සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රජයෙන් සහනයක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රජයෙන් සහනයක් (විඩියෝ)

• බස් නැවතුම්පොලකට සහ වෙළඳසැලකට හානි සිදුකරමින් බස් රථයක් අනතුරක (විඩියෝ)

• අධිවේගී මාර්ගයට පැන්න අයෙක් වාහනයක හැපී එතැනම මිය යයි..

• සියළු පවුවලට රාජිත බිල්ලට තියා ලේකම් රටින් පැන යයි..

• පහසුකම් දෙනවා නම් පැල්වත්තෙන් රටටම අවශ්‍ය කිරි ‌‌දෙනවා – ආරියශීලි වික්‍රමනායක

• මගීන් රැගත් බස් රියක් ජල පහරට හසුවූ හැටි (විඩියෝ)

• ‘අද දෙරණ උකුස්සා’ : කොළඹ මහ නගර සභාවේ ඉන්ධන ජාවාරම පසුපස ගිය උකුස්සා (විඩියෝ)

• රාජිතට සොහොන් ලකුණු.. රහස් පොලිසිය සියල්ල සොයාගනී.. රංජිත් මද්දුමබණ්ඩාරටද චෝදනා.. සුදුවෑන් කිඹුල් චෝදනා අලුත් කෙරේ…

• පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් අනාවරණ නොවූ කරුණු ජනපති කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ)

• චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවේ – පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි (විඩියෝ)

• රාජිතගේ සුදුවෑන් මාධ්‍ය හමුව ගැන තවත් හෙළිදරව්වක් (විඩියෝ)

• මිස් කෝල් ගැන අවදානයෙන් සිටින්න ජනතාවට දැනුම්දීමක්

• ඉලෙක්ට්‍රොනික දර්ශනතල භාවිතයෙන් කුඩා දරුවන්ට අක්ෂි දුර්වලතා

+++++++++++++++++++++++++++++++++++

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රජයෙන් සහනයක්

(21.12.2019 – 13:35 +0530 – sinhala.adaderana.lk)

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දේපළ වෙන්දේසි කිරීමට සිදුව ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසි වීම අත්හිටුවීමට රජය නියෝග කර ඇත.

සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ රජයේ මෙම නව තීරණය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ටද සහනයක් හිමිවන බවයි.

***************************************

බස් නැවතුම්පොලකට සහ වෙළඳසැලකට හානි සිදුකරමින් බස් රථයක් අනතුරක

(21.12.2019 – 09:21 +0530 – hirunews.lk/sinhala)

බස් නැවතුම්පොලකට සහ ඒ අසල තිබූ වෙළඳසැලකට ද හානි සිදුකරමින් ලංගම බස් රථයක් අනතුරට ලක්වූ පුවතක් ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (20) රාත්‍රියේ මෙලෙස අනතුර පත්ව ඇත්තේ හැටන් සිට ලක්ෂපාන දක්වා ධාවනය වූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරා නාවලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අධික වේගය අනතුරට හේතු වී ඇති අතර මෙම අනතුරෙන් වෙළඳසැලට රුපියල් ලක්ෂ පහක පමණ අලාභයක් සිදුව ඇති බව සඳහන්.

***************************************

අධිවේගී මාර්ගයට පැන්න අයෙක් වාහනයක හැපී එතැනම මිය යයි..

(21.12.2019 – 12:40 +0530 – lankacnews.com)

දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ පුද්ගලයෙකු එහි ගමන් ගත් වෑන් රථය හැපී මිය ගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේදීය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා එක්වරම අධිවේගී මාර්ගයට පිවිසීම හේතුවෙන් වේගයෙන් ගමන් ගත් වෑන් රථයේ ඉදිරිපස ගැටී කානුවට වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක් පමණ වන පුද්ගගයෙකි ෴

***************************************

සියළු පවුවලට රාජිත බිල්ලට තියා ලේකම් රටින් පැන යයි..

(21.12.2019 – 10:00 +0530 – lankacnews.com)

හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාලව තමාව අත්අඩංගුවටගැනීම වලක්වන ලෙස අපේක්ෂිත ඇප අයදුම්පතක් අගෝස්තු 19 වනදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලා සිටි අතර එයඅගෝස්තු 20 වනදින කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සලකා බලා ප්‍රතික්ෂේප කල අතර හිටපු ඇමතිරාජිත නැවත යළිත් එදින ඇප අයදුම්පතක් ඉදිරිපත් කරද්දී ඔහුගේ මාධ්‍ය ලේකම් රටින් පලාගොස් ඇති බව මේ වන විට හෙළි කරගෙන ඇත.

සුදුවෑන් රියදුරන් රහස් පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ව වේශනිරූපනය කිරීමේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවපැවැත්වීම දක්වා සියලු කටයුතු කරන ලද්දේ මාධ්‍ය ලේකම් එම්.අයි.ජේ. විජේනායක (මලිත්) විසින් බවයි.

ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වද්දී හෙළිව ඇත්තේ ඔහු මේ වනවිට රටින් පලාගොස් ඇතිබවයි.

ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව රහස් පොලීසිය සදහන් කරයි. එම නිසා ඔහු මේ වන විටපළාගොස් ඇති රට පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කරයි.

ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් විසින් මලිත් විජේනායක මහතාගේ නිවස කිහිපවිටක් පරික්ෂා කොට ඇති අතර විජේනායකමහතාගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කොට ඇත.

මොහු රාජිත සේනාරත්න මහතාට එරෙහි ප්‍රබල සාක්ෂි කරුවෙකු බැවින් ඔහුව කෙසේ හෝ අත්අඩංගුවට ගතයුතු බවට ඉහලින්උපදෙස් ලැබී තිබේ.

මීට පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් UN General Assembly සදහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට යනඅතරතුර කටාර් ගුවන් තොටුපලේදී තම පවුලේ ඥාතින් ඇතුළු හිත මිතුරන් රැගෙන යන ඡායාරූප මාධ්‍යයට නිකුත් කල චෝදනාඇතුළු මාධ්‍ය හරහා විවිධ දේශපාලඥයන් පිළිබද හෙළිදරව් කල නිසා ඔහුට විවිධ චෝදනා එල්ල වූ මාධ්‍යවේදියෙකි.

මූලාශ්‍රය : පොලිස් නිවුස්
– Repoter

***************************************

පහසුකම් දෙනවා නම් පැල්වත්තෙන් රටටම අවශ්‍ය කිරි ‌‌දෙනවා – ආරියශීලි වික්‍රමනායක

(21.12.2019 – 18:30 +0530 – lankaleadnews.com)

රජය අවශ්‍යපහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා පවසනවා.

කිරි ගවයන්ට රටට අවශ්‍ය තරම් කිරි ලබාදීමට හැකියාව තිබෙන බවත්, පවතින තත්ත්වයට අනුව ලබන මාසය වනවිට ගොවීන්ට මහපාරේ කිරි හැලීමට පවා සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කර සිටියා.

එසේම ආනයනික පිටිකිරි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදී තිබෙන අතර, පිටිකිරිවල ප්‍රමිතිය පිළිබඳ ඇති ගැටලුව සොයා බැලීමට තවමත් කටයුතු කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඒ පිළිබඳ සොයා බලන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට නැවත මතක් කර සිටින බවයි හෙතෙම පවසන්නේ.

දේශීය වශයෙන් ක්‍රියාත්මක වන තම සමාගමට රටට අවශ්‍ය දියර කිරි, පිටිකිරි හා බටර් ඇතුළු නිෂ්පාදන 100% ක් ලබාදීමට හැකියාව තිබෙන බවත්, දේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

***************************************

මගීන් රැගත් බස් රියක් ජල පහරට හසුවූ හැටි

(21.12.2019 – 12:42 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ජල පහරට හසුව ගසා ගෙන ගිය පෞද්ගලික බස් රථයක් බේරා ගැනීමට ආරක්ෂක අංශ ඇතුළු ප්‍රදේශවාසීන් සමත්ව ඇත.

අද (21) අලුයම මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී බස් රථය තුළ කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් කාන්තාවන් ඇතුළු 54 දෙනෙකු සිට ඇති බව සඳහන්.

මෙහිදි පොලීසිය, යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් එක්ව බස් රථය බේරා ගැනීමට සමත්ව ඇති අතර එහි සිටි කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

***************************************

‘අද දෙරණ උකුස්සා’ : කොළඹ මහ නගර සභාවේ ඉන්ධන ජාවාරම පසුපස ගිය උකුස්සා

(18.12.2019 – 18:32 +0530 – sinhala.adaderana.lk)

මේ බොරැල්ලේ පිහිටි කොළඹ මහනගර සභාවට අයත් ඉන්ධන පිරවුම් හලයි.

මෙයින් කොළඹ මහනගර සභාවට අයත් රථවාහන සඳහා පමණක් ඉන්ධන සැපයීම සිදුකෙරෙයි.

කෙසේ වෙතත් කලක පටන් පිරිසක් සංවිධානාත්මකව එම වාහන සඳහා දිනකට නිකුත් කරන ඉන්ධනවලින් යම් ප්‍රමාණයක් සූක්ෂම ලෙස අලෙවි කරන ජාවාරමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ විය.

ඒ පිළිබඳව ගවේෂණය කළ උකුස්සාට දැකගත හැකිවුණේ අදාල ඉන්ධන පිරවුම්හලෙන් කොළඹ මහනගර සභාවට අයත් රථයක ඇති බූලිවලට ඉන්ධන පුරවන ආකාරයයි.

මෙලෙස බූලි සඳහා පුරවාගන්නා ඉන්ධන පුංචි බොරැල්ලේ පිහිටි බස් රථගාලක ඇති පෞද්ගලික බස් රථ සඳහා පසුව අලෙවි කරන බව උකුස්සා වැඩිදුරටත් සිදුකළ ගවේෂණයේ දී අනාවණ වුණේය.

ඒ අනුව උකුස්සා අදාල බස් නැවතුම්පල වෙත රහසේ ඇතුළු වූ අවස්ථාවේදී පෞද්ගලික ලොරි රථයකින් සූක්ෂ්ම ලෙස ලබා ගන්නා ඉන්ධන මෙම ස්ථානයට ගෙනැවිත් අලෙවි කරන ආකාරය දැකගත හැකි විය.

රුපියල් 90 ක මුදලකට මෙහිදී ඩීසල් ලීටරයක් පෞද්ගලික බස් රථ සඳහා අලෙවි කරනු ලබයි.

එලෙස මිලදී ගන්නා ඉන්ධන පසුව එම බස්රථ සඳහා පුරවනු ලබන්නේ මේ ආකාරයෙන්.

මේ අයුරින් ඉන්ධන රථ වාහන සඳහා පිරවීමද සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

මහජනතාවගේ බදු මුදලින් නඩත්තුවන කොළඹ මහනගර සභවේ මෙම ඉන්ධන පිරවුම්හලේ සිදුවන ජාවාරම සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම දැන් බලධාරීන්ගේ වගකීමක්.

බලධාරීන් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන තෙක් උකුස්සා අවධානයෙන්.

***************************************

රාජිතට සොහොන් ලකුණු.. රහස් පොලිසිය සියල්ල සොයාගනී.. රංජිත් මද්දුමබණ්ඩාරටද චෝදනා.. සුදුවෑන් කිඹුල් චෝදනා අලුත් කෙරේ…

(21.12.2019 – 22:12 +0530 – lankacnews.com)

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

මීට හරියටම දින 40 කට පෙර එනම් පසුගිය මස 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිලි අංක 03/d/cid යටතේ රාජිත සේනාරත්නගේ කිඹුල් රත්තරන් මාධ්‍ය සාකච්චාවට එරෙහිව මුල්ම පැමිණිල්ල යොමු කරන ලදී . පසුගියදා සිද්ධියට සම්බන්ධවූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගතකල අතර අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ ඔවුන් අත ඔසවා මහේස්ත්‍රාත්තුමියට යමක් පැවසීමට උත්සාහගත් අතර මහේස්ත්‍රාත්තුමිය කියා සිටියේ කීමට ඇති යමක් වේනම් අධිකරණයට නීතිඥවරයකු ලවා ඉදිරිපත් කරන ලෙසයි. ඔවුන් සදහා විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටීමට උත්සාහ ගත් අතර ඔවුන් ආරක්ෂාව ඉල්ලන්නේ කාගෙන් ඇති තර්ජනයකටද ? මේ වනවිට ඔවුන්ට ඇති තර්ජනය පහව ගොස් ඇතිද ?

ඔවුන් දෙදෙනාට අලුත් බලාපොරොත්තු දෙමින් අලුත් පොරොන්දු දෙමින් මානසික මෙහෙයුමක් බන්ධනාගාරය තුල සිරිකොත විසින් ආරම්භ කර ඇත. මෙවර රාජිතගේ චාටු බස් වලට ඔවුන් රැවටෙයිද ? දවල් වැටුණු වලේ ඔවුන් යලිත් වැටෙයිද ? රාජිතගේ ලොසින්ජර් මෙවරත් ඔවුන් සුප්පු කරයිද ? මේ වනවිටත් කිඹුල් නාටකයට රාජිත නීතිය හා සාමය හිටපු අමාත්‍යතුමාවද පටලවාගෙන ඇති අතර බටගමුවේ වැවේ කිබුලන්ට සුදුවෑන් වලින් ගෙනගිය අය මරා කෑමට දුන් බවත් බටගමුව වැව ගැන හෙළිදරව්ව රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කල බවත් ඔහු වැඩිදුරටත් කියා තිබේ.

ඊයේ (20) දින අලුත්කඩේ අධිකරණ අංක 01 ට රාජිත සේනාරත්න විසින් යොමුකළ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීමේ ඇප අයදුම් පත්‍රය අත්අඩංගුවට පත්වීමට අදාළ නිශ්චිත හේතුවක් නොදන්වා ඇති බව ගරු අධිකරණය දන්වා සිටීමත් සමග අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කෙරිණි. පසුව කියාගත නොහැකි තත්වයට පත්වූ තාත්තා සහ පුතා නීතිඥමහතුන්ගේ කාමරයට ගොස්, පැය 4 ක පමණ කාලයක් ඒ තුලටම වී නිතිපොත් පෙරලමින් තමන් මේ ගැටලුවෙන් නිදහස් කරදෙන ලෙස නිතිවේදින්ගෙන් ඉල්ලීම් කරන ලදී.

උගුර කට වේලෙන තත්වයකට පත්ව සිටි ඇමතිතුමා හතර වතාවකදී අධිකරණයේ ආපන ශාලාවේ ‘ප්ලේන්ටී’ වල පිහිට පැතීය. ඊයේ (20) දිනයේම නැවතත් සංශෝධනය කල ඇප අයදුම් පත්‍රයක් අධිකරණය වෙත ඉදිරිපත්කල අමාත්‍යවරයා එහි තමන් අත්අඩංගුවට ගන්නා කාරණය නිශ්චිතව සදහන් කරන ලදී . ඔහු කල අපරාධයන් හා ඔහුට එල්ලවී ඇති චෝදනා විමර්ශනයන් නිවැරදිව සලකා බැලුවහොත් එක දිගටම අධිකරණය තුලම ඔහුට ඉදිරියේදී කාලය ගත කිරීමට සිදුවනු ඇත.

අද (21) දිනයේදී ඔහුට අප සංවිධානය ඉදිරිපත්කල පැමිණිල්ලටම අදාලව චෝදනා අලුත් කල අතර එම චෝදනා අධිකරණයේ අවධානයට යොමු උවහොත් ඔහුගේ සංශෝදිත ඇප අයදුම් පත්‍රයද පුස් වෙඩිල්ලක් වනු ඇත. ඔහු විසින් නැවත නැවතත් ප්‍රකාශකල අපරාධයට අදාළ කරුණු සහ ඔහුට එල්ලවී ඇති චෝදනා සහතික කරන විඩියෝවක් සාක්ෂි වශයෙන් අද (21) යොමු කරන ලදී . මෙතැන් සිට රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාද කිඹුල් නාටකයේ කොටස්කරුවෙකි.

තමන් වෙත පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට රාජිත විසින් ආරාධනාවක්ද සිදු කරනු ලබයි. සැකකරුවන්ගේ අත පය නොසොල්වා සීඅයිඩිය සියලුම අපරාධකරුවන් මේ වන විටත් හදුනාගෙන ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ය. රාජිතට සොහොන් ලකුණු පහලව ඇත්තේ ඔහුද මේ සියලු කරුණු තමන්ගේ මන්ත්‍රී බලතල උපයෝගී කරගෙන සීඅයිඩියෙන් සොයාගෙන ඇති බැවිනි.

ප්‍රදීප් සංජිව පෙරේරා
ජාතික සංවිධායක, සිංහලේ සංවිධානය

***************************************

පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් අනාවරණ නොවූ කරුණු ජනපති කොමිසමේදී හෙළිවෙයි

(21.12.2019 – 20:47 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පාස්කු ප්‍රහාරය පිළිබඳ අසත්‍ය සාක්ෂි ලබාදුන් බව පොලිස් පරීක්ෂක සුදත්සිරි උපේන්ද්‍ර මහතා අද (21) පිළිගත්තා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේදී.

මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර අනාවරණ නොවූ කරුණු රැසක්ද අනාවරණ වීම විශේෂත්වයක්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාව අද (21) පෙරවරුවේත් යළි රැස්වුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පූර්ව දැනුම් දීමේ ලිපිය පොලිස් ස්ථාන වෙත ප්‍රහාරයට පෙර යොමු කර නැතත්, එය ප්‍රහාරයට පෙර ලැබුණු සේ ගොනුගත කරන ලෙස ස්ථානාධිපතිවරුන්ට සහ පහළ නිලධාරීන්ට බලපෑම් කළ බවට පසුගිය දිනවල කොමිසම හමුවේ නම කියැවුණු, පොලිස් පරීක්ෂක රකිනාවසම් සුදත්සිරි උපේන්ද්‍ර නමැත්තාගෙන් කොමිසම පළමුවෙන් සාක්ෂි විමසුවා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ සංජීව දිසානායක මහතා පොලිස් පරීක්ෂක සුදත්සිරි උපේන්ද්‍ර මහතාගෙන් විමසා සිටියේ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සිය කාර්යභාරය කුමක්ද යන්නයි.

පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතා සඳහන් කළේ, පොලිස් අධිකාරීවරයාට ලැබෙන සියලු ලිපි ලේඛන පරීක්ෂාකර අවශ්‍ය ලිපි පමණක් පොලිස්අ ධිකාරීවරයාට යොමු කිරීම මෙන්ම පහල නිලධාරීන්ට උපදෙස් දීම හෝ ක්‍රියාමාර්ග ගැනීම සිය වගකීම බවයි.

එහිදී කොමිසම ප්‍රශ්න කළේ, පාස්කු ප්‍රහාරයට පෙර 2019-04-11 වැනි දින කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව පොලිස් අධිකාරීවරුන් ඇතුළු අංශ කිහිපයක් වෙත යොමුකළ බව කියන සී9 ලේඛනය පිළිබඳවයි.

2019-04-21 වැනි දිනට පෙර අදාළ සී9 ලේඛනය තමන් සේවය කළ කොළඹ උතුර භාර පොලිස් අධිකාරී කාර්යාලයට ලැබුණේදැයි කොමිසම පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතාගෙන් ප්‍රශ්න කළා.

***************************************

චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවේ – පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි

(21.12.2019 – 20:17 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බවට තමන් වහන්සේ විශ්වාස කරන බව පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය යන රටවල් හි මිත්‍රත්වය සහසම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් අපවත් වී වදාළ තායිලන්තයේ බැංකොක් නුවර රාජකීය වත්ඉන්ද්‍ර විහාරාධිපති පූජ්‍ය උපසංඝරාජ හිමියන්ගේ භෂ්මාවශේෂ කල්‍යාණ නදියට මුදා හැරීම අද සිදු කෙරුණු අතර ඒ වෙනුවෙන් වූ දානමය පිංකමක් පිළියන්දල, ශ්‍රී විද්‍යා ශාන්ති මහ පිරිවෙනේ සිදු කෙරුණා.

මීට ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහ නායක අග්‍ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ඇතුළු සංඝ රත්නය වැඩම කර සිටියා.

***************************************

රාජිතගේ සුදුවෑන් මාධ්‍ය හමුව ගැන තවත් හෙළිදරව්වක්

(21.12.2019 – 19:49 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිංහලේ සංවිධානය අද (21) තවත් හෙළිදරව්වක් සිදුකළා.

ඒ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි නියෝජිතයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි අවස්ථාවේදීයි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ සිංහලේ සංවිධානයේ, ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා කියා සිටියේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයින් දෙදෙනා හිටපු අමාත්‍යවරයාට හඳුන්වා දී ඇති බවයි.

***************************************

මිස් කෝල් ගැන අවදානයෙන් සිටින්න ජනතාවට දැනුම්දීමක්

(21.12.2019 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන වලට විදේශ රටවලින් පැමිණෙන මිස් කෝල් හෙවත් එක වරක් නාද වන ඇමතුම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

ඒ සම්බන්ධයෙන් එම සංගමයට ලැබුණු වාර්තා අනුව සිදුකළ සොයා බැලීමකදීයි මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ.

විශේෂයෙන් මැදපෙරදිග සහ ඉන්දියාවෙන් වැඩි වශයෙන් එක වරක් පමණක් නාද වී පැමිණෙන ඇමතුම් ලැබුණු පසු යළි එම අංකයට දුරකථන ඇමතුමෙන් ගැනීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජංගම දුරකථන පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

ඉලෙක්ට්‍රොනික දර්ශනතල භාවිතයෙන් කුඩා දරුවන්ට අක්ෂි දුර්වලතා

(22.12.2019 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවන් ස්මාට් ජංගම දුරකථන ඇතුලු ඉලෙක්ට්‍රොනික දර්ශන තලද බහුල ලෙස භාවිතයට හුරුවීමෙන් දීර්ඝකාලීනව ඔවුන්ගේ පෙනීමට බලපෑම් එල්ලවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය කියා සිටියේ එලෙස දරුවන් ජංගම දුරකථනවලට හුරුවීමෙන් දුර පෙනීමේ දුර්වලතා වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඇය කියා සිටියේ.

ඇය වැඩිදුරටත් කියා සිටියේ වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්ට ජංගම දුරකථන ඇතුලු ඉලෙක්ට්‍රොනික උපාංග කිසිසේත් ලබා නොදීම වඩාත් යෝග්‍ය බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *