ගුරුකන්ද විහාරස්ථානයට බුදුපිළිමයක් වැඩමවීම ගැන ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු කුලප්පු වෙති

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගුරුකන්ද විහාරස්ථානයට බුදුපිළිමයක් වැඩමවීම ගැන ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු කුලප්පු වෙති

• ෂාපිගේ ශාපය වැදී සිංහල මවුවරුන් දහස් ගණනක් වඳවීම ගැන දැන්වත් සොයා බලන්න

• එජාප ඇමැතිවරුන් පැන්නූ ෆයිල් ගැන සී.අයි.ඩී. විමර්ශන

• මහාචාර්ය විනී විතාරණ සමුගනී

• ලංකාව දෙකට බෙදන්නැයි එංගලන්ත මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කරලා – උදය ගම්මන්පිල

• ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පුටුව’ තෝරගනී

• අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය නව මුහුණුවරකින් (විඩියෝ)

• රාජිත ජනාධිපතිවරණය ආසන්නයේ පැවැත් වු මාධ්‍ය සාකච්ඡාවක් (‘රාජිතයාගේ වඩිගපටුන කෝළම’) ගැන CID පරීක්ෂණයක් (විඩියෝ)

• මහබැංකු බැඳුම්කර සිද්ධියේ වෝහාරික විගණන වාර්තාව විවෘත නොකරන බව හිටපු කෝප් කමිටු සභාපති කියයි

• පෙර ආත්මයේ මහනුවර මවුපියන් සොයාගත් මේ ආත්මයේ දෙවිනුවර දරුවා.. (02.12.2019) (විඩියෝ)

• ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ලොවම වසඟයට ගත් හැරී පෝටර් චිත්‍රපටයේ එන විස්මිත තොප්පිය නිපදවයි (විඩියෝ)

• රටක් බලාපොරොත්තු වන විල්පත්තුවේ සාධාරණත්වය

+++++++++++++++++++++++++++++++++++

ගුරුකන්ද විහාරස්ථානයට බුදුපිළිමයක් වැඩමවීම ගැන ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු කුලප්පු වෙති

(03.12.2019 – divaina.com)

මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානයේ ධාතු මන්දිරය සඳහා වැඩ සිටුවීමට බුදුපිළිමයක් රැගෙන ඒමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් ඊට 01 දා දැඩි විරෝධය එල්ල වී තිබේ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ටී. රවිහරන් මහතා කියා සිටින්නේ මේ විහාරස්ථානය සම්බන්ධයෙන් නඩු කීපයක්ම ඇති අවස්ථාවක විහාරස්ථානයට නව අංග එකතු කිරීම නීතියට පටහැනි බවයි.

මේ විහාරස්ථානයට ආසන්නයේ පිහිටි නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ සංවර්ධන කටයුතු සිදු කිරීමට ගිය අවස්ථාවේදී ඊට විහාරස්ථානයෙන් හා මුලතිව් පොලීසියෙන් බාධා එල්ල කළේද මේ නීතිමය පදනම නිසා බව පවසන රවිහරන් මන්ත‍්‍රීවරයා ඒ තත්ත්වය ගුරුකන්ද විහාරස්ථානයට අදාල නොවන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කොට සිටියි.

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයට අයිතිවාසිකමක් නොමැති බව කියන රවිහරන් හිටපු මන්ත‍්‍රීවරයා පවසන්නේ එහි අයිතිය ඇත්තේ නීරාවි අඩි පිල්ලයාර් කෝවිලට බවයි.

මෙහි අයිතිය පිළිබඳව නිගමනයක් හා තීන්දුවක් ලබා දෙන ලෙස අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් විභාගය ආරම්භ වී ඇති බවත් එහි තීන්දුව ලබා දීම පෙබරවාරී මාසයේදී සිදුවන බවත් ඔහු පැවසීය.

මේ තීන්දුව ලැබෙනතුරු ගුරුකන්ද විහාරස්ථානය තුළ හෝ ඒ භූමිය තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් කිරීම නීති විරෝධී බවද රවිහරන් මහතා කියා සිටියේය.

නමුත් ඔහුගේ මේ විරෝධය නොතකා මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය තුළ බුදු පිළිමය තැන්පත් කොට ආගමික වතාවත්ද පවත්වා ඇත ෴

– දිනසේන රතුගමගේ

***************************************

ෂාපිගේ ශාපය වැදී සිංහල මවුවරුන් දහස් ගණනක් වඳවීම ගැන දැන්වත් සොයා බලන්න

(03.12.2019 – divaina.com)

මහජනයාගෙන් වැටුප් ලබන වෛද්‍ය තනතුරක් ලබාගත් විජාතික වෛද්‍යවරයා තමන් ලබාගත් තනතුරට මුවාවී දරුවන් ලැබෙන වයසේ සිටින සිංහල මවුවරුන් දහස් ගණනක් වඳභාවයට පත්කළා. මෙය මුළුමහත් සිංහල ජාතියම වඳවීමට හේතුවක් වුණා. මෙය ජාතික අපරාධයක්. නමුත් මේ ප‍්‍රශ්නයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් නීතිය, අනීතිය කොට, යුක්තිය – අයුක්තියකොට, සාධාරණය – අසාධාරණය කොට කටයුතු කළා. මේ නිසා තරුණ මවුවරුන්ට යළිත් දරුවන් ලබා ගැනීමේ හිමිකම නැතිව ගියා. සිංහල ජාතියේ ජන සංයුතිය යම් පමණකට අඩුවී ගියා. මේ සාපරාධය කළ අයට යුක්තිය හා නීතිය හඳුනන වර්තමාන රජයෙන්වත් වහාම නීතිය ක‍්‍රියාත්මක කරන හැටියට ඉල්ලා සිටිනවා.

උතුර උතුරුමැද දෙනුවර ප‍්‍රධාන සංඝනායක අනුරාධපුර ජයන්ති විහාරාධිපති ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි පසුගිය දින ජයන්ති විහාරස්ථානයේදී සංඝමිත්තා වැඩසටහන් පිළිබඳ බෞද්ධ කාන්තා සංසදය සමග පැවැති සාකච්ඡාවේදී එසේ පැවසීය.

මෙතෙක් කල් පැවැති පාලනය මගින් අතපල්ලට දමා තිබූ ‘සිංහල බෞද්ධ උරුමය’ වර්තමාන රජය මගින් නැගිටුවා තිබෙනවා. යටකී විජාතික වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියද කෙලෙසමින් කරගෙන ගියේ සිංහල ජාතිය වඳකර දැමීමේ යටිකූට්ටු වැඩක්. ‘පුංචි පවුල රත්තරං’ මන්තරෙන් එජාපය කලක් සිංහල ජාතිය වඳකර ගෙන ගියා. මේ වෛද්‍යවරයා කළෙත් ඒ ව්‍යාපාරයේම කොටසක්. මේ ව්‍යාපාරය ගැන රට අවදිකළ ‘දිවයින පුවත්පත’ට එරෙහිව එකල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙහෙය වූවා. ඒක හරියටම කැකිල්ලේ තීන්දුවක්. වඳින්න ගිය දෙවොල හිසට කඩා වැටුණා වගේ වැඩක්. කෙසේ වුවද ‘දිවයින’ රට-දැය වෙනුවෙන් ඒ අවස්ථාවේ ජාතික මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළා. දෙවියන් යුක්ති සහගත දිවයින ආරක්‍ෂා කළා.

සංඝමිත්තා මෙහෙණිය මේ රටේ සම්බුද්ධ ශාසනයෙන් සිංහල ජාතිය ඔපවත් කිරීමට කටයුතු කළා. සිරිමා බෝ සමිඳුන් අපට ලබා දුන්නා. මෙහෙණි සස්න අපට ලබාදුන්නා. මේ සියල්ල සිද්ධ වුණේ උඳුවප් පෝදා. මෙදා උඳුවප් පෝය යෙදී ඇත්තේ දෙසැම්බර් 12 වැනිදාටයි. එදිනට එතුමියට පිං දෙමින් විශේෂ පිංකමක් කළ යුතු යැයි ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වැඩිදුරටත් විස්තර කළහ ෴

***************************************

එජාප ඇමැතිවරුන් පැන්නූ ෆයිල් ගැන සී.අයි.ඩී. විමර්ශන

(03.12.2019 – divaina.com)

ජනාධිපතිවරණයට දින කීපයකට පෙර එක්සත් ජාතික පක්‍ෂ හිටපු ඇමැතිවරුන් පිරිසක් විසින් හොර රහසේ පන්නනු ලැබූ වැදගත් ලිපිගොනුවලට සිදුවූ දෙය පිළිබඳව සොයා බලන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය රහස් පොලිසියට දැනුම් දී ඇත.

එම අමාත්‍යාංශවල සේවකයන් ලබාදී තිබෙන තොරතුරු අනුව මෙම ලිපිගොනුවල රුපියල් කෝටි ගණනක් වංචා, ටෙන්ඩර් මගඩි ඇතුළු නීති විරෝධී ක‍්‍රියා පිළිබඳව තොරතුරු අඩංගු වී තිබී ඇත. ඇතැම් ලිපිගොනු පුළුස්සා ඇතැයිද පැවසේ.

මෙම ලිපිගොනු ගෙනගිය ආකාරය පිළිබඳව ආරක්‍ෂිත කැමරාවල සටහන්ව ඇති ආකාරය සොයා ගැනීමට අසීරු නොවන බවද ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

– නෝමන් පළිහවඩන

***************************************

මහාචාර්ය විනී විතාරණ සමුගනී

(03.12.2019 – divaina.com)

සිංහල, ඉංගී‍්‍රසි, ඉතිහාසය, පුරාවිද්‍යාව ඇතුළු ක්‍ෂේත‍්‍ර ගණනාවක් පිළිබඳ විද්වතකු වූ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප‍්‍රාප්තවිය.

මියයන විට හෙතෙම 91 වැනි වියේ පසුවිය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ප‍්‍රථම උපාධිය ලැබූ ඒ මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධියද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද ලබා ගත්තේය.

රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ විනී විතාරණ මහතා මුවදෙව්දාවත, සසදාවත සහ මයුර සංදේශය ආදී සාහිත්‍ය කෘති රැසක් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත.

සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘ ලෙසද සේවය කර ඇති මහාචාර්ය විනී විතාරණ මහතාගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (4 වැනිදා) සිදුකිරීමට නියමිතය ෴

***************************************

ලංකාව දෙකට බෙදන්නැයි එංගලන්ත මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කරලා – උදය ගම්මන්පිල

(03.12.2019 – 14:55 +0530 – lankadeepa.lk)

එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණයට කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ ලංකාව රාජ්‍යයන් දෙකක් ලෙස බෙදිය යුතු බවට සඳහන් වන බවද එය මෙරට ස්වෛරීත්වයට එල්ල කළ බරපතල ප‍්‍රහාරයක් බවද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් ඔහු මෙසේද පැවසීය :

“එංගලන්න පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ මාසේ 13 වෙනිදා. ඒ වෙනුවෙන් එරට පාලක පක්ෂය වන කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පසුගිය 25 වෙනිදා එළි දැක්වුවා. ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස මෙරට රාජ්‍යයන් දෙකක් බිහිකළ යුතු බවට එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ 53 වන පිටුවේ සඳහන් වෙනවා.

‘ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ළගාකර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපගේ සහයෝගය දෙන අතර සයිප‍්‍රසය, ශ‍්‍රි ලංකාව සහ මැදිපරෙදිග වැනි වත්මන් හෝ පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වාගනු ලැබේ ’ යනුවෙන් එහි දැක්වෙනවා.

මොවුන් මේ උත්සාහ කරන්නේ දෙමළ ඊළම හදන්නයි. ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුළ දෙමළ ඊළම හෝ වෙනත් නමකින් හෝ දෙමළ රාජ්‍යයක් තිබිලා නැහැ. ඒ නිසා එවැනි රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිමට ඔවුන්ට කිසිම සාධාරණ හේතුවක් නැහැ. එක්සත් රාජධානිය නම් හැදිලා තිබෙන්නේ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය කියන රාජ්‍යයන් තුළ බලහත්කාරයෙන් ඈඳාගෙනයි. ඒත් අපි කලින් තිබුණ අවිදිහට මේ රාජ්‍යය බෙදන්න ඕන කියලා කවදාවත් පෙනී සිට නැහැ.

මේ මැතිවරණ ප‍්‍රකාශනය නිකුත් කර අදට දින අටක් ගෙවි යද්දිත් එක්සත් රාජධානියේ ඉන්න ලංකාවේ මහකොමසාරිස් මේ ගැන කිසිවක් ප‍්‍රකාශ කර නැහැ. ඔහු එක්කෝ දන්නේ නැහැ. නැත්නම් බෙදුම්වාදින්ගේ උවමනාව වෙනුවෙන් නොදන්නවා වගේ ඉන්නවා. මේ මැතිවරණ ප‍්‍රකාශනය හෙළා දැකලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න බැරි නම් අවම වශයන් ඔහු මෙරට විදේශ ඇමතිව දැනුවත් කළ යුතුව තිබුණා.

මේ සම්බන්ධයෙන් වහාම ප‍්‍රතිචාර දක්වන්නැයි අප විදේශ ඇමතිතුමාගෙන් ලිඛිතවම ඉල්ලා සිටිනවා. එසේම එංගලන්තයේ ශ‍්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිනවා.”

***************************************

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පුටුව’ තෝරගනී

(03.12.2019 – 14:50 +0530 – lankadeepa.lk)

ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි ඉදිරි මහමැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණකින්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දක්වන සෙසු පක්ෂ ඉදිරි මහමැතිවරණය එක් පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ගිවිසුම් ගත වු බවද එහි එක් කොන්දේසියක් ලෙස පුටුව ලකුණින් තරග කිරිම ඇතුළත්ව තිබු බවද ගම්මන්පිල මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණයට තරග කරන්නේද පොහොට්ටුව ලකුණෙන් යැයි පවසන්නේ මේ ගිවිසුම ගැන හරි අවබෝධයක් නැති හා වෙනත් පුද්ගලික ආසාවන් ඇති අය බවද ඔහු පැවසීය.

මෙලෙස විවිධ ප‍්‍රකාශ නිකුත් වීම වළක්වා ගැනීම සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විසින් ගිවිසුමේ එකඟතා පිළිබඳව තමන්ගේ සියලු පාක්ෂිකයන් දැනුවත් කළ යුතුව ඇතැයිද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය ෴

***************************************

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය නව මුහුණුවරකින්

(03.12.2019 – 15:02 +0530 – sinhala.adaderana.lk)

මහජනතාව අදාළ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීරණය කිරීම මින් ඉදිරියට අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය මගින් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී විවෘත කිරීම සිදු කෙරුණි.

එහිදි ඒ මහතා පැවසුවේ ජනාව විසින් ඉදිරිපත් කරන ඔවුන්ගේ ගැටලු අදාල අමාත්‍යාංශ වෙත යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන බවයි.

ඉන් පසු එම කර්යය සිදුවුයේද නොවුයේද යන්න සම්බන්ධයෙන්ද පසුවිපරමක් සිදු කිරීමද මෙම කර්යාලය මගින් සිදු කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම කර්තව්‍ය පසුගිය කාලයේ සිදු කළ බවත් ඒ මහතා සිහිපත් කලේය.

කෙසේ වෙතත් මෙය නිවැරදීව සාර්තකව සිදු කිරීම වඩා වැදගත් වන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

***************************************

රාජිත ජනාධිපතිවරණය ආසන්නයේ පැවැත් වු මාධ්‍ය සාකච්ඡාවක් (‘රාජිතයාගේ වඩිගපටුන කෝළම’) ගැන CID පරීක්ෂණයක්

(03.12.2019 – 07:20 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පුද්ගලයින් දෙදෙනෙකු රැගෙන විත් ජනාධිපතිවරණය ආසන්නයේ දී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

පසුගිය 10 වැනිදා අදාළ පුද්ගලයින් දෙදෙනා මාධ්‍ය හමුවට කැඳවා මෙරට තුළ සිදුවි ඇති බව කියන මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදන් වීම් සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජය මදනායක නමැති පුද්ගලයින් දෙදෙනා විසින් පවත්වන ලද මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා එම පටිගත කරන ලද දර්ශන ලබා ගැනීමට අවශ්‍ය බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම් දී තිබේ.

එම දැනුම්දීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම මාධ්‍ය හමුවේ පටිගත කළ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස ද මාධ්‍ය ආයතන වෙත දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ගංගොඩවිලගේ කුමුදු ප්‍රදිප් සංජීව පෙරේරා සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

***************************************

මහබැංකු බැඳුම්කර සිද්ධියේ වෝහාරික විගණන වාර්තාව විවෘත නොකරන බව හිටපු කෝප් කමිටු සභාපති කියයි

(03.12.2019 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට සමාගාමීව කෝප් කමිටුව ද අහෝසි වීම නිසා මහබැංකු බැඳුම්කර සිද්ධියේ වෝහාරික විගණන වාර්තා ඉදිරියේදී පිහිටුවන නව කෝප් කාරක සභාව වෙත යොමු කරන බව කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා.

එය රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්යාලයේ තබා ගනිමින් ඊළඟ කෝප් කමිටුවට එය භාර දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෝහාරික ගිණුම් වාර්තා 5 ක් ශ්‍රී ලංකා මහබැංකුවෙන් ලැබී තිබුණු අතර, මෙම වාර්තා කෝප් කමිටු සාමාජිකයින්ට පමණක් පරිහරණය කළ හැකි බවත් ඒවා නීතිමය කටයුතු සඳහා පමණක් භාවිතා කළ යුතු අතර, නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව රහස්‍ය ලෙස තබා ගැනීමට කටයුතු කරන බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

8 වන පාර්ලිමේන්තුවේ තුන් වන වාරය අවසාන කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (02) රාත්‍රියේ නිකුත් කෙරුණු අතර, එහි සඳහන් පරිදි පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි මස 3 වන දායි.

නව පාර්ලිමේන්තු වාරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන අතර, පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමද සම්ප්‍රදායයි.

එසේම පාර්ලිමේන්තුවේ වාරය අවසන් කිරීමත් සමඟ දැනට පවතින පාර්ලිමේන්තු කාරක සභා 50 කට ආසන්න සංඛ්‍යාවක් අහෝසි වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළා.

ආංශික අධීක්ෂණ කාරක සභා, උසස් නිලතල පිළිබද කාරක සභාව හා විශේෂ තේරීම් කාරක සභා හැර සෙසු සියළු කාරක සභා ඊට අයත් බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා කියා සිටියේ.

කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව, ගෘහය කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව හා උපදේශක කාරක සභා අහෝසි වන කාරක සභා අතරට අයත්.

ඒවා නව සැසි වාරයේදී තේරීම් කාරක සභාව සංයුක්ත කර කාරක සභා සඳහා නැවත සාමාජිකයින් පත් කළ යුතු වනවා ෴

***************************************

පෙර ආත්මයේ මහනුවර මවුපියන් සොයාගත් මේ ආත්මයේ දෙවිනුවර දරුවා.. (02.12.2019)

‘මේ ආත්මයේදී ජලයට/ජලාශවලට බයද?’ ප්‍රශ්නය ඇසුවේ නැත ! – අමරසර

***************************************

ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ලොවම වසඟයට ගත් හැරී පෝටර් චිත්‍රපටයේ එන විස්මිත තොප්පිය නිපදවයි

(03.12.2019 – 07:20 +0530 – hirunews.lk/sinhala)

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන, හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය හෙවත් ‘සොර්ටින්ග් හැට්’ Sorting Hat නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර, ඒ සඳහා පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණකය ආශ්‍රයෙන් ක්‍රියාකරණ අතර තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත්, ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට, තොප්පිය තුල සවි කර ඇති සංවේදක මගින් දැනුම් දීමක් සිදුකරනවා.

ඊට අමතරව ඔටිසම් රෝගය වැළඳී ඇත්ද, නැද්ද යන්න අනාවරණය කරගැනීමේ හැකියාවද මෙම තොප්පිය සතුව පවතිනවා.

***************************************

රටක් බලාපොරොත්තු වන විල්පත්තුවේ සාධාරණත්වය

(03.12.2019 – divaina.com)

විල්පත්තුව වනාන්තර සංකීර්ණයට අයත් මරිච්චකඩ්ඩු, කල්ලාරු වනාන්තර ප‍්‍රදේශයේ (පැරැණි පුත්තලම – මන්නාරම් පාරේ) සිදුකර ඇති වනාන්තර විනාශය (හෙළි කිරීම) හා පදිංචි කිරීම් පිළිබඳව 2012 වසරේ පටන් පමණ පවතින්නේ මහා ආන්දෝලනයකි.

යුද්ධයේ නිමාවත් සමඟ අවතැන්වූ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ කටයුතු යැයි පවසා මෙසේ (රක්‍ෂිත) වනාන්තර හෙක්ටයාර් 4000 ක් පමණ හෙළිකරන ලද්දේ එකල රාජ්‍ය අනුදැනුම ඇතිව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙසිනි.

පැරැණි පුත්තලම – මන්නාරම් මාර්ගයේ මෝදරගං ආරු මායිමේ සිට (මෙතැනින් විල්පත්තු ජාතික උද්‍යානයේ මායිම නිමාවට පත්වේ.) සිලාවතුර හරහා මන්නාරම දක්වා මාර්ගය කාපට් අතුරා සකස් කර, මරිච්චකඩ්ඩි කල්ලාරු ප‍්‍රදේශයේ ගණ වනගහනය හෙළි පෙහෙළි කර මෙසේ ජනාවාස ඇතිකරන ලද්දේ එවක නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් හා මැදිහත්වීමෙනි.

ඔහු මේ සඳහා දකුණේ දේශපාලන බලඅධිකාරිය ප‍්‍රයෝජනයට ගෙන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර ඉතා සූක්‍ෂ්ම ලෙස නිදහස් කරගන්නා ලදී. මේ පිළිබඳ ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය හා එම ජනාධිපති කාර්ය සාධක බළකායේ බලපෑම් මත එවක වන සංරක්‍ෂණ ජනරාල්වරයා විසින් හෙක්ටයාර් 4000 කට ආසන්න වනාන්තර ප‍්‍රමාණයක් මෙසේ නිදහස් කර ඇත්තේ හරිහැටි මිනුම්කර ද නොවේ. කිලෝමීටර් කණු වශයෙන් සඳහන් කර හා මාර්ගයෙන් අභ්‍යන්තරයට මීටර් 100 ක් පමණ ලෙස සඳහන් කර මෙසේ වනය නිදහස් කර ඇත්තේ මනඃ කල්පිතවය. නොඑසේ නම්, කාගේ හෝ ඉල්ලීමට එකඟතාව පළකරමින් බව හැඟේ.

එසේ බලහත්කාරකම් කරන ලද්දේ හෝ කවුරුන් විසින් හෝ බලහත්කාරයෙන් ලබාදෙන ලද්දේ හුදෙක් එම වනාන්තර කුමන අරමුණක් සඳහා යොදාගන්නේ දැයි හරිහැටි සොයා බැලීමක්ද නොමැතිවය.

එම අවසරය ප‍්‍රයෝජනයට ගනු ලැබූ අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතා, ආණ්ඩු බලය පාවිච්චියට ගෙන ඉහත වනාන්තර ප‍්‍රදේශය ඉතා කෙටි කලකදී හෙළිපෙහෙළි කරනු ලැබ ඇති අතර විශ්මය නම් මෙවන් රාජ්‍ය දේපළක් හෙළි පෙහෙළි කිරීමේදී එහි වූ දේපළ රජයට ලබාදිය යුතු වුවත් ඒ කිසිවක් රජයට ලබාදී නොමැති වීමය.

එනම්, හෙක්ටයාර් 4000 ක පමණ ප‍්‍රමාණයේ වනාන්තර තුළ පැවැති පලූ, වීර, බුරුත ඇතුළු වටිනා ශාකවල එකම දැව කඳක් හෝ රාජ්‍ය දැව සංස්ථාවට නොදී පෞද්ගලිකව පරිහරණයට ගෙන අයථා ලෙස මුදල් ද හම්බකරගෙන ඇති බව විශ්වාස කෙරේ.

මෙසේ ජාවාරමක් සේ ලබාගත් වනාන්තර ඉඩම් ප‍්‍රදේශය නැවත පදිංචිකිරීමේ මුවාවෙන් පුත්තලම ප‍්‍රදේශයේ ඉඩම්, නිවාස හිමි මුස්ලිම් පවුල් බහුතරයකට ලබාදී තිබෙන බව දැන් පිළිගන්නා කාරණයයි. ඉකුත් දා මැතිවරණ අවස්ථාවේදී පුත්තලම ප‍්‍රදේශයේ ජනතාව ලංගම බස් රථ සියයකින් පමණ මන්නාරමට රැගෙන ගොස් හංසයා ලකුණේ අපේක්‍ෂකයාට ඡන්දය භාවිත කිරීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදී තිබුණේ එසේ ද්විත්ව පදිංචිය ඇති මරිච්කකඩ්ඩුවේද ඉඩම් හිමි එම මුස්ලිම් ජනතාවම බව පිළිගන්නා සත්‍යයයි.

රිෂාඩ් බදියුර්දීන් ඇමැතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ රජය මඟහැර, සෞදියේ ජාසිම් නමැති පාලකයකු හරහා මුදල් සෘජුවම තමන් වෙත රැගෙනැවිත් අදාළ ප‍්‍රදේශයේ නගර ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නංවා ඇති අතර එහි තනාදුන් සියලු නිවාස මෙසේ පුත්තලමේ පදිංචිය ඇති මුස්ලිම් ජනයාට ලබාදී ඇතැයි නැඟෙන චෝදනාවයි.

රෝහල්, පාසල්, ප‍්‍රජා ශාලා, පල්ලි, ඇතුළු සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම ‘ජාසිම් සිටි’ නගරය තුළ නිවාස 500 ක් පමණ ස්ථාපනය කර ඇත. ඒ සියල්ල සඳහා විනාශ කරන ලද්දේ විල්පත්තුව වන සංකීර්ණයේ ඉඩම්ය.

එනමුත් රාජ්‍ය බලය භාවිතයට ගෙන රිෂාඩ් බදියුර්දීන් මහතා විසින් ඒ සියලු අනර්ථයන් විල්පත්තු මහ වනයට සිදුකරන ලද්දේ පැහැදිලිවම ‘මුස්ලිම් ආක‍්‍රමණයක්’ එහි සිදු කරමිනි.

මේ හේතුව නිසා දකුණේ මීට එරෙහිව විරෝධතාවක් ගොඩනැඟුණ අතර පරිසරවේදීහු දිගින් දිගටම විරෝධතා දැක්වූහ.

එහි ප‍්‍රතිඵලයක් සේ ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ මගින් මෙම වනාන්තර විනාශයට එරෙහිව අධිකරණයට ගියේය. මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රමුඛ මීට වගකිවයුත්තන්ට එරෙහිව ඔවුන් තම විරෝධතා ගොනුකර විල්පත්තු වන සංකීර්ණයේ වනාන්තර විනාශයට එරෙහිව අධිකරණයෙන් සහනයක් ඉල්ලා තිබිණි.

එනමුත් වසර කිහිපයක් තිස්සේ විභාගයට ගැනුණු එම නඩුව නිමාකර තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබියදී මහෙස්ත‍්‍රාත්වරයා ඉන් ඉවත්ව යන්නේ පරිසර ක්‍ෂේත‍්‍රය තුළ මහත් උභතෝකෝටිකයක් ඉතිරි කරමිනි.

හැම අතින්ම පරිසරවේදීන්ට වාසි සහගතව තිබූ මෙම නඩුව මගින් වගඋත්තරකාරයන්ට වැඩ වැරදේ යැයි සිතූ මොහොතක මෙසේ මහෙස්ත‍්‍රාත්වරයා තීන්දුව නොදී විභාගයෙන් අස්ව යෑමෙන් රටක් බලාපොරොත්තුව සිටි තීන්දුවක් ශූන්‍ය වී මහත් අපහසුවක් රටට අත්විය.

පරිසර යුක්ති කේන්ද්‍රය යළිත් නඩුව ගොනුකරන්නේ ඉන් අනතුරුවය. මේ වන විට එම දෙවැනි නඩු විභාගයේ කටයුතු සිදු කරමින් පවතින අතර වාරයේ ඉකුත්දා අවසන් නඩු වාරයේදී තම ස්ථාවරය ප‍්‍රකාශ කරන නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටින්නේ පදිංචිකරුවන් විසින් භාවිතයට ගැනෙන ප‍්‍රදේශය (එනම් වනාන්තර විනාශ කර අල්ලා ගන්නා ලද ප‍්‍රදේශය) ඉවත්කර ඉතිරි වනාන්තර ප‍්‍රදේශය යළිත් රක්‍ෂිත වනාන්තරයක් ලෙස මායිම් යොදා ගැසට් කිරීම කළ යුතු බවය. පරිසර යුක්ති කේන්ද්‍රය ප‍්‍රමුඛ පරිසරවේදීන් මෙම නඩුව ගොනුකර ඇත්තේම නීති විරෝධීව හෙළි පෙහෙළි කර විනාශ කරන ලද හා අයථා භාවිතයට ගෙන ඇති ඉඩම් ප‍්‍රදේශය සඳහා සාධාරණයක් ඉටුකරවා ගැනීම සඳහාය. එනමුත් නීතිපති දෙපාර්තමේන්තුව නොකියා කියන්නේ එම ප‍්‍රදේශය අදාළ ජනතාවට නොහොත් නීතිරෝධී ලෙස රාජ්‍ය දේපළ සොරාගත් වගඋත්තරකරුවන්ටම එම දේපළ දීම සුදුසු බවට යෝජනා කිරීමය.

එසේ හෙයින් පරිසරවේදීන් පවසන්නේ මෙහෙමත් රටක්, රාජ්‍යයක් තවත් වෙන කොහේ හෝ ඇත්දැයි පුදුම වන බවකි. රජයේ දේපළ රකින්නට කටයුතු කළ යුතු නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ රාජ්‍ය දේපළ කොල්ලකා ගත්තවුන්ටම ඒවා පවරා දිය යුතු බවකි. එසේ හෙයින් මෙම නීති අංශ තුළට අන්තවාදී අවස්ථාවාදී හා වංචාකාරී පුද්ගලයින් රිංගා ඇතැයි සැක කරන බවද පරිසරවේදීහු කියා සිටිති.

එනම්, වරක් මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් නොකිරීම හා නැවත ගොනු කරන ලද නඩුවේ රජයේ නීතිපතිගේ ස්ථාවරය අනුවද, විල්පත්තු ඉඩම් බලෙන් අල්ලා ගැනීමට එරෙහිව රජය තුළින්ම ක‍්‍රියාත්මක වන කූට උපක‍්‍රම රිෂාඞ් බදියුර්දීන් ඇමැතිවරයා ප‍්‍රමුඛ අන්තවාදීන්ට සුදුහුණු ගෑමක් බවද පරිසරවේදීහු කියා සිටිති.

නීතිපති දෙපාර්තමේන්තුව මගින් මෙසේ දක්වා ඇති ස්ථාවරත්වයට ‘පරිසර යුක්ති කේන්ද්‍රයේ’ නීතිඥවරු තම විරෝධතාව ප‍්‍රකාශ කර ඇත. එසේම යළිත් දකුණ රත්කරමින් නැවත වරක් විල්පත්තු උණුසුම පැතිර යන අතර පරිසරවේදීන්ගේ විරෝධතාද වර්ධනය වෙමින් පවතී.

සැබෑය; විල්පත්තු වන විනාශය රටක් නොව, ලෝකයක් හෙල්ලූ වනාන්තර විනාශයකි. එය මහත් ඛේදවාචකයකි. බලය ඇතිකොට ඕනෑම දහජරා වැඩක් කරන්නට දේශපාලකයන්ට හැකියැයි ප‍්‍රදර්ශනය කෙරෙන සිද්ධියකි. ඊට සාධාරණය හා යුක්තිය ලැබෙන තෙක් රටක් බලාපොරොත්තුව සිටියදී නීතිපති දෙපාර්තමේන්තුවට මෙසේ වගඋත්තරකරුවන්ගේ සිතැඟි ඉටුකරවා දීම සඳහා ක‍්‍රියාකිරීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.

ජාති, ආගම්, කුලමල බේද, නොමැතිව ශ‍්‍රී ලාංකිකයින් සියලු දෙනාගේත් ලෝකයක් සුවපත් කරන්නටත් කටයුතු කළ විල්පත්තුවට සාධාරණය ඉටුවන තුරු අපි සැවොම බලා හිඳිමු.

– ජගත් කණහැරආරච්චි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *