වව්නියාවේ යුද හමුදා කඳවුරක සෙබලෙකුට බරපතලව පහරදෙයි.. ගිනි අවියත් අතුරුදන්..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වව්නියාවේ යුද හමුදා කඳවුරක සෙබලෙකුට බරපතලව පහරදෙයි.. ගිනි අවියත් අතුරුදන්..

• බෝගස්වැව කදවුරේ සෙබලාගේ ගිනි අවිය කැකිරාවෙන් හමුවෙයි

• සහල් මාෆියාවේ ඉන්නේ ප්‍රධාන මෝල් හිමියෝ දෙන්නයි – ජනාධිපතිවරයාට අවශ්‍යනම් පුළුවන් එක පෑන් පාරෙන් මේ මාෆියාව විසඳන්න (විඩියෝ)

• ස්වාධීන රූපවාහිනී ආයතනය (ITN) ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

• බාබා වැන්ගා 2020 වසර ගැන කියූ අනාවැකිය

• නව නීතියක් – ඉදිරියේදි බස් රථ වල ප්‍රචාරය කළ හැක්කේ රජයෙන් අනුමත සුභාවිත ගීත පමණයි

• නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේදී සිදුවී ඇති වංචා සෙවීමට කොමිසමක්

• MCC ගිවිසුමේ ප‍්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ද නෑ… ඉඩම් ව්‍යාපෘතියට විරුද්ධයි..

• පාසල් ගවුමකට සිහින දකින දරුවන් (විඩියෝ)

• පොලිසිය වරෙන්තු ලැබූ රාජිත සොයයි (විඩියෝ)

• විශේෂ අවශ්‍යතා සහිත තරුණයින් එක්ව ලස්සන කරන මාවනැල්ල (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

වව්නියාවේ යුද හමුදා කඳවුරක සෙබලෙකුට බරපතලව පහරදෙයි.. ගිනි අවියත් අතුරුදන්..

(25.12.2019 – 13:28 +0530 – lankacnews.com)

වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබලෙකුට අද (25) පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහලගත කොට ඇති බවට බෝගස්වැව පොලීසිය පවසයි.

අදාල යුදහමුදා සෙබලා යුදහමුදා මුරපොළෙ සිට සේවා මුරය අවසන් වී කඳවුරට එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් සැඟව සිට හමුදා සෙබලාට පහරදී ඇති අතර ඔහු සතුව තිබී ගිනිඅවියද අතුරුදහන් වී ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.

යුද හමුදා සෙබලාගේ ගෙල ප්‍රදේශයේ දැඩි කැපුම් තුවාල ඇති වීම හේතුවෙන් උදව් ඉල්ලා කෑගැසීමටද නොහැකි වී ඇති අතර මුරකුටිය වෙතට තවත් යුද හමුදා සෙබලෙකු යමින් සිටියදී බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා දැක ඇත.

පහරදීමෙන් බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට ගෙන ඒමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර යුද හමුදා රෝහල වෙතට යවා ඇති බවට වාර්ථා වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++

බෝගස්වැව කදවුරේ සෙබලාගේ ගිනි අවිය කැකිරාවෙන් හමුවෙයි

(25.12.2019 – 13:55 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව – බෝගස්වැව යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරී නිම වී යමින් සිටි සෙබලාගෙන් පැහැර ගත් ගිනි අවිය කැකිරාව ප්‍රදේශයේ සඟවා තිබීයදී සොයාගෙන තිබෙනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ එය යුද හමුදාවෙන් පැන ගිය සෙබලෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි.

ගිනි අවිය පැහැරගත් යුද හමුදාවෙන් පළා ගිය සෙබලා ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) අලුයම රාජකාරී නිම වී යළි කදවුර වෙත යමින් සිටියදී මෙම ගිනි අවිය පැහැරගෙන ගොස් තිබූ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ සෙබලා අනුරාධපුර රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.

+++++++++++++++++++++

***************************************

සහල් මාෆියාවේ ඉන්නේ ප්‍රධාන මෝල් හිමියෝ දෙන්නයි – ජනාධිපතිවරයාට අවශ්‍යනම් පුළුවන් එක පෑන් පාරෙන් මේ මාෆියාව විසඳන්න

(24.12.2019 – lankatruth.com)

සහල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ සහල් මාෆියාව සිදුකරන දෙදෙනෙක් බවත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප‍්‍රශ්නය විසඳිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඊයේ (23) මාතරදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදි වැඩිදුරටත් මෙම සහල් මාෆියාව සම්බන්ධයෙන් අදහස් පළකල සුනිල් හඳුන්නෙත්ති මහතා :

“මේ වෙනකොට වෙළඳපොළේ හාල් හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. එසේම හාල් වැඩි මිලට අලෙවි කිරිම නිසා සිල්ලර වෙළඳුන්ට දඩ ගහලා උසාවි ගෙනියන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. හැබැයි අපි හිතන්නේ සිල්ලර වෙළදුන්ගේ ප‍්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිල්ලර වෙළදුන්ට විකුණන්න වෙලා තියෙන්නේ තොග වෙළදුන්ගෙන් ලැබෙන මිලට. තොග වෙළදුන්ට වෙලා තියෙන්නේ හාල් මෝල් හිමියන්ගෙන් සැපයුම් කරන මිලට අලෙවි කරන්න. මෙතනදි අල්ලන්න ඕන සිල්ලර වෙළදුන් නෙමෙයි මේ මාෆියාව නිර්මාණය කළ මුදුනේ ඉන්න අය. එතන වැඩි පිරිසක් නැහැ. නඩු දානවනම් දෙන්නටයි නඩු දාන්න ඕන. ජනාධිපතිතුමාට ඒ දෙන්න කවුද කියලා හොයා ගන්න ඕන නම් කඩේකට ගිහින් හාල් උර දෙකක් අරන් බලන්න පුළුවන්.

එතකොට පෙනේවි ඒ දෙන්නගේ නම් දෙක. එහෙනම් ලංකාවේ හාල් මාෆියාවේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටයි දඩුවම් දෙන්න ඕන. ඇත්තටම අද හාල් හිඟයක් නැහැ . මොකද පොළොන්නරුවට ගිහින් බැලුවනම් පෙනේවි ගබඩා කරලා තියෙනවා. ඒ හාල් වෙළඳපොළට නිකුත් කරන්න ඕන. ගබඩා පහසුකම් තියෙන්නෙ දේශපාලන බලය තියෙන දෙදෙනෙකුට පමණයි. අන්න ඒ දෙන්නට දඩ ගැහුවනම් හරි සාමාන්‍ය සිල්ලර වෙළදුන්ට දඩ ගහන්නෙ නැතුව. ජනාධිපතිතුමාට අවංක උවමනාවක් තියෙනම් එක පෑන් පාරෙන් පුළුවන් මේ හාල් මාෆියාව විසඳන්න.

ඊළගට මෙතන තියෙන අනෙක් ගැටලුව තමයි හාල් හිඟයක් තියෙනවා කියලා පිටරටින් හාල් ගෙන්වන්න හදනවා. හාල් පිටරටින් ගේනකොට අපේ ගොයම් කපලා වි ටික වෙළඳපොළට එන කාලේම තමයි හාල් වරායට එන්නේ. වි ටික විකුණ ගන්න බැරිව ගොවියා ආයේ පාරේ අනාථ වෙනවා. ඊට පස්සේ ඒ වි ටික තුට්ටු දෙකට අරගෙන ගබඩා කරගන්නෙත් ඔය ලොකු හාල් මෝල් හිමියන් දෙදෙනමයි. ඒ අයගේ ජාවාරම ඒක තමයි.

ආණ්ඩු බලය පාවිච්චි කරලා තමයි මේ මාෆියාව මේ අය සිදුකරන්නෙ. එසේනම් මේ හාල් අර්බුදය විසඳන්න නම් හාල් මාෆියාව සිදුකරන දෙදෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලිමක් කරනවා” යැයි පැවසිය.

හාල් මාෆියාව ගැන හඳුන්නෙත්ති කී කතාව

හාල් මාෆියාව ගැන හඳුන්නෙත්ති කී කතාව#lka #News1st #BP #SunilHandunnetti

Posted by Newsfirst.lk on Monday, December 23, 2019

***************************************

ස්වාධීන රූපවාහිනී ආයතනය (ITN) ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

(25.12.2019 – 11:19 +0530 – lankaleadnews.com)

වසර 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අවසන් වන විට ස්වාධීන රූපවාහිනී ආයතනය සතුව තිබූ රුපියල් ලක්ෂ 25,000 ක ස්ථාවර තැන්පතුව යහපාලනය ආණ්ඩුව අවසන් වන විට රුපියල් ලක්ෂ 8,000 දක්වා පහළ වැටී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 17,000 කින් ස්ථාවර තැන්පතු අඩුවී ඇතැයිද හෙතෙම කීවේය. 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලයේදී මානව සම්පත්වලින් පමණක් නොව භෞතික සම්පත් වලින් ද ස්වාධීන රූපවාහිනී ආයතනය දියුණු කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඇසිදිසි මැඳුර ශ්‍රවණාගාරයේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මාධ්‍ය ආයත හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැන නිතර නිතර කතා කරන යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ පාලන කාලයේදී කළ විනාශයන් පිළිබඳ තව කරුණු රැසක් ඉදිරියේදී හෙළි කරන බව හෙතෙම කීවේය.

මෙම විනාශයට සම්බන්ධ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමටත් පෙර ඔවුන්ගේ සෙවය අතහැර පළා ගොස් ඇති බව පැවැසු ඒ මහතා වැරදි දේ නොකළේ නම් එලෙස පැන යෑමට අවශ්‍ය නැති බව කියා සිටියේය ෴

***************************************

බාබා වැන්ගා 2020 වසර ගැන කියූ අනාවැකිය

(24.12.2019 – nethnews.lk)

2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.

2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට එල්ලවූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළකරනු ලැබූ බල්ගේරියානු ජාතික අන්ධ අනාවැකි පළකරන්නියක් වන බාබා වැන්ගා විසින් සිදුකර තිබු අතර ඇය මේ දක්වා සිදුකළ අනාවැකි පළකිරීම් කිසිවක් මේ දක්වා වැරදි ගොස් නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2020 වර්ෂයේදී බාබා වැන්ගා පළකර ඇති අතර තවත් අනාවැකියක් වන්නේ ඉස්ලාමිය අන්තවාදීන් විසින් යුරෝපය තුළ සිදුකරනු ලබන රසායනික අවි ප්‍රහාරයකින් බරපතල හානි සිදුවන බවයි. බාබා වැන්ගා 1996 වර්ෂයේ දී මිය ගියද ඇගේ අනාවැකි 5079 වර්ෂය දක්වා දිව යන අතර ඇය විසින් 2020 වර්ෂය සඳහා සිදුකර ඇති පුරෝකථනයන්ට අනුව ධවල ​​මන්දිරය, ක්‍රෙම්ලිනය (රුසියාව) සහ යුරෝපයේ ජනතාවට දැඩි කණසල්ලු භාවයක් ඇතිවන වසරක් බවට අනාවැකි පළකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට මොලේ ගෙඩියක් හට ගැනීමෙන් ඔහුව බිහිරි භාවයට පත්වනු ඇති බවත් ඒ හේතුවෙන් ඔහුගේ මරණය පවා සිදුවෙනු ඇති බවයි බාබා වැන්ගා සිය අනාවැකිය හරහා පුරෝකථනය කර ඇත්තේ. එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාට ක්‍රෙම්ලිනය තුලදීම එල්ලවන ඝාතන ප්‍රයත්නයෙන් ඔහුට දිවි ගලවා ගැනීමට හැකිවනු ඇත්ද යන්න බාබා වැන්ගා සිය අනාවැකියේ සඳහන් කර නොමැත.

එමෙන්ම ඉස්ලාමිය අන්තවාදීන් යුරෝපය සිය ග්‍රහණයට නතු කර ගැනීමට 2020 වර්ෂයේදී කටයුතු කරන අතර දැවැන්ත රසායනික අවි ප්‍රහාරයක්ද එල්ලවනු ඇති බවට සඳහන් කර ඇත.

2028 වන විට ලොව පුරා දරුණු සාගත තත්ත්වයක් ඇතිවීම, වර්ෂ 2256 වන විට අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සහ එහි න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම හා වසර 2341 වන විට පෘථිවිය ජනාවාස සඳහා සුදුසු නොවන බවට ද බාබා වැන්ගා සිය අනාවැකි පළකිරීම් වලදී සඳහන් කර ඇත ෴

***************************************

නව නීතියක් – ඉදිරියේදි බස් රථ වල ප්‍රචාරය කළ හැක්කේ රජයෙන් අනුමත සුභාවිත ගීත පමණයි

(25.12.2019 – nethnews.lk)

පෞද්ගලික බස් රථවල ප‍්‍රචාරය කෙරෙන ඝෝෂාකාරී සංගීතමය වැඩසටහන් ලබන ජනවාරි 01 දා සිට අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ.

ඒ වෙනුවට එම කොමිසම විසින් හඳුන්වා දෙන ‘සුභාවිත ගීත’ පමණක් වාදනය කළ යුතු අතර බස් රථ කොන්දොස්තරවරුන් සහ රියැදුරන් ධනාත්මක සිතිවිලිවලට යොමු කරන වැඩපිළිවෙළක්ද මෙමඟින් හඳුන්වා දීමට නියමිතය.

එම හඳුන්වා දෙන ගීත තැටි එළඹෙන 31 දා මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේදී ප‍්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා විසින් බෙදාදීමට නියමිතය ෴

***************************************

නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේදී සිදුවී ඇති වංචා සෙවීමට කොමිසමක්

(25.12.2019 – 11:27 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ සිදුව ඇතැයි පැවසෙන වංචාවන් සෙවීමට ස්වාධීන කොමිසමක් පත්කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා පරිඝනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාළව පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණා.

නමුත් අදාළ සමාගම ගිවිසුම්ගත කාලය තුළ ගිවිසුම පරිදි කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 400 කට අධික මුදලක් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

MCC ගිවිසුමේ ප‍්‍රවාහන ව්‍යාපෘතියට විරුද්ද නෑ… ඉඩම් ව්‍යාපෘතියට විරුද්ධයි..

(25.12.2019 – 16:40 +0530 – lankacnews.com)

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

MCC ගිවිසුම සම්බන්ධයෙන් මා හැමදාමත් කියලා තියෙන්නේ එකම කතාව. 2019 නොවැම්බර් 05 පැවැති හිරු බලය වැඩසටහනේදී, 2019 ඔක්තෝම්බර් මස පැවති හිරු සලකුණ වැඩසටහනේ දී, ඒවගේම MCC ගිවිසුමට එරෙහිව අප විසින් බිහිකල STOP USA සංවිධිනයේ මාධ්‍ය හමුවක් පැවැත්වුනා 2019 නොවැම්බර් 01 දා. එම මාධ්‍ය හමුවේදී මා මේ පිළිබඳව අදහස් පළ කළා.

මේ සියල්ලේදීම මා කිව්ව දේමයි දෙසැම්බර් මස 7 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී මා ප්‍රකාශ කළේ.

සමස්තයක් ලෙස ගත්තම අප MCC ගිවිසුමට විරුද්ධයි. ප්‍රවාහන ව්‍යාපෘතියට විරෝධයක් නොමැත. විරෝධය ඇත්තේ ඉඩම් ව්‍යාපෘතියටයි කියන එක අප හැමදාමත් කිව්වා.

ඒක එදා විතරක් කියපු අලුත් කතාවක් නොවේ. එදා විපක්ෂයේ සිටියදී කී කතාවමයි අප අද ආණ්ඩුවේ ඉඳලත් කියන්නේ. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය සමයේ කළෙත් බොරුව. අප ජනාධිපතිවරණය දින්නට පස්සේ ඔවුන් ස්විස් නාඩගම හරහා කළෙත් බොරුව. 2015 බලයට ආවෙත් බොරු කියලා.

බලයේ හිටියෙත් බොරු කියලා. පැරදිලා ගිහිල්ලා තාම කරන්නෙත් බොරුව. මේ බොරුවල එල්ලිලා දිගින් දිගටම යන්න එපා කියලා අප තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

හැමදාමත් අප එකම මතය කියලා තියෙනවා. එක්තරා මාධ්‍ය ආයතනයක් විතරක් මගේ කතාව විකෘති වන ආකාරයෙන් සංස්කරණය කරලා විකාශනය කරල තිබුණා.

අනික් මාධ්‍ය ආයතනවලින් නම් එවැනි විකෘතියක් සිදුවෙලා තිබුනේ නෑ. මගේ වෙබ් අඩවියට ගිහින් බැලුවොත් ඉතිහාසය පුරාම මම කියල තියෙන්නේ එකම කතාවයි කියන එක තමුන්නාසේලාට දකින්න පුලුවන්.

– අරවින්ද අතුකෝරල

***************************************

පාසල් ගවුමකට සිහින දකින දරුවන්

(25.12.2019 – 22:24 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ බොහෝ දෙනෙකු විවිධ විලාසිතාවලින් ඇඳුම් සොයද්දී, එක සුදු ගවුමක් වෙනුවෙන් සිහින දකින දියණියන් දෙදෙනෙකු පිළිබඳ මේ සංවේදී පුවත අපට වාර්තා වුණේ පොළොන්නරුව පැරකුම්පුර ගම්මානයෙන්.

පොළොන්නරුව, දියබෙදුම, පැරකුම්පුර ඉදිවන රණවිරු ගම්මානය මායිමේ කටුමැටි ගැසූ මේ පැලේ ජීවත්වන දියණියන් දෙදෙනාගේ බාල සොහොයුරා දැනටමත් මන්දපෝෂණයෙන් පීඩා විදනවා.

මෙම දරුවන්ගේ පියා හදවත් රෝගියෙකුවන අතර ඔහුට කිසිදු ස්ථීර ආදායම් මාර්ගයක්ද නැහැ.

***************************************

පොලිසිය වරෙන්තු ලැබූ රාජිත සොයයි

(25.12.2019 – 19:01 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර පැය 24 කට වැඩි කාලයක් ගතව ඇතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා සිටින ස්ථානයක් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති බව වාර්තා වනවා.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය ඊයේ (24) පස්වරුවේ වරෙන්තු නිකුත් කළා.

ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුවයි.

කෙසේ වෙතත්, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඊයේ (24) දින අත්අඩංගුවට ගැනීම සිදුවූයේ නැහැ.

ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමත් සමඟ ඊයේ (24) දිනයේ මෙන්ම අදත් (25) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවස වෙත විවිධ පිරිස් පැමිණෙනු දක්නට ලැබුණා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද අද (25) පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ නිවස වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එසේම, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ බේරුවල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසද අද (25) පස්වරුවේ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

විශේෂ අවශ්‍යතා සහිත තරුණයින් එක්ව ලස්සන කරන මාවනැල්ල

(24.12.2019 – 16:15 +0530 – sinhala.adaderana.lk)

මෙරට තරුණ තරුණියන් එක්ව අපවිත්‍රව තිබු පොදු ස්ථාන සිතුවමින් අලංකාර කිරිමේ කාලයක් පුරා ක්‍රියාන්විතය තවදුරටත් සිදු වෙයි.

එවන් ස්ථාන රැසක් අදත් අපට දැක ගන්නට ලැබුණි.

වර්ණ තැවරූ පින්සලෙන් රට හැඩ කරන ක්‍රියාන්විතයට මෙරට තරුණ තරුණියන් මීට සති කිහිපයකට පෙර එක්වුණේ සමාජ මාධ්‍ය ඔස්සේයි.

එලෙස එක් වු පිරිස් මේ වන විට දිවයිනේ පොදු ස්ථාන රැසක් සිතුවමින් වර්ණ ගන්වා අවසන්.

අද (24) සහ ගත වු දින කිහිපයේදිත් මෙතෙක් කල් අපවිත්‍රව තිබු පොදු ස්ථාන, තාප්ප හා ගුවන් පාලම් බඳ පිරිසිදු කර එම ස්ථාන සිතුවමින් අලංකාර කිරිමට තරුණ තරුණියන් එක්විය.

මාවනැල්ල මුලික රෝහලේ තාප්පයේ සිතුවම් කිරිමට විශේෂ අවශ්‍යතා සහිත තරුණයින්ද එක්ව සිටිම විශේෂත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Rupawaahini Horu pana gos athnam ithaa ikmanata owunta viruddhawa nadu pawara owunge sesatha raja santhaka karagena owunwath hireta yawanna. Ratin pana gos athnam owvunta viruddhawa warentu nikuthkara interpol eka lawwa owunwa allanna. Horen ho gamata aawoth guwan thotupaledima allanna puluwan wena widihata aagamana saha wigamana komasaarista niwedanaya karanna. Nikam methana prasiddiye oya niwedanaya nikuth kalaata madi, eka witharak hariyanne natha. Horu saha ownta upades duk deshapaaluwo ath adanguwata gatha yuthuya.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *