පාසලේදී ප්‍රචාරණ පත්‍රිකා බෙදූ ගුරුවරියක් අත්අඩංගුවට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාසලේදී ප්‍රචාරණ පත්‍රිකා බෙදූ ගුරුවරියක් අත්අඩංගුවට (විඩියෝ)

• හිසට සෙවණක් දුන් හිරු සත්කාරය (විඩියෝ)

• වෛද්‍ය නොසැලකිල්ලෙන් පසුතැවිල්ල පමණක් උරුම වූ මවක් (විඩියෝ)

• පෞද්ගලික නාලිකා දෙකකට තර්ජනය කළ ඇමති හකීම්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි 2 ක් (විඩියෝ)

• ඡන්දය දෙන්න ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා (විඩියෝ)

• දේශපාලන නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් (විඩියෝ)

• ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට (15) උදෑසන ඇරඹේ – සමාජ මාධ්‍ය ගැන රහස් පොලීසිය අවධානයෙන්

• මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට (විඩියෝ)

• දුම්රිය කිහිපයක කාල සටහන් වෙනස් වෙයි

• නිහඬ කාලසීමාව සාමකාමීයි – පොලිසිය කියයි (විඩියෝ)

• ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර අනුව සියළුම සේවා නියුක්තිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

• අපක්ෂපතාතී වන්නැයි මැතිවරණ රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක්

• තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ දෙකක් මැතිවරණ කොමිසමට භාරදෙයි

• ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට සියල්ල සුදානම්

• දිවයිනේ සියලු පාසල් අද දිනයේ වසා තැබේ

• මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පාසලේදී ප්‍රචාරණ පත්‍රිකා බෙදූ ගුරුවරියක් අත්අඩංගුවට

(14.11.2019 – 19:11 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ කාන්තාවක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ නගරයේ පාසලක ගුරුවරියක් විසින් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් අද (14) දින පාසල තුළ අත්පත්‍රිකා බෙදා හැර ඇති අතර, ඒ අනුව පොලීසිය ඇය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර, දුම්මලසූරිය – වීරකොඩියාන ප්‍රදේශයේදී ද මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඔහුගේ යතුරුපැදියෙන් ගෙන්ගෙට යමින් අත්පත්‍රිකා බෙදමින් සිටින බවට ලද තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ යතුරුපැදිය තුළ තිබී තවත් අත්පත්‍රිකා 155 ක් සහ ලියුම් කවර 30 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු මාදම්පේ ප්‍රදේශයේ පාසලක මුරකරුවෙකු ලෙස සේවය කරන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, පසුගිය සැප්තැම්බර් මස 29 වන දින සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ පොලීිසියට මැතිවරණ පැමිණිලි 105 ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 111 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

එම කාලය තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 83 ක්.

***************************************

හිසට සෙවණක් දුන් හිරු සත්කාරය

(14.11.2019 – 19:58 +0530 – hirunews.lk/sinhala)

රට කරවන බලධාරීන්ගේ නෙත නොගැටුණු අසරණ පවුල් 75 ක් ජීවත්වන රත්නපුර – දොඩම්පේ ප්‍රදේශයේ ගම්මානයක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා.

ඒ අනුව දානපතියන් විසින් එම ගම්වැසියන්ට පිහිටක් වන්නට ඉදිරිපත්ව තිබෙනවා.

රත්නපුර – දොඩම්පේ – චිත්තවිවේකාශ්‍රම විහාරස්ථානයට හිමිව තිබූ අක්කර 52ක භූමිභාගයක් අසරණ ජනතාව වෙත බෙදා දීමට විහාරාධිපති පූජ්‍ය කොටපොල සුධම්ම හිමියන් ක්‍රියාකර තිබුණා.

2005 වසරේ සිට ආරම්භ කෙරුණු මෙම ගම්මානය පුන්‍ය ග්‍රාමය නමින් නම්කර තිබෙනවා.

බිම් අඟලක් හෝ හිමිකාරිත්වයක් නොමැති අසරණ පවුල් 75 කට උන්වහන්සේ විසින් පර්චස් 10 බැගින් බිම් කොටස් ලබාදී තිබුණා.

එහෙත් ගම්වාසීන්ට නිවාස තනා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැතිකමින් ඔවුන් තාවකාලික නිවාසවල ජීවත්වුණා.

මේ ගම්මානය පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණ කළේ පසුගිය සැප්තැම්බර් 13 වැනිදායි.

ඒ අනුව, මෙම ගම්මානයේ පවුල් 5 ක් සඳහා නිවාස තනාදීමට දායක පිරිස් තම කැමැත්ත පළකර තිබුණා.

ඒ අනුව පසුගියදා එම නිවාස තැනීම සඳහා පූජ්‍ය කොටපොළ සුධම්ම හිමිගේ අනුශාසනාව යටතේ මුල්ගල් තැබීම සිදුකෙරුණා.

රට කරවන බලධාරීන්ගේ නෙත නොගැටුණු අසරණ පවුල් 75 ක් ජීවත්වන රත්නපුර – දොඩම්පේ ප්‍රදේශයේ ගම්මානයක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා.

ඒ අනුව දානපතියන් විසින් එම ගම්වැසියන්ට පිහිටක් වන්නට ඉදිරිපත්ව තිබෙනවා.

රත්නපුර – දොඩම්පේ – චිත්තවිවේකාශ්‍රම විහාරස්ථානයට හිමිව තිබූ අක්කර 52 ක භූමිභාගයක් අසරණ ජනතාව වෙත බෙදා දීමට විහාරාධිපති පූජ්‍ය කොටපොල සුධම්ම හිමියන් ක්‍රියාකර තිබුණා.

2005 වසරේ සිට ආරම්භ කෙරුණු මෙම ගම්මානය පුන්‍ය ග්‍රාමය නමින් නම්කර තිබෙනවා.

බිම් අඟලක් හෝ හිමිකාරිත්වයක් නොමැති අසරණ පවුල් 75 කට උන්වහන්සේ විසින් පර්චස් 10 බැගින් බිම් කොටස් ලබාදී තිබුණා.

එහෙත් ගම්වාසීන්ට නිවාස තනා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැතිකමින් ඔවුන් තාවකාලික නිවාසවල ජීවත්වුණා.

මේ ගම්මානය පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණ කළේ පසුගිය සැප්තැම්බර් 13 වැනිදායි.

ඒ අනුව, මෙම ගම්මානයේ පවුල් 5 ක් සඳහා නිවාස තනාදීමට දායක පිරිස් තම කැමැත්ත පළකර තිබුණා.

ඒ අනුව පසුගියදා එම නිවාස තැනීම සඳහා පූජ්‍ය කොටපොළ සුධම්ම හිමිගේ අනුශාසනාව යටතේ මුල්ගල් තැබීම සිදුකෙරුණා.

***************************************

***************************************

වෛද්‍ය නොසැලකිල්ලෙන් පසුතැවිල්ල පමණක් උරුම වූ මවක්

(14.11.2019 – 22:42 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවකට පෙර සිදු වූ වෛද්‍ය නොසැලකිල්ල තමන්ට පසුතැවිල්ලක් පමණක් උරුම කර ඇති බවට කුරුණෑගල පදිංචි මවක් චෝදනා කරනවා.

කුරුණෑගල, වයස අවුරුදු 13 ක් වන දුල්ෂාන්ට, දෙපයින් හිටගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුයේ කෙසේද ?

නමුත් දිනෙන් දින සිදුවන අසාමාන්‍ය වෙනස්වීම් හමුවේ නැවතත් තම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකරවන්නට ඇයට සිදුවනවා.

බලාපොරොත්තු දහසක් මැද මෙලොවට බිහි කල තම දරුවාට අත්වූ ඉරණම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දැනුවත් කළත්ල අද දක්වා ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවට මේ මව චෝදනා කරනවා.

තමන් සතු වූ සියලු දෑ දුල්ෂාන්ගේ රෝගී තත්ත්වය වෙනුවෙන් මේ මාපිය යුවළ කැප කරන්නේ තම දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට කල නොහැක්කක් නොමැති බව පසක් කරමිනුයි.

දිනෙක මා පියන් සතු එකම වත්කම වන්නේල දහසකුත් බාධක මැද උස් මහත් කර ලෝකයට දායාද කළ තම ආදරණීය දරුවන් පමණයි.

අද මේ මවටත් ඇති එකම පැතුම තම ආදරණීය දරුවාගේ අනාගතය පිලිබදවූ සුබ සිහින පමණයි.

***************************************

පෞද්ගලික නාලිකා දෙකකට තර්ජනය කළ ඇමති හකීම්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි 2 ක්

(14.11.2019 – 22:31 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික නාලිකා දෙකකට තර්ජනය කරමින් අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතාට එරෙහිව සංවිධාන දෙකක් අද (14) පොලිස් මූලස්ථානයට පැමිණිලි ගොනු කළා.

ඊට අමතරව කබීර් හෂීම් සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට එරෙහිවද පොලිස් මූලස්ථානයට සහ අධිකරණයට පැමිණිලි දෙකක් ගොනු කෙරුණා.

පෞද්ගලික නාලිකා දෙකකට ‘හොඳ පාඩමක් උගන්වන’ බව පවසමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ (13) සිදු කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ‘සත්‍ය ගවේශකයෝ’ සංවිධානය සහ ‘සිංහලේ අපි’ සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි දෙකක් සිදු කළා.

මේ අතර සතිඅග ජාතික පුවත්පතක ජෝතිශ්‍ය අතිරේකයක් සඳහා එක් අපේක්ෂකයකුට අවාසිවන අයුරින්ල තම ලිපියක් යොදාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාට විරුද්ධව ජ්‍යෝතීර්වේදී හේමසිරි විජේසිංහ මහතා විසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා.

මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ සුදු වෑන් රථයක් පැදවූ බව කියන රියදුරා සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම පැහැර හැරීමට එරෙහිව නීතිඥයින් පිරිසක් අද කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කළා.

***************************************

ඡන්දය දෙන්න ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා

(14.11.2019 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (15) සහ මැතිවරණ පැවැත්වෙන අනිද්දා (16) දිනවලදී සාමාන්‍ය කාල සටහන යටතේ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, හෙට (15) දිනයේදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අමතර දුම්රියක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි වජිර පොල්වත්තගේ සඳහන් කළා.

මේ අතර, ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද සිට අතිරේක බස් රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ද කියා සිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය පෞද්ගලික බස් රථ දැනටමත් ප්‍රමාණවත් පරිදි යොදවා ඇති බවයි.

***************************************

දේශපාලන නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

(14.11.2019 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයට දැන්වීම් සහ සටහන් තැබීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසනවා.

ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

නිහඬ කාලසීමාවේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, මැතිවරණය පැවැත්වෙන දිනයේ කොමිෂන් සභාවේ සැලසුම්, ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම යන කරුණු ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයෝජන මණ්ඩල කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සූදානමක් පවතින බවට මැතිවරණ කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව පරීක්ෂා කළ බවයි වාර්තා වන්නේ.

***************************************

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට (15) උදෑසන ඇරඹේ – සමාජ මාධ්‍ය ගැන රහස් පොලීසිය අවධානයෙන්

(14.11.2019 – 18:35 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු හෙට (15) සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,179 කට අදාළව ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණද මේ වනවිට යොමුකර ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ.

මේ අතර, දිවයිනේ සියලු රජයේ පාසල් හෙට (15) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම, මැතිවරණය පැවැත්වෙන අනිද්දා (16) සහ ඊට පසුදින (17) දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශය සැලසීමේ අපේක්ෂාවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි මෙලෙස සුරාසැල් වසා තැබෙනු ඇති.

එමෙන්ම, ජනාධිපතිවරණයට අදාළව ක්‍රියාත්මක නිහඬ කාලසීමාවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිද්ධීන් වැළැක්වීම සඳහා පොලිසිය විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර, ජනාධිපතිවණයට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවන නිලධාරීන් අද (14) අලුයම පොලිස් කොට්ඨාශ වෙත පිටත් කර යැවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර, නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ සයිබර් ඒකකයේ සහය ලබාගනිමින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

***************************************

මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(14.11.2019 – 17:00 +0530 – hirunews.lk/sinhala)

දුම්මලසූරිය – වීරකොඩියාන ප්‍රදේශයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඔහුගේ යතුරුපැදියෙන් ගෙන්ගෙට යමින් අත්පත්‍රිකා බෙදමින් සිටින බවට ලද තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ යතුරුපැදිය තුළ තිබී තවත් අත්පත්‍රිකා තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

යතුරුපැදිය සහ සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

දුම්රිය කිහිපයක කාල සටහන් වෙනස් වෙයි

(14.11.2019 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන බවයි. එමෙන්ම, එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලබන වේලාව පෙරවරු 6.15 ලෙස සංශෝධනය කර තිබෙනවා.

සංශෝධිත කාල සටහනට අනුව එම දුම්රිය සවස 3 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්වනු ඇති.

පස්වරු 2 යි 15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය සංශෝධිත කාල සටහනට අනුව ගමන් ආරම්භ කරන්නේ පස්වරු 1 යි 35 ටයි ෴

***************************************

නිහඬ කාලසීමාව සාමකාමීයි – පොලිසිය කියයි

(14.11.2019 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව ආරම්භ වී ඇති නිහඩ කාලසීමාවේ මේ දක්වා කිසිදු කඩාකප්පල්කාරී සිද්ධියක් වාර්තා වී නොමැති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (13) මැදියම් රැයින් අවසන් වූ අතර නිහඬ කාලසීමාව තුල මැතිවරණ නීති උල්ලංගණය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් නිහඩ කාලසීමාවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මෙලෙස අදහස් පළ කළා.

එමෙන්ම ප්‍රචාරක කටයුතු අවසන් වීමත් සමඟ මැතිවරණ පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනයට ලබා දී තිබූ කාලයද ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර එලෙස ප්‍රදර්ශණය කර තිබූ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමේ කටයුතු පොලිසිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ආරාධනා කර සිටින නිරීක්ෂකයින් 18 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු සදහන් කළේ ඉන්දියාව, භූතානය, පිලිපීනය, බංග්ලාදේශය, මාලදිවයින, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මැතිවරණ නිරීක්ෂකයින් පැමිණ ඇති බවයි.

ඊට අමතරව මෙරට ක්‍රියාත්මක මැතිවරණ නිරීක්ෂණ සංවිධානය සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීමෙන් විදෙස් නිරීක්ෂකයින් 120 කට වැඩි ප්‍රමාණයක් දිවයිනට පැමිණ ඇති බවද වාර්තා වනවා.

***************************************

ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර අනුව සියළුම සේවා නියුක්තිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

(15.11.2019 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියළුම සේවා නියුක්තිකයන්ට නියමිත නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සහ පෞද්ගලික සේවා යෝජකයින්ට දැනුම්දීමක් සිදුකරනවා.

වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව මෙම නිවාඩු ලබාදිය යුතු බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර කිලෝමීටර් 40 ට අඩු නම් දින භාගයක නිවාඩුවක් ද කිලෝමීටර් 40 ත්, 100 ත් අතර නම් දිනක නිවාඩුවක් ද ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

එසේම ඡන්ද මධ්‍යස්ථානයට පවතින දුර කිලෝමීටර් 100 ත් – 150 ත් අතර නම් දින එක හමාරක නිවාඩුවක් සහ කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබාදී යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (15) සහ මැතිවරණ පැවැත්වෙන හෙට (16) දිනවලදී සාමාන්‍ය කාල සටහන යටතේ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, අද (15) දිනයේදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අමතර දුම්රියක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි වජිර පොල්වත්තගේ මහතා සඳහන් කළා.

මේ අතර, ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා ඊයේ (14) සිට අතිරේක බස් රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ද කියා සිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය පෞද්ගලික බස් රථ දැනටමත් ප්‍රමාණවත් පරිදි යොදවා ඇති බවයි ෴

***************************************

අපක්ෂපතාතී වන්නැයි මැතිවරණ රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක්

(15.11.2019 – 08:11 +0530 – sinhala.adaderana.lk)

ඡන්ද විමසීම කිසිවෙකුට විශේෂ සැලකිල්ලක් නොදක්වමින් අපක්ෂපතාතීව සිදු කිරීමට ක්‍රියාකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ රාජකාරීවල නිරත සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඡන්ද විමසීමේදී තමන් සතු කාර්ය භාර්ය යථා පරිදි ඉටු කිරීම පිණිස අනියම් සහයකයින්ගේ සිට තේරීම්භාර නිලධාරීන් දක්වා මැතිවරණ රාජකාරීවල යෙදෙන සෑම රාජ්‍ය සේවකයෙකුම ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.

කිසිවෙකුටත් බිය නොවී කටයුතු කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින මැතිවරණ කොමිසම පවසන්නේ එමනිළධාරීන් වගකිව යුත්තේ මැතිවරණ කොමිසමට සහ අධිකරණයට පමණක් බවයි ෴

***************************************

තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ දෙකක් මැතිවරණ කොමිසමට භාරදෙයි

(15.11.2019 – 06:51 +0530 – sinhala.adaderana.lk)

හෙට(16) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 15 ක පමණ පිරිසක් සුදුසුකම් ලබා සිටියි.

ඔවුන්ගෙන් හැදුනුම්පත් නොමැති ලක්ෂ 02 ක පිරිසකට පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් තාවකාලික හැදුනුම්පත් සකස් කර තිබේ.

එම හැදුනුම්පත් මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇති අතර ඒවා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා ග්‍රාම නිලධාරීන් වෙතින් ලබාගත හැකි බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේය.

එම තාවකාලික හැදුනුම්පත අයදුම්කළ පුද්ගලයන්ට ග්‍රාම නිලධාරීවරයා විමසීමෙන් ඒවා ලබා ගත හැකියි.

අදාළ තාවකාලික හැදුනුම්පත භාවිත කළ හැක්කේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් බව වාර්තා වෙයි ෴

***************************************

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට සියල්ල සුදානම්

(15.11.2019 – 06:47 +0530 – sinhala.adaderana.lk)

2019 ජනාධිපතිවණ ඡන්ද විමසීම හෙට(16) පෙරවරු 07.00 සිට පස්වරු 5.00 දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

ඊට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (15) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙතින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලවල සිටි එම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුවෙයි.

ඒ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදි ඇති බව වාර්තා වෙයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 12,000 ක් යොදා ගන්නා අතර, ප්ලාස්ටික් ඡන්ද පෙට්ටිද යොදාගැනීමට නියමිතයි.

ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබුණු පසු ග්‍රාමනිලධාරීන්ගේ මූලිකත්වයෙන් පෙරහුරුවක්ද පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පැවසුවේය ෴

***************************************

දිවයිනේ සියලු පාසල් අද දිනයේ වසා තැබේ

(15.11.2019 – 06:06 +0530 – sinhala.adaderana.lk)

රජයේ සියලු පාසල් සඳහා අද (15) නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

හෙට (16) පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් පාසල් වැඩිවශයෙන් යොදාගැනීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අද (15) පෙරවරු කාලයේදී ග්‍රාම නිළධාරීන්ගේ භාරයට පත්වන අතර අවශ්‍ය පරිදි ශාලා සකස් කිරීම සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම ඇතැම් පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන්ද, ඇතැම් පාසල් ආරක්ෂක අංශවල භාවිතය සඳහා ද යොදා ගැනීමට සැලසුම් කර තිබේ ෴

***************************************

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

(14.11.2019 – 22:59 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වී ඇති නිහඩ කාලය තුළ අසත්‍ය ප්‍රකාශන, වෛරී ප්‍රකාශන සහ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මකවන බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ එම තත්වය දිගින් දිගටම පැවතියහොත් සමාජ මාධ්‍ය අවහිර කිරීමේ තත්වයකට වුවද යාමට සිදුවන බවයි.

එමෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු වුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඡන්දය භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සහ වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුවන බව මැතිවරණ කොමිසමේ සභාපතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම මුහුණු ආවරණ, අවුකණ්නාඩි පැළඳ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇතුළුවීම ආයුධ සන්නද්ධව ඇතුළුවීම, ඡන්ද මධ්‍යස්ථාන තුලදී අවසර නොමැතිව ඡායාරූප ගැනීම තහනම් බවද ඔහු සඳහන් කළේය.

මේ වනවිට මැතිවරණ කාර්යාල සියල්ල ඉවත් කළ යුතු අතර ඡන්ද කොට්ඨාශ මට්ටමින් පිහිටුවා ඇති පක්ෂ කාර්යාල අද පෙරුවරුව වනවිට ඉවත් කර ගතයුතු වෙයි.

එක් ඡන්ද ප්‍රදේශයකට එක බැඟින් පිහිටුවා ඇති නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල ලබන 17 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වාගෙන යාහැකියි.

ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ පවතින කාර්යාලයක් නම් ඒවා වසා දැමිය යුතු බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *