ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයේ දිවුරුම්දීම හෙට (18) අනුරාධපුර – රුවන්වැලි සෑරදුන් අභියසදී

(17.11.2019 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ දිවුරුම්දීම හෙට (18) පෙරවරු 11 ට අනුරාධපුර – රුවන්වැලි සෑරදුන් අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළා.

එමෙන්ම, එහිදී ඔහු කියා සිටියේ නව ජනාධිපතිවරයා ලෙස තේරිපත්වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශනය සම්බන්ධයෙන් ජනතාව ඉමහත් බලාපොරොත්තු සහගතව පසුවන බවයි.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 69,24,255 ක් ලබා ගනිමින් සියයට 52.25 ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඡන්ද 55,64,239 ක් ලබා ගනිමින් වාර්තා කළ ඡන්ද ප්‍රතිශතය සියයට 41.99 ක්.

ජාතික ජලබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද 4,18,553 ක් ලබා ගනිමින් සියයට 3.16 ක ප්‍රතිශතයක් වාර්තා කළා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට පාකිස්ථානයෙන් සුබ පැතුම්

(17.11.2019 – 14:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව පාකිස්ථානය ද සුබ පැතුම් එක් කළා.

කොළඹ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සශ්‍රිකත්වය සහ සාමය කරා ගමන් කරනු ඇති බවට පාකිස්ථානය විශ්වාස කරන බවයි.

එමෙන්ම, දෙරට අතර, ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරලීමට නව ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට පාකිස්ථාන නායකත්වය අපේක්ෂා කරන බව මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය රාජපක්ෂට මාලදිවයින් ජනපතිත් සුබ පතයි

(17.11.2019 – 14:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව මාලදිවයින් ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලී මහතා ද, ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එමගින් ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැවැන්ත ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම් එක් කරන බවයි.

එමෙන්ම, දැනටමත් සමීප අන්දමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මාලදිවයින් සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීම උදෙසා නව පරිපාලනය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් මාලදිවයින් ජනාධිපතිවරයා අවධාරණය කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය රාජපක්ෂට ඉන්දීය අගමැති මෝදිගෙන් සුබ පැතුම්

(17.11.2019 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සුබ පැතුම් එක් කළා.

ඔහුට සුභාෂිංශන යොමුකළ ප්‍රථම විදේශීය රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙරට අතර, ගැඹුරු සමීප සබඳතාවක් පවත්වාගෙන යාම සඳහා එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම, කලාපයේ සාමය, සශ්‍රීකත්වය සහ ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, සහෝදර සබඳතාවල වැදගත්කම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා ෴

+++++++++++++++++++++++++++++++++++

සජිත් පරාජය පිළිගනී – නියෝජ්‍ය නායක ධුරයෙනුත් ඉවතට

(17.11.2019 – 11:44 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) පැවති ජනාධිපතිවරණයේ පරාජය පිළිගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සුබ පැතුම් එක් කළා.

එහිදී ඔහු කියා සිටියේ ජනතා තීන්දුව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ගෞරවාන්විත ආචාරය පිරිනමන බවයි ෴

+++++++++++++++++++++

සොඳුරු මාතෘ භූමියක් වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාස

(17.11.2019 – 16:50 +0530 – sinhala.adaderana.lk)

රටේ පොදු ජනතාවගේ තීරණයට හිස නමමින් හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබ පැතුම් පිරිනමන බව සජිත් ප්‍රේමදාස මහතා පවයසි.

(සමුගෙන යන පුතාණෝ සහ එම ආර්යාව)

2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය දැනුම් දීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

එසේම තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාටම ඒ මහතා සිය ස්තුතිය පුද කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ සිය අදහස් පල කළේය.

“පුරා වසර 25 ක් මුළුල්ලේ මගේ දේශපාලන දිවියේ ප්‍රධානතම අරමුණ වුයේ මාතෘභූමියේ ජනතාවට සේවය කිරීමයි.

දිවා රෑ නොබලා මගේ ප්‍රතිපත්තීන් ජයග්‍රහණය කරවීමට කටයුතු කළ සියලු දෙනාටම මාගේ ස්තුතිය හා ප්‍රණාමය පුද කරන්න කැමතියි.

පසුගිය වසර 5 පුරාවට ස්ථාපනය වු ස්වාධීන මැතිවරණ කොමිශන් සභාවත්, ආයතනික ප්‍රතිසංස්කරණත් ඒ වගේම සිදු වු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස අතිශයින්ම නිදහස් හා සාමකාමී මැතිවරණයක් භුක්ති විඳින්නට සියලු දෙනාටම පුළුවන්කම ලැබුණා.

තවදුරටත් මේ ස්වාධීනත්වයේ ශක්ති සම්පන්නභාවය තහවුරු කරමින් එම ආයතන හා ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස මම ජනාධිපතිතුමාට යෝජනා කර සිටිනවා.

ඒකිය ශ්‍රී ලංකාවක් තුළ සියලුම ජාතීන් එක්සේසත් කරගෙන සෞභාග්‍යසම්පන්න, ස්වෛරී සොඳුරු මාතෘභූමියක් නිර්මාණය කරන්න සිවිල් පුරවැසියෙක් ලෙස ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීමට මම කටයුතු කරනවා.”

+++++++++++++++++++++++++++++++++++

ඇමතිවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වෙයි

(17.11.2019 – 13:31 +0530 – hirunews.lk/sinhala)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමග මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එමෙන්ම, ඩිජිටල්, යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද තම අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් වන බව ඊට පෙර ප්‍රකාශ කළා .

අමාත්‍ය කබීර් හෂීම් ද සිය අමාත්‍ය ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්වී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ජනපති මෛත්‍රීගෙන් නව ජනපති ගෝඨාභයට සුබ පැතුම්

(17.11.2019 – 16:31 +0530 – hirunews.lk/sinhala)

2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සුබපැතුම් පිරිනමා තිබෙනවා.

මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා ලෙසට කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන ඊයේ (16) සිය ධුරයේ රාජකාරී අවසන් කළා.

එහිදී ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදී ද තේරී පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබ පැතුම් පළ කරමින් ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන සිය ආශීර්වාදය පළ කළා ෴

+++++++++++++++++++++++++++++++++++

ලැබු ජය සාමකාමීව භුක්තිවිඳින්න – මහින්ද රාජපක්ෂ

(17.11.2019 – 16:24 +0530 – sinhala.adaderana.lk)

ලැබු ජය ඉතාමත්ම සාමකාමීව, භුක්තිවිඳින මෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදු කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනයේ මෙසේ සඳහන්ව ඇත :

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ජනාධිපතිවරණය විශිෂ්ඨ ලෙස ජයගෙන ඇත.

අවුරුදු පහක් මුළුල්ලේ අනේකවිධ දුෂ්කරතා විද ලබාගත් මේ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව, අනුන්ට කිසිඳු කරදරයක් නොවන ආකාරයට භුක්තිවිඳින මෙන් මම අපගේ පාක්‍ෂිකයන්ගෙන් මෙන්ම සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන්ද ඉල්ලා සිටිමි.

මහජනතාව මේ තීරණාත්මක ජයග්‍රහණය අප වෙත ලබාදී තිබෙන්නේ, පසුගිය අවුරුදු පහ පුරාවටම පැවති මේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත එපා වී ඇති නිසාය.

එම නිසා කිසිවෙකුටත් කරදරයක් නොවෙන ආකාරයට හැසිරීම අපි පොදු මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමකි.

පසුගිය අවුරුදු පහ මුලුල්ලේ වත්මන් ආණ්ඩුවේ දඩයමට හා අසාධාරණකම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කිරීම පිණිස අපි විශේෂ වැඩපිළිවෙලක් යොදන බවට මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිමි.

අපගේ ප්‍රතිවාදීන් 2015 දී කළ ආකාරයට නොයෙක් පටු දේශපාලන න්‍යාය පත්‍රයන් සහිත ජාතිවාදී, ආගම්වාදී බලවේග එකතුකරගෙන මෙවරත් ජනවරම කොල්ලකෑමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීම ගැන මම ශ්‍රී ලංකාවාසී ජනතාවට මාගේ ප්‍රණාමයපුද කර සිටිමි.

ජාතිවාදය වපුරවමින් කරන මේ භයානක දේශපාලන සූදුව අවසන් කිරීමට කාලය දැන් එළඹී තිබේ.

මේ ජනාධිපතිවරණය මීට කළින් පැවති සියලුම ජනාධිපතිවරණ වලට වඩා බෙහෙවින්ම වෙනස් වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ඇති කර තිබෙන ව්‍යාකූලතාවය නිසාය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු, 19 වනව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්වය ගැන සමාලෝචනයක් කර, පවතින නීතිමයරාමුව තුළ ඉදිරි කටයුතු කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු.

අවුරුදු පහක් මුලුල්ලේ අයාලේ ගිය රට යළිත් හරි මඟට ගැනීමට අපට දැන් අවස්ථාව උදාවී ඇත.

අපගේ අපේක්‍ෂකයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්තිප්‍රකාශනයේ සඳහන් පරිදි,මේ සඳහා රටේ ආර්ථිකය මුල සිට ගොඩනැගීමටමෙන්ම රටේ පාලන තන්ත්‍රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සම්පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට සිදුවෙනු ඇත.

මේ පිළිබඳව තව නොබෝ දිනකින් වැඩි විස්තර අපි ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

මේ මැතිවරණයේදී ප්‍රකාශ වී ඇති ජනවරම හමුවේ ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් කටයුතු කරනු ඇතැයිඅපි බලාපොරොත්තු වෙමු.

අපගේ මාතෘ භූමියටත්, සියලු දේශමාමක ශ්‍රීලාංකිකජනතාවටත් ජයවේවා!”

+++++++++++++++++++++++++++++++++++

ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නෑ – ගෝඨාභය රාජපක්ෂ

(17.11.2019 – 16:09 +0530 – sinhala.adaderana.lk)

සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදිම ඉදිරියේදි කටයුතු කරන බව මෙරට 7 වැනි ජනාධිපතිවරයා ලෙස තෙරිපත් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය දැනුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපකෂ මහතා මේ බව පැවසීය.

එහිදි ඒ මහතා පැවසුවේ තමන් පිලිබඳ විශ්වාසය තබමින් ජනතාව තමන් වෙත ඡන්දය ලබා දීම පිලිබඳව සිය ස්තූතිය පුද කරන බවයි.

එමෙන්ම සාමකාමි නිරවුල් මැතිවරණයක් පැවැත්වීමට සය දුන් සැමටද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පුද කළේය.

ඉදිරියට පැවැත්වීමට නියමිත සියළුම මැතිවරණ නිසි කාලයේදි පැවැත්වීමට සිය ධූර කාලය තුලදි උපරිම සහය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දීමට තමන් පොරොන්දු වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

තමන්ට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සියළුම රට වැසියන්ගේ ජනාධිපතිවරයා තමන් බැවින් කිසිඳු පක්ෂ ආගම් ජාති භේදයකින් තොරව සියළු ශ්‍රී ලංකිකයන්ට සේවය කිරීමට තමන් බැඳි සිටින බවද ඒ මහතා පවසයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක්

(17.11.2019 – 15:09 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

+++++++++++++++++++++++++++++++++++

සිංහලයාගේ සමගිය තුලින් රටට එරෙහි බලවේග එකට තියා පරදවන්න හැකි වුනා. ලැබූ ජය සාමකාමිව සමරන්න – පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි

(17.11.2019 – colombotoday.com)

සිංහලයාගේ සමගිය තුලින් රටට හතුරු බලවේග ඒක අන්තයකට කර පරාජය කිරීමට හැකිවූ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරණ ප්‍රථිපල පිළිබඳව colombo today සිදුකල විමසීමකදී අවධාරණය කර සිටියා.

සිංහලයාගේ සමගිය අගයකල යුතු බවත් සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවට තිබූ මිත්‍යා මතය මෙවර ප්‍රතික්ෂේප වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියා.

“ලැබූ ජයග්‍රහණය ඉතා සාමකාමීව සැමරිය යුතු බවත් අන්‍ය ජාතීන්ට හෝ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ගේ සිත්රිදවිමකින් තොරව ජයග්‍රහණය සැමරිය යුතු බවත් සඳහන් කර සිටි ඥානසාර හිමි ඉතා සුළු සිද්ධියකින් උවද ලැබූ ජයග්‍රහණය ජාත්‍යන්තරය හමුවේ හෑල්ලු වීමට ඉඩ ඇති බැවින් එවැනි තත්වයකට ඉඩ නොතබා ක්‍රියා කරන ලෙස සමස්ත සිංහලයන්ගෙන් තමන්වහන්සේ ඉල්ලා සිටින බවත් සඳහන් කර සිටියා.”

+++++++++++++++++++++++++++++++++++

17-11-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *