රාජිතට සැඟවෙන්න උදව් කළ අයට නීතිය දැඩි ලෙස ක්‍රියාක්මක කළ යුතුයි – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

(29.12.2019 – 16:24 +0530 – lankadeepa.lk)

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාක්මක කළ යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.

උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (29) මිනුවන්ගොඩ තරුණ සංවිධාන නියෝජිතයන්ගේ හමුවකදී රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතාගේ කටේ නරිවාදම් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන බවත් රාජපක්ෂවරුන්ට බොරු නඩු පටලවා සිරගත කිරිමේ යහපාලන ආණ්ඩු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ අයෙකු වන රාජිත සේනාරත්න මහතාට දිට්ඨධම්ම වේදනීය කර්මය පරිසන් දෙමින් පවතින බවද රණතුංග මහතා සඳහන් කළේය.

“මිනිහෙකුට කරදරයක් වුණාම අපි කවදාවත් ඒක හොදයි කියපු අය නෙමෙයි. ඒත් රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා මේ රටට කරපු විනාශය නිසා අද රාජිත අත්අඩංගුවට ගත්තාම අනේ අපොයි කියන කෙනෙක් නෑ. එදා මට මතකයි රාජිතලා; මහින්ද මහත්තයලා, ගෝඨාභය මහත්තයලා අත්අඩංගුවට ගන්නවා කියලා පම්පෝරි ගහපු හැටි.”

රාජිතලා එදා වැඩ කළේ රාජපක්ෂ පවුලෙන් පළි ගැනීමේ වුවමනාවට. ඒ අයට ඕන වුණේ රාජපක්ෂලා හිරේ දාන්න. ඒ වෙනුවෙන් යහපාලන ලොක්කෝ නීතිය නැමුවා. හැබැයි අපි එහෙම නෑ. අපි නීතිය නමන්නේ නෑ. නීතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. රාජිතලාට, චම්පිකලාට වගේම යහපාලන හොරුන්ටත් නීතියෙන් ගැලවීමක් නෑ.

රාජිතව, චම්පිකව පොලිසිය අත්අඩංගුවට ගත්තාම දේශපාලන පළිගැනීම්ලු, පුදුම වැඩක් තමයි. එදා නාමල්, යෝෂිත, ජොන්ස්ටන්, විමල් අත්අඩංගුවට ගන්නකොට ඒක නීතිය ක්‍රියාත්මක කිරීම. අද රාජිතව, චම්පිකව පොලිසිය අත්අඩංගුවට ගන්නකොට දේශපාලන පළි ගැනීම්ලු, පුදුම කතා මේවා.

මම දැක්කා රාජිතට වරෙන්තු කරලා තියෙනකොට දවස් දෙකක්ම හැංගිලා හිටියේ මේ රටේ හිටපු නායිකාවකගේ ගෙදර කියලා සමහර වාර්තා පළවෙලා තියෙනවා. වරෙන්තුකරුවෙකු වූ රාජිතට රැකවරණ දුන්නේ කවුරු වුණත් ඒ අයගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව ද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.

2015 ජනවාරි 8 තමයි මේ රටේ මෑතක දී ඇති වූ මූසලම දිනය. ඒ දිනයෙන් පස්සේ රට ආගාධයට ගියා. අපි දැන් අපේ රට ඒ ආගාධයෙන් ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු ද කරමින් ඉන්නවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තබා ඇත්තේ සුළු පටු විශ්වාසයක් නෙමෙයි. ඒ විශ්වාසය අපි කිසිලෙසකවත් පළුදු කරන්නේ නෑ.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගරාධිපති නාලන් නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ ෴

***************************************

සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

(29.12.2019 – 16:57 +0530 – lankadeepa.lk)

සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

මේ වන විට දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් 20,000 ක් පමණ රජයේ ලියාපදිංචි වි නැති අතර රජයේ ලියාපදිංචි වී ඇත්තේ හොටල් 2000 ක් පමණක් බවද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරි මාස 3 ක කාලය තුළ එම හෝටල් ලියාපදිංචි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

මෙතෙක් රජයේ ලියාපදිංචි වී නොමැති හෝටල් ලියාපදිංචි කිරීමේ දි හෝටල්වල ප්‍රමිතිය පිළිබදව දැඩි ලෙද සැලකිලිමත් වන්නැයිද අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සංචාරක හෝටල් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් හෝටල් හිමියන් දැනුවත් කිරීමට ද ඇමතිවරයා උපදෙස් දී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් හෝටල් ලියාපදිංචි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා විශේෂ නිලධාරි කණ්ඩායමක් ද යොදවා තිබේ ෴

***************************************

මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරනවා

(29.12.2019 – 17:38 +0530 – lankadeepa.lk)

මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටී.

ඒ සදහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පලව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මෙරට ඉන්දිය මහා කොමසාරිස් තරංජිත් සිං මහතා සහ තමා අතර පැවති සාකච්ඡාවකදි මේ සම්බන්ධයෙන් අවධානය යොමු වු බව රණතුංග මහතා කියා සිටී.

මඩකලපුව ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස දියුණු කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග හා එම ගුවන් තොටුපලේ දියුණු කළ යුතු අංශ පිළිබද වාර්තාවක් අමාත්‍යවරයා දැනටමත් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලා ඇත.

ඉන්දියානු රජය සිය ගුවන් ගමන් සේවා මඩකලපුව ගුවන් තොටුපළ දක්වා ද සිදු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇමතිවරයා කියා සිටියේ ය.

දැනට ඉන්දීය ගුවන් ගමන් කටුනායකට හා යාපනය පලාලි ගුවන් තොටුපල දක්වා සිදුකෙරේ.

මඩකලපුව ගුවන්තොටුපල 1958 දි සිවිල් ගුවන් සේවා දෙපාර්තුමේන්තුව විසින් ආරම්භ කරන ලද්දකි. රටේ පැවති වාතාවරණය අනුව 1983 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගුවන් තොටුපල භාරගෙන ඇති අතර පසුව එය ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් කදවුරක් ලෙස ද පවත්වාගෙන ගියේ ය.

2018 වසරේ මාර්තු 25 වන දින මෙය නැවත සිවිල් ගුවන් සේවා කටයුතු සදහා විවෘත කෙරුණු මෙම ගුවන්තොටුපළේ දැනට දිනපතා පෙ.ව 08.00 සිට සවස 06.00 දක්වා දිනපතා අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ්‍ය සදහන් කරයි ෴

***************************************

මගේ පියා ගඩොල් කපලයි මට ඉගැන්නුවේ : ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලයේ ප්‍රථමයා වූ මීරාසාගේ කතාව

(29.12.2019 – nethnews.lk)

මෙවර පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන මීරාසා පාතිමා සිසුවිය සමත්ව තිබෙනවා.

මුතූර්, සාපි නගර් හි පදිංචි මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් සිටින අතර ඔවුන් උපතින්ම දිළිදු කමින් පිඩා විදින පවුලක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මුතුර් අල් මීනා පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ ඇය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය ඉහලින්ම සමත්වීම නිසා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයට ඇතුලත් වීමට වරම් ලබා තිබෙනවා. මුතූර් සිට ත්‍රිකුණාමලයට දිනපතා ගමන් කිරීම දුෂ්කර කටයුත්තක් බැවින් ඇයව ත්‍රිකුණාමලයේ පිහිටි නේවාසිකාගාරයක නැවැත්වීමට පාතිමා ගේ දෙමව්පියන් තීරණය කර තිබෙනවා.

ගඩොල් කැපීම සහ කුලීවැඩ කිරීම ජීවිකාව කරගත් පාතිමාගේ තාත්තා සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය සිදුකර ඇත්තේ දහසක් බාධක හමුවේ බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

“මගේ තාත්තා ගඩොල් කපලා කුලි වැඩ කරලයි මට ඉගැන්නුවේ. ටියුෂන් පන්ති යන්න තාත්තා සල්ලි දුන්නා. අපේ නැති බැරි කමට දුෂ්කරතාවයන්ට මම මුහුණ දුන්නා. ඉගෙන ගන්න සල්ලි ඕන තමයි. නමුත් විභාගය පාස් කරන්න දුප්පත්කම මම බාධාවක් කර ගත්තේ නැහැ. මොන ක්‍රමයෙන් හරි තාත්තා මට සල්ලි සොයලා දුන්නා හැදේකටම. මම විශේෂඥ වෛද්‍යවරියක් (නාරි හා ප්‍රසව) වීමටයි මගේ අනාගත බලාපොරොත්තුව. ඒ වගේම ගඩොල් කපා මගේ අධ්‍යාපනය වෙනුවෙන් මහන්සිවී කැපවීම් කළ දෙමව්පියන් වගේම අකුරු කරවූ ගුරුවරුන්ව කිසිදා අමතක කරන්නේ නැහැ” ජීව විද්‍යා අංශයෙන් එ සමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගත් මීරාසා පාතිමා සිසුවිය කියා සිටියා.

දුප්තකම ඉගනිමට බාධාවක් නොවේ යැයි අන් අයට ආදර්ශයක් දුන් සිය දියණියගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව දැනට 75 හැවිරිදි මිරාසා පාතිමා ගේ පියා පවසා සිටිනවා.

අමදෝරු අමරජීව – ත්‍රිකුණාමලය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *