සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ සංවිධායක ගයන්ත

(02.01.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නම් මෙලෙස පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

මේ අතර, 08 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායානුකූලව, උත්සවාකාරයෙන් හෙට (03) පෙරවරු දහයට ආරම්භ කිරීම සඳහා සියළු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජනාධිපතිවරයා එහිදී නව රජයේ ප්‍රතිපත්තිය, රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අනතුරුව පාර්ලිමේන්තුව පස්වරු එක දක්වා කල් තැබෙන අතර, යළි රැස්වන පාර්ලිමේන්තුවේ කටයුතු න්‍යාය පත්‍රයට අනුව සිදුකිරීමට නියමිතයි.

මේ අතර, පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන තනතුරු ප්‍රකාශයට පත්කිරීමටද නියමිතව තිබෙනවා.

ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ තනතුරු සඳහා නියෝජිතයින් පත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (02) පස්වරුවේ රැස්වුණා.

ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

විපක්ෂ නායක ධූරය සඳහා සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නිල වශයෙන් රැස්වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක නම් කර තිබෙනවා.

+++++++++++++++++++++

දිනේෂ්ට සභා නායකත්වය – ජොන්ස්ටන්ට ප්‍රධාන සංවිධායක ධූරය

(02.01.2020 – 17:25 +0530 – sinhala.adaderana.lk)

මීලඟ පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (03) දිනයේදි පත් කිරීමට නියමිතව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත් වුණි.

මේ අතර අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම හෙට (03) පෙ.ව 10:00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

පෙ.ව 09:00 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ වන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතයි.

අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

එහි දී කථානායක කරූ ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිත අතර, ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඒ සමගම සිදුවේ.

පාර්ලිමේන්තු මන්දිරයේ ප්‍රධාන ප්‍රවේශ ද්වාරය අසලදී ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කිරීම සිදු කරනු ලැබේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැදවාගෙන යාම පෙ.ව. 10:00 ට සිදු කෙරේ.

එහිදී නියෝජ්‍ය වේත්‍රධාරි ඉදිරියෙන්ම ගමන් කරන අතර වේත්‍රධාරිවරයා අනතුරුව ගමන් කරයි.

ජනාධිපතිවරයා ගමන් කරන්නේ ඉන් අනතුරුවය.

කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ඇතුළු ලේකම් මණ්ඩලය ඊට පසු පසින් ගමන් කරති.

ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද ජනාධිපිතිවරයා විසින් සිදු කෙරේ.

පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් ප.ව. 01:00 ට දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුනු ලැබේ.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුතුමන්, උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු 600 කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වීමට නියමිත බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

+++++++++++++++++++++

උත්තමාචාර ජනපති නියමයෙන් අවලංගුයි

(03.01.2020 – 08:17 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු ලැබීය.

ඒ අනුව අද (03) දිනයේ අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භකිරීමේදී සාම්ප්‍රදායිකව සිදුකෙරනෙ අශ්වාරෝහකයින් පෙරටුකරගත් විශේෂ රථ පෙරහර සහ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය ඇතුළු ආචාර වෙඩිමුර 21 පැවැත්වීම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්හිටුවා තිබීමද විශේෂත්වයක්.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, කථානායකවරයාගේ පැමිණීම උදෑසන 09:30 ට බලාපොරොත්තු වන බවයි.

ඉන්පසුව 09:35 ට අග්‍රාමාත්‍යවරයා හා එම මැතිණියගේ පැමිණීම බලාපොරොත්තු වන බවත් කියා සිටි ඒ මහතා, ජනාධිපතිවරයා පැමිණීම සමඟ මෙවර එතුමාගේ ධජය උඩුකුඹු කිරීමක් සිදු කරන බවත් පැවසීය.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, හා නීතිපතිතුමා ඇතුළු 600 කට අධික සම්භාවනීය අමුතත්තන් පිරිසක් සහභාගී වීමට නියමිතයි.

සබාවාරය ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි මුලසුන ගනු ලබයි.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සහ රැස්වීම කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය එහිදී පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කියවීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට පෙර මෙය රාජාසන කථාව ලෙස හැඳින් වූ අතර වත්මන් ක්‍රියාදාමය අනුව එය විවාදයකට බදුන් කිරීමක් හෝ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුකිරීමට ලක් කරන්නේ නැහැ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබෙන අතර පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙන්නේ පස්වරු 01:00 ටයි ෴

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : මොරගහකන්දේ කාන්දුව ගැන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගෙන් සහතිකයක්

(02.01.2020 – 18:59 +0530 – hirunews.lk/sinhala)

මොරගහකන්ද ජලාශයේ කාන්දුව සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් බියක් ඇති කර ගත යුතු නොවන බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතා පවසනවා.

ජලාශයේ ප්‍රධාන වේල්ලට ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් සිදුවන බවට ‘හිරු සී.අයි.ඒ.’ මීට පෙර අනාවරණ කළා.

උපරිම ජල ධාරිතාව ලැබීමත් සමග ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළ කොටසේ කෙළවරක ජල කාන්දුවක් හට ගෙන තිබූ බවට සේවකයන් සහ ආරක්ෂක නිලධාරින් බළධාරින්ට දැනුම්දීමත් සමඟයි මේ පිළිබඳව බලධාරින් පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබුණේ.

චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල නිර්මාණය කර ඇත්තේ මීටර් 25 න් 25 ට කොන්ක්‍රීට් කුට්ටි එක් කරමින් වන අතර, ඒවා එකිනෙක යා කර ඇති ස්ථානයකින් ජල කාන්දුව සිදුවන බවට දැනට සිදුකරන ලද පරික්ෂා කිරීම් වලදි අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳව බියක් ඇති නොකර ගන්නා ලෙසයි එම ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම ජල කාන්දුව සුළුවෙන් නොතකා විදේශ විශේෂඥ කණ්ඩායමක් ගෙන්වා පරීක්ෂා කර වාර්තාවක් කැඳවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ලේදී අද (02) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව නිසි සැලකිල්ලක් නොදැක්වුවහොත් රට මැද සුනාමියක් වැනි ව්‍යවසනයක් ඇති විය හැකි බවයි.

***************************************

අම්බලන්තොට රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

(02.01.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට රුහුණු රිදියගමප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ අවුරුදු 27 සහ 28 වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙක්.

සිද්ධිය පිළිබඳ අම්බලන්තොට පොලිසිය විමර්ශණ සිදු කරනවා.

***************************************

ලබන සදුදා (06) මීගමුව ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(02.01.2020 – 14:30 +0530 – hirunews.lk/sinhala)

මීගමුව, මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා (06) පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බවයි.

ඒ අනුව, සදුදා (06) පෙරවරු 9 සිට අගහරුවාදා පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මීගමුව මහනගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ , දූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසීයාවත්ත, පමුණුගම, කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය ඇතුළු කටාන යන ප්‍රදේශවලටයි ෴

***************************************

යුධහමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ අරඹයි – පොලිස් මාධ්‍ය කොට්ඨාශයට නව අධ්‍යක්ෂවරයෙක්

(02.01.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ අද (02) පෙරවරුවේ රාජකාරි ආරම්භ කළා.

ඒ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදීයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා එම ධූරයෙන් පෙරේදා විශ්‍රම යනු ලැබුවා.

ඒ අනුවයි එම තනතුරේ වැඩබැලීම සඳහා යුද හමුදාපතිවරයාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුවේ.

මේ අතර, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ලෙස පත්කර තිබෙනවා.

එම කොට්ඨාශය සඳහන් කළේ ඔහු ඊයේ (01) දිනයේදී එම ධුරයේ රාජකාරි ආරම්භ කළ බවයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, මොහු මීට පෙර පොලිස් නීති කොට්ඨාශයේ රාජකාරි කළා.

***************************************

නොලැබුණු දේ ගැන පසුතැවෙන බොහෝ පිරිස් අතර ලද දෙයින් ජීවිතය දිනන්න උත්සාහ කරන පිරිසක්

(01.01.2020 – 21:57 +0530 – hirunews.lk/sinhala)

බොහෝ දෙනෙකු තමන්ට නොලැබුණු දේ ගැන පසුතැවෙද්දි තවත් පිරිසක් තමන්ට ලද දෙයින් ජීවිතය දිනන්න උත්සාහ කරනවා.

එවන් පිරිසක් පිළිබඳ පුවතක් අපට සේරුවාවිල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ නව වසරේ ජීවිතේ දුර ගමනක් යන්නයි ඔවුන්ගේ උත්සාහය.

***************************************

සහල් හිඟයට හේතුව තමන් නම් තම සහල්මෝල් රජයට පවරාදීමට සූදානම් බව ඩඩ්ලි සිරිසේන කියයි

(01.01.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

රටේ සහල් හිඟයට හේතුව තමන් බව පවසන්නේ නම් සිය හිමිකාරීත්වය සහිත සහල්මෝල් රජයට පවරාදීමට සූදානම් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්.

***************************************

උදව්වට ආ මුදලාලි ලොරියට යට වූ හැටි – සීසීටීවී දර්ශන සහිතයි

(02.01.2020 – 22:30 +0530 – sinhala.adaderana.lk)

යතුරුපැදියකින් ඇදවැටුණු කාන්තාවක් බේරාගැනීමට ගිය පුද්ගලයකු එම මොහොතේ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් කන්ටේනරයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වුණි.

පස්යාල මංසන්ධියේ වෙළෙඳසැලක් අසලදී මෙම අනතුර සිදුව තිබේ.

අදාළ අනතුර අසළ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

***************************************

එජාපය කුජීත වෙලා ඉන්නේ – පියල් නිශාන්ත

(02.01.2020 – 21:23 +0530 – sinhala.adaderana.lk)

එතනෝල් ආනයනය තහනම් කිරීමේ අරමුණ, දේශීය කර්මාන්ත නගා සිටුවීම බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව පැවසීය.

“පැඟිරි ගොවියෝ ගොවිතැන් කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ කාලේ රු.7500 ට තිබුණ ලීටරය පහුගිය කාලේ රු.1500 ට අඩුවුණා. රටට කෙමිකල් එකක් ගෙන්වලා.

පහුගිය ආණ්ඩුව ගොවියා නැතිකළා. ඒ ගේන දේ සම්පූර්ණයෙන් අත්හිටුවනවා. අගමැතිතුමා එක්ක සාකච්ඡා කළා සෙවනගල, පැල්වත්ත සීනි කර්මාන්තශාලාවල ගැටලු ගැන.

පැල්වත්ත සීනි කර්මාන්තශාලාව පාඩු ලබනවා. නිෂ්පාදනවලට මිලක් නැහැ. වැඩි මිලට පිටරටින් එතනෝල් ගෙන්වනවා. සෙවනගල, පැල්වත්ත කර්මාන්තශාලාවල නිපදවන එතනෝල් මෙහේ අය ගන්නේ නැහැ. ජනවාරියේ උක් කපලා සීනී හදද්දි. අපේ එතනෝල්වලට කරන්න දෙයක් නැහැ. අඩුම මිලකට ගන්න හදනවා. රජය තීන්දු කළා පිටරටින් එතනෝල් ගෙන්වීම තහනම් කරන්න.”

මාධ්‍යවේදියා – ඔබතුමාලා හෙට සුළුතරයක් තියාගෙන ආණ්ඩුවක් ලෙස රැස්වෙන්න යනවා. කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ?

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා – කිසි ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුව කල්තියන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ ලැබෙන පළමු අවස්ථාවෙන්ම. ජනපති එය කරයි කියලා හිතනවා.

මාධ්‍යවේදියා – ඒ විදිහට පාර්ලිමේන්තුව දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද?

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා – ඒ අය 46 කින් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියා. අපිට 96ක් ඉන්න නිසා ගැටලුවක් නැහැ.

මාධ්‍යවේදියා – රාජිත සේනාරත්ත මහත්මයා වගේ කණ්ඩායම් ඉදිරියට සම්බන්ධ කරගැනීමක් වෙනවාද?

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා – කිසිම හේතුවක් නිසා ගන්නේ නැහැ

මාධ්‍යවේදියා – විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන්?

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා – මේ වෙන කොට එක්සත් ජාතික පක්ෂය අනාත ‘මාරුතේ කුණාටු සාගරේ’. අනාත වෙලා කුජීතවෙලා ඉන්නේ. විපක්ෂයේ කාර්යය කරන්න කලින් පක්ෂයේ අර්බුදය විසඳගත්තොත් හොඳයි.

***************************************

එජාපය පෙබරවාරියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ උත්සාහයක – ඇමති විමල් වීරවංශ

(02.01.2020 – 16:16 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන පෙබරවාරී මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මහනුවර ලක්සල ආයතනය නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා :

“එක්සත් ජාකිත පක්ෂය තුළ සාකච්ඡාවක් වෙනවා මාර්තු තුන්වෙනිදායි පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිද්ධ කළහොත් අප්‍රේල් 26 වෙනි දවසක තමයි මැතිවරණය එන්නේ.

එතකොට අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත් නැවත සිහිපත් වීමක් මේ රටේ සිද්ධවෙනවා. ඒක තමුන්ට දේශපාලන වශයෙන් තමාට විශාල අගතියක් වෙනවා ඒක නිසා. කොහොමත් විසුරුවන්න යන නිසා පෙබරවාරීයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයත් ලබා දීලා පාර්ලිමේන්තුව විසුරුවන්න. පෙබරවාරී මසයේ ඇතුළත කටයුතු කළ යුතුයි කියලා. එක්සත් ජාතික පක්ෂය තුළ දැන් සාකච්ඡා වෙමින් තියෙනවා.”

***************************************

‘අද දෙරණ උකුස්සා’ අනාවරණය ඵලදරයි

(02.01.2020 – 22:23 +0530 – sinhala.adaderana.lk)

ගම්පොල මල්ගොල්ල ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක තේ කුඩු සඳහා සීනි හා රසායනික ද්‍රව්‍ය එක්කරන බව ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (01) රට හමුවේ තොරතුරු අනාවරණ කළේය.

ඉන් පැය 24 ක් යාමට පෙර ක්‍රියාත්මක වූ තේ මණ්ඩලය අදළ සමාගමේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ගම්පොල මල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ තේ කර්මාන්ත ශාලාවක කලක පටන් තේ කුඩු නිෂ්පාදනයේදී බර වැඩි කරගැනීම සඳහා රසායන ද්‍රව්‍ය හා සීනි එක්කරන බවට ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (01) දිනයේදී රට හමුවේ තොරතුරු අනාවරණ කළේය.

‘අද දෙරණ උකුස්සා’ මෙම අනාවරණය සිදුකර පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්, කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් හා තේ මණ්ඩලයේ නිලධාරීන් එක්ව අද (02) දිනයේදී එම ස්ථානය පරීක්ෂා කළේය.

තේ කොමසාරිස් වරයා පැවසුවේ මෙම පරීක්ෂණයෙන් අනතුරුව අදාල තේ කර්මාන්ත ශාලාවේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි.

***************************************

මෛත්‍රී චමිලා ආදර අන්දරය පුංචි තිරයට නැගූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියෙන් නෙරපයි

(02.01.2020 – gossiplankanews.com)

නව රජය යටතේ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස මෑතකදී පත් කළ සුදර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඔහු නැවත පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතිවූ විවේචන සලකා බැලීමෙන් පසු ජනපති නියමයෙන් එම තනතුරෙන් ඔහු ඉවත් කළ බවට ආරංචි තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද ලිඛිත දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ඔබ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්) වශයෙන් පත්කර ඇති සුධර්මන් රදලියගොඩ වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර, ඉවත් කල බව තමා වෙත සහ ජනාධිපති ලේකම් වෙත කඩිනමින් දැන්වීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්, ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා විසින් ඊයේ (31) පෙරවරුවේ දී ITN සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණ.

පසුගිය දෙසැම්බර් 27 වනදා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙකු වශයෙන්, ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස වැඩභාර ගනුලැබූ සුධර්මන් රඳලියගොඩ අබලි යකඩ සම්බන්ධ ගනුදෙනුවක් පිළිබඳව පසුගිය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ විශාල කථාබහට ලක්වූ අතර ඔහුව ඒ කාලයේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගෙන සිටීම හා ඔහු ප්‍රසිද්ධියේ එකල නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග සාමීචියේ යෙදීම කථාබහට ලක්විය.

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා වශයෙන් ‘මඩ දේශපාලනයේ’ නිරතවූවෙකු ලෙස ඔහු ප්‍රකට වූ අතර 2015 ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන චමිලා නමැති තැනැත්තියක සමග ආදර අනියම් සම්බන්ධයක් නිසා පවුලක් අනාථවූ බව දක්වමින් චමිලාගේ සැමියා හා දරුවන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඒවා රූපවාහිනී තිරයේ ප්‍රබන්ධාකාරයෙන් ගෙන ඒමටද මූලික විය.

***************************************

කුලියට වාහන ලබාගෙන වංචා කළ කළමනාකරුවෙක් රිමාන්ඩ්

(02.01.2020 – mawbima.lk)

අහුලාගත් හැඳුනුම්පතක් උපයෝගි කර ගනිමින් එහි ලිපිනයට පුවත්පත්වල දැන්වීම් පළකර කුලී පදනම මත වාහන ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු ගාල්ල පොලිසියේ ඉල්ලීමක් පරිදි බන්ධනාගාරය මඟින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ලබන 9 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද්දේ තිස්සමහාරාමයේ පදිංචි මාතර නගරයේ 36 හැවිරිදි මූල්‍ය සමාගමක සහකාර කළමනාකරුවෙකි.

ගාල්ල පොලිසිය මඟින් අධිකරණයට වාර්තා කරන ලද කරුණු අනුව පසුගිය අගෝස්තු 18 වැනි දින ඉරිදා පුවත්පතක කුලී පදනම මත වාහනයක් අවශ්‍ය බවට දැන්වීමක් පළකර තිබී ඇත. ඒ අනුව පොළොන්නරුව ප්‍රදේශයේ කාන්තාවක් දැන්වීමේ තිබූ දුරකථන අංකයට කතාකොට තමාගේ මෝටර් රථය ලබාදීමට කැමැති බව පවසා ඇත.

දැන්වීම පළකර තිබූ පුද්ගලයා පවසා ඇත්තේ තමා උණවටුනේ පදිංචිව සිටින නිසා වාහනය රැගෙන එන ලෙසය. ඒ අනුව වාහනය හිමි කාන්තාව ඇයගේ සැමියා සහ දරුවාද සමඟ උණවටුනේ නිවෙසට පැමිණ ඇති අතර එහිදී ඔහු රුපියල් හැට දහසක මාසික කුලියට මෝටර් රථය ලබාගැනීමට කැමැත්ත පළකර ඇත.

පසුව ඔවුන් ගිවිසුම් අස්සන් කිරීම සඳහා ගාල්ලේ නීතිඥවරියක් හමුවට ගොස් ඇති අතර නීතිඥවරිය ඔහුගේ හැඳුනුම්පත ඉල්ලා පරික්ෂා කර බැලූ විට ලිපිනය වීරවිල බවට සඳහන්ව තිබීමත් එහි ඡායාරූපය වෙනස් නිසා සැක සිතී ඒ පිළිබඳව විමසූ විට පවසා ඇත්තේ උපන්ගම වීරවිල වන අතර දැන උණවටුනේ නිවෙසක් ගෙන පදිංචිව සිටින බවය.

වාහන අයිතිකාර කාන්තාවට එය ගැටලුවක් නොවූ නිසා ගිවිසුම අස්සන් කිරීමෙන් පසු දෙපාර්ශ්වයම මෝටර් රථයෙන් ගාල්ලට පැමිණ ඇති අතර ඔහු ගාල්ල නගරයේදී වාහන හිමි කාන්තාවට රුපියල් පහළොස්දහසක් දී මාස් පතා කුලිය බැංකු ගිණුමේ තැන්පත් කරන බව පවසා ඇත. ඒ අනුව මෝටර් රථය ඔහුට දුන් ඇය සැමියා සහ දරුවාද සමඟ ගාල්ලේ සිට බස් රථයෙන් පොළොන්නරුවට ගොස් ඇත. එහෙත් නියමිත දිනයේ ගිණුමට මුදල් බැරවී නොතිබූ නිසා විමසූවිට ඔහු පවසා ඇත්තේ දින තුනකින් දෙන බවය. දින කිහිපයක් ගත වුවත් මුදල් නොලැබීම නිසා ඇය ගාල්ලට පැමිණ උණවටුනේ නිවෙසට ගොස් ඇත. එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයකු පවසා ඇත්තේ එය ‘විලා’ එකක් වන අතර කුලියට දෙන බවය. මෙයට මාස දෙකකට පමණ පෙර යුවළක් කුලියට ගෙන සිට ගිය බවත් එම පුද්ගලයා පවසා ඇත.

ඉන්පසුව ඇය ගාල්ල පොලිසියට සිද්ධිය පැමිණිලි කර තිබේ. පොලිසිය ඔහුගේ හැඳුනුම්පතේ සඳහන්ව තිබූ වීරවිල ලිපිනය සොයා ගිය විට එම හැඳුනුම්පත බාබර් සාප්පුවක් පවත්වාගෙන යන පුද්ගලයකුගේ බවට අනාවරණය කරගෙන ඇත. එම පුද්ගලයා පවසා ඇත්තේ මෙයට කලකට පෙර තමාගේ හැඳුනුම්පත අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙන බවය.

ඉන්පසුව පොලිසිය ඔහුගේ ජංගම දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් අදාළ දුරකථන සමාගමෙන් ලබාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම අංකයෙන් කතා කර ඇත්තේ මෝටර් රථය හිමි කාන්තාවට පමණක් බවය. එම සිම්පත අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට නිකුත් කර ඇති එකක් නිසා පොලිසිය එම පුද්ගලයා සොයාගෙන ගිය විට එම පුද්ගලයාද පවසා ඇත්තේ තමාගේ හැඳුනුම්පත 2016 වසරේ අස්ථානගතවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිලි කර තිබෙන බවය. මේ අතර මෝටර් රථය හිමි කාන්තාව මූල්‍ය සමාගම්වල වාහන අත්පත් කර ගන්නා පිරිසටද වාහනයේ අංකය සහ විස්තර ලබාදී එය සුදුපාට වාහනයක් බවත් සෝදිසියෙන් සිටින ලෙසත් ඉල්ලා ඇත. ඒ අනුව වාහන අත්පත් කර ගන්නා පිරිසක් මාතර නගරයේදී එම අංකය සහිත කළු පාට වාහනයක් නවතා පරික්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයා පවසා ඇත්තේ තමා මූල්‍ය ආයතනයක සහකාර කළමනාකරු බවය.

ඒ අවස්ථාවේ වීරවිල ලිපිනය සඳහන් හැඳුනුම්පතද ඔහු සන්තකයේ තිබී ඇත. පසුව මාතර ඔහුගේ කුලී නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී කුලී පදනම මත පොළොන්නරුවේ කාන්තාවගෙන් ලබාගත් මෝටර් රථයද එම නිවෙසේ තිබී ඇති අතර එහි අංක තහඩු ගලවා මෙම මෝටර් රථයේ සවිකර ඇති බවත් සොයාගෙන ඇත.

පසුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. මෙම අපරාධයට සැකකරු අවශ්‍ය බව ගාල්ල පොලිසිය කියා සිටීමෙන් පසු බන්ධනාගාරය විසින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ, සැරයන් නන්දසිරි (20470) කාන්තා පොලිස් කොස්තාපල් ඔෂානි (314) යන නිලධාරීහු විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – තරිඳු භාග්‍ය විජේහේවා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *