විභාග රහස් ලොක්කා ගෙදර යවයි

(10.11.2017 – 16:35 +0530 – sinhala.adaderana.lk)

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද සිට තහනම් කර තිබේ.

ඔහුට විරුද්ධව විෂමාචාර චෝදනා එල්ල වීම හේතුවෙන් මෙලෙස ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අදාළ ලිපිය අද නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ විභාග පැවැත්වීම්, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩල නම් කිරීම, විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු කටයුතු කිහිපයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබේ ෴

++++++++++++++++++++++++++++

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු විමර්ශනයට විශේෂ කමිටුවක්
(11.11.2017 – newsfirst.lk/sinhala)

විභාග දෙපාර්තමේන්තුවේ විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු පැන නැගී ඇති ගැටලු කිහිපයක් පිළිබඳව විමර්ශනයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

අමාත්‍යාංශය පැවුසවේ විභාග දෙපර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදුවූ ක්‍රියාවලි ගණනාවක් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු මෙමගින් විමර්ශනය කරන බව ය.

ඒ අනුව විභාග පැවැත්වීම්, පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම්, ප්‍රශ්නපත්‍ර ප්‍රසම්පාදනය මෙන්ම එම මණ්ඩල නම් කිරිම් පිළිබඳව අදාළ කමිටුව මගින් විමර්ශනය කරනු ඇති.

එහි වාර්තාව කඩිනමින් අමාත්‍යවරයා ලෙස ලබා දීමට උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ වැඩ ඊයේ තහනම් කෙරිණි.

ඒ, සිය රාජකාරි වගකීම් පැහැර හැරීම සහ විෂමචාර චෝදනා කිහිපයක් හේතුවෙනි.

වැඩ තහනම් කිරිමට අදාළ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් නිකුත් කළ බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ ෴

**************************************

බෙලිඅත්ත ප්‍රදේශයේදී වලකට වැටී දරුවෙකු ලොවින් සමුගනී
(10.11.2017 – nethnews.lk)

ඉදිකරමින් පවතින මාතර, හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස කපා තිබූ වලකට වැටීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බෙලිඅත්ත, කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි චමික සේහාන් නමැති වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙක්.

ප්‍රදේශවාසීන් පවසන්නේ බෙලිඅත්ත කිරින්ද ප්‍රධාන මාර්ගයට යාබදව මීට මාස එකහමාරකට පමණ පෙර මෙම ගැඹුරුවල කපා ඇති බවත් පැවති වැසි තත්වය හේතුවෙන් මේ වනවිට එහි ජලය පිරී ඇති බවයි.

දෙමව්පියන් නොසිට මිත්තණිය පමණක් නිවසේ සිටි අවස්ථාවකදී දරුවා එම වලට වැටී තිබුණා. පසුව මිත්තණිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව දරුවා සොයන විට මළසිරුර එම වලෙහි තිබී හමුවී තිබෙනවා.

පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්තොට මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *