේ හමුදා ප්‍රධානීන් 58 කට යුද අපරාධ චෝදනා එල්ල වීමයි.

මේ අයහපත් තත්ත්වය වර්ධනය වී ශ්‍රී ලංකා සාමසාධක බලකායේ සියයට 25 ක්‌ තහනමට ලක්‌ විය. එසේ වුවත් රජය මේ රාජ්‍ය නොවන සංවිධානවලට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉඩ දී තිබේ. එසේම මෙම එන්.ජී.ඕ. සංවිධානවල ඇතැම් පාර්ශ්ව තවත් මාධ්‍යවේදීන් ලෙස ජනතාව රවටති. ඇතැම් පාර්ශ්ව විදේශ රටවල බෙදුම්වාදී අර්බුදවලටද ඍජුව මැදිහත්වෙති.

මෙයට කලකට පෙර එක්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ නැගෙනහිර ටිමෝරයට සහය පළ කිරීම සඳහා ඉන්දුනීසියාවට පැමිණි අවස්‌ථාවේ ඔහු ආපසු මෙරටට පිටුවහල් කරනු ලැබීය. තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියෙක්‌ තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති බවට දැක්‌වෙන ලැයිස්‌තුවට නම ඇතුළත් කර ඇමරිකාවට පැන ගියේය. ඉන්පසු ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඊට පසු ඔහු සාධාරණ සමාජය නමින් අටවාගත් සංවිධානයකට සම්බන්ධ විය. ඉන්පසු ඔහු රජයේ පුවත්පතකට රිංගුවේය. මේ මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගේ තක්‌කඩි වැඩය. එහෙත් අතීතය වසන් කර ඇත.

මෙවන් පසුබිමක්‌ මැද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු මෙරට ආණ්‌ඩු පහකිරීම, ජනපති පහකිරීම. හමුදාපති හා බුද්ධි ප්‍රධානියා පහකිරීම සහ පොලිස්‌පති පහකිරීමද තමන්ගේ රාජකාරියක්‌ යැයි සිතා ක්‍රියා කරති. එසේම මේ සතියේ රාත්‍රියේ විද්යුත් නාලිකාවක ප්‍රවෘත්ති විකාශයක්‌ තුළ එක්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු පැවසුවේ මෙරට ‘රණවිරු ගායක්‌’ ඇතිවී තිබෙන බවයි. එහෙත් මොහු අද නිදහසේ ගමන් කරන්නේ රණවිරුවන් නිසා බව ඔහුට අමතක වී ඇත.

– කීර්ති වර්ණකුලසූරිය

***************************************

සහතිකය දුන් පසු පුරවැසිභාවය අහෝසි වනවා – අමෙරිකාව

(13.11.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

යම් පුද්ගලයෙකුට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා අමෙරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයෙකු ලෙස සැලකෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය ‘අද දෙරණ’ට ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අදාළ පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු හිටපු අමෙරිකානු පුරවැසියෙකු ලෙසින් සැලෙකෙන බවයි.

එමෙන්ම ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළද අමෙරිකානු පුරවැසිභාවය අහිමිවු පුද්ගලයෙකුගේ නම අමෙරිකානු ෆෙඩරල් ලැයිස්තුවට ඇතුළත් වීම හුදෙක්ම ආදායම් බදු පිළිබඳ කාරණාවක් පමණක් බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය මෙසේ කරුණු පැහැදිලි කළාය.

“අපිට වැටහෙනවා මේ මාතෘකාව ගැන විශාල උනන්දුවක් තිබෙන බව.

නමුත් පෞද්ගලිකත්වය රැකීමේ අදාළ අමෙරිකානු නීතිවලට යටත්ව මට පුද්ගලයින්ගේ පුරවැසිභාවය සහ වීසා ගැටලු ගැන අදහස් දක්වන්න හැකියාවක් නැහැ.

නමුත් මේ පුරවැසිභාවය ඉවත් කරගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක්.

ඔබට මේ සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර ගැන සෑම තොරතුරක්ම දැනගන්න පුළුවන් travel.state.gov වෙබ් අඩවියට පිවිසීමෙන්.

ජනතාව මේ ක්‍රියාවලියට අදාළ ලියකියවිලි සහ පියවර සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනයක් කිරීමට උනන්දුවනවා නම් :

  • පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන්.
  • ලියකියවිලි සකස් කරන්නෙත් භාරදෙන්නෙත් තානාපති කාර්යාලයේදීයි.
  • පසුව එය වොෂින්ටන්හී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා අවසන් ක්‍රියාවලිය සඳහා.
  • පසුව අමෙරිකානු පුරවැසිභාවය අවලංගු වීමේ සහතිකයක් හිටපු අමෙරිකානු පුරවැසියාට හිමිවනවා.
  • ඒ ලියකියවිලි සම්බන්ධ කටයුතු අවසන් වූ පසුව පුරවැසිභාවය ඉවත් කරගත් අයගේ නම් අභ්‍යන්තර ආදායම් සේවයට යොමුකරනවා. එය අපගේ බදු සම්බන්ධ ඒජන්සිය. එය මුළුමනින්ම වෙනස් වූ නිලධාරී තන්ත්‍රයක්.”

මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ඔහුගේ නීතිඥයින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *