ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට චෝදනාවක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට චෝදනාවක් (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයට පෙර පුපුරණ ද්‍රව්‍ය හමුවූ ලැක්ටෝවත්ත යළි පරීක්ෂාවට

• ගුවන් යානා අනතුරෙන් මියගිය ගුවන් විරුවන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද (06) (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ : උමං මාර්ගයක් නිසා ලග්ගල ජනතාවට දැඩි පීඩාවක් (විඩියෝ)

• අගමැතිගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• ජනපතිගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍යකර්මයක් (විඩියෝ)

• භාණ්ඩ ඇසුරුම්වලට නව කොන්දේසි

• මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාමලේඛණය අනුව

• ‘හිරු සී.අයි.ඒ.’ : මොරගහකන්දේ ජල කාන්දුව ගැන මාධ්‍ය නොමඟ යවන මහවැලි නිලධාරීන් (විඩියෝ)

• විභජ්ජවාද ත්‍රිපිටක පූජා උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් (විඩියෝ)

• රූමි මොහොමඩ් බන්ධනාගාර රෝහලෙන් යළි බන්ධනාගාරයට (විඩියෝ)

• හිරු හෙළි කළ නිකවැරටියේදී දැරියකට අමානුෂික ලෙස පහරදුන් සිද්ධියේ තුන්දෙනා රිමාන්ඩ් – ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම් (විඩියෝ)

• දැරියකට අමානුෂික ලෙස පහර දුන් තුන් දෙනා අධිකරණයට

• බැඳුම්කර වංචාවේ මහමොළකරු රනිල් – අජිත් නිවාඩ් කබ්රාල් (විඩියෝ)

• පත්ඉරු වෙනස් කර හොර ඔප්පු හැදූ, දෙදෙනෙකු ගාල්ල කච්චේරියේදී අල්ලයි

+++++++++++++++++++++++++++++++++++

(05.01.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා එම ඒකකය විනාශ කරන බවට සිංහල රාවය සංවිධානය චෝදනා කරනවා.

කළුතර ප්‍රදේශයේ අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි විශේෂ හෙළිදරව්වක් සිදුකරමින් මෙම චෝදනාව එල්ල කළා.

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයට පෙර පුපුරණ ද්‍රව්‍ය හමුවූ ලැක්ටෝවත්ත යළි පරීක්ෂාවට

(05.01.2020 – 19:01 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් වනාතවිල්ලුව – ලැක්ටෝ වත්ත ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යළි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, සැක කටයුතු පිරිසක් අදාළ ඉඩමේ සැරිසැරූ බවට ප්‍රදේශවාසීන් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

කිසියම් පිරිසක් ලැක්ටෝවත්තේ කැණීමක් සිදුකරන බවට පොලීසියට පෙරේදා පැමිණිල්ලක් ලැබී තිබූ අතර, ඒ අනුව ඊයේ (04) පොලීසිය එහි විමර්ශනයක් සිදුකරනු ලැබුවා.

එම ඉඩම තුළ අඩි කිහිපයක් ගැඹුරු වළක් හාරා තිබෙන අයුරු විමර්ශනවලදී දැක ගැනීමට හැකි වූ බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, කැණීම් සිදුකළේ කවුරුන් විසින් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කතාබහට ලක්වූ සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් තව්හිත් ජමාත් සංවිධානය පුහුණුවීම් සිදුකළ බව කියන ලැක්ටෝ වත්තේ තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවේ පසුගිය වසරේ ජනවාරි මස 16 වනදායි.

සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඒ පිළිබදව විමර්ශන සිදුවෙමින් පවතින අතරතුරයි පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා පාස්කු ප්‍රහාරය එල්ල වූයේ.

කෙසේ නමුත්, එම සිද්ධියත් සමඟ ලැක්ටෝවත්තට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණා ෴

***************************************

ගුවන් යානා අනතුරෙන් මියගිය ගුවන් විරුවන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද (06)

(06.01.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ – තම්බපීල්ල මාවත – අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ නායක ගුවන් භට එන්.එල්.ඩී. හෙට්ටිආරච්චි මහතාගේ සහ ගුවන් සැරයන් ආර්.ඩබ්ලිව්. කුමාර මහතාගේ අවසන් කටයුතු අද (06) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

තිස්සමහාරාම – රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි ගුවන් සැරයන් ආර්.ඩබ්ලිව්. කුමාර මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ රෝහණපුර – පොදු සුසානභූමියේදියි.

ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතාද ඊයේ (05) රාත්‍රියේ ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

එමෙන්ම, මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි සිටින නායක ගුවන් භට එන්.එල්.ඩී. හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු පස්වරුවේ සිදු කෙරෙන්නේ පවුලේ පොදු සුසාන භූමියේදීයි.

ඒ, ගුවන් හමුදා උත්තමාචාර මධ්‍යයේයි.

හපුතලේ – තම්බපීල්ල මාවත – අයිස්පීල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් වයි – 12 වර්ගයේ ගුවන් යානයක් පසුගිය සිකුරාදා කඩා වැටුණු අතර එහිදී මියගිය යානයේ ප්‍රධාන ගුවන් නියමු බලඝන නායක බුද්ධි වීබැද්ද මහතාගේ සහ සහයක ගුවන් නියමු බල පන්ති නායක ලංකාපුර කුලතුංග මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (05) සිදුකෙරුණා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : උමං මාර්ගයක් නිසා ලග්ගල ජනතාවට දැඩි පීඩාවක්

(05.01.2020 – 20:29 +0530 – hirunews.lk/sinhala)

මොරගහකන්ද, වේල්ලේ සිදුවන ජල කාන්දුව සොයා ගිය ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට වේල්ල ඉදිකළ සමාගම සිදුකරන තවත් ව්‍යාපෘතියක් හරහා ලග්ගල ජනතාවට සිදු වී ඇති දැඩි පීඩාවක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.

කළුගඟ ජලාශය හා මොරගහකන්ද ජලාශය යා කෙරෙමින් ඉදිකෙරන උමං මාර්ගය වෙනුවෙන් සිදුකරන මහා පරිමාන පිපිරුම් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත ද දෙදරුම්කෑමට ලක්ව අවසන්.

ලග්ගල, අකරහැඩිය, වැල්ලවවල හා ලේල්ඔය ප්‍රදේශවාසීන්ගේ නිවාස අද දක්නට ලැබෙන අයුරුයි මේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ දිවා මෙන්ම රාත්‍රී කාලයේ ද ඉවක් බවක් නොමැතිව උමං මාර්ගය සදහා සිදුකරන පිපුරුම් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ජනතාව පෙන්වා දෙන්නේ තමන් මුහුණ දෙන ගැටළුව පිළිබඳ මහවැලි බලධාරීන්ට කොතෙක්දැනුවත් කළ ද ඉන් පළක් නොවු බවයි.

ලේල්ඔය විහාරස්ථානයේ අවාස ගෙය ද මේ හේතුවෙන් දෙදරා ඉරිතලා ගොස් තිබෙනවා.

කළුගග – මොරගහකන්ද යා කෙරෙන උමං මාර්ගය හේතුවෙන් මෙම ප්‍රදේශවල පවුල් 500 ක් පමණ එලෙස දුක්විදිද්දී අප මොරගහකන්ද ව්‍යාපෘතියට ඉඩම් ලබා දී ඒ වෙනුවෙන් ඉදිවුණු ලග්ගල නව හරිත නගරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළා.

මෙම නව හරිත නගරය ඉදිකර වසරක් සම්පුර්ණ වන්නේ ද මේ මස 08 වනදාටයි.

මාතලේ නගරයට අරුනළු ගෙන එන බව පවසමින් රුපියල් කෝටි ගණනක මහජන ධනය වියදම් කරමින් ඉදි කළ ලග්ගල මධ්‍යම බස් නැවතුම්පළයි මේ.

වසරකටත් අඩු කාලයක් තුළ දී මෙම දෙමහල් බස් නැවතුම්පළෙහි පොළවට සිදුව ඇති හානියයි මේ.

බස් රථයක් පැමිණෙන තුරු ජනතාවට වාඩි වී සිටීමටවත් පහසුකම් සලසා නැති මෙහි ඇති එකම ආසනය වන්නේ මෙයයි.

මෙම බස් නැවතුම්පලට මේ වනතෙක් ජලය ලබාදීමට බලධාරීන්ට හැකියාවක් ලැබී නැහැ.

මාධ්‍ය සංදර්ශන පවත්වමින් මෙරට බලධාරීන් පසුගිය කාලයේ සිදුකළ මහා පරිමාන ව්‍යාපෘතිවල තත්ත්වයයි මේ.

මෙම ව්‍යාපෘති හරහා සිදුව ඇති අක්‍රමිකතා ඉදිරියේදීත් රට හමුවේ හෙළි කිරීමට ‘හිරු සී.අයි.ඒ.’ සුදානමින්.

***************************************

අගමැතිගෙන් හෙළිදරව්වක්

(05.01.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සේවකයින් බඳවා ගෙන ඇත්තේ, දේශපාලන කටයුතු සඳහා යෙදවීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ, වීරකැටියේ අද පැවති උත්සවයකදීයි.

දහම් පාසල් දරුවන් 1,000 කට පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණේ වීරකැටිය, ඓතිහාසික කසාගල රජමහ විහාරස්ථානයේදීයි.

***************************************

ජනපතිගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍යකර්මයක්

(05.01.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට එක්වූ සුසංයෝගය, රට ඉදිරියේ ඇති ආර්ථික යුද්ධය සහ ජාත්‍යන්තර අභියෝග ජයගැනීමට කැප විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාට, රණවිරුවන්ට, රටට සහ ජනතාවට සෙත්පතා කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සර්වරාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනනාවක් ඊයේ එක්වෙමින්.

අනතුරුව මහා සංඝරත්නය 300 නමක් විෂයෙහි දානමය පුණ්‍යකර්මයක් ද අද (05) දහවල් සිදුකෙරුණා.

රටේ ජාතික ආරක්ෂාව සහ අභිවෘද්ධිය ජනතාව බලාපොරොත්තු වන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් අනුශාසනාවක් සිදුකරමින් එහිදී කියා සිටියා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් ද මෙහිදී අනුශාසනාවක් සිදුකළා.

+++++++++++++++++++++

***************************************

භාණ්ඩ ඇසුරුම්වලට නව කොන්දේසි

(05.01.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

සියලු භාණ්ඩ ඇසුරුම්වල, බහලුම්වල හෝ එතුම්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පැහැදිළිව මුද්‍රණය කළ යුතු අංග කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව උපරිම සිල්ලර මිල නිෂ්පාදන කාණ්ඩ අංකය, කල් ඉකුත්වන දිනය, නිෂ්පාදිත දිනය, ශුද්ධ බර හෝ පරිමාව, ආනයනික රට, නිෂ්පාදිත රට, නැවත ඇසුරුම් කළ දිනය සඳහන් කළ යුතු වනවා.

තොග වශයෙන් ආනයනය කර නැවත ඇසුරුම් කරන ලද භාණ්ඩ හෝ තොග ලෙස අසුරා ඇති නිෂ්පාදිත භාණ්ඩවලින් නැවත ඇසුරුම් කරන ලද භාණ්ඩ, නැවත ඇසුරුම් කළ දිනය සටහන් කළ යුතු බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

මෙම විධිවිධාන ලබන සැප්තැම්බර් 1 වනදා සිට බල පැවැත්වෙනු ඇති.

මෙම භාණ්ඩවලට මස් සහ මාළු නිෂ්පාදන, තේකොළ සහ තේ පැකට්, කෝපි, චොකලට්, ඇසුරුම් කළ සහල්, ධාන්‍ය පිටි මෙන්ම සියලුම වර්ගවල කිරිපිටි සහ සීනි ද ඇතුළත් ෴

***************************************

මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාමලේඛණය අනුව

(05.01.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

2019 ඡන්ද හිමි නාම ලේඛණය එළඹෙන 24 වැනිදා සහතික කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාම ලේඛනය යොදා ගනු ඇති.

එමෙන්ම, මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මාර්තු පළමු වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් අප්‍රේල් 23 සිට මැයි 06 දක්වා කාලසීමාව තුළ මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත්, ඊට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නම්, පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු වනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ඇත්තේ වසර හතරහමාරක් ගත වීමෙන් පසුවන බැවින් ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ මාර්තු පළමුවන දිනයි ෴

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : මොරගහකන්දේ ජල කාන්දුව ගැන මාධ්‍ය නොමඟ යවන මහවැලි නිලධාරීන්

(04.01.2020 – 21:09 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා මොරගහකන්ද වේලලේ සිදුවන ජල කාන්දුව හෙළිකිරීමත් සමග ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් මතුවුණා.

වේල්ලේ ජල කාන්දුව පිළිසකර කිරීමට ප්‍රථමයෙන් මහවැලි බලධාරීන්ට අවශ්‍ය වූයේ මෙහි දර්ශන හිරු මාධ්‍යයට පිටවූයේ කෙසේද යන්න සෙවීමටයි.

ඊයේ (03) දිනයේදීද මහවැලි බලධාරීන් මොරගහකන්ද වේල්ල පිළිබඳ පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් හරහා අප ජනතාව අනියත ලෙස බියවැද්දූ බවට විවේචනයක්ද එල්ලකර තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ (03) දිනයේ මහවැලි අධිකාරිය විසින් මාධ්‍යවේදීන් එම ස්ථානයට කැඳවාගෙන ගොස් සිදුකළ කරුණු පැහැදිලි කිරීමේදී කොන්ක්‍රීට් අතරින් ජල කාන්දුවක් සිදුවන බවට මහවැලි ඉංජිනේරු රෝහණ අරුප්පල මහතා පිළිගනු ලැබුවා.

මෙහිදී මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතා ප්‍රකාශ කළේ මේවන විටත් කොන්ත්‍රාත් චීන සමාගම අදාළ ජල කාන්දුව පිළිසකර කරමින් සිටින බවයි.

වේල්ලේ ජල කාන්දුවට අදාළ දර්ශන මෙරට සේවකයින් ලබාදුන් බවට සැක කරමින් ව්‍යාපෘති භාර චීන සමාගමේ පිරිස් ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂාවක්ද සිදුකර තිබුණා.

ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා මාධ්‍යවේදීන් මෙම පරිශ්‍රයට ගෙන්වූ අවස්ථාවේදී ඒ පිළිබඳ චීන ජාතිකයන්ගෙන් විමසා සිටීමට හිරු මාධ්‍යවේදීන් බලාපොරොත්තුවෙන් සිටියත් ඔවුන් මෙම ස්ථානයේ රැඳී සිටියේ නැහැ.

ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසූ පරිදි චීන ජාතිකයන් ජල කාන්දුව පිළිසකර කිරීමට වැඩ ආරම්භ කළ බවක් පෙනෙන්ට නොතිබුණු අතර යන්ත්‍ර සූත්‍ර පමණක් ගෙනවිත් තිබුණා.

මාධ්‍යවේදීන් පැමිණෙන විට චීන ජාතිකයන් මෙහි නොසිටියේ මන්දැයි යන පැනයට පිළිතුරු ලෙස මෙරට සේවකයින් ‘හිරු සී.අයි.ඒ.’ වෙත අනාවරණ කළේ මාධ්‍යවේදීන් එම ස්ථානයට ගෙන්වීමට පෙර චීන ජාතිකයින් ඇතුළු සේවකයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට මහවැලි බලධාරීන් පියවර ගෙන තිබූ බවයි.

අප නැවත නැවතත් මහවැලි බලධාරීන්ට මතක් කර සිටින්නේ අප සිදුකළේ ජනතාව බියවැද්දීමක් නොව සිදුවූ ජල කාන්දුව වගකිවයුතු මාධ්‍යයක් ලෙස රට හමුවේ නිරාවරණය කිරීම පමණක් බවයි.

එමෙන්ම මෙම අනාවරණය හරහාද ‘හිරු සී.අයි.ඒ.’ අවධාරණය කරන්නේ ‘ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඇතුළු මහවැලි බලධාරීන් කොතෙක් උත්සාහ ගත්තද ‘හිරු සී.අයි.ඒ.’ නොමග යැවීමට ඔබට නොහැකි’ බවයි.

***************************************

විභජ්ජවාද ත්‍රිපිටක පූජා උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

(04.01.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෙසු ආගම්වල ආගමික නිදහස රැකෙන්නේ සිංහල බෞද්ධයින් රැකුණොත් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (04) පැවති විභජ්ජවාද ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජා උත්සවයට එක්වෙමින්.

පාලි ත්‍රිපිටකය සහ තවත් වැදගත් බෞද්ධ කෘති කිහිපයක් ඇතුළත් කරමින් ටැබ් පරිගණක 5000 ක්, භික්ෂුන් වහන්සේලාට ප්‍රදානය කිරීමේ මෙම උත්සවය අද (04) පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්වුණා.

මේ අතර, ‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්’ තේමාව යටතේ 72 වන ජාතික නිදහස් දින උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (03) පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එමෙන්ම, අද (04) අග්‍රාමාත්‍යවරයා කැළණිය රජමහා විහාරයට ගොස් විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සුවදුක් විමසුවා.

***************************************

රූමි මොහොමඩ් බන්ධනාගාර රෝහලෙන් යළි බන්ධනාගාරයට

(04.01.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා මුදල් ලබාදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් ඊයේ (03) රෝහල් ගත වීමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා.

පපුවේ වේදනාවක් ඇති බව පැවසීම නිසා, ඔහු දැනට රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ඊයේ (03) රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

එහිදී වැලිකඩ බන්ධනාගාර රෝහලේ රාත්‍රී සේවා මුරයේ රාජකාරි කළ වෛද්‍යවරයෙකු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව යළි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

රූමි මොහොමඩ්ට රෝහල් ගත වීමට තරම්, අසනීප තත්ත්වයක් නොමැති වීම හේතුවෙන් එලෙස යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, අදාළ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ වරෙන්තු නිකුත් කළ පසු, රෝහල් ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද (04) 9 වන දිනටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ නේවාසිකව රැදී සිටිනවා.

***************************************

හිරු හෙළි කළ නිකවැරටියේදී දැරියකට අමානුෂික ලෙස පහරදුන් සිද්ධියේ තුන්දෙනා රිමාන්ඩ් – ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම්

(04.01.2020 – 16:56 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය – කොටවෙහෙර ප්‍රදේශයේ දැරියකට අමානුෂික ලෙස පහරදුන් ඇගේ සුළු මව, ග්‍රාමසේවා නිලධාරිනියක වන සුළු මවගේ සහෝදරිය සහ දැරියගේ පියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දැරියට පහරදුන් වීඩියෝ ඇමිණුම හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කිරීමෙන් පසු සිද්ධියට අදාළ තුන්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදීයි.

පහරකෑමට ලක්වන දැරියගේ පියා ඇයගේ මවගෙන් වෙන් වී සිටින අතර, අදාළ පහරදීම සිදුකරනු ලබන්නේ පියාගේ දෙවන විවාහයේ බිරිඳ සහ ඇගේ සොහොයුරියක් විසින්.

පහරදීම සිදුකළ සුළු මව ගැබිණි කාන්තාවක් වන අතර, ඇයගේ සහෝදරිය එම ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිනියක බව අප ඊයේ (03) පෙන්වා දුන්නා.

මෙම සිද්ධිය හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වීමෙන් පසු ඊයේ (03) රාත්‍රියේදීම අත්අඩංගුවට ගත් පහරදීම සිදුකළ කාන්තාවන් දෙදෙනා සහ දැරියගේ පියා, අද (04) දහවල් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර, දැරියට පහරදීමට සම්බන්ධ වූ ග්‍රාම සේවා නිලධාරිනියක වන සුළු මවගේ සහෝදරියගේ වැඩ වහාම තහනම් කිරීමට නියෝග කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළා.

මේ අතර, ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ ඊට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදිය යුතු බවයි.

පහරකෑමට ලක්වූ දැරිය ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අවස්ථාවේදී දැරියගේ මව හමුවීමට ගිය හිරු වාර්තාකරුට පොලිස් නිලධාරින් සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් විසින් බාධා එල්ල කර තිබුණා.

https://www.facebook.com/hirunews/videos/2546223505490688/

+++++++++++++++++++++

දැරියකට අමානුෂික ලෙස පහර දුන් තුන් දෙනා අධිකරණයට

(04.01.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දරුවන්ට අමානුෂික ලෙස පහරදීම වසර 7 ක් දක්වා සිර දඩුවම් ලබාදිය හැකි වරදක් බව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ප්‍රවෘත්ති අනාවරණ කළ නිකවැරටිය – කොටවෙහෙර – ගනේගොඩ – යාපලාන ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියට අදාළව සිදුකළ විමසීමකදියි.

පසුගිය 31 වන දා සිදුව ඇති මෙම පහරදීමට අදාළව සැකකාර කාන්තාවන් දෙදෙනා සහ දැරියගේ පියා පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ නිකවැරටිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කොටවෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස පහර දෙනු ලැබුවේ දැරියගේ පියාගේ දෙවන බිරිඳ සහ ඇයගේ නැගෙනිය බවටයි හෙළි වී ඇත්තේ.

පියාගේ දෙවන බිරිඳ ගැබිණි කාන්තාවක් වන අතර ඇයගේ නැගණිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය බවට ද තොරතුරු වාර්තා වුණා. දැරියගේ පියා ද මීට පෙර අවස්ථා කිහිපයකදී ඇයට පහර දී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් තුන් දෙනා අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

නිකවැරටිය සහ කොටවෙහෙර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන්ගේ වැඩතහනම්

(06.01.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

13 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති මගින් අනාවරණ කිරීමෙන් අනතුරුව නිකවැරටිය සහ කොටවෙහෙර පොලීසිවලට අයත් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා.

දැරියට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළව පැමිණිලි භාර නොගැනීමේ චෝදනාව මත මෙලෙස සේවය අත්හිටුවා ඇති බවයි නිකවැරටිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ ප්‍රකාශ කළේ.

ඒ අනුව, එම ස්ථානාධිපතිවරියන් දෙදෙනා සම්බන්ධයෙන් විධිමත් විනය පරික්ෂණයක් පවත්වා ඉදිරි පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරියගේ පියා, සුළු මව සහ ග්‍රාම නිලධාරිනියක වන සුළු මවගේ සහෝදරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

***************************************

බැඳුම්කර වංචාවේ මහමොළකරු රනිල් – අජිත් නිවාඩ් කබ්රාල්

(04.01.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන මොළකරු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මහබැංකු වංචාව සම්බන්ධයෙන් ඔහු විසින් රචිත ග්‍රන්ථයක් එළි දැක්වීමේ අවස්ථාවට කෙළඹදී ඊයේ (03) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

පත්ඉරු වෙනස් කර හොර ඔප්පු හැදූ, දෙදෙනෙකු ගාල්ල කච්චේරියේදී අල්ලයි

(04.01.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ පත්ඉරු පොත්වල පිටු ගලවා වංචා සිදුකළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පිටු ගලවා එහි සටහන් වෙනස් කර ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බවටයි සිදුකළ පරීක්ෂණවලදී තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී නීතිඥවරුන් දෙදෙනෙකුගේ ව්‍යාජ නිල මුද්‍රා දෙකක් ද, පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ පත්ඉරු පරික්ෂා කිරීමට නීතිඥවරයෙකුගේ බලය පැවරූ ලිපියක් අවශ්‍ය වන අතර අදාල සැකකරු සහ සැකකාරිය ව්‍යාජ ලෙස එම ලිපි සකස් කරගෙන පත්ඉරු පරීක්ෂා කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එසේ පරීක්ෂා කරන මුවාවෙන් පත්තිරුවල පිටු ගලවා ඊට අදාළ භූමි ප්‍රමාණය වැඩියෙන් සටහන් කර නැවත පොත්වල අලවා ඇති බවට තොරතුරු අනාවරණ කර ගැනීමට ද, පොලීසියට හැකිව තිබෙනවා.

එමෙන්ම, එලෙස සටහන් කරන ලද ඉඩම් වලට ව්‍යාජ ඔප්පු ද සකස් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ඊයේ (03) අත්අඩංගුවට ගත් අදාළ සැකකරු සහ සැකකාරිය හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *