අධික වර්ෂාව නිසා යාපනයේ 9100 ක් අනාථයි : 2009 න් පසු ලොකුම විපත

(12.11.2017 – News e Lanka)

යාපනයට දින කීපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත් වර්ෂාව හේතුවෙන් 11 වෙනිදා වනවිට පවුල් 2518 කට අයත් පුද්ගලයින් 9141 ක් විපතට පත් ව ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.

යාපනය දිසාපති කාර්යාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ දිසාපතිවරයා තවදුරටත් කියා සිටියේ යාපනයේ නිවාස හතරකට සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී තවත් නිවාස 159 කට හානි සිදුවී ඇති බවයි.

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ පහත් බිම් විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති බව කී දිසාපතිවරයා 2009 වර්ෂයෙන් පසුව වර්ෂාව නිසා යාපනයට මෙතරම් විශාල හානියක් සිදුව ඇත්තේ මෙවර බවයි.

අධික වර්ෂාව හෙතුවෙන් යාපනයේ ප්‍රධාන මාර්ග කීපයක්ම ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සදහන් කල දිසාපතිවරයා ගම්බද මාර්ග ගණනාවක් වැසි ජලයට හසුවී කඩාගෙන ගොස් ඇතැයිද පැවසීය.

කුඩා වැව් සියල්ලම පිටාර ගැලීමට පටන්ගෙන ඇති හෙයින් පලාතේ සියළුම ජලාශ පිටාර මට්ටමට පැමිණ ඇති බවත් වැව් බැමි කැඩීයාමේ තර්ජනයකට හසුවී තිබුණු බොහෝ පලාත්වල වැව්බැමි වැලි කොට්ට අසුරා සුරක්ෂිත කළ බවත් කී දිසාපතිවරයා ඊට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් විශාල සහයෝගයක් ලැබුණු බවද සඳහන් කළේය.

2009 වර්ෂයේදී යාපනයේ පුද්ගලයින් දහනව දහසක් වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ බව සඳහන් කළ දිසාපතිවරයා මෙවර ඉදිරියේදී කුමක් සිදුවේදැයි විශ්වාසය තැබිය නොහැකි බවද කියා සිටියේය.

මේවර යාපනයට අධික වර්ෂාවක් ලැබීම හේතුවෙන් සිදු වූ විපත් සහගත තත්ත්වයට මුහුණදීම සදහා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයත් ආරක්ෂක අංශත් සම්බන්ධිකරණය කරගනිමින් විපතට පත්වූවන්ට සහන සලසන බවද දිසාපති වරයා කියා සිටියේය.

යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ මරදන්කේණි ප්‍රදේශයෙන් වන අතර එහි විපත පත් පවුල් 643 ක පුද්ගලයෝ 2382 ක් සිටිති.

මේ විපතට පත් සියළු දෙනාගෙන් 65% ක් පමණ සුබසාධන මධ්‍යස්ථාන වලට පැමිණ සිටින බවත් සෙසු පිරිස් ඔවුන්ගේ ඥාතීන්ගේ නිවාස වල රැදී සිටින බවත් යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– දිනසේන රතුගමගේ

************************************

පුදුමයි ඒත් ඇත්තයි..! මුහුද අඩි 5 කින් ඉහළ නගී..!!
(12.11.2017 – News e Lanka)

මුලතිව් හා යාපනයේ කෝපායි ප්‍රදේශයේ මහමුහුදේ ජලය පෙර තිබූ තත්ත්වයට වඩා අඩි 5 කින් පමණ උස්වී ඇතැයි එම ප්‍රදේශවල ධීවර ජනතාව වගකිවයුත්තන්ට 11 දා දැණුම් දී තිබේ.

ඔවුන් පවසන්නේ යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි 4.5 කින්ද,මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින්ද උස් වී ඇති බවයි.

බියට පත් ජනතාව මේ පිළිබදව බලධාරීන්ට දැණුම් දී තිබුණේ හදිසි සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි යන බිය හේතුවෙනි.

යාපනයේ හා මුලතිව් පළාතේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන වලටද මෙම හදිසි තත්ත්වය දැණුම් දී ඇති අතර ඔවුන් මුහුදු ජලය වැඩිවීම සුනාමි තත්ත්වයක් නොවන බවට සනාථ කොට තිබේ.

– දිනසේන රතුගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *