ජනපති වේරහැරදී ප්‍රශ්න කළ පුද්ගලයා එහි ලොකුම දුෂිතයායි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජනපති වේරහැරදී ප්‍රශ්න කළ පුද්ගලයා එහි ලොකුම දුෂිතයායි

• ‘හිරු සී.අයි.ඒ.’ හෙළිකරගත් මොරගහකන්දේ ජල කාන්දුව (විඩියෝ)

• පොලිසියේ කඩාවැටීමට හේතුව කීර්තිමත් නිලධාරීන්ටම පොලිස්පති ධුරය නොලැබීමයි (විඩියෝ)

• බදු සහන ඉදිරි මාස කිහිපය තුළ දී ජනතාවට – රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා (විඩියෝ)

• මිලියන 300 ට අඩු සීමාවේ වැට් බදු හෙට සිට අක්‍රියයි (විඩියෝ)

• නීතියේ පවතින දුර්වලතා ගැන භික්ෂු සංවිධාන පවසයි (විඩියෝ)

• රාජිත ගැන අදත් විවිධ අදහස් (විඩියෝ)

• පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිලගෙන් චෝදනාවක් (විඩියෝ)

• ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු අවසන් ගමන් ගිය අනතුර (විඩියෝ)

• බුද්ධි අංශ සහ රහස් පොලීසිය රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයයි (විඩියෝ)

• දිවියෙකු නිසා වනජිවි දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

• ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සිදු වී ඇති බව කියන දුෂණ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක්

• සුදුවෑන් මාධ්‍ය හමුවට මුදල් දුන්, එස්.පී.සී. හිටපු සභාපති රූමි රිමාන්ඩ් – රාජිත තවමත් රෝහලේ (විඩියෝ)

• විශ්වවිද්‍යාල බඳවා ගැනීම් සියයට 25 කින් ඉහළට

• දියවැඩියා රෝගයට නව සොයාගැනීමක් – විඩියෝ (31.12.2019)

+++++++++++++++++++++++++++++++++++

ජනපති වේරහැරදී ප්‍රශ්න කළ පුද්ගලයා එහි ලොකුම දුෂිතයායි

(31.12.2019 – 13:13 +0530 – lankaleadnews.com)

හදිසියේම වේරහැර මෝටර් රථ දෙපර්තම්නේතුවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රශ්නකිරීමට ලක් කළ පුද්ගලයා එම දෙපාර්තමේන්තුවේ සිටින ලොකුම දුෂිතයා බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

ජනාධිපතිවරයා ඔයාගේ සේවා කාලය කොපමණ දැයි යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර එම දෙපාර්තමේන්තුවේ මුලින්ම සේවයට පැමිණෙද්දී ජිවත් වුයේ කුඩා නිවාස වන අතර මේ වන විට සුඛෝපභෝගී නිවසක් සහ වාහන රැසක හිමි කරුවෙකුද වේ.

මිට පෙර එම දෙපාර්තමේන්තුවේ ඉහලම ධූරයක් දැරූ පුද්ගලයෙකු සමඟ එකතු වී සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින්ගෙන් ගජ රාමෙට මුදල් ගසා කන ලදී.

මේ අතර වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සිදුකෙරෙන වංචා සෙවීම සඳහා ඊයේ (30) දිනය තුළ සිදුකරන ලද පොලිස් මෙහෙයුමකින් මහජනතාවගේ මුදල් ගසා කෑ සයදෙනෙකුගෙන් සමන්විත පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කණ්ඩායමට උදව් කරන ලද එම දෙපාර්තමේන්තුවේ සේවකයන් ගණනාවකගේ නම් ගම් ඇතුළු තොරතුරුද අනාවරණය කරගෙන තිබේ ෴

***************************************

‘හිරු සී.අයි.ඒ.’ හෙළිකරගත් මොරගහකන්දේ ජල කාන්දුව

(31.12.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala)

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ මේවන විට විශාල ජල කාන්දුවක් මතුව තිබෙනවා.

ජලාශය භාර බලධාරීන් ජනතාවගෙන් සැඟවීමට උත්සාහ දරණ මෙම ජල කාන්දුව රට හමුවේ හෙළිදරව් කිරීමටයි අද ‘හිරු සී.අයි.ඒ.’ වෙන්වන්නේ.

මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය යනු මෙරට දශක 4 කට පසු ඉදිකෙරුණු විශාලතම වාරි ව්‍යාපෘතියයි.

එසේ පවතිද්දී, මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලෙන් විශාල ජල කාන්දුවක් සිදුවන බව ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කර ගත්තා.

මේවන විට කොළ පැහැති දැල් ආවරණයක් යොදාගනිමින් අදාළ ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට ආවරණය කර ඇති අතර, කාන්දුවන ජලය නළ මාර්ග යොදාගනිමින් නැවත ඇළ මාර්ගයකට යොමුකිරීමට මොරගහකන්ද ජලාශ වේල්ල ඉදිකළ චීන සමාගම කටයුතු කරමින් සිටිනවා.

හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම ජල කාන්දුව පිළිබඳව මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතාගෙන් විමසීමක් කළා.

ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා මෙය සුළු ජල කාන්දුවක් බව ප්‍රකාශ කළ ද මෙම ආවරණය යොදා ජලකාන්දුව ජනතාවගෙන් සැගවීමට ප්‍රථම ‘හිරු සී.අයි.ඒ.’ මෙහි දර්ශන ලබාගත්තා.

ජල කාන්දුව නතර කර ගැනීම සදහා ඉදිකිරීම් සිදුකළ චීන සමාගම මේ වනවිට පැලැස්තර යොදමින් පවතිනවා.

විදෙස් සමාගම් විසින් සිදුකළ බහුතරයක් රජයේ ව්‍යාපෘති මෙරට ජනතාවට පසුගිය කාලයේ භුක්ති විඳීමට සිදුවූයේ පැලැස්තර සහිතව බව රහසක් නොවේ.

මෙම ව්‍යාපෘතිය ද ජනතාවට බරක් වන ව්‍යාපෘතියක් බවට පත් නොකොට වගකිව යුතු රජයේ බලධාරීන් වහා මේ පිළිබද වගකීමකින් යුතුව සොයා බැලිය යුතු නොවේද ?

***************************************

පොලිසියේ කඩාවැටීමට හේතුව කීර්තිමත් නිලධාරීන්ටම පොලිස්පති ධුරය නොලැබීමයි

(31.12.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුව අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට හේතුව, කීර්තිමත් නිලධාරීන් පිරිසකටම පොලිස්පති ධුරය නොලැබීම බව, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පවසනවා.

සිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඊයේ (30) මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේදී ඔහු මේ අදහස් පළකළා.

***************************************

බදු සහන ඉදිරි මාස කිහිපය තුළ දී ජනතාවට – රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා

(31.12.2019 – 19:59 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව විසින් ලබාදුන් බදු සහන ඉදිරි මාස කිහිපය තුළ දී ජනතාවට ලබාදීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කරන බවට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (31) පෙරවරුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++

මිලියන 300 ට අඩු සීමාවේ වැට් බදු හෙට සිට අක්‍රියයි

(31.12.2019 – 12:54 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු සංශෝධන, මුදල් අමාත්‍යාංශ උපදෙස් පරිදි හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව අද (31) දිනට පෙර අවසන් වන ඕනෑම කාර්තුවක් සඳහා බද්දට යටත් සැපයුම රුපියල් මිලියන 75 ක් නොඉක්ම වන තැනැත්තන්ගේ එකතු කළ අගය මත බද්ද සඳහා වන ලියාපදිංචිය හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි අක්‍රිය කරන බවයි.

රජය මගින් පසුගිය දා තීරණය කළේ වැට් බදු සීමාව හෙට දින සිට බලපැවැත්වෙන පරිදි කාර්තුවකට රුපියල් මිලියන 75 ක් හෝ වර්ෂයකට රුපියල් මිලියන 300 දක්වා වැඩි කිරීමටයි.

මේ අනුව වැට් බදු ලියාපදිංචිය අක්‍රිය කරන ලද තැනැත්තන්ගේ තොරතුරු www.ird.gov.lk වෙබ් අඩවියට ඇතුළත් කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, හෙට (01) දිනට පෙර අය කරන ලද වැට් බදු ලබන ජනවාරි 20 වන දිනට පෙර ගෙවිය යුතු බවත් එමගින් දැනුම් දෙනවා ෴

+++++++++++++++++++++

***************************************

නීතියේ පවතින දුර්වලතා ගැන භික්ෂු සංවිධාන පවසයි

(31.12.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala)

නීතියේ පවතින දුර්වලතා හේතුවෙන් වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට නිසි ලෙස දඬුවම් ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි භික්ෂු සංවිධාන පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ අද (31) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී.

***************************************

රාජිත ගැන අදත් විවිධ අදහස්

(31.12.2019 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ඇප හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදත් (31) මෙලෙස අදහස් පළ කළා.

***************************************

පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිලගෙන් චෝදනාවක්

(31.12.2019 – 19:48 +0530 – hirunews.lk/sinhala)

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන පෞද්ගලික රෝහලක රැඳවීමේ සිද්ධියේදී බන්ධනාගාර කොමසාරිස්වරයා නීතිය උල්ලංඝනය කර ඇති බව, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (31) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

+++++++++++++++++++++

31-12-2019

***************************************

ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු අවසන් ගමන් ගිය අනතුර

(31.12.2019 – 19:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල – දුම්මලදෙණිය ප්‍රදේශයේදී අද (31) අලුයම කන්ටේනර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්, ත්‍රිරෝද රථයේ ගමන්ගත් ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 4 ට පමණ. කොළඹ සිට මහනුවර බලා ගමන් කළ කන්ටේනර් රථයක, කොළඹ දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් සියලු දෙනා රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටියදීයි.

පොලිස් මූලික විමර්ශන වලදී ආනාවරණය වී ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

කෙසේවෙතත්, කන්ටේනර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ සිරුරු අද පස්වරුවේ වනවිටත් වරකාපොල රෝහලේ තැන්පත් කර තිබුණා.

අම්පාර – වලගම්පුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කෝප්‍රල් චමින්ද සමන් කුමාර මහතා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු තිදරු පියෙක්.

කෑගල්ල – බල්ලපාන විල්සන්වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කෝප්‍රල් රුවන් දිසානායක මහතාද මියගිය අය අතර වනවා. මියයන විට ඔහු දෙදරු පියෙක්.

අනතුරින් කහටගස්දිගිලිය රන්පත්විල උතුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 37 හැවිරිදි කෝප්‍රල් සමන් කුමාර කුලවිට මහතාටද දිවි අහිමි වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය පදවාගෙන ගිය නායක ගුවන් භට රංජිත් ප්‍රසන්න මහතාද මෙම අනතුරින් මියගිය අතර ඔහු කොස්ගම – රන්දෙව්ගම පදිංචි අයෙක්. මියයන විට 28 වැනි වියේ පසුවූ රංජිත් ප්‍රසන්න මහතාද විවාහකයෙක්.

+++++++++++++++++++++

***************************************

බුද්ධි අංශ සහ රහස් පොලීසිය රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයයි

(31.12.2019 – 18:59 +0530 – hirunews.lk/sinhala)

අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තම ධුර කාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ අද (31) පෙරවරුවේ මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහතික කිරීමට නම්, අනවශ්‍ය අනපණත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සදහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවක් ඇති පිරිස් බදවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේ ද රාජ්‍ය සේවය රටේ කොදු නාරටිය නිසාවෙන් බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ.

දෛනික ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇති බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බව ද, ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර ඔහුට යළි කිසි දිනක රාජ්‍ය සේවයේ අවස්ථාවක් ලබා නොදෙන බව ද අවධාරණය කර තිබෙනවා.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී කළ යුතු වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් ද , ජනාධිපතිවරයාගේ අවධානය මෙහිදී යොමුවූ අතර, ඒ අනුව, සැහැල්ලු වාහන සදහා වෛද්‍ය සහතික ලබා ගැනීමේදී ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවයි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.

පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සදහා සීමා කරන ලෙස එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දී තිබුණා.

+++++++++++++++++++++

***************************************

දිවියෙකු නිසා වනජිවි දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(31.12.2019 – 18:56 +0530 – hirunews.lk/sinhala)

දිවියෙකු පහරදීමේ සිද්ධීන් වාර්තා වීම නිසා, බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගය හෙවත් රජ මාවත භාවිත කරන පිරිස් මේ දිනවල අවධානයෙන් කටයුතු කළ යුතු බව වනජිවි දෙපාර්තමේන්තුව පවසනවා.

එම මාර්ගය දිවෙන්නේ යාල වනෝද්‍යානයේ කලාප අංක 03,04 සහ 05 ඔස්සේයි.

ඒ හේතුවෙන් වනසතුන් රාත්‍රී කාලයේ සහ දිවා කාලයේ මෙම මාර්ගය හරහා ගමන් කිරීම නිරන්තරයෙන් සිදුවනවා.

පසුගිය දින කිහිපයේ එලෙස ගමන් කළ කිහිපදෙනෙකු දිවියෙකුගේ පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි වනජිවි දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එහිදී යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකුට ගල්ගේ ප්‍රදේශයේදී පළමු පහරදීම සිදුව ඇති අතර, එම මාර්ගයේම දඹකොටේ ප්‍රදේශයේදී යතුරුපැදිවලින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට ද දිවියා පහරදී තිබුණා.

වනජිවි දෙපාර්තමේන්තුව සදහන් කළේ එකම දිවියෙකු මෙම පහරදීම සිදුකළා ද යන්න මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බවයි.

දිවියන්ගේ පහරදීමට ස්වභාවික හේතුන් මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් ද හේතුවිය හැකි බව වනජිවි දෙපාර්තමේන්තුවේ ඌව සහ දකුණු කලාප භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා ෴

***************************************

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සිදු වී ඇති බව කියන දුෂණ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක්

(31.12.2019 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පසු ගිය කාලයේ සිදු වී ඇති දුෂණ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තීරණය කර තිබෙනවා .

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෘත්තීය සමිති නියොජිතයන් විසින් තම කාර්යංශයේ පසු ගිය කාලයේ සිදු වී ඇති දුෂණ පිලිබදව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව දැනුවත් කර ඇති අතර එහිදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙනවා .

අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වෘත්තීය සමිති නියොජිතයන් විසින් ඉදිරිපත් කල කරුණු පිලිබදව දැඩි අවධානය යොමු කර ඉක්මනින් ගත හැකි සියළු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බවය.

මෙහිදී වෘත්තීය සමිති නියොජිතයන් විසින් පහත පැමිණිලි අමාත්‍යවරයා වෙත ඉදිරි පත් කර තිබෙනවා :

  • 2015 යහපාලන රජය ආරම්භයත් සමග අප සංගමය නියෝජනය කළ සාමාජිකයින් ඔවුන් සිටි සේවා ස්ථාන මාරු කොට ඒ සදහා ජාතික සේවක සංගමයේ නිලධාරීන් යෙදවීම.
  • සුදුසුකම් සම්පූර්ණ නොකරන ලද නිලධාරීන් සදහා දේශපාලන අවශ්‍යතා මත උසස්වීම් ලබා දීම.
  • අප සංගමයේ සාමාජිකයින් සේවා අවශ්‍යතා වලින් තොරව දිවයිනේ දුෂ්කර ප්‍රදේශ කරා ස්ථාන මාරු කිරිම.
  • තානාපති කාර්යාලවල කම්කරු අංශයේ නිලධාරින් පත් කිරිමේ දී සුදුසුකම් රහිත පුද්ගලයින් පත් කිරිම තුළින් සුදුසුකම් සහිත නිලධාරින් දැඩි අසාධාරණයකට ලක් කිරිම.
  • නුසුදුස්සන් තානාපති කාර්යාලවලට පත් කර යැවීම තුළින් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට සිදු වීම තුළ එම කාර්යාලවල කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත විදේශ රැකියා ක්ෂේත්‍රය කඩා වැටීමට ඉඩ හැරීම.
  • දේශපාලන වුවමනාවන් මත සහකාර කළමණාකාර තනතුරු හා පරිපාලන නිලධාරී තනතුරු ලබා දීමට කටයුතු කිරිම මත අසාධාරණයකට ලක් වූ නිලධාරීන් නීතී මගින් කටයුතු කිරීම තුළ කාර්යංශයේ පරිපාලනමය ගැටළු මතු වී තිබීම.
  • ජාතික සේවක සංගමයේ නිර්දේශලත් පිරිස් පමණක් තානාපති සේවයට බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලට කැදවිම.
  • තානාපති කාර්යාල වලට බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී ඉහළ ලකුණු ලබා ගත් නිලධාරීන් සිටිය දී අඩු ලකුණු ලබා ගත් නිලධාරීන් අදාළ පුරප්පාඩු වලට නිර්දේශ කොට අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරිම.
  • 2014 වර්ෂයේ කාර්යංශයේ ලියාපදිංචි වී විදේශගත වු ශ්‍රමික සංඛ්‍යාව 300,703 කි. එය 2018 වර්ෂය වන විට ලක්ෂ 2 කට වඩා අඩු වී තිබේ. වසර 4 ක් තුල ලියාපදිංචි වීම් 100,000 කට වඩා අඩු වී ඇත.
  • කාර්යංශ මුදල් අවභාවිත කිරීම.
  • අවාසි සහගත ගිවිසුම් යටතේ වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම.
  • ප්‍රචාරක ව්‍යාපෘති ලෙස හුවා දක්වමින් දේශපාලන කටයුතු සදහා කාර්යංශ මුදල් අවභාවිත කිරිම. (උදා : රන්පියාපත්)
  • කාර්යංශ නීතී රීතී අවභාවිතාවේ යෙදවීම.
  • පවුල් පසුබිම් වාර්තා ලබා ගත නොහැකි කාන්තාවන් 3500 කට අධික සංඛ්‍යාවක් විදේශගත කිරිමට කටයුතු සිදු කිරිම.
  • එතෙර රක්ෂණයක් හදුන්වාදෙමින් මෙරට මුදල් පිටරටට ගලා යාමට ඉඩ සැලසීම.
  • කටාර් රාජ්‍යයට ශ්‍රමිකයන් ලියාපදිංචියට රැකියා ඇනවුම් ලබා දීමේ දී පවතින නීතී රීති වෙනස් කරමින් කටයුතු කර රැකියා නියෝජත ආයතන කිහිපයකට පමණක් රැකියා ඇණවුම් ලබා දීම.
  • කාර්යංශ පුහුණුව සදහා පැවති නිති රීති වෙනස් කරමින් දින 02 ක ගෘහසේවිකා පුහුණුවක් හදුන්වා දෙමින් පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානය මූලික කොට ගෙන නුපුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරිමට ජාවාරමක් ක්‍රියාත්මක කිරිම.

වෘත්තීය සමිති නියොජිතයන් විසින් ඉදිරිපත් කල කරුණු පිලිබදව දැඩි අවධානය යොමු කර සියළු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇති බවයි සඳහන් වන්නේ ෴

***************************************

සුදුවෑන් මාධ්‍ය හමුවට මුදල් දුන්, එස්.පී.සී. හිටපු සභාපති රූමි රිමාන්ඩ් – රාජිත තවමත් රෝහලේ

(31.12.2019 – 16:40 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමග සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්, ලබන මස 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද (31) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔහු අද (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනා.

අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක් ද ඊයේ (30) නිකුත් කළා.

අද (31) උදෑසන අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාගෙන් පැය 6 කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණේ.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් අධිකරණයට දැනුම් දුන්නේ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ නඩුවේ සිව්වන සැකකරු ලෙස මොහොමඩ් හාසීම් මොහොමඞ් රූමි නම් කරන බවයි.

මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් මෙහෙයවා ඇති ප්‍රශ්න ගත මාධ්‍ය හමුව ගොතන ලද කතාවක් බව විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.

අදාළ මාධ්‍ය හමුවට සහභාගි වීම සදහා මෙම නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමග පළමුව රුපියල් ලක්ෂ 30 ක මුදලකට ගිවිසුම් ගතව ඇති අතර, කේවල් කිරීමෙන් අනතුරුව එය ලක්ෂ 20 දක්වා අඩු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ මුදල පළමු හා දෙවන සැකකරුවන්ට ලබාදී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි නමැත්තා බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැහැදිලි කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දින දෙකක් අධිකරණය මග හැර සිටි මෙම සැකකරුට නීතිය හමුවට ඉදිරිපත්වීමේ සිතුවිල්ල මතුව ඇත්තේ නඩුවේ තුන්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඊයේ (30) ඇප හිමිවීමෙන් පසුව බවයි.

2019 වර්ෂයේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරුට දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවෙක් වීමේ හැකියාවක් ඇත්දැයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී ප්‍රශ්න කළා.

එසේම, මෙම සැකකරු තේ කර්මාන්තශාලා දෙකක සහ පරිගණක සැකසුම් කර්මාන්තශාලාවක හිමිකරුවෙකු බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ සැකකරු මෙවැනි විශාල මුදලක් උපයා ගන්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කළ යුතු බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසයි එහිදී නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

සැකකාර මොහොමඩ් රූමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ බරපතල චෝදනා පවත්වාගෙන නොයන බවට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති බැවින් සහ මෙම නඩුවේ තුන්වන සැකකරුට ඇප ලබා දී ඇති හෙයින් තම සේවාදායකයා ද ඇප මත මුදා හරින ලෙසයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේ මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන්ට ලබාදුන්නේ යැයි සැලකෙන රුපියල් ලක්ෂ 20 ක මුදල තම සේවාදායකයා විසින්ම ලබාදුන් බව විමර්ශනවලදී තහවුරු වී ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ ඒ බව සැකකරුවන්ගේ ප්‍රකාශ වලින් තහවුරු වී ඇති බවයි.

එමෙන්ම මාධ්‍ය හමුව සැලසුම් කළ සාකච්ඡා දෙකකට සැකකාර රූමි මොහොමඞ් එක්ව සිටි බව නඩුවේ පළමු සැකකරුගේ ප්‍රකාශ වලින් තහවුරු වන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

සැකකරුට ඇප ලබාදීමෙන් විමර්ශනවලට බාධා එල්ල විය හැකි බව සදහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර මොහොමඩ් රූමි ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ වනවිටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ සුවදුක් විමසීම සඳහා අදත් දේශපාලනඥයින් කිහිපදෙනෙකු එහි පැමිණියා.

+++++++++++++++++++++

***************************************

විශ්වවිද්‍යාල බඳවා ගැනීම් සියයට 25 කින් ඉහළට

(31.12.2019 – 15:00 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේදී විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම සියයට 25 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ‘යුනිවර්සිටි කොලේජ්’ 100 ක් ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

වෙනත් අරමුණු සහ ජාතික අරමුණුවලට පටහැනිව, අනිසි ලෙස රාජ්‍ය සම්පත් භාවිත කරමින් පවත්වාගෙන යන ඩිප්ලෝමා සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රජයට පවරා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා ෴

***************************************

දියවැඩියා රෝගයට නව සොයාගැනීමක් – විඩියෝ (31.12.2019)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *