රාජ්‍ය ආයතනවලට විදේශීය අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට පෙර අනුමැතිය අනිවාර්ය කෙරේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජ්‍ය ආයතනවලට විදේශීය අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට පෙර අනුමැතිය අනිවාර්ය කෙරේ

• මහජන ආරක්ෂාව වෙනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

• වැලිකඩට ආ අංක තහඩු නැති ප්‍රභූ වාහනය

• වැරදි විදියට අත්අඩංගුවට ගත්තොත් වංචාකාරයන් මහා වීරයන් වෙනවා – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

• මහ රෑ ගෙදරටම ඇවිදින් චම්පිකට මාංචු දැම්මේ ඇයි?… රියැදුරා චූදිතයා කළ පොලිසිය… ‘ආලවක’ වූ උපාසක දේශපාලනය… සීසීටීවී දර්ශන මැකුනේ කොහොමද?

• අපේක්‍ෂා රෝහලට ආධාර එකතු කරන්නේ මුදල් ගරන්නද?… පාස්කු ප‍්‍රහාරයට පස්සෙ දවසේ ගිණුමට කෝටි දෙකක්…! පහුවැනිදා තව මිලියන දෙකක්…!!

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය ආයතනවලට විදේශීය අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට පෙර අනුමැතිය අනිවාර්ය කෙරේ

(22.12.2019 – 10:49 +0530 – hirunews.lk/sinhala)

සියලුම රජයේ අමාත්‍යාංශ, පළාත් සභා ඇතුලු රාජ්‍ය ආයතනවලට විදේශීය ආයෝජකයන්, ණයදෙන ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය සංවිධාන සහ තානාපති කාර්යාල සමඟ ඍජුවම අවබෝධතා ගිවිසුම්වලට එළඹීම තහනම් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ අවබෝධතා ගිවිසුම් සඳහා නිසි අනුමැතීන් ලබාගත යුතුයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පමණක් එවැනි ගිවිසුම්වලට එළඹිය හැකි බවයි ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇත්තේ ෴

***************************************

මහජන ආරක්ෂාව වෙනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

(22.12.2019 – 11:02 +0530 – sinhala.adaderana.lk)

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතුවලට කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද (22) දිනසිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව පණවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජන ආරක්ෂා අඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද, නාවික සහ ගුවන් හමුදා කැඳවීම සිදුකළේය.

ඒ අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීමට ජනාධිපතිවරයා අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන තිබේ ෴

***************************************

වැලිකඩට ආ අංක තහඩු නැති ප්‍රභූ වාහනය

(21.12.2019 – 21:12 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සඳහා වැලිකට බන්ධනාගාරයට පැමිණියේය.

මෙහිදී මන්ත්‍රීවරයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංක තහඩු දක්නට ලැබුණේ නැත.

මේ අතර රාජිත සේනාරත්න මහතාට අයත් යැයි පැවසෙන වලල්ලාවිට, වැල්මීගල ,අන්නාසි ගලහේන ප්‍රදේශයේ පවතින ඉඩමක් පරීක්ෂාවට ලක්කරන ලෙස ප්‍රදේශවාසීන් පොලීසියෙන් ඉල්ලා සිටියි.

***************************************

වැරදි විදියට අත්අඩංගුවට ගත්තොත් වංචාකාරයන් මහා වීරයන් වෙනවා – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

(21.12.2019 – divaina.com)

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරමින් මහ රෑ නිවෙස්‌වලට පනිමින් චෝදනා ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යැමෙන් මහා පරිමාණ දූෂිතයන් සහ වංචාකාරයන් මහා වීරයන් බවට පත්වන බව ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘දිවයින’ට ඊයේ (20 දා) ප්‍රකාශ කළහ.

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක වුණු බව තමන්වහන්සේ විශ්වාස නොකරන බවත් එය නිසි ලෙස නිවැරදිව නීතියක සිට ක්‍රියාත්මක වූයේ නම් අපරාධකාරයන් වෙනුවෙන් පිරිත් කීමට ස්‌වාමින්වහන්සේලාට උසාවි ඉදිරියට යැමට හැකියාවක්‌ නැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ඉකුත් රජයේ මැති ඇමැති විශාල පිරිසකට එරෙහිව පවතින දූෂණ චෝදනා සහ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ද තමන්වහන්සේ ඇතුළු පිරිස්‌ වගකිව යුතු අංශ දැනුවත් කර ඇත. ලියකියෑවිලි භාරදී ඇතත් ඔවුන් වෙනුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ද පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට අක්‍රමිකතා, කොමිස්‌ ගැසීම් සහ නොයෙක්‌ දූෂණ චෝදනා රැසක්‌ තිබුණත් පහත් තැනකින් අල්ලා ගනිමින් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීම නිසා නීතිය පිළිබඳව දැඩි විශ්වාසය පළුඳුවීමක්‌ සිදුව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

ඉකුත් රජයේ සිටි දූෂිත මැති ඇමැතීන්ට නිසි ක්‍රමවේදයට අනුව යමින් නීතිය ක්‍රියාත්මක නොවීම තුළ වත්මන් රජය නැවත හිටපු රජයටම මේ රට භාරදීමට සූදානම් වන බවක්‌ පෙනෙන්නට ඇතැයි ද පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

අන්තවාදී චෝදනා ඇතුළු චෝදනා රැසක්‌ එල්ල වූ රිෂාඩ් බදුර්දීන්, හිස්‌බුල්ලා, අසාද් සාලි ඇතුළු පුද්ගලයන්ට මෙරට ඇති නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක විය යුතුව ඇතැයි ද කී එහිමියෝ ඔවුන් වෙනුවෙන් පාදඩ නීතිය පාවිච්චි නොකර නිවැරදි නීතිය ඉක්‌මනින් ක්‍රියාත්මක වනු ඇතැයි තමන් වහන්සේ ප්‍රමුඛ, දේශයට හිතැති මුළුමහත් ජනතාවම බලා සිටින බව ද ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ ෴

***************************************

මහ රෑ ගෙදරටම ඇවිදින් චම්පිකට මාංචු දැම්මේ ඇයි?… රියැදුරා චූදිතයා කළ පොලිසිය… ‘ආලවක’ වූ උපාසක දේශපාලනය… සීසීටීවී දර්ශන මැකුනේ කොහොමද?

(22.12.2019 – divaina.com)

ශී‍්‍ර ලංකාවේ දේශපාලනය තුළ, ඉකුත් 2001 වසරේ පැවති මහ මැතිවරණයේදී නොසිතූ විරූ දේශපාලන අනාථභාවයකට පත් වූ සිහල උරුමය නම් වූ දේශපාලන කණ්ඩායමට යළි ශක්තියක් එක්වන්නේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් 2004 වසරේ පෙබරවාරි මාසයේදී ජාතික හෙළ උරුමය පක්‍ෂය බිහිවීමත් සමගය.

මේ කාල වකවානුව වන විට සිය ධර්මදේශනාමය චතුරත්වය තුළින් මෙරට තුළ නව බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති කිරීමට අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ සමත්ව සිටියහ. එසේ තිබියදී 2003 වසරේ දෙසැම්බර් මස දොළොස් වැනිදා සිදුවූ උන්වහන්සේගේ හදිසි අපවත් වීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ජාතික හෙළ උරුමය බිහිවීමේ ප‍්‍රබල සාධකය ද විය.

ඒ අනුව මෙරට දේශපාලනයේ නවමු පෙරළියක් ඇති කරමින් ඉකුත් 2004 වසරේ පැවති මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය තුළින් ප‍්‍රථම වරට මෙරට දේශපාලනයට සංඝරත්නයේ ආගමනය සිදුවිය. එය මෙරට සෙසු දේශපාලන කණ්ඩායම් දේශපාලනිකව කම්පනයට පත් කරවූවක්ද විය.

ඇතිවූ මෙම තත්ත්වය මෙරට සිංහල බෞද්ධ ජනතාව අතර රටේ දේශපාලනයේ නවමු බලාපොරොත්තුවක් ඇති කරන්නක්ද වී තිබිණි. එසේ වුවද අවසානයේ ජාතික හෙළ උරුමයේ භික්‍ෂු දේශපාලනය ක‍්‍රමයෙන් දියවී යන්නට විය.

එයට හේතු වූයේ සෝම හිමියන් මතු කළ නව බොදු ප‍්‍රබෝධයත් සමග මෙරට මහා සංඝරත්නය ජාතික හෙළ උරුමය තුළින් දේශපාලනයට පිවිසීමේදී වැලේ වැල් නැතිව සිටි සිහළ උරුමයේ කණ්ඩායම සිය දේශපාලනය සඟ සතුකොට පූජා කරමින් ඊට එක්වීම යැයි කිවහොත් නිවැරදි වන්නකි.

මෙහිදී භික්‍ෂු දේශපාලනය තුළට ගිහි සංයෝගයක් ඇතිවිය. එතැන් සිට මතවාදීමය ගැටුම් ඉස්මතු වීම නිරන්තර සිදුවිය. අවසානයේ ජාතික හෙළ උරුමයේ භික්‍ෂු නියෝජනය ක‍්‍රමයෙන් ක්‍ෂය වී යද්දී සිහළ උරුමය විසින් ජාතික හෙළ උරුමය ආක‍්‍රමණය කරනු ලැබීය.

අවසානයේ ජාතික හෙළ උරුමයේ නායකත්වය භාරගනු ලැබුවේ කවුරුද? හෙළ උරුමය පක්‍ෂයේ සිටියදීම දීර්ඝ කාලීනව සිහල උරුමය සමග සමීප සබඳතාවක් ගොඩනගාගෙන සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග උස හීන්දෑරි ජාතික ඇඳුමින් සැරසුණු උපාසක ලීලාවෙන් පෙනී සිටි මිනිසකු එහි නායකත්වය භාරගනු ලැබූහ.

හේ කවරෙක්ද? ඔහු පාඨලී චම්පික රණවකය. මෙසේ සිය දේශපාලනයේ දෙවැනි ගමන ඇරඹීමෙන් පසුව පාඨලී තාවකාලික සීලයක් සමාදන් වී රටත් සමාජයත් ඉදිරියේ සුපිරිසිදු බෞද්ධයකු ලෙස පෙනී සිටිබව අපට මතකය.

මේ සටහන් කෙරුණේ අද දවසේ තරුණයකු අනතුරට පත්කර ආබාධිතයකුගේ තත්ත්වයට ඇද දමා සිය දේශපාලන බලයෙන් සියල්ල යටපත් කිරීමේ චෝදනා මත වැලිකඩ බෝඩිමේ කූරු ගණින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක, උපාසක ලීලාවෙන් තමන්ගේ දේශපාලන ගමනේ කූටප‍්‍රාප්තියට ළඟා වීම ඇරඹූ අන්දමය.

සමාජය ඉදිරියේ සිල් සමාදන් වී සත්ගුණවත් උපාසකයකු සේ පෙනී සිටි පාඨලී චම්පික රණවක එකී තරුණයා අනතුරට පත් කරනු ලැබුවේ ‘මහන්සි වීම වෙනුවට හාන්සි වී බැබලෙන’ නිළියක සොයා ගොස් සිල් බිඳගෙන එමින් සිටියදී බවද ඒ අනතුර සිදුවූ දිනවල කියැවුණු කතාවක් විය.

මෙසේ ජාතික හෙළ උරුමය තුළින් සිය දේශපාලනයේ දෙවැනි ගමන ඇරඹූ පාඨලී පසුව ඉකුත් 2007 වසරේදී රාජපක්‍ෂ රජයට මුක්කුවක් ගසා මේ රටේ විදුලිබල සහ බලශක්ති ඇමැතිවරයාද විය.

අනතුරුව 2015 දේදුණු විප්ලවයේදී රාජපක්‍ෂ කඳවුරට පස්ස හරවා එජාපයේ දේශපාලනයට පිවිස පාට මාරු කළ පාඨලී සිංහල බෞද්ධ උපාසකකම කෙසේ වෙතත් සිය බඩගෝස්තරවාදී දේශපාලනයේදී බලය වෙනුවෙන් ඕනෑම දහජරා වැඩක් කළ හැකි නියම ‘පාට ලීයක්’ බව රටට තහවුරු කරනු ලැබීය.

2015 දී ඔහු කළ ඒ තෝරාගැනීම සිංහල බෞද්ධ විරෝධී, මේ රටට එරෙහි වූ කඳවුර සමග කළ දීගයක්ම විය. සිංහල බෞද්ධ රැල්ලෙන් මතුවී ඒ තරම් කුණු හැසිරීමක යෙදෙන්නන් බුදුන්ගේ දේශනාව අනුව බලන කල හැඳින්විය හැකි නාමය වන්නේ ‘වසලයා’ යන්නය.

උපාසක පාඨලී ඉකුත් 2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා සංදීප් සම්පත් ගුණවර්ධන නම් වූ ඉහත කී තරුණයා අනතුරට පත් කරනු ලැබිණි. සමාජය කියන අන්දමට සිල් බිඳ ගන්නට විදුලිබල මණ්ඩලයට අයත් සුඛෝපභෝගී රථයකින් ගොස් එමින් සිටියදී කොළඹ රාජගිරියේදී ඔහු අතින් මේ අනතුර සිදුව ඇත.

මේ මොහොතේ අධිකරණයේ දිගහැරෙන පරිදි එසේ තරුණයා අනතුරට පත් කිරීමෙන් පසුව උපාසක පාඨලී සිදු කර ඇත්තේ කුමක්ද? ඉකුත් 19 වැනිදා පාඨලී උපාසකව අධිකරණයට ඉදිරිපත් කළ මොහොතේ පැමිණිල්ල වෙනුවෙන් ඒ කතාව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා හරි අපූරුවට අධිකරණයට ඉදිරිපත් කළේය.

එදින (2016 වසරේ පෙබරවාරි 28) රාති‍්‍රයේ අනතුර සිදු කළ මොහොතේ උපාසක පාඨලීගේ රථයේ ගැටුණු යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකු මහමග ඇදවැටී සිට ඇත. එහිදී පැති වීදුරුව පහත් කර ඔවුන් දෙස බැලූ පාඨලී උපාසක ක්‍ෂණිකව තමන් පැමිණි රථයෙන් පලා ගොස් ඇත.

ඒ අවස්ථාවේ තවත් යතුරු පැදියකින් පසුපසින් පැමිණි අනතුරට පත් තරුණයන්ගේ මිතුරන් දෙදෙනකු පාඨලීගේ රථය හඹා යන අතර රාජගිරියේ සිට සරණ පාර ඔස්සේ කොටා පාරට පිවිසෙන පාඨලී උපාසක කොටා පාර ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දෙසට වේගයෙන් සිය රථය ධාවනය කරන්නට වී ඇත. ඒ අතරේ මග හරස් කර එය නතර කරවන්නට තරුණයෝ දෙදෙනා සමත් වන්නාහ.

පසුව වම්පස දොර විවෘත කර මේ සාහසික කි‍්‍රයාව සිදු කරන තිරිසනා මොකාදැයි හඳුනා ගන්නට තරුණයන් දෙදෙනා ගත් උත්සායේදී අව්කණ්ණාඩියක්ද පැළඳ ඔහු රැයේ රථය පැදවා ඇති එහි සිටි මිනිසා ඔවුන්ට කියන්නේ ‘මම ඇමැති පාඨලී චම්පික රණවක’ බවය.

මේ අවස්ථාවේ අනන්‍යතාව තහවුරු කරගැනීමට තරුණයන් දෙදෙනා හැඳුනුම්පත ඉල්ලා සිටියදී ඉදිරිපස දොර විවෘතව තිබියදීම පාඨලී උපාසක වේගයෙන් යළි රථය පදවාගෙන බොරැල්ල පොලිසියට ගොස් ඇත.

හොඳම ටික සිදුව ඇත්තේ එහිදීය. පාඨලී බොරැල්ල පොලිසියට ගිය පසු ටික වේලාවක් ගත වෙද්දී ඔහුගේ රියැදුරු එහි එන්නේය. පසුව අනතුර සිදු කළ සැකකාර රියැදුරා ලෙස ඔහුව ඉදිරිපත් කරන බොරැල්ල පොලිසිය අනතුර සිදුවූ ප‍්‍රදේශය වැලිකඩ පොලිසියට අයත් නිසා ඉදිරි විමර්ශන වැලිකඩ පොලිසියට භාර දී ඇත.

දිලීප පීරිස් මහතා අධිකරණයේදී කී අන්දමට එතැන් සිට එදා වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිව සිටි සුදත් අස්මඩල ඇතුළු ‘වෘක්‍ෂ සුනඛයෝ’ ටිකක් එක්ව අහිංසක තරුණයකු මරාණාසන්නව තුවාල ලබා රෝහලේ ඇඳක ජීවිතය යදිද්දී සියල්ලෙන් පාඨලී උපාසක ගලවා නිවසට යවා ඇත.

ඒ ගැලවිල්ල කෙසේද යත් අනතුර සිදුවූ ප‍්‍රදේශයේ සීසීටීවී දර්ශන පවා මකා දැමීමට තරම් ධර්ම චක‍්‍රය උර පැළඳි මේ පොලිස්කාරයෝ නින්දිත තැනකට ඇද වැටී ඇත්තාහ. මතක තබා ගන්න මේ සියල්ල සිදුවන විට එදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටින්නේ දැන් බන්ධනාගාරයේ සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරය.

දිලීප පීරිස් මහතා මේ සියල්ල කියා සිටියේ විමර්ශනවලදී පැහැදිලිව අනාවරණය වී තිබෙන බවද සඳහන් කරමිනි.

මේ අනුව බලන කල හරිනම් පාඨලී උපාසක ඇතුළට යා යුත්තේ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවද ඇතුළත්වය. එහෙත් එසේ සිදුවූ බවක් වාර්තා වූයේ නැත. මේ කතාවේ එන පරිදි අනතුරට පත්වූ සංදීප් තරුණයා සිටින්නේ එදා සිට මේ මොහොත දක්වාම ජීවිතය විඳවමිනි.

විඳින්නට ඇති ඔහුගේ තාරුණ්‍යය ඔහුට අහිමි කරන්නට තරම් පාඨලී උපාසකගේ සිල් බිඳ ගැනීම බරපතළ විය. ඔහුගේ මේ සිල් බිඳ ගැනීම එතැනින් නතර වූවක්ද?

පසුගිය කාලයේ පාඨලී උපාසක සමීපයේ සිටිමින් කටයුතු කළ ඔහුගේ හිතවතකු පැමිණ පාඨලීගේ සිල් බිඳ ගැනීම පිළිබඳ තවත් කතාවක් කීවා අපේ මතකයේ ඇත. ඒවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේද ප‍්‍රචාරය විය.

එහිදී රට ඉදිරියට පැමිණි ඒ මිනිසා කියා සිටින්නට වූයේ තමන්ගේ පෙම්වතිය ඉල්ලා තර්ජනය කරන්නට වූ පාඨලී පසුව තමන්ව නිවාස අඩස්සියේ තබාගෙන අවසානයේ රාජිත සේනාරත්නගේද උදව් ඇතිව මානසික රෝගියකු බව පවසා ගිලන් රථයකින් අංගොඩ මානසික රෝහලට ගෙනගොස් විදුලිය ඇල්ලවූ බවය.

මේ කතාව අනුව බලන කල නම් පාඨලීගේ සිල් බිඳ ගැනීමේ අමාරුව තිබී ඇත්තේ එසේ මෙසේ තැනක නොවන බව හොඳින්ම පැහැදිලි වන්නකි. ගැහැනියකගේ සිරුරක් කෙරෙහි උපන් ලෝබයෙන් අහිංසක මිනිසකු පිස්සකු බවට පත්කර විදුලිය ඇල්ලවීමට තරම් තිරිසනකු මේ මිහිපිට සිටිය නොහැකිය.

සිටින එකම තැනැත්තා පාඨලී උපාසක වියයුතුය. මෙහිදී පැහැදිලි වන ඊළඟ කරුණ වන්නේ දේශපාලන බලයෙන් පිම්බී සිටි පාඨලී උපාසක මෙතෙක් කලක් සත්ගුණවත් සිංහල බෞද්ධයකු ලෙස පෙනී සිටිමින් සුදු පිරුවට වලින් වසාගෙන සිට ඇත්තේ වෙනත් දේවල් බවය.

මෙවන් නින්දිත හැසිරීමක යෙදුණු බව කියැවෙන පාඨලී උපාසක අත්අඩංගුවට ගෙන වැලිකඩ බෝඩිමට යැවීම මේ මොහොත වන විට එක්සත් ජාතික පක්‍ෂ දේශපාලනයේ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙන්නකි.

ඔවුන් කියන්නේ පාඨලී උපාසක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවය. පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීමක් බවද සමහරු කියන්නාහ.

එහෙත් එජාප දේශපාලනයේ අර්ථ දැක්වීම කුමක් වුවත් අහිංසක තරුණයකුගේ ජීවිතයම අගාධයට ඇද දමා සැඟවී පලා ගිය එකකු නීතිය ඉදිරියට ගෙන යෑම දේශපාලන පළිගැනීමක් නොවන බව මේ රටේ ජීවත්වන සවිඥාණික මිනිස්සු දැන සිටිති.

එසේම වරප‍්‍රසාද තිබිය යුත්තේ තවකෙකුගේ වරප‍්‍රසාදවලට ගරු කළ මිනිසකුට මිස සිය හිවල් භාවිතාව තුළ රටම රවටා අහිංසක තරුණයකුට සතුටින් ජීවත් වීමේ අවස්ථාව අහිමි කළ එකෙකුට නොවන බවද පැහැදිලිය.

මිනිස්සු කියන අන්දමට සිල් බිඳ ගන්නට ගිය පාඨලී උපාසක මෙසේ තරුණයකුගේ ජීවිතය අන්තිම අගාධයට දැමීම සේම සිය මිතුරාගේ පෙම්වතිය ලිංගික කටගැස්මට ඉල්ලා නොලැබුණු කල ඔහු පිස්සකු කර විදුලි ඇල්ලූ බව කියන කතාවෙන්ද පැහැදිලි වන එක් කරුණක් ඇත.

එයනම් පාඨලී උපාසකට තිබී ඇත්තේ එසේ මෙසේ අමාරුවක් නොවන බවය. මේ තත්ත්වය සුව කිරීමට නම් කළ යුතු එක් දෙයක් ඇත. එය වන්නේ දැනට වැලිකඩ බෝඩිමේ ‘එම්’ වාට්ටුවේ සිටින පාඨලී උපාසකව සමස්ත සමාජයේ ආරක්‍ෂාව සඳහා එහි එක් තාප්පයකට එපිටින් ඇති වැලිකඩ කාන්තා අංශයට මාරු කර යැවීමය.

එහිදී ස්තී‍්‍රත්වයේ අගය දන්නා වැලිකඩ සිටින බොහෝ චණ්ඩි අක්කලා සමූහ වශයෙන් එක්ව පාඨලී උපාසකට හොඳින් සලකනු ඇත. පාඨලී උපාසක යනු එවන් සැළකිල්ලකට ඉතාම සුදුසු අයකු බව අද පැහැදිලි වී තිබෙන කරැණකි.

එකී සැලකිල්ල හමුවේ පංචශීලය කෙසේ වෙතත් අඩුම තරමේ අනාගතයේදී තුන්වන සිල් පදයවත් රකින්නට පාඨලී උපාසක පෙළඹෙනු ඇතැයි අපේ විශ්වාසය ය.

ඒ ආකාරයෙන් හෝ වැඩේ සිදු නොවුණොත් පාඨලී උපාසක තම මිතුරාට කළේ යැයි කියන අන්දමට ඔහුව කුදලාගෙන යන මේ රටේ මිනිස්සු අවශ්‍ය තැන්වලට විදුලිය අල්ලන දවස වැඩි ඈතක නොවන බව අප කියන්නේ මේ මොහොතේ පාඨලී උපාසක වෙනුවෙන් හඬා වැළපෙන අයගේ අවබෝධය පිණිසය.

එසේම මෙහිදී අවසන් වශයෙන් පොලිසියට කියන්නට එක් දෙයක් ඇත. පාඨලී උපාසක සේම මේ අන්දමට වැලිකඩට යන්නට සුදුසුකම් සපුරා ඇති අය තවත් ඇත.

එහෙත් උන් අල්ලන්නට යෑමේදී මින් ඉදිරියට ආලවකයන් සෝපාකලා කිරීම නම් සිදු නොවිය යුත්තකි.

මන්ද මේ සිටින්නේ ආලවකටත් එහා ගිය රටේ ජනතාවගේ රීරි මාංශයට පෙරේත වූ මහසෝන්නු වන නිසාය.

– සමන් ගමගේ

***************************************

අපේක්‍ෂා රෝහලට ආධාර එකතු කරන්නේ මුදල් ගරන්නද?… පාස්කු ප‍්‍රහාරයට පස්සෙ දවසේ ගිණුමට කෝටි දෙකක්…! පහුවැනිදා තව මිලියන දෙකක්…!!

(22.12.2019 – divaina.com)

  • මෙන්න ඇත්ත නැත්ත – අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියන කතාව
  • ගිය ආණ්ඩුවේ ලොක්කන්ගෙන් උපරිම සහාය මොහොමඩ්ට තිබුණා…

මුළු මහත් සමාජයම කම්පනයට පත් කරවන ආකාරයේ ගනුදෙනුවක් ගැන කතාවක් ඇසිණි. ඒ කතාව නිර්මාණය වී ඇත්තේ මහරගම අපේක්‍ෂා රෝහල සම්බන්ධයෙනි. ඒ හෙළිදරව්ව සිදුකරනු ලබන්නේ ද එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාය. ඔහු සිදුකරනු ලබන හෙළිදරව්වට අනුව මහරගම අපේක්‍ෂා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සිදු වෙමින් තිබේ. අවුරුදු තුනක පමණ කාලයක සිට අදටත් එම වංචනික ගනුදෙනුව සිදුවෙමින් තිබෙන බව අධ්‍යක්‍ෂවරයාගේ අදහසය.

අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසන ආකාරයට පිළිකා රෝගීන් විකුණාගෙන කන මුදල් ගැරීමක් සිදුවන්නේ නම් එය අහස පොළොව නුහුලන මහා අපරාධයකි. එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්‍ෂණයක් සිදුවෙමින් තිබෙන බැවින් එම ගනුදෙනුවට අර්ථකථන ලබා දීමෙන් වැළකී, මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වසන්ත දිසානායක මහතා සිදුකරන හෙළිදරව්ව ගැන අපි විමසා බැලූවෙමු. පහතින් පෙළගැසෙන්නේ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියන කතාවය :

“මම මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂවරයා. මට කිසිම කෙනකුට බොරු චෝදනා කරන්න අවශ්‍ය නෑ. මම මේ හෙළිදරව්ව කරන්නේ දැඩි වගකීමෙන් සහ විශ්වාසයෙන්. දැන් අවුරුදු තුනක විතර කාලයක ඉඳලා එම්. එස්. එව්. මොහොමඩ් කියලා පුද්ගලයෙක් අපේක්‍ෂා රෝහලට කියලා මෙරට පුරාමත්, පිටරටවලිනුත් මුදල් එකතු කරනවා. මේ වෙනකොට ඒ පුද්ගලයා රුපියල් කෝටි ගාණක් එකතු කරගෙන තියෙනවා. මිනිස්සු යහපත් චේතනාවෙන් මුදල් ලබාදෙන්නේ පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබන අසරණ රෝගීන් වෙනුවෙන්. ඒත් මේ මුදල් රෝහලේ ගිණුමට බැර වෙලා නෑ. මිනිස්සු ලබාදෙන මුදල් ප‍්‍රථමයෙන් බැර වෙන්නේ මොහොමඩ්ගේ ගිණුමකට. ඒ ගිණුමෙන් මුදල් අරගෙන පස්සේ තමයි ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැර කරලා තියෙන්නේ. ඒ අරමුදලට වැටෙන සල්ලිත් කෙළින්ම පිළිකා රෝහලේ ගිණුමට බැර වෙන්නේ නෑ…”

“පළමුකොට මේ පුද්ගලයා ගැන මට සැක හිතුණේ අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ප‍්‍රහාරයට පස්සේ දවසේ. 22 වැනිදා. එදා දවසේ පාන් කෑල්ලක් කන්න කඩයක් ඇරලා තිබුණේ නෑ. ඒත් මේ මොහොමඩ්ගේ ගිණුමට රුපියල් කෝටි දෙකක් වැටෙනවා. ඊට පහුවැනිදා නැවත මිලියන දෙකක් ඒ ගිණුමටම බැර වෙනවා. මෙච්චර මුදලක් කොහොමද ආවේ. කවුද මේ සල්ලි දැම්මේ…”

“ඒ වගේම රටේ මිනිස්සු මට කතා කරලා අහනවා ‘මම මෙච්චර මුදලක් ගිණුමට දැම්මා… ලැබුණද?’ කියලා. මම කිසිම දෙයක් දන්නේ නෑ. රෝහලේ ගිණුමට ඒ මුදල් බැර වෙලා නෑ. දැන් මේක අපිට හරි ගැටලුවක්. ඒ නිසා මම මහරගම පොලිසියට සහ මිරිහාන පොලිසියට මේ සිද්ධිය ගැන පැමිණිලි කළා. මම කළ පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා කියලා මිරිහාන පොලිසිය විසින් ලිඛිතව මට දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයට පෞද්ගලිකවම මේ සිද්ධිය දැනුම් දුන්නා. ඒත් මගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පසුගිය රජය කාලයේදී නිවැරැදි පරීක්‍ෂණයක් කෙරුණේ නෑ. පැමිණිලි කරන සෑම අවස්ථාවකදීම අදිසි හස්තයක් විසින් සිද්ධිය යට ගැහුවා. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මට පෞද්ගලිකව කතා කරලා කිව්වා මොහොමඩ්ට කරදර කරන්නේ නැතිව ඒ වැඬේ කරගෙන යන්න දෙන්න කියලා. පහුගිය කාලයේ අපේක්‍ෂා රෝහලේ උග‍්‍ර බෙහෙත් හිඟයක් ඇති වෙලා තිබුණා. අත්‍යවශය බෙහෙත් තිස්හයක් අඩු වෙලා තිබුණා. ඒ ගැන මාධ්‍යයට කිව්වා කියලත් හිටපු සෞඛය ඇමැතිවරයා මට කතා කරලා හොඳටම බැණලා ‘දැන් අපේ මීඩියා යුනිට් එක එවනවා. සේරම බෙහෙත් තියෙනවා කියලා කියන්න ඕනා කියලා’ කිව්වා. අපි අසරණ වුණා. ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ වර්ථමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයටයි, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහත්තයටයි දෙන්නටම මම මේ වංචනික ගනුදෙනු ගැන දැනුම් දුන්නා. දැන් ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා පරීක්‍ෂණයක් කරගෙන යනවා…”

“මේ මොහොමඩ් කියන පුද්ගලයා අපේක්‍ෂා රෝහලේ අඩුපාඩු ගැන කියලා සල්ලි එකතු කරන්න පටන්ගෙන තියෙන්නේ 2016 අවුරුද්දේ. රෝහලේ අඩුපාඩු ගැන කියලා සල්ලි එකතු කරලා 2018 අවුරුද්දේ අපේ‍්‍රල් 01 වැනිදා අපේක්‍ෂා රෝහලට ‘පෙට් ස්කෑන්’ යන්ත‍්‍රයක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ යන්ත‍්‍රය මිලදී ගැනීමේදීත් අයථා ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා විගණන වාර්තාවෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම රෝහලට ලබා දීලා තියෙන පෙට් ස්කෑන් යන්ත‍්‍රයට වැය වූ මුදලට වඩා විශාල මුදලක් ඔය පුද්ගලයා එකතු කරලා තියෙනවා. ඒ මුදල්වලට වෙච්ච දෙයක් නෑ. ඊට පස්සෙත් අපේක්‍ෂා රෝහලට ‘තර්මෝ තෙරපි’ යන්ත‍්‍රයක් සහ ‘ලීනියර් ඇක්සලරේටර්’ යන්ත‍්‍රයක් මිලදී ගන්න ඕනෑ කියලා ‘ෆයිට් කැන්සර් ටීම්’ කියලා පදනමක් හදාගෙන සල්ලි එකතු කරගෙන යනවා. ඒ ටීම් එක ‘ලීඩ්’ කරන්නේ එම්.එස්.එච්. මොහොමඩ්…”

“ඒ වගේම ‘ෆයිට් කැන්සර් ටීම්’ එක මිලදී ගන්න හදන යන්ත‍්‍රය අපේ රෝහලට අත්‍යවශ්‍යම නෑ. පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය කාලේදී ඒ යන්ත‍්‍ර තුනක් අපේක්‍ෂා රෝහලට ලබා දීලා තියෙනවා. යහපාලන රජය කාලේදී ඒ යන්ත‍්‍ර තුන ක‍්‍රියාත්මක කරවීමට අවශ්‍ය පහසුකම් ලබා දුන්නේ නෑ. ඒ නිසා තමයි එම යන්ත‍්‍ර තුන සවි කරගන්නවත් බැරි වුණේ. මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ ඒ යන්ත‍්‍ර සවි කරන්න අවශ්‍ය ප‍්‍රතිපාදන පාස් වුණා. තව මාස තුන, හතරක් යනකොට ඒ වෛද්‍ය උපකරණ පාවිච්චියට ගන්න පුළුවන්. රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තිබියදී තමයි, ‘ෆයිට් කැන්සර් ටීම්’ එක තවත් වෛද්‍ය උපකරණ ගන්න සල්ලි එකතු කරන්නේ. මේක අනවශ්‍ය දෙයක්. මිනිසුන්ගේ මුදල් සොරාගැනීමක්. මේ වංචනික සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භවීමත් එක්ක අපේක්‍ෂා රෝහලට කියලා එකතු කරපු රුපියල් කෝටි දහහතරක මුදලක් කොතලාවල ආරක්‍ෂක පීඨයට ලබාදෙන්න සූදානම් වෙනවා. අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂවරයා විදිහට මම ඒකට තරයේ විරුද්ධයි. මිනිස්සු ආධාර දුන්නේ පිළිකා රෝහලට මිසක් කොතලාවල ආරක්‍ෂක පීඨයට නෙමෙයි. ඒ සම්බන්ධයෙන් මම සෞඛ්‍ය අමාත්‍යාංශයටත් පැමිණිලි කළා. මේ වංචනික ගනුදෙනුව ගැන කඩිනමින් පරීක්‍ෂණයක් සිදු කරයි කියලා මම විශ්වාස කරනවා…”

“ඒ වගේම අපේක්‍ෂා රෝහලේ නම භාවිතා කරලා ගනුදෙනු කරන්න එපා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් එම්. එස්. එච්. මොහොමඩ්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. මේ පුද්ගලයා ඒ ඉල්ලීමටවත් ඇහුන්කන් නොදී තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. ඒ වගේම මේ පුද්ගලයාට පහුගිය රජය කාලේදී දේශපාලන බලය උපරිමයෙන් තිබුණා. ප‍්‍රබල දේශපාලනඥයන්ගේ රැකවරණය මත තමයි මේ වංචාව සිදුකර ගෙන ගියේ. ඒ වගේම මේ වංචනික ගනුදෙනුව සමාජගත වෙන්න යන්න සෑම අවස්ථාවකදීම ඔය මොහොමඩ් කියන පුද්ගලයා ලොස් නැතිව සල්ලි වියදම් කරලා සිද්ධිය යට ගැහුවා. පොලිස් නිලධාරීන්ට, ඇතැම් මාධ්‍යවේදීන්ට අත දිගහැරලා සල්ලි දෙනවා කියලා ආරංචියි. ඒ විදිහට සල්ලි වියදම් කරලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නින්දිත විදිහට මට අපහාස කරනවා. ‘මම ජාතිවාදියා… ජාතිවාදය අවුස්සලා ලකුණු දාගන්න හදනවා… පෞද්ගලික රෝහල්වල කොන්ත‍්‍රාත් එකක් කරනවා’ කියලා නොසෑහෙන්න මට මඩ ගහනවා. මම පෞද්ගලික චැනලින්වත් කරන්නේ නැතිව පැය විසිහතරම මේ අසරණ රෝගීන් වෙනුවෙන් කැප වී සිටින රාජ්‍ය නිලධාරියෙක්. මට ජීවත් වෙන්න ලැබෙන පඩිය ප‍්‍රමාණවත්. වැඩි මුදල් මට ඕන නෑ. ඔය හොරකම් කරලා එකතු කරන සල්ලි කවුරුවත් යනකොට අරගෙන යන්නේ නෑ. අපේ ආගමේ කියන්නේ එහෙමයි. මොහොමඩ්ට ඒක කොහොම වලංගු වෙයිද කියලා මම දන්නේ නෑ…”

“ඒ වගේම මේ වසරේ අපේ‍්‍රල් පළමු වැනිදා පැවැති උත්සවයකදී අපේක්‍ෂා රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීම සම්බන්ධයෙන් මොහොමඩ් මහත්තයට ස්තූති කරලා මම කතා කළා. දැන් මොහොමඩ් මට මඩ ගහන්න හැම තැනකදීම ඒ කතාව පාවිච්චි කරනවා. සමහර මිනිස්සු කරන වැඩ ගැන තේරුම් ගන්න කාලයක් යනවා. මේ පුද්ගලයත් එහෙම කෙනෙක්.”

“අපි හිතාගෙන හිටියේ මොහොමඩ් මේ සද්ක‍්‍රියාව කරන්නේ යහපත් චේතනාවෙන් කියලා. පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ තමයි මෙයාගේ නියම ස්වරූපය දැක්කේ. හොරුත් එක්ක මට කිසිම ගනුදෙනුවක් නෑ. මම පිරිසිදු රාජ්‍ය සේවකයෙක්. මගේ සේවය අගයමින් මෙරට විශිෂ්ටතම රාජ්‍ය සේවකයාට හිමි සම්මානය පවා ලැබිලා තියෙනවා. වංචාව කියන වචනය ඇසීමටවත් මම කැමති නෑ. සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම ජාතිකයෙක් වංචාවක් කළොත් මම ඒකට විරුද්ධයි. මීට පෙරත් මේ රෝහලේ ඖෂධ හොරකම් කරපු පුද්ගලයන්ව කොටුකර දීලා තියෙනවා. අසරණ රෝගීන්ව විකුණගෙන කෑම, ඒ අසරණයන්ට ලබාදෙන ඖෂධ කොල්ලකෑම මට බලාගෙන ඉන්න බෑ. මඟතොටේ යන එනකොට මාව මරලා දැම්මත් වංචාකාරයන්ට එරෙහිව මම පෙනී ඉන්නවා. දැනටත් මට මරණ තර්ජන තියෙනවා. මට කෝල් කරලා කියනවා ‘මාව මරනවා’ කියලා. මරණයට මම බය නෑ. මම වැරැදි වැඩ කරලා නෑ. යන තැනකට ඇති වෙන්න පිං කරගෙන තියෙනවා. මට දුක මොහොමඩ්ගේ පින් සල්ලිවලට යට වෙලා අපේ සිංහල මිනිස්සුත් මට මඩ ගහන එක ගැන. ගැටලුවක් නෑ… කවදාහරි සත්‍ය ජය ගනීවි. මම මැරෙන්න ඉස්සෙල්ලා මේ මහා පරිමාණ වංචාව රටට හෙළිකරගන්න පුළුවන් වුණොත් ඒ ඇති. ඒ වගේම පිළිකා රෝහලට ආධාර කරන දානපතියන්ට මම පින් දෙනවා. ඔයලා පරිත්‍යාග කරන මුදල වගකීමෙන් යුක්තව ලබාදෙන්න කියලත් රටේ ජනතාව මතක් කර සිටිනවා…”

දීර්ඝ අදහස් දැක්වීමකින් පසු වෛද්‍ය වසන්ත දිසානායක මහතා නිහඬ විය.

මුලින්ම මහරගම අපේක්‍ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයට පත්වූ වෛද්‍ය වසන්ත දිසානායක මහතා වසර දහතුනකට වැඩි කාලයක් එම ධූරයේ සේවය කර ඇති කීර්තිමත් නිලධාරියෙකි. පසුව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වී ගිය වෛද්‍ය වසන්ත මහතා වසර දෙකකට පසු නැවත 2016 වර්ෂයේදී මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ ධුරයේ වැඩ භාරගත්තේය. එදා සිට මේ දක්වා කාලය තුළ අපේක්‍ෂා රෝහලේ ප‍්‍රධානියා ලෙස එම රෝහල ආසියාවේ හොඳම පිළිකා රෝහල බවට පත්කිරීමට කැප වී සේවය කරන බව ඔහුගේ අදහසය. එහෙත් උද්ගතව ඇති සිද්ධියත් සමඟ වෛද්‍යවරයා දැඩි කලකිරීමකින් පසු වන බව ඔහුගේ කතාවෙන් අපට හැඟිණි ෴

– තරංග රත්නවීර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *