අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි (විඩියෝ)

• ජනපති අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප රාජසන්තකයි

• ඇමරිකානු රාජ්‍ය ලේකම් නව ජනපතිට සුබ පතයි

• අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ජනමතයට ගරු කළ යුතුයි – ජානිපෙ (විඩියෝ)

• ජනාධිපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

• කිලිනොච්චියේ ජය සැමරුම (විඩියෝ)

• ජනපති දුන් ඉහළම තනතුරු (විඩියෝ)

• යන මඟ වෙනස් කරන බොදුබල සේනාව (විඩියෝ)

• හිස්බුල්ලා අනුරාධපුරයට ආවා කිරි හැළියට ගොම දාන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර (විඩියෝ)

• එක්සත් ජාතික පක්ෂය වසර 20 කට වත් වෑල්ඩින් කරන්න බෑ – රෝහිත අබේගුණවර්ධන (විඩියෝ)

• නිහඬ කාලයේ උද්ඝෝෂණයක් පැවැත් වීම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් (විඩියෝ)

• ජනපති ගෝඨාභය මහතාගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

+++++++++++++++++++++++++++++++++++

අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමට තීරණය කරයි

(19.11.2019 – 19:43 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (20) දිනයේදී ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුත් සීමිත කැබිනට් මණ්ඩලයකින් සමන්විත භාරකාර ආණ්ඩුවක් මීළඟ මහ මැතිවරණය තෙක් පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

***************************************

ජනපති අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප රාජසන්තකයි

(19.11.2019 – 15:20 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 33 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක කර තිබෙනවා.

ඒ, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5 ක ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙන්.

පසුගිය 16 වනදා පැවති ජනාධිපතිවරණයේදී සියයට 12.5 ඉක්මවූ ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදුණු වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් තරඟ වැදුණු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණයි ෴

***************************************

ඇමරිකානු රාජ්‍ය ලේකම් නව ජනපතිට සුබ පතයි

(19.11.2019 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට ප්‍රංශසා එක් කරන බවයි.

එමෙන්ම, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ, වගවීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බව ද එහි සදහන් ෴

***************************************

අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ජනමතයට ගරු කළ යුතුයි – ජානිපෙ

(19.11.2019 – 12:47 +0530 – hirunews.lk/sinhala)

අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ජනමතයට හිස නමා සදාචාරාත්මක ලෙස ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද සිය නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු කාලය එළඹ ඇතැයි ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළා.

***************************************

ජනාධිපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

(19.11.2019 – 23:26 +0530 – sinhala.adaderana.lk)

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.

මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී ෴

***************************************

කිලිනොච්චියේ ජය සැමරුම

(19.11.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීම පිළිබඳ රට පුරා ජනතාව අදත් සිය සතුට පළ කළේය.

ඒ වෙනුවෙන් සැමරුම් උත්සව රැසක් ද සංවිධාන කර තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සැමරීම සඳහා අද කිලිනොච්චි නගරයේ උත්සවයක් සංවිධාන කර තිබුණි.

ඒ කිලිනොච්චි මුලතිව් හා යාපනය දිස්ත්‍රික්ක භාරව කටයුතු කළ විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

ජනපති දුන් ඉහළම තනතුරු

(19.11.2019 – 19:19 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කරනු ලැබීය.

එමෙන්ම ආරක්ෂක ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයන්ද ජනාධිපතිවරයා විසින් අද (19) පත් කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වැඩභාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කරනු ලැබුවා.

ජයසුන්දර මහතා හිටපු ජනපතිවරුන් වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ රජයේ මහ භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දරනු ලැබීය.

ඔහු 1973 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලබා ආර්ථික සංවර්ධනය පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1984 වසරේදී බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත්තේය.

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල මහතා මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබීය.

එස්.ආර්.ආටිගල මහතා මීට පෙර මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සහකාර අධිපති ධුරයද හොබවා තිබූ අතර, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකු ලෙස ද කටයුතු රාජ්‍ය නිලධාරියෙක්.

2018 ඔක්තෝබර් මස 31 වැනිදා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස ද ආටිගල මහතාව පත් කරනු ලැබීය.

එක්සත් රාජධානියේ, වොරික් විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ගෙන ඇති ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 27 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර තිබේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කෙරුණි.

මානුෂික මෙහෙයුමේදී 53 වැනි සේනාවට අණදුන් කමල් ගුණරත්න මහතා වසර 30 ක් පැවැති යුද්ධය නිම කිරීමට මූලිකත්වය දුන් රණවිරුවෙක්.

2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. නායකයින් රැසක් මෙල්ල කරනු ලැබුවේ, කමල් ගුණරත්න මහතා අණදුන් 53 වන සේනාංකයේ සෙබළුන් විසින්.

යුද හමුදාවෙන් විශ්‍රාම යාමෙන් පසු කමල් ගුණරත්න මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය තානාපති ලෙස ද කටයුතු කළේය.

මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්ධූරයට ඕෂධ සේනානායක මහතා පත්කර තිබේ.

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය හැදෑරූ ඒ පරිගණක ඉංජිනේරුවරයෙක්.

ඔහු ව්‍යාපාර කළමණාකරණය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියද බ්‍රිතාන්‍යයේ නොර්තුම්බ්‍රියා විශ්ව විද්‍යාලයෙන් පරිඝණක විද්‍යාව පිලිබඳ විශේෂ උපාධියක්ද හිමිකරගත් අයෙක්.

එමෙන්ම ඕෂද සේනානායක මහතා මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතන රැසක ප්‍රධාන විධායක ධූරයන්ද හොබවනු ලැබීය.

***************************************

යන මඟ වෙනස් කරන බොදුබල සේනාව

(19.11.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන මහමැතිවරණයෙන් පසුව බොදුබල සේනා සංවිධානය විසුරුවා හරින බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

අද (19) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ කියා සිටියේ, පසුගිය වසර 4 හමාරක් තුළ රටේ ප්‍රධාන ජාතිය වු සිංහලයාගේ අභිමානය කෙලෙසන තැනට ඇතැම් දේශපාලඥයින් පැමිණි බවයි.

ඒ වෙනුවෙනු විවෘතව කථා කරන්න සිංහල නායකයින් බිය වුයේ මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය නිසා බවත් පැවසු උන්වහන්සේ, ‘දැන් නිකන් තාත්තා ගෙදර ආවා වගේ’ යනුවෙන් පැවසීය.

පියෙක් නැතුව අනාථ වී සිටි ජාතිය, මරා දමා සිටි සිංහලකම දැන් අවදි වී ඇතැයි පැවසු ඥානසාර හිමියන් ඒ අවදි වීම සුළු ජාතිකයාට තර්ජනයක් නොවන බවත් කියා සිටියේය.

අපි ශික්ෂණය වී ඇත්තේ බෞද්ධ ධර්මය මත බවත් පැවසු උන්වහන්සේ, තමාට රට පුරා ගොස් විපරම් කිරිමට සිදුවුයේ වගකිව යුතු නායකත්වයක් රට තුළ නොසිටි නිසා බවත් පැවසීය.

දැන් ඒ ගැන බිය යුතු නොවන බවත්, මහ මැතිවරණය තෙක් බොදුබල සේනාව ක්‍රියාත්මක බවත් ඉන් අනතුරුව මෙය විසුරුවා හරින බවත්, තම කාර්ය වන්නේ සියලු මිනිසුන් වෙනුවෙන් ධර්ම චාරිකාවේ යෙදීම බවත් කියා සිටියේය.

***************************************

හිස්බුල්ලා අනුරාධපුරයට ආවා කිරි හැළියට ගොම දාන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(19.11.2019 – 19:00 +0530 – sinhala.adaderana.lk)

සුළු ජාතීන්ගේ සහාය නොමැතිව නායකයන් පත්කළ නොහැකි බවට බෙදුම්වාදි දේශපාලන නායකයින් ස්ථාපිත කර තිබූ මතය මෙවර ජනාධිපතිවරණයේදී සුන් වූ බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

මේ පිළිබඳ සහ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ විය.

මෙහිදී අදහස් දැක්වු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ, ඉතා පැහැදිලි ලෙසම සිංහල බහුතර ඡන්දයෙන් තේරී පත්වු බව ගෝඨාභය මහතා ඉතා පැහැදිලි ලෙස පැවසු බවයි.

සුළු ජාතීන්ගේ සහය නොමැතිව රජයක් ගෙන යන්න බැහැ කියන මතය ඒ තුළින් බෙදුම්වාදී දේශපාලනඥයින් වාසියක් අත් කර ගැනීමට උත්සහ ගත් බවත් පැවසීය.

ඔවුන්ගේ කොන්දේසිවල ප්‍රධානතම කරුණ වන්නේ ඒකීය රට ෆෙඩරල් කිරිම බවද සඳහන් කර සිටි ඒ මහතා, ඒ කොන්දේසි පිළිගත් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වු බවත් කියා සිටියේය.

එනිසා රට ෆෙඩරල් කරන සංකල්පය සම්පූර්ණයෙන් අහෝසි විය යුතු යැයි ද පෙන්වා දුන් සරත් වීරසේකර මහතා, මෙය ජනමත විචාරණයක් ලෙස සලකන බවත් පැවසීය.

මින් මතුවට රට ෆෙඩරල් කිරීමට හෝ බෙදීමට කතා කරන සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ වන්නි දිස්ත්‍රික්කයේ සියයට 5 ක් ගෝඨාභය මහතාට ඡන්දය ලබා දී ඇති බවයි.

යාපනයේ ද සියයට 6 ක් ඡන්දය ඒ මහතාට ලබා දී ඇතැයි පැවසු වසන්ත බණ්ඩාර මහතා, ජනතා විමුක්ති පෙරමුණට මුළු රටෙන්ම හිමිව ඇත්තේ සියයට 3 ක් පමණක් යනුවෙන් ද පැවසීය.

ඒ සියයට 6 යනු ප්‍රබල ලෙසම බෙදුම්වාදයට හා ජාතිවාදයට විරුද්ධ මිනිස්සු බවද පැවසු ඒ මහතා, ජනවරම ගෝඨාභය මහතාට ලබා දුන්නේ, පරාජිතයින් සමඟ එකතු වීමට නොවන බවත් සඳහන් කළේය.

මේ මොහොතේ ජාතික ආණ්ඩු පිළිබඳ සාකච්ඡා අවශ්‍ය නැති බවත්, නැවත මැතිවරණයකට යාමේ යෝජනාව රනිල්ගේ වික්‍රමසිංහ මහතාගේ යෝජනාවත් බවත් එය ද හෙළා දකින බව වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ඔවුන්ට FCID යෑම වළක්වන්න හා රිෂාඩ්, හකීම්ගෙන් කට උත්තර ගැනීම වළක්වා ගනිමින් නැවත දේශපාලනයට එන්න ඡන්දය අවශ්‍ය යැයි ද පැවසු ඒ මහතා, ජනතාවට ඡන්දයක් අවශ්‍ය නැතැයි ද කියා සිටියේය.

ජනතාව ජනමතය ලබා දී අවසන් බවත් ඊළඟ ඡන්ද විමසීම අදාළ කාලයේදී සිදු කළ හැකි බවත් සඳහන් කර සිටි ඒ මහතා, ගෝඨාභය මහතා දිවුරුම් දුන් මොහොතේ සිට කැබිනට්ටුව අහෝසියි යනු න්‍යායාත්මක කරුණක් බවත් පැවසීය.

නව අගමැතිවරයෙක් පත්කරන්න බාධාවක් නොමැති බවත්, කැබිනට්ටුව, අගමැති පත්කර ආණ්ඩුව කරන්න එවිට බාධාවක් නොමැති බවත් කියා සිටි ඒ මහතා, ජනපතිට අගමැති පත්කරන්න 113 ක් අවශ්‍ය නැතැයි ද කියා සිටියේය.

හිස්බුල්ලා මහතා අනුරාධපුරයට පැමිණ කිරි හැලියට ගොම දැමු බවත් පැවසු ඒ මහතා, ඩිලාන් පෙරේරා මහතා ඔහුව නැවත හරවා යැවු බවද සඳහන් කර සිටියේය.

අනෙක් ඇමතිවරුත් ඒ විදිහට කටයුතු කරන්නේ නම් මේ කිරි හැළියට ගොම දාන්න එන අයව දුරස් කර තබා ගත හැකි බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසා සිටියේ, විවිධ පැතිවලට අඳින්නේ නැතුව ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසයි.

අද යාපනයේ බෝම්බ පිපිරෙන්නේ නැති බවත් සිංහල නායකයා ගැන උතුරේ ජනතාව විශ්වාසය තබා ඇති බවත් කොළඹ සංවර්ධනය කළ අයුරින්ම උතුරු නැගෙනහිරත් ඔහු සංවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ගෝඨාභය මහතාගේ ඒ දැක්ම සමඟ රට ඉදිරියට රැගෙන යමු යනුවෙන් ද ඒ මහතා මෙහිදී පැවසීය.

විද්වත් වෘත්තිකයන්ගේ සන්ධානයේ කැඳවුම්කරු නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා පවසා සිටියේ, දෙමළ ජාතික සන්ධානයට හෝ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට තමාගේ ජාතිවාදී හැඟීම් මත නායකයින් පත් කිරීමේ හැකියාව ඔවුන් සතු බව පවසා කේවල කිරිමේ හැකියාව මින් මතු ඔවුන් සතු නොවන බවයි.

නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, මෙම පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය උපාසක ලීලාවක් ප්‍රකාශ කරමින් සිටින බවයි.

මහ මැතිවරණය වෙන විට ඔවුන් ජනතා අනුකම්පාව දිනා ගැනීමට උත්සහ කරන බවත්, නම්බු පිටින් අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී ගෙදර යන්න යනුවෙන් ඒ මහතා මෙහිදී පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

එක්සත් ජාතික පක්ෂය වසර 20 කට වත් වෑල්ඩින් කරන්න බෑ – රෝහිත අබේගුණවර්ධන

(19.11.2019 – 17:46 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ කොන්ද පණ නැති ක්‍රියා හේතුවෙන් පක්ෂය බිඳීමකට ලක්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය කොටස් 4 කට බෙදී යනු ඇති බවයි.

එජාප නායකයින්ට කොන්ද පණ නැති බව හොඳින් පෙනී ගිය බවත් පැවසු ඒ මහතා, 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වු විට ඒ මහතා කෙලින් සිටි බවත් ඔහු සමඟ සිටි පිරිසත් කෙලින් සිටි බවත් පැවසීය.

නමුත් අද පරාජය හමුවේ එජාප යේ පිරිස හැංගී ඇතැයි පැවසු ඒ මහතා, “කෝ රාජිත ? කෝ පාඨලී” යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ඔවුන් එළියට පැමිණ මේ මොහොතේ කථා කළ යුතු බවත් පැවසු මන්ත්‍රීවරයා, ජනෙල්වල එල්ලන්න හැදු සරත් ෆොන්සේකා මහතා අද වන විට කොහේ සිටි දැයි ප්‍රශ්න කළේය.

එනිසා එජාපයේ නායකයින් අද වන විට විසිර ගොස් ඇතැයි ද වසර 20 කට හෝ යුඑන්පී ය වෑල්ඩින් කළ නොහැකි බවත් පැවසීය.

***************************************

නිහඬ කාලයේ උද්ඝෝෂණයක් පැවැත් වීම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(19.11.2019 – 17:29 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණ නිහඬ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කළ බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් පවසයි.

පැමිණිලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ මාධ්‍යට මෙලෙස අදහස් පළ කළේය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, වික්‍රමබාහු කරුණාරත්න, සුනිල් ජයසේකර හා ශ්‍රී ලාල් ප්‍රියන්ත ආදි පිරිසක් එක්ව මැතිවරණ නිති උල්ලංඝනය කරමින් 2019.11.14 වන දින පිටකොටුවේ පැවැත් වනු ලැබුණු උද්ඝෝෂණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක නීතියක් ක්‍රියාත්මක නොවුනු බව ද චන්ද්‍රරතන හිමියන් පැවසීය.

එයට අවධානය යොමු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට පැමිණි බව පැවසු උන්වහන්සේ, රටේ මාධ්‍ය භාවිතය හා දේශපාලන භාවිතය ගැන ජාත්‍යන්තරය ඉදිරියේ බොරු පැවසු සමන් රත්නප්‍රිය හා වික්‍රමබාහු කරුණාරත්නලා වැනි අය මැතිවරණයට දිනක් තිබිය දී තම අපේක්ෂකයාට වැඩි අවධානයක් යොමු වෙන ආකාරයෙන් මෙම උද්ඝෝෂණය සිදුකල බව ද කියා සිටියේය.

මාධ්‍ය නිදහසට වඩා ඔවුන් ඒ මොහොතේ තමන්ගේ දේශපාලන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම පිණිස බවත් පැවසු උන්වහන්සේ අනෙක් ප්‍රතිවාදී අපේක්ෂකයා පිළිබඳව අයහපත් හැඟීමක් ඇති වෙන ආකාරයෙන් කටයුතු කර ඇතැයි පැවසීය.

***************************************

ජනපති ගෝඨාභය මහතාගේ ජයත් සමග කරලියට ආ නව යොවුන් යුවල ?

(20.11.2019 – colombotoday.com)

මේ පසුගිය දින දෙකෙහි සමාජ මාධ්‍යයන් හි වඩාත්ම කතාබහට ලක්වූ නව යොවුන් යුවලකගේ ජායාරුපයකි. එහි දැක්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ සෙව්වන්දිය මහත්මියයි.

විදුලි ඉන්ජිනේරු සහ පරිඝණක විද්‍යා උපාධියක් (Double major in Electricial Engineering and coumputer Science fron duke University) සහ පද්ධති ඉන්ජිනේරු පශ්චාත් උපාධියක්ද (Marster’s in Systems Engineering from University of Southern California) සහිත මනෝජ් රාජපක්ෂ මහතා මේවනවිට ඇමෙරිකාවේ නාසා ආයතනයේ (Jet Propulsion Laboratories හි සේවය කරයි.

ඔහුගේ බිරිඳ සෙව්වන්දි මහත්මිය සෛල සහ අණුක ජීව විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරා ඇත. (Cell and Molecular Biology from Winona State University)

තාත්තා ජනාධිපති වුවද කිසිඳු දේශපාලන කටයුත්තකට මැදිහත් නොවීමට මෙම යුවල දැනටමත් තීරණය කර ඇතැයි වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන ජයග්‍රහණයත් සමග රාජපක්ෂ පවුල් බලය තීරණාත්මක ලෙස වෙනස් විය හැකි බවට දේශපාලන විචාරකයින් මිට ඉහතදී පුරෝකථනය කර තිබිණ ෴

Gotabaya Rajapaksa Family (Photos)

https://gallery.gossiplankanews.com/news/gotabaya-rajapaksa-family.html
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *