නිකවැරටියේ දැරියකට අමානුෂිකව පහරදුන් 3 ක් අත්අඩංගුවට

(03.01.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය ප්‍රදේශයේ දැරියකට තවත් කාන්තාවන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් අප ‘6.55 ප්‍රවෘත්ති ප්‍රකාශය’ ඔස්සේ විකාශය කළා.

පහරදීමට අදාළව සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතරල පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

නිකවැරටිය – ගනේගොඩ – යාපලාන – අංක 40 ග්‍රාමසේවා වසමේ පදිංචි 13 හැවිරිදි දැරියකට මෙලෙස අමානුෂික ලෙස පහර දෙනු ලබන්නේ පියාගේ දෙවන විවාහයේ බිරිද වන ගැබිණි කාන්තාවක් වීම විශේෂත්වයක්.

ක්‍රිකට් පිත්තක්ද යොදා ගනිමින් දැරියගේ හිසකෙස්වලින් ඇද වරින් වර ඇය දැරියට අමානුෂික ලෙස පහර දෙනු ලබනවා.

ඇයගේ උපකාරයට තවත් කාන්තාවක් එහි පැමිණ දෑත් බැඳ දැරියට පහර දෙනු ලබනවා.

අප කල සොයා බැලීමේදී හෙළිවූයේ ඇය මෙම කාන්තාවගේ සහෝදරිය බවත් ඇය එම ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනිය බවයි.

මෙම සිදුවීම ‘හිරු 6.55 ප්‍රවෘත්ති’ ඔස්සේ විකාශය වීමත් සමග කොටවෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදීමට අදාළ සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය නිකවැරටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

https://www.facebook.com/hirunews/videos/504071686880238/

***************************************

නිදහස් පක්ෂයට අඩු සැළකිලි – හිටපු ජනාධිපති කණස්සල්ලෙන්!

(03.01.2020 – 22:18 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ තනතුරු සඳහා නිදහස් පක්ෂයට නොලැබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කණස්සල්ලකින් පසුවන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා අවසානයේ කිසිදු කොන්දේසියකින් තොරව සහය දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් තිබෙන බවට හිටපු ජනාධිපතිවරයා සිය සමීපතමයන් සමඟ පවසා තිබේ.

ආණ්ඩුකාර ධූර,ආයතන ප්‍රධානී ඇතුළු රජයේ ඉදිරිපෙළ තනතුරු සඳහා මේ වන විට පත්කිරීම් සිදුවෙමින් පවතින අතර එම තනතුරු සඳහා ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයාට හිතවත් තැනැත්තන් පමණක් පත්කරමින් තිබෙන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනාත්මකව පවසා ඇති බව සඳහන්.

ජන්ද වැඩිකරගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොදාගැනීම සම්බන්ධයෙන් තමන් අතිශය කණගාටුවට පත්වන බවද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත ෴

***************************************

සජිත් ළගවත් අසුන්ගන්න රනිල් බෑ කියයි.. විපක්‍ෂ නායක අසුන දී වෙනත් පේලියකට යයි..

(03.01.2020 – 09:20 +0530 – lankacnews.com)

අද නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආසන්න අසුනේ අසුන් ගැනීම රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායක විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

තමනට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඈත්වූ අසුනක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාට වෙන් වන්නේ විපක්ෂයේ මුල් අසුනේ සිට අටවැනි ආසන වන අතර එය සජිත් ප්‍රේමදාස මහතාටය අද වෙන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාට ජ්‍යෙෂ්ඨත්වය අනුව හත්වැනි අසුන ලබා දිය යුතු වුවද ඔහු එය ප්‍රතික්ෂේප කිරීම මත 09 වැනි ආසනය ලබාදෙනු ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා අතර මන්ත්‍රීවරුන් ගමන් කිරීම සඳහා ඇති තීරුවකින්ද වෙන් වී ඇත.

වික්‍රමසිංහ මහතා යාබද අසුනේ අසුන් ගන්නේ වජිර අබේවර්ධන මන්ත‍්‍රීවරයාය ෴

***************************************

ඩෙංගු මර්දනයට කඩාපනින හමුදා යොදවන්නැයි නැගෙනහිර ආණ්ඩුකාරවරියගෙන් නියෝග

(03.01.2020 – 21:58 +0530 – lankaleadnews.com)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන, රජයේ නිල නිවාස සහ අතහැර දමා ඇති ගොඩනැඟිලි පරික්ෂා කිරිමට හෙට (03) සිට කඩා පනින හමුදාවක් පිටත් කර යවන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලදාරීන්ට අද (02) නියෝග කළේය.

මෙම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සමෘද්ධි සංවර්ධන නිළධාරි සහ අදාළ ප්‍රෙද්ශය භාර ග්‍රාම නිළධාරි වරයාද ඇතුලත් වේ.

අද (02) පෙරවරුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අවම කිරිම සඳහා වන තීන්දු තීරණ ගැනීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදි ආණ්ඩුකාරවරිය මෙම නියෝගය සිදු කළාය.

මෙම හමුවට පෙර ආණ්ඩුකාරවරිය ආණ්ඩුකාර ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඩෙංගු කීටයන් බෝ වන ස්ථාන ඇත්දැයි නීරික්ෂණය කළාය.

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කදවුරු පරිශ්‍ර කුළ ඩෙංගු කීටයන් බෝ වන ස්ථාන රැසක් ඇති බවට හදුනාගෙන ඇතැයි මෙම හමුවේදි හෙලි විය.

එහිදි අනුරාධා යහම්පත් මහත්මිය නාවික හමුදාව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරිවරයාට කියා සිටියේ මෙම තත්ත්වය අවම කිරිම සදහා හැකි විගස කටයුතු නොකළහොත් නාවික හමුදාපතිවරයා දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවය.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගින් 2048 හදුනාගෙන ඇති බවද මෙම සකච්ඡාවේදි හෙළි විය. ඉන් වැඩිම අවධානමක් ඇත්තේ ත්‍රිකුණාමලය, උප්පවේලි, කින්නියා සහ මූතුර් යන ප්‍රදේශ වලය.

ඊට අමතරව පාසල් වල ඩෙංගු මදුරුවන් බෝ විම වැළැක්වීම සදහා සෑම ඉරු දිනකම දෙමාපිය ශ්‍රමදාන පැවැත්විමට කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කළේය ෴

***************************************

පුරන්කුඹුරු අස්වද්දන තරුණ ගොවි හමුදාවක්…අත හිත කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්

(03.01.2020 – 21:54 +0530 – lankaleadnews.com)

පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ඒ යටතේ තරුණ කණ්ඩායම් සමග එක්ව ගොවි හමුදාවක් නිර්මාණය කරන බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය.

එහි පළමු අදියරේදී කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු අස්වැද්දීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය.

පුරන් කුඹුරු අස්වැද්දීමට ඉදිරිපත් වන පුද්ගලයින්ට පොහොර බීජ වී ඇතුළු පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය ෴

***************************************

ජනපතිවරයාගේ බලය ව්‍යවස්ථාදායක සභාවේ NGO කාරයින් අතට පත්වෙලා

(03.01.2020 – 20:00 +0530 – lankaleadnews.com)

ජනතාව පත්කළ ජනාධිපතිවරයාගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් අතට පත්ව ඇති බැවින් වහාම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා :

“මහජනතාව සෘජුව ඡන්දය දීලා ජනාධිපති අතට දෙනවා විධායක බලය. හැබැයි, පාර්ලිමේන්තුව ඒ විධායක බලයෙන් කොටසක් කොල්ල කනවා. ඒක තමයි පහුගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් සිද්ධ වෙලා තියෙන්නේ. මේ විකෘතිය සමඟින් ඉදිරියට යා නොහැකියි.

මහජනයා ලබාදෙන විධායක බලය ජනපති සතුවිය යුතුයි.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට‍ නිල කාලයක් තිබෙනවා. නිල කාලයට මෙහා අයින් කරන්න බැහැ. 19 සං‍ශෝධනය හදලා තියෙන්නේ එහෙමයි.

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් විය යුතුයි. එහෙම දෙයක් තිබුණත් කමක්නෑ එන් ජී ඕ කාරයෝ ඕකේ පුරවන්නේ නැතුව.

ජනාධිපතිගේ බලයත් පාර්ලිමේන්තුවේ බලයත් ශක්තිමත් වන ව්‍යවස්ථා වෙනසක් අපි බලාපොරොත්තු වෙනවා. එයින් මහජන පරමාධිපත්‍ය ශක්තිමත් වනවා.

මාර්තු 3 වැනිදායින් පසු මැතිවරණයට අපි යනවා.

එ.ජා.ප.ය පාර්ලිමේන්තුව කලින් විසුරවන්න කැමතියි.

ඒගොල්ලෝ බයයි මැතිවරණය අප්‍රේල් 21 කාලයට එනවට. සහරාන්ට බයයි එයාලා.

හොඳ එන්ජිමක්, ඩයිනමෝවක් තිබෙන විපක්ෂ නායකයෙක් ලැබුණ එක ගැන අපිට සතුටුයි. අපිට සිනා සාගරයක් බලාගන්න පුළුවන්.

විපක්ෂ නායකයාගේ අනාගත කාර්යභාරය අනුව රනිල් සජිත්ට වඩා හොඳයි කියලා කියයි.”

***************************************

පාර්ලිමේන්තු ගමනට පරිවාර වාහන දෙකයි.. සමාජ ජාලාවලින් ජනපතිට මල්ම්ටක්

(03.01.2020 – 18:12 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය සමාජ මාධ්‍ය තුළ ප්‍රශංසාවට ලක්ව තිබේ.

ආරක්ෂක රථ දෙකක් සමග පමණක් පැමිණි වත්මන් ජනාධිපතිවරයා හමුදා උත්තමාචාර හෝ වෙඩි මුර නොමැතිවම සිය පළමු පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සනිටුහන් කරනු ලැබුවාය.

ඇමෙරිකානු පුරවැසි භාවය ලබා සිටි පුද්ගලයෙකු සහ හමුදා සාමාජිකයෙකුව සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයා වශයෙන් මෙතරම් සරල වනු ඇති බව කිසිවෙක් නොසිතන්නට ඇත.

මේවන විට සමාජ මාධ්‍ය සසඳමින් සිටින්නේ ‘සරල ජනාධිපති’ ලෙසින් හැඳින්වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

අද (03) දිනයේ ආරක්ෂක රථ දෙකක් සමග පමණක් පැමිණි වත්මන් ජනාධිපතිවරයා සහ වාහන පිරිවරා පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ඡායාරූප සන්සන්ධනය කරමින් ෆේස්බුක් පෝස්ට් පවා නිර්මාණය වෙමින් පවතියි.

‘සරල ජනාධිපති’ ලෙසින් හැඳින්වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා :

***************************************

සජිත්ගෙන් ජාතික රූපවාහිනියට මිලියන 150 ක පොල්ලක් !

(02.01.2020 – colombotoday.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිවරයාව සිටියදී පලකල දැන්වීම් වෙනුනේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන් 150 ක මුදලක් අය විය යුතු යැයි වාර්තා වනවා.

2018 වසරේ මාර්තු සිට 2019 වසරේ සැප්තැම්බර් මස දක්වා කාලයේදී සිදු කල නිවාස ව්‍යාපෘති විවෘත කිරීමේදී ඊට පෙර දින ජාතික රූපවාහිනියේ දැන්වීම් 3 ක් විකාශය කර ඇත. මෙලෙස දැන්විම් විකාශය කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍යාංයට සහ සහ රූපවාහිනී සංස්ථා සභාපතිනියට සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇත.

ඇමති බන්ධුල ගුණවර්ධන මහතා ඉකුත් 31 වනදා රූපවාහිනී සංස්ථාවේ සිදුකල නිරීක්ෂණ චාරිකාවකදී එහි වෘත්තිය සමිති විසින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කර ඇත ෴

***************************************

අමාත්‍යවරුන්ට – රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගැනීම නතර කරයි

(02.01.2020 – 19:58 +0530 – lankadeepa.lk)

ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදුකර වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයාබැලීමක් සිදුකර ඒ ඉල්ලීම ඉටුකිරීමට නියමිතය.

මේ වනතෙක් රාජය සතු වාහන කළමනාකරණය කිරීමක් සිදුව නොමැති අතර විවිධ හේතු දක්වමින් විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහජන මුදල් කෝටි ගණනින් අපතේ යන බවට අණාවරණය වී ඇති බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත ෴

***************************************

මහරගම, හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අගහරුවාදා පැය 24 ක ජල කප්පාදුවක්

(03.01.2020 – nethnews.lk)

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අගහරුවාදා පැය 24 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ලබන අගහරුවාදා පෙරවරු 9 සිට පසුදින පෙරවරු 9 දක්වා මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

කලටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ජල නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ෴

***************************************

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුව, මහවැලි අධිකාරිය පිළිගනී

(03.01.2020 – 20:51 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණ කළ පරිදිම මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ ඉංජිනේරු රෝහණ අරුප්පල මහතා අද (03) පිළිගත්තා.

ඔහු ප්‍රකාශ කළේ එම ජල කාන්දුව ඉදිරි දින 10 ඇතුළත පිළිසකර කිරීමට පියවර ගන්නා බවයි.

‘හිරු සී.අයි.ඒ.’ හරහා පසුගිය 31 වැනිදා මොරගහකන්ද වේල්ලේ පවතින මහා පරිමාණ ජල කාන්දුව පිළිබඳව මුල්වරට අනාවරණ කළා.

මෙම ජල කාන්දුව කොළ පැහැති දැල් ආවරණ යොදා ජනතාවට නොපෙනෙන පරිදි ආවරණය කර ගැටලුව වසන් කිරීමට චීන සමාගම පියවර ගෙන තිබුණා.

නමුත් ඊට ප්‍රථම මෙහි දර්ශන ලබාගත් ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම අවධාරණය කර සිටියේ පැලැස්තර විසඳුම් නොදා මෙම ජල කාන්දුවට ස්ථිර විසඳුම් ලබාදෙන ලෙසයි.

අපගේ අනාවරණයෙන් පසුව වගකිවයුතු බලධාරීන්ගේ අවධානය මෙම ගැටලුව කෙරෙහි යොමුවී තිබුණා.

ඒ අනුව, මෙහි සිදුකිරීමට නියමිත පිළිසකර කිරීම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මහවැලි අධිකාරියේ බලධාරීන් විසින් මාධ්‍යවේදීන් මෙම ස්ථානයට කැඳවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළා.

මහවැලි බලධාරීන් පොරොන්දු වූ පරිදිම මෙම ජල කාන්දුවට නිසි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවේද ?

ඉදිරියේදීත් ඒ පිළිබඳව හිරු සී.අයි.ඒ. අවධානයෙන්.

***************************************

රාජිත සෞඛ්‍ය ඇමති සමයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ කළ පැමිණිලි ගැන ජනපතිට ලිපිගොනුවක්

(03.01.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආයතන කිහිපයකට මෙතෙක් කළ පැමිණිලි සියල්ලගේ ගොනුවක් ලබන සතිය තුළ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

ජවිපෙ වර්ජනය කළ ජනපතිගේ තේ පැන් සංග්‍රහය

(03.01.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පැවැත්වුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෙනු ලබන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වුණා.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සහභාගී වුණේ නැහැ.

තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළා.

***************************************

කඩදාසි කම්හලේ ගින්න මැඩපවත්වා අවසන්

(03.01.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් – සේදවත්ත – කළුපාලම ආසන්නයේ පිහිටි කඩදාසි කර්මාන්ත ශාලාවක හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද තොරතුරක් මත කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය දැනුවත් කර එහි ගිනි නිවන රථ 6 ක් යොදවා ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දෙමහල් ගොඩනැගිල්ලක පිහිටි අදාළ කඩදාසි කර්මාන්තශාලාව ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, සිදුව ඇති අලාභය හෝ ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

***************************************

බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරියේදී ජනතාවට

(03.01.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඉදිරියේදී ජනතාවට දැක ගැනීමට හැකිවනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රතිත්‍රස්ත පනත ද සම්පූර්ණයෙන් අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • ego of this man eanil has no bounds. I think he is the principal sabatoeur of sajith putha and the ruination of unp. This batalanda ranil has a lot to answer for still: for all those young people tortured and killed by his team batalanda demons, and for the central bank bond scam and the springing of mahendran to singapore. The sinner, if he were in china would have been put against a wall and dealt with by now. Alas, there is no law and order in this country and deshapaaluwos are still feeding on the country and its citizens, the damn cannibals.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *