ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

• පෞද්ගලික බස් රථවල, ඝෝෂාකාරී සංගීතය තහනම්

• අභිනව 2020 වර්ෂය වෙනුවෙන් හිරු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය (විඩියෝ)

• මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න අකමැති අය වෙනම තරග කරන්න – ප්‍රසන්න රණතුංග

• ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීමට රාජ්‍ය සේවකයන් සම්ප්‍රදායෙන් බැහැරව ගොස් රාජකාරී කටයුතු කළ යුතුයි – භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල

• පුළුවන්නම් මව හිරේ දාපං… රිෂාඩ්ගෙන් අභියෝගයක් (විඩියෝ)

• මහාචාර්ය චන්න ජයසුමන පොදු පෙරමුණෙන් මෙවර මැතිවරණයට…

• මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්වලට කිසිසේත් අනුමැතිය දිය නොහැකි බව මන්ත්‍රී විජිත හේරත් කියයි (විඩියෝ)

• මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් චෝදනාවක් (විඩියෝ)

• රාජිතට ඇප ලැබීම ගැන විවිධ අදහස් (විඩියෝ)

• පාඨලී චම්පික අත්අඩංගුවට ගත යුතුයි – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය (විඩියෝ)

• ගම්මන්පිලගේ අපේක්ෂාව (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

(01.01.2020 – president.gov.lk)

නව වසර උදාවූයේ සමස්ත ශී‍්‍ර ලාංකේය ජනතාවම සිය මාතෘ භූමියෙහි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප‍්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දකිමි. එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිවය.

අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග‍්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙනි. දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය කර තිබේ. ඉන් අප ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව මාගේ දැඩි විශ්වාසය යි.

එසේම විනයගරුක සමාජයක් තුළ ශක්තිමත් වන සුරක්‍ෂිත රටක් ජනතාවගේ ප‍්‍රමුඛ අපේක්‍ෂාව බව ද මම දනිමි. වත්මන් හා අනාගත දරු පරපුරේ බොහෝ බලාපොරොත්තු මල්ඵල දරනුයේ එවන් සමාජයකය. අප වැඩිහිටියන් ලෙස, ලැබූ නව වසරේ එකී ඉලක්ක කරා ළඟාවීමට දැඩිව අත්වැල් බැඳගත යුතුය.

නව රජය රටට ලෙන්ගතු ජනතාවගේ එකමුතුවේ ජයග‍්‍රහණයකි. ජනතා අපේක්‍ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රට තුළ අප ඉඩක් තබන්නේ නැත. ඒ හුදෙක්, සැමට එකාවන්ව සතුටින් ජීවත් විය හැකි යහපත් පරිසරයක් නිර්මාණය කිරීම පිණිසය.

නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසය යි, ප‍්‍රාර්ථනය යි.

අපේ සමස්ත ජනතාවටත්, අප දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උරුමවන නව වසරක් වේවා යි මම ඉතසිතින් ප‍්‍රාර්ථනා කරමි.

– ගෝඨාභය රාජපක්ෂ

***************************************

***************************************

පෞද්ගලික බස් රථවල, ඝෝෂාකාරී සංගීතය තහනම්

(01.01.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

අද (01) සිට පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය තහනම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඝෝෂාකාරී ගීත වාදනය වෙනුවට සුබාවිත ගීත දහසක් ඇතුළත් සංයුක්ත තැටි බස් රථවලට බෙදාහැරීමට කටයුතු කරන බවයි.

පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී ලෙස ගීත හා වීඩියෝ පට වාදනය කරන්නේ නම් 1955 ක්‍ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

***************************************

අභිනව 2020 වර්ෂය වෙනුවෙන් හිරු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය

(01.01.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

***************************************

මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න අකමැති අය වෙනම තරග කරන්න – ප්‍රසන්න රණතුංග

(01.01.2020 – 14:05 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන් තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලීමට අකමැති අයට වෙනම තරග කරන්නැයි පවසා ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම තරග කළයුතු බවයි.

ඉදිරි මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ඒ ආසන ලබා ගත යුතු ජන්ද ඉලක්ක ලබා දීම සදහා මහර හා වත්තල ආසන වල පළාත් පාලන නියෝජිතයන් සමග අද (01) පැවති සකච්ජාවක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා :

“පසුගිය පළාත් ගැන මැතිවරණයේදී අපිට මේ වගේම බලපෑමක් ආවා. බුලත් කොලයෙන් එකතු වෙලා තරග කරමු කියලා.හැබැයි මම එදත් විරුද්ධ වුනා.

මම එදා කිව්වා එහෙම වුනොත් මම තනිවම හරි පොහොට්ටුවෙන් තරග කරනවා කියලා.එදා අපි බුලත් කොලයෙන් ඉල්ලුවා නම් මේ තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන්නේ නෑ.

ඒ වගේම එහෙම වුනානම් අපිට ඉන්න වෙන්නේ බුලත් කොලේ හිර කාරයෙක් වෙලා බුලත් කොලේ ප්‍රධානියා වුණ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රූකඩ වෙලා තමයි එහෙම වුනානම් අපිට වැඩ කරන්න වෙන්නේ. අපි පොහොට්ටුව හැදුවේ අමාරුවෙන්.

හැබැයි ඒ පොහොට්ටුවට තමයි අද ජනතාව කැමති. ඒ හින්දා ඉදිරි මහ මැතිවරණය අපි පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන්න ඕන කියලා අපි අපේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ. අපේ පක්ෂයේ ඉන්නේ ජනතාවගේ හද ගැස්ම දැනෙන නායකයෝ. ඒ නිසා අපේ ඉල්ලීම ඉටුවන බව අපිට විශ්වාසයි.

2019 අපිට සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක්. 2020 අපිට අභියෝගාත්මක අවුරුද්දක්. අපි මේ අවුරුද්දේ මහ මැතිවරණයකට වගේම පලාත් සභා මැතිවරණයකටත් මුහුණ දිය යුතුයි.

මේ මැතිවරණ දෙකෙන්ම අපි විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබන එක ඒකාන්තයි. පසුගිය ජනාධිපති වරණයේ දී අපි ජන්දය ඉල්ලුවේ මහින්ද මහත්තයා වෙනුවෙන්. මහින්ද මහත්තයා වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවන්න කියලයි අපි කිව්වේ. හැබැයි අපි මේපාර ජන්දය ඉල්ලන්නේ මහින්ද මහත්තයා අගමැති කරන්නයි.”

***************************************

ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීමට රාජ්‍ය සේවකයන් සම්ප්‍රදායෙන් බැහැරව ගොස් රාජකාරී කටයුතු කළ යුතුයි – භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල

(01.01.2020 – biz.adaderana.lk)

රටේ සියලු ම ජනතාව තුළ නැවුම් අපේක්ෂාවන් දැල් වී ඇති මේ මොහොතේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ලෙස සියලු දෙනා සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගොස් ජනතාවට සේවය කළ යුතුව ඇතැයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කරයි. සාම්ප්‍රදායික භාණ්ඩාගාරය වෙනුවට තරුණ නායකත්වයට අවස්ථාව ලැබෙන අනාගයක් නිර්මාණය කිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවත්, ඒ වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස තමා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ඒ මහතා කියා සිටියි. 2020 වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම වෙනුවෙන් පැවැති උත්සවයට අද (01) පෙරවරුවේ එක්වෙමින් ලේකම්වරයා මේ බව කියා සිටියේ ය.

එහි දී සේවක පිරිස අමතමින් ආටිගල මහතා :

“අපි හැම දෙනාම රාජකාරී කටයුතු කරනවා. නමුත් මම හිතන්නෙ තව ඒක දියුණු කර ගන්න පුළුවන්. කිසිම වෙලාවක නිකරුණේ කාලය ගත කරන්න එපා. එක එක්කෙනාට විරුද්ධව පෙත්සම් ගහන්න, මූණු පොතේ කාලය ගත කරන්න කාලය නාස්ති කරන්න එපා. ඒකෙන් ඒ වෙලාවට තෘප්තියක් ලැබෙයි. ඊට වඩා යහපතක් වෙන්නෙ නෑ. නමුත් ඒ වෙලාව තමන්ට ආපු රාජකාරී ලිපියකට උත්තර ලියන්න වැය කරන්න පුළුවන්. ‘ලිපිවලට උත්තර ලියන්නෙ නෑ, අනිත් අමාත්‍යාංශවලට සහ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්නේ නෑ’ කියල කාලයක් අපට ලොකු චෝදනා තිබුණා. 2019 න් ඒ සියල්ල අමතක කරල අදාළ රාජකාරිය කාර්යයක්ෂමව ඉටු කිරීමට ඉදිරිපත් වන්න” යැයි ඉල්ලා සිටි ලේකම්වරයා එහි දී තීරණ ගැනීමේ යම් වරදක් සිදු වුවහොත් එය නිවැරැදි කරගෙන ඉදිරියට යෑමේ අවශ්‍යතාව ද අවධාරණය කළේ ය.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරල තියෙනවා. ඒක දැන් රටේ ජාතික වැඩපිළිවෙළ බවට පත් වෙලා තියෙනවා. ජනතාව තුළ නැවුම් බලාපොරොත්තු ඇති වෙලා. ඒ අපේක්ෂා ඉටු කරන්න අපි සාම්ප්‍රදායකත්වයෙන් මිදිය යුතුයි. තරුණ නායකත්වයට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගන්න. වරදින්න පුළුවන්. නමුත් අපි වැරැදි හදාගෙන ඉදිරියට යමු. අලුත් අදහස් ඕනෑම කෙනෙකු ළග තියෙන්නෙ පුළුවන්. සමහර වෙලාවට අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ වාහනේ පදවන රියදුරු මහත්මයා ළග අදහස් තියෙන්න පුළුවන්. කාර්යාල කාර්ය සහයක මහතා ළග අදහස් තියෙන්න පුළුවන්. තමන් අධ්‍යක්ෂ ජනරාල් කියල ඒ අයගේ අදහස් නොසලකා හරින්න එපා” යැයි ද හෙතෙම අවවාද කළේ ය.

“රට එකතැන පල් වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ව්‍යාපාර කඩා වැටිල, ඔවුන්ගෙ දේපොළ උකසට සින්න වෙන්න යනවා. අපේ රටේ 60% ක් විතර තියෙන්නෙ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ නිසා තමයි රජය ඔවුන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වල යම් සහන ප්‍රමාණයක් දෙන්න තීරණය කළේ. අපි ඉදිරි සතිය තුළ බැංකු මට්ටමෙන් ඔවුන්ට සහන ලබා දෙන්න කටයුතු කරනවා.” යැයි ද එස්.ආර්. ආටිගල මහතා වැඩිදුරටත් පැවැසීය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ඇතුළු සියලුම දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. පසුව පැවැති සාම්ප්‍රදායික තේ මේසය සඳහා සංවර්ධන බැංකු කටයුතු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද සහභාගී විය ෴

***************************************

පුළුවන්නම් මව හිරේ දාපං… රිෂාඩ්ගෙන් අභියෝගයක්

(01.01.2020 – 11:06 +0530 – lankaleadnews.com)

මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ ‌මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

ඔවුන් ආණ්ඩුව කරන සමයේ නැවත පදිංචි වීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ඉන්පසුව තමන්ට දෝෂාරෝපණය කරන බව ඔහු පවසා සිටියා.

වත්මන් ආණ්ඩුවේ බොහෝ දෙනෙකු පවසන පරිදි තමන් විසින් විල්පත්තු වනය විනාශ කර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවද ජනහමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

මහාචාර්ය චන්න ජයසුමන පොදු පෙරමුණෙන් මෙවර මැතිවරණයට…

(01.01.2020 – divaina.com)

නිරන්තරයෙන්ම ජන ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන රජරට වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරි මැතිවරණයේදී පොදු පෙරමුණෙන් අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට තරග කරන බව පැවසීය.

2002 පටන් රජරට පුරා ඇවිදිමින් රජරටට වහවැටී ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ විවිධ පර්යේෂණ පවත්වමින් ඊට බලපා ඇති හේතු සාධක සොයා ගත් නමුත් රට පුරා පැතිරෙමින් පවත්නා වකුගඩු වසංගය නිෂේධනය කිරීමට තමන්ට නිල වශයෙන් ශක්‌තියක්‌ ලබා ගැනීම පිණිස මැතිවරණයට ඉදිරිපත් වන්නේ යෑයි මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

කෘෂි කාර්මික වකුගඩු රෝගය මේ රටින් අතුගා දැමීම සඳහා තමන් දිවිහිමියෙන් සටන් කරන්නේ යෑයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴

***************************************

මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්වලට කිසිසේත් අනුමැතිය දිය නොහැකි බව මන්ත්‍රී විජිත හේරත් කියයි

(02.01.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සඳහා කිසිසේත්ම අනුමැතිය ලබාදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, තවත් පාර්ශ්වද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

19 වෙනස් කරන්න 21 කෙටුම්පත් කරයි

(01.01.2020 – 19:10 +0530 – sinhala.adaderana.lk)

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව ගැසට් කර ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කිරීමටත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් යෝජනා වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුව 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර මැතිවරණ දිස්ත්‍රික්කයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලබාගත යුතුව ඇති සියයට 5 ක ඡන්ද ප්‍රතිශතය වෙනුවට පෙර තිබූ පරිදි සියයට 12 දශම 5 දක්වා වැඩිකිරීම සඳහා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් යෝජනා කර ඇත්තේ, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය වෙනුවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසා ජනාධිපතිවරයා විසින් පත්කිරීම් සිදුකළ යුතු බවයි.

එසේම නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන් යන තනතුරු සඳහා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙනුවට අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පත්කිරීම සිදුකිරීම් කළ යුතු බවට සංශෝධනය කර ඇත.

‍ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යධුරය දැරිය යුතු අතර වෙනත් යම් අමාත්‍යධුරද ඔහු යටතේ පවත්වාගෙන යාහැකි ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළ සඳහන් වෙයි.

+++++++++++++++++++++

***************************************

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් චෝදනාවක්

(02.01.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වී එය අත්හිටවූ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන් සමග උරණව කටයුතු කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් චෝදනා කරනවා.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

***************************************

රාජිතට ඇප ලැබීම ගැන විවිධ අදහස්

(02.01.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලැබීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

පාඨලී චම්පික අත්අඩංගුවට ගත යුතුයි – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

(02.01.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා එහි කැඳවා තිබුණේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අදාළවයි.

***************************************

ගම්මන්පිලගේ අපේක්ෂාව

(02.01.2020 – 18:48 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තෙක් තමන් බලා සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදීයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් සාධාරණයක් ඉටුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද (02) මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන් උදෙසා පැවති වැඩසටහනකට සහභාගි වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මාධ්‍ය වේදීන් පාස්කු ප්‍රහාරය සම්න්ධයෙන් විමර්ශන සිදුකරණ ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව විමසුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *