කොළඹ හයිඩ්පාක් කෝනර් / ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට අයත් ප්‍රදර්ශණාගාරයක ගින්නක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ හයිඩ්පාක් කෝනර් / ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට අයත් ප්‍රදර්ශණාගාරයක ගින්නක් (විඩියෝ)

• ජනතා අවශ්‍යතා හඳුනාගෙන පොරොන්දු ඉටු කිරීමට උපරිමයෙන් කැපවන බව ජනපති කියයි (විඩියෝ)

• ගානියාගේ ජංගම දුරකථනය රස පරීක්ෂක වෙත යොමු කළ හැකිද ? (විඩියෝ)

• අල්ලස් ලබාගත් පොලිසියේ දෙදෙනෙකුට වසර 28 ක සිර දඩුවම්

• නවක වද සිද්ධියකට කොළඹ සරසවියේ ගැටුමකින් සිසුවෙකු රෝහලේ

• ජනපති ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක (විඩියෝ)

• සෙල්ලම් පිස්තෝලයක් නිසා මාස නවය හමාරක් සිරගතවූ පුද්ගලයෙක් (විඩියෝ)

• සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

• මද්‍රසා පාසල් ලියාපදිංචි කිරීමට පියවර ගත යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (විඩියෝ)

• සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

• මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට කෙටුම්පතක් (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ : අධික ලෙස බීමතින් රාජකාරියට එන දුම්රිය ගේට්ටු මුරකරු CIA කැමරාවේ (විඩියෝ)

• සරසවි සිසුන්ට ජනපති කාර්යාලයේ දොර ඇරේ (විඩියෝ)

• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පැකේජයක් – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

කොළඹ හයිඩ්පාක් කෝනර් / ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට අයත් ප්‍රදර්ශණාගාරයක ගින්නක්

(09.01.2020 – http://colombotimes.lk)

කොළඹ 10, ඉබ්බන්වල හන්දිය ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලක හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ ගොඩනැඟිල්ලේ තිබු කාපට් තොගයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව තිබෙන අතර මේ වන විට ගිනි නිවීම් සඳහා එම ස්ථානයට ගිනි නිවන රථ පිටත් කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

#

***************************************

ජනතා අවශ්‍යතා හඳුනාගෙන පොරොන්දු ඉටු කිරීමට උපරිමයෙන් කැපවන බව ජනපති කියයි

(09.01.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ඔහු මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අද (09) පෙරවරුවේ අමතමින්.

වැරදි මාවතක ගිය රට නිවැරදි දිශාවට යොමු කිරීමේ පරිවර්තනයට දායක වූ තරුණ පරපුරට ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළකළා.

තරුණයාගේ මෙන්ම සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමට තම රජය හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියා.

තමා ජනාධිපති ධුරයට පත් කළා සේම තම ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යාමට තරුණ සහය අපේක්ෂා කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගතවූ වසර 5 ක කාලයේදී රටේ ආර්ථිකය මෙන්ම රාජ්‍ය ආයතන සියල්ල බිඳවැටී තිබු අතර ආර්ථිකය ශක්තිමත් කර ලාබ ලබන ඉහළ කාර්යක්ෂමතාවක් සහිත රාජ්‍ය ආයතන පද්ධතියක් ගොඩනගන බවට ද ජනාධිපතිවරයා සහතික වුනා.

ඔහු මෙහිදී සඳහන් කළේ දියුණු රටවල් ආදර්ශයට ගනිමින් වයස අවුරුදු 20 ක් වන විට විශ්ව විද්‍යාලයෙන් තරුණ තරුණියන් රැකියා සඳහා යොමු විය යුතු බවයි.

විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේදී මෙන්ම නවක වදයහේතුවෙන් සිදුවන හානිය පිටුදැකීමට කාලය එළඹ ඇතැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

විවිධ අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී තම තරුණ කාලය නාස්ති කර නොගන්නා ලෙසට ද ජනාධිපතිවරයා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටියා.

පින්සල, උදැල්ල, නගුල අතට ගත් තරුණ පරපුර රට ගොඩනැගීමට ඉදිරියට පැමිණ ඇති බවයි තරුණ සම්මේලනයට එක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.

***************************************

ගානියාගේ ජංගම දුරකථනය රස පරීක්ෂක වෙත යොමු කළ හැකිද ?

(09.01.2020 – 15:04 +0530 – sinhala.adaderana.lk)

පැහැරගෙන යාමට භාජන වූ බව කියන ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියට අයත් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර වාර්තාව කැඳවීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා තම සේවාදායකයාට අයත් ජංගම දුරකථනය අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල දුරකථනයේ රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී සැකකරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ජංගම දුරකථනය තුළ සැකකාරිය විසින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සමඟ පැවැත්වූ සංවාද හා ඇමතුම් ඇතුළත්ව තිබෙන බවත් තානාපති වරප්‍රසාද පනත මෙන්ම වියානා සම්මුතියේ 38 (2) වගන්තිය යටතේ එම ඇමතුම් සඳහා තානාපති මුක්තිය හිමිවන බව සඳහන් කළේය.

මෙම නීතිමය තත්ත්වය යටතේ අදාළ දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට හැකියාවක් තිබේ ද? යන නීතිමය ගැටළුව මතු වන බවයි විත්තියේ නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම කරුණ සම්බන්ධයෙන් වූ තම නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

මේ අතර විත්තියේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ තම සේවාදායිකාවගේ දරුවන් තිදෙනා සහ මව සිංගප්පූරුවට ගොස් සිටි බව ප්‍රකාශ කළ අතර ඒ බව තහවුරු කෙරෙන ලේඛන ද අද (09) අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලිසියට ගොස් වාර්තා කළ යුතු බවටද අධිකරණය විසින් සැකකාරියට නියෝග කර ඇත.

අනතුරුව පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද පොලිසියට දැනුම් දුන්නා ෴

***************************************

අල්ලස් ලබාගත් පොලිසියේ දෙදෙනෙකුට වසර 28 ක සිර දඩුවම්

(09.01.2020 – 13:38 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් ලබාගැනීම ඇතුලු චෝදනා හතරකට වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 28 බැගින් සිර දඩුවම් අද (09) නියම කළා.

ඔවුන් දෙදෙනා අරලගංවිල පොලීසියට අනුයුක්තව සේවය කළ සමයේ ගෝන මස් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට නඩු පැවරීමක් සිදු නොකිරීමට රුපියල් දස දහසක (10,000) අල්ලසක් ලබාගැනීම ඇතුලු චෝදනා හතරක් යටතේයි මොවුන්ට නඩු පවරා තිබුණේ.

2009 වසරේ අගෝස්තු 9 වනදා මෙම සිද්ධිය වාර්තා වන අතර එහි තීන්දුව මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද (09) ප්‍රකාශයට පත් කරමින් මොවුන් දෙදෙනාට රුපියල් විසිදහස බැගින් දඩයක් ද නියම කළා ෴

***************************************

නවක වද සිද්ධියකට කොළඹ සරසවියේ ගැටුමකින් සිසුවෙකු රෝහලේ

(09.01.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් තුවාල ලැබූ සිසුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කලා පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

තුන්වන වසරේ සහ දෙවන වසරේ සිසුන් කිහිපදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් මෙම පහර දීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝ පටයක් සමාජමාධ්‍ය තුළද මේ වනවිට හුවමාරු වෙමින් පවතිනවා.

එහිදී තුවාල ලබා රෝහල් ගතකර සිටින සරසවි සිසුවාට දෙවන වසරේ සිසුන් පුටුවකින් පහරදෙන ආකාරයද දක්නට ලැබෙන අතර, එම අවස්ථාවේදී ඔහුගේ හිසට බරපතල තුවාල සිදුවනවා.

පහරකෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට සහ මුහුණට තුවාල සිදුව ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මෙම සිසුවාට ශල්‍යකර්මයක් ද සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තුන්වන වසරේ සිසුන් නවක වදයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් කිහිප අවස්ථාවකදීම දෙවන වසරේ සිසුන් සමඟ බහින්බස්වීම් ඇතිව තිබෙනවා.

පහරදීම සිදුවන අවස්ථාවේ එහි සිටි සිසුන් කිහිපදෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නවක වද සිද්ධි සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ෴

***************************************

ජනපති ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක

(09.01.2020 – 11:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ පවතින ගැටලු පිළිඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) එම රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක නිරත වුණා.

ඒ අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

බාහිර රෝගී අංශය වෙත ගිය ජනාධිපතිවරයා රෝගීන් සමග සුහදව කතාබහක නිරත වෙමින් තොරතුරු සොයා බලා තිබෙනවා.

පැමිණ සිටි රෝගීන්ගෙන් තොරතුරු විමසූ ජනාධිපතිවරයා දුරබැහැර සිට පැමිණි රෝගීන්ගෙන් එසේ පැමිණීමට හේතු විමසා ඇති අතර, එහිදී කොළඹින් පිටත රෝහල්වල පවතින ගැටලු පිළිබඳව ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.

***************************************

සෙල්ලම් පිස්තෝලයක් නිසා මාස නවය හමාරක් සිරගතවූ පුද්ගලයෙක්

(09.01.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

සෙල්ලම් පිස්තෝලයක් ළඟ තබා ගැනීම නිසා මාස නමය හමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු පිළිබඳ තොරතුරක් අපට හිඟුරක්ගොඩ, කවුඩුල්ල ප්‍රදේශයන් වාර්තා වුණා.

හිඟුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කවුඩුල්ල – යටියල්පතාන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන ප්‍රසාද් පද්මකුමාර සහ ඔහුගේ බිරිඳ අතර පසුගිය පෙබරවාරි මාසයේ අඩදබරයක් ඇතිවී තිබුණා.

ඒ බව දුටු අසල්වැසියෙක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී ප්‍රකාශ කර තිබුණේ මෙම නිවසේ ආරවුලක් සිදුව ඇති බවත්ල නිවසේ ස්වයංක්‍රීය පිස්තෝලයක් ද තිබෙන බවයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මස 27 වන දා නිකුත් කළ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වී තිබුණේ එය සෙල්ලම් පිස්තෝලයක් ලෙසයි.

***************************************

සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

(09.01.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරි ලෙස සිටින ලෙසට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

ජනතාව බහුලව රැස්වන ස්ථාන මග හරින ලෙස සහ අනවශ්‍ය ගමන්වල නොයෙදෙන ලෙසයි එම තානාපති කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකිකයන්ට දන්වා ඇත්තේ.

තම විදේශ ගමන් බලපත්‍රය සැමවිටම සූදානම් කර තබා ගන්නා ලෙසද එම නිවේදනයේ තවදුරටත් සඳහන් ෴

***************************************

මද්‍රසා පාසල් ලියාපදිංචි කිරීමට පියවර ගත යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

(08.01.2020 – 22:57 +0530 – hirunews.lk/sinhala)

මද්‍රසා පාසල් නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කොට ලියාපදිංචි නොවුණු මද්‍රසා පාසල් ලියාපදිංචි කිරීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද (08) පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

(08.01.2020 – 15:58 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ සිසු සිසුවියන් එම ඉල්ලුම්පත්‍ර මාර්තු 31 වනදාට පෙර යොමුකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත් බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයට හෝ වයඹ, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත් තුළ ස්ථාපිත කර ඇති එම දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලය වෙත යොමුකළ හැකියි ෴

***************************************

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට කෙටුම්පතක්

(08.01.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එසේම, ඊට සමගාමීව විවාහ ආඥා පනත සංශෝධනය කිරිම සඳහා වූ පනත් කෙටුම්පතක් ද උන්වහන්සේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

එමඟින් 1907 අංක 19 දරණ විවාහ සාමාන්‍ය ආඥා පනතේ නාමය වෙනස් වන අතර, ප්‍රධාන ප්‍රඥප්තියේ පූර්විකාවේ සඳහන් ‘මුස්ලිම්වරුන්ගේ විවාහ හැරුණු කළ’ යන වචන ඉවත් කිරීම සිදුවනවා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : අධික ලෙස බීමතින් රාජකාරියට එන දුම්රිය ගේට්ටු මුරකරු CIA කැමරාවේ

(07.01.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය හරස් මාර්ග හරහා ධාවනය වූ රථවාහන අනතුරට ලක්වීමේ සිද්ධීන් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලයේ වාර්තා වුණා.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා තාවකාලික සේවකයින් යෙදවීමට රජය පියවර ගෙන තිබෙන්නේ ඒ හේතුවෙන්.

තත්ත්වය එසේ පවතිද්දී ‘හිරු සී.අයි.ඒ.’ වෙත වාර්තා වුයේ පුත්තලම ආනන්ද ජාතික පාසල අසළ දුම්රිය ගේට්ටු මුරකරුවන් බීමතින් හැසිරෙමින් සේවය පැහැර හරින බවයි.

අප එහි ළඟා වු අවස්ථාවේ අධික ලෙස බීමතින් සිටි මුරකරු හැසිරුණු අයුරු දැකගත හැකිවූවා.

මෙම හරස් මාර්ගය හරහා මගී දුම්රිය මෙන්ම පුත්තලම, අරුවක්කාරු සිට හුනුගල් රැගෙන සිමෙන්ති නිෂ්පාදන සමාගමට ද දිනකට දුම්රිය ගමන්වාර 15 – 20 ත් අතර ප්‍රමාණයක් සිදුවනවා.

ඒ අවස්ථාවල දුම්රිය ගේට්ටුව වැසීම සඳහා යොදවා ඇති සේවකයෙකුට පොලිස් දෙපාර්තමේන්තුව මඟින් මසකට රුපියල් 7,500 ක ගෙවීමක් සිදුකරන බවයි වාර්තා වන්නේ.

අපගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව ගියා.

පුත්තලම ආනන්ද ජාතික පාසලට යන මේ මාර්ගයේ පාසල් ළමුන් ප්‍රවාහනය නිරන්තරයෙන් සිදුවද්දී මෙවැනි පුද්ගලයන්ගේ රාජකාරිය පැහැර හැරීම අනුමත කළ හැකි ද?

විසල් අනතුරක් සිදුවීමට පෙර මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන් අවධානය යොමුවන්නේ ද ?

‘හිරු සී.අයි.ඒ.’ අවධානයෙන්.

***************************************

කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර නැහැ – සරසවි සිසුන්ට ජනපති කාර්යාලයේ දොර ඇරේ

(09.01.2020 – president.gov.lk)

මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු අද (09) පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.

ඔවුහු පෙළපාලියෙන් පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවයේ නිරත වූහ.

මේ පිළිබඳ සැලවීමත් සමග ජනාධිපතිතුමා සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාල අභියසට පැමිණිමට අවස්ථාව සලසන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබිණ.

ජනාධිපතිතුමා සහ ජනාධිපති ලේකම්තුමා කාර්යාලයෙන් පිටත පෙර යොදාගත් රාජකාරී කටයුත්තක නිරතව සිටි හෙයින් ඔවුන් සමග සාකච්ඡා කර විසඳුම් සෙවීමේ වගකීම ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට භාර දෙනු ලැබිණ.

ශිෂ්‍ය ඉල්ලීම් පිළිබඳව එම අවස්ථාවේම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළ නිලධාරිහු ඊට අදාළ උපදෙස් ලබා ගත්හ.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වන විට ගෙවීමට තීරණය කෙරිණ. දේශන සඳහා පැමිණීම දින 80% සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම, සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පැණ නැගී ඇති ගැටලු, ශිෂ්‍යාධාර පිරිනැමීමේ දී සලකා බැලෙන දෙමාපිය ආදායම ලක්ෂ 07 ක් දක්වා වැඩි කිරීම, වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීම යන යෝජනා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු විය.

සාකච්ඡාවට ගැනුණ කරුණු ලිඛිතව ලබාදීමට නිලධාරිහු එකඟ වූහ. පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ කැමැත්ත පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් යෝජනා කෙරිණ. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ශිෂ්‍ය නියෝජිතයෝ සඳහන් කළහ.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටියහ සිසුහු ඉතා සාමකාමීව විසිර ගියහ.

ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් සහ නිලධාරිහු පිරිසක් සාකච්ඡාවට සහභාගී වුහ ෴

පුවත් කෙටියෙන් – 2020.01.09 :

***************************************

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පැකේජයක් – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

(09.01.2020 – 19:30 +0530 – sinhala.adaderana.lk)

බැංකුවලින් ණය ලබාගෙන ඒවා යළි ගෙවීමට අපොහොසත් වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා මේ වනවිට ක්‍රියාත්මක නීතිමය පියවර අත්හිටුවීමට ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (09) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙම පැකේජය යටතේ දැනට බැංකු මගින් ලබා ගත් ණය මුදල් සක්‍රීය ලෙස ගෙවමින් පවතින ව්‍යාපාරිකයන්ට සේම අක්‍රීය මට්ටමේ සිටින ව්‍යාපාරිකයන්ට ද සහන හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 6.5% ක ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ රජයේ ඉලක්කය වෙනුවෙන් ව්‍යාපාරිකයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි.

මේ යටතේ දැනට ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛන ගතව සිටින සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ද යළිත් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.

මුදල් අමාත්‍යාංශයේ දී අද (09) පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණ කෙරිණි.

නව රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඉලක්ක කර ගනිමින් ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් මේ වනවිටත් නොගෙවා පැහැර හැර ඇති ණය අයකර ගැනීම සඳහා ගනුලබන නීතිමය කටයුතු අත්හිටුවන ලෙස සියලුම බැංකු වෙත නියෝග කර ඇත.

ඒ අනුව, යෝජිත ණය සහන පැකේජය මඟින් වසා දමා ඇති ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමටත්, දැඩි මූල්‍ය දුෂ්කරතාවයන් සහිතව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර තවදුරටත් පුළුල් කරගැනීමටත් පහත සඳහන් සහන යෝජනා කර ඇත.

පැවැති ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ වෙනස වන්නේ ව්‍යාපාරිකයන්ගේ අදහස්වලට කන් දෙමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ දැනට ලියාපදිංචි බැංකුවලින් ලබා ගත් ණය වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක මෙම සහනයන් ඉදිරියේ දී සෙසු මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Re the 2 policemen jailed for 28 years for bribes and corruption, if these 2 people deserved 28-yrs in jail, I reckon the policemen, judges, lawyers and all politicians exposed by ranja’s recordings revealations for interfering with fair discharge of justice and law and order, and the corruption of judges, MUST be jailed for several life times. That way the right proportion would be maintained for the severity of their crimes and it will also set a good precedence, as well as an effective deterrence to any future would be abusers of the law.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *