ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද? – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද? – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

• රිෂාඩ් බදියුදීන්ට එරෙහි පැමිණිලි විමර්ෂණය කිරීම ඇරඹේ

• මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට සහ ලියාපදිංචි නොකළ “සිංහලේ” සංවිධානයට එරෙහිව මානවහිමිකම් පැමිණිල්ලක්

• රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

• නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

• සියලු උපාධිධාරීන්ට රැකියා – ජනමාධ්‍යවේදීන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක්

+++++++++++++++++++++++++++++++++++

ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද? – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

(15.12.2019 – 23:35 +0530 – lankaleadnews.com)

අපේ මව් බිම ඉන්දියන් සාගරයේ ඉතාමත් වැදගත් උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇත්තේය. පෙර අපරදිග මුහුදු මාර්ගයන්හි හරි මැද පිහිටා ඇත්තේ අපේ රටය. නැගෙනහිරින් කිලෝමීටර් 2000 ක් ඈතින් ඇති මලක්කා සමුද්‍ර සන්ධිය සහ බටහිරින් කිලෝමීටර 2000 ක් ඈතින් ඇති හෝමස් සමුද්‍ර සන්ධිය අවහිර කළහොත් කිසිම නෞකාවකට ඉන්දියන් සාගරයට ඇතුළු විය නොහැක. ලෝකයට අවශ්‍ය බලශක්ති ප‍්‍රමාණයෙන් 70% ක් ප‍්‍රවාහනය වන්නේද ඉන්දියන් සාගරය හරහාය. බහාලුම් 50% ක ප‍්‍රවාහනය වන්නේද ඉන්දියන් සාගරය හරහාය. ඇන්ටාටිකා සාගරයේ අපට දකුණින් කිසිම රටක් පිහිටා නොමැත. අනාගතයේ ලෝකයේ බලවතා වන්නේ ඉන්දියන් සාගරය පාලනය කරන්නා බව ලෝක බලවතුන්ගේ මතයයි. අවුරුදු දෙදහස් පන්සීයක අපේ ඉතිහාසය තුළ අපට විදේශීය ආක‍්‍රමණ ආවේත් මෙදා ලෝක බලවතුන් අපේ රටට උන්ගේ උකුසු ඇස් හෙලන්නේත් පෙර සඳහන් කළ පරිදි අප ඉන්දියන් සාගරයේ සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති නිසාය.

එසේ නම් අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය සකස් කළ යුත්තේ ඉහත සඳහන් කරුණු සලකා බලාය. අප කිසිදු බලගතු රටකට නතු නොවී මධ්‍යස්ථව සිටිය යුත්තේ එක් රටකට බර වුවහොත් ඒ රටට එරෙහි අනෙක් රටවල් අපත් සමග සතුරු වන නිසාය. අප රටවල් තරහ කර නොගත යුත්තේ අපට තවම තනිවම දෙපයින් සිට ගැනීමට නොහැකි නිසාය. අපවන් රටක විදේශ ප‍්‍රතිපත්තිය ඉතාම වැදගත් කරුණක් වන්නේ ඒ නිසාය.

එසේ යම්කිසි රජයක්, උක්ත කරුණු සියල්ල සලකා බලා කිසිම බලවත් රටකට නතු නොවී කිසිම රටක උදහසට භාජනය නොවී රටේ අභිමානය ද රැකගෙන මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක් සකස් කළහොත් ඊළඟට පත්වන අනෙක් රජය ද එම ප‍්‍රතිපත්තිය වෙනස් නොකර ක‍්‍රියාත්මක කළ යුතු වේ. ඒ ඉන්දියන් සාගරයේ භූ දේශපාලන තත්ත්වය වෙනස් නොවී පවතිනතාක් කල්ය. වෙනත් බොහෝ රටවල දේශපාලනඥයින් කටයුතු කරන්නේ එසේය. ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රශ්නයේ දී, පත්වන සියලු රජයන් ක‍්‍රියා කරන්නේ බොහෝ දුරට එකම ප‍්‍රතිපත්තියයි. ඒ මොවුන් තමන්ගේ රටට, රටේ අභිමානයට ගෞරව / ආදරය කරන බැවිනි. අපේ රටේ සමහර දේශපාලනඥයින් එහෙම නැත. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බලවත් ඉන්දියාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනියට ‘එළදෙන’ යනුවෙන් අපහාසාත්මක කතා කිරීමේ විපාක විඳින්නේ සමස්ත ලංකා ජනතාවය. ඉන්දිරා ගාන්ධි කොටි ත‍්‍රස්තවාදීන් ඉන්දියාවේ පුහුණු කළේ ජේ. ආර්. ජයවර්ධන තමන්ට කළ එම අපහාසයෙන් පලි ගැනීමටය. ඇමරිකාවට ජේ. ආර්. ජයවර්ධන ගැති වී සිටියත් ඉන්දියාව එසේ පෝෂණය කළ එල්ටීටීඊ ත‍්‍රස්තයින් ලංකාවේ බෝම්බ පුපුරමින් මිනිසුන් ඝාතනය කරන විට ඇමරිකාව අපේ සහයට ආවේ නැත. 1987 වඩමාරච්චි මෙහෙයුමේ කොටි ත‍්‍රස්තවාදය අතුගා දමන්න ඔන්න මෙන්න තිබියදී ඉන්දියාව ගුවනින් පරිප්පු දමා අපේ රටේ නායකයින් භීතියට පත් කොට එම මෙහෙයුම නවතා දමා අප කිසිදා නොඉල්ලූ එතෙක් තිබූ ඒකීය රට පළාත් ආණ්ඩු 9 කින් යුත් බොහෝදුරට ෆෙඩරල් කරවන දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය අප මත පැටෙව්වේය. එක් දේශපාලනඥයෙක්ගේ වැරදි අමනෝඥ විදේශ ප‍්‍රතිපත්තියක් නිසා මුළු රටටම විපාක විඳින්නට සිදුවූයේ ද තවමත් විඳින්නේද ඒ අයුරිනි. වර්තමානයේ ද අපේ රටට අහිතකර විදේශීය බලපෑම් එන්නේ ද රට පාලනය කළ දේශපාලනඥයින්ගේ වරදිනි. ඒවා නිකම්ම සිදුවන වැරදි නොවේ. හිතාමතාම තමන්ට පෙර සිටි දේශපාලනඥයින්ගේ පළිගැනීමට කරන ලද වැරදිය. එයින් අවසානයේ විපාක විඳීමට සිදු වන්නේ එම තීරණය ගත් අයට නොවේ. සමස්ත ලාංකික ජනතාවට සහ රටටය.

ත‍්‍රස්තවාදය යනු දේශපාලන අරමුණක් සඳහා අහිංසක ජනතාව ඝාතනය කිරීමයි. පොදු දේපළ විනාශ කිරීමයි. එබැවින් ත‍්‍රස්තවාදය ඇති වූ හේතුව සාධාරණ අසාධාරණ වූවත් ත‍්‍රස්තවාදය කිසිසේත්ම සාධාරණීය කළ හැකි නොවේ. ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුමය. මහින්ද රාජපක්ෂ / ගෝඨාභය රාජපක්ෂ රජය ත‍්‍රස්තවාදය පරාජය කළේය. එසේ කළේ ද ලක්ෂ 3 කට ආසන්න දෙමළ ජනතාව බේරා ගනිමිනි. එයට ඔවුන්ට අධික මිලක් ද ගෙවීමට සිදුවිය. එනම් 29,000 ක් ජීවිත අහිමිවීම සහ 14,000 ක් පූර්ණ කාලීන ආබාධිත වීමයි.

බටහිර රටවල බලපෑම්වලට යටත් නොවී එම යුද්ධය ජයගැනීමට හැකි වුණු අතර, ඒ වන විට ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල් පමණක් නොව ආරක්ෂක මණ්ඩලයේ රුසියාව සහ චීනය පවා අපත් සමග සිටියහ. යුද්ධය දිනූ පසු ජර්මනිය අපට විරුද්ධව අභූත යුද අපරාධ චෝදනා අඩංගු යෝජනාවක් ගෙන ආවද මානව හිමිකම් කවුන්සලයේ අනෙකුත් රටවල් එය පරාජය කරන ලද අතර, දරුණුතම ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන අපට ප‍්‍රශංසා කරමින්, මිනිස් පලිහවල්, ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් කොටි ත‍්‍රස්තවාදීන් හෙළා දකිමින් ප‍්‍රති යෝජනාවක් සම්මත කරන ලදී. නමුත් පසුව සිදු වූයේ කුමක්ද?

ඉතා කෙටියෙන් කිවහොත් රාජපක්ෂ පවුල සමග තිබුණු වෛරයට අප විසින් සිදු නොකළ යුද අපරාධ චෝදනා අඩංගු මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව අගය කරමින් පිළිගෙන එය පදනම් කරගෙන අපට විරුද්ධව ඇමෙරිකාව ගෙන ආ 30/1 යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය ලබා දීමය. එසේ කළේ එවකට විදේශ අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීරය. එහි ප‍්‍රතිඵලය වූයේ එම යෝජනාව කිසිදු විවාදයකට භාජනය නොවී කිසිම ඡන්දයකට භාජනය නොවී සභා සම්මත වීමයි. එම යෝජනාවේ අඩංගු, රටට සහ රණවිරුවාට අහිතකර සියලුම නිර්දේශයන් අපට ක‍්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ ද ඒ නිසාය. අද වන විට රුසියාව, චීනය පමණක් නොව මානව හිමිකම් කවුන්සලයේ රටවල් 47 න් එක් රටකටවත් අප වෙනුවෙන් කතා කිරීමට නොහැක්කේ මංගල සමරවීර ද්‍රෝහී ලෙස එම යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දැක්වූ නිසාය. පෞද්ගලික කුහක වෛරයක් මත පදනම් වූ විදේශ ප‍්‍රතිපත්තියක් නිසා අද මුළු රටම විපාක විඳින්නේ ඒ අයුරිනි.

ඉන්පසු මංගල සමරවීර / රනිල් වික‍්‍රමසිංහ රජය කළේ කුමක් ද? තමන් විසින් අන්තර්ජාතිකය ඉදිරියේ පිළිගත් එම යුද අපරාධ, අතුරුදන් වීම් යනාදිය සාධාරණීය / සනාථ කිරීම සඳහා නිශාන්ත ද සිල්වා (කන්දප්පා) වැනි තෝරාගත් පොලිස් නිලධාරීන් යොදවා රණවිරුවන්ට, බුද්ධි නිලධාරීන්ට චෝදනා එල්ල කොට සිරගත කිරීමයි. එම චෝදනා සාවද්‍ය බව සනාථ වන්නේ වසර 4 ක් යනතුරුත් ඒ කිසිවක් තවමත් ඔප්පු කර ගත නොහැකි වීමයි.

වර්තමාන ජනාධිපති බලයට පැමිණ රජය වෙනස් වීමත් සමග සිංහල නමක් ගත් එම දෙමළ පොලිස් නිලධාරියා සිය පවුලත් සමග රටින් පැන ගියේය. තමන් නීත්‍යානුකූලව රාජකාරිය කර ඇත්නම් මෙසේ බිය වී පලා යෑමට අවශ්‍ය නැත. ඔවුන් ගියේ ජිනීවා නුවර පිහිටි ස්විස්ටර්ලන්තයටය. එම නිලධාරියාට ස්විස්ටර්ලන්තයට යෑමට මෙහි තිබෙන තානාපති කාර්යාලයෙන් වීසා දුන්නේ කෙසේද ? සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුට විදේශගත වීමට තම ආයතන ප‍්‍රධානී සහ ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ගත යුතුය. එසේ අවසර ලිපි නොමැතිව වීසා දීමෙන් තානාපති කාර්යාලය කර ඇත්තේ බරපතළ වැරැද්දකි. රජයේ සේවය කරන නිලධාරියකුට රටින් පිටවීමට නිසි අවසරයක් තිබිය යුතු බැව් ඔවුහු හොඳින් දන්නා කරුණකි.

ඉන්පසු ස්විස් තානාපති කාර්යාලය කළේ එම පලා යෑමට අවසර දීම යටපත් කිරීමට තම කාර්යාලයේ සේවිකාවකට බියපත් කිරීමක්, ලිංගික හිංසනයක් කළා යැයි ලෝකයට හඬ නගා කීමය. රජයේ ඒ පිළිබඳව ඉතා දැඩි ස්ථාවරයක සිටි නිසා එම පැමිණිල්ල බොරුවක් බව දැන් සනාථ වී හමාරය. අද ඒ අයුරින් ස්විස්ටර්ලන්තය අපට එරෙහිව ක‍්‍රියා කරන්නේ නිශාන්ත කන්දප්පාට ජිනීවා නුවර යෑමටත් එම මුළු පවුලටම එහි සියලු පහසුකම් සහිතව ජීවත්වීමටත් කටයුතු සලසන්නේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අපේ රටට සහ රණවිරුවන්ට අවමන් කිරීමටයි.

අද බටහිර රටවල් අපට විරුද්ධව මෙසේ පෙළ ගැසී සිටින්නේ අපේ රට තුළ සිටින දේශද්‍රෝහීන්ගේ ද සහාය ඔවුන්ට ලැබෙන බැවිනි. පාස්කු ප‍්‍රහාරයෙන් 300 ක් ඝාතනය වී 600 කට අධික සංඛ්‍යාවක් තුවාල වන විට ඔවුන්ගේ මානව හිමිකම් ගැන වචනයක්වත් නොදෙඩූ අපේ රටේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන දීපිකා උඩුගම ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවකගේ මානව හිමිකම් කඩවීම ගැන උඩපනිමින් කතා කරයි. එම තැනැත්තිය ත‍්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ කිසිදු නිලධාරියෙක්ට අද වන විටත් විදේශීය සාම සාධක හමුදාවන්ට සහභාගිවීමට අවශ්‍ය නිෂ්කාශන වාර්තා ලබා නොදෙයි. දේශයට, රණවිරුවාට ද්‍රෝහී වන මෙවැන්නන් රට තුළ කටයුතු කරන තාක් කල් බටහිර රටවල්වලට අපට විරුද්ධව ක‍්‍රියා කිරීමට ඉතා පහසු වන බව කීමට අවශ්‍ය නොවේ.

එංගලන්තය නොබෝදා බි‍්‍රගේඩියර් ප‍්‍රියංකට එම උසාවිය මගින් පවුම් 2400 ක දඩයක් නියම කළාය. ඒ ලන්ඩන් නුවර අපේ තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ ද්‍රවිඩ ජාතිකයින් පිරිසක් සම්බන්ධ සිද්ධියකටය. එදා අපේ රටේ 70 වන ජාතික නිදහස් දිනයයි. එම ද්‍රවිඩ පිරිස අපේ රටේ ජාතික කොඩිය පාගා දමමින් ‘ප‍්‍රභාකරන් අපේ නායකයා’ , ‘අපිට ඊළම අවශ්‍යයි’ යනාදි පුවරු ප‍්‍රදර්ශනය කරන විට බි‍්‍රගේඩියර්වරයා තම ඇඟිල්ල තම බෙල්ල හරහා යවමින් සංඥා කළ අයුරු අප දුටුවෙමු. එංගලන්ත උසාවිය බි‍්‍රගේඩියර්වරයාට දඬුවම් කළේ ඒ වරදටය.

තානාපති කාර්යාලයේ සේවය කළ බි‍්‍රගේඩියර් වියානා සම්මුතියට අනුව රාජතාන්ත‍්‍රික මුක්තියට හිමිකම් ලබන්නෙකි. එවන් මුක්තියක් තිබෙන පුද්ගලයෙකුට බි‍්‍රතාන්‍ය උසාවියෙන් දඬුවම් කළ නොහැක. අද බි‍්‍රතාන්‍ය විනිසුරුකරුවන් එම වරද කර තිබේ. එසේ ම එල්ටීටීඊ කොටි සංවිධානය බි‍්‍රතාන්‍යයේ ද තහනම් කර ඇති ත‍්‍රස්තවාදී සංවිධානයකි. එක්සත් ජාතීන්ගේ 1373 වගන්තියට අනුව එසේ තහනම් කරන ලද සංවිධානයකට එම කොඩි ප‍්‍රදර්ශනය කිරීම තබා ඒ සම්බන්ධ කිසිදු ක‍්‍රියාවක් කළ නොහැක. නමුත් එංගලන්තය අද කොටි හිතවාදීන්ට තම ක‍්‍රියාවන් කිරීමට පූර්ණ නිදහස ලබා දී තිබේ. එය අපේ රටේ ජනතාවට ගසන ලද අතුල් පහරකි. ඔවුන් එසේ කිරීමට පසුබට නොවන්නේ එවන් ක‍්‍රියාවන්ට සතුටු වන, එයට උඩගෙඩි දෙන පුද්ගලයින් අපේ රට තුළ සිටි නිසාය.

රටක් තම අභිමානය, ස්වෛරීත්වය රැකීමට සෘජුව කටයුතු කරන්නේ නම් එයට සෙසු රටවල් ද සහාය දීමට මැලි නොවේ. බි‍්‍රතාන්‍ය විසින් අප වෙත දක්වන්නා වූ එම වැරදි සහගත ආකල්පය පිළිබඳ අපගේ කනස්සල්ල ඔවුන්ට දැන්විය යුතුවේ. එය රාජතාන්ත‍්‍රික ලෙස දැන්වීම නිවැරදි විදේශ ප‍්‍රතිපත්තියයි. මිත‍්‍රශීලී රටක නිදහස් සැමරුම් දිනක එම රටේ ජාතික කොඩියට නිග‍්‍රහ කළ තහනම් ත‍්‍රස්ත සංවිධානයකට සහාය දෙන පුද්ගලයින්ගේ මානව හිමිකම්වලට තම මිත‍්‍රශීලී රටේ අභිමානය පාවා දුන් බි‍්‍රතාන්‍යයට තමන්ගේ එම ක‍්‍රියාවේ බරපතළකම ඒත්තු ගැන්වීමට බොහෝ ක‍්‍රමවේදයන් තිබේ. රජය එයින් සුදුසුම ක‍්‍රියාමර්ගය ගනු ඇතැයි අප විශ්වාස කරමු.

– රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

***************************************

රිෂාඩ් බදියුදීන්ට එරෙහි පැමිණිලි විමර්ෂණය කිරීම ඇරඹේ

(17.12.2019 – colombotoday.com)

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් පසුගිය රජයේදි මෙහෙයවන ලද අමාත්‍යංශයේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය රජයේ වැඩිම ආයතන ගණනාවක් ගණනාවක් හෙබවූ බලවත්ම ඇමතිවරයා වූයේ රිෂාඩ් බදියුදීන් ය.

මේ අනුව රාජ්‍ය මුදල් නියමිත ක්‍රමවේදයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් පවත්වා ඉදිරි කටයුතු කිරීමට සියල්ල සුදානම් බවද වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණ දින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකෙරේ.

මූලික පරීක්ෂණයේදී අමාත්‍යාංශය මට්ටමින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ ෴

***************************************

මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට සහ ලියාපදිංචි නොකළ “සිංහලේ” සංවිධානයට එරෙහිව මානවහිමිකම් පැමිණිල්ලක්

(17.12.2019 – colombotoday.com)

මාධ්‍ය වෘත්තිකයෙකු වන තෙන්නකෝන් මුදියන්සේලාගේ භාරත මාලින්ද ප්‍රභාෂණ තෙන්නකෝන් විසින් මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට සහ ලියාපදිංචි නොකළ “සිංහලේ” සංවිධානයට එරෙහිව මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කල බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2019 ක් වූ දෙසැම්බර් මස 16 දින දී ය

ටී. එම්.බී. එම්. පී. තෙන්නකෝන්
අංක 322, ස්වර්ණමාලි,
වැල්ලෑව, පොල්ගහවෙල’

කොමසාරිස්තුමා,
මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

කොමසාරිස්තුමනි,

දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම හා ජීවිතයට ඇති තර්ජනය පිළිබද සාධාරණයක් ඉල්ලා සිටීම,

1. අංක 322 ස්වර්ණමාලි වැල්ලෑව පොල්ගහවෙල ලිපිනයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ භාරත මාලින්ද ප්‍රභාෂණ තෙන්නකෝන් වන මා මාධ්‍ය වෘත්තිකයෙකු වන අතර නීතිවේදී උපාධිදාරියෙකි. එසේම දීර්ඝ කාලීන දේශපාලන ක්‍රියාදරයෙකි.

මේ වන විට මහජන බැංකුවේ මාධ්‍ය කළමණාකරු ලෙස ස්ථීර සේවයේ නියැලී සිටින මා ඉන් පූර්ණ කාලීනව නිදහස් වී 2018 මැයි මස 30 වැනිදා සිට 2019 නොවැම්බර් 22 වැනිදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළෙමි.ඊට පෙර මාධ්‍ය ආයතන හා වෙනත් ආයතන ගණනාවකම මාධ්‍ය සම්බන්ධ රැකියාවන්හි නියැලී සිටි මා, වසර දහ තුනක පමණ කාලයක් ලිපි රචකයකු, තීරු ලිපි රචකයකු, පූරකයෙකු හා වැඩසටහන් හා ප්‍රවෘත්ති නිෂ්පාදකයකු ලෙස අඛණ්ඩව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලමෙින් සිටිමි.

2. 2019 නොවැම්බර් 16 වැනිදා මෙරට පැවැත්වූ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාල ඡන්ද විමසීමේ මැතිවරණයේ දී, මෙරට පුරවැසියකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් මා වෙත හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් වන කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය අනුව,නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ සහාය දැක්වීමි.

එහිදී මා ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රචාරණ ව්‍යාපාරයට ඍජුව සම්බන්ධ වෙමින්,ඩිජිටල් මාධ්‍ය කමිටුවේ සාමාජිකයකු ලෙසකටයුතු කරමින් දතරුණ හා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්වල කතිකයකු ලෙස කටයුතු කරමින් දසමාජ මාධ්‍ය සදහා ලිපි සකස් කරමින් ද මාධ්‍ය සාකච්ඡා සංවිධාන කරමින් ද රූපවාහිනී වැඩසටහන් පූරකයකු ලෙස කටයුතු කරමින් ද මත හා අදහස් නිර්පාකයකු ලෙස ද මාගේ දායකත්වය ලබා දුන්නෙමි.

මැතිවරණය අවසානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් ජනාධිපතිධුරයට පත් වීය.

3. ජනාධිපතිවරණය අවසන් වීමෙන් සති තුනකට පසු, එනම් 2019 දෙසැම්බර් මස 11 වැනිදා සිංහලේ නම් ස්වයං ප්‍රකාශිත ජාතික සංවිධානයක් විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පුද්ගලිකව මාගේ ජීවිතයට, ජීවත් වීමේ අයිතියට, පුරවැසියකු ලෙස කැමති තැනක වාසය කිරීමේ අයිතියට, කැමති රැකියාවක් කිරීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට, සිතීමේ නිදහසට හා කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතියට දැඩි බලපෑමක් එල්ල කරමින් මා කෙරෙහි සමාජ වෛරය ඇති කිරීමේ, මා කෘෘර හා අවමන් සහගත සැලකීමකට පෙළඹවීමට සමත් හා මට විරුද්ධව අපරාධමය කටයුත්තක් සිදු කිරීමට යමෙක් පෙළඹවිය හැකි ආකාරයේ අදහස් දැක්වීමක් සිදු කරනු ලැබීය.

එකි අදහස් දැක්වීමට පදනම් වී තිබුණේ කිසිදු සත්‍යතාවක්, පදනමක් හෝ හරයාත්මක ගැලපීමක් නොමැති කරුණකි. ඔවුන්ගේ අදහස වූයේ ඔවුන් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසු එම කරුණු අනාවරණ කරගත් බවයි.

කෙසේ නමුත්, එවැනි සංවිධානයකට නීතිමය වටිනාකමක් ගෙන දෙන හෝ ප්‍රත්‍යක්ෂ සත්‍යයක් යැයි කියා සිටිය හැකි නිගමනයක් ඉදිරිපත් කළ හැකි මට්ටමේ පරීක්ෂණ සිදු කිරීමට ඇති නීතිමය හෝ අධිකාරීමය බලය කුමක්දැයි ප්‍රශ්න සහගතය. බැලූ බැල්මටම පෙනී යන්නේ එම ප්‍රකාශය කිසි පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු කරන්නක් නොව, හුදෙක්ම සිය දේශපාලන පසමිතුරකුවන්චනික ලෙස වරදක පටලා අත්තඩංගුවට පත් කර සිර කර පීඩනයට ලක් කිරීමේ කූඨ වුවමනාව මතම පමණක් සිදු කරන්නක් බවයි.

මාගේ ඒ විනිශ්චය තවදුරටත් සනාථ කරනුයේ, අදාල සංවිධානය එනම් සිංහලේ සංවිධානය වර්තමාන ජනාධිපතිවරයාට ඉතාම සමීපතාවක් දක්වන සංවිධානයක් වීම නිසාය.

4. එහිදී සිංහලේ නම් සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් භික්ෂුවක් වන මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි හා ප්‍රදීප් සංජීය නැමැත්තෙකු කියා සිටියේ, මා මෙරට සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් අදාල සිදු වීමට පෙර කරුණු දැන සිට ඇති බවයි. එසේම, ඊට අදාලව මා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවත් කියා සිටියේය. තොරතුරු දැන අනාවරණ නොකිරීමේ චෝදනාව මත මා කෙරෙහි මිනිමැරීමේ චෝදනාව ආරෝපණය කළ යුතු බවද කියා සිටියි. මේ වන විටත් අත්අඩංගුවේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ද ආරෝපණය කර ඇත්තේ එකී වරදමය. මෙම කරුණුම පවසමින් වැඩ බලන පොලිස්පතිවරයා මගින් ත්‍රස්තවාදය විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එකී මාධ්‍ය සාකච්ඡාව ආසියානු මාධ්‍ය ජාලයට අයත් හිරු ටීවී නාලිකාව 2019-12-11 දින පැය 1855 හා පැය 2155 යන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වලදී විකාශය කළේය. එම සත්‍ය නොවූ උපකල්පන මත පිහිටා කළ ප්‍රකාශය ප්‍රවෘත්තියක් ලෙස විකාශය වීමෙන් පසු එය පුද්ගලයින් තුළ මා කෙරෙහි කෝපයත් වෛරයත් ඇති කළ මගේ ජීවිතයට අවධානමක් ඇති කරන්නට තරම් ප්‍රබල විය.

5. එම අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවට පදනම් කරගෙන තිබුණේ 2019 අප්‍රේල් මාසයේ වෙනත් රටක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මා දැරූ පසු අදහසකි. එය නිරීක්ෂණික නිගමනයකි. සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලික නිගමනික මට්ටමේ අදහස් පලකිරීමේ මාධ්‍ය වෘත්තිකයින් විසින් නිරන්තරයෙන් සිදු කරන්නකි. එම සිදුවීමට අදාලව මා මෙන්ම ලෝකයේ බොහෝ මාධ්‍ය වෘත්තිකයින් ද ඒ සමාන අදහසක් දරා තිබිණි. ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් ඒ ඒ වෘත්තීන්වල නියැලෙන පුද්ගලයින්ගේ මත හා අදහස් ගෝලීයව ඉහළ අගයක් සහිතව පිළිගැනීමට ලක්වේ. ඒවා කිසි විටක අධිකරණ හමුවේ ප්‍රශ්නගත නොකරයි. නිදසුනක් ලෙස, නීතිවේදීන්ට නීතිය සම්බන්ධයෙන් ඇති ධනාත්මක විවේචන නීතිවේදීන්ගේ මත ලෙස සැලකෙනවා විනා අධිකරණයට අපහාස කිරීම මත කටයුතු නොකෙරේ. මාධ්‍යෙව්දීන්ද යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් දක්වන අදහස් සැලකෙනුයේ එලෙසමය.

කෙසේනමුත්, මාගේ අදාල විෂයගත ප්‍රකාශය (ෆේස්බුක් ස්ටේටස්) හා මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හා සම්බන්ධයක් ඇති දැයි 2019 මැයි / ජූනි මාස වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා, එකී විෂයගත ප්‍රකාශය හා සිද්ධිය යනු දෙකක් මිස එකක් නොවන බව වටහා ගැනීමෙන් හා සොයා ගැනීමෙන් පසු අදාල ගොනුව අවසන් කර තිබේ. ඒ සදහා පැය පහක පමණ දීර්ඝ ප්‍රකාශයක් මා වෙතින් ලබා ගත් අතර මාගේ දුරකතන හා වෙනත් තාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. මා කෙරෙහි කිසි සැකයක් හෝ ආරෝපණය නොකර ගොනුව අවසන් කරන්නේඉන් පසුවය.

6. සිංහලේ නම් සංවිධානය විසින් අවසන් කරනු ලැබූ කටයුත්තක් සම්බන්ධයෙන් ජනාධිපතිවරණය අවසන් වූ පසු හදිසියේම පදනම් විරහිත ලෙස චෝදනා එල්ල කරනුයේ එවැනි පසුබිමකය. අදාල සංවිධානය අවසන් වූ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ, දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහාය හා ආශිර්වාදය මැද හැදී වැඩුණු සංවිධානයකි. ඉතිහාසය පුරාම රාජපක්ෂවරුන් ප්‍රශ්න කරන කණ්ඩායම් හෝ පුද්ගලයින් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ සංවිධානයකි.

තවද, වර්තමාන අමාත්‍යවරයකු වන විමල් වීරවංශ මහතාගේ සමීපතමයින් වන අදාල සංවිධාන සාමාජිකයින් සදහා විමල් වීරවංශ මහතා විසින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනු දක්නට ලැබේ. සංශිප්තව කියන්නේ නම් සිංහලේ සංවිධානය යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට අනුබද්ධිත සංවිධානයකි.

7. මා ඉලක්ක කර මෙවැනි කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් දියත් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වූ පසුව ද ඔහුගේ ප්‍රතිපත්ති, වැඩපිළිවල හා ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපයන් පිළිබද විවේචන එල්ල කළ යුතු තැන්වලදී අඛණ්ඩව විවේචනය කරමින් සිටීම නිසා බැව් වැටහේ. මට පමණක් නොව, එලෙස අඛණ්ඩ විචාරයේ නියැලෙන සියලු දෙනා පාහේ විවිධ ස්වරූපයන්ගෙන් හීලෑ කිරීමට ඔවුහු කුමන්ත්‍රණය කරමින් සිටිති.

මෙම සංවිධානය මා ඉලක්ක කරමින් මෙලෙස අභූත චෝදනා නගමින් මා වෛරීසහගත ලෙස අත්තඩංගුවට ගෙන මා කෙරෙහි මිනී මැරීමේ වරද ආරෝපණය කළ යුතු යැයි පවසන්නේ දේශපාලන විරුද්ධවාදීන් බිය ගැන්වීමේ රාජපක්ෂවරුන්ගේ උවමනාව සාක්ෂාත් කිරීම පිණිස බව පෙණේ. එමගින්, වත්මන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව සම්බන්ධයෙන් මා හෝ වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන විරෝධය හෝ විවේචන සම්පූර්ණයෙන්ම පාහේ නවතා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ සදහා සමාජයීය වශයෙන් බලපෑමක් කළ හැකි ශක්‍යතාවක් ඇති පුද්ගලයින් අසත්‍ය හා පදනම් විරහිත නඩුහබ වල හෝ වෙනත් අර්බුදවල පටලවා වෙහෙස ගැන්වීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

8. එකී පුද්ගලයින්ගේ මෙකී තර්ජනාත්මක හැසිරීම හේතුවෙන් ගැබිණියක් වන මාගේ බිරිද මහත් කම්පාවට හා පීඩාවට පත්ව තිබේ. එසේම, ඇගේ ජීවිතයට ද නූපන් දරුවාගේ ජීවිතයට ද විශාල තර්ජනයක් එල්ල වී තිබේ. බිරිදට රැකියාව කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ඇය වෘත්තීමය සීමාව තුළින් පීඩාකාරීභාවයට ලක් කරමින් සිටියි. එම පීඩාව දරා ගැනීමට නොහැකි මගේ බිරිද මේ වන විට රැකියාවට යාමට ද නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ. මෙම භීතිය හා කම්පනික බව යළි යළිත් මාගේ නූපන් දරුවාගේ ජීවිතයට එල්ල කරන බලපෑම කොතෙක්දැයි මට කියා සිටිය නොහැක.

නිල ඇදුමෙන් සැරසී සිටින පොලීස් නිලධාරීන් හා පොලීසිය යැයි කියා ගන්නා පුද්ගලයින් වරින් වර මාගේ නිවසට ගොස් අප සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ. එමගින් මගේ දෙමව්පියන් හා පවුල්වල සාමාජිකයින් දැඩි භීතියට පත්ව සිටියි. වත්මන් ආණ්ඩුව තමන්ට හිතවත් සංවිධාන හා තමන්ට හිතවත් මාධ්‍ය භාවිත කරමින් පීඩාවට හා තර්ජනයට පත් කරමින් සිටින්නේ ස්වකීය ඍජු දේශපාලන එදිරිවාදීන් පමණක් නොව, ඔවුනොවුන්ගේ සියලු ඥාතී හිතමිත්‍රාදීන් ද ඔවුන්ගේ පළිගැනීමට ලක්වන බවට මෙය කදිම නිදසුනකි.

9. මහජනයා වෙත යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවක් වන මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මාගේ පූර්ණ විශ්වාසය තබමින් මම මාගේ දුක්ගැනවිල්ල, පැමිණිල්ලක් හා යුක්තිය පැතීමක් ලෙස මෙලෙස ඉදිරිපත් කරමි.

මෙතැනින් නොනැවතී තවදුරටත් මා කෙරෙහි මර්ධනය මුදා හැරීම සදහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි බවත් විශ්වසනීය ආරංචි අනුව මට හැගේ. එය මට මෙන්ම සියලු විවේචකයින්ට පොදු ඉරණමක් වීම වැලැක්විය හැක්කේ ඔබ කොමිෂන් සභාවට පමණක්ම බැව් විශ්වාසයයි

10. ඒ අනුව මාගේ මේ පැමිණිල්ල සලකා බලා විධිමත් පරීක්ෂණයක් පවත්වා,

අ. වර්තමාන පාලනයට ඉතා සමීප හා නිරන්තරයෙන් එම පාලකයින්ගේ ආශිර්වාදයට හා අනුග්‍රහායට පාත්‍රවන සංවිධානයක් වන සිංහලේ නම් සංවිධානයක් විසින් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ උවමනාව මත මා කෙරෙහි ජීවිත තර්ජනය ඇතුළු තවත් අගතිගාමී හානීන් ගණනාවක් ඇති කිරීමට සමත් ආණ්ඩුවේ මෙම හැසිරීම සම්බන්ධයෙන් වහාම මා කෙරෙහි සාධාරණයක් ඉටු කරන ලෙස ද

ආ. ආණ්ඩුවේ අනුග්‍රහාය ඇති සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන මෙවැනි කූඨ කටයුතු හේතුවෙන් අගතියක් සිදු විය හැකි මා හා මගේ පවුලේ සාමාජිකයින් කෙරෙහි ආරක්ෂාව සලසන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ද

ඇ. අසත්‍ය තොරතුරු ලබා දෙමින් පුද්ගලයින් කෝපයටත් කලහයටත් යොමු කරන මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස ඊට අදාල අධිකාරීන්ට නියෝග කර ලෙස ද

ඈ. මා ගරු කරන හෝ විශ්වාස කරන දේශාපලන මතයක් දැරීම හේතුවෙන් අසත්‍ය හා පදනම් විරහිත කරුණු මූලික කරගත් පොලිස් පැමිණිලි ඉදිරිපත් කර මා අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගෙන මා කෙරෙහි සාවද්‍ය ලෙස, මිනී මැරීම වැනි වරදක් ආරෝපණය කර මරණීය දණ්ඩනය හෝ ඒ හා සමාන වෙනත් යම් දඩුවමක් ලබා දෙමින් දේශපාලනිකව මා කෙරෙන් පළිගැනීමට දරණ ප්‍රයත්නය වහාම වලක්වාලන්නට අවශ්‍ය කටයුතු සලස්වන ලෙස ද

ඉ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගොලීය සංවිධාන විසින් පිළිගෙන ඇති නමුත්, යට කී දුක්ගැනවිල්ල සලකා බැලීමේ දී මා කෙරෙන් අහිමි වී ඇතැයි හෝ එසේ වීමට ආසන්න වී ඇතැයි කොමිෂන් සභාව විසින් නිශ්චය කරන දේ සම්බන්ධයෙන් මා කෙරෙහි යුක්තිය ඉටු කරන ලෙස ද

ඊ. මට හා මගේ පවුලේ සාමාජිකයින්ට සිදු වූ මානසික කම්පනයන් සදහා සුදුසු වන්දියක් ගෙවන ලෙස නිසි ආයතනයන්ට නියෝග කරන ලෙස ද

උ. මෙකී තර්ජනය හේතුවෙන් මා හා මගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිදු වූ රැකියා අහිමි වීම ඇතුළු ආර්ථිකමය හා සමාජයීය හානි යළි පූර්ණය කරන ලෙස ඒ ඒ අධිකාරීන්ට විවෘත නියෝගයක් කරන ලෙස ද

මම, මෙම කොමිෂන් සභාවෙන් ගෞරව බහුමානයෙන් යුක්තව ඉල්ලා සිටිමි.

මේ සම්බන්ධයෙන් ඔබෙන් ලැබෙන සහාය ඉතා අගය කොට සලකමි.

ස්තූතියි,

අත්සන් කළේ

ටී.එම්.බී.එම්.පී. තෙන්නකෝන්

පිටපත් –

  1. පොලිස්පති – අවශ්‍ය කටයුතු සදහා
  2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම – දැ.ගැ.පි. (පරිවර්තනය)
  3. සියලු තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් – දැ.ගැ.පි. (පරිවර්තනය)

***************************************

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

(17.12.2019 – colombotoday.com)

මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499 ක් වහාම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධාන වලට පසුගිය කාලයේ විශාල ලෙස අරමුදල් ලැබී ඇතත් එම මුදල් වැය කළේ කුමන ව්‍යාපෘතිවලට දැයි හෙළිකර නැත.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන හතරකට පසුගිය වසරවල රුපියල් මිලියන 672 ක අතිවිශාල මුදල් සම්භාරයක් ලැබී තිබුණි.

මෙයට පෙර මෙම රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනය යටතේ තිබූ අතර යහපාලන රජය එය ඉවත් කර ඇත.

යහපාලන රජය යටතේ උතුරු ප‍්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන 15 කට අධික සංඛ්‍යාවක් රජයේ ලියාපදිංචි කිරීමකින් තොරව කි‍්‍රයාත්මක වන බව ද හෙළිවී ඇත ෴

***************************************

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

(17.12.2019 – colombotoday.com)

නව රජය බලයට පත්වීමත් සමගම රටේ පාතාල කි‍්‍රයාකාරකම් 100% කින් පහළ වැටී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

රටපුරා විසිරී සිටින පාතාල කණ්ඩායම් විසින් සිදුකළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, පහරදීම්, වෙඩි තැබීම්, සොරකම් සහ පැහැරගෙන යෑම් නව රජය බලයට පැමිණීමෙන් පසු මුළුමනින්ම නතර වී ඇති බව පොලිස් මූලස්ථානය සිදුකළ සමීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සැඟවී සිටි පාතාල අපරාධකාරයන් විශාල පිරිසක් සිය කි‍්‍රයාකාරකම් නතර කර රහසිගත ජීවිත ගත කරන අතර ඇතැම් පාතාල අපරාධකාරයන් රට අතහැර පලාගොස් ඇති බවද වාර්තා වෙයි.

නව රජය බලයට පත්වීමෙන් පසු දිවයිනේ කිසිදු ප‍්‍රදේශයකින්ම පාතාල අපරාධ, පාතාල මිනීමැරුම්, මහාපරිමාණ මංකොල්ලකෑම් කිසිවක් වාර්තා වී නැත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි කාල සීමාවේ පාතාල මර්දන මෙහෙයුම් ඉතාම සාර්ථකව කි‍්‍රයාත්මක කළ අතර ඒ කාල සීමාවේදීද මෙරට පාතාල අපරාධ සම්පූර්ණයෙන් නතර වී තිබිණි ෴

***************************************

සියලු උපාධිධාරීන්ට රැකියා – ජනමාධ්‍යවේදීන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක්

(17.12.2019 – 22:06 +0530 – sinhala.adaderana.lk)

කිසිදු පක්ෂ භේදයකින් තොරව රැකියා විරහිත උපාධිධාරින් පනස් හතර දහසකට රැකියා ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව සියළුම උපාධිධාරින්ට උපාධිය ලබා ගත් වර්ෂානුකූලව ක්‍රමවත් බඳවා ගැනීමේ පටිපාටියක් යටතේ රැකියා ලබා දෙන බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

තවද ඒ ඒ සුදුසුකම් යටතේ ග්‍රාමීය මට්ටමින් දිළිදු භාවය මුල්කරගෙන සුළු සේවකයින්ටද රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (17) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව කීය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම උදෙසා ජාතික පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ මහතා, මාධ්‍යවේදීන් වෙනුවෙන් නාගරික නිවාස සංකීර්ණයක් සහ සහන වාහන ණය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කරන බව පැවසීය.

පූර්ණ කාලීනව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ජනමාධ‍්‍යවේදීන්ට පළාත් මට්ටමින් ජනමාධ්‍ය ස්ථාගාර (Press Club) පිහිටුවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම රජයේ යුතුකම බවත් ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් මෙම සහන ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට සෑම විටම රජය කටයුතු කරන බවත් සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *