රාජිත බන්ධනාගාර රෝහලට රැගෙන යාමට සූදානම්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජිත බන්ධනාගාර රෝහලට රැගෙන යාමට සූදානම් (විඩියෝ)

• රාජිත බන්ධනාගාර රෝහලට රැගෙන යාමට පැමිණි ගිලන් රථය රාජිත නොමැතිව පිටව යයි

• රාජිත සේනාරත්න කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හැකි බවට නිර්දේශ කරයි.

• රාජිත තවමත් රෝහලේ (විඩියෝ)

• එස්.බී.ගෙන් සුමන්දිරන්ට චෝදනා (විඩියෝ)

• මී උණ ගැන අවධානයෙන් සිටින්නැයි ගොවීන්ට උපදෙස්

• රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකය රජයේ රෝහල්වලින් ලබාදීමේ සූදානමක්

• 2019 වසරේ පොළ පොත් මුද්‍රණයේ දී දුෂණ වංචා සිදුව ඇති බවට චෝදනාවක් (විඩියෝ)

• සංවිධානාත්මක කොල්ල කල්ලියක දෙදෙනෙකු අත්අඩංගුවට

• වැඩ කරන රටක් හදන්න ජනතා නියෝජිතයන් කැපවිය යුතුයි – ජනපති අවධාරණය කරයි (විඩියෝ)

• සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

• සිවාජිලිංගම්ගෙන් පැය 5 ක් ප්‍රශ්න කෙරේ

• කුරුණෑගල නගරයේ වෙළඳසැලක ගින්නක් (විඩියෝ)

• ශිෂ්‍යත්ව සහනාධාරය ඔන්ලයින් ක්‍රමයට සිසුන්ගේ ගිණුම් වෙත

• කරුවලගස්වැවින් හමුවූ යෝධ තාරකා ඉබ්බා (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රාජිත බන්ධනාගාර රෝහලට රැගෙන යාමට සූදානම්

(29.12.2019 – 15:11 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා පැමිණි ගිලන් රථය තවමත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල් භූමියේ රඳවා තිබෙන බව එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළා.

බන්ධනාගාර නිලධාරින් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටින අතර, මීට ටික වේලාවකට පෙර චතුර සේනාරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද රෝහලට පැමිණියා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහලට රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු තීරණය කරන බවයි.

ඔහු බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරු කළ හැකි බවට නිර්දේශ කර තිබුණේ ඊයේ (28) බන්ධනාගාර රෝහලෙන් ලංකා රෝහලට පැමිණ මන්ත්‍රීවරයා පරීක්ෂා කළ වෛද්‍යවරිය විසින්.

+++++++++++++++++++++

රාජිත බන්ධනාගාර රෝහලට රැගෙන යාමට පැමිණි ගිලන් රථය රාජිත නොමැතිව පිටව යයි

(29.12.2019 – 17:32 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා පැමිණි ගිලන් රථය මන්ත්‍රීවරයා රැගෙන යාමකින් තොරව නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් පිටව යයි ෴

+++++++++++++++++++++++++++++++++++

රාජිත සේනාරත්න කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හැකි බවට නිර්දේශ කරයි.

(29.12.2019 – 11:55 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව, නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හැකි බව ඔහු පරික්ෂා කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරිය නිර්දේශ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මන්ත්‍රීවරයාට ප්‍රතිකාර කිරිම සඳහා හැකියාවක් පවතින බවට ඇය නිර්දේශ කර ඇති බවයි.

ඒ අනුව අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ගේ අවසරය මත මන්ත්‍රිවරයා පිටත් කර යවන්නේ නම් පමණක් ඔහුව බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

රාජිත තවමත් රෝහලේ

(29.12.2019 – 07:13 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රෝහල් ගත වීමට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නිවසේ සැඟව සිටියේ නම් ඇයව ද අත්අඩංගුවට ගත යුතු බව සිංහලරාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසනවා.

කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලනඥයින් තවත් අදහස් පළ කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව, නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාමේ හැකියාවක් පවතී ද සහ තවදුරටත් වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යවේ ද යන්න පිළිබඳව ඊයේ (28) නිරීක්ෂණයක් සිදුකර තිබුණා.

ඊයේ (28) පෙරවරුවේ බන්ධනාගාරයේ වෛද්‍යවරියක් විසින් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණය සිදුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහි වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ද ලබාදීමට නියමිතයි.

රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

+++++++++++++++++++++

***************************************

එස්.බී.ගෙන් සුමන්දිරන්ට චෝදනා

(29.12.2019 – 07:35 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ ජනතාව අතර අලුත් ගැටලුවක් නිර්මාණය කිරීම සඳහා ජාතික ගීය මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් විවිධ ප්‍රකාශ සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා.

මහනුවරදී ඊයේ (28) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළා.

පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර තිබුණේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවයි.

මේ අතර, දෙමළ ජනතාවට ජාතික ගීය තමන්ට හුරු මව් බසින් ගායනා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දෙමල එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්ද සංගරී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ ඇතමුන් ප්‍රතිවිපාක පිළිබඳ අවබෝධයකින් තොරව අනවශ්‍ය ගැටළු ඇති කිරීමට උත්සාහ කරන බවයි. ජාතික ගීය යනු තමන් අයත් රටේ අනන්‍යතාව සළකුණු කරන්නක්.

එය පහසු අන්දමින් ගායනා කිරීමට සෑම පුරවැසියෙකුටම අවස්ථාවක් තිබිය යුතු අතර, එය ඔවුන්ගේ අයිතියක්ද වන බවයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්ද සංගරී පෙන්වා දෙන්නේ.

+++++++++++++++++++++

***************************************

මී උණ ගැන අවධානයෙන් සිටින්නැයි ගොවීන්ට උපදෙස්

(29.12.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

පැවති වර්ෂාව සහිත කාලගුණයත් සමඟ මී උණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි සෞඛ්‍ය අංශ කුඹුරු කර්මාන්තයේ නිරත ගොවීන්ට දැනුම් දෙනවා.

වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටියේ මී උණ බහුලව පැතිරෙන ප්‍රදේශ ආශ්‍රිතව ඊට අදාළ ප්‍රතිජීවක ඖෂධ නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ද මේ දිනවල ක්‍රියාත්මක බවයි ෴

***************************************

රියදුරු බලපත්‍ර වෛද්‍ය සහතිකය රජයේ රෝහල්වලින් ලබාදීමේ සූදානමක්

(29.12.2019 – 07:23 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල් වලදී නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ සිදුකළ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් පසු මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව, මෙම ක්‍රමවේදය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා දහවල් මෙම හදිසි සංචාරය සිදුකළ අතර, සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවෙකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවයක් ලබාදීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේ.

එසේම, සේවා සැපයීමේදී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතු බව ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා.

***************************************

2019 වසරේ පොළ පොත් මුද්‍රණයේ දී දුෂණ වංචා සිදුව ඇති බවට චෝදනාවක්

(29.12.2019 – 12:16 +0530 – sinhala.adaderana.lk)

2019 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශයට අයත් විගණකාධිපති වාර්තාවට අනුව පොළ පොත් මුද්‍රණයේ දි දුෂණ වංචා රැසක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ.

***************************************

සංවිධානාත්මක කොල්ල කල්ලියක දෙදෙනෙකු අත්අඩංගුවට

(29.12.2019 – 15:14 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස සහ වෙළදසැල් මංකොල්ල කෑමේ නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක සැකකරුවන් දෙදෙනෙකු සහ සොරාගන්නා ලද භාණ්ඩ පොලිස් භාරයට ගැනීමට අම්බලන්තොට පොලිසිය ඊයේ (28) සමත් වුණා.

අම්බලන්තොට පොලිසියට ලද පැමිණිලි මත පැමිණිලි කරුවන්ගේ තොරතුරු, CCTV දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැක සහිත මෝටර් රථයක් සම්බන්දයෙන් විමර්ශන පවත්වනු ලැබුවා.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථයේ හිමිකරුගෙන් ලද තොරතුරු මත එම මෝටර් රථය කුලී පදනම මත ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුවයි අදාල සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කුලී පදනම මත ලබා ගත් මෝටර් රථය උපයෝගී කරගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවස සහ ගොඩනැගිලි වලට රාත්‍රී කාලයේ ඇතුළු වී ඒවායේ තිබු මුදල් සහ දේපළ කොල්ලකා තිබෙනවා.

සැකකරුවන් සොරාගන්නා ලද භාණ්ඩ අතර තණකොළ කපන යන්ත්‍ර 2 ක් ටයිල් කපන යන්ත්‍රයක්, ආයුධ කට්ටල, ජංගම දුරකථන කිහිපයක්, DVD යන්ත්‍ර 3 ක් සහ තවත් ගෘහ උපකරණ සහ කෘෂි උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ත් 35 ත් යන වයස් වල පසුවනන් බවයි අම්බලන්තොට පොලීසිය පැවසුවේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායමේ අනෙකුත් සැකකරුවන් සොයා අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භකර තිබෙනවා ෴

***************************************

වැඩ කරන රටක් හදන්න ජනතා නියෝජිතයන් කැපවිය යුතුයි – ජනපති අවධාරණය කරයි

(28.12.2019 – president.gov.lk/si/)

• භාරගත් අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා ඉටු කරමු
• සක්‍රීය නගර සභා, ප්‍රාදේශීය සභා කාලීන අවශ්‍යතාවක්
• ආර්ථිකය ගොඩනඟමින් අඩාල වු සංවර්ධනය යළි ඇරඹීමට කඩිනමි පියවර

ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

එකී අරමුණ වෙත ළගා විමට නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සක්‍රීයතාව කාලීන අවශ්‍යතාවකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සහ ජනාධිපතිතුමා අතර ඊයේ (28) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දි එතුමා මේ අදහස් පළ කළේය.

ජනාධිපතිවරණයේ දී සිය ජයග්‍රහණය සඳහා බිම් මට්ටමේ විශාල ශක්තියක් වු සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට සහ නියෝජිතයන්ට ජනාධිපතිතුමා සිය ස්තූතිය පුද කළේය.

“සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමකි.” ඒ සඳහා කැපවීම සියලු දෙනාගේ වගකිම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“කැළි කසළ ඉවත් කිරීමේ සිට ආර්ථිකය නඟා සිටුවන ඉහළම තැන දක්වා අප ක්‍රියාකරන ආකාරය දෙස ජනතාව මහත් වුවමනාවෙන් බලා ඉන්නවා. දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම සියලුම රජයේ සේවකයන්ගේ වගකිමක්” ජනාධිපතිතුමා පැවසීය. රාජ්‍ය සේවය සෑමවිටම දුෂණයෙන් තොර විය යුතු බව ද අවධාරණය කෙරිණි.

“රට සංවර්ධන මගට යොමු කොට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟමින් තිබියදී 2015 දී පැවති රජය පරාජයට පත් විය. ජනතාව එදා රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ සාධක අවබෝධ කරගත යුතුය. නැතහොත් ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යා නොහැකියි” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කඩා වැටුණු ව්‍යාපාර දිරිමත් කර ආයෝජකයන් සුරක්ෂිත කරමින් අහිමි වූ රැකියා නැවත ශ්‍රම බලකායට දායක කළයුතුය. එමඟින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

විදේශීය ආයෝජකයන් 2015ට පෙර රට කෙරෙහි තබා තිබූ විශ්වාසය නැවත ඇති කළ යුතුය. රට නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේ දී විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ දායකත්වය ප්‍රබල ශක්තියක් වනු ඇතැයි ජනාධිපතිතුමා පැවසිය.

අපනයනික කෘෂි භෝග සම්බන්ධ ප්‍රතිලාභ මේ වන විටත් ගොවීන්ට ලැබෙමින් පවතී. එමෙන්ම බදු සහන සහ සෙසු උපාය මාර්ගවල ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබිය යුතුය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධවක් වී තිබේ. මෙය ඉවත් කර ගැනිමට ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනතා අපේක්ෂා ඉටුකිරීමට ඉවහල් වන ප්‍රධානතම සාධකය එය බව ද ජනාධිපතිතුමා කීය.

පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි හා ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු ද හමුවට සහභාගී වූහ.

+++++++++++++++++++++

***************************************

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

(29.12.2019 – 07:47 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005 ක් ලෙස නියම කර ඇති අතර, සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර ලංකාවේ ඇසුරුම් කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 950 ක් ලෙසත්, ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 930 ක් ලෙසත් නියම කර තිබෙනවා ෴

***************************************

සිවාජිලිංගම්ගෙන් පැය 5 ක් ප්‍රශ්න කෙරේ

(28.12.2019 – 19:20 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අද (28) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ පසුගිය මැයි මාසයේ පැවති සැමරුම් උත්සවයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුවයි.

එම්.කේ.සිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මීට පෙර දැනුම්දී තිබුණේ ඊයේ (27) දිනයේ පැමිණ අදාළ ප්‍රකාශය ලබා දෙන ලෙසටයි.

එහෙත්, තමන් අසනීප තත්ත්වයේ පසුවන බැවින් අද (28) දිනයේ ඊට අවස්ථාව ලබාදෙන ලෙස එම්.කේ. සිවාජිලිංගම් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව, අද පැය 5 කට වැඩි කාලයක් ඔහු එම ප්‍රකාශය ලබා දුන්නා ෴

***************************************

කුරුණෑගල නගරයේ වෙළඳසැලක ගින්නක්

(28.12.2019 – 16:44 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරයේ පිහිටි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද දහවල් ඇතිවූ මෙම ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පොලිසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇතැයි සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

***************************************

ශිෂ්‍යත්ව සහනාධාරය ඔන්ලයින් ක්‍රමයට සිසුන්ගේ ගිණුම් වෙත

(28.12.2019 – 16:05 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාර ඔන්ලයින් ක්‍රමයට බැංකු ගිණුම් වෙත බැර කිරීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සෑම මසකම 10 වන දින සිසුන්ගේ බැංකු ගිණුම් වෙත අදාළ මුදල් බැර කෙරෙන බවයි ෴

***************************************

කරුවලගස්වැවින් හමුවූ යෝධ තාරකා ඉබ්බා

(29.12.2019 – 17:16 +0530 – hirunews.lk/sinhala)

වෙල්යායක සිටි යෝධ තාරකා ඉබ්බේකු ගොවින් පිරිසක් විසින් අල්ලා වන ජීවි නිලධාරින්ට භාර දුන් පුවතක් කරුවලගස්වැව, නෙළුම්ගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වන ජීවි නිලධාරින් පවසන්නේ මෙම සත්වයා කිලෝ ග්‍රෑම් 17 කට ආසන්න බරකින් යුක්තවන බවයි.

මෙම යෝධ තාරකා ඉබ්බා වයස අවුරුදු 100 කට ආසන්න බවට විශ්වාස කරන බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සත්වයා විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට වන ජීවි නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *