පාඨලීගේ රිය අනතුරු සිද්ධිය ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාඨලීගේ රිය අනතුරු සිද්ධිය ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර

• අඟුල පෙරළී එකම පවුලේ 9 ක් ගඟට වැටෙයි (විඩියෝ)

• හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සංශෝධිත ඇප අයදුම්පත සලකා බැලීම දෙසැම්බර් 30 වන දා

• සංවේදී මිනිසුන්ගෙන් හිමි වු පිළිසරණ (විඩියෝ)

• පාඨලී අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි

• විපතට පත් ජනතාවගේ සහන කටයුතු බලන්න ජනපති නිරීක්ෂණයක (විඩියෝ)

• සැහැල්ලු යතුරුපැදි සහ කුඩා ලොරි රථවලට, බලපත්‍ර ලබා ගැනීමේ නීතිය තාවකාලිකව අත්හිටුවයි

• මනම්පිටියේ වැලි ජාවාරම ගැන රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ හෙළිදරව්ව (විඩියෝ)

• චම්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් විවිධ දහස් (විඩියෝ)

• වැරදි පුද්ගලයන්ට දේශපාලන වාසි තකා වන්දනාවේ නොයන්නැයි රාවණාබලයෙන් ඉල්ලීමක් (විඩියෝ)

• පසුගිය රජය තමන් වහන්සේ සිරගත කිරීමට උත්සාහ කළ බව බෙංගමුවේ නාලක හිමියන් කියයි (විඩියෝ)

• එක්නැලිගොඩ අතුරුදන් වීම ගැන පාඨලීට, එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

පාඨලීගේ රිය අනතුරු සිද්ධිය ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර

(23.12.2019 – 16:43 +0530 – sinhala.adaderana.lk)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදුන්නේය.

ඒ අනුව මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී අදාළ ප්‍රකාශ සටහන් කිරීම සඳහා රහස් පොලිසියට පහසුකම් සලසා දෙන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරන ලදී.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණය හමුවේ කළ ඉල්ලීම සඳහන් කර තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නමද අනාවරණ වූ බවයි.

ඒ අනුව මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ හිටපු පොලිස්පතිවරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ දිනයන්හි දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා තවත් ඉල්ලීමක් කරමින් එම විමර්ශනවලදී ජංගම දුරකථන සිම්කාඩ් පත් විස්සක් හමුවී ඇති බවත් එම සිම්පත් වලට අදාල දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තාවක් අදාල දුරකතන සමාගම් වලින් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++

***************************************

අඟුල පෙරළී එකම පවුලේ 9 ක් ගඟට වැටෙයි

(23.12.2019 – 15:40 +0530 – sinhala.adaderana.lk)

පාලින්දනුවර, මෝල්කාව ගලහිටිය ප්‍රදේශයේ මඟුරු ගඟ හරහා අඟුලක් ආධාරයෙන් නිවෙස් වෙත පැමිණෙමින් සිටි එකම පවුලේ 9 දෙනෙකු අද(23) අලුයම 2 ට පමණ අඟුල පෙරලීයාමෙන් ගඟට වැටී තිබේ.

සිද්ධියෙන් විවාහක තරුණ යුවලක් ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසයි.

ඊයේ(22) රාත්‍රීයේ බුලත්සිංහල ඉහළ වෙල්ගම පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් සිටි එකම පවුලේ 9 දෙනෙකු සිටි අඟුල ගඟෙහි සැඩ පහර සැරවීම නිසා මඟුරු ගගේ ඉස්තෝරුමුල්ල තොටුපලේදී අඟුල පෙරලීමෙන් මෙලෙස ගඟට වැටී තිබේ.

ඟඟට වැටුනු පිරිසෙන් සිව්දෙනෙකු කාන්තාවන් වූ අතර 5 දෙනෙකු පිරිමි පුද්ගලයින්.

පැමිණි පිරිසෙන් 7 දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් විය.

සිද්ධියෙන් තරුණ විවාහක යුවලක් අද පෙරවරුව වන තෙක්ම අතුරුදන්ව සිටි අතර ඔවුන් දෙදෙනාගෙන් 21 හැවිරිදි එම්.ඩී. ලයනල් නම් තරුණයාගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් අද (23) පෙරවරුවේ සොයාගෙන තිබේ.

අතුරුදන්වූ 20 හැවිරිදි හෂිනි නෙරංජිකා තරුණිය මෙතෙක් සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව නැහැ.

***************************************

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සංශෝධිත ඇප අයදුම්පත සලකා බැලීම දෙසැම්බර් 30 වන දා

(23.12.2019 – 14:54 +0530 – hirunews.lk/sinhala)

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ සංශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 30 වන දා විමසා බැලීමට අධිකරණය අද දින නියම කළා.

ඒ, අදාළ ඇප අයදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදී මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කරනු ලැබුවා.

වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ අදාළ විමර්ශනය සිදුකරන ස්ථානාධිපතිවරයායි.

රාජිත සේනාරත්න මෙම සිද්ධියට අදාලව ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

එම දිනයේදී ඔහු නැවත විභාගයට ගත් දෙවන අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණයට ගොනු කරනු ලැබූවේ.

කරුණු අධ්‍යයනය සඳහා මෙම ඇප අයදුම්පත් සලකා බැලීම අද දක්වා කල් දැමුණු අතර ඒ අතරයි දෙවන අපේක්ෂිත ඇප අයදුම්පත සඳහා නව සංශෝධන ඇතුළත් කිරීම සිදුකළේ ෴

***************************************

සංවේදී මිනිසුන්ගෙන් හිමි වු පිළිසරණ

(23.12.2019 – 13:23 +0530 – sinhala.adaderana.lk)

තම කුසගින්න හෝ නිවාගැනීමට නොහැකිව අසරණභාවයට පත්ව සිටින මහනුවර, මැණික්හින්න ප්‍රදේශයේ පවුලක් පිළිබඳව ‘අද දෙරණ’ පසුගියදා තොරතුරු වාර්තා කළේය.

අප පුවත වාර්තා වීමත් සමඟ දිවයින පුරා සිටින පරිත්‍යාගශීලීන් ඔවුන්ට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටියි.

මහනුවර, මැණික්හින්න දිඹුලගාතැන්න, ප්‍රදේශයේ ජීවත්වන ඩී.ඩී.ජී.නන්දාවති සහ සී.ජී.ප්‍රේමචන්ද්‍ර යුවල තම එකම දියණිය සමඟ අසීරුවෙන් දිවිගෙවන ආකාරය ‘අද දෙරණ’ ඉකුත් සෙනසුරාදා වාර්තා කළේය.

එම පුවත පළ කර සතියක් ගතවන්නටත් මත්තෙන් හිත් සංවේදී මිනිසුන් ප්‍රේමචන්ද්‍ර මහතා ගේ නිවසට පැමිණෙන්නේ තෑගිභෝගද රැගෙනයි.

මෙහිදී අදහස් දැක්වු වෛද්‍ය අනුරුද්ධ බණ්ඩාර මහතා පවසා සිටියේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් දිගටම උදව් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙවැනි අවස්ථාවක් සලසා දීම ගැන දෙරණ මාධ්‍ය වෙත ස්තූතිය එක් කිරීමට ඔවුන් මෙම අවස්ථාවේ අමතක නොකළේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ගාමිණී රාජරත්න මහතා ද ප්‍රේමචන්ද්‍ර පවුලට උපකාර කරන්නට ඉදිරිපත් වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් මතයි.

‘අද දෙරණ’ පුවත දුටු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය රැසක්ද රැගෙන ප්‍රේමචන්ද්‍ර හමුවන්නට එම නිවහනට පැමිණෙයි.

දියවඩන නිලමේවරයා ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිවසින් පිටවන්නේ නව නිවහනක බලාපොරොත්තුවද ඔවුන් සතු කරමින්.

ශානිකා චතුරංගි දියණිය පවසා සිටියේ නැවත පාසල් යෑමට හැකි වීම ගැන තමාට ඇත්තේ පුදුමාකාර සතුටක් බවයි.

මෙවැනි උපකාරයක් සියලු දෙනා එක්ව කර දෙනු ඇතැයි තමා කිසිදිනෙක අපේක්ෂා නොකළ බවද ඩී.ඩී.ජී.නන්දාවති මහත්මිය අද දෙරණට පැවසීය.

***************************************

පාඨලී අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් කොමිසම වාර්තාවක් ඉල්ලයි

(23.12.2019 – 13:02 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය, නියමිත ක්‍රියාපිළිවෙත අනුගමනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

පොලිස් කොමිසම ලබන 27 වනදා රැස්වන අතර එදිනට ඒ පිළිබඳ වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත දැනුම් දුන් බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ පිළිවෙත පොලීසිය විසින් අනුගමනය නොකර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් පසුගිය 20 වනදා පොලිස් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබුණි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කළ බවයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා අද දෙරණට සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේනම් ඊට පෙර කථානායකවරයා දැනුවත් කළ යුතු අතර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී එම ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි වාර්තා වෙයි ෴

***************************************

විපතට පත් ජනතාවගේ සහන කටයුතු බලන්න ජනපති නිරීක්ෂණයක

(23.12.2019 – 12:58 +0530 – sinhala.adaderana.lk)

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත් ජනතාවගේ සහන කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ මේ වනවිට නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබ සාධන වැඩපිළිවෙළ කඩිනම්ව හා අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදී තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 13 කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පීඩාවට පත් පුද්ගලයින් ගණන 65,294 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත් අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි ජනතාවගේ සහන කටයුතු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සොයා බැලුවේය.

අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී දේශපාලන බලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් හමුවූ ජනාධිපතිවරයා සහන වැඩපිළිවෙළද විමර්ශනය කළේය.

නිවාසවලට සහ වගාවන්ට සිදුව ඇති හානි පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ගත වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලි මීටර් 57 ක අගය පොලොන්නරුවෙන් වාර්තා විය.

පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතිය පුද බිමට පිවිසෙන මාර්ග සියල්ලම ජලයෙන් යටව පවතින අතර අද දෙරණ වාර්තාකරු පැවසුවේ, ඇතැම් ස්ථාන අඩි 10 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි.

චෛත්‍ය මළුවද අඩි 3 ක් පමණ ජලයෙන් යටව ඇති අතර, බෝට්ටු මාර්ගයෙන් ළඟා වී අද පෙරවරුවේ එහි තේවා කටයුතු සිදුකෙරුණි.

මේ අතර ඇලහැර බකමූණ , ජී.පී.එස්. මාර්ගයේ පිහිටි යෝධ ඇලෙහි ආරක්ෂිත බැම්ම කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර යොදා ගෙන මීට දින 2 කට පමණ පෙර කඩා දමා තිබේ.

මේ හේතුවෙන් අසළ පිහිටි නිවාස 20 ක් ජලයෙන් යටව පවතින අතර, එම පවුල් වල සාමාජිකයින් 100 දෙනෙකු බකමූණ මහසෙන් විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටියි.

ආරක්ෂිත බැම්බ කඩා දැමීම පිළිබඳව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර, මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (22) අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මේ අතර රාජාංගනය ජලාශය වාන් දැමීම නිසා 10 ඇල ප්‍රදේශයේ නිවාස 30 ක් ජලයෙන් යටව පවතියි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 22 ක් විවෘත කර තිබූ අතර ජල මට්ටම අඩු වීමත් සමඟ විවෘත කළ වාන් දොරටු ගණන 16 දක්වා අඩු කර තිබේ.

කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෙසු මහ වැව්ද මේ වන විටත් වාන් දමමින් පවතියි.

විලච්චිය වැව වාන් දැමීම නිසා විලච්චිය ප්‍රදේශයේ වගා කර තිබූ කුඹුරු අක්කර 2000 ක් පමණ ජලයෙන් යටවී තිබේ.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරු ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් රාජාංගනය, කලාවැව සහ එප්පාවල ජනතාවගේ සුවදුක් ඊයේ විමසා බැලුවේය.

මහවැලි ව්‍යාපෘතියේ අවසන් ජලාශය වන මොරගහකන්ද කුලසිංහ ජලාශයද මේ වන විට ජලයෙන් පිරී පවතියි.

මේ අතර අනුරාධපුර – පැරණි ත්‍රිකුණාමලය මාර්ගයේ යාපනය මංසන්ධියේ පිහිටි මල්වතු ඔය පාලමෙන් ජල පහරට ඇද වැටී ගසක එල්ලී සිටි පුද්ගලයෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අද (23) අලුයම බේරා ගත්තේය.

අධික වර්ෂාවත් සමඟ හඟුරන්කෙත වෙලම්පාගොඩ පුරාණ විහාරස්ථානයේ පැති බැම්මක් කැඩී යාම හේතුවෙන් චෛත්‍ය සහ ඝණ්ඨාර කුලුන කඩා වැටීමේ අවදානමක් මතුව තිබේ.

එමෙන්ම එම විහාරස්ථානයේ ඉදිකර ඇති තවත් පැති බැම්මක්ද ඉරි තලා ගොස් ඇති ආකාරය මෙලෙස දක්නට ලැබෙන අතර ඊට පහළින් නිවාස 5 ක් පිහිටා තිබේ.

මේ අතර ලබන 25 වැනිදා පමණ විට තද වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

***************************************

සැහැල්ලු යතුරුපැදි සහ කුඩා ලොරි රථවලට, බලපත්‍ර ලබා ගැනීමේ නීතිය තාවකාලිකව අත්හිටුවයි

(23.12.2019 – 07:02 +0530 – hirunews.lk/sinhala)

සැහැල්ලු යතුරුපැදි ලියාපදිංචිය, රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සහ ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම මෙන්ම කුඩා ලොරි රථ සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාතර ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව යළි එම නීතිය ක්‍රියාත්මක කරන බවයි ෴

***************************************

මනම්පිටියේ වැලි ජාවාරම ගැන රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ හෙළිදරව්ව

(22.12.2019 – 22:41 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ සිදුව ඇති වැලි ජාවාරම පිළිබඳව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද (22) පොළොන්නරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

චම්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් විවිධ දහස්

(22.12.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

වැරදි පුද්ගලයන්ට දේශපාලන වාසි තකා වන්දනාවේ නොයන්නැයි රාවණාබලයෙන් ඉල්ලීමක්

(22.12.2019 – 18:53 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් දැනටමත් වරදකරු බව පෙනී යද්දී, දේශපාලන වාසි තකා පුද්ගල වන්දනාවේ නිරත නොවන ලෙසට රාවණාබලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඉල්ලීමක් කරනවා.

උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ලැබුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

පසුගිය රජය තමන් වහන්සේ සිරගත කිරීමට උත්සාහ කළ බව බෙංගමුවේ නාලක හිමියන් කියයි

(22.12.2019 – 18:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් සිරගත කිරීමට උත්සාහ කළ බව අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අදට යෙදී ඇති සිය 71 වන ඡන්ම දිනය වෙනුවෙන් කැළණිය ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනයේ පැවැත්වු විශේෂ වැඩසටහනකට එක්වෙමින්.

***************************************

එක්නැලිගොඩ අතුරුදන් වීම ගැන පාඨලීට, එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(22.12.2019 – 18:50 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැගිලිගොඩ අතුරුදන් වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට චෝදනා කරමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එමගින් එම සිද්ධියට අදාළ විමර්ශන නැවත ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි එම සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *