අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව (විඩියෝ)

• ගෝඨාභය රාජපක්ෂ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි (විඩියෝ)

• හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි (විඩියෝ)

• හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි ! (විඩියෝ)

• මහ මැතිවරණයකට යාම වඩා සුදුසුයි – මහින්ද රාජපක්ෂ (විඩියෝ)

• වසරේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි – සියලු කොටස් ඒකක 106 කින් ඉහළට

• රාජ්‍ය ආයතනවලින් ජනපති අගමැති පින්තූර ඉවතට, රාජ්‍ය ලාංඡනය පමණයි – වෙනසකට මුලපුරමින් නව ජනපති පළමු නියෝගය දෙයි

• පෝස්ටර් ගසා, ජනපතිගේ පරමාදර්ශය කෙළෙසන අයට සමාජ ජාලාවල බලු බැණුම්…

• රටම අවුල් කල 19 සංශෝධනය වෙනස් කරන බව මහින්ද කියයි …

+++++++++++++++++++++++++++++++++++

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව

(18.11.2019 – pmdnews.lk)

= අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව =

= 2019.11.18 වන දින ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස සිට =

මහා නායක ස්වාමින් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි.

කිතුණු, හින්දු, ඉස්ලාම් හා අනෙකුත් ආගමික පූජකතුමන්ලාගෙන් ද අවසරයි.

ශ්‍රී ලංකාවේ පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමනි,

ගරු අග්‍රාමාත්‍යතුමනි, අග්‍රවිනිශ්චයකාරතුමනි, කොමසාරිස්වරුනි, තානාපතිවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියලුම මහජන නියෝජිතවරුනි, ආරාධිත අමුත්තනි, සියලු ශ්‍රී ලාංකීය පුරවැසියනි,

බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කරන ලද මේ ඓතිහාසික ස්වර්ණමාලී මහ සෑ පුදබිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාග්‍යයක්. ශ්‍රී ලාංකේය රාජ වංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියකු වන දුටුගැමුණු මහ රජුන්ගේ පිළිරුව අභියස සිට ජාතිය අමතන්නට ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබාදුන් ඓතිහාසික ජනවරම නිසයි. අද මා ඔබ හමු වන්නේ ඔබ සියලු දෙනාම ආදරය කරන මේ මාතෘභූමියේ විධායක ජනාධිපතිවරයා, සේනාධිනායකයා මෙන් ම ඔබේත් ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම භාර ගන්නා ආරක්ෂක ඇමැතිවරයා වශයෙන්.

සියල්ලන්නටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමැතියි, මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂීම පිටිවහල වූයේ අපේ රටේ සිවු දිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින් මට ලබාදුන් ආශිර්වාදය නිසා බව. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව මම මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියත් මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්‍ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යළිත් ඉල්ලා සිටින්නේ මගේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමඟ එක් වන ලෙසයි. මා වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුම ඡන්ද දායකයන්ට මා මේ අවස්ථාවේ මාගේ ස්තූතිය හා ගෞරවය පුද කරනවා.

එමෙන්ම මා වෙනුවෙන් ඡන්දය භාවිත කළත් නොකළත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය ගරු කරමින් කවර හෝ අපේක්ෂකයකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිත කළ අනෙකුත් ඡන්ද දායකයන්ටත් මා ස්තූතිවන්ත වෙනවා. දකුණේ සිංහල බෞද්ධ පවුලකින් පැවැත එන මම අධ්‍යාපනය ලැබුයේත් ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන්. ඒ නිසා බෞද්ධ දර්ශනය හැමවිටම මගේ සිතුවිලිවලට හා ගතිපැවැතුම්වලට එක් වී තිබෙනවා. බෞද්ධ දර්ශනය තුළ හිමි වන්නේ නීතිය යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකූල රාජ්‍යයක්. සියලුම ජාතිකයන්ට සියලුම ආගමිකයන්ට ක්ෂේමභූමියක් වූ පාලන තන්ත්‍රයක්. මගේ ධූර කාලය තුළ මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටිනවා.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැමවිටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය මම හැමවිටම සුරකිනවා. මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තියක් වූ මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පස් වන විධායක ජනාධිපති පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා. ඒ සමඟ ම මම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාතෘවරයා වන පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තූතියක් මා මෙම අවස්ථාවේ පුද කරන්නට කැමැතියි. පක්ෂයේ සභාපතිතුමා මහලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්, මහජන නියෝජිතයන් හා සාමාජිකයන්ටත් මා ස්තූති කරන්නට කැමැතියි. මට සහාය දීමට එක් වී මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ හැමදාමත් අප සමඟ සිටි සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ටත් එම පක්ෂවල නිලධාරීන් හා සාමාජිකයන්ටත් මේ අවස්ථාවේ මගේ හෘදයංගම ස්තූතිය පුද කරනවා. ඒවගේම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අප හා එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකයන් දැක්වූ සහායත් මෙහිදී සිහිපත් කරනවා. මෙම මැතිවරණයේ දී රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවරදාවත් නැති උද්‍යෝගයක් අපි දුටුවා. කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගි නොවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් වැඩ කළා. වියත් මග වැනි වෘත්තියවේදීන්ගේ සංවිධාන, විවිධ ජාතික සංවිධාන, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, විද්වතුන්, කලාකරුවන්, සමාජ ජාල ක්‍රියාකාරිකයන් ඡන්දය දීම සඳහා ම ලංකාවට පැමිණි අපේ විදේශගත ශ්‍රමිකයන් මෙන්ම තරුණ පරපුර මෙම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දුන් සුවිශේෂී දායකත්වය මා අගය කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුද කරනවා.

දැන් අපිට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩනැගීමේ වගකීමයි. ඡන්දය භාවිත කළ ඔබ විසින් මේ ජනවරම මට ලබාදී තිබෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කළ ජනතාව විසින් ජනතාව උදෙසා සකස් කළ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි. එය මේ රටේ ඒකීයත්වය ස්වෛරීත්වය හා ආරක්‍ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙළ. මේ රටේ ජීවත් වන සියලුම පුරවැසියන්ගේ අපේක්ෂා ඉටු කරන වැඩපිළිවෙළක්. අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවන වැඩපිළිවෙළක්. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වන සියලු කරුණු මගේ ධූර කාලය තුළ ඉටු කිරීමට මම කටයුතු කරනවා.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමක් ලෙස මා සලකනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොරබියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් නිර්මාණයට අවශ්‍ය රාජ්‍ය ආරක්‍ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනඟනවා. අපි සෑම රටක් සමඟ ම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතීන් අතර බල අරගලයන්ට මැදි වන්නට අපිට අවශ්‍යතාවක් නැහැ. We want to remain neutral in our foreign relations and stay out of any conflicts among the world powers. අප සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරිත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා.

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. We will have our fullest commitment to achieve sustainable development goals of United Nations. මේ මැතිවරණය ආරම්භයේ සිටම අපි මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්නට කැප වුණා. ප්‍රතිවාදීන්ට අපහාස නොකර ප්ලාස්ටික් පොලිතින්වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලුදෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුළුවන් වුණා. රාජ්‍ය පාලනය තුළත් ඒ ආදර්ශමත්භාවය දිගටම පවත්වා ගෙන යන්නට මම ක්‍රියා කරනවා. නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපැවුණ වෘත්තිමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පොරොන්දු වුණු ආකාරයටම අපේ පාලන ක්‍රමය විවිධ වගකීම් පැවැරීමේ දී හැකියාවට හා දැනුමට හැමවිටම මුල්තැන ලබාදෙනවා. The government should always set an example to the society. Professionalism and efficiency should be the cornerstone of government administrations meritocracy and technocracy should be promoted all times. Corruption will never tolerate under my administration. අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අපි සතුව තිබෙනවා. ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඔවුන් දැනුමෙන් සන්නද්ධ කිරීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනයට උපකාර කිරීමට අපි ප්‍රමුඛත්වයක් දී කටයුතු කරනවා. 21 වන ශතවර්ෂයේ අභියෝගයන්ට මුහුණ දීමට අපේ ජනතාව සූදානම් කිරීම සඳහා රටේ සෑම ක්ෂේත්‍රයකම නව තාක්ෂණය භාවිතාව පුළුල් කරනවා. අපගේ සමස්ත ජීවන රටාව තුළම ගුණගරුක බව නීතිගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ගොඩනැඟීම සඳහා ඔබ සියලුදෙනාගේම සහාය මම බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ අනුව මට ඡන්දය දුන් අය මෙන් ම නොදුන් සියලුදෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ජනතා අපේක්ෂාවන් ඉටු කරන්නට මම සැමවිටම කැපවෙනවා. අපේ ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩකොටසක් කෙටිකලක් තුළ ඉටු කරන්නට තිබෙනවා. උවමනාව තිබෙනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ. ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් නැහැ. රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරන දැක්ම අප සතුව තිබෙනවා. ඒ සඳහා සැලැසුම් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි ඔබට ඉදිරිපත් කර තිබෙනවා.

මා මේ රටේ විධායක ජනාධිපතිවරයා යි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබට වන්නේ නැහැ. ඒ අනුව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ හැකි නව රජයක් මා පිහිටුවනවා.

මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා මා සමඟ එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

ඔබ සැමට ස්තූතියි.

තෙරුවන් සරණයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගෝඨාභය රාජපක්ෂ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

(18.11.2019 – 11:51 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගත් බව වාර්තා විය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂ නායකයින් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් අතුළු විශාල පිරිසක් සහභාගි විය.

+++++++++++++++++++++++++++++++++++

හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

(18.11.2019 – 11:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී එම ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේයි.

පළමුව ජයශ්‍රී මහ බෝ සමිදුන් වහන්සේ වැඳ පුදාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුවයි රුවන්වැලි මහ සෑ රදුන් අභියසට පැමිණියේ.

එහිදී මහා සංඝ රත්නය මෙන්ම සර්ව ආගමික නායකයන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කරනු ලැබුවා.

නව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා නිවේදනය කළා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

https://www.facebook.com/hirunews/videos/431698917762741/

+++++++++++++++++++++++++++++++++++

හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි !

(18.11.2019 – colombotoday.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා මහ සෑ භූමිය වෙත පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නැවත හරයා යැවීම ජනපති ආරක්ෂක ඒකකය කටයුතු කළේය.

ජනපති දිවුරු දීම සදහා පැමිණෙනතුරු එහි රැදී සිටි හිස්බුල්ලා මහතා, ජනාධිපතිවරයා සමීපයට පැමිණීමට උත්සහ කර ඇති අතර, වහාම ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරීන්ට නියෝග කර ඇත.

ආපසු පැමිණීමේදී හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාට රැස්ව සිටි ජනතාවගෙන්ද දැඩි විරෝධය එල්ල විය.

මේ අතර උත්සවයට සහභාගී වීම සදහා පැමිණි රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග අමාත්‍යවරුන්ටද ජනතාවගේ විරෝධය එල්ල විය.

https://www.facebook.com/112035193550571/videos/786106135143756/

+++++++++++++++++++++++++++++++++++

මහ මැතිවරණයකට යාම වඩා සුදුසුයි – මහින්ද රාජපක්ෂ

(18.11.2019 – 13:24 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වඩා සුදුසු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අදට යෙදෙන සිය ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ පැවති පුණ්‍යෝත්සවයේදීයී.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී කිරිඅම්මාවරුන් 110 දෙනෙකු සඳහා වන විශේෂ දානමය පිංකම අද අලුයම පැවැත්වුණි.

මෙහිදී මහාසංඝරත්නය විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද පළ කළේය.

එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු බහුතරයක්ම මේ වන විට ඉල්ලා අස් වී ඇති බවත් සියලු දෙනා ජනතා මතයට ගරු කළ යුතු බවත්ය.

+++++++++++++++++++++

***************************************

වසරේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි – සියලු කොටස් ඒකක 106 කින් ඉහළට

(18.11.2019 – 15:25 +0530 – sinhala.adaderana.lk)

හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් අද (18) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා විය.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77% ක ඉහළ යාමකි.

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් විය.

දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ අතර අද (18) දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමක් වේ.

අද (18) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කළම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී.

මේ අතර ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි කොටස් මිලියන 15.4 ක ප්‍රමාණයක් දිනය තුළ ගනුදෙනු වී තිබුණු අතර එය දිනයේ වැඩිම කොටස් පරිමාවක් ගනුදෙනු වූ සමාගම බවට පත්ව තිබිණි. එසේම සියෙරා කේබල්ස් සමාගමේ කොටස් මිලියන 10 ක්ද දිනය තුළ ගනුදෙනු වී තිබුණි ෴

***************************************

රාජ්‍ය ආයතනවලින් ජනපති අගමැති පින්තූර ඉවතට, රාජ්‍ය ලාංඡනය පමණයි – වෙනසකට මුලපුරමින් නව ජනපති පළමු නියෝගය දෙයි

(18.11.2019 – colombotoday.com)

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඊට අනුව මින් ඉදිරියට සියලු රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති ඡායාරූප සහ අග්‍රාමාත්‍ය ඡායාරූප ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රර්ශනය වන ආකාරයෙන් තැබිය යුතු වනවා ෴

***************************************

පෝස්ටර් ගසා, ජනපතිගේ පරමාදර්ශය කෙළෙසන අයට සමාජ ජාලාවල බලු බැණුම්…

(18.11.2019 – colombotoday.com)

ලෝකයේ ප්‍රථම කාබන් විමෝචක මැතිවරණ ව්‍යාපාරය හදුන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර සුවිශේෂී වෙනසක ලක් කළේය. මැතිවරණයට අවතීර්ණ වෙමින් හෙතෙම කියා සිටියේ තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාර පුරාවට පෝස්ටර්, පොලිතීන් ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා නොගන්නා ලෙසයි. ඒ අනුව සෙසු ජනාධිපති අපේක්ෂකයන්ද මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට ඉදිරිපත් වූ බැවින් මෙවර ජනාධිපතිවරණය පරිසර හානි අවම මැතිවරණයක් බවට පත්විය.

ජනාධිපති ධුරයට පත්ව සිය පළමු කතාවේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ තමන් හදුන්වා දුන් පරමාදර්ශ හානියට ලක් නොකර සාමකාමීව, ගෞරවාන්විතව ජයග්‍රහණය සමරන ලෙසයි.

එහෙත් එම ප්‍රකාශයෙන් පැය විසි හතරක් ඉක්ම යන්නට මත්තෙන් ඇතැම් දේශපාලකයන් විසින් සිය රුව සහිතව ජනාධිපතිවරයාට සුබ පතන පොස්ටර් අලවමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පරමාදර්ශය කෙළෙසීමට පටන්ගෙන ඇත.

බස්නාහිර හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය විසින් කොළඹ නගරය පුරා අලවා ඇති එවැනි පොස්ටරයකට සමාජ ජාලාවල දැඩි විරෝධය එල්ල වී තිබේ.

මෙරට සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වූ අලුත් රටක් නව දැක්මක වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රවේශය පුදනකොටම කාපි යකා කියා කෙළෙසා දමන්නට උත්සහ කරන මෙවැනි අවස්ථාවාදී මරි මෝඩයන් වහ වහාම දේශපාලන පිටියෙන් පන්නා ඈත් කර තැබීමට ඉක්මන් විය යුතුය.

***************************************

රටම අවුල් කල 19 සංශෝධනය වෙනස් කරන බව මහින්ද කියයි..

(18.11.2019 – 17:30 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ජනාධිපතිවරණය විශිෂ්ඨ ලෙස ජයගෙන ඇත. අවුරුදු පහක් මුළුල්ලේ අනේකවිධ දුෂ්කරතා විද ලබාගත් මේ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව, අනුන්ට කිසිඳු කරදරයක් නොවන ආකාරයට භුක්ති විදින මෙන් මම අපගේ පාක්‍ෂිකයන්ගෙන් මෙන්ම සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන්ද ඉල්ලා සිටිමි.

මහජනතාව මේ තීරණාත්මක ජයග්‍රහණය අප වෙත ලබාදී තිබෙන්නේ, පසුගිය අවුරුදු පහ පුරාවටම පැවති මේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත එපා වී ඇති නිසාය. එම නිසා කිසිවෙකුටත් කරදරයක් නොවෙන ආකාරයට හැසිරීම අපි පොදු මහජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමකි. පසුගිය අවුරුදු පහ මුලුල්ලේ වත්මන් ආණ්ඩුවේ දඩයමට හා අසාධාරණකම් වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කිරීම පිණිස අපි විශේෂ වැඩපිළිවෙලක් යොදන බවට මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිමි.

අපගේ ප්‍රතිවාදීන් 2015 දී කළ ආකාරයට නොයෙක් පටු දේශපාලන න්‍යාය පත්‍රයන් සහිත ජාතිවාදී, ආගම්වාදී බලවේග එකතුකරගෙන මෙවරත් ජනවරම කොල්ලකෑමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීම ගැන මම ශ්‍රී ලංකාවාසී ජනතාවට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. ජාතිවාදය වපුරවමින් කරන මේ භයානක දේශපාලන සූදුව අවසන් කිරීමට කාලය දැන් එළඹී තිබේ. මේ ජනාධිපතිවරණය මීට කළින් පැවති සියලුම ජනාධිපතිවරණ වලට වඩා බෙහෙවින්ම වෙනස් වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ඇති කර තිබෙන ව්‍යාකූලතාවය නිසාය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්වය ගැන සමාලෝචනයක් කර, පවතින නීතිමය රාමුව තුළ ඉදිරි කටයුතු කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු. අවුරුදු පහක් මුලුල්ලේ අයාලේ ගිය රට යළිත් හරි මඟට ගැනීමට අපට දැන් අවස්ථාව උදාවී ඇත. අපගේ අපේක්‍ෂකයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි, මේ සඳහා රටේ ආර්ථිකය මුල සිට ගොඩනැගීමට මෙන්ම රටේ පාලන තන්ත්‍රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සම්පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට සිදුවෙනු ඇත. මේ පිළිබඳව තව නොබෝ දිනකින් වැඩි විස්තර අපි ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

මේ මැතිවරණයේදී ප්‍රකාශ වී ඇති ජනවරම හමුවේ ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපගේ මාතෘ භූමියටත්, සියලු දේශමාමක ශ්‍රී ලාංකික ජනතාවටත් ජයවේවා!

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *