කැටලන් බෙදුම්වාදයෙන් ශ්‍රී ලංකාව උගත යුතු පාඩම – කීර්ති වර්ණකුලසූරිය

(08.11.2017 – divaina.com)

ව්‍යවස්‌ථාවට ස්‌වයංපාලනය ඇතුළත් කළ යුතු බව පවසන්නේ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ය.

එසේම ත්‍රිකුණාමලයට විශේෂ පරිපාලන කලාපයක්‌ අවශ්‍ය බව ද විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

එසේම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බව ද මොවුන් කියා සිටී.

මොවුන්ට සහාය දක්‌වන සිංහල සුළු පිරිසක්‌ හා ඩොලර් මත රැකෙන එන්. ජී. ඕ. කල්ලිය ද උතුරු නැගෙනහිරට බලය ලබාදීමට කැසකවති.

එහෙත් ස්‌පාඤ්ඤයෙන් වෙන් වී කැටලෝනියාව නමින් වෙනම රටක්‌ බිහිකිරීමට කැටලන් බෙදුම්වාදී නායකයා තීරණය කිරීම ස්‌පාඤ්ඤයට එල්ල වූ බරපතළ පහරක්‌ විය. මේ සිද්ධිය මෙරටට පාඩමකි.

එහෙත් කැටලෝනියාව ගැන මෙරට දේශපාලකයන් වචනයක්‌වත් පවසා නැත.

බලය බෙදීමේ භයානක ක්‍රියාදාමය කැටලන් ප්‍රාන්තයෙන් තහවුරු වේ. එය කොතරම් භයානක ද කීවොත් ප්‍රාන්ත පොලිස්‌පති පවා ස්‌පාඤ්ඤ මහා ආණ්‌ඩුවේ නීතිරීති පිළිගත්තේ නැත.

උතුරට පොලිස්‌ බලතල දුන්නොත් ශ්‍රී ලංකාවට ද සිදුවන්නේ මෙයයි.

දැනටමත් උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ ඩයස්‌පෝරාව සහ තමිල්නාඩුවේ සහාය මත උතුරේ අරගලය විසඳිය යුතු බවයි.

මේ ප්‍රකාශය කැටලන් බෙදුම්වාදයේ කාබන් කොපියයි.

කොටි ඩයස්‌පෝරාව සතුව අතිවිශාල මුදල් සම්භාරයක්‌ ඇත.

එම අතිවිශාල මුදල් සම්භාරය වැය කරමින් ඔවුන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට සැලසුම් කරති.

බලය බෙදීම ගැන හඬනඟන පිරිස ඉන්දීය රජය නවදිල්ලියට බලය බෙදාදීමට ක්‍රියා නොකරන්නේ මන්දයි? අවධානය කළ යුතුය.

බලය බෙදීමේ විපාකය ගැන විමර්ශනය කරනවා නම් මුම්බායි නගරයට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල වූ අවස්‌ථාවේ නවදිල්ලියේ සිට මුම්බායි වෙත කමාන්ඩෝ බළකායක්‌ එවීම සඳහා මහාරාෂ්ට්‍ර මහ ඇමැතිගෙන් අවසරය ගැනීමට ද සිදුවිය.

එසේම කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි ඉන්දු ජ් කාෂ්මීරයේ ශ්‍රී නගර් ගුවන්තොටුපළට පැමිණි අවස්‌ථාවේ මහ ඇමැති අවසරය රහිතව ඇයට පිටතට පැමිණීමට නොහැකි විය.

මේ තත්ත්වය මත අද විග්නේෂ්වරන්ලා අනුරාධපුරයේ කොටි නඩු වවුනියාව සහ යාපනයට මාරුකරන ලෙස ඉල්ලීමේ පසුබිම තේරුම් ගත හැකිය.

කැටලන්, කුර්දි, බලුකිස්‌තාන්, බටහිර සහරා සහ ඊළම් ද්‍රවිඩ බෙදුම්වාදීන් අද ඒකරාශී වී ජාලයක්‌ බවට පත් වී ඇත.

මේ බෙදුම්වාදී ජාලය රටවල් කැඩීමට උත්සාහ කරති. එම තත්ත්වය මත උතුරේ බෙදුම්වාදීන්ට බන්දේසියක තබා බලය ලබාදිය යුතුද?

ද්‍රවිඩ සන්ධානය සහ ඔවුන් පිටුපස සිටින බෙදුම්වාදීන් ශ්‍රී ලංකාවේ බලය බෙදාහැරිය යුතු බව පවසමින් හඬ නඟන්නේ කැටලන් බෙදුම්වාදයට මුල පිරීම සඳහා ය.

එදා ප්‍රභාකරන් අවි බලයෙන් බලය ලබාගැනීමට උත්සාහ කළේය.

සම්බන්ධන් ප්‍රමුඛ පිරිස අද උත්සාහ කරන්නේ රජය ලවා බලය ලබාගැනීමය. එහි දෙවැනි පියවර ස්‌වයංපාලනයකි.

කැටලන් අර්බුදයෙන්වත් පාඩමක්‌ ඉගෙන ගැනීමට මෙරට දේශපාලකයන් තේරුම් නොගැනීම පුදුමයකි.

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ සැලසුමේ ප්‍රධාන කාර්යය මෙහෙයවන්නා කොටි ඩයස්‌පෝරාවයි.

කැටලන් මෙන් උතුරු නැගෙනහිරට ද ජනමත විචාරණයක්‌ අවශ්‍ය බව ඩයස්‌පෝරාවට සම්බන්ධව රටින් පිටත ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානය කියා සිටී.

එහෙත් උතුරු නැගෙනහිරට බලය බෙදාදීම බෙදුම්වාදයට ඉඩදීමකි. ද්‍රවිඩ සන්ධානයේ යටි අරමුණ කුමක්‌දැයි ඔවුන් කරන ප්‍රකාශ වලින් දැනටමත් හෙළි වී ඇත.

ස්‌පාඤ්ඤ රජය මෑතකදී පැවසුවේ බලය බෙදීමේ විපාක දැන් අවබෝධ වන බවයි.

එසේ නම් ශ්‍රී ලංකාව තවමත් පාඩමක්‌ ඉගෙනගෙන නැත. සෙබළුන් 29,000 ක්‌ දිවිදුන්නේ උතුරට බලය බෙදීමට නොවේ.

එදා ද්‍රවිඩ සන්ධානය කොටි රූකඩය විය. ඔවුහු අද අහිංසක දේශපාලකයන් ලෙස ක්‍රියාකරති. එහෙත් ද්‍රවිඩ සන්ධානය කොටි අපරාධවල සහකරුවන් ය.

ඔවුන්ට යුද අපරාධ චෝදනා එල්ල වී නැත. යුද අපරාධ චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට ය.

එසේ වුවත් තම වර්තමානය සහ අනාගතය රට වෙනුවෙන් දිවිපිදූ හමුදා සෙබළු අමතක කර බලය බෙදාදීම ගැන අද විවිධ පාර්ශ්ව හඬ නඟති.

ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයකු වූ ලැන්සින් බරක්‌ පැවසුවේ ඒබ්‍රහම් ලින්කන් එදා දකුණේ කැරලිකරුවන්ට එරෙහි යුද්ධය දියත් නොකළේ නම් අද ඇමෙරිකාවක්‌ යනුවෙන් රටක්‌ නැති බවයි.

මේ පසුබිම මැද කොටින්ව අවතක්‌සේරු නොකරන ලෙස පැවසූ ඇතැම් දේශපාලකයන් ද උතුරට බලය ලබාදීම ගැන හඬ නඟති.

එහෙත් බෙදුම්වාදී අවතාර උතුරේ සිටින විට බලය ලබාදීමේ විපාක අවබෝධ කරගත යුතුයි.

කැටලන් බෙදුම්වාදී නායකයාට අවි පුහුණුව ලැබූ 12,000 ක පිරිසක්‌ සිටියේ නම් ඔහු බෙල්ජියමට පලායන්නේ නැත.

එහෙත් උතුරේ අවි පුහුණුව ලත් 12,000 ක්‌ ත්‍රස්‌තයන් සිටින බව අමතක නොකළ යුතුයි.

මොවුන්ට ඕනෑම වේලාවක ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක්‌ පවතී. සැඟවූ අවි රැසක්‌ උතුරේ ඇත.

මේ පසුබිම මැද උතුරට බලය බෙදීම ඉල්ලන් කෑමක්‌ වනු ඇත.

සතුරා වේලාව එනතුරු නිහඬව සිටින බව පැවසුවේ රුසියානු ජනාධිපති පුටින් ය. උතුරේ හිටපු කොටි ක්‍රියාකාරීන් ද බලාසිටින්නේ එම අවස්‌ථාව එනතුරුය.

– කීර්ති වර්ණකුලසූරිය

************************************

කොටි සමරන්න ආ දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසක් රෙද්ද උස්සාගෙන යුද හමුදාවට බැණ වදිති..
(07.11.2017 – 05:30 +0530 – lankacnews.com)

කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය ඊයේ (06) සවස පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පලාත්සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන්ට යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුලත් වීමට නොදීම නිසා උණුසුම් වචන හුවමාරුවක් වී ඇත.

යුද හමුදා අනුඛණ්ඩයකට අයත් සීමාවක අදාළ සොහොන් ගැබ පිහිටා ඇති අතර ප්‍රදේශවාසීන් ඊට ඇතුළු වීමට අවසරය ඉල්ලීමේදි යුද හමුදා නිලධාරීන් පවසා ඇත්තේ ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටත් තමන්ට ඉහළ නිලධාරීන්ගේ අවසරය නොලැබී ඇති බැවින් ඒ සඳහා අවසරය ලබාදිය නොහැකි බවටයි.

පසුව එම ස්ථානයට ගිය කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ටි.කුරුකුලරාජා මහතා හා එස්.පසුපතිපිල්ලේ මහතා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කියා ඇත්තේ තමන්ගේ ඥාතීන් මිහිදන් කොට ඇති මහවිරු සොහොන් වටකොට යුද හමුදා කඳවුරු ඉදිකිරීම අනුමත නොකරන අතර තමන්ගේ ඥාතීන් සිහි කිරීමට ඇති මහවිරු සොහොන් පවතින ප්‍රදේශයෙන් යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවටයි.

එහිදි පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් යුද හමුදා නිලධාරීන් වෙත දෝෂාරෝපණය කොට ඇති බවද වාර්ථා වෙයි.

පසුව ගැටළුව හට ගත් ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රිධරන් මහතා පැමිණ ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ජා කරන බවත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන බවටත් පැවසුවේය.

අනතුරුව අදාල පිරිස අදාල ස්ථානයට යාමට අවසර නොමැති වීමෙන් යුද හමුදා අනුඛණ්ඩය ඉදිරිපස පහන් දල්වා පොල් ගසා වැඩ ශ්‍රමදානය ආරම්භ කිරීම සනිටුහන් කළ බව පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

************************************

ඉරණමඩු ජලාශයට ආරක්‍ෂාව සැලසූ ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කෙරේ
(08.11.2017 – divaina.com)

වසර අටක්‌ තිස්‌සේ ඉරණමඩු ජලාශයට ආරක්‍ෂාව ලබාදුන් ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කර ඇත.

මෙම හමුදා කඳවුර ඉවත්කර ඇත්තේ ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම මතය. හමුදා කඳවුර නිසා ගොවීන්ට දුෂ්කරතා මතුවී ඇති බවට ද්‍රවිඩ සන්ධානය සාවද්‍ය ප්‍රචාර දියත් කර තිබිණි.

මෙම ඉරණමඩු හමුදා කඳවුර පිහිටා තිබුණේ රජයට අයත් ඉඩමක බවත් එය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් බවත් හමුදා ආරංචි මාර්ග පවසයි. ආරක්‍ෂක උපාය මාර්ග කේන්ද්‍රස්‌ථානයක්‌ වූ ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කර ගැනීමෙන් මෙතෙක්‌ ඉරණමඩු ජලාශයට සැපයුණු ආරක්‍ෂාව අහිමි වී ඇත.

වන්නි මෙහෙයුමට පෙර ඉරණමඩු ප්‍රදේශයේ කොටි කඳවුරක්‌ ද පිහිටා තිබිණි.

මේ අතර කොටි ගුවන් ධාවන පථය පිහිටි ඉරණමඩු ගුවන් හමුදා ධාවන පථය හා අවට ඉඩම්වලින් ද ඉවත් වන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

– කීර්ති වර්ණකුලසූරිය සහ දිනසේන රතුගමගේ

************************************

මහවිරු දිනය මහ ඉහළින් සමරන්න මන්නාරම සූදානම් වෙයි – හිටපු කොටි සොහොන් පිරිසිදු කරයි
(08.11.2017 – 10:26 +0530 – sinhala.adaderana.lk)

මන්නාරම, පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පවතින මහවිරු සුසාන භූමිය පිරිසිදු කිරීම ඊයේ (07) මන්නාරම ප්‍රදේශවාසීන් විසින් සිදුකරනු ලැබීය.

පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ ජනතාව හා පුනරුත්තාපනය ලැබු හිටපු එල්. ටි. ටි. ඊ. සාමාජිකයින් විසින් අදාළ මහවිරු සොහොන පැවති ප්‍රදේශයේ ශ්‍රමදානයක් පැවැත්වු බව මන්නාරම ප්‍රදේශවාසීහූ පැවසූහ.

මන්නාරම ආරක්ෂක අංශ පැවසූවේ මහවිරු සැමරුම් පවත්වන නොවැම්බර් 27 වැනිදා මහා ඉහළින් මහවිරු සැමරුම් පැවැත්වීමට මන්නාරම ජනතාව සුදානම් වන බවයි.

එල්. ටි. ටි.ඊ. සංවිධානයේ පාලනය පැවති අවධියේ මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මහවිරු සොහොන් පවත්වාගෙන ගොස් තිබිණ.

මන්නාරම මඩු හා වෙඩිතලතිව් ප්‍රදේශයන්හි එල්. ටි. ටි.ඊ. යුද ගැටුම් බහුලව පැවතිණ ෴

************************************

ජනාධිපතිවරයා ඇරුණම රට බේරගන්න කෙනෙක් නෑ
(07.11.2017 – 18:57 +0530 – sinhala.adaderana.lk)

මේ වන විට රට පත්ව ඇති තත්ත්වය තුළ ලංකාවට බේරා ගත හැකි එකම පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

අද (07) පැවති එළිය සංවාද කවයේ මාධ්‍ය හමුවට එක් වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය.

පොදු විපක්ෂයේ ඉල්ලීම් සියල්ලටම රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කථා කර එය ටික කාලයකට පසු බෑමක් පෙන්නුම් කළ ද එය කිසි විටෙකත් අවසන් ප්‍රතිඵලය නොවන බව ද අභයතිස්ස හිමියන් වැඩිදුරටත් පැවසීය.

පවතින තත්ත්වය තුළ රට මෙම සියලු කරුණුවලින් බේරා ගැනීමට බලය හා ශක්තිය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වන බව ද උන් වහන්සේ පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *