මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ බලපෑමක් ගැන විශ්‍රාමික කපිතාන්වරයෙකුගෙන් හෙළිදරව්වක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ බලපෑමක් ගැන විශ්‍රාමික කපිතාන්වරයෙකුගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• ගෝඨාභයට සහය පළ කිරීමට තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට (විඩියෝ)

• ගෝඨාභයට එරෙහිව දේශීය හා විදේශීය උපක්‍රම පැවතිය හැකියි – නිදහස් පක්ෂ වැඩබලන සභාපති (විඩියෝ)

• අද (13) මධ්‍යම රාත්‍රියෙන් පසු සමාජ මාධ්‍ය භාවිතය ගැන ඡන්ද කොමිසම අවධානයෙන් (විඩියෝ)

• රට හදමු ජය සාමකාමීව සමරමු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියයි (විඩියෝ)

• පොදුජන පෙරමුණේ ලන්ඩන් සාමාජිකයින් පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

• නිහඬතාව බිඳිමින් මැතිවරණයට දින දෙකක් තිබියදී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් (විඩියෝ)

• රට ආරක්ෂා කළ හැකි නායකයෙකු පත්කර ගන්නැයි අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක් (විඩියෝ)

• ගෝඨාභයට පළාත් හතක ජය නියතයි – බැසිල් රාජපක්ෂ (විඩියෝ)

• ඔබේ දරුවන්ගේ ආරක්ෂාව මම භාරගන්නවා – ගෝඨාභය රාජපක්ෂ

• මැතිවරණ රාජකාරී මහහරින නිලධාරීන්ට නඩු පවරනවා

• බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩ, විද්‍යොදය, විද්‍යාලංකාර මහ පිරිවෙන්වලින් ජාතියට නිවේදනයක් !

• අමාත්‍ය රවුෆ් හකීම් පුද්ගලික නාලිකා 2 කට අනතුරු අඟවයි

+++++++++++++++++++++++++++++++++++

මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ බලපෑමක් ගැන විශ්‍රාමික කපිතාන්වරයෙකුගෙන් හෙළිදරව්වක්

(13.11.2019 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ඇවන්ගාඩ් ආයතනය හරහා විදේශීය ත්‍රස්ත සංවිධානවලට ආයුධ ලබාදුන් බවට ප්‍රකාශ කර ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඇතුළු පිරිසක් තමන්ට බලපෑම් සිදුකළ බව විශ්‍රාමික කපිතාන් උදය දිසානායක මහතා පවසනවා.

ඔහු මේ පිළිබද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ද සිදුකළා.

මේ අතර, දෙමළ ඩයස්පෝරාවේ පිරිස් මෙරටට පැමිණ සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාගැනීමට උතුරේ ජනතාවට මුදල් ලබාදෙන බව පවසමින් සිංහලේ අපි ජාතික සංවිධානයේ පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් පොලිස් මූලස්ථානය වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

***************************************

ගෝඨාභයට සහය පළ කිරීමට තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(13.11.2019 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සදහා ඊයේ (12) රාත්‍රි සහ අද (13) උදෑසන විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසක් දිවයිනට පැමිණියා.

මේ සම්බන්ධයෙන් ජගත් දේශප්‍රේමී ලාංකීය සංවිධානය සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය එක්ව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද අදහස් පළ වුණා.

මේ අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකගේ අයිතීන් සුරැකීමේ සංවිධානය ද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

ගෝඨාභයට එරෙහිව දේශීය හා විදේශීය උපක්‍රම පැවතිය හැකියි – නිදහස් පක්ෂ වැඩබලන සභාපති

(13.11.2019 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියත ජයග්‍රහණයේ වටිනාකමට හානි කිරීමට දේශීය බලවේග සහ විදේශීය උපක්‍රම ක්‍රියාත්මක විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද එක්ව සිටියා.

***************************************

අද (13) මධ්‍යම රාත්‍රියෙන් පසු සමාජ මාධ්‍ය භාවිතය ගැන ඡන්ද කොමිසම අවධානයෙන්

(13.11.2019 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන සියලු කටයුතු මේ වනවිට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර අද (13) මධ්‍යම රාත්‍රියේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාර සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද කොමිසමේ සභාපතිවරයා එහිදි සඳහන් කළා.

ගම් මට්ටමින් ඉදිකර ඇති මැතිවරණ කාර්යාලවල නාම පුවරු අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කළ යුතු බවත්, කාර්යාල අනිද්දා (15) සිට ඉවත් කළ යුතු බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම මෙවර මැතිවරණයේ වියදම ඉහළ යාමේ අවදානමක්ද පවතින බවයි කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

රට හදමු ජය සාමකාමීව සමරමු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියයි

(13.11.2019 – 19:09 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ ව්‍යාපාරය ආදර්ශමත්ව ක්‍රියාත්මක කළ අයුරින්, ජයග්‍රහණයද සාමකාමීව භුක්ති විඳින ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළා.

ඒ, තිස්සමහාරාම ප්‍රදේශයේ අද (13) පැවති ජන රැළියට එක්වෙමින්.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඇතුලු පිරිසක් එම රැළියට එක්ව සිටියා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් වූ තවත් ජන රැළියක් මාතර නගරයේදී අද පැවැත්වුණා.

එහිදී ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

මේ අතර ජනාධිපතිවණය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසන් ජන රැළිය කැස්බෑව නගරයේදී ආරම්භ වී තිබෙනවා.

***************************************

පොදුජන පෙරමුණේ ලන්ඩන් සාමාජිකයින් පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

(13.11.2019 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සාමාජිකයින් පිරිසක් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදුවුණා.

ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදියි.

ආණ්ඩුවට දිනෙන් දින ඇතිවූ අර්බුද නිරාකරණය කරගැනීමට නොහැකිවූයේ ජනාධිපති සහ අගමැතිවරයා අතර අන්‍යනෝන්‍ය අවබෝධයක් නොතිබීම නිසා බවයි මෙහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

එහෙත් ඉදිරි දින කිහිපයේදි පිහිටුවන තම රජයක් යටතේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර, කිසිදු ගැටළුවක් ඇතිවීමට ඉඩ නොතබන බව ඔහු සඳහන් කළා.

යුද්ධය වසර තුනහමාරක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කර රට වේගවත් සංවර්ධනයකට ගෙන යා හැකිවූයේ ද එවකට ආරක්ෂක ලේකම්වරයා සහ තමා අතර පැවති සහෝදර බැඳීම හේතුවෙන් බවයි එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

***************************************

නිහඬතාව බිඳිමින් මැතිවරණයට දින දෙකක් තිබියදී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(13.11.2019 – 13:27 +0530 – hirunews.lk/sinhala)

වත්මන් අර්බුධයෙන් රට ගොඩගතහැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

***************************************

රට ආරක්ෂා කළ හැකි නායකයෙකු පත්කර ගන්නැයි අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක්

(13.11.2019 – 12:41 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙකු පත් කර ගන්නා ලෙස අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ඉල්ලීමක් කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අස්ගිරි පාර්ශවය වෙනුවෙන් මාධ්‍ය වෙත අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මේ අතර ප්‍රංශය, ඉන්දියාව, ජපානය ඇතුළු විවිධ රටවල් නියෝජනය කරමින් ඒකාබද්ධ භික්ෂු පෙරමුණ නමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹදී පැවත්වුණා.

රට, ජාතිය, ආගම සුරක්ෂිත කිරීමේ අරමුණින් රටවල් 20 ක් නියෝජනය කරන සිහ සේනා ජාත්‍යන්තර සංවිධානයේ භික්ෂූන් වහන්සේ ද මෙරටට පැමිණ ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු තීරණය දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මහා සංඝරත්නය අදහස් පළකළා.

***************************************

ගෝඨාභයට පළාත් හතක ජය නියතයි – බැසිල් රාජපක්ෂ

(13.11.2019 – 12:39 +0530 – hirunews.lk/sinhala)

මීළඟ පුර පසළොස්වක පොහොය උදාවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ බව එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් 7 ක් නියත වශයෙන්ම ජයගන්නා බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/slppmediacentre/videos/2554096051351667/

***************************************

ඔබේ දරුවන්ගේ ආරක්ෂාව මම භාරගන්නවා – ගෝඨාභය රාජපක්ෂ

(13.11.2019 – 23:04 +0530 – sinhala.adaderana.lk)

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වන ජනරැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් අවසන් ජනරැලිය අද (13) පෙරවරුවේ පැවැත්වුණේ වීරවිල පොදු ක්‍රීඩාංගණයේදීයි.

එම රැලියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

රැලිය පැවැත්වෙන අතරතුර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඊට එක්වුණි.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවුණේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති ජනරැළියටයි.

මාතර පැවති ජන රැළියට සහභාගීවෙමින් එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් කර තිබෙනවා ජාතික ආරක්ෂාවට විශාල තැනක් ලබාදෙන බව. අපි බුද්ධි අංශ යොදලා හොඳ ආරක්ෂක සැලැසුමක් හදලා තිබුණා.

නමුත් මේ රජය බලයට පැමිණියාට පසුව රණවිරුවන්ට විරුද්ධ වන රාජ්‍ය නොවන සංවිධාන වල බලයට යට වූ ඇමති මණ්ඩලයක් තිබෙන රජය රටේ ජාතික ආරක්ෂාව නැතිකර දැමුවා.

ත්‍රස්තවාදීන්ට එරෙහිව බුද්ධි තොරතුරු හොයපු නිළධාරින්ව තමයි හිරගෙට යැව්වේ. ඒ විදිහටයි ඔවුන්ගේ මානසිකත්වය කඩා වැට්ටුවේ. ඔවුන් මේ ත්‍රස්ත ප්‍රහාර ගැන කියන්න යන විට ඔවුන්ට බැන්නා නැවතත් යුද්ධයක් ඇතිකරන්න හදනවා කියලා.

අපිට තිබුණ හොඳම බුද්ධි අංශය තමයි යුධ හමුදා බුද්ධි අංශය ඔවුන්ව හිරේ දැමුවා. ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින්ව පාවිච්චි කළේ දේශපාලන පළිගැනීම් සිදුකරන්න. මානසිකත්වය කඩා දැමුවාට පසුව නිලධාරින් වැඩ කරන්නේ නැහැ.

ඔවුන්ට හොඳ නායකත්වයක් ලබාදිය යුතුයි. එදා මහින්ද රාජපක්ෂ මහතා ඒ නායකත්වය ඔවුන්ට ලබාදුන්නා. අපි නැවත වතාවක් මේ රටේ කිසිම ත්‍රස්තවාදයකට අන්තවාදයකට හිස ඔසවන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ඔබේ වගේම ඔබේ දරුවන්ගේ ආරක්ෂාව මම භාරගන්නවා.

අද රාජ්‍ය සේවය ඉතාමත් අකර්මන්‍යයි. අපි ගෙන ආ සියලු සංවර්ධන වැඩ කටයුතු මග නැවැත්තුවා. මේ නිසා ලක්ෂක පමණ රැකියා නැති වුණා. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ විශාල ඉඩක් ලබාදීලා තිබෙනවා මානව සම්පත සංවර්ධනය කරන්න.

මාතර කියන්නේ විශාල බුද්ධිමතුන් සිටින දිස්ත්‍රික්කයක් අපි අපේ රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරනවා.”

මේ අතර කළුතර නගරයේ සංවිධාන කළ ජනරැලියටද ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පස්වරුවේ සහභාගි වුණි ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

මැතිවරණ රාජකාරී මහහරින නිලධාරීන්ට නඩු පවරනවා

(13.11.2019 – 22:48 +0530 – lankadeepa.lk)

මැතිවරණ රාජකාරී මහහරින සහ මැතිවරණ කොමිසමේ විධාන උල්ලංඝනය කරන රජයේ සේවකයින්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙවර මැතිවරණ රාජකාරී මග හැරීම සඳහා අසත්‍ය හා එතරම් පිළිගත නොහැකි හේතුවෙන් ඉදිරිපත් කරමින් රජයේ නිලධාරීන් පිරිසක් රාජකාරී මහහැරීම කටයුතු කිරීමේ සුදානමක් පවතින බවද එහිදී දේශප්‍රිය මහතා කීය.

මැතිවරණ රාජකාරී මගහැරීම සහ කොමිසමේ විධාන උල්ලංඝනය කිරීමට අධිකරණය මගින් වරදකරුවකු වන රජයේ සේවකයකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සමඟ වසර තුනක සිරදඩුවමක් ලබාදිය හැකි බවද දේශප්‍රිය මහතා කීය ෴

***************************************

බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩ, විද්‍යොදය, විද්‍යාලංකාර මහ පිරිවෙන්වලින් ජාතියට නිවේදනයක් !

(13.11.2019 – colombotoday.com)

‍මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන විද්‍යෙදය සහ විද්‍යාලංකාර මහ පිරිවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එළඹෙන ජනාධිපතිවරණය රටට, ජාතියට ඉතා වැදගත් එකක් බවත්, ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන, ජාතික ආරක්ෂාව සැලසීමේ පලපුරුද්ද ඇති නායකයෙකුට රටේ බලය ලබාදිය යුතු බව එම නිවේදන මගින් පෙන්වා දෙයි.

යුද්ධය නිමාවී නිදහස් හුස්ම ගැනීමට හැකිවූයේ වසර දහයක් පමණක් බවත්, අමනෝඥ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට සමාජය නැවත වරක් ත්‍රස්ත බියෙන් ඇළලී ගිය බවත්, බටහිර න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන, බෙදුම්වාදී බලවේගවලට යළි බලය ලබා නොදිය යුතු බවත්, රටට, ජාතියට, ශාසනයට ආදරය කරන, අන්තවාදයට යටත් නොවී රටේ එකම නීතියක් ක්‍රියාත්මක කළ හැකි, සෘජු තීරණ ගන්නා ශක්තිමත් නායකයෙක් පත්කර ගැනීමට සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම කටයුතු කළ යුතු බවද එම නිවේදනය මගින් වැඩිදුරත් ප්‍රකාශ කර ඇත.

විද්‍යාලංකාර මහ පරිවෙනාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සහ විදුදැය මහ පිරිවෙන්පති පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර ඇත.

***************************************

අමාත්‍ය රවුෆ් හකීම් පුද්ගලික නාලිකා 2 කට අනතුරු අඟවයි

(13.11.2019 – 22:00 +0530 – lankaleadnews.com)

එක්සත් ජාතික පක්ෂය නැවත බලයට පැමිණි පසු පුද්ගලික නාලිකා 2 කට පාඩමක් ඉගැන්වීමට තමන් සූදානමින් සිටින බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. ඊයේ (13) මාතලේ පැවති ජන රුළියක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය :

“ගියවර 2015 දීත් මේ පුද්ගලික නාලිකා තිබුණේ ඒ කඳවුරේ. ඒ පුද්ගලික නාලිකා 2 ටම හොඳ පාඩමක් උගන්වනවා නියතයි නියතයි. අපි පුද්ගලික නාලිකා වුණත් තරහා කරගන්න කැමති නෑ. නමුත් මම අද අනතුරු අඟවනවා මේ නාලිකාවලට. මම එන්තරවාසි යවනවා මට වෙච්ච අලාභය පිළිබඳව.”

***************************************

https://www.youtube.com/watch?v=Cz6Vs5rUAO4
13-11-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *