අගමැති මහින්දගෙන් ඓතිහාසික ප්‍රකාශයක්

(27.12.2019 – 19:20 +0530 – lankaleadnews.com)

කවුරුත් තේරුම් ගතයුතු රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක‍්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී අද (27) පැවති සමස්ත ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“අපි ළමයින්ගේ හිත් තුලට දාන්නේ මොනවද කියන එක ගැන විශේෂයෙන්ම ප‍්‍රවේසම් වෙන්න ඕන යුගයක් මේක.

විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක‍්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත්වෙලා තියනවා.

මේ රටේ ප‍්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා.

ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර අච්චුපොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව.

සිංහල අලුත් අවුරුද්දත් සමහර පොත්වලින් හළලා.

ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා.

එතකොට අවුරුදු කිහිපයක් ගත වුණාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස් වෙලා.

පාසල්වල භාවිතාවන පෙල පොත්වලින් ළමුන්ගේ හිත් තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මහා සංඝරත්නයේ මඟ පෙන්වීමයටතේ, මේ රටේ දහම් පාසල්අධ්‍යාපනයට ළමුන් සහ තරුණයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙලක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා.

සිද්ධවෙන්න ඕන දේ තමයි ළමා සහ තරුණ පරපුර පන්සල, ජාතිකත්වය, අපේකම සොයාගෙන යන එක.

ඒ අරමුණ ඉටුකරගන්න කාලයත් එක්ක අපේ ප්‍රවේශය වෙනස් වෙන්න ඕන කියල මම විශ්වාස කරනවා.

දහම්පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරන මෙහෙවර නිසිලෙස ඇගයීමට වැඩපිළිවෙලක් තියෙන්නත් ඕන.

ඔවුන්ගේ කැපවීමෙන් තමයි මේවා පවත්වාගෙන යන්න පුලුවන්වෙලා තියෙන්නෙ.

ඒ වගේම දුෂ්කර පළාත්වල දහම් පාසල් පවත්වාගෙන යන්නත් වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.”

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

රාජිත සේනාරත්න ගැන විවිධ අදහස්

(27.12.2019 – 21:43 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හදිසියේ රෝහල් ගතවීම සහ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සුදු වෑන් රියදුරන් දෙදෙනා විශේෂ අනාවරණයකට අවසර ඉල්ලයි

(27.12.2019 – 19:12 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් දෙදෙනා ලබන ජනවාරි 6 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.

මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 13 වන වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර ප්‍රදේශයේ අවන්හලකදීයි.

මෙම නඩු විභාගයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර අධිකරණයෙන් ප්‍රශ්න කර සිටියේ සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස තම සේවාදායකයා නම් කර ඇත්ද යන්නයි.

නීතිපති උපදෙස් මත ඔහු තුන්වන සැකකරු ලෙස නම් කළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එහිදී කියා සිටියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද ලබාගෙන ඇති බවයි.

නඩුව පැවැත්වෙන අවස්ථාව වනවිට තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන තිබුණේද යන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥයා යළි එහිදී ප්‍රශ්න කළා.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න තමන් ඒ පිළිබඳව නොදන්නේද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥවරයාගෙන් විමසා සිටි අතර, ඔහු කියා සිටියේ මෙතෙක් ඒ පිළිබඳව තමා දැනුවත් නොමැති බවයි.

වරෙන්තුව ලබා ගැනීමෙන් පසු පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න රැඳී සිටින ස්ථාන පරීක්ෂා කළත්, ඔහු සැඟව සිටි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

එසේම, ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊයේ පස්වරුවේ ඔහු ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වුණු බවට ලද තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, එම රෝහලේ හෘද ප්‍රතිකාර අංශයේ උමා ශංකර් නැමැති වෛද්‍යවරයෙකු මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර ඔහුට අධි රුධිර පීඩනය, මානසික ආතතිය සහ කම්පනය ඇති බැවින් කිසිවෙකුටත් ඔහුට ළංවීමට අවසර දිය නොහැකි බව සඳහන් කර ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ අනතුරුව ඔහුට රෝහලෙන් පිටවීමට නොහැකි අයුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

මෙහිදී තම සේවාදායකයාගේ අපේක්ෂිත ඇප අයැදුම පිළිබඳව සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා.

අගතියට පත් පාර්ශවයට නැති ප්‍රශ්නයක් වෙනත් පාර්ශවයකට තිබෙන්නේ කෙසේද යන්න මෙහිදී ඔහු නැවතත් ප්‍රශ්න කර සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරිය නීතිඥවරයාගෙන් විමසුවේ ඔහු සඳහන් කරන අන්දමට ප්‍රශ්නගත මාධ්‍ය හමුව තුළින් එවක ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ අපේක්ෂකයාට අගතියක් සිදුනොවුනේද යන්නයි.

අදාළ මාධ්‍ය හමුවේ ප්‍රකාශ තුළින් එවක ජනාධිපති අපේක්ෂකයෙකුව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බරපතල අගතියක් සිදුවී ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළා.

මෙය දේශපාලනික ක්‍රියාදාමයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නීතිඥයා චෝදනා කළත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තමන් වැපිරූ දේ අස්වැන්න මේ වනවිට නෙලා ගනිමින් සිටින බවයි.

පසුව තම සේවාදායකයාගේ ඇප අයැදුම ලබන 30 වැනිදා කැඳවීමට නියමිත බැවින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන ලෙස රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කළත්, මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කළා.

ඒ, ඊට ප්‍රමාණවත් කරුණු නොමැති බව පවසමින්.

මේ අතර, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන පිළිබඳවද අධිකරණය හමුවේ පැහැදිලි කිරීමක් කළා.

ඊට අදාළව සැකකාර රාජිත සේනාරත්නගේ ආරක්ෂකයින්ගෙන් සහ මාධ්‍ය හමුවට සම්බන්ධ වූ පුද්ගලයන් වේෂ නිරූපනය කළ තැනැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

ඒ සඳහා මුදල් යෙදවූ රූමි මොහොමඞ් නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවද එහිදී ප්‍රකාශ වුණා.

මෙහිදී රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාළ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ විශේෂ අනාවරණයක් කිරීමට තම සේවාදායකයන් අවසර ඉල්ලා සිටින බව සඳහන් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර අවසන් වූ පසු, ඉදිරි නඩු දිනකදී ඊට අවස්ථාව ලබාදෙන බවයි.

***************************************

මධ්‍යම පළාතේ පාසල් 126 ක් මත් රකුසාට ගොදුරු වෙලා – ආණ්ඩුකාරවරයා කියයි

(27.12.2019 – 21:51 +0530 – sinhala.adaderana.lk)

මධ්‍යම පළාතේ පාසල් 126 ක් මත් උවදුරට ගොදුරු වී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්. යු. ගමගේ මහතා පවසයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්. යු. ගමගේ මහතා (27) පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ‍්‍රවණාගාරයට රැස් කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය :

“මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ජාතික මට්ටමේ සැලසුම් පැවතියත් වර්තමානයේ පවතින දත්තයන් සලකා බැලූ විට එම සැලසුම් ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා.

විශේෂයෙන් මධ්‍යම පළාතේ පාසල් 126 ක් මත් උවදුරට ගොදුරු වීම වැනි සිද්ධීන් මෙසේ සිදුවීමට අපට ඉඩදෙන්නට බැහැ.

මේ සම්බන්ධයෙන් කඩිනමෙන් අප ක‍්‍රියාත්මක විය යුතු බවයි මාගේ මතය. ඒ අනුව එක් මාසයක කාලයක් තුල ඒකාබද්ධ සැලසුමක් නිර්මාණය කරමු.

මත්උවදුරෙන් අප දරුවන් මුදවාගැනීමට අප කටයුතු කල යුතුයි. ඒ සදහා අවශ්‍ය පූර්ණ සහයෝගය මා ලබාදෙනවා. අපේ පළාතේ, අප රටේ මතු පරම්පරාව රැකගැනීම අපගේ වගකීමක් වනවා.

ඒ නිසා ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් විධිමත් කඩිනම් මෙන්ම ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් ඔස්සේ මත්ද්‍රව්‍ය අප පළාතෙන් තුරන් කිරීමට කටයුතු කල යුතුයි.”

***************************************

අවශ්‍ය තරම් සහල් වෙළෙඳ පොළේ තියෙනවා – අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්

(27.12.2019 – 19:17 +0530 – sinhala.adaderana.lk)

වී අ‍ලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 21,000 ක් මේ වන විට සහල් බවට පත්කිරීම ආරම්භ කර ඇති නිසා සහල් හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බව අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් කේ.එස්.එල්. රාජදාස මහතා පවසයි.

ලක් සතොස මගින් ඉදිරියේදී එම සහල් වෙළෙද පොළට නිකුත් කරන බව අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාශයේ ස්ථිර ලේකම් කේ.එස්.එල්. රාජදාස මහතා මේ බව පැවසීය.

“වී අලෙවි මණ්ඩලයේ වී මෙ.ටොන් 21,000 ක්. එයින් සහල් මෙට්‍රික් ටොන් 14,000 ක්. ලක් සතොස මඟින් එම සහල් වෙළෙඳ පොළට. අවශ්‍ය තරම් සහල් වෙළෙඳ පොළේ තියෙනවා.”

එහිදී අදහස් දක්වමින් ලංකා සතොස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා මේ බව පැවසීය.

“කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 101 ශත 50. ලොකු ළූණු කිලෝ ග්‍රෑම් එකක් රු. 155. ඉන්දියාව ලොකු ළූණු අපනයනය නැවැත්වුවා. අපි අනෙක් රටවලින් ආනයනය කරනවා.”

***************************************

මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව

(27.12.2019 – 18:08 +0530 – sinhala.adaderana.lk)

2020 වසරේදි ආර්ථික වර්ධන වේගය සියයට 4.5 දක්වා වේගවත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, සිය ධූරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වන අධිපතිවරයා ලෙස පත්වීම ලැබු දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා අද සිය ප්‍රථම මාධ්‍ය හමුව මහ බැංකු පරිශ්‍රයේදී පවත්වනු ලැබුවේය.

මේ අතර ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය අද සිය ධුරයේ වැඩ භාරගත්තේ, නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේදීයි.

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ද රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී අද වැඩභාරගත්තේය.

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ධුරයට පත් නීතිඥ කිංස්ලි රණවක මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද එක්ව සිටියේය.

ජාතික ලොතරුයි මණ්ඩලයේ නව සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ද අද පෙරවරුවේ සිය ධුරයේ වැඩභාර ගත්තේ කොළඹ පිහිටි ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදීයි.

ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ නව සභාපති ලෙස පත්වූ දමිත වික්‍රමසිංහ මහතා අද නාරාහේන්පිට පිහිටි එම අධිකාරියේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

***************************************

ජීවත්වෙන්න අවම පහසුකමක්වත් නැති මිනිස්සු

(27.12.2019 – 13:05 +0530 – sinhala.adaderana.lk)

ජීවිත්වීම සඳහා අවම පහසුකම් හෝ නොමැති ගම්වැසියන් පිරිසක් පිළිබඳව, පුත්තලම දිස්ත්‍රික්කයේ උනාවේලිය ප්‍රදේශයෙන් වාර්තා වූණි.

බැලූ බැල්මට පොල්අතු සෙවිල් පැල්පත් පමණක් දක්නට ලැබෙන උනාවේලිය ගම්මානය පිහිටා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය ප්‍රදේශයේයි.

පානීය ජලය, වැසිකිලි පහසුකම් ඇතුළු මූලික අවශ්‍යයතා සපුරාගත නොහැකිව ගම්මානයේ පවුල් 40ක පුද්ගලයින් ගත කරන්නේ කටුක ජීවිතයකි.

ස්ථිර රැකියාවක් නොමැති පසුබිමක කුලීවැඩවල නිරතවීමෙන් සියදිවි සරි කර ගැනීමට මේ ජනතාව අපමණ වෙහෙසක් දරයි.

ගම්මානයේ කෙළිදෙලෙන් කාලය ගත කරන මේ පුංචි දරුවන්ට ළමා උද්‍යායනක අසිරිය විදගැනීමත් සිහිනයක් වී තිබේ.

බාධා පසෙකලා සුන්දර අනාගතයක් වෙනුවෙන් අකුරුකරන්නට මේ දරුවන්ට ඇත්තේ කුප්පි ලාම්පු එළිය පමණයි.

අඩුපහසුකම් සහිතව දිවිගෙවන මේ පිරිසට සාමාන්‍ය නිවහනක් ඉදිකර ගැනීම පවා දැඩි අභියෝගයකි.

පසුගිය සමය පුරාවට දැවැන්ත නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වූ පසුබිමක මේවැනි ගම්මානයක් පිළිබදව තොරතුරක් නොලැබීම කණගාටුවට කරුණකි.

මෙරට දිලිදු පවුල් සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමුව ඇති අවධියක බලධාරීන්ගේ ඇස මදුරන්කුලිය උනාවේලිය ගම්මානය වෙත කඩිනමින් යොමුවන්නේනම් ඔවුන්ට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

***************************************

හදිසියේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ගිය ජනපති

(27.12.2019 – 12:48 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ රෝහලේ නිරීක්ෂණයක නිරතවුණි.

ඊයේ (26) පස්වරුවේ විද්‍යාපීඨ රෝහල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සායන කටයුතු මෙන්ම ශල්‍යාගාරද නිරීක්ෂණය කළේය.

රෝහල් කාර්ය මණ්ඩලය සමග සිදුකළ සාකච්ඡාවේදී රෝහලේ පවතින අඩුපාඩු කිහිපයක්ද අනාවරණය වී ඇත.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 68 දෙනෙකුගේ අවශ්‍යතාවය වෛද්‍යවරුන් 40 දෙනෙකු විසින් ඉටු කරනු ලබන අතර සාමාන්‍ය වෛද්‍යවරුන් සිය දෙනෙකුගේ අවශ්‍යතාවය ඉටු කරනු ලබන්නේ වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණයි.

එමෙන්ම ඇදන් 700 කින් සහ වාට්ටු 09 කින් සමන්විත රෝහලේ දැනට ක්‍රියාත්මක වන්නේ වාට්ටු 04 ක් පමණක් බවද අනාවරණ වී ඇත.

එම සියලු අඩුපාඩුකම් කඩිනමින් සම්පුර්ණ කිරීමට පියවර ගන්නා ලෙස එහිදී ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ අතර ගාලුමුවදොර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයද ඊයේ (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණි.

විධිමත් සැළැසමක් ඔස්සේ භූමිය සැකසීමේ කටයතු කඩිනමින් ඉටු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *