පුත්තලම රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් සේවයෙන් බැහැරවීම වරදක් බව කියයි

(08.11.2017 – 07:53 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ බස් රථ අනතුරින් වැඩි රෝගීන් පිරිසක් ඇතුළත් කෙරුණු පුත්තලම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනා සේවා කාලය තුළ රෝහලේ නොසිටීම වරදක් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා පවසනවා.

මෙම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට කරුණු වාර්තා කර දැඩි දඬුවම් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මුන්දලම – මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ බස් රථ අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 40 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරින් තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණේ මුන්දලම ප්‍රාදේශීය රෝහලට සහ පුත්තලම මූලික රෝහලටයි.

තුවාලකරුවන් 31 දෙනෙකු ඇතුළත් කළ පුත්තලම මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාම අනුමත නිවාඩු ලබා නොගෙන එම අවස්ථාවේ රෝහලේ නොසිටි බවට චෝදනා එල්ලවුණා ෴

****************************************

යාපනේ නිවසක මහා පරිමාණ ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණාලයක්‌ – ලක්‍ෂ 21 ක හොර සල්ලි සමඟ අඹුසැමි යුවළක්‌ දැලේ
(08.11.2017 – divaina.com)

යාපනය මනියම්තෝට්‌ටම් ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මහාපරිමාණ ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ පෙරේදා (06 වැනිදා) වැටලූ පොලිසිය එහි මුද්‍රණය කර බෙදාහැරීමට සූදානම් කර තිබූ රුපියල් විසිඑක්‌ලක්‍ෂ හැටඅටදහසක්‌ වටිනා රුපියල් පන්දහසේ සහ දහසේ ව්‍යාජ නෝට්‌ටු තොගයක්‌ ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණය කිරීමේ මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය තරුණ අඹුසැමි යුවළක්‌ ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක්‌, ප්‍රින්ටර් 2 ක්‌, ස්‌කැනර් යන්ත්‍රයක්‌ සහ තවත් උපකරණ රැසක්‌ ද පොලිස්‌ භාරයට ගෙන ඇත.

මෙම ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණාලය පිළිබඳව මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ යාපනය කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ සැරයන් (78100) දුෂ්‍යන්ත මහතාටය.

පසුව දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ලක්‌මාල් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ කළ වැටලීමකදී මෙම ස්‌ථානයේ තිබූ ව්‍යාජ මුදල් නෝට්‌ටු ඇතුළු උපකරණ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. මෙම මුද්‍රණාලයේ මුද්‍රණය කළ ව්‍යාජ නෝට්‌ටු යාපනය අර්ධද්වීපය පුරා බෙදාහැර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මුද්‍රණාලය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු 26 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ බිරිඳ 19 හැවිරිදි තරුණියක බව පොලිසිය පවසයි. මෙම මහා පරිමාණ ජාවාරමට තවත් පුද්ගලයන් කීපදෙනකු සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාර අඹුසැමි යුවළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *