29,000 ක්‌ දිවි පිදුවේ බන්දේසියේ තබා පෙඩරල් දීමටද ? – කීර්ති වර්ණකුලසූරිය විසින්

(15.11.2017 – divaina.com)

වන්නි මෙහෙයුමේදී අපේ සෙබළු 29,000 ක්‌ දිවි පිදූහ. එහෙත් අද ඔවුන් අමතකය. එදා කොටි රූකඩය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානය කිසිදු අවි ගැටුමකින් තොරව උතුරේ හමුදා කඳවුරු රජය ලවා ඉවත් කරන බව හෙළිවී ඇත. මෙයට වසර ගණනකට පෙර ජනාධිපති ආර්. ප්‍රේමදාස ලවා ඒ 9 මාර්ගයේ තිබූ හමුදා කඳවුරු රැසක්‌ ඉවත් කරගැනීමට කොටි ක්‍රියා කළහ.

අද සිදුවන්නේ එහි 2 වැනි අදියරයි. ඉරණමඩු ජලාශයට ආරක්‍ෂාව සැපයූ ඉරණමඩු හමුදා කඳවුර පසුගිය සතියේදී ඉවත් කර ගනු ලැබීය. එහෙත් හමුදා බලධාරීන් පවසන්නේ වාරිමාර්ග ගොඩනැගිලිවලින් හමුදාව ඉවත් වූ බවයි.

මෙම ඉරණමඩු ප්‍රදේශය උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයකි. එහි විශාල ජලාශය සහ ඉරණමඩු ප්‍රදේශය අල්ලාගැනීමට සිංහ රෙජිමේන්තුවේ භටයන් රැසක්‌ දිවිපුදා තිබේ.

එසේ වුවත් වන්නි මෙහෙයුමෙන් පසු සම්බන්ධන්ලාට ඉරණමඩු කඳවුර අහෝසි කරගැනීමට ගතවූයේ අට වසරකට පසුය.

ඊට පෙර මුලතිව් හමුදා කඳවුර ඉවත් කරන ලෙස ද ඉල්ලා උද්ඝෝෂණයක්‌ පැවැත්වුණි. අද එම උද්ඝෝෂණය කරෙයිනගර් නාවික කඳවුර දක්‌වා ද එතැන් සිට අධි ආරක්‍ෂිත කලාපයේ වාසවිලාන් දක්‌වා ද ව්‍යාප්ත වී ඇත.

මේ සංහිඳියාවද? අප මේ තොරතුරු හෙළි කරන විට රට ගිනි තියන්න හදනවා යෑයි දේශපාලනඥයන් චෝදනා කරති. රටේ ජාතික ආරක්‍ෂාව ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් මත ක්‍රියාත්මක විය යුතුද යන ප්‍රශ්නය ජනතාව සහ ආරක්‍ෂක හමුදාව හමුවේ පවතී.

එසේම ද්‍රවිඩ සන්ධානය දැන් ක්‍රියා කරන්නේ රටේ හිමිකරුවන් තමන් යෑයි සිතාගෙනය.

මුලතිව්හි තේරුවිල්හි හමුදා කඳවුරක්‌ තුළට ඇතුල්වීමට ගිය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඇතුළු බෙදුම්වාදීන් පිරිසක්‌ හැසිරුණේ චණ්‌ඩින් මෙනි. එහිදී ඔවුහු හමුදාවට දොස්‌ නගා පොල්ගසා ඇත. මේ අර්බුදයට හේතුව වූයේ කොටි සොහොන් කුටි එළි පෙහෙළි කිරීමට ඉඩ නොදීමයි.

එහෙත් බිහිසුණු අපරාධ කළ කොටි මිනීමරුවන් පැමිණීමට ඉඩදිය යුතුද? එන්. ජී. ඕ. කල්ලිය රණවිරුවන් යනු මිනීමරුවන් යැයි හඳුන්වන්නේ නම් මේ කොටි ත්‍රස්‌තවාදීන් යනු අපරාධකරුවන්ය.

මුලතිව්හිදී ශ්‍රීධරන් තවදුරටත් පවසා ඇත්තේ හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බවයි. එහෙත් මේ තර්ජන හා වහසිබස්‌ ගැන රජය අන්ධයන් හා බිහිරන් සේ සිටියි.

ශ්‍රීධරන් යනු යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ මස්‌සිනාය.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ විය යුතු යෑයි කියා සිටී. උතුරු මහ ඇමැති විග්නේශ්වරන් රැඳවුම් භාරයේ සිටින්නේ කොටි නොවේ යැයි ද පවසයි.

එසේ නම් රැඳවුම්භාරයේ සිටින්නේ කවුරුන්ද?

මෙවන් තත්ත්වයක්‌ මැද මෙරටට පැම්ණෙන සෑම විදේශිකයකුම හමුවන ද්‍රවිඩ සන්ධාන නායකයා ශ්‍රී ලංකාවට එරෙහිව පැමිණිලි කරයි. උතුරේ සිටින එන්. ජී. ඕ. කල්ලිය ද ඊට සහය වී තිබේ.

මේ ද්‍රෝහි ක්‍රියා ගැන රජයට පෙනී යන්නේ නැත. රජය අවධානය යොමුකර ඇත්තේ මාධ්‍ය වෙතය.

මෙවන් වාතාවරණයක්‌ මත උතුරේ සිදුවන්නේ කුමක්‌ද?

උතුරේ විරෝධතා පැවැත්වූ ගඡේන්ද්‍ර කුමාර්ලා සහ සිවාජිලිංගම්ලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්‌පති පැවසුවත් අද වනතුරු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත ඉන් රටේ නීතිය ක්‍රියාත්මක වන අන්දම පැහැදිලි වෙයි.

මේ අතර අනුරාධපුරය මහාධිකරණයේ පවතින රැඳවුම් භාරයේ සිටින ත්‍රස්‌තවාදීන්ගේ නඩු වවුනියාවට හෝ යාපනයට මාරු කරන ලෙස උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ඉල්ලා ඇත.

එසේම කොළඹදී අධිකරණය හිටපු කොටින්ගේ පාපොච්චාරණ පිළිගත්තත් යාපනයේදී පිළිගන්නේ නැත. කොටි නිදහස්‌ වෙති. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.

2009 මැයි මස කොටි පරාජය වන විට නිහඬව සිටි ද්‍රවිඩ සන්ධානය අද උපරිම බලය බෙදාදීමක්‌ ඉල්ලා සිටියි.

ඉඩම් හා පොලිස්‌ බලතල ද ඉල්ලා ඇත. එහෙත් උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ස්‌වයං පාලනය අවශ්‍ය බව පවසයි.

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව උතුරු නැගෙනහිරට ජනමතවිචාරණයට අවශ්‍ය බව කියා සිටියි.

මේ අතර ඇමරිකානු කොන්ග්‍රස්‌ සහිත ඩේවිඩ් ප්‍රයිස්‌ ශ්‍රී ලංකාව සඳහා වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙටුම්පත් කළේ ඇමරිකාව බව පවසා ඇත.

මේ නිසා මේ රට විදේශිකයන්ගේ ද යන ප්‍රශ්නය මතුවී ඇත. එසේම මෙරට ඉන්දීය මහකොමසාරිස්‌ පවසන්නේ ද්‍රවිඩ ජනතාවට බලය බෙදාදීම සඳහා ඉන්දියාවට මැදිහත් විය හැකි බවයි.

එහෙත් රටේ ජනතාව මෙරට සිදුවන්නේ කුමක්‌දැයි නොදනී. එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් මෙරටින් පැමිණි ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරනු යෑයි ශ්‍රී ලංකාවට කියද්දී රජයේ යාන්ත්‍රණය මීට ප්‍රතිචාර දක්‌වා නැත.

මේ අන්දමට එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් ඉන්දියාවට ගොස්‌ එරට ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටිනු ඇතැයි සිතිය හැකිද?

මෙය පුදුමයක්‌ නොවේ. 1971 වසරේ මෙරට කැරළි ගැසූවන් පවා අද පවසන්නේ රණවිරුවන් නැති බවයි.

එහෙත් කොටි මිනීමරුවෝ දේශපාලන සිරකරුවන් බවට පත්වී සිටිති.

මේ කොටි අපරාධකරුවන් මුදාගැනීමට ද්‍රෝහි සිංහල එන්.ජී. ඕ. කාරයන් පිරිසක්‌ ද එක්‌වී සිටිති.

මොවුන් ඇමරිකාවට ගොස්‌ ගුන්තනාමෝබේ සිර කඳවුරේ සිටින අල්කයිඩා ත්‍රස්‌තයන් නිදහස්‌ කළ යුතු යෑයි හඬ නගන්නේද?

++++++++++++++++++++++++++++

ත්‍රස්‌ත පනත හකුලා ගනු; ජිනීවාහිදී රටවල් 4 ක්‌ කියයි
(15.11.2017 – divaina.com)

ත්‍රස්‌ත මර්දන පනත වහාම අහෝසි කරන ලෙස නෝර්වේ, එස්‌ටෝනියාව, ජර්මනිය සහ ඇමරිකාව ඊයේ (15 දා) ජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධව විමර්ශනයේදී ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන පරීක්‌ෂණය ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ආරම්භ විය.

මෙහිදී ශ්‍රී ලංකාවට එල්ල වූ යුධ අපරාධ චෝදනා පිළිබඳ පරීක්‌ෂා කිරීම සඳහා අධිකරණ යාන්ත්‍රණය ආරම්භ කරන්නේ කවදා දැයි ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කර ඇත.

ශ්‍රී ලංකා හමුදාවේ ඇතැම් අය වධහිංසා පමුණුවන බවට වාර්තාවී ඇති බවද චෝදනා කළ ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට වගකිවයුතු පාර්ශ්වලට එරෙහිව ශ්‍රී ලංකා රජය මෙතෙක්‌ ක්‍රියාකර නැතැයිද සඳහන් කර තිබේ.

– කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *