රාජ්‍ය ආයතනවලට බුද්ධි අංශ

(04.01.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතනවලට යුද හමුදා සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොමු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ලබා ගන්නා තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවට පසුගිය මස 26 වන දා එක්වීමෙන් පසු එහි අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් 6 දෙනෙකු බුද්ධි අංශ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සිද්ධියට සමගාමීවයි මෙලෙස රාජ්‍ය ආයතනවලට බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට රජය පියවර ගනු ලැබුවේ ෴

***************************************

CCTV කැමරාවේ සටහන් වූ ලොරි රථ අනතුර

(04.01.2020 – 09:17 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්තානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස් ගෝනියාව ප්‍රදේශයේදීයි මාර්ගය හරහා පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (04) අලුයම මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සදහන් කළේ.

ලොරි රථයේ පිටුපස ටයර් දෙකක් පුපුරායාම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා මෙසේ පෙරළී ඇති බවයි මුලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර, මෙම අනතුර සිදු වෙන ආකාරය අසල පිහිටි ඉන්ධන පිරවුම්හලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව වී තිබුනේ මෙලෙසින්.

එම වීඩියෝව :

***************************************

අධික ශබ්ද සහිත නලා සවිකල වාහනවලට යළි නීතිමය පියවර

(04.01.2020 – 07:41 +0530 – hirunews.lk/sinhala)

බස් රථ ඇතුළු අධික ශබ්දයෙන් යුත් නලා නාද කරන වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන පනතේ හා ජාතික පරිසර පනතේ වගන්ති අනුව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් වාහනවල පවතින නලා වල කිසිදු ප්‍රමිතියක් ද නොමැති බවයි ෴

***************************************

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

(06.01.2020 – 10:07 +0530 – hirunews.lk/sinhala)

හෙට (07) පෙරවරු 9 සිට පසුදින පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරනවා ෴

***************************************

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ තදබදය වළක්වන්න ප්‍රාදේශීය ඒකක 3 ක්

(06.01.2020 – 11:42 +0530 – sinhala.adaderana.lk)

රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේ දී දැනට පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මින් පෙර උපදෙස් ලබා දී ඇත.

දැනට එම වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා වැඩිම පිරිසක් පැමිණෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශවලින් බැවින් එසේ පැමිණෙන ජනතාවට පහසුවෙන පරිදි ප්‍රාදේශීය කාර්යාල තුනක් අලුතින් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව රත්නපුර, බණ්ඩාරවෙල, නුවරඑළිය වැනි ප්‍රදේශවල සිටින මහජනතාවට පහසුවන පිණිස එක් කාර්යාලයක් අවිස්සාවේල්ල ද, උතුරු හා නැගෙනහිර මෙන්ම උතුරු මැද පළාතේ ජනතාව සඳහා උප කාර්යාලයක් දඹුල්ල ප්‍රදේශයේ ද, වයඹ, ගම්පහ, හා ඊට ආසන්න වෙනත් ප්‍රදේශවල මහජනතාව සඳහා මීගමුවේ ද උපකාර්යාලයක් පිහිටුවීමට ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය විසින් තීරණය කර තිබේ.

මෙම ඒකක පිහිටුවීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් දී ඇති අමාත්‍යවරයා රියදුරු බලපත්‍ර මුද්‍රණය කර නිකුත් කිරීමේ පහසුකම් සහිත කාර්යාලයක් අනුරාධපුරයේ ස්ථාපිත කිරීමට ද පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

එමගින් උතුරුමැද, උතුර, නැගෙනහිර මෙන්ම විශේෂයෙන් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් හා වෙහෙසක් දරමින් කොළඹට මහජනතාව පැමිණීම වළක්වා , එම ජනතාවට පහසුවෙන් රියදුරු බලපත්‍රය ලබා ගත හැකි හා වෛද්‍ය වාර්තා ලබා ගත හැකි වන පරිදි පහසුකම් නැංවීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ බව ද ප්‍රකාශ කළේය ෴

***************************************

අඩු ආදායම්ලාභි තරුණ තරුණියන්ට රජයේ රැකියා අවස්ථා කඩිනමින් – සුසිල් ප්‍රේම්ජයන්ත්

(06.01.2020 – 11:16 +0530 – sinhala.adaderana.lk)

අඩු ආදායම්ලාභි අපොස සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් ලක්ෂයකට රජයේ රැකියා අවස්ථා කඩිනමින් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

කඩුවෙල පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ දශක තුනක් පැවති යුද්ධය අවසන් කළ ජනාධිපතිවරයා අද රටේ අගමැතිවරයා වන බවත් එදා සිටි ආරක්ෂක ලේකම්වරයා අද ජනාධිපතිවරයා වී ඇති බවත්ය.

එළඹෙන මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක ඡන්දයක් මන්ත්‍රීධූර බහුතර ප්‍රමාණයකින් ලබා ගන්නා බවත් පැවසු ඒ මහතා, ජනතා අවශ්‍යතා අනුව ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන සිදු කර ශක්තිමත් පාර්ලිමේන්තුවක් සකස් කරන බවත් පැවසීය.

අඩු ආදායම්ලාභී සාමාන්‍ය පෙළ සමත් නැති පුද්ගලයින්ට රැකියා අවස්ථා ලබා දෙන බව ජනාධිපතිවරයා කොහේ දී හෝ පැවසුවේ නැති බවත්, නමුත් එතුමා අද වන විට එම සංකල්පය ක්‍රියාත්මක කර ඇතැයි ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.

මේ වන විට එයට අවශ්‍ය මුලික වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවත්, සාමාන්‍ය පෙළ හෝ සමත් නොමැති නම් රාජ්‍ය සේවයේ පහළ තනතුරකට හෝ එක්විය නොහැකි බවත් ඔවුන් බොහෝමයක් අඩු ආදායම් ලාබී පවුල්වල අය බවත් මෙහි ඇති ගැටළුව ජනාධිපතිවරයා ඉතා පැහැදිලි ලෙස නිරීක්ෂණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

***************************************

බුෆේ අවන්හල් ඇමති අමරවීරගේ අවධානයට

(06.01.2020 – 10:49 +0530 – sinhala.adaderana.lk)

මගී ජනතාව ගසා කමින් මුදල් හම්බ කරන බුෆේ කඩකාරයින් ගැන පැමිණිළි රැසක් මගී ප්‍රවාහණ කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් ව තිබේ.

විශේෂයෙන් දුරගමන් සේවා බස් රථ නවත්වන ඇතැම් හොටල් මෙන්ම දිගු නිවාඩුවක දී දුරබැහැර ගම් බිම් බලා යන ජනතාව මෙම බුෆේ කඩහිමියන් විසින් අසාමාන්‍ය මිල ගණන් යටතේ ගසා කෑම් සිදු කරන බවත්, ඇතැම් හෝටල්වල කිසිදු පහසුකමක් නැතත් මෙන්ම ආහාරයට ගැනීමට තරම් සුදුසු නැති ආහාර තිබුනත් ඉන් ලබා ගන්නා සුළු ආහාරයකටත් බුෆේ මිලම ගෙවීමට සිදුවී තිබෙන අතර එම මුදල කිසිසේත්ම සාධාරණ නොමැති බව ද මහජනතාව පෙන්වා දෙයි.

එක් මගීන් පිරිසක් අඹේපුස්ස එක්තරා ආපනශාලාවකින් ආහාරපාන ලබා ගෙන ඇත. එම කණ්ඩායමේ සිටි 85 හැවිරිදි මාතාවක් ආප්පයක් ලුනුමිරිස් සමඟ කා තේ කෝප්පයක් පමණක් බී ඇති අතර ඇයගෙන් ද එම ආපනශාලාව විසින් රුපියල් 700 ක මුදලක් අය කර ගෙන තිබේ.

එමෙන්ම එම කණ්ඩායමේ සිටි තවත් කාන්තාවක ආහාරයට ගෙන ඇත්තේ කිරිබත් කෑලි දෙකක් හා මාලු කෑල්ලක් පමණි. ඇයගෙන් ද රු. 700 ක මුදලක් අය කර ගෙන ඇත.

බුෆේ ක්‍රමයට ආහාර ගැනීමේ දී කිසියම් ස්ථිර මිලක් අය කර ගත යුතු වුවද, මේ අන්දමින් මහජනතාව ගසා කමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය විසින් කිසියම් පියවරක් ගත යුතු බව ද මගී ජනතාව පෙන්වා දෙයි.

සෑම කෙනෙකුටම එහි ඇති සියලුම ආහාර වර්ග ආහාරයට ගත නොහැකිය. ඇතැම් අය ආහාරයට ගන්නේ එක් වර්ගයක් පමණි.

එවැනි අවස්ථාවන් නිරීක්ෂණය කර එම අයගෙන් ගත් ආහාරයට පමණක් සරිලන මුදලක් අය කරන්නේ නම් එය සාධාරණ බව මගී ජනතාව පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ අන්දමින් මගී ජනතාව ගසා කෑම නැවැත්වීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කළ යුතු අතර ප්‍රවාහණ අමාත්‍යාංශය යටතේ මෙවැනි ගැටලු සඳහා විකල්ප පියවර ගැනීමට දැනටමත් සැලසුම් කර තිබේ.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම විසින් තම අධික්ෂණය යටතේ දිවයිනේ ස්ථාන කිහිපයක දුරගමන් මගී ප්‍රවාහණ සේවාවන්හි යෙදෙන බස් රථ මෙන්ම වෙනත් මගීන් සඳහා ද සුදුසු පරිදි ආහාරපාන ලබා ගත හැකි ආපනශාලා පද්ධතියක් පිහිටුවීමට තීරණය කර තිබේ.

පිරිසිදු ආහාර පාන සාධාරණ මිලකට සැපයීම, මගී ජනතාවගේ සනීපාරක්ෂාව සඳහා යෝග්‍ය වැසිකිළි කැසිකිළි පහසුකම් පවත්වාගෙන යාම ද ඉදි කිරීමට යෝජිත මෙම ආපනශාලා පද්ධතිය තුල ස්ථාපිත කෙරේ.

එමෙන්ම දැනට දුරගමන් සේවාවන්හි යෙදෙන මගී වාහන නවත්වන ඇතැම් ස්ථානවල අයිතිකරුවන් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට සන්තෝසම් වශයෙන් මුදලක් ලබා දෙන බවත් එහෙත් මගී ජනතාවට කිසිදු පහසුකමක් නොලැබෙන බවත් වාර්තා වී තිබේ.

කෙසේ වුවද මහජනතාව ගසා කන මෙවැනි ස්ථාන සම්බන්ධයෙන් සුදුසු පියවර ගත යුතු බව සඳහන් කරන අමාත්‍යවරයා මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන බව ද පවසයි.

බුෆේ ආහාර සපයන ඇතැම් ආපනශාලා විසින් සිදු කරන්නේ මුලුමනින්ම මහජනතාව ගසා කෑමේ ව්‍යාපාරයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළ අතර, ඉතා පිරිසිදුව ආහාර පාන සාධාරණ මුදලකට ලබා දෙන ස්ථාන රැසක් ද දිවයිනේ පවතින බවත්, සඳහන් කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *