ධර්ම ප්‍රචාරයට යන මුවාවෙන් කාන්තාවක් රට පටවන ජාවාරමක් හෙළි වුණු හැටි

(10.11.2017 – nethnews.lk)

ධර්ම ප්‍රචාරය සඳහා ඩුබායි රටට යන බව පවසමින් කලක සිට නීතිවිරෝධී අයුරින් කාන්තාවන් විදෙස් ගත කිරීමට උත්සහ කළ චීවරධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දින (09) කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැකකටයුතු ලෙස හැසිරුණු කතුන් දස දෙනෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන් ගෘහ සේවය සඳහා විදේශ ගත වන අතර චීවර ධාරියෙකුගේ ආධාර මත තමන් විදේශගත වීමට නියමිතව ඇති බවයි.

චීවරධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් මෙම කාන්තාවන් දසදෙනා ඩුබායිහි ධර්ම දේශනයකට සහභාගි කරවාගෙන එතැනින් නේපාල රටේ වන්දනා චාරිකාවක රැගෙන යන බවයි.

එහිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් වන්නේ වඩුගොඩ, මීගොඩමුල්ල ජයසිරි විහාරවාසී පල්ලදෙණියේ රතනසිරි හිමි, බොරැල්ල සහස්‍රපුර පදිංචි හෙට්ටිආරච්චිගේ සුරංජිත් හා ඔහුගේ ඥාති සොයුරෙකු වන වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි සසිත සංකල්පන යන අයයි.

මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවුයේ මීට පෙරද සිව් වතාවක් කාන්තාවන් මෙලෙස ඩුබායි ගෘහසේවයට රැගෙන ගොස් ඇති බවයි.

මෙලෙස ව්‍යාජ තොරතුරු සපයමින් කතුන් විදේශ ගතකර ඇත්තේ වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින බැවින් එවැනි කාන්තාවන්ට රැකියාවක් සඳහා විදේශ ගතවීමට නොහැකි නිසා බවයි පරික්ෂණවලදී අනාවරණය වුණේ.

මෙම කාන්තාවන් වන්දනා ගමනකට සුදුසු වන පරිදි සුදුවතින් සැරසී පැමිණ සිටි බව සඳහන්.

සැකකාර හිමිනම විසින් මෙම කාන්තාවන්ට රු.5000 බැගින් මුදල් ලබාදී තිබෙන අතර, මේ සඳහා සහය වූ අනෙක් සැකකරුවන් දෙදෙනාට රු.10000 බැගින් ලබාදී තිබෙනවා.

කාන්තාවන් විදෙස් ගතවී සති දෙකකට පසු පවුලේ ඥාතීන්ට රු.75000 බැගින් ගෙවීමටද පොරොන්දු වී ඇති බව සඳහන්.

මෙම කාන්තාවන්ට රු.40000ක බැගින් මාසික වැටුපක්ද ලබාදෙන බව පවසා තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින (10) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ සඳහන් කළේ, මෙවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොලබා නීතිවිරෝධී මිනිස් ජාවාරමට එරෙහිව කාර්යාංශ පනත අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

මෙවැනි වංචනික පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත්, කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව විදේශ රැකියාව සඳහා ගොස් විවිධ කරදරවලට ලක්විය හැකි බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

එසේ වුවහොත් ඒ සඳහා කාර්යාංශයට මැදිහත් විය නොහැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් පැවසුවා.

බෞද්ධ භික්ෂුවක ලෙස මෙම ස්වාමීන් වහන්සේ සිදුකර ඇති ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඒ තුළින් ශාසනයට පවා දැඩි හානියක් සිදුවන බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ෴

+++++++++++++++++++++++++++++++

දහම් පණිවිඩයට මුවා වී කතුන් නොරට පැටවූ භික්ෂුව කොටු කරගත් හැටි
(11.11.2017 – 16:44 +0530 – sinhala.adaderana.lk)

ධර්ම ප්‍රචාරයට යවන මුවාවෙන් කාන්තාවන් ගෘහ සේවය සඳහා ඩුබායි වෙත යැවූ හිමිනමක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අදාල හිමිනම ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වඩුගොඩමුල්ල ජයසිරි විහාරවාසී පල්දෙණියේ රත්නසිරි යන හිමිනම ඇතුළු බොරැල්ල සහ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව වාර්තා වේ.

වන්දනා චාරිකාවට උචිත වන පරිදි සුදු වතින් සැරසී සිටි කාන්තාවන් 10 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල ඇතුළුවිමේ පර්යන්තයේ රැඳී සිට ඇති අතර ඒ පිළිබඳ සැක සිතූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිළධාරින් එම කාන්තාවන් පරික්ෂාවට ලක් කර තිබේ.

ප්‍රශ්න කිරිම්වලදී ඔවුන් ගෘහ සේවය සඳහා ඩුබායි බලා පිටත්ව යන බවට නිළධාරින් හමුවේ පවසා ඇතත් ඒ සඳහා අවශ්‍ය කිසිඳු ලිපි ලේඛනයක් ඔවුන් සතුව නොතිබූ බව සඳහන්ය.

මෙහිදී එම ස්ථානයේ සිටි හිමිනමක් විසින් එම කාන්තාවන් ධර්ම ප්‍රචාරය සඳහා ඩුබායි බලා රැගෙන යන බවත් පසුව ඔවුන් නේපාලයේ වන්දනා චාරිකාවක් සඳහා රැගෙන යන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිළධාරින්ට ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී අදාල කාන්තාවන් සඳහා වයස අවුරුදු 05 ට අඩු කුඩා දරුවන් සිටින බවත් එම නිසා නීත්‍යානූකුලව ගෘහ සේවය සඳහා අවසර නොමැති බැවින් ධර්මය ප්‍රචාරය සදහා විදේශ ගතවන මුවාවෙන් ඔවුන් ගෘහ සේවාව සඳහා රැගෙන යන බවටත් අනාවරණය වී ඇත.

තවද අදාල හිමිනම විසින් එක් කාන්තාවකට රුපියල් 5000 බැගින් ලබා දී ඇති අතර විදෙස් ගතවීමෙන් පසු එක් පවුලක් සදහා රුපියල් 75,000 ක මුදලක් ලබා දෙන බවට ද පොරොන්දු වී තිබේ.

එමෙන්ම විදෙස් ගතවිමෙන් පසු අදාල කාන්තාවට මාසික වැටුප ලෙස රුපියල් 40,000 ක මුදල් ලැබෙන බවට ප්‍රකාශ කර ඇත.

අදාල සැකකරුවන් මේ ආකාරයෙන් මෙවැනි කණ්ඩායම් 04 මේ වන විට ගෘහ සේවාව සදහා විදේශ ගත කර ඇති බවට සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ ෴

+++++++++++++++++++++++++++++++

(11.11.2017 – hirunews.lk/sinhala)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *