තෙල් අර්බුදයේ ඇතුළාන්තය – සමන් ගමගේ

(08.11.2017 – divaina.com)

සරලම සරල භාෂාවෙන් කිවහොත් ආණ්‌ඩුව යළිත් වරක්‌ වැඩේ අනාගෙන තිබේ. එසේත් නැතහොත් ඇනගෙන තිබේ. මේ ඇන ගැනීම දැන් යහපාලනයට සාමාන්‍ය දෙයක්‌ වී ඇති සේය. එක්‌ පැත්තකින් මැතිවරණ ඇන ගැනිල්ලය. තවත් පැත්තකින් සයිටම්ය. අනෙක්‌ පැත්තෙන් ව්‍යවස්‌ථා ඇන ගැනිල්ලය.

මේ අතරට එක්‌වූ අලුත්ම ඇන ගැනිල්ල වන්නේa කලට වේලාවට රටට පෙට්‍රල් ටික දීගත නොහැකිව සිදුකර ගත් අනා ගැනිල්ලය. මේවා දකින කල දැන් යහපාලනයට ඡන්දය දුන් නොදුන් බොහෝ මිනිසුන් කියමින් සිටින්නේ “අනේ අම්මේ මෙහෙම ආණ්‌ඩුවක්‌ උපන්තේකට දැක්‌කේ නැතැයි..” කියාය.

එහෙත් කවුරුන් කුමක්‌ කීවත්, කුමකින් කුමක්‌ සිදු වුවත් ආණ්‌ඩුව සිටින්නේ ඇණ ගිලුනාක්‌ මෙන්ය. සියල්ලෙන් විඳවන්නේ රටේ ජනතාවය.

සම්ප්‍රදායානුකූලව සිදු කරන්නාක්‌ වැනි ආණ්‌ඩුවේ අනාගැනිල්ලට අනුව ඇති වූ පෙට්‍රල් අර්බුදය අද වන විට උච්චම තැනට ළඟා වී අවසන්ව ඇත. පැහැදිලිවම කිවහොත් දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ජීවත් වන ජනතාවට එදිනෙදා පරිභෝජනය සඳහා පෙට්‍රල් බිඳක්‌වත් රට තුළ නැත.

එහෙත් ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශයක්‌ සේම ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ඇමැතිවරයකු මෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව නමින් වූ රාජ්‍ය සංස්‌ථාවක්‌ සහ ඒ තුළ සිටිමින් ලක්‍ෂ ගණනින් පඩි ගන්නා නිලධාරි පැලැන්තියක්‌ නම් රටේ ඇත. සැබවින්ම රට තුළ වත්මන් ඉන්ධන හිඟය ඇති වූයේ කුමක්‌ නිසාද?

අද ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා නම් නොකියා කියන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය හමුවේ මෙරට ඉන්ධන වෙළෙඳ පොළට රිංගාගත් ඉන්දීය ඔයිල් සමාගම නිසා මේ අර්බුදය ඇතිවූ බවය. එහෙත් සම්පූර්ණ කතාව ඇත්තේ එතැනද?

නැත. ඇමැතිවරයා එසේ පවසද්දී ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති සඳහන් කරනුයේ මීට මාස තුනකට පමණ ඉහතදී ගනු ලැබූ තීරණයකට අනුව දෛනිකව සංස්‌ථාවට ලැබෙන මුදල්, මුදල් අමාත්‍යංශය හරහා පාලන කිරීමට කටයුතු කිරීමත් සමඟ ඉන්ධන ඇනවුම් කිරීමේදී සංස්‌ථාව මුල්‍ය අර්බුදයකට මුහුණ දෙන තත්ත්වයක්‌ නිර්මාණය වීම වත්මන් පෙට්‍රල් හිඟය ඇතිවීමට තවත් එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූ බවය.

“ආණ්‌ඩුවට සල්ලි නැහැ. ඒ නිසා විදුලිබල මණ්‌ඩලය, ජලසම්පත් මණ්‌ඩලය සහ ඛනිජ තෙල් සංස්‌ථාව වගේ ආයතනවල දෛනිකව එකතුවන මුදල්, මුදල් අමාත්‍යංශය හරයා පාලනය කිරීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කළා. ඒකෙන් තෙල් සංස්‌ථාවට නියමිත පරිදි ඉන්ධන ආනයනය කිරීමේදී මූල්‍යමය ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ ගැටලු මඟහරවා ගන්න සංස්‌ථාවේ බලධාරීන් පසුගිය කාලයේ කළේ අවස්ථානුකූලව කුඩා ප්‍රමාණයන්ගෙන් ඉන්ධන තොග ඇනවුම් කරන එක.

යම් අඩුපාඩුවක්‌ ඇති වුණොත් ඉන්දීය ඔයිල් සමාගමෙන් ඉන්ධන ලබාගන්න පියවර ගත්තා. අද ඉන්දීය ඔයිල් සමාගම බාල පෙට්‍රල් නැවක්‌ ගෙන්නලා ඒක ගන්න කියලා සංස්‌ථාවට කියමින් අර්බුදයක්‌ ඇති කරානම් ඒකට ප්‍රධාන හේතුවක්‌ තමයි මේ ඇතිවෙලා තිබුණ තත්ත්වය..

ඇත්තෙන්ම තෙල් සංස්‌ථාවේ ගබඩා කර තිබූ පෙට්‍රල් තොග අඩු වීමේ ප්‍රමාණය අනුව ඊළඟ තෙල් නැව ඇනවුම් කර මෙරටට ගෙන්වීමට නියමිතව තිබුණේ පසුගිය තුන් වැනිදා. ඒත් ගිණුම්වල මුදල් නොතිබීම නිසා අදාළ සමාගමට ණයවර ලිපිය යවන්න සංස්‌ථාවට නොහැකි වුණා. ඒ නිසයි නැව ආවේ නැත්තේ. නැව නැති නිසා සංස්‌ථා ප්‍රධානීන් කළේ ඉන්දීය ඔයිල් සමාගම ගෙන්වපු නැවේ තෙල් ගන්න සූදානම් වීම. ඒත් ඔවුන් ගෙන්වා තිබුණේ බාල තෙල් නැවක්‌..”

වත්මන් පෙට්‍රල් හිඟවීමේ අර්බුදය පිළිබඳ සංස්‌ථා වෘත්තීය සමිති කියනුයේ එවන් කතාවකි.

වර්තමානයේ පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් එක්‌ලක්‍ෂ අටදහසක ප්‍රමාණයක්‌ ගබඩා කර ගැනීමේ පහසුකම් තෙල් සංස්‌ථාව සතුව ඇත. ඒ මුතුරාජවෙළ ඉන්ධන ටැංකි තුළ මෙටි්‍රක්‌ ටොන් හැටදහසක්‌ සහ කොලොන්නාව නිමාවේ මෙට්‍රික්‌ ටොන් 48,000 ලෙසිනි.

මෙම පෙට්‍රල් ප්‍රමාණය සාමාන්‍යයෙන් මෙරට දෛනික පෙට්‍රල් පරිභෝජනයට අනුව මාස එකහාමාරකට දෙකකට පමණ සෑහෙන ඉන්ධන තොගයකි. එහෙත් වත්මන් අර්බුදය ඇතිවීමට පෙර මෙම සම්පූර්ණ පෙට්‍රල් ප්‍රමාණය සංස්‌ථා ගබඩාවල තිබුණේද?

ඇමැති අර්ජුන රණතුංග මහතා කියන අන්දමට ඉකුත් ඔක්‌තෝබර් මස 15 වැනිදා වන විට සංස්‌ථාව සතුව ගබඩා කර තිබී ඇත්තේ පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් පනස්‌ දහසකි. ඔහු ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් පෙරේදා (6 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී එය අනාවරණය කළේය.

ඇමැතිවරයාට අනුව ඉන්දීය ඔයිල් සමාගම ගෙන්වන ලද පෙට්‍රල් නෞකාව සංස්‌ථාව ලබා ගැනීමට සැරසෙන්නේ මෙසේ සංස්‌ථා ගබඩාවල තිබූ පෙට්‍රල් තොග අවසන් වෙමින් තිබීම නිසාය. සැබවින්ම මෙහිදී සිදු වන්නේ ඉන්දීය ඔයිල් සමාගමෙන් සංස්‌ථාව පෙට්‍රල් මිලදී ගැනීමක්‌ නොවන්නේය.

මෙරටට ඉන්දීය ඔයිල් සමාගම හෝ සංස්‌ථාව වේවා කවුරුන් ඉන්ධන ඇනවුම් කළද ඒ සියල්ල අවසානයේ ගබඩා කෙරෙන්නේ මුතුරාජවෙළ හෝ කොළොන්නාව ඉන්ධන ටැංකි තුළය. එහි ඇති තෙල්වල ඉන්දීය ඔයිල් හෝ සිපෙට්‌කෝ කියා වෙනසක්‌ නැත.

ටැංකි තුළ පෙට්‍රල් අඩුවන විට ඉන්දීය ඔයිල් සමාගමේ ඉන්ධන නැව ගැනීමට සූදානම් වූ බව ඇමැතිවරයාම කියන්නේ නම් මෙහිදී සිදුව ඇත්තේ අද වෘත්තීය සමිති පෙන්වා දෙන කාරණය විය නොහැකිද?

සංස්‌ථාව සූදානම් වූයේ ඉන්දීය ඔයිල් සමාගම ගෙන්වූ නෞකාවේ පෙට්‍රල් තොගය ටැංකිවලට ගත් පසු තෙල් සංස්‌ථාව කල් පසුවී ඇනවුම් කළ නැව මෙරටට ළඟා වන තුරු ඉන්දීය ඔයිල් සමාගමේ පෙට්‍රල් බෙදා හරිමින් වැඩේ ගොඩ දා ගැනීමටය.

එහෙත් කුමන්ත්‍රණයකට හෝ එසේත් නැතිනම් සංස්‌ථාවේ කරුමයට ඉන්දීය ඔයිල් සමාගම ගෙන්වූ නැවේ තිබුණේ බාල පෙට්‍රල්ය. සුනාමියක්‌ එන්නට පෙර මේ රටේ ජනතාව සුනාමි ගැන හරිහැටි දැන සිටියේ නැත. එසේම මේ කියන බාල පෙට්‍රල් ගැනද ඉස්‌සර මේ රටේ ජනතාවට අවබෝධයක්‌ නොතිබුණේය.

අතීතය එසේ වුද දැන් රටේ ජනතාව සුනාමි මෙන්ම බාල පෙට්‍රල් ගැනද දන්නේය. මන්ද බාල පෙට්‍රල් නිසා පසුගිය කාලයේ රට තුළ විශාල ආන්දොල්නයක්‌ ඇති වූ නිසාය. මෙන්න මේ කරුණ නිසා හෝ අර්ජුන රණතුංග ඇමැතිවරයා කියන පරිදි ඔහු සැබවින්ම රටට ආදරය කරන නිසා අවසානයේ ඛනිජ තෙල් අමාත්‍යංශයට සිදුවූයේ ඉන්දීය ඔයිල් සමාගම ගෙන්වනු ලැබූ බාල පෙට්‍රල් නැව ගොඩබෑම නතර කිරීමටය.

ඇමැතිවරයාට අනුව එය සිදුවන්නේ ඉකුත් ඔක්‌තෝබර් 17 වැනිදාය. ඉන්පසු මෙරට සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව ඉකුත් 31 වැනිදා හෝ පළමු වැනිදා වන විට තවත් නැවක්‌ ගෙන්වන බවට ඉන්දීය ඔයිල් සමාගම පොරොන්දු වුවද ඔවුන් එයද මඟහැර ඇත. අර්බුදය ඇතිවන්නේ එතැන් සිටිය.

මේ තත්ත්වයත් සමඟ රට තුළ පෙට්‍රල් හිඟයක ලකුණු පහළ වී ඇතැයි මුල්වරට කරුණු හෙළි කළේ ඉන්ධන හල් හිමියන් විසිනි. එසේ වූයේ ඔවුන් ඇනවුම් කරන පෙට්‍රල් තොග ලබා දීමට සංස්‌ථාව අපොහොසත් වෙමින් සිටීම නිසාය. මේ අනුව කතාව මුලින්ම එළියට ආවේ ඉකුත් 2 වැනිදා පමණ වන විටය.

ඇමැතිවරයා කියන ලෙස ඔක්‌තොබර් 17 වැනිදා වන විට පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 50,000 ක්‌ සංස්‌ථා ගබඩා තුළ තිබුණේ නම් නොවැම්බර් 2 වැනිදා වන විට එවන් තත්ත්වයක්‌ ඇතිවිය නොහැකිය. එයින් පෙනී යන කරුණ වන්නේ ඉන්දීය ඔයිල් සමාගමේ බාල තෙල් නැව මෙරටට ළඟා වන විටත් සංස්‌ථාව සතුව තිබුණේ ඉතාම ස්‌වල්ප පෙට්‍රල් තොගයක්‌ බවය.

එයිනුත් පැහැදිලි වන්නේ සංස්‌ථාවේ ගිණුම්, මුදල් අමාත්‍යංශය හරහා පාලනය වීම තුළ වෘත්තීය සමිති කියන පරිදි අද තෙල් සංස්‌ථාව ණයවර ලිපියක්‌වත් විවෘත කර ගැනීමට නොහැකි අන්දමින් හිඟන තත්ත්වයකට ඇද වැටී තිබෙන බව නොවේද?

ඇමැතිවරයා කියන පරිදි නම් සිදුවූ සියල්ල තුළ ඇත්තේ ඉන්දීය ඔයිල් සමාගමේ කුමන්ත්‍රණයකි. පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ දමන ලෙසට ඔවුන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කිරීම ඇතුළු කරුණු කිහිපයක්‌ එයට මුල්වී ඇත.

එහෙත් අපට නම් පෙනී යන්නේ රටේ ඉන්ධන සැපයුමෙන් සියයට අසූවක වගකීමක්‌ දරණ ඛනිජ තෙල් සංස්‌ථාව ඉන්දීය ඔයිල් සමාගමේ සරණ පතන තත්ත්වයට ඇද දැමීම මේ සියල්ලට මුල් වී තිබෙන බවය. ඇමැතිවරයා කියන ලෙස රටේ ඉන්ධන හිඟයක්‌ ඇති වන අන්දමින් කටයුතු කර බලශක්‌ති අර්බුදයක්‌ නිර්මාණය කිරීමට අද ඉන්දීය ඔයිල් සමාගමට හැකියාවක්‌ තිබේනම් එය ඉතාම බරපතළ කරුණකි.

එසේ වන්නේ එම කතාව තුළින් රටේ බලශක්‌ති සැපයුම ඉන්දියානුකරණය වී තිබෙන බවක්‌ හැඟෙන නිසාය. “රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමේ ප්‍රතිවිපාක පෙට්‍රල් අර්බුදය තුළින් රටට පැහැදිලි වූ බව” මේ සිද්ධිය හමුවේ ඇමැති අර්ජුන රණතුංග ප්‍රසිද්ධියේම කීවේද මේ නිසා විය හැකිය.

මේ සිද්ධියේදී බාල තෙල් නැව ලබා ගන්නා ලෙසින් දේශපාලන වශයෙන් සහ වෙනත් ආකාරවලින් තමන්ට බලපෑම් එල්ලවූ බවද ඇමැතිවරයා කීවේය. ඔහු කියන ලෙස මෙහිදී ඇමැතිවරයාට දේශපාලන වශයෙන් බලපෑම් එල්ල කළ හැකි අයකු සිටීනම් ඔහු වත්මන් ආණ්‌ඩුවේ අර්ජුන රණතුංගට උඩින් සිටින අයකු විය යුතුය.

එසේ නම් ඒ දේශපාලන චරිතය කවරෙක්‌ද? එකී බලපෑම එල්ල කෙරුණේ හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී වරාය ඇමැතිවරයාව සිටිමින් එයට එරෙහිව පොල්ල අතට ගත් අර්ජුන රණතුංගව දේශපාලන වශයෙන් නන්නත්තාර කිරීමේ අවශ්‍යතාවක්‌ තිබුණකු වෙතින්ද?

බලපෑම් කළේ කවුරුන් වුවත් ඒ කවුද යන්න දන්නේද අර්ජුන රණතුංගය. එය කෙසේ වෙතත් දැන් ආණ්‌ඩුවේ කාට කාටත් එක එක කතා කියන්නට නම් පුළුවන. එහෙත් ඇති වූ පෙට්‍රල් අර්බුදයේදී බැට කෑවේ ඇමැති අර්ජුන රණතුංගවත් ආණ්‌ඩුවේ ඇත්තනුත් නොවීය.

එයට මුහුණ දී ඉන්ධනහල් අසල පෙළ ගැසී පෙට්‍රල් නැව එනතුරු මුහුදට දත නියවන්නට සිදුවූයේ මේ රටේ අහිංසක ජනතාවටය. එදාවේල සොයා ගන්නා ත්‍රිරෝද රථ රියෑදුරන් වැනි දුප්තුන්ට සහ මාර්ග තදබදයෙන් බේරී රතු ඉරි වදින්නට පෙර කාර්යාලයට යන්නට යතුරු පැදියක්‌ ගෙන රැකියාවට ගිය මිනිසුන්ටය.

මේ නිසා දැන් ඒ මිනිසුන් වෙනුවෙන් අපට අවසානයේ ආණ්‌ඩුවෙන් අහන්නට ප්‍රශ්න දෙකක්‌ ඇත. ඉන් පළමුවැන්න වන්නේ සියලු ගැටලුවලට මුලපුරමින් තෙල් සංස්‌ථාවේ ඩේලි කලෙක්‌ෂන් එක මුදල් අමාත්‍යංශය යටතට ගන්නට ආණ්‌ඩුව කටයුතු කෙරුවේ බැඳුම්කර මගඩියේ රස දැන් උණ්‌ඩුකපුච්චයටම දැනී තිබෙන නිසාද යන්නය.

එසේම වත්මන් අසමත්භාවයෙන් මිදෙන්නට යහපාලනයට තවත් කල්ප කීයක්‌ අවශ්‍යදැයි යන්න අපේ දෙවන ප්‍රශ්නය ය. සංවර්ධනය ඉහවහා ගිය සුඛිත මුදිත රටක්‌ අපට දෙන්නට වෙහෙසෙන යහපාලකයිනි. ඒ ප්‍රශ්න දෙකට දෙන්නට තිබෙන උත්තරය කුමක්‌ද?

– සමන් ගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *