කෝටි දෙකේ අල්ලසට හිටපු ජනාධිපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථාවේ හිටපු සභාපතිට සිර දඩුවම්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කෝටි දෙකේ අල්ලසට හිටපු ජනාධිපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථාවේ හිටපු සභාපතිට සිර දඩුවම් (විඩියෝ)

• ගානියාගේ සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් CIDයට භාර දෙන්නැයි ස්විට්සර්ලන්ත තානාපති නිලධාරීන්ට නියෝග

• මම අනිත් අය වගේ රට ගිහින් සුද්දන්ට Dance කරන්න මගේ කෙල්ලෝ දෙන්නේ නැ – චන්දන වික්‍රමසිංහ (විඩියෝ)

• රාජිතයාගේ වඩිගපටුන මාධ්‍යහමුව : සුදුවෑන් කතාවේ දෙදෙනාම වමාරති

• තමන්ව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රාජිතගෙන් අධිකරණයට පෙත්සමක්

+++++++++++++++++++++++++++++++++++

කෝටි දෙකේ අල්ලසට හිටපු ජනාධිපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථාවේ හිටපු සභාපතිට සිර දඩුවම්

(19.12.2019 – 11:26 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට වරදකරු කරමින් පළමු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ්‍ය අද (19) දඩුවම් නියම කරනු ලැබුවා.

ඒ මීට අදාළ තීන්දුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි. කේ. මහානාම චෝදනා 13 කට වරදකරු කරමින් වසර විස්සක (20) බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළ විනිසුරු මඩුල්ල, අල්ලස් ලෙස ලබාගත් රුපියල් කෝටි දෙකක (02) මුදල රජයට ගෙවන ලෙසද නියෝග කළා.

එමෙන්ම ඔහුට රුපියල් 65,000 කද දඩයක් නියම කරන බවයි විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ. ඊට අමතරව රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක චෝදනා 11 කට වරදකරු කරමින් බරපතල වඩ සහිත වසර 12 ක සිරදඩුවම් නියම කළ අතර, රුපියල් 55,000 ක දඩයක් ගෙවන ලෙසද දැනුම්දුන්නා.

2018 වසරේ මැයි මස 09 වනදා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාල කටයුතු ඉටු කර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන විස්සක (20) මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේදියි මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ෴

+++++++++++++++++++++

***************************************

ගානියාගේ සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් CIDයට භාර දෙන්නැයි ස්විට්සර්ලන්ත තානාපති නිලධාරීන්ට නියෝග

(19.12.2019 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ භාරයේ පවතින දැනට රිමාන්ඩ් කර සිටින ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස්ගේ සහ ඇයගේ ස්වාමි පුරුෂයාගේ ජංගම දුරකතන සහ සිම් කාඩ්පත් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස අධිකරණය අද (19) තානාපති නිලධාරීන්ට නියෝග කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

ඒවා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තා ලබාගන්නා ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ෴

***************************************

මම අනිත් අය වගේ රට ගිහින් සුද්දන්ට Dance කරන්න මගේ කෙල්ලෝ දෙන්නේ නැ – චන්දන වික්‍රමසිංහ

(08.12.2019 – YouTube – Hari Tv)

***************************************

රාජිතයාගේ වඩිගපටුන මාධ්‍යහමුව : සුදුවෑන් කතාවේ දෙදෙනාම වමාරති

(19.12.2019 – 10:59 +0530 – lankadeepa.lk)

සුදුවෑන් කතාවේ දෙදෙනාම වමාරති

“සුදුවෑන් සිද්ධිය ගැන අනිත් පැත්තට ගිහින් නිවැරදි කරන්න හැදුවොත් ඇත්තටම ඔයගොල්ලන්ට සුදුවෑන් එකේ යන්න වෙනවා.” යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට පැවසූ බව මේ සිද්ධියේ සැකකරුවන් ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ප්‍රභාකරන්ගේ රත්රන් සහ විදෙස් මුදල් සාරංගා ජුවලර්ස් වෙත ලබාදී ඒවා මුදල්කර එම ස්වර්ණාභරණ ආයතනය හරහා ගෝඨාභය මහතාට යන බව මාධ්‍ය හමුවේදී පැවසුවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මතයැයිද එම සැකකරුවන් වැඩිදුරටත් පැවසුවේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

මේ සිද්ධියේ සැකකරුවන් වන සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ වටරැක ගමගේ අතුල සංජීව මදනායක නොහොත් ‘උණ්ඩියල් අතුල’ යන දෙදෙනා සිය ප්‍රකාශ ලබා දෙමින් එසේ සඳහන් කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන්ව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන්වන අන්දමට මෙම සිද්ධියේ පළමුවැනි සැකකරු වන සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රකාශය ලබා දෙමින් මෙසේ සඳහන් කර ඇත :

“මම රැකියාව වශයෙන් රියැදුරෙකු ලෙස සේවය කරනවා. ඉකුත් ඔක්තෝම්බර් 22 හෝ ඊට ආසන්න දිනයකදී මාගේ සහෝදරයා වන උපුල් තුෂාර සමග අසංක නැමැති අයකුගේ නිවසේදී මත්පැන් පානය කළා. එහිදී එම අවස්ථාවට අතුල සංජීව මදනායක යන අය පැමිණ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. ඉන් දින තුනකට පමණ පසු මගේ සහෝදරයා වන උපුල් තුෂාර මට දුරකතනයෙන් කතාකොට දැනුම් දුන්නා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල සභාපතිතුමා සමග සාකච්ඡා කළ බව. ඒ සම්බන්ධයෙන් රාජිත ඇමැතිතුමා හමුවී කතා කිරීම සදහා දිනයක් දා ගන්නදැයි ඔහු ඇසුවා. රාජිත ඇමැතිතුමා හමුවන්නේ ඇයිදැයි මම ඔහුගෙන් ඇසුවා. එහිදී ඔහු සඳහන් කළේ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය බවයි. මේ මාධ්‍ය සාකච්ඡාවට තමන්ට ගෙවීමක් සිදුකරන බව සහෝදරයා පැවසුවා. ඒ නිසා මා ඒ අදහසට කැමැත්ත පළ කළා.

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 25 හෝ 30 ට ආසන්න දිනයකදී රාජිත ඇමැතිතුමා හමුවීම සඳහා කඩවතට පැමිණි කාර් රථයකට ගොඩවී බෞද්ධාලෝක මාවතේ පිහිටි එතුමාග් නිවසට ආවා. එතකොට වෙලාව රාත්‍රී 10.30 ට පමණ ඇති. පසුව රාජිත ඇමැතිතුමා අපේ කතාව අහලා, ‘ඕකේ උඩ කොටස මා ළඟ තියෙනවා. යට කොටස තමයි මට ඕනෑ. සුදුවෑන් කේස් එකේ ඉන්නවා කැප්ටන් කෙනෙක්. එයා සේරම විස්තර කිව්වා. ඒ නිසා අතුලගේ සිද්ධියයි කැප්ටන්ගේ සිද්ධියයි දෙකම කියලා මාධ්‍යහමුවක් තියමු’ කියලා කිව්වා. එසේ පවසා ‘අවශ්‍ය ඩොකියුමන්ට් සහ අවශ්‍ය විස්තර සේරම අපි දෙනවා. මේක කරන්න පුලුවන්ද?’ කියා විමසුවා. ‘මේකට කොහොමද ඔයගොල්ලන්ගේ ගණන’ කියලා ඇමැතිතුමා අසල සිටි මුස්ලිම් අයකුගෙන් විමසුවා. ඔහු ඇමැතිතුමාගේ ලේකම් රූමි කියලා අපි දැනගත්තා. අපි කිව්වා ‘අපට රුපියල් ලක්ෂ 30 ක් ඕනෑ’ කියලා. ‘අඩු කරන්න බැරිද’ කියලා රූමි අපෙන් ඇහුවා. ඊට පස්සේ රාජිත ඇමැතිතුමා කිව්වා ‘මේක මෙතැනින් ඉවර වෙන්නේ නැහැ අපි ඔයගොල්ලන්ට උදව් කරනවා. ඉන්න ගෙවල් දෙකක් දෙනවා. ඇමෙරිකාවේ තානාපති කාර්යාලයේ කම්කරු හෝ රැකියා දෙකක් ලබා දෙනවා. පවුල් පිටින්ම එහේ යවනවා’ කියලා කිව්වා. ඊට පස්සේ අපි අපේ ගණන ලක්ෂ 20 ක් දක්වා අඩුකළා. මේ කතාව කියන්න කැමැති වුණාට පස්සේ කොළයක මුද්‍රණය කළ ලිස්ට් එකක් දුන්නා. එය කටපාඩම් කර ගන්න කියලා කිව්වා. ඒ වගේ කොළයක් අතුලට දුන්නේ නැහැ. එම කොළේ තිබුණ දේවල් කටපාඩම් කළා.

පසුව රූමි මහත්තයා මට නොවැම්බර් 09 වැනිදා කතා කරලා කිව්වා ‘පාන්දර 5 ට වාහනයක් එවන්නම් ඒ අය අවශ්‍ය තැනට ගෙනයයි’ කියලා කිව්වා. අපි කිව්වා ‘සැබෑ මුහුණෙන් අපට ඒවා කියන්න බැහැ මුහුණ වෙනස් කර ගන්න ඕන’ කියලා. පසුව ඉකුත් නොවැම්බර් මස 10 වැනිදා අපිට වාහනයක් එව්වා. අපි අයි.ඩී.එච් ප්‍රදේශයේ පාලු නිවසට ගිහින් අපේ මුහුණු වෙනස් කරගෙන උඩු රැවුල් සහ යටි රැවුල් දැම්මා. කණ්ණාඩි දැම්මා. පසුව උදේ 10.30 ට ‘ප්‍රජාව’ කියන තැනට ගොස් මාධ්‍ය හමුවට සහභාගී වුණා. එතැනට යනකොට ඇමැතිතුමා කිව්වා ‘බයවෙන්න එපා මේක මගේ තැනක්’ කියලා. මාධ්‍යහමුවේදී පැටලුනු තැනක් වුණොත් ඇමැතිතුමා බලන්නම් කියලා කිව්වා. පැය භාගයක් අපි එතැන හිටියා. අපිට රුපියල් ලක්ෂ 20 ක් ගෙනත් දුන්නා. මේ මාධ්‍ය සාකච්ඡාවට මා සහභාගී වුණේ රාජිත ඇමැතිතුමා ලබාදීපු උපදෙස් අනුවයි. විශේෂයෙන්ම මට මුදල් ලැබෙන නිසා මේක කළා. රාජිත ඇමැතිතුමාගේ නිවෙස්දී කළ සාකච්ඡාවෙන් පසු මට ලබාදුන් කොළයේ තිබූ කරුණු අසත්‍ය කරුණුයි. මම එහි තිබූ කිසිදු දේකට සහභාගීවෙලා නැහැ. මිනිසුන් පැහැරගෙන යාම, වද හිසංසා පැමිණවීම, ආදී කරුණු මම කිව්වේ මට ලියා දීපු කොළයේ තිබුණ නිසයි. ‘සාරංගා ජුවලරි අයිතිකරුගේ මාර්ගයෙන් ගෝඨාභය මහත්තයාට සල්ලි යනවා’ කියලා මාධ්‍යහමුවේදී කියන්න කියලා රාජිත සේනාරත්න මහත්තයා උපදෙස් ලබාදුන්නා. එසේ ප්‍රකාශ කළාට මුලින් රුපියල් ලක්ෂ 10 ක් දුන්නා. පවුලේ අයවලුන් සමග ඇමරිකාවේ හෝ එංගලන්තයේ තානාපති කාර්යාලයේ රැකියාවක් කිරීමට අවස්ථාවක් ලබාදෙන බවත් පොරොන්දු වුණා.”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්වන අන්දමට මේ සිද්ධියේ දෙවැනි සැකකරු වන වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් ‘උණ්ඩියල් අතුල’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රකාශය ලබා දෙමින් මෙසේ සඳහන් කර ඇත :

“මා ත්‍රිරෝද රථ රියැදුරෙක් ලෙස රැකියාව කරනවා. ඉකුත් 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මස 07 වන දින රාගම දුම්රියපොල අසලදී ටී.අයි.ඩී එකේ පොලිස් පරීක්ෂක සමන් මහතා සහ දාස් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මා අත්අඩංගුවට ගත්තා. යාපනයේ සිට කොළඹට ගෙන ආ රත්‍රන් සහ යුරෝ කොල්ලකෑමේ සිද්ධියටයි මාව එලෙස අත්අඩංගුවට ගත්තේ. 2013 වර්ෂයේ නොවැම්බර් මස 01 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයට මාව භාරදුන්නා. පසුව රැඳවුම් නියෝග මත එම කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කළා. මගෙන් හෙළිවූ කරුණු අනුව බුලුගහහන්දියේ රුවන්, අංගොඩ ශිරන්ත, පෑලියගොඩ සුසිල් යන අය සී.සී.ඩීයට බාරවුණා. මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අංක 3 හි නඩුවක් පවතිනවා. එසේම, කඳාන ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 10 ක මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතිනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනයකට අනුව ඉකුත් 2014 ජනවාරි මස 30 වන දින මා රිමාන්ඞ් කළා. මේ නඩුව සදහා මට අධිකරණයෙන් ඇප දුන්නේ 2017 වර්ෂයේදීයි. ඇප නියම කළත් ඇප කොන්දේසි සපුරා ගන්න බැරිව ඉඳලා ඉකුත් මාර්තු මස 27 වැනිදා ශරීර ඇපයක් මත මුදා හැරුණා. මගේ හොඳම මිතුරා සරත් කුමාර කියන අය ගම්පහදී හම්බ වුණා. සරත්ට රස්සාවක් නැති නිසා පොලිස් වසම් දැක්වෙන ස්ටිකර් අලවමින් හිටියේ. සරත් මට කිව්වා මේකට උදව් කරන්න කියක් හරි දෙන්නම් කියලා. මම එළියට ඇවිල්ලා ඉන්නවා කියලා සරත් එයාගේ යාලුවෙකු වන උපුල්ට කියලා. ඒ යාලුවා දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පොල්ගම්පල මහත්තයාට දැනුම් දීලා පසුව තමයි නොවැම්බර් මස 4 හෝ 5 වැනිදා රාත්‍රී 9.00 ට පමණ මේ ගැන කතා කරන්න රාජිත අමාත්‍යවරයාගේ ගෙදරට ගියේ. ඇමැතිතුමා මට කිව්වා යාපනයේ සිට රැගෙන ආ රත්රන්වල සහ යුරෝවල අයිතිකරු ප්‍රභාකරන් බව පවසා ඒවා සාරංගා ජුවලරි එකට විකුණා ඒ මුදල් සාරංගා එක හරහා ගෝඨාභයට යනවා කියලා කියන්න කියලා. මාධ්‍ය සාකච්ඡාවට කලින් මට රුපියල් ලක්ෂ 10 ක් දුන්නා. ඉතිරිය පස්සේ දෙන්නම් කිව්වා. මාධ්‍ය සාකච්ඡාවට කලින් අයි.ඩී.එච් ප්‍රදේශයේ පාලු නිවසකට ගිහින් මේකප් එක දැම්මා. මාධ්‍ය හමුවේදී රාජිත ඇමැතිමාගේ වම් පැත්තෙන් වාඩි වුණා. එහිදී සරත්ව සුදු වෑන් එකේ අයිතිකරු හා රියැදුරු ලෙස කටයුතු කළ ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු ලෙස හඳුන්වා දුන්නා. මා මගේ නියම නමින් හඳුන්වා දුන්නා. යාපනයේ තිබූ රත්රන් සහ විදේශ මුදල්වලට මොකද වුණේ කියලා තමාව හඳුන්වා දුන්නා. රාජිත ඇමැතිතුමාගේ කතාවට අනුව ඩග්ලස් ලෙසින් පෙනී සිටි සරත් මාධ්‍යකරුවන්ට ෆොටෝ පෙන්නුවා. ඒ ෆොටෝ දුන්නේ ඇමැතිතුමා.”

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් කළැයි කියන මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේ පසුගිය 16 වැනිදාය.

– නිමන්ති රණසිංහ

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

තමන්ව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රාජිතගෙන් අධිකරණයට පෙත්සමක්

(19.12.2019 – 19:16 +0530 – sinhala.adaderana.lk)

රහස් පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබේ.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකර තිබෙන එම අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇත.

පෙත්සම ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම පරීක්ෂණයට අදාලව තමන්වද අත් අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බවද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

එබැවින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අපේක්ෂිත ඇප අයදුම්පතේ සඳහන් කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *