මේක රට සම්පූර්ණයෙන් විකුණන්න පාර කපන අයවැයක්… – ජනතා විමුක්ති පෙරමුණ

(10.11.2017 – lankatruth.com)

වර්තමාන ආණ්ඩුවේ සිව්වෙනි අයවැය මෙන්ම මංගල සමරවීර ඇමතිවරයාගේ මංගල අයවැය රට සම්පූර්ණයෙන් විකිණීමට පාර කපන අයවැයක් බවත් 1977 න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (10) පෙරවරුවේ, බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ මධ්‍යමකාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා :

“වර්තමාන ආණ්ඩුවේ සිව්වෙනි අයවැය ඉදිරිපත් කර තිබෙනවා. මංගලගේ මංගල අයවැය කිව්වට මංගලභාවයක් තිබුණේ නැහැ. පරණ තැටියම තමයි අපි දැක්කේ. 1977 න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බව මුදල් ඇමති ප‍්‍රකාශ කළා. 77 ක‍්‍රියාත්මක කළ ආර්ථික ක‍්‍රමයෙන් අපේ රට ආර්ථික, සංස්කෘතික, සමාජීය වශයෙන් ආපස්සට ගියා. විශේෂයෙන්ම දේශපාලන සංස්කෘතිය බිඳවැටීම වේගවත්වීමට මේ කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය විශාල ලෙස බලපෑවා. “තවදුරටත් ලිහිල්කරණ ප‍්‍රතිපත්තිය” හරහා ආර්ථිකය ගෙනයන බව මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කළා. මේ ආර්ථිකයේ ජානමය ලක්ෂණ වුණු සහන කප්පාදු කිරීම, ණය, බදු සහ වෙනත් විවිධ බර පැටවීම් මේ අයවැය තුළත් ඇතුළත් කර තිබෙනවා.

2018 වර්ෂය සඳහා රජයේ ආදායම රුපියල් කෝටි 226,000 ක් ඉලක්ක කරනවා. ණය ගෙවීම්ද ඇතුළත්ව සමස්ත වියදම රු. කෝටි 415,500 ක්. රුපියල් කෝටි 189,500 ක හිඟයක් තිබෙනවා. හිඟය පියවීමට ආදායම් හොයාගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. රටක ආර්ථිකය ශක්තිමත් කරන්න නිෂ්පාදනය වැඩිකළ යුතුයි. නමුත් මේ අයවැය පුරාම නිෂ්පාදනය වෙනුවට තව තවත් බදු යෝජනා කර තිබෙනවා. රුපියල් කෝටි 189,500 ක ණය ගැනීමේ සූදානමක් ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. යෝජනාවල සමස්ත බදු ආදායම රුපියල් කෝටි 203,400 ක්. මේ ආදායම දැනටමත් පනවා තිබෙන සහ අලුතෙන් එකතු කරන ලද බදුවලින් අපේක්ෂා කරනවා. බදු වැඩි කිරීම් තුළින් අලුතෙන් රුපියල් කෝටි 11,000 ක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. පිරිවැටුම් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, වැට් බද්ද වගේ මෙතෙක් ක‍්‍රියාත්මක වන බදුවලට අමතරව අලුත් බදු ඇතුළත්ව මේ රුපියල් කෝටි 11,000 ලබාගන්න අපේක්ෂා කරනවා. හරය වෙලා තිබෙන්නේ තවත් වැඩියෙන් ණය ගැනීමත් වැඩියෙන් බදු ගැහීමත් විතරයි.

මෙතෙක් අය නොකළ භාණ්ඩ හා සේවා සඳහා වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු පනවලා තිබෙනවා. ඊට අමතරව වාහනවලට අලුතෙන් කාබන් බද්දක් හදුන්වාදී තිබෙනවා. මෙතෙක් කල් ඉතිහාසයේ නොතිබුණු බද්දක් ලෙස “ණය ආපසු ගෙවීමේ බද්ද” හඳුන්වාදී තිබෙනවා. මංගලගේ මංගල අයවැයෙන්, මංගල බද්දත් ගහලා තිබෙනවා. දැනට තිබෙන රජයේ ගාස්තු වැඩිකර තිබෙනවා. ජනතාව මත පටවන වක‍්‍ර බදු අතරින් ප‍්‍රධාන එකක් වන වැට් බද්දෙන් රුපියල් කෝටි 2,500 ක් අලුතින් ලබාගන්න අපේක්ෂා කරනවා. අයවැය සටහන්වල මේ බදු අයකරගන්නා ආකාරය පැහැදිලිව සටහන් වෙනවා. මෙතෙක් වැට් බද්ද නොතිබුණු පැළ සහ මල් වර්ග, ප්ලාස්ටික් පබළු, වූල් රෙදි, දැව සහ දැව භාණ්ඩ, ඩයි වර්ග, විදුලි පබළු, කාර්මික රාක්ක, විදුලි උපකරණ, ඇස් කණ්ණාඩි, කැමරා සහ ප්‍රොජෙක්ටර්, ඔරලෝසු යනාදිය මත අලුතෙන් බදු එකතු කරනවා.

ඇස්පෙනීම දුර්වල රෝගීන් ලබාගන්න ඇස් කණ්ණාඩියටත් මේ ආණ්ඩුව වැට් බද්ද පනවලා තිබෙනවා. මේවා අයවැය කතාවෙදි කිව්වේ නැහැ. හංගලා ගැහුව්වේ. විදුලි උපකරණවලට බදු පැනවීමෙන් නිවාසවල පාවිච්චි කරන සෑම විදුලි උපකරණයකම මිල වැඩිවෙනවා. කාබන් බද්ද මගින් බයිසිකලයකට රුපියල් 62ක බද්දකුත් කාර්වලට රුපියල් 640 ක බද්දකුත් බස් එකකට රුපියල් 980 පමණ මුදලකුත් වැඩිවෙනවා. පාවිච්චිය අවුරුදු 05 ට වඩා වැඩි වාහනවලට බදු ප‍්‍රමාණය වැඩිවෙනවා. බදු සූත‍්‍රය ඇමුණුම්වල සඳහන් වෙනවා. මේ මගින් බද්ද අනුව රුපියල් කෝටි 250 ක් අපේක්ෂා කරනවා. සියලුම බැංකු ඇතුළු මූල්‍ය ආයතනවල ගණුදෙනු කරන රුපියල් දහසකට ශත 20ක බදු පනවලා ණය ගෙවීමේ බද්ද හඳුන්වාදී තිබෙනවා. මේ බද්ද පාරිභෝගිකයින් මත නොපටවා බැංකුවලින් අයකරගන්නා බවට ප්‍රෝඩාකාරී සටහනක් තිබෙනවා. එහෙම නම් බැංකුවල ලාභය මත බදු ප‍්‍රතිශතයක් අයකරගන්න තිබුණා. නමුත් අනිවාර්යෙන්ම බැංකු තමන්නේ පොළී අනුපාතය ඉහළ දමා මේ මුදල් ගනුදෙණුකරුවන්ගෙන් අයකර ගන්නවා. එහෙම කරන්න නොදෙන බව ආණ්ඩුව කීවත් අනිවාර්යෙන්ම මේක ගණුදෙනුකරුවන් මත පටවනවා.

මේ දක්වා බලයේ හිටපු ආණ්ඩුව අත්තනෝමතිකව ණය අරගෙන ඒ මුදල් කාබාසිනියා කරලා ජනතාව මත විශාල ණය බරක් පටවලා දැන් අමතරන බද්දක් ගහනවා ණය ආපසු ගෙවන්න කියලා. ජනතාව ණය ගෙවන්නත් ඕනෑ, ඒ ණයට පොළිය ගෙවන්නත් ඕනෑ, දැන් අලුතින් ගහලා තියෙන මේ බද්ද ගෙවන්නත් ඕනෑ. මේක තමයි ණය අර්බුදයේ ජනතාව මත එල්ල කර තිබෙන ප‍්‍රතිවිපාකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් විවිධ ආයතනවලින් වැඩි පොළියට ණය ගනිමින් ඉන්නවා. ණය ගෙවීමට අයකරන බද්දෙන් රුපියල් කෝටි 2,000 ක් අපේක්ෂා කරනවා. ගාස්තු සංශෝධනය කියලා 15% කින් රජයේ සේවා ගාස්තු වැඩිකරන්න යෝජනා කර තිබෙනවා. උප්පැන්න සහතිකය, හැඳුනුම්පත් ගාස්තුව, විදේශ ගමන් බලපත‍්‍ර, ඔප්පු ගාස්තු, මුද්දර ගාස්තු, විභාග අයදුම්පත් ගාස්තු වගේ හැමදේකම ගාස්තු වැඩි කෙරෙනවා. විදුලි, ජල ගාස්තු වැඩිකිරීම් මේකට අදාල නැතත් එම ආයතන වෙනම ගාස්තු වැඩි කරනවා. රුපියල් කෝටි 750 ක් මේ තුළින් ආණ්ඩුව අපේක්ෂා කරනවා.

මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය පිළිබඳව නිස්චිත දැක්මක් නැහැ කියලා වාහන බද්ද මගිනුත් පැහැදිලි වෙනවා. ගිය අවුරුද්දේ රවී කරුණානායක ඉලෙක්ට්‍රික් වාහන මිල වැඩි කළා. මේ අයවැයෙන් ඒ ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ඔළුවෙන් හිටවලා එම වාහනවලට දිරිදෙන බදු සහන දෙනවා කියනවා. රවීගෙ අයවැය මංගලගේ අයවැය කියලා දෙයක් අපි දකින්නේ නැහැ. අයවැයක් කියන්නේ ආණ්ඩුවේ ආර්ථික මූලෝපායේ ප‍්‍රකාශනයක්. ගිය අවුරුද්දේ එකක් ඉදිරිපත් කර මේ අවුරුද්දේ සම්පූර්ණයෙන්ම වෙනස් එකක් ඉදිරිපත් කරන්නේ ඇමතිවරු මාරුවීම නිසා නෙවෙයි. ආණ්ඩුවට දැක්මක් නැති නිසයි. බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් වාහනවලට විතරයි මේ බදු අඩු කර තිබෙන්නේ. නමුත් ප‍්‍රායෝගිකව අපේ රටට බ‍්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වීමට හැකියාවක් නැහැ. ජපානයෙන් බ‍්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තත් ලියාපදිංචි කරන්න වෙන්නේ රීකන්ඩිෂන් වාහනයක් ලෙසයි. ඒ නිසා මේ බදු නිදහස් කිරීමෙන් කිසිම ප‍්‍රතිඵලයක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ රීකන්ඩිෂන් ඉලෙක්ට්‍රික් වාහනවලටත් බදු අඩු කරන්න කියලයි. එහෙම නැත්නම් රටේ ජනතාවට ඒ වාසිය ලැබෙන්නේ නැහැ.

අයවැයට කලින් අල, ළුෑණු හාල්මැස්සෝ කරවල වගේ භාණ්ඩවල බදු අඩුකළා. ඒවා ඡුන්ද ඉලක්ක කරගෙන ඉදිරිපත් කර තිබෙන විහිළු. මේකෙන් වනේනේ දේශීය ගොවියා දිගුකාලීනව නගා සිටුවීම සඳහා ක‍්‍රියාමාර්ග නොගෙන ඒ මොහොතට අදාලව පාරිභෝගිකයා සතුටු කිරීමට කරන ක‍්‍රියාවලියක් පමණයි. ලිහිල් කිරීමේ ප‍්‍රතිපත්තිය යටතේ කුඹුරු පනත කෘෂිකර්ම ඉඩම් පනත කම්කරු නීතිය ඇතුළුව නීති ගණනාවක් වෙනස් කරන්න අයවැයෙන් යෝජනා කර තිබෙනවා. අයවැයේ නිස්චිතවම සඳහන් කර තිබෙනවා අපේ රටේ මහල් 4 ට අඩු නිවාස විදේශිකයින්ට විකිණිය හැකි බව. ඕනෑම විදේශීය සමාගමකට මේ රටේ ඉඩම් මිලදී ගැනීමට හැකියාව හදලා තිබෙනවා. විදේශීය කොම්පැනිකාරයන්ට අපේ රටේ දේපොළ විකුණන්න පාර කපලා. මේ අයවැය සම්පූර්ණයෙන්ම රට විකුණන්න පාර කපන අයවැයක්. වරාය විකුණනවා. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි විකුණනවා, ගුවන්තොටුපළ විකුණනවා. ඒවා අයවැයට පිටින් යන්නේ. ණය ගෙවීමට හිලව් කරන්න ආයතන විකුණන බව කියනවා. නමුත් ඉදිරිපත් කරන අයවැය ලේඛනවලින් ඒ ණය හිලව් කළ ප‍්‍රමාණය ගැන කිසිම සඳහනක් නැහැ.

මේ අයවැය තුළින් සිද්ද වෙන්නේ ජාතික සම්පත් විකුණන්න පාරකපන එකයි. රටේ ඉඩම් ගොඩනැගිලි සහ නිවාස විකුණන්න පදනම හදාගන්නා අයවැයක්. රටේ නිෂ්පාදනය වැඩිකර රැකියා උත්පාදනය කරන්න බඩුමිල අඩුකරන්න කිසිම ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කර නැහැ. රැකියා දසලක්ෂයක් දෙන බව මේ අයවැයෙත් සඳහන් කර තිබෙනවා. ඒ සඳහා කිසිම ක‍්‍රියාවලියක් ඉදිරිපත් කර නැහැ.

ජාතික ආර්ථික සභාව කියලා එකක් පිහිටුවලා තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 27 ක් වෙන්කර තිබෙනවා. මේ සභාව තිබුණත් ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගන්නේ පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, රනිල් වික‍්‍රමසිංහ සහ මලික් සමරවික‍්‍රම ඉන්න ආර්ථික කළමනාකරණ කමිටුවයි. නමුත් ආර්ථික සභාවටත් රුපියල් කෝටි 27 ක් වෙන් කර තිබෙනවා. අපි අවධාරණය කරන්නේ මේ අයවැය යෝජනාවලින් රට විකුණන දිශාවට වැඩි වේගයකින් යන්න ඉදිරිපත් කරපු අයවැයක් මිසක් නිෂ්පාදනය මත පදනම් වෙලා ජනතාවට ප‍්‍රතිලාභ ලබාදෙන යෝජනා මේ අයවැය තුළ නැහැ. ජනතාවගේ ආර්ථික ප‍්‍රශ්නවලින් ගොඩගැනීම සඳහා නොව තවදුරටත් බර පටවන අයවැයක්.”

අගන්‍යාශය පෙන්නලා අක්මාවට ගහන අයවැයක්

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා :

“මීට අවුරුදු 40 කට කලින් මාතර දෙවිනුවර මන්ත‍්‍රී රොනීද මැල් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ප‍්‍රතිපත්තිය සහ මූලධර්ම ඒ ආකාරයෙන්ම අද මාතර දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රී මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. විවෘත ආර්ථිකයටම පරිසර හිතකාමී සත්ව හිතකාමී පේන්ට් එකක් කරලා. රට වළපල්ලට ඇදගෙන ගිය ප‍්‍රතිපත්තිය ඒ ලෙසම ඉදිරිපත් කර තිබෙනවා. ජනතාවට විහිළු සපයන කාරණා කිහිපයක් මේ අයවැයේ තියෙනවා. නීලහරිත අයවැයෙන් මංගල සමරවීර යෝජනා කරනවා දෙහිවල සත්තු වත්තේ සත්තු ටික කූඩුවලින් නිදහස් කරන්න. සත්තු වත්තේ කූඩු ටික නිදහස් කර පහුගිය ආණ්ඩුවේ නීලකාශ හොරුටික ඒ කූඩුවලට දානවානම් ජනතාව සැනසුම් සුසුමක් හෙළයි පසුගිය ජනාධිපතිවරණයේදී, මහමැතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකරනවා කියලා. එසේ නොකර කූඩුවල ඉන්න සත්තු නිදහස්කිරීමෙන් රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ.

සීනි අඩංගු පානවර්ග සඳහා ආණ්ඩුව අලූතින් බද්දක් යෝජනා කර රුපියල් මිලියන 5000 ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. ජනතාව දියවැඩියාවෙන් බේරගන්න බද්ද ගහන බව කියමින් ආණ්ඩුව බීර මත පනවා තිබෙනව බද්ද අඩු කරනවා. ජනවහරෙ නම් තියෙන්නේ නංගී පෙන්වලා අක්කා දෙනවා කියලා. මේක වෛද්‍ය විද්‍යාත්මකව කිව්වොත් අගන්‍යාශය පෙන්නලා අක්මාවට ගහන අයවැයක්. ජනතාවගේ සෞඛ්‍ය නංවන්න කියලා සියලූම පළාත් පාලන ආයතනවල ජොගින් ට‍්‍රැක් 350 ක් හදන්න රුපියල් මිලියන 1500 ක් වෙන්කර ආණ්ඩුව මාතර නිල්වලා එළිය පාර්ක් එක හදන්න විතරක් රුපියල් මිලියන 1500 ක් වෙනකරගෙන තිබෙනවා. නිලවලා පාර්ක් එකට විතරක් මිලියන 1500 ක් වෙන්කළේ ඇයි කියලා මංගල සමරවීර ජනතාවට කියන්න ඕනෑ. අපේ රටේ වෛද්‍යවරු බිහිකරන්න වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ තුනක් හදන්නත් වෙන්කර තිබෙන්නේ රුපියල් මිලියන 1250 ක් විතරයි. මේ වගේ විහළු තිබෙන අයවැයක්.

රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට අධ්‍යාපන පෞද්ගලීකරණය පත්වී තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට උත්සාහ කරනවා. සටනේ ප‍්‍රතිඵලයක් විදියට සයිටම් ආයතනය අහෝසි කළා. නමුත් මේ අයවැයේ යෝජනාවක් අනුව ආණ්ඩුව සූදානම් වෙන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන විශ්වවිද්‍යාලවල කොටස් අයිතිය සමාගම්වලට ලබාගත හැකි ආකාරයට නීතිමය අණපනත් වෙනස් කරන්න සූදානම් වෙනවා. රටකට විශ්වවිද්‍යාල අවශ්‍ය වෙන්නේ බුද්ධිමය ප‍්‍රජාව නිර්මාණය කරන්නයි. ඒ සඳහා රටේ ජනතාවගේ බදු මුදල්වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් වෙන් කළ යුතුයි. නමුත් මේ ආණ්ඩුවේ ලිහිල්කරණ ප‍්‍රතිපත්තිය යටතේ තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලත් කොටස් වෙළඳපොළට දාන්න යෝජනා කර තිබෙනවා. මේ යෝජනාවම මීට අවුරුදු 40 කට කලින් එවකට මාතර දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයාත් ගෙනාවා. අපේ රටේ ඉතිරිවෙලා තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල ටිකත් කොටස් වෙළඳ පොළේ විකුණන්න යෝජනා ඇතුළත් අයවැයක්. විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියේ ලිහිල් කිරීම් තුළින් රට ගොඩ ගන්න බැරි බව පැහැදිලිව ඔප්පු වෙලා තිබියදී නීල හරිත හෝ පරිසරහිතකාමී පින්තාරුවක් යෙදුවට ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. තවදුරටත් රට වළපල්ලට යන සහ ජනතාවගේ බොටුව මිරිකන අයවැයක් මංගල සමරවීර ඇමතිතකුමාත් ඉදිරිපත් කර තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට පත්වීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් නිර්මාණය කළ ජනමතයට අනුව යමින් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන්කරන බවට පොරොන්දු වී තිබුණා. නමුත් ගෙවී ගිය අවුරුදු 03 දී අවම තරමින් 4% ක්වත් වෙන්කරන්න ක‍්‍රියාකර තිබුණේ නැහැ. ඊටත් වඩා බරපතලම කාරණයක් තමයි අයවැයෙන් මුදල් වෙන් කිරීමේදී වැඩි මුදලක් අධ්‍යාපනයට වෙන්කළ බව පම්පෝරි ගැහුව්වත් වසර අවසානයේදී වෙන්කරන මුදලින් 25% ක් 30% ක් වගේ මුදලක් වියදම් නොකර භාණ්ඩාගාරයට යනවා. අයවැයක් ඉදිරිපත් කරනකොට ගහන පම්පෝරියට සාදාරණයක්වත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉටුවෙන්නේ නැහැ.”

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්… :

“රාජපක්ෂ ගත්ත ණයයි මේ ආණ්ඩුව ගන්න ණයවලට සියල්ලටමයි මේ බදු ගහන්නේ. මේ ආණ්ඩුව ණය ගැනීම නතර කරලා නැහැ. ඒ නිසා රාජපක්ෂ බද්දයි, මෛත‍්‍රී බද්දයි, රනිල් බද්දයි, අලූතින් මංගල බද්දයි ඔක්කොම එකතු වෙනවා. සුපුරුදු පරිදි අයවැයෙන් විවිධ ක්‍ෂේත‍්‍රවලට මුදල් වෙන්කරන ආකාරයට මේ සැරෙත් මුදල් වෙන්කර තිබෙනවා. අයවැය යෝජනාවල තිබුණත් කිසිම ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ කර නැහැ. ලස්සන වචන විතරයි. ගියවර සමස්ත අයවැයෙන් 20% ක් වියදම් කර නැහැ. ළඟම පාසල හොඳම පාසල කිව්වත් අධ්‍යාපනයට වියදම් කර තිබෙන්නේ වෙන් කළ මුදලින් කොටසක් වුණු බිලියන 69 ක් වගේ මුදලක්. සමහර තැන්වල ව්‍යාපෘතිය ආරම්භ කළත් කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් නොගෙවීම නිසා අතරමඟ නතර වී තිබෙනවා. ව්‍යාපෘති යෝජනා තිබුණට ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ.

ගෙවී ගිය අවුරුදු 70 ඇතුළේ ඉදිරිපත් කළ අයවැය ලේඛන හොඳ වුනානම් රටට හොදක් වී තිබෙන්න ඕනෑ. නමුත් සිදුවී තිබෙන්නේ ජනතාව මත බදු බර පැටවීමයි. ඇත්තටම ජනතාවට අද වෙලා තිබෙන්නේ බදු බර පැටවීම සහ ණය කන්දක් කඩාපාත්වීම හැර ජනතාවගේ ආර්ථිකය ගොඩගැනීමට කිසිදු සාදනීය මැදිහත්වීමක් අයවැය තුළින් සිදු නොවීමයි.

ඇත්තටම අයවැයෙන් සිදුවෙලා තිබෙන්නේ ගත්ත ණයවල පව් ගෙවීමක් ජනතාව මත පටවපු එකයි. ඒ ගොල්ලන්ගේ හිතවත්කම් යාළුකම් මත තෝරගත්ත හෙන්චයියන්ගේ ඕනෑ එපාකම් ඉටුකරන්න යම් බදු සහන දෙනවා. සමහර සමාගම්වලට කෝටි ගණන් බදු සහන දී තිබෙනවා. ඒවත් පෙරලා සාමාන්‍ය ජනතාව මත පටවනවා. හැමදාමත් සිදුවුනේ ඒකයි. මේ අයවැය යෝජනාවලින් සිදුවෙන්නෙත් ඒකයි.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *