රන්ජන් සහ ශානිගේ තවත් මතභේදාත්මක හඬපටයක්

(09.01.2020 – 19:50 +0530 – sinhala.adaderana.lk)

පොලිසියේ ඉහළ තනතුරුවල පත්කිරීම් සිදුකිරීම සඳහා යහපාලන රජයේ ඉහළම පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වූ බව සඳහන් ප්‍රකාශ ඇතුළත් ආන්දෝලනාත්මක හඬපටයක් අද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අතර සිදුකෙරුණු සංවාදයක් එම හඩපටයේ ඇතුළත්ය.

එමෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කරන සංවාදයක් ඇතුළත් හඬපටයක්ද අද (09) මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

සිංහලේ සංවිධානයේ නියෝජිතයන් අද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මියට සහ විනිසුරු ධම්මික හේමපාල යන අයට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලමින්ය.

ඔවුන් අද (09) දිනයේත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ හඬපට කිහිපයක් මාධ්‍යයට අනාවරණ කළේය.

මේ අතර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඩපට සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා නීතිඥ ප්‍රේම්නාත් සී දොළුවත්ත මහතා ඇතුලු නීතිඥවරුන් පිරිසක් අද නීතීඥ සංගම් මූලස්ථානය වෙත පැමිණියේය.

ඉන් අනතුරුව ඔවුන් අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය වෙත ගොස් සිය පැමිණිල්ල සිදුකළාය.

+++++++++++++++++++++

මෛත්‍රීපාල සහ උන්දැගෙ පුතා දහම්

+++++++++++++++++++++

පද්මිණී රණවක රටෙන් පැන යාමේ සූදානමක් – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්

(09.01.2020 – 19:20 +0530 – sinhala.adaderana.lk)

අන්දෝලනයට තුඩුදී ඇති හඬපටවල සඳහන් අධිකරණ විනිසුරුවරුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලීමක් කරන බව නව සිහල රාවය ජාතික සංවිධානය පවසයි.

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය මේ වන විට රටින් පිට වීමේ සූදානමක් පවතින බවත් එහිදී කරුණු අනාවරණය කළේය.

අද (09) කළුතරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළේය.

විනිශ්චකාරවරු රන්ජන් රාමනායක සමඟ තිබු ගණුදෙනු හා සංවාද පිළිබඳවවත් තවමත් නිවැරදිකිරීමක් හෝ ප්‍රකාශයක් නිකුත් කිරීමට අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවත් එහිදී උන්වහන්සේ පැවසීය.

+++++++++++++++++++++

***************************************

රංජන්ගේ නිවසින් හමුවූ දුරකථන සංවාද හඬ පට ගැන විවිධ අදහස්

(09.01.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවසින් හමුවූ දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදත් අදහස් පළ කළා.

***************************************

රංජන් රාමනායක මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් කළ යුතු බව මන්ත්‍රී නිමල් ලන්සා කියයි

(09.01.2020 – 20:26 +0530 – hirunews.lk/sinhala)

මහත් ආන්දෝලනයට තුඩුදී ඇති හඬ පට හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මාදිවෙල පිහිටි නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් කළ යුතු බවට ඊයේ (08) පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළා.

ඒ පිළිබද තොරතුරු සමගින් මැති සබය විශේෂාංගය දැන්.

***************************************

තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ගැන ඇමති මහින්දානන්දගෙන් පොලිසියට පැමිණිලි

(09.01.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (09) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ තමන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බව පවසමින්.

මේ අතර, නව සිංහලේ ජාතික සංවිධානය කතානායක නිල නිවසට පැමිණියේ පාර්ලිමේන්තුව අපකීර්තියට ලක් කරමින් හැසිරුණු රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් කතානායක කරූ ජයසූරිය වෙත ලිපියක් භාරදීම සඳහායි.

මේ අතර සත්‍ය ගවේෂකයෝ සංවිධානය ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත පැමිණිල්ලක් සිදුකරමින් ඉල්ලා සිටියේ රන්ජන් රාමනායක සමග දුරකථන සංවාද පවත්වා ඇති බවට හෙළි වී ඇති විනිසුරුවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

අනතුරුව, සත්‍ය ගවේෂකයෝ සංවිධානය අදාළ පැමිණිල්ල අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ද ඉදිරිපත් කළා.

මේ අතර, දේශපාලන පලි ගැනීම්වලට ලක්ව සිරගත කර සිටින දේශපාලනඥයින් සහ රණවිරුවන් ඇතුළු පුද්ගලයින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් විදේශ බලකාය අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් භාර දුන්නා.

***************************************

ස්වාධීනත්වය රැක ගැනීමට අධිකරණය මැදිහත් විය යුතු බව, අගමැති කියයි

(09.01.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේදී ආන්දෝලනයට තුඩුදී ඇති හඬ පට නිකුත් වීම නිසා පසුගිය යහපාලන රජයේ දේශපාලනඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේ ද යන්න පිළිබඳව පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම පැවරී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පුවත්පත් කතුවරුන්ගේ හමුවකට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින් සඳහන් කළේ.

වර්තමානයේ හට ගෙන ඇති තත්ත්වය හමුවේ අධිකරණ තීන්දු පිළිගන්නේ කෙසේ දැයි යන්න පිලිබඳව ජනතාව ප්‍රශ්න කරන බව ද, අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.

අධිකරණය කෙරෙහි විශ්වාසයක් නැතිවීමත් සමග රට තුළ අරාජික තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, සෑම තීන්දුවක් දෙසම ජනතාව සැකයෙන් බලන තත්ත්වයක් අද වනවිට පත්ව ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේ.

පසුගිය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් සලකා බලනවිට අධිකරණයට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට ඇතමුන් සම්බන්ධ වී ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චයකාරයාට පැහැදිලි වගකීමක් පවතින අතර, ඒ ඔස්සේ වහා පියවරක් ගත යුතු බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

මේ අතර, තම අමාත්‍යාංශයේ පසුගිය කාලයේ මුදල් ගනුදෙනු පිළිබඳ මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, කෝටි ගණන් මුදල් වියදම් කර ඇති බව දැනටමත්, අනාවරණ වී ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

පසුගිය රජය 19 වන සංශෝධනය ගෙන එන අවස්ථාවේදී එම කෙටුම්පතේ කොටස් ඉවත් කිරීම නිසා බරපතල තත්ත්වයක් ඇතිවී ඇති අතර, එය වර්තමානයේ ඇතිවී තිබෙන අධිකරණ ආන්දෝලනයට ද හේතුවක් වී ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

වැඩිවන සහල් මිල පිළිබඳව ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් හමුවේ කියා සිටියේ වී අලෙවි මණ්ඩලය වහා ශක්තිමත් කොට වී මිලට ගැනීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් සකස් කර ඇති බවයි.

ඒ අනුව, ඉදිරියේදී සහල් මිල අඩු වනු ඇති බවත්, ඉදිරි යළ කන්නයේ සිට නොමිලේ මඩපොහොර සහ ගොඩපොහොර ලබාදීමට කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මෙම හමුවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, එහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම සියලු කරුණු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරය, රන්ජන් රාමනායකට සියලු උපදෙස් ලබාදී ඇති බවයි.

එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ රන්ජන් රාමනායකගේ හඬපටවලින් අනාවරණ වන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

***************************************

අධිකරණය, රන්ජන්ගේ හඬ පට සහ දත්ත පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

(09.01.2020 – 18:17 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවස පරීක්ෂා කිරීමේදී හමුවූ දුරකතන සංවාද ඇතුළත් සංයුක්ත තැටි සහ පරිගණක දත්ත පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවා තිබෙනවා.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ වාර්තාව කැඳවූයේ කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසෙන් හමුවූ සංයුක්ත තැටි මෙන්ම ලැප්ටොප් පරිගණක සහ දෘඩ තැටිවල දත්ත පිළිබඳ වාර්තාවක් රස පරීක්ෂකවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලබාදිය යුතු වනවා.

නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල විසින් අද (09) මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මේ අතර ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬපට සමාජ හා විද්‍යුත් මාධ්‍ය වෙත මුදාහැරීම ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකළ බවට විවිධ පාර්ශ්ව එල්ලකරන චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අදාළ හඬපට සම්බන්ධ වගකීම මුළුමණින්ම පැවරෙන්නේ දීර්ඝ කාලයක සිට ඒවා ළඟ තබාගත් අයට බවයි.

අදාළ දුරකථන සංවාද ඇතුළත් හඬ පට මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධයෙන් පොලිසියට එල්ලවන චෝදනාවලට පිළිතුරු සපයමින් පොලිස් මූලස්ථානය විසින් දීර්ඝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය දෙවැනිදා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකු අමතක වීමෙන් දමාගිය බාහිර දෘඩ තැටියක් මිරිහාන පොලිස් ස්ථානය වෙත ගෙනවිත් භාරදී ඇති බවයි.

එය පරීක්ෂා කිරීමේදී රංජන් රාමනායක විසින් සිදුකරන ලද දුරකථන සංවාද විශාල ප්‍රමාණයක් එහි පටිගතව ඇති බව පෙනී ගියේයැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එහි දැක්වෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුතුමන්ලා මෙන්ම පොලිස් නිලධාරීන් සමග සිදුකළ දුරකථන සංවාද එහි අඩංගු වූ බවයි.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය තුළ පිස්තෝලයක් භාවිත කරමින් අවි පුහුණුව ලැබූ බවටත්, එලෙස අවි පුහුණුව ලැබූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා බවටත් වන දුරකථන සංවාදයක් පැවතීම මත ඝාතන කුමන්ත්‍රණයක් දියත්වන බවට ඇතිවූ සාධාරණ සැකය මත පොලිසිය අදාළ දෘඩ තැටියෙහි පළමු පිටපත සහ ඊට සම්බන්ධ වෙනත් දේපළ මෙන්ම දුරකථන සංවාදවල ඇතුළත් අවිය සොයා ගැනීම සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පරීක්ෂා කර තිබෙනවා.

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අංක බී 42/2020 යටතේ කරුණු වාර්තා කර පසුගිය 4 වැනිදා මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලබාගත් වරෙන්තුවකට අනුවයි.

අදාළ වරෙන්තුවට අනුව පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කැමැත්ත ඇතිව ඔහුගේ ආරක්ෂක නිලධාරීන් හා නිවසේ සිටි සේවකයින් මෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් එම ස්ථානයට පැමිණි නීතිඥවරයෙකු ඉදිරියේ නිවස පූර්ණ පරීක්ෂාවට ලක්කළ බව නිවේදනයේ සඳහන්.

පැය හතර හමාරක පමණ කාලයක් සිදුකරන ලද සෝදිසි කිරීම්වලදී මන්ත්‍රීවරයාගේ නිදන කාමරයේ සහ එම කාමරයට යාබද කාමරය තුළ තිබී 9 mm වර්ගයේ ගිනි අවියක්, ඊට භාවිත කරන පතරොම් ගැබ් දෙකක්, 9 mm වර්ගයේ ජීව උණ්ඩ 127 ක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය පවසන්නේ මීට අමතරව ලැප්ටොප් පරිගණක දෙකක්, බාහිර දෘඩ තැටි 4 ක්, හාඩ් ඩිස්ක් 5 ක්, ජංගම දුරකථනයක්ල විවිධ වර්ගයේ DVD පට 164 ක්, වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විස්තර ඇතුළත් ගොනු දෙකක්, නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගත් බවයි.

ගිනි අවිය හා ජීව උණ්ඩ 127 සමග ඒවා බහාලන ඇසුරුම් 3 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එක් ඇසුරුමක උණ්ඩ 50 බැගින් මුළු උණ්ඩ 150 ක් තිබිය යුතුව ඇතත් ඉන් 23 ක් නොතිබීම මත අදාළ උණ්ඩ භාවිත කරමින් මන්ත්‍රීවරයා කිසියම් සාහසික ක්‍රියාවක් සිදුකළේදල ගිනි අවිය සමග එම උණ්ඩ යම් අපරාධයක් සඳහා වෙනත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ලබාදී තිබේද යන බරපතළ සැකය හේතුවෙන් එදින පස්වරු 07:30 ට පමණ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව අදාළ නිවේදනයේ සඳහන්.

එහිදී පොලිස් භාරයට ගත් දේපළ මන්ත්‍රීවරයාගේ වම් මාපට ඇඟිල්ලේ සලකුණ සහිතව මුද්‍රා තබා ආරක්ෂිතව තබා ඇති අතරල ඉදිරි ආසන්නතම දිනකදී ඒවා නඩු භාණ්ඩ වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

අදාළ හඬපට මේ දිනවල සමාජ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධව විවිධ පාර්ශ්ව කරනුලබන චෝදනා ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන අතර, රංජන් රාමනායක මන්ත්‍රීවරයා තම පුද්ගලික සන්තකයේ තබාගෙන සිටි දුරකථන සංවාදවලට අදාළ තොරතුරුල මෙලෙස සමාජගතවීම සිදුව ඇත්තේ ඒ මහතා සතුව එම බාහිර දෘඩ තැටි පැවති අවස්ථාවක බවට නිරීක්ෂණය වන බවද පොලිස් මූලස්ථානය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව එම හඬපට සමාජ හා විද්‍යුත් මාධ්‍ය වෙත මුදාහැරීම පොලිසිය විසින් සිදුකළ බවට විවිධ පාර්ශ්ව සිදුකරන චෝදනා පදනම් විරහිත බවත්, එල්ලවන බරපතළ චෝදනාවලින් නිදහස් වීම සඳහා මහජනතාව තුළ වැරදි ආකල්පයක් ඇතිකරවීම සඳහා කරනු ලබන මෙම චෝදනා බැහැර කරන බවත් ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරනවා.

අදාළ නිවේදනයේ අවසානයේ දක්වා ඇත්තේ දැනට සමාජගතවී ඇති දුරකථන සංවාද ඇතුළත් හඬපට සම්බන්ධ වගකීම මුළුමණින්ම පැවරෙන්නේ දීර්ඝ කාලයක සිට ඒවා සන්තකයේ තබාගෙන සිටි අයවළුන්ට බවයි.

+++++++++++++++++++++

රන්ජන්ගේ හඩ පට ගැන රජය, අගවිනිසුරුගෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

(09.01.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට, අධිකරණයේ විශ්වසනීයත්වය පිලිබඳව තහවුරු කිරීම සඳහා අගවිනිසුරුවරයා කඩිනමින් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයද අගවිනිසුරුවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඩපට සම්බන්ධයෙන් කඩිනමින් නිසි පියවරක් ගන්නා ලෙසටයි.

+++++++++++++++++++++

දුරකතන සංවාද හරහා මතුපිටින් නොපෙනෙන ගැඹුරු කුමන්ත්‍රණයක් ගැන සැකයක්

(10.01.2020 – nethnews.lk)

ශී‍්‍ර ලංකාවේ අධිකරණ දූෂිත බවටත් ස්වාධීන නොවන බවටත් සමාජගත කෙරෙන මතය ජාත්‍යන්තර උවමනාවක් විය හැකි බවට අනතුරු ඇඟවෙනවා.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක විසින් සිදු කෙරුණු ඇතැම් දුරකතන සංවාදවලින් ද උත්සාහ කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ අධිකරණ දූෂිත බවටත් ස්වාධීන නොවන බවටත් සාක්‍ෂි රැස් කිරීමට යැයි හැඟී යන බවයි.

ඒ අනුව මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු කුමන්ත‍්‍රණයක් මෙම දුරකතන සංවාද ඇසුරෙන් සිදුව තිබිය හැකි බවද ඔවුන් පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ “රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවේ රන්ජන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන්නේ එම්. ඒ. සුමන්තිරන් කියන TNA මන්ත්‍රිවරයා. මේ නීතිඥවරයාගෙන් රන්ජන්ට ලැබිලා තියෙන උපදෙස තමයි පුලුවන් තරම් අධිකරණය දූෂිත බවට සාක්ෂි එකතු කරගන්න කියලා.” යනුවෙනි.

ශී‍්‍ර ලංකාවේ අධිකරණ දූෂිත බවටත් ස්වාධීන නොවන බවටත් කියාපාන මෙම කුමන්ත‍්‍රණයේ අවසන් අරමුණ රට බෙදා වෙන් කිරීම විය හැකි බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

මෙම කරුණු සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ දුරකතන සංවාද ඇසුරෙන් සිදුව ඇති සැබෑ කුමන්ත‍්‍රණය කඩිනමින් හෙළිකර ගැනීමට විමර්ශන නිලධාරීන් උත්සාහ කළයුතු බවයි මෙහිදී යෝජනා කෙරුණේ.

ශී‍්‍ර ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට ද කඩිනමින් කි‍්‍රයාකළ යුතු බවද මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *