චෝදනාවලට ලක් වූ ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – මහා සංඝරත්නය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• චෝදනාවලට ලක් වූ ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – මහා සංඝරත්නය (විඩියෝ)

• රටට ආදරය කරන නායකයෙක් අපිට බිහිවුණා – තිලකරත්න ඩිල්ශාන් (විඩියෝ)

• මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මනම්පිටිය වැලි සමාගමේ ඇතිවූ ගින්න ගැන සැකයක් (විඩියෝ)

• ඉන්දීය අගමැතිගේ ආරාධනාව පිළිගත් ජනපති ගෝඨාභය එළඹෙන 29 ඉන්දියාවේ සංචාරයක (විඩියෝ)

• නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නෑ (විඩියෝ)

• විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි මහ සෑ රඳුන්ගේ නව චූඩා මාණික්‍ය වන්දනාමාන කරයි (විඩියෝ)

• නව ජනපතිට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබාදී අගමැති සහ ඇමතිවරු ඉවත්විය යුතුයි – අස්ගිරි ලේඛකාධිකාරී හිමියන් (විඩියෝ)

• මත් මුද්දර ජාවාරමක් දෙහිවල ගුවන් පාලම යටදී කොටුවෙයි

• ජන මතයට ගරු කළ යුතු බව බැසිල් කියයි (විඩියෝ)

• ජනපති අතට ගිය නිර්වාන් රාජපක්ෂ

• අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අයිතියක් නෑ (විඩියෝ)

• අල්ලස් ගත් ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු තුන්දෙනෙකු රිමාන්ඩ්

• අත්අඩංගුවට ගත් කෙන්යානු කාන්තාවගේ උදරයේ තිබී කොකේන් ගුලි 19 ක් සොයාගැනේ

+++++++++++++++++++++++++++++++++++

චෝදනාවලට ලක් වූ ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – මහා සංඝරත්නය

(19.11.2019 – 20:50 +0530 – hirunews.lk/sinhala)

මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජන් රාමනායක, පාඨලී චම්පික රණවක ඇතුළු ආණ්ඩුවේ චෝදනාවලට ලක් වූ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහා සංඝරත්නය පවසනවා.

උන්වහන්සේලා මේ බව සදහන් කළේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකට එක්වෙමින්.

***************************************

රටට ආදරය කරන නායකයෙක් අපිට බිහිවුණා – තිලකරත්න ඩිල්ශාන්

(19.11.2019 – 22:46 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමත් සමග, 2009 වසරේ යුද්ධය අවසන් වූ අවස්ථාවේ දැනුන සතුටම දැනුන බව ‘විදේශ බලකාය’ නම් සංවිධානය අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.

මේ සඳහා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා ද එක්ව සිටියා.

***************************************

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මනම්පිටිය වැලි සමාගමේ ඇතිවූ ගින්න ගැන සැකයක්

(19.11.2019 – 20:47 +0530 – hirunews.lk/sinhala)

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මනම්පිටිය වැලි සමාගමේ ඇතිවූ ගින්නකින් එහි ලියකියවිලි, පරිගණක ඇතුළු බඩුබාහිරාදිය තොගයක් සම්පූර්ණයෙන් විනාශ වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, පසුගිය කාලය පුරා සිදුවූ දූෂණ හා වංචා වසන් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම ආයතනයට ගිනි තැබූ බවට සැකකරන බවයි.

පොළොන්නරුව, මනම්පිටිය මහවැලි පාලමට නුදුරින් පිහිටි මනම්පිටිය වැලි සමාගමේ ගොඩනැගිල්ලේ ගින්න හටගෙන තිබුණේ අද අළුයම 3 ට පමණ.

පසුව පොළොන්නරුව නගර සභාවේ ගිනිනිවීම් ඒකකය සහ පොළොන්නරුව පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති අතර, ඒ පොලිස් නිල සුනඛයින්ද යොදා ගෙන තිබෙනවා.

මේ අතර, එම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාද එහි පැමිණියා.

+++++++++++++++++++++

***************************************

ඉන්දීය අගමැතිගේ ආරාධනාව පිළිගත් ජනපති ගෝඨාභය එළඹෙන 29 ඉන්දියාවේ සංචාරයක

(19.11.2019 – 20:44 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාව පිළිගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 29 වන දින ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Dr. Subrahmanyam Jaishankar

***************************************

නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නෑ

(19.11.2019 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස දිවුරුම් දීමත් සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවතින කැබිනට් මණ්ඩලයට ලබාදුන් විධායක බලතල අහෝසි වන බැවින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ‘ජාතික සංවිධාන එකමුතුව’ පවසනවා.

ඒ, අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි මහ සෑ රඳුන්ගේ නව චූඩා මාණික්‍ය වන්දනාමාන කරයි

(19.11.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර රුවන්වැලි මහ සෑ රඳුන්ගේ නව චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (19) එක්වුණා.

රුවන්වැලි මහා සෑ රඳුන්ට පළදවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය මහජනතාවට වන්දනාමාන කර ගැනීම සඳහා ප්‍රදර්ශනය කිරීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ දිනවල සිදුවනවා.

ඒ සදහා දිවයිනේ නන් දෙසින් බැතිමතුන් පැමිණෙමින් සිටින අතර, හෙට (20) මධ්‍යම රාත්‍රිය දක්වා එය වැඳපුදා ගැනීමේ අවස්ථාව සැදැහැවතුන්ට හිමි වනවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චූඩා මානික්‍යය වන්දනා කිරීම සදහා අද (19) පෙරවරුවේ පැමිණියා.

***************************************

නව ජනපතිට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබාදී අගමැති සහ ඇමතිවරු ඉවත්විය යුතුයි – අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්

(19.11.2019 – 20:00 +0530 – hirunews.lk/sinhala)

නව ජනාධිපතිවරයාට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදී අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරු ඉවත්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ රටක් නොවන බවට හිටපු අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි නීතිමය පියවර ගත යුතු බවයි මහා සංඝරත්නය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන්, සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සහ සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අදහස් පළ කළා.

***************************************

මත් මුද්දර ජාවාරමක් දෙහිවල ගුවන් පාලම යටදී කොටුවෙයි

(19.11.2019 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සාද සහ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ආ මත් මුද්දර ජාවාරමක් වැටලීමට විශේෂ කාර්ය බලකාය අද සමත්වුණා.

ඒ අනුව දෙහිවල ගුවන් පාලම අසළදී ‘මත් මුද්දර’ 275 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල – බෙල්ලන්තොට සහ මොරටුව – ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි 26 සහ 20 හැවිරිදි තරුණයන්.

මෙම මත් මුද්දර තොගය රුපියල් ලක්ෂ 7 කට අධික වටිනාකමකින් යුක්ත වන අතර, එකක් රුපියල් 3,000 කට ආසන්න මුදලකට අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

ජන මතයට ගරු කළ යුතු බව බැසිල් කියයි

(19.11.2019 – 19:28 +0530 – hirunews.lk/sinhala)

කවරෙකු වුවත් ජන මතයට ගරු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේදි අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර කොළඹ අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ජන මතයට ගරු කරමින් සදාචාරාත්මක දේශපාලනයක් සමඟ ඉදිරියට යා යුතු බවයි.

එමෙන්ම පක්ෂයේ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට රට උකසට තබන දේශපාලනයක එක්සත් ජාතික පක්ෂය නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

ජනපති අතට ගිය නිර්වාන් රාජපක්ෂ

(19.11.2019 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩභාරගැනීමෙන් අනතුරුව හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ පුතුගේ සුවදුක් බැලීමට පැමිණියා.

එම අවස්ථාවට හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

එහිදී ලබාගත් ඡායාරූප පෙළක් රෝහිත රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනේ මෙලෙසින් :

***************************************

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අයිතියක් නෑ

(19.11.2019 – 19:33 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.

අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර නොගතහොත් තමන් බිංගිරිය – එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයෙන්ද ඉවත්වන බවයි.

එමෙන්ම පක්ෂයේ ඇතමුන්ට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් පවතින බව සඳහන් කළ ඔහු කියා සිටියේ වහාම මැතිවරණයක් අවශ්‍ය බවට වජිර අබේවර්ධන අමාත්‍යවරයාද ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

එය කොන්ත්‍රාත්තුවක් බවටයි ඔහු එහිදී චෝදනා කළේ.

මේ අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපතිවරයාට යොමු කර තිබුණා.

***************************************

අල්ලස් ගත් ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු තුන්දෙනෙකු රිමාන්ඩ්

(19.11.2019 – 16:09 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර කාර්යාලයේ ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු තුන්දෙනෙකු දෙසැම්බර් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (19) නියෝග කළා.

මගීන් දෙදෙනෙකුට ප්‍රවේශපත්‍ර ලබා නොදීමේ වරදට නීතිමය කටයුතු නොකර සිටීම සඳහා බස් කොන්දොස්තරවරයෙකුගෙන් ඔවුන් අල්ලස් ලබාගෙන තිබුණා.

රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 12,000 ක් ලබාගන්නා අවස්ථාවේදියි මෙම ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ෴

***************************************

අත්අඩංගුවට ගත් කෙන්යානු කාන්තාවගේ උදරයේ තිබී කොකේන් ගුලි 19 ක් සොයාගැනේ

(19.11.2019 – 15:29 +0530 – hirunews.lk/sinhala)

කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි කිහිපයක් සමඟ කටුනායක ගුවන් තොටුපලේදි රේගුව මගින් අත්අඩංගුවට ගත් කෙන්යානු ජාතික කාන්තාව ගිල දමා තිබූ තවත් කොකේන් ගුලි 19 ක් පිටතට ගෙන තිබෙනවා.

ඒ, ඇය මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාරිය විසින් ගිල දැමූ තවත් කොකේන් ගුලි ඇයගේ ආමාශයේ පවතින බවයි මීගමුව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පෙරේදා (17) පස්වරුවේ ඇය දෝහා කටාර් සිට මෙරටට පැමිණ ඇති අතර, ගමන් මළු පරීක්ෂා කිරීමේදි කොකේන් ගුලි කිහිපයක් සොයාගෙන තිබුණා.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ 34 හැවිරිදි මෙම කාන්තාව තවත් කොකේන් ගුලි ගිල මෙරටට පැමිණ ඇති බවයි.

ඒ අනුවයි ඇය විරේක ගන්වා එම කොකේන් පිටතට ගැනීම සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *