සිරිකොතේ පදයට නැටූ සීඅයිඩියේ බාන ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

(01.12.2019 – divaina.com)

රටින් පැන ගිය කන්දප්පාගේ සිට ගාල්ලට ගාල් කළ ශානි දක්වා කතාව

පසුගිය රජයේ නීතිය හා සාමය ඇමැති ලෙස කටයුතු කරනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉකුත් බදාදා සිරිකොතේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අපූරු ප‍්‍රකාශයක් කරනු ලැබීය.

අපරාධ පරීක්‍ෂණ දේපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය අකී‍්‍රය කර විනාශ නොකරන ලෙස තමන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව රංජිත් මද්දුම බණාඩාර කළ ඒ ප‍්‍රකාශය විය.

එහෙත් රංජිත් මද්දුම බණ්ඩාර කළ යුතුව තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් එවන් ඉල්ලීමක් කිරීමද? අපේ වැටහීම අනුව නම් එය කිසිම වැදගම්මකට නැති වැඩකි.

හරිනම් ඔහු කළ යුතුව තිබුණේ රාජිත සේනාරත්න , සරත් ෆොන්සේකා, පාඨලී චම්පික ඇතුළුව බලයට පැමිණි දා සිට රාජපක්‍ෂ වෛරයෙන් පෙළුණු එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායම්වල සහ ‘එන්ජීඕ’ නඩවල කුණු කොන්ත‍්‍රාත් කරන්නට ගොස් මේ මොහොතෙ වනවිට දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයකට මුහුණ දී සිටින හිටපු සීඅයිඩී අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ සීනියර් ඩීඅයිජී රවි සෙනවිරත්න දෙසට පළමුව හැරීමය.

එසේ හැරී දෙවනුව ඉතිහාස පොතේ එන වීර මද්දුම බණ්ඩාර කතාව සිහියට ගෙන ‘ශානි ඔයා බිය නොවන්න.. කෙළවුණ හැටි මම පෙන්වමි’යැයි පැවසා ශානි අබේසේකර ඇතුළු කල්ලියේ ගුණ ගායනා කිරීමය.

අප එසේ කියන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අකී‍්‍රය කරන්නට හෝ විනාශ කරන්නට දෙයක් අද සීඅයිඩියේ ඉතිරිව නැති නිසාය.

සීඅයිඩිය වැනසූ සැබෑ කල්ලිය

පසුගිය යහපාලන සමයේ සීඅයිඩිය මුළුමනින්ම වනසා එය දේශපාලන අසුචි වළක් බවට පත් කරනු ලැබුවේ සිරිකොත දේශපාලනයට අනුව යමින් කොටි ඩයස්පෝරාවේ සහ විජාතික කඳවුරේ කොන්ත‍්‍රත්තුව ඉටු කළ මේ මුග්ධ රැළය.

පැහැදිලිවම කිවහොත් රටේ ජාතික ආරක්‍ෂාව වනසා දමමින් රට බේරා ගන්නට දිවිහිමියෙන් කැපවූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් ඇතුළු බුද්ධි අංශ විරුවන් දංගෙඩියට යවන්නට වෙහෙසුණු කුජීත පොලිස්කාරයෝය.

එය තවදුරටත් පැහැදිලිවම කියන්නේ නම් සීඅයිඩියේ සීනියර් ඩීඅයිජී රවි සෙනවිරත්න, හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරිවරුන් වන තිසේරා, රංජිත් වෙදසිංහ, ලොකුහෙට්ටි, සීඅයිඩී සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි කුප‍්‍රකට පොලිස් පරීක්‍ෂක ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා කන්දප්පා සහ සාජන් මෙන්ඩිස් ඇතුළු කල්ලිය මෙසේ සීඅයිඩිය වනසා දැමුවෝ වූහ.

එසේ කිරීමේදී මොවුන් තුළ පැහැදිලි අරමුණු දෙකක් විය. ඉන් පළමුවැන්න වූයේ ප‍්‍රභාකරන්ට අවසානය ළඟා කළ ඉකුත් මානුෂීය මෙහෙයුමේ සියලු යුද රහස් අනාවරණය කර රටේ බුද්ධි අංශවලට පහරදී බෙදුම්වාදයට මාවත විවර කර දෙමින් ජාතික ආරක්‍ෂාව වනසා දමා සියල්ල පාවා දීමය.

එහිදී මේ පාවා දෙන්නන් පසුපස සිටියේ ඇමරිකාව ප‍්‍රධාන බටහිර කඳවුරට අනුව අපේකමට නිගා දී ‘මල් මල් ගමනක් ගිය සිරිකොත දේශපාලනය’ සහ මේ රටට එරෙහි විජාතික කඳවුර මෙන්ම කොටි ඩයස්පෝරාවය.

ගෝඨාභය දඩයම

දෙවැනි අරමුණ වූයේ එසේ පාවා දීමෙන් විනාශ වන රට ගලවා ගන්නට ජාතිකවාදී කඳවුරේ සිටි පැහැදිලි දේශපාලන නායකත්වය වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂයන් කෙසේ හෝ දඩයම් කර සිරගත කිරීමය.

මේ අරමුණු දෙක ජයගැනීමෙන් පසු බටහිර රාජ්‍යයකට ගොස් සිය විශ‍්‍රාම දිවිය සුවසේ ගතකිරීම සීඅයිඩිය වැනසූ මෙකී පාවා දෙන්නන්ගේ බලාපොරොත්තුව විය.

එහෙත් රටේ ජාතිකවාදී කඳවුර ප‍්‍රාර්ථනා කළ පරිදි සහ මෙකී පාවා දෙන්නන් ඇතුළු පසුගිය එජාපෙ ආණ්ඩුව නොසිතූ පරිදි ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා 69,00,000 ක ජනවරමකින් මේ රටේ විධායක ජනාධිපතිවරයා වීමත් සමඟ සුණු විසුණු වී ගියේ මේ මුග්ධයන්ගේ එකී බලාපොරොත්තුවය.

ඒ අනුව මේ මොහොත වන විට, සීඅයිඩියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටිමින් පාවාදීමේ නාටකයේ බිහිසුණු දුෂ්ඨයාගේ චරිතයට පණ දුන් ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා කන්දප්පා සිය දරුපවුලද සමඟ ස්විට්සර්ලන්තයට පලා ගොසිනි.

නූතන ෂර්ලොක් හොම්ස් යැයි කියැවුණු සීඅයිඩියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ලික සහකාර ලෙස ස්ථාන මාරු ලැබ සිටී.

සීනියර් ඩීඅයිජී රවි සෙනවිරත්න පෙරළුන පිට හොඳයි න්‍යායෙන් පැත්ත මාරු කර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වන්දනාවක යෙදෙන්නට සූදානම් වන බවක්ද කියැවෙන්නේ සීඅයිඩිය තුළින්මය.

නිශාන්ත කන්දප්පාගේ පලා යෑම

මෙහිදී තමන්ගේ අතිජාත ගුරුන්නාන්සේ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරවත් මෙරට තනිකර දමා දේශපාලන රැකවරණ මත නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පැන යන්නේ පසුගිය කාලයේ එක්නැලිගොඩ, තාජුඩීන්, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග, නඩරාජා රවිරාජ්, වැලිකඩ කැරැල්ල, උපාලි තෙන්නකොන්ට සහ කීත් නොයාර්ට පහරදීම ආදී ලෙසින් සිද්ධීන් ගණනාවක ප‍්‍රධාන විමර්ශන නිලධාරියාව සිටියදීය.

එකී විමර්ශන මුවාවෙන් ජාතික ආරක්‍ෂාව විනාශකර කොටි ඩයස්පෝරාවේ කොන්ත‍්‍රාත්තුවට අනුව ඉහළම තැනක තිබූ මෙරට බුද්ධි ජාලය වනසා දමා බුද්ධි අංශ විරුවන් දඩයම් කළ මේ නිශාන්ත සිල්වා කන්දප්පා යනු කවරෙක්ද?

ස්විස් මානව හිතවාදයේ නිරුවත

මෙහිදී මුලින්ම සඳහන් කළ යුතු වන්නේ සුපිරි මානව හිතවාදයක් පිළිබඳ අපට කියා දෙන්නට එන ඇමරිකාව ප‍්‍රධාන විජාතික කඳවුරේ එක් පුරුකක් වන ස්විට්ස්ර්ලන්ත රජය නිශාන්ත සිල්වා කන්දප්පා වැන්නකුට දේශපාලන රැකවරණ දීමෙන් මේ මොහොතේ සිය ඊනියා මානවහිතවාදයේ නිරුවත ලෝකයටම පෙන්වා දී තිබෙන බවය.

මන්ද නිශාන්ත සිල්වා කන්දප්පා යනු පොලිස් නිලධාරියකු ලෙස මෙරට මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවස්ථා දෙකකදීම තීරණය කර ඔහුට දඬුවම් කර ඇති නිසාය.

එසේම කන්දප්පාට එරෙහිව මිනිස් අයිතිවාසිකම් කඩකළ බවට මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය කාලයේ සිදු කළ නඩු විභාග රාශියක්ද ඇත. ඉන් සමහර නඩු පවරන ලද පුද්ගලයන් වන්නේ මෙරට දෙමළ ජාතිකයන් වීමද සුවිශේෂීය.

එසේ නම් සුපිරි මානවවාදයක් ගැන ලෝකයට බණ කියන කඳවුරේ එක් රාජ්‍යයක් වන ස්විට්සර්ලන්තය මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝණය කෙරූවකු බවට මෙරට ශ්‍රේෂඨාධිකරණය මගින් වරදකරු කළ පුද්ගලයකුට මෙසේ දේශපාලන රැකවරණ ලබා දුන්නේ කුමන පදනමකින්ද?

පසුගිය කාලයේ ජීනීවා මානව හිමිකම් කවුන්සලයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව චෝදනා එල්ල වීමේදී සීඅයිඩියට ද චෝදනා එල්ල විය. මෙරට තුළ යුද්ධය නිමා වීමෙන් පසුවද එය දිගින් දිගටම සිදුවූවකි. මෙහිදී සීඅයිඩියේ ප‍්‍රධාන විමර්ශකයකු වී සිටියේ නිශාන්ත සිල්වා කන්දප්පාය.

එවන් තත්ත්වයක් තිබියදීත් ඔහුට දේශපාලන රැකවරණ දීමට ස්විට්සර්ලන්තය කටයුතු කරනු ලැබුවේ මේ රටට එරෙහි විජාතික කඳවුරේ කොන්ත‍්‍රාත්තුව නිශාන්ත සිල්වා කන්දප්පා විසින් අකුරට ඉටු කිරීම නිසාද?

එසේත් නැතිනම් මෙතෙක් සිදු කළ කාලකණ්ණි පාවාදීම් තුළින් නිශාන්ත සිල්වා කන්දප්පා හම්බ කළ බව කියන කොටි ඩයස්පෝරාවේ ඩොලර් ස්විස් ගිනුම්වල තිබෙන නිසා ස්විට්සර්ලන්තය ඔහුට රැකවරණ දුන්නේද? කෙසේ වෙතත් මේ වන විට නිශාන්ත සිල්වාට ස්විට්සර්ලන්තයේදී සුරසැප ලබාදෙන්නට එරට රජය කටයුතු කර ඇති බවද දැනගැනීමට ඇත.

කන්දප්පාගේ අපරාධ ලැයිස්තුව

මේ නිශාන්ත සිල්වා කන්දප්පා යනු සීඅයිඩියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටියදී පසුගිය කාලයේ මිනීමැරුම් චෝදනාවකටද ලක්වූ අයකු විය.

එම චෝදනාව ඔහුට එල්ල වී තිබුණේ උඩවලව ප‍්‍රදේශයේදී ආමි සුරංග නමැති පාතාල සාමාජිකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවනි.

මෙහිදී කන්දප්පා විසින් මරා දැමූ ආමි සුරංග යනු මීට කලකට ඉහත පාතාලයේ ප‍්‍රබලයකුව සිටියදී ඝාතනයට ලක්වූ වම්බොට්ටාගේ සගයකු විය. වම්බොට්ටා සහ සූරියවැව රත්නවීර කණ්ඩායම අතර එකල දරුණු ගැටුමක් ඇවිලී යමින් තිබිණි. රත්නවීර කණ්ඩායමේ දේශපාලනය තිබුණේ එජාප කඳවුරේය.

මේ අතරේ රත්නවීර කණ්ඩායමේ සුනිල් රත්නවීර නමැත්තා වෙඩි තැබීමකින් ඝාතනයට ලක් විය. ඒ ඝාතනය සම්බන්ධයෙන් ආමි සුරංගට චෝදනා එල්ල වී තිබුණු අතර උඩවලව ප‍්‍රදේශයේදී සීඅයිඩී කෙරුමා වී සිටි නිශාන්ත සිල්වා කන්දප්පාගේ වෙඩි පහරකින් ආමි සුරංග පරලොව යන්නේ මේ වටපිටාව තුළය.

එම ඝාතනය සම්බන්ධයෙන් පසුව නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු පොලිස් කණ්ඩායමකට චෝදනා එල්ල වී රත්නපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී බී. 628 යටතේ එම නඩුවක් විභාග වෙමින් තිබිණි.

යහපාලනය පැමිණීමත් සමඟ බුද්ධි අංශ දඩයමේ මහ මොළය ලෙස කි‍්‍රයාත්මක වූ ශානි අබේසේකර විසින් පසුගිය කාලයේ ආමි සුරංග ඝාතනය ආත්මාරක්‍ෂාව හෙතුවෙන් සිදුවූවක් බවට ඒත්තු ගැන්වීම නිසා මේ වන විට එම නඩු ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ලේඛණාගාරයේ තැන්පත් කර තිබෙන බවද සීඅයිඩියේම පිරිස් පවසන්නාහ.

මේ සටහන් කෙරුණේ නිශාන්ත සිල්වා කන්දප්පා විසින් බුද්ධි අංශ දඩයම් කරමින් පසුගිය කාලයේ සිදු කළ අපරාධවලින් ඔබ්බට ගිය කතා පෙළෙන් බිඳකි. ඒ අතරින් භාරත ලක්‍ෂමන් ඝතන නඩුවේදී සැකකරුවකු ලෙස නම් කෙරුණු ගලබඩගේ අතුරුදන් වීමද ඉහළින්ම ඇත.

ගලබඩ අතුරැදන් කළ හැටි

භාරත ඝාතනය පිළිබඳ විමර්ශන කළ ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා ඇතුළු සීඅයිඩී කණ්ඩායමේ ප‍්‍රධාන උත්සාහය වී තිබුණේ ගලබඩ රජයේ සාක්‍ෂිකරුවකු කරගෙන ශානි අබේසේකරට සුපරුදු න්‍යායෙන් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කර පෙන්වීමටය. ගලබඩ මුලින් එයට කැමැති විය.

එහෙත් පසුව ඔහු රජයේ සාකක්‍ෂිකරුවකු ලෙස බොරු කිව නොහැකියැයි පවසමින් එය ප‍්‍රතික්‍ෂේප කළේය. එසේ සිටියදී දිනක් නිශාන්ත සිල්වාගෙන් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව නිවසින් පිටව ගිය ගලබඩ අද දක්වා යළි නිවසට නොපැමිණි බව මේ මොහොතේත් ඒ පිළිබඳ තතු දන්නා අය කියන කතාව වී ඇත.

ගලබඩ මෙසේ අතුරුදන්ව සිටියදී සීඅයිඩිය ඔහුවද භාරත ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කිරීම නිසා පසුගිය කාලයේ ගලබඩ නොමැතිව එම නඩු විභාගය පැවත්වුණු අතර අවසානයේ ගලබඩටද දඬුවම් නියම විය. එහෙත් අදටත් අධිකරණයෙන් දඬුවම් කර සිටින ගලබඩ සොයා ගැනීමට සීඅයිඩියට නොහැකිව ඇත.

එසේ වී තිබේනේ නිශාන්ත සිල්වා කන්දප්පා ඇතැමුන් කියන අන්දමට ඇත්තටම ගලබඩට දුරකථන ඇමතුමක් දී නිවසින් පිටතට ගෙන්වාගෙන පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කළ නිසාද?

සාක්‍ෂි නිර්මාණ කිරීමේ කුමන්ත‍්‍රණය

සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති ලෙස නිශාන්ත සිල්වා කන්දප්පා පසුගිය කාලයේ ඩීඅයිජී රවි සෙනවිරත්න සහ ශානි අබේසේකරගේ උපදෙස් මත බුද්ධි අංශ රණවිරුවන්ට විරුද්ධව අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීමට ගත් උත්සාහයන්ද රාශියක් විය.

වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්දෙනකු පැහැරගත්තේ යැයි කියමින් කීර්තිමත් නාවික හමුදාපතිවරයකු මෙන්ම මෙරට ඉහළම නාවික හමුදා නිලයෙන් පිදුම් ලද වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට පිරිසකට එරෙහිව කොටුව මහ්ස්ත‍්‍රාත් අධිකරණයේදී කළ කුමන්ත‍්‍රණය මෙහිදී උදාහරණයක් ලෙස පෙනවා දිය හැකිය.

මෙම සිද්ධියේදී නාවික හමුදා ඔත්තුකරුවකු වූ විජකාන්තන් නමැත්තා සොයාගත් නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු විමර්ශකයන් විජයකාන්තන් හරහා නාවික බුද්ධි නිලධාරීන්ට එරෙහිව බොරු සාක්‍ෂියක් නිර්මාණය කිරීමට උත්සාහ ගත් බව අවසානයේ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේදීම අනාවරණය විය. එසේ වුවද අසීමිත දේශපාලන බලය හමුවේ එහිදී ද කන්දප්පලාට සිදුවූ අවැඩක් නම් නොවීය. ඔවුහු සුපුරුදු ලෙස දඩයමේ ගියහ.

දණ්ඩනීති සංග‍්‍රහයෙන් එල්ල කළ ප‍්‍රහාරය

පසුගිය කාලයේ සීනියර් ඩීඅයිජී රවි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ උපදෙස් මත නිශාන්ත සිල්වා කන්දප්පා මෙහෙයවූ සෑම විමර්ශනයකදීම සිදු වූයේ දණ්ඩ නීති සංග‍්‍රහයේ වගන්ති ගෙන නින්දිත ලෙස මෙරට බුද්ධි අංශ දඩයම් කිරීමය.

සියල්ලේ අවසන් ඉලක්කයවී තිබුණේ කෙසේ හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් ජාතිකවාදී කඳවුරේ බලාපොරොත්තු සුන් කර දමා මේ රට විජාතික කොලනියක් බවට පත් කිරීම විය.

නිශාන්ත සිල්වා කන්දප්පාට ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ කොන්ත‍්‍රාත්තුව ඉටු කිරීම වෙනුවෙන් කඩිනම් උසස්වීමක් ලබාදීමට සීඅයිඩී ලොක්කන් සූදානමින් සිටි බවක්ද මේ වන විට අනාවරණය වන්නකි. ඉන් පෙනී යන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන්ට පසුගිය කාලයේ සීඅයිඩියෙන් එල්ලවූ තර්ජනයේ තරමය.

මෙකී පාවා දීම් සහ අපත වැඩ මෙන්ම රටට ජාතියට වින කරන කුමන්ත‍්‍රණකාරී සිද්ධීන් අනාවරණය කරන කල්හි පසුගිය කාලයේ රටේ ජනමාධ්‍යවේදීන් අනතුරට දමන්නට රවි සෙනවිරත්න, ශානි අබේසේකර සහ නිශාන්ත කන්දප්පා කල්ලිය කළ කුජීත වැඩද බොහෝ විය.

රාජ්‍ය රහස් හෙළි කිරීම

රවි සෙනවිරත්න, ශානි අබේසේකර ඇතුළු කල්ලිය මෙසේ කි‍්‍රයාත්මක වීමේදී පසුගිය කාලයේ ලෝකයට අනාවරණය වූ රාජ්‍ය රහස් සහ විශේෂයෙන් ඉකුත් මානුෂීය මෙහෙයුමට අදාළ වූ ඉතා සංවේදී යුද රහස් බොහෝය. ඒ අනුව බලන කල මෙරට බලාත්මක රාජ්‍ය රහස් පනත අනුව අත්අඩංගුවට ගත් මේ පාවා දුන්නෝ දැනටමත් සිරගතව සිටිය යුතු වන්නාහ.

කෙසේ වෙතත් අද නිශාන්ත සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින්නේ ගෝඨාභයගමනයෙන් සිය අරමුණු සියල්ල සුන්නද්ධුලි වීම හමුවේය. එහෙත් මෙසේ යථාර්ථය මතුවෙමින් සියලු දේ හෙළිවෙද්දී මෙරට ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය තුළින් දැන් අලුත්ම කතාවක් ඇසෙමින් ඇත.

ස්විස් තානාපති කාර්යාලයේ අලුත් කතාව

ඒ කිසියම් පිරිසක් ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ මෙරට නිලධාරිනියක පැහැරගෙන ගොස් නිශාන්ත සිල්වා කන්දප්පාට ස්විස් වීසා ලබා දුන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කර තිබේ යැයි යන්නය.

ස්විස් තානාපති කාර්යාලය මෙවන් කතාවක් කියමින් රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යංශයට දැනුම් දුන් නිසා මේ වන විට සීඅයිඩී ඒඑස්පී ලොකුහෙට්ටි ඇතුළු පිරිසක් ඒ පිළිබඳ විමර්ශනයක්ද අරඹා ඇත.

එහෙත් පැහැරගත් නිලධාරිනියගේ තොරතුරු කිසිවක් හෙළි කිරීමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ දක්වා කටයුතු කර නැත. මේ අතර පැහැර ගැනීම සිදුවූවේ යැයි කියන ප‍්‍රදේශය ආශි‍්‍රතව ඇති සීසීටීවී කැමරා සියල්ල නිරීක්‍ෂණය කළද කිසිවක් අනාවරණය කර ගැනීමටද පොලිසියට නොහැකි වී ඇත.

තත්ත්වය එසේ වෙද්දී මේ මොහොතේත් සීඅයිඩියේ සිටින ශානි අබේසේකරගේ ගෝලයන් එවන් සිදුවීමක් සිදුව තිබෙන බවට වාර්තාවක් නිකුත් කිරීමට සැරසෙන බව සීඅයිඩියේ වැදගත් නිලධාරීහු පවසන්නාහ.

රටම අවදානමට ඇද දමමින් කි‍්‍රයාත්මක වූ නිශාන්ත සිල්වා කන්දප්පා සිදු කළ කුමන්ත‍්‍රණ හමුවේ අද උන්හිටිතැන් අතහැර පලා ගොස් තිබියදීත් තවදුරටත් සිදුවන්නේ මෙවන් දේ නම් ඉතිරිව සිටින සීඅයිඩී අපත රැළ දැන්වත් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන එන්නට ආණ්ඩුව කටයුතු කළ යුතුය.

තවමත් ආණ්ඩුවට එය කළ නොහැකිව ඇත්තේ කුමක් නිසාද? මේ මොහොතේ රටට ආදරය කරන ජනතාවට ඇති බරපතළ ප‍්‍රශ්නයක් බවට එය පත්ව ඇත. සැමට නීතිය එක සමාන යැයි කී ජනපති ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ සංකල්පයට අනුව ආණ්ඩුව ඒ ජනතා ප‍්‍රශ්නයට පිළිතුරක් ලබා දී පසුගිය කාලයේ රට වැනසූ මේ සීඅයිඩී කල්ලියට නීතිය කි‍්‍රයාත්මක කරන්නේ කවදාද?

– සමන් ගමගේ

+++++++++++++++++++++++++++++++++++

CID නිශාන්තලාගේ සමූහ මංකොල්ලය

(00.12.2019 – divaina.com – කතුවැකිය)

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල පරීක්‍ෂණ අංශය භාරව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා සිය දරුවන් සහ බිරිඳ සමග ස්විස්ටර්ලන්තයට පැන යාමෙන් පසු අලුත් තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඔහු ස්විස්ටර්ලන්තයට ගිය ගමන සාධාරණ ක‍්‍රියාවක් ලෙස අර්ථකතනය කිරීමට ද කෙනකුට හැකිය. එහෙත් ඔහු තම ගමන ගොස් ඇත්තේ තමන් සේවය කරන පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් තොරව නිසාත්, එම ක‍්‍රියාව මගින් පොලිස් විනය නීතියත් කඩවී ඇති නිසාත් එය ස්ථිර වශයෙන්ම පැන යාමක් ලෙස නිත්‍යානුකූලව අර්ථකතනය කෙරේ. ඔහු පැන යාමට හේතුව ලෙස කරුණු දෙකක් කෙනකුට මතු කළ හැකිය.

පළමුවන කරුණ වන්නේ තමා පහුගිය කාලයේදී කළ හෝ කරන්නට ඇති (මෙය උපකල්පනයක් පමණි) විවිධ වංචනික ක‍්‍රියා හෙළිවනු ඇතැයි යන බිය මත ඔහු පැන යන්නට ඇති බවය. දෙවන කාරණය නම්, රාජපක්ෂවරුන් රට පාලනය කළ කාලයේදී සිදුවූ සාපරාධී කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණ භාර නිලධාරියා නිශාන්ත ද සිල්වා වන බැවින් දේශපාලන පළිගැනීම්වලට බියෙන් ඔහු පැනයන්නට ඇති බවය.

කෙසේ වුවද නිශාන්ත සිල්වා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අවුරුදු 5 තුළ කටයුතු කළ ආකාරය ගැන කල්පනා කරන විට පෙනී යන්නේ දෙවැනි කාරණයට වඩා පළමුවැනි කාරණය වලංගු බවය.

මේ අතර සිදුවූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන යෑම සැකකටයුතු වැඩකි. අලුත් ආණ්ඩුවක් මෙවැනි අශූචි කඳුවලට දැන්මම කර ගසන්නේ නැත. ඒ සඳහා ආණ්ඩුව පරණ විය යුතුය. පිරිහිය යුතුය. එසේනම් කිසිවකු මෙවැන්නක් කරන්නේ එම ක‍්‍රියාවේ කුණුනම ආණ්ඩුවට යනු පිණිසය. නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පැන යාමත් ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන යෑමත් අතර බැලූ බැල්මට ලොකු සම්බන්ධතාවක් තිබේ. මෙය සිදුවූයේ තවත් අවුරුදු හතරකට පසුනම් වැඩේ හරියටම පත්තු වන්නේ ගෝඨාභයටය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අවුරුද්දක පමණ කාලය තුළ ඉතා නීච ලෙස කටයුතු කළ බව අපි පෞද්ගලිකවම දනිමු. ගිය ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් හිරගෙවල්වලට ගාල් කිරීමට පටන්ගත් විට දිවයින පුවත්පත එයට විරුද්ධ වූ අතර එතැන් සිට CID ය දිවයින පසුපස පන්නන්නට විය. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින අය ගැන හෙළිදරව් කළ දිවයිනේ ලේඛකයාට නඩුවක් පැටලවූ CID ට ඔහු අත්අඩංගුවට ගෙන හිරගෙදර දොර ළඟටම ගෙන ගිය නමුත් ගරු අධිකරණය එම ලේඛකයාට ඇප ප‍්‍රදානය කර මුදා හැරියේය. ඊළඟට දිවයින කර්තෘ, නියෝජ්‍ය කර්තෘ, සම කර්තෘ යන අයට විටින් විට CID යටත් ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයටත් යාමට සිදුවිය.

පසුගිය කාලයේදී චිරප‍්‍රසිද්ධියට පත් කුරුණෑගල මවුවරුන් වඳ කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන දොස්තර ෂාෆි ෂෙහාබ්දීන්ගේ සිද්ධියේදී CID යේ සහකාර පොලිස් අධිකාරිවරයකු වූ බී. එස්. තිසේරා නමැති පුද්ගලයා සහ නිශාන්ත ද සිල්වා සම්පූර්ණයෙන්ම සිටියේ දොස්තර ෂාෆිගේ පැත්තේය. තිසේරා නමැති පුද්ගලයා කුරුණෑගල උසාවියේදී ෂාෆි වෙනුවෙන් ඉදිරිපත් කළ සෝචනීය ජවනිකාවලින් ඒ බව පැහැදිලි විය. වතාවක් දිවයින කර්තා සහ නියෝජ්‍ය කර්තෘ CID යට කැඳවූ නිශාන්ත ද සිල්වා වෛද්‍ය ෂාෆි, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ඇතුළු කණ්ඩායමකට කර්තෘවරුන් දෙදෙනා දැක ගැනීමට ඉඩ හැරියේය. මෙය අතිශයින්ම හිඟන වැඩකි.

ඒ කාලයේදී CID ය රටේ ජනාධිපති හෝ අගමැති ගැන ගණන් ගත්තේ නැත. ඔවුන් ගනුදෙනු කළේ ඇමතිවරුන් දෙදෙනකු සමගය. දිනක්, දිවයිනේ ලේඛකයකු නාවික හමුදා ප‍්‍රධානින් සමග සාද දමන බව CID ප‍්‍රධානියෙක් මේ ඇමැතියකුට කීවේය. එවිට එම ඇමති නාවික හමුදා ප‍්‍රධානියාට තරවටු කළේය. දේශපාලන හිඟන්නන්ගේ තරවටුවලට හමුදා ප‍්‍රධානින් ලක් වීම කවරනම් අවාසනාවක්ද?

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බව දැන දැනත්, එකල CID ප‍්‍රධානියා වූ ශානි අබේසේකර නිහඬව සිටි බව අපගේ වැටහීමයි. ශානි, තිසේරා සහ නිශාන්ත ත‍්‍රිත්වය තවදුරටත් දේශපාලන බලය සමග ගනුදෙනු කළේ නම් මේ රටේ මීළඟ ජනාධිපති ශානි බවටත්, තිසේරා අගමැති බවටත්, නිශාන්ත සිල්වා පොලිස්පති බවටත් දොස්තර ෂාෆි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් බවටත් පත් වීමේ හිඟන, විහිළු සපයන, ගොං තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නිර්මාණය වී තිබිණ.

CID ය යනු සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංවිධානය කළ යුතු ආයතනයකි. මෙබඳු ආයතන දේශපේ‍්‍රමි ආයතන මිස දේශද්‍රෝහි ආයතන බවට පත් නොවිය යුතුය. එසේම කොටි ඩයස්පෝරාවෙන් සල්ලි ගෙන බෙදුම්වාදයේ පස්ස හෝදන ආයතන බවට පත් නොවිය යුතුය. අලුත් ආණ්ඩුවෙන් ජනතාව අපේක්‍ෂා කරන බොහෝ දේ අතර ප‍්‍රමුඛ දෙයක් වන්නේ CID ය සුද්ධ කර නව නිෂ්පාදනයක් ලෙස රටට ඉදිරිපත් කිරීමය ෴

+++++++++++++++++++++++++++++++++++

‘මා අහසේ පියඹනවා’.. ජනපතිට විරුද්ධ මඩ විඩියෝ නිෂ්පාදක පොලිසියට කොචොක් කරමින් රටින් පලා යයි.. අතහිත පොලිස් කොමිසමෙන්..

(02.12.2019 – 00:00 +0530 – lankacnews.com)

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

පොලිස් කොමිසම තවමත් කටයුතු කරන්නේ සිරිකොතේ ආනුභාවයෙන්

ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නොවැම්බර් 22 වන දින යොමු කළ ලිපියේ සදහන් කර තිබුණේ ශානි අබේසේකර මහතාව මෙසේ හදිසියේ ස්ථාන මාරු කරනු ලැබුවේ දේශපාලන හේතූන් නිසා බවත්, ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික පොලිස් කොමිෂන් සභාව එවැනි පටු තීන්දු තීරණ ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරමාර්ථ උල්ලංඝණය කිරීමක් වන බවත් සදහන් කරමින් යවා තිබු ලිපියට ප්‍රතිචාර වශයෙන් හදිසියේ පසුගිය 28 දින පොලිස් කොමිසම රැස්වූ බවට තොරතුරු අපට වාර්තා වනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ත්‍රස්තවාදී නායකයකු බවට පත්කිරීමේ කුමන්ත්‍රණයට අදාළ විඩියෝව සැකසීමට අදාළව නීතිමය රැකවරණය සැකසුවේ ශානි අබේසේකර නම් මේ කුප්‍රකට පොලිස් නිලධාරියා බවට අප සංවිධානය මිට මාසයකට ආසන්න කාලයකට පෙර පොලිස් කොමිසමට පැමිණිලි කර සිටියෙමු. එම පැමිණිල්ල මේ වනතෙක් පොලිස් කොමිසම විසින් විමර්ශනයට භාජනය නොකොට බහා තබා ගැනීමෙන් පෙනී යන්නේ තවමත් රට තුල නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක නොවන ආකාරයකි. ශානි විසින් ක්‍රියාත්මකවුනු කැලේ නීතිය හේතුවෙන් මේ වන විටත් අදාළ මඩ විඩියෝව සකසන ලද තැනැත්තා විදේශගතව නීතියේ දෙවගනට ඔච්චම් කරමින් සිටින බව ඔහුගේ ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ :

“මා සිතින් ගතින් අහසේ සැරිසරන නිදහස් කුරුල්ලෙකි …….

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්හදා බැලීමේ ආණ්ඩුව පරාජය වී තිබේ. ඒ සදහා රට තුල විවර වූ නව ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව වැරදියට තේරුම් ගැනීම, තවත් දහසකුත් තාක්ෂණික කරණා මෙන්ම සීලාචාර මිනිසුන්ගේ සීලාචාර බල ව්‍යාපෘතිය, අසීලාචාර මිනිසුන්ගේ අසීලාචාර බල ව්‍යාපෘතියක් විසින් පරාජය කිරීමක් ලෙසද දැක්විය හැකිය.

ඒ කෙසේ වෙතත් පසුගිය සතිය තුල කිහිප විටක්ම මා සොයා මාගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණ තිබේ.

ඔවුන් මාගේ අසල් වැසියන්ගෙන් මා ගැන ප්‍රශ්ණ කරමින් මාගේ දේශපාලන ක්‍රියාකාරකම් විමසා තිබේ. එසේම මා හමු වන්න එන අයගේ හා මාගේ හිතවතුන්ගේ මෙන්ම නෑදෑයන්ගේ තොරතුරු විමසා තිබේ. මා දන්නා කියන මා සම්බන්ධතා පවත්වනු ලබන ඩිජිටල් මාධ්‍ය කටයුතු සිදු කරන ආයතන වලටද දුරකථන ඇමතුම් දෙමින් මර්ධනයක් ක්‍රියාත්මක කොට ඇත.

මා මාධ්‍යවේදියෙකු නොවන අතර එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණයේම කොටසකි. පසුගිය වසර පහ තුල පුර්ණ කාලීනව දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදුන අතර නොවැම්බර් 16 වැනිදාට පෙර තිබූ නිදහස, සාමකාමී මිනිසුන් බියෙන් සැකෙන් තොර අයිතිවාසිකම් විඳිමින් ගෙවූ රට හා සමාජය ගොඩ නැගීමට ඒ වෙනුවෙන් මා මාගේ කාර්ය කොටස ඉටු කලෙමි.

එසේම පසුගිය මැතිවරණයේදී අපේ කදවුරේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ කටයුතු වලට සක්‍රියව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ අතර එය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා පක්ෂයේ මහ ලේකම් අකිල කාරියවසම් මැතිතුමාගේ මෙන්ම නියෝජ්‍ය නායක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පැවරුමක් වේ.

ඒ වෙනුවෙන් මාගේ හැකියාවන් දැනුම හා සම්පත් යෙදවීම අපරාධමය වරදක් නොවන අතර මෙවැනි මර්ධනයන්ට මා හෝ මාගේ කණ්ඩායම බිය වැද්දවීමට හෝ යටත් කර ගැනීමට සිතන්නේනම් එය මිරිගුවක් වේ.

අවසාන වශයෙන් කිවයුත්තේ මැතිවරණයට පෙර මා කියූ සියල්ල සත්‍ය වන අතර පසුගිය දින 14 කට අඩු කාලයකදී ඔහුන්ගේ පාලනයේ ඒකාධිපති පැසිස්ට් ස්වරුපය රටටම හෙළි කොට දී තිබේ.

මිල්ටරි ජුන්ටාවට මා කියනුයේ මා දඩයම් කිරීමට ඔබ බොහෝ ඉහලට පැමිණිය යුතුය; මන්ද මා සිතින් ගතින් අහසේ සැරිසරන නිදහස් කුරුල්ලෙකි.”

කුරුල්ලාට ඉගිලයාමට ඉඩ ලබාදුන්නේ ශානි අබේසේකර විසින් බවට පැමිණිල්ලක් තිබියදී මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න නොකර සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සිටිනා ශානි ගෙන් ජීවත්වූ ගජමිතුරන් නිසාවෙනි . මා කිහිපවිටක් සීඅයිඩිය වෙත ගොස් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නැවත නැවතත් තොරතුරු හා සාක්ෂි ලබාදුන් අතර ඒ කිසිවක් පිලිබඳව ඔවුන්ගේ අවධානය යොමු නොකළ අතර අද හෙටම නැවතත් ඔහුව සිරිකොතේ ආනුභාවයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස අභිෂේක ගැන්වීම සිදුවුවහොත් ඒ පිලිබඳව පුදුම විය යුතු නැත . ප්‍රබල පාතාල නායකයකු වූ මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු මදූෂ් සමඟ පවත්වන ලද අනියම් ඇසුර හා මදූෂ් අත්අඩංගුවට ගෙන නියමිත පරිදි අදාළ ආයතන වෙත නිත්‍යානුකුලව දන්වා නොසිටි බවට සම්පුර්ණ තොරතුරු අප සංවිධානය සන්තකයේ ඇති බවත් රජයේ නීති විමර්ශන කටයුතු සිදු කරනු ලබන ආයතනික දූරාවලියේ ඇතිවී ඇති නිවට ගති ලක්ෂණ හේතුවෙන් ඒ කිසිවක් හෙළිදරව් නොකරන බව දන්වා සිටිමු. මදූෂ් සමග ශානි ගත කිරීමට උත්සාහ කල සැපවත් ජීවිතය ගැන යම් විමසීමක් අප සංවිධානය වෙතින් විමර්ශන අංශ කළහොත් ඒ පිලිබදව අප සම්පුර්ණ සහයෝගය ලබා දෙන්නෙමු.

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *