නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිවුරුම් දෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිවුරුම් දෙයි (විඩියෝ)

• මංගල ඇතුලු හිටපු ඇමතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – රාවණා බලය (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන්නැයි මන්ත්‍රී ලන්සා ජනපතිගෙන් ඉල්ලයි (විඩියෝ)

• විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

• ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හලාල් සහතිකය නිකුත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජමයතුල් උලමා සමග ගිවිසුම් අත්සන් කරයි

• ‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..

• ජනපති සියල්ල වෙනස් කරයි.. මුල්ම විදේශ සංචාරයට 10 කට අඩු පිරිසක්.. ඥාතීන් මිතුරන් කිසිවෙකු නෑ.. අවශ්‍ය අය පමණයි..

• රටම ජනපති අනුව යයි.. ප‍්‍රාදේශීය, නගරසභා සභාපතිවරුන්ද තම පින්තූර ඉවත් කරති.. රාජ්‍ය ලාංඡනය පමණයි..

• මගේ උපරිම සහයෝගය ශ්‍රී ලංකා රජයට ලබා දෙනවා – නේස්බි සාමිවරයා

• කොටි හුරතල් ඉවරයි … උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

• මහින්ද අගමැති ලෙස අද දිවුරුයි… කැබිනට්ටුවට නම් 15 ක්… පොහොට්ටුවට 12 යි – ශ‍්‍රීලනිපයට 3 යි… ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

• ආරක්ෂාව ගැන සැළකිලිමත් වන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්

• සියලු රජයේ සේවකයින්ගේ විදෙස් සංචාර නවතී

+++++++++++++++++++++++++++++++++++

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිවුරුම් දෙයි

(20.11.2019 – 19:22 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට (21) දිවුරුම් දීමට නියමිත බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කළා.

හෙට (21) පස්වරු එකට (01:00) දිවුරුම්දීම සිදුවන අතර, පස්වරු 3 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඔහු වැඩ භාරගැනීමට නියමිතයි ෴

+++++++++++++++++++++

***************************************

මංගල ඇතුලු හිටපු ඇමතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – රාවණා බලය

(20.11.2019 – 19:45 +0530 – hirunews.lk/sinhala)

දුෂණ වංචා සිදුකළ මංගල සමරවීර ඇතුලු හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරිමට කටයුතු කළයුතු බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජන් රාමනායක, පාඨලී චම්පික රණවක ඇතුළු චෝදනාවලට ලක්වූ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ විවිධ ප්‍රදේශවල පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකට එක්වෙමින්.

***************************************

පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන්නැයි මන්ත්‍රී ලන්සා ජනපතිගෙන් ඉල්ලයි

(20.11.2019 – 19:36 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ස්වාධීන සහ අපක්ෂපාතී විශේෂ පූර්ණ බලය සහිත කොමිෂන් සභාවක් පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ සහ දරුණු ලෙස තුවාල සිදුවූ අයගේ වැඩිම පිරිස කතෝලික සහ කිතුණු බැතිමතුන් බවයි.

එම නිසා කතෝලික ජනතාවගේ පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව සහ ඉල්ලීම මෙම ප්‍රහාරය පිළිබඳව සැබෑ තතු හෙළිදරව් කරගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

එමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ අබාධිත වූ පිරිස් සඳහා සාධාරණ වන්දියක් සහ සොයාබැලීමක් පසුගිය රජය මගින් සිදුකර නොමැති බවයි. එම ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.

එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ සබඳතා පවත්වා ඇති බවට සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බවත් එහි සඳහන්.

පසුගිය රජයෙන් මේ පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව කාදිනල් හිමිපාණන් පවා සෑහීමකට පත් නොවූ බව මන්ත්‍රීවරයා ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

***************************************

විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

(21.11.2019 – 05:25 +0530 – lankaleadnews.com)

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට යෝජනා කර තිබේ. මෙම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන අතර ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීමටද නියමිතය. ඒ අනුව විපක්ෂයේ වැඩිම ආසන හිමි පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්වන අතර එම පක්ෂයෙන් විපක්ෂ නායකවරයා පත්කර ගත යුතු වෙයි. විපක්ෂ නායක ධුරයට සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකදී ඊයේ (20 වැනිදා) ප්‍රකාශ කළේය. වෙනත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බවද ඔහු පැවැසීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන්ද රනිල් වික්‍රමසිංහ ඉවත් කළ යුතු බව සජිත් පාර්ශ්වය සඳහන් කරයි. ඒ සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (21 වැනිදා) පෙරවරුවේ පැමිණෙන ලෙස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට සජිත් ප්‍රේමදාස ආරාධනා කර ඇත. එම ස්ථානයට සජිත් ප්‍රේමදාසට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්වීමට නියමිතය. සිරිකොතට පැමිණෙන මෙම පිරිස එම ස්ථානය අත්පත් කර ගැනීමේ සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සැකයක් මතුව ඇත.

සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයෙන් මෙම වැඩපිළිවෙළ මෙහෙයවන අතර, පැමිණෙන පිරිස රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් වන තුරු මෙම ස්ථානයේ රැඳී සිටීමට නියමිත බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 03 වැනිදා යළි රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද අද (21 වැනිදා) රැස්වීමට නියමිතව ඇත.

මේ අතර සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (21 වැනිදා) පැවැත්වීමට සංවිධානය කර තිබූ රැස්වීම නොපැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය ඊයේ (20 වැනිදා) පස්වරුවේ නිවේදනය කළේය.

එම උත්සවය ඉදිරි දිනයකදී පවත්වන අතර ඒ පිළිබඳව සියලුම ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දෙන බවද එම නිවේදනයේ දැක්වෙයි ෴

***************************************

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හලාල් සහතිකය නිකුත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජමයතුල් උලමා සමග ගිවිසුම් අත්සන් කරයි

(20.11.2019 – 23:00 +0530 – lankaleadnews.com)

මෙතෙක් කල් ජමයතුල් උලමා සංවිධානය විසින් නිකුත් කළ හලාල් සහතිකය අපනයන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කිරීමට අද දින (20)ගිවිසුම් අත්සන් කළ බව වාර්තාවේ. ඒ මඟින් දේශීය වෙළඳපලට ඉදිරිපත් කරන නිෂ්පාදන මිල ඉහළ යන බව ආයතනයේ සේවකයෝ පවසති.

මෙම ක්‍රියාවලිය බාහිර බලපෑමකින් අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ පුද්ගලික උවමනාව මත දියත් කරන බවට එම සේවකයෝ චෝදනා කරති.

මෙම ක්‍රියාවලිය පිටුපස අන්තවාදී බලවේග සිටින බවටද ඔවුහු චෝදනා කරති ෴

***************************************

‘සුවපති’ ආතල් නිමයි.. වැලිකඩ ‘සිරපති’ පෙනේ.. රාජිත FCID කැදවයි.. දරුණු ලෙස පොදු දේපල අවභාවිත චෝදනා..

(20.11.2019 – 22:32 +0530 – lankacnews.com)

සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවත්වමින් ඇති පරීක්‍ෂණ සදහා නැවත වතාවක් කැදවා තිබේ.

රාජිත සේනාරත්න අවස්ථා ගණනාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද කැදවීම් මග හැර තිබින.

ජනාධිපතිවරණයෙන් පසු පලමු වතාවට ඔහු කැදවා ඇති අතර ඔහුට පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙයි.

පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සුවිශේෂී හේතුවකින් තොරව මහේස්ත‍්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර මහාධිකරණයකින් ඉල්ලීම් කල යුතුය ෴

***************************************

ජනපති සියල්ල වෙනස් කරයි.. මුල්ම විදේශ සංචාරයට 10 කට අඩු පිරිසක්.. ඥාතීන් මිතුරන් කිසිවෙකු නෑ.. අවශ්‍ය අය පමණයි..

(20.11.2019 – 22:12 +0530 – lankacnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මුල්ම නිල විදේශ සංචාරය ඉන්දියාවට සිදු කිරීමට යෝදාගෙන තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ යෙදෙන්නේ එළැඹෙන 29 දාය.

ඒ බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ද සිය නිල ට්විටර් ගිණුම මගින් තහවුරු කර තිබේ.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දහයකට ආසන්න පිරිසක් පමණක් දූත පිරිස ලෙස සහභාගී වනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

එම දූත පිරිස අතර උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු අවශ්‍ය පිරිසක් හැරුණු විට ඔහුගේ බිරිඳ හෝ කිසිම ඥාතියෙකු හිතවතෙකු එක් නොවනු ඇතැයිද වාර්තා වෙයි ෴

***************************************

රටම ජනපති අනුව යයි.. ප‍්‍රාදේශීය, නගරසභා සභාපතිවරුන්ද තම පින්තූර ඉවත් කරති.. රාජ්‍ය ලාංඡනය පමණයි..

(21.11.2019 – 06:26 +0530 – lankacnews.com)

රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය නොකිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද දැනුම් දීම අනුව රටපුරා පිහිටි පලාත් පාලන ආයතනවලද සභාපතිවරුන්ගේද පින්තූර ගලවා ඉවත්කර ගනිමින් සිටිති.

බොහෝ පළාත් පාලන ආයතන සභාපතිවරයාගේ පින්තූරය සහ ජනාධිපතිවරයා ගේ පින්තූරය ඉවත්කර රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරමින් ඇත.

මේ වන විට සියලුම රාජ්‍ය ආයතනවල ‍ප‍්‍රදර්ශනය කරමින් ඇත්තේ රාජ්‍ය ලාංඡනය පමණි ෴

***************************************

මගේ උපරිම සහයෝගය ශ්‍රී ලංකා රජයට ලබා දෙනවා – නේස්බි සාමිවරයා

(21.11.2019 – 07:21 +0530 – lankaleadnews.com)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේන් සැදුම්ලත් බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා සහයෝගිතාවේ සභාපති නේස්බි සාමිවරයා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ තමා මෙන්ම තම කණ්ඩායම අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ බිහිවුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපරිම සහයෝගය ලබා දීමට ප්‍රතිඥා දෙන බවය.

“නව විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීම පිණිස විශාල ජන සහභාගීත්වයකින් මුළු දිවයින පුරා සාර්ථකව ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳව පළමුකොටම ශ්‍රී ලාංකීය ජනයාට සුභ පතමි. ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරුණු රාජකාරි වල දී ඔහු දැක්වූ සමත්කමත්කම් පිළිබඳව මම ඉතාම සතුටට පත් වුණෙමි. දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ප්‍රහාරයන් ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය නිසා බව කිසිවෙකුත් අමතක නොකළ යුතුය. යනුවෙන් ඔහු සිය සුබපැතුම් පණිවිඩයෙන් දන්වා සිටී.
ඇත්ත වශයෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ ‘චර්චිල්’ බවට පත්වෙමින් සකල ශ්‍රී ලාංකික ජාතියට දැවැන්ත ප්‍රබෝධයක් අත්පත් කරනු ලැබුවේය. නව ජනාධිපතිවරයාට තමාගේ අතීත අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් දැන් ශ්‍රී ලාංකීය ආර්ථිකය ක්‍රියාශීලීත්වයට පත්කළ හැකිය” යනුවෙන් ඔහු අවධාරණය කර සිටියි.

ඔහු වැඩිදුරටත් සුබ පතමින් අවධාරණය කර සිටින්නේ බටහිර ලෝකයේ එල්ටීටීඊ යේ බලපෑම් සහිත ඩයස්පෝරාවේ විරෝධතාවයන් නොසලකා හැරිය යුතු බවයි.

“අභිනව ජනාධිපති වරයාට පසුගිය රජය සමයේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තව තවත් ගිලෙන්නට සැලසූ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරවන්නට කාලය අවශ්‍ය වනු ඇත. මම වඩාත්ම විශ්වාසයෙන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන සුළුජාතීන්ට විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ ජනයාට සමානව සැලකිය හැකි නායකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. මෙවර මැතිවරණය ශක්ති සම්ප්සම්පන්න වටපිටාවක් එතුමාට නිර්මාණය කර දී ඇත. මම ඔහුට ඔහුගේ කාර්යයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. මම මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් මස්ත ශ්‍රී ලාංකික ජනතාවටත් මාගේ උපරිමයෙන් සහයෝගය පළ කරමි” යනුවෙන් පවසා ඇත ෴

***************************************

කොටි හුරතල් ඉවරයි … උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

(21.11.2019 – 07:09 +0530 – lankaleadnews.com)

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසීය.

කොටි සංවිධානය තහනම්ව තිබියදී නීතිරීති උල්ලංඝනය කරමින් කොටි සුසාන භූමි පහක කොටි සැමරීමට ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කි‍්‍රයාකර තිබුණි.

පසුගිය සිව්වසර තුළ කොටි සමරු උත්සව මහාපරිමාණයෙන් පැවැත්වීම සිදු වුණා. රටේ නීතිය සැමටම පොදුයි. මෙවර ඊට ඉඩක් නැහැ යයි එම ආරංචි මාර්ග පැවැසීය.

මෙම සමරු උත්සව පැවැත්වීම සඳහා උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමි පහක් එළිපෙහෙළි කර ඇත.

පසුගිය වසරේදී ද්‍රවිඩ දේශපාලකයකු උතුරේ කොටි සුසාන භූමියක් විදුලි ආලෝකවත් කිරීමට සිය අරමුදලින් මුදල් සපයා තිබුණි ෴

***************************************

මහින්ද අගමැති ලෙස අද දිවුරුයි… කැබිනට්ටුවට නම් 15 ක්… පොහොට්ටුවට 12 යි – ශ‍්‍රීලනිපයට 3 යි… ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

(21.11.2019 – 06:39 +0530 – lankaleadnews.com)

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

නව ඇමැති මණ්ඩල සංයුතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 12 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 03 ක් වශයෙන් බව වාර්තා වෙයි. ඒ අනුව ඇමැති මණ්ඩලය මුළු ගණන 15 කි. මුදල් ඇමැති ධුරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැති ධුර භාර ගැනීම සඳහා දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ නිමල් සිරිපාල ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇත. කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, ක්‍රීඩා, සමෘද්ධි යන විෂය ප‍ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී ඇමැති ධුරයක් ලබා ගැනීමට සැලසුම් කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත් නොවීම නිසා මෛත්‍රිපාල සිරිසේනට පාර්ලිමේන්තු මන්ත්‍රී වරම අහිමි වී යාමේ තත්ත්වයක් මතුව ඇත.

අද (21 වැනිදා) දිනයේ භාරකාර රජයේ ඇමැති මණ්ඩලයද දිවුරුම් දීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමැති ධුර පහක් ඔවුන් සමග ඒකාබද්ධව සිටින පක්ෂ නායකයන් වෙත ලබාදීමට නියමිතව ඇත ෴

***************************************

ආරක්ෂාව ගැන සැළකිලිමත් වන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්

(21.11.2019 – 07:38 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව සහ පරික්ෂාකාරිව රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට අදාල උපදෙස් ලබාදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වූ දේශපාලන වෙනස්විමත් සමඟ දේශපාලන පලිගැනිම්, පැහැරගැනිම් හා කලබල ඇතිවිය හැකි බවටය ජනතාව තුළ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වගකිය යුතු බවටත් වැඩබලන පොලිස්පතිවරයා මගින් දැනුම්දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දර්ශනය පරිදි ජාති භේද, ආගම් භේද සහ පක්ෂ භේද වලින් තොරව සැමට සාමකාමීව ජිවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යාමට සියලු විධි විධාන යොදා ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

එම නිසා අනිසි බියක් ඇති කර නොගෙන රටේ ජනතාවට සාමාන්‍ය පරිදි ජන ජිවිතය පවත්වාගෙන යා හැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

යම් හෙයකින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සාමය කඩවන පිරිදි ක්‍රියා කළහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

***************************************

සියලු රජයේ සේවකයින්ගේ විදෙස් සංචාර නවතී

(21.11.2019 – 07:14 +0530 – sinhala.adaderana.lk)

සියලුම රාජ්‍ය සේවකයින්ගේ විදේශ සංචාර නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

ජනාධිපති ලේකම් පි. බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරු පළාත් ලේකම්වරු සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ඊයේ (20) දිනයේදී අදාල දැනුම්දීම ලිඛිතව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

තමන් යටතේ ආයතනවල සියලු රාජ්‍ය නිලධාරින්ට අදාල දැනුම්දීම සිදු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අදාල ලිපිය මගින් උපදෙස් ලබාදී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සියලු පාළාත් ආණ්ඩුකාරවරුන්ට ද සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ඊයේ (20) දිනයේ ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම්දී තිබුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • All this drama could have been avoided if ranil just accepted the situation when he was dismissed by President Sirisena almost 0ne-year ago. Greedy for power and corrupt he hanged on, egging on Sumanthiran to take the President to the Courts, and provoking the people to riot n the streets. He have just managed to clung to power with his damaged nails, but now the natural justice has demonstrated that Ranl’s misdeeds have backfired on him. The very people that put him on a pedestal have toppled him through Sajith, in a decisive statement, “UNP, Ranil and accolytes, Get out of Here”. So now Ranil had to leave with his tail between his legs. Karma and Vipaaka, a perfect example in action.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *