7 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ පිළිබද සටහනක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• 7 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ පිළිබද සටහනක් (විඩියෝ)

• මහා සංඝරත්නයෙන් සියලු ජාතීන්ට ඉල්ලීමක් (විඩියෝ)

• මුදල් ඇමති මංගල ත්‍රිවිධ රත්නයට අපහාස කළ බවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (විඩියෝ)

• ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාට සුබපැතුම්

• YouTube – Iraj – මම ගෝඨාභය රාජපක්ෂ (14.11.2019) (විඩියෝ)

• සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර ලෙස නම් කර ජනපති මෛත්‍රී නික්ම යයි

• සිරිලක සුරැකි අසහාය මිනිසා අද උපන් දිනය සමරයි.. මතක හිටින තෑග්ගක් සොයුරු ගෝඨාභයගෙන්..

• ජනපති ගෝඨාභයට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අගමැතිගෙන් ආරාධනයක්

• නව ගමනක ඇරඹුම හා අභියෝග

+++++++++++++++++++++++++++++++++++

(17.11.2019 – 20:35 +0530 – hirunews.lk/sinhala)

පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා මනාපයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදව තැබෙන සටහනක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන ඩී. ඒ. රාජපක්ෂ මහතාට සහ දන්දිනා රාජපක්ෂ මැතිණියට දාව 1949 ජූනි මස 20 වන දින මෙලොව එළිය දුටු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා පිරිමි දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් රාජපක්ෂ පවුලේ තුන්වන සාමාජිකයායි.

හිටපු කතානායකවරයෙක් වන චමල් රාජපක්ෂ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ වැඩිමල් සොහොයුරන් දෙදෙනා වන අතර හිටපු අමාත්‍යවරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වනවා.

හම්බන්තොට – වීරකැටිය ප්‍රදේශයේ හැදීවැඩුණු ගෝඨාභය රාජපක්ෂ කුඩා කල පටන්ම දිවිගෙවුණේ දේශපාලන පසුබිමකයි.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ තරුණ ගෝඨාභය රාජපක්ෂ 1971 අප්‍රේල් 26 වැනි දින ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදී 1972 දී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

පාකිස්ථානයේ රාවල්පින්ඩිහීදී සංඥා තරුණ නිලධාරී පාඨමාලාව හා පාබල හමුදාවේ අණදෙන නිලධාරී පාඨමාලාවද, ඉන්දියාවේ ඇසෑම්හීදී කැරලි මර්දන හා කැලෑ යුද්ධ පාඨමාලාවද, නවසීලන්තයේ වොලින්ටන් ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයෙන් අණ හා මාණ්ඩලික පාඨමාලාවද, ඇමරිකාවේදී උසස් පාබල හමුදා නිලධාරීන්ගේ පාඨමාලාවද ගෝඨාභය රාජපක්ෂ මහතා හදාරා තිබෙනවා.

පළවනි ගජබා රෙජිමේන්තුවේ සේවය කළ ඔහු 1983 සිට 1990 දක්වා කාලය තුළ එම පළමු වන ගජබා රෙජිමේන්තුවේ බලසේනාධිපති ලෙසද සේවය කළා.

‘ස්ට්‍රයික් හාර්ඩ්’ හා ‘ත්‍රිවිධ බලය’ යන මෙහෙයුම්හී ආඥාපති වශයෙන් කටයුතු කළේද ගෝඨාභය රාජපක්ෂ මහතායි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, ගජබා රෙජිමේන්තුව යන රෙජිමේන්තුවල සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය 20 වසරක් වූ හමුදා ජීවිතය තුළ ජනාධිපතිවරු තිදෙනක් අතින් නිර්භීතභාවය වෙනුවෙන් පිරිනමන රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලැබුවා.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබදව පශ්චාත් උපාධිය හැදෑරු ගෝඨාභය රාජපක්ෂ මහතා 1992 දී යුධ හමුදාවෙන් විශ්‍රාම ලබා කොතලාවල ආරක්ෂක ඇකඩමියේ ආඥාපතිවරයා ලෙස කටයුතු කළා.

2005 වසරේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වුණා.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 2006 දෙසැම්බර් මස 01 වන දින කොල්ලුපිටියේදී පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිපිරවීමක් සිදු කලද ඉන් දිවි ගලවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වුණ් මනා හැකියාවත්, යුද්ධය පිළිබදව තිබූ අත්දැකීමත් පාදක කර ගනිමින් වසර 30 ක් පුරාවට මෙරට පැවති යුද්ධය 2009 මැයි මාසයේ අවසන් කිරීමට දායකවූ පුරෝගාමියෙකු ලෙසයි.

යුද්ධයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුරටද ගෝඨාභය රාජපක්ෂ මහතාව පත්කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ මහතා තම පරිපාලන දැනුම උපයෝගී කරගනිමින් කොළඹ නගරය මෙන්ම ජරාජීර්ණව තිබූ නාගරික පරිසරයන් රැසක්ම අලංකාර ප්‍රියමනාප ස්ථාන බවට පත් කළා.

මේ දක්ෂ පරිපාලකයාගේ හැකියාව නිසා බහුතරයකගේ ඉල්ලීම මත ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ අතර ලක්ෂ 69 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ඔහු මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණා.

+++++++++++++++++++++++++++++++++++

මහා සංඝරත්නයෙන් සියලු ජාතීන්ට ඉල්ලීමක්

(17.11.2019 – 20:43 +0530 – hirunews.lk/sinhala)

නව ජනාධිපතිවරයා යටතේ රට ගොඩනැගීමට එක්වන ලෙසට මහා සංඝරත්නය සියලු ජාතීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

+++++++++++++++++++++++++++++++++++

මුදල් ඇමති මංගල ත්‍රිවිධ රත්නයට අපහාස කළ බවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(17.11.2019 – 20:51 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් ත්‍රිවිධ රත්නයට අවමන් කර ඇති බවට බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබූ අතරතුර අද (17) දහවල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

එහි ‘මම මාගේ රට වෙනුවෙන් දුක්වෙනවා. බුද්ධ සහ ධම්ම රත්නයේ සරණ ශ්‍රී ලංකාවත් සමඟ පවතීවා.’ ලෙස අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ පණිවුඩයේ ‘ඩබල් ජෙම්’ ලෙස සදහන් කරමින් අමාත්‍යවරයා උතුම් වූ බුද්ධ සහ ධම්ම රත්නය පමණක් භාවිත කරමින් ත්‍රිවිධ රත්නයට ඇතුළත් සංඝ යන වචනය සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර නොතිබීම විශේෂත්වයක්.

අදාළ ට්විටර් පණිවුඩය මගින් මංගල සමරවීර අමාත්‍යවරයා තුණුරුවනට අවමන් කර ඇති බව සඳහන් කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාට සුබපැතුම්

(17.11.2019 – 21:49 +0530 – lankaleadnews.com)

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් ඇමෙරිකානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

ඇමෙරිකානු තානාපතිවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එලෙස සුබ පැතුම් එක් කර තිබෙන අතර එහි මෙසේ ද දැක්වේ :

“ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාත්ත්‍රවාදී තෝරාගැනීම වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කරනවා. ශක්තිමත් හා ස්වෛරී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සහාය දීම සඳහා යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම් සහ සංහිඳියාව දියුණු කිරීම යන කරුණු හා අංශ සම්බන්ධයෙන් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

+++++++++++++++++++++

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

(18.11.2019 – 15:42 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණය පිළිබඳව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පතන අතර ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට බලාපොරොත්තතු වන බව දන්වා අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (18) නිවේදනයක් නිකුත් කර ඇත.

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයට ගැළ‍පෙන නිදහස්, සාධාරණ හො විනිවිද පෙනෙන ජනාධිපතිවරණයක් සමඟ ශ්‍රී ලංකාව සිය ජනරජයේ ශක්තිය හා නැගී සිටීමට ඇති හැකියාව අඛණ්ඩව පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ.

සාමකාමී මැතිවරණයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට, ශ්‍රී ලංකා සිවිල් සමාජයට සහ රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ගෞරවය හිමි වන බවද එම නිවේදනයේ සඳහන්.

සියලු රටවලට සමෘද්ධිමත් විය හැකි ඉන්දු-පැසිෆික් කලාපයක් පෝෂණය කිරීම, යහ පාලනය පුළුල් කිරීම, පුළුල් ආර්ථික වර්ධනය, මානව හිමිකම් හො ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය හරහා රටේ ස්වෛරීභාවයට සහයෝගය දැක්වීමට නව ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකාවේ සියලු ජනතාව සමඟ සිය වැඩ කටයුතු කරගෙන යාමට සිය පාර්ශවය සුදානම්ව සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ ෴

***************************************

YouTube – Iraj – මම ගෝඨාභය රාජපක්ෂ (14.11.2019)

***************************************

සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර ලෙස නම් කර ජනපති මෛත්‍රී නික්ම යයි

(18.11.2019 – colombotoday.com)

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරයේ රාජකාරි (17 දා) අවසන් කළේය.

2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (17 දා) වනතුරු සිය රාජකාරී කටයුතු සිදු කළේය.

සිය පස් වසරක ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කිරීම වෙනුවෙන් සිය අවසන් රාජකාරිය ලෙස එම ගැසට් නිවේදනයට අත්සන් කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ ලැබූ ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ බුදුරජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩ සිටින ඓතිහාසික සෝමවති පුදබිම මෙලෙස පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ ෴

***************************************

සිරිලක සුරැකි අසහාය මිනිසා අද උපන් දිනය සමරයි.. මතක හිටින තෑග්ගක් සොයුරු ගෝඨාභයගෙන්..

(18.11.2019 – 08:02 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය අද (18) දිනයට යෙදී තිබේ.

ඒ මහතා ද සමරනු ලබන්නේ සිය 74 වන උපන් දිනයයි.

රාජපක්‍ෂ මහතා තිස් වසරක සාපලත් යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් සේනාධිනායකයා ලෙස අදටද ශ්‍රී ලංකාවේ අති මහත් ජනතාවගේ ඉමහත් ලෙස ජනාදරයට සහ ජනප්‍රියතාවයට ලක්ව සිටියි.

මහින්ද රාජපක්ෂ මහතාට අද උපන් දිනය සුවිශේෂී වන්නේ ඔහුගේ බාල සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම හේතුවෙනි ෴

***************************************

ජනපති ගෝඨාභයට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අගමැතිගෙන් ආරාධනයක්

(18.11.2019 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදී මහතා කළ ආරාධනය ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බව ඉන්දීය අගමැති කාර්යාලය සඳහන් කරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

චීනයෙනුත් ජනපති ගෝඨාභය රාජපක්ෂට සුබ පැතුම්

(18.11.2019 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතූ චීනය, නව ජනාධිපතිවරයා සමඟ ද්වි පාර්ශවික ක්‍රමෝපාය සබඳතාවල ඉහළ ප්‍රගතියක් උදෙසා එක්ව කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කළා.

බීජිං නුවර අද පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ජෙන් ෂුඈන් මහතා කියා සිටියේ චීනයේ එක් තීරුවක්, එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ ඉහළ ප්‍රමිතියේ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුභපැතුම්

(18.11.2019 – 16:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සුභ පැතුම් එක්කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ දෙරට අතර සහෝදර සබඳතා තවදුරටත් දැඩි කිරීමට සහ පුළුල් කිරීමට මෙන්ම නව ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරිමට සුදානම් බවයි.

ශ්‍රී ලංකා සහ පාකිස්තාන ජනතාවගේ සාමය ප්‍රගතිය සහ සශ්‍රීකත්වය උදෙසා එම සහයෝගිතාව වැදගත් වන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා එමගින් අවධාරණය කළා.

***************************************

නව ගමනක ඇරඹුම හා අභියෝග

(18.11.2019 – 14:34 +0530 – lankaleadnews.com)

කාලයක්‌ තිස්‌සේ අපේ රටේ තරුණ සම්පත සැලකුවේ කරදරකාරයන් ලෙසය. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරද්දී කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්විය. අවසානයේදී උගත් උපාධිධාරීන් කුමන හෝ අමාත්‍යාංශයකට අනුයුක්‌ත කර වැටුපක්‌ ලබාදීමේ ක්‍රියාවලියක්‌ පමණක්‌ පසුගිය කාලයේදී සිදුවිය. නමුත් මේ තරුණ සම්පත රටේ ආර්ථිකයේ යහපත් දිශාවකට හැරවීමේ කාර්යයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්‌ නොතිබිණි. නව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ සේම මේ රට දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පරිවර්තනය කළහොත් මෙම තරුණ සම්පතින් අප රටට විපුල ඵල නෙළා ගැනීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ධුරය සඳහා පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමත් විය. ඔහු ලැබූ ජයග්‍රහණය වඩා වැදගත් වනුයේ විවිධ අභියෝග හමුවේ මෙම ජයග්‍රහණය අත්පත් කරගත් නිසාවෙනි. පුරවැසිභාවය හා විවිධ චෝදනා ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව විසින් එල්ල කළත් ඒ සියල්ල උපේක්‍ෂාවෙන් විඳදරා ගනිමින් තමන්ගේ දර්ශනය හා දැක්‌ම මාතෘභූමිය මත තබමින් සුරක්‍ෂිත රටක්‌ නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු නැඟූ හඬ සමග මෙරට බහුතරයක්‌ පෙළගැසුණහ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට 6,942,255 ක්‌ ජනතාවගේ ඡන්දය පාවිච්චි කළ අතර එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල 52.25% කි.

මෙවර ඡන්ද ප්‍රතිශත දෙස විමසිලිමත්ව බැලීමේදී නිරීක්‍ෂණය කළ හැකි ප්‍රධාන කාරණය වන්නේ දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉහළින්ම පිළිගෙන ඇති බවයි. එහෙත් උතුරු නැගෙනහිර ඡන්දවලින් බහුතරය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දිනා ගැනීමට නොහැකි විය. දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කළ කරුණු දහතුනකින් සමන්විත යෝජනාවලිය ප්‍රතික්‌ෂේප කිරීම මීට ආසන්න හේතුව ලෙස සැලකිය හැකිය. කවරක්‌ නමුත් මේ වනවිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුළු රටටම විධායක ජනාධිපතිවරයා ලෙස පත්ව සිටී. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන්ට ඔහු විසින් සපයනු ලබන නායකත්වය මත හෙට දවසේ මේ රට වඩා යහපත් දිශාවකට හැරවීමේ ඉඩකඩ විවිර වී ඇත. විශේෂයෙන් තමන්ව ප්‍රතික්‌ෂේප කළ උතුරු නැගෙනහිර ජනතාව දිනාගැනීම ඔහු විසින් කළ යුතුම කාර්යයක්‌ වෙයි. දෙමළ ජාතික සන්ධානය විසින් දකුණේ දේශපාලනය ගැන මවන ජාතිවාදී මිථ්‍යාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බව අමතක නොකළ යුතුය. අප රටෙ වෙළාගෙන තිබූ තිස්‌ වසරක යුද්ධය නිමා කිරීමේදී ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔහු කළ සේවාව අති විශිෂ්ටය. එවකට සේනාධිපති නායකයාව සිටි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයේ ආශිර්වාදය සමගින් ත්‍රිවිධ හමුදාව මෙහෙයවමින් ඔහු කළ මෙහෙයුම නොවන්නට අදටත් අප අනාරක්‍ෂිතව සිටින ජාතියක්‌ බවට පත්වීමට ඉඩකඩ තිබිණි. තිස්‌ වසරක යුද්ධය නිමාවීමත් සමග දකුණට මෙන්ම උතුරට සාමය උදා වූ බව අද සමහරුන්ට අමතකය. එදා බොහෝ අය දමිළ ජනතාව දෙස බැලුවේ කොටින් ලෙසිනි. එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමත් සමග දෙමළ ජනතාවට නිදහසේ ජීවත්වීමට අයිතිය ලැබී තිබේ. අද අප සමාජය අපගේ සහෝදර දමිළ ජනතාව දෙස

වපරැසින් නොබලන්නේ එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමත් සමග ඇති වූ යහපත් සමාජ වටපිටාව නිසාවෙනි. දමිළ ජනතාව මුහුණ දුන් ඉරණමටම පසුගිය කාලයේදී මුස්‌ලිම් ජනතාවට මුහුණදීමට සිදුවිය. ම්ලේච්ඡ සහරාන්ගේ පාස්‌කු දා ප්‍රහාරයෙන් පසුව මුස්‌ලිම් ප්‍රජාව මහත් අසරණභාවට පත්වූහ. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටුණි. සමහරු මුස්‌ලිම්වරුන් දෙස බැලුවේ සහරාන්ලා ලෙසිනි. එනිසාම එදා කොටි ලේබලයෙන් දමිළ ජනතාව මුදාගත් අයුරින්ම මුස්‌ලිම්වරුන් සහරාන්ගේ ලේබලයෙන් ගලවා ගැනීමේ ඓතිහාසික කාර්ය හිමිවී ඇත්තේ නව ජනපති ගෝඨාභය රාජපක්‍ෂයන්ටය. පාස්‌කු ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය හමුවට ගෙනැවිත් කතෝලික බැතිමතුන්ට සාධාරණය ඉටු කිරීම ද නව ජනාධිපතිවරයා වෙත පැවරෙන වගකීමකි.

පාස්‌කුදා එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයත් සමග අප රටේ ආර්ථිකය අප ඇස්‌ ඉදිරිපිටම කඩා වැටුණි. එම ප්‍රහාරයත් සමග සංචාරක ව්‍යාපාරය කඩා වැටෙද්දී සමහර රටවල් ශ්‍රී ලංකාව සංචාරය නොකළ යුතු රටක්‌ බවට ප්‍රකාශ කළේය. ඉන් මනාව පැහැදිලි වූයේ ආර්ථික සුරක්‍ෂිතතාව හා ජාතික අරක්‍ෂාව යන කරුණු දෙකම එකිනෙකට බැඳී ඇති බවයි. මේ මොහොතේදී අප රට ආර්ථික වශයෙන් දැඩි ආගාධයකට වැටී සිටින හෙයින් ගෝඨාභය රාජපක්‍ෂ නව ජනාධිපතිවරයාට රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සමගාමීව ආර්ථිකය නඟා සිටුවීමේ දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කළ යුතුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන අනුව මෙම වසර අවසාන වනවිට ආර්ථික වර්ධන වේගය 2% ට වඩා අඩුවීමේ අවදානමක්‌ පවතී. මෙම අවදානමෙන් රට මුදාගෙන රට ඉහළට ඔසවා තැබීමේ බරපතළ අභියෝගයට ද නව ජනාධිපතිවරයාට මුහුණදීමට සිදුවනු ඇත. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිදුකළ සේවාව කාගෙත් පැසසුමට ලක්‌විය. එම කළ පුරුද්ද අනුව රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් රට ඉදිරියට ගොඩනැඟීමේ හැකියාව නව ජනාධිපතිවරයාට ඇතැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.

අප රටේ කාලයක්‌ තිස්‌සේ ප්‍රධාන ආදායම් වර්ග වූයේ තේ, රබර්, පොල් යන විශේෂ බෝගයන්ය. පසුගිය කාලයේදී වැවිලි කර්මාන්තය නිසි ලෙස කළමනාකරණය නොකළ නිසාවෙන් එය බිඳ වැටී ඇත. ඒ නිසා සියලු අපනයන බෝග විධිමත් ලෙස විවිධාංගීකරණය කිරීමෙන් අප රටට විශාල ඵල නෙළාගැනීමට පුළුවන. එළවළු ඇතුළු බෝග වර්ග නිෂ්පාදනය වර්ධනය කිරීම හා ඒ සියලු ප්‍රශ්න නිරාකරණය කිරීමෙන් අප රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට පුළුවන. අද වනවිට අප රටේ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලිය මුළුමනින්ම ඇන හිට ඇත. එයට පණදී අපට රටේ ආර්ථිකය මෙහෙයවීම නව ජනාධිපතිවරයාට කළ හැකි කාර්යයකි.

කාලයක්‌ තිස්‌සේ අපේ රටේ තරුණ සම්පත සැලකුවේ කරදරකාරයන් ලෙසය. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරද්දී කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්විය. අවසානයේදී උගත් උපාධිධාරීන් කුමන හෝ අමාත්‍යාංශයකට අනුයුක්‌ත කර වැටුපක්‌ ලබාදීමේ ක්‍රියාවලියක්‌ පමණක්‌ පසුගිය කාලයේදී සිදුවිය. නමුත් මේ තරුණ සම්පත රටේ ආර්ථිකය යහපත් දිශාවකට හැරවීමේ කාර්යයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්‌ නොතිබිණි. නව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ සේම මේ රට දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පරිවර්තනය කළහොත් මෙම තරුණ සම්පතින් අප රටට විපුල ඵල නෙළා ගැනීමට පුළුවන.

අප රට ස්‌වභාවික සම්පත් අතින් ද මානව සම්පතින් ද පොහොසත් රටක්‌ බව අමතක නොකළ යුතුය. එනිසා මේ රට හදන්න පුළුවන් රටකි. ඒ සඳහා අවශ්‍යව ඇත්තේ දැක්‌මක්‌ සහිත විද්‍යාත්මක වැඩපිළිවෙළක්‌ පමණි. මේ රටේ සිටින උගතුන්, බුද්ධිමතුන්, වියතුන් ඒකරාශී කරගෙන ඒ ගමන යැමට නව ජනාධිපතිවරයාට අපි ශක්‌තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු. ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදිම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්‌ ගොඩනඟමින් මේ රටේ හෙට දවස යහපත් දිශානතියකට හරවන කාර්යයට අප රටේ සියලු දෙනා පක්‍ෂ පාට භේදයකින් තොරව නව ජනාධිපතිවරයාට ශක්‌තියක්‌ විය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

– වසන්ත ලියනගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *