ඒකීය ශ්‍රී ලංකාවක්‌ උදෙසා ජයගත යුතු අභියෝග – ශාස්‌ත්‍රපති රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි

(15.11.2017 – divaina.com)

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය යෑයි ද එය පසුගිය මැතිවරණවලදී දුන් ජනතා පොරොන්දුවක්‌ යෑයි ද, එය ප්‍රධාන පක්‍ෂ දෙක විසින්ම ඉටුකරන බවට දේශපාලන වේදිකාවලදී මොර දුන් බව ද 62 ලක්‍ෂයක්‌ ජනතාව ඡන්දය දුන්නේ එය ඉටුකිරීමට බව ද පවසමින් දැන් එම ව්‍යවස්‌ථාව ගෙන ඒම සඳහා කෙටුම්පත් සකසා එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කොට සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. මේ අතර ශ්‍රී ලංකාවේ සියම් මහා නිකායේ මල්වතු අස්‌ගිරි මහානාහිමිවරු ද, රාමඤ්ඤ හා අමරපුර මහා නිකායන්හි මහා නාහිමිවරු ද නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවක්‌ නොමැති බව ද අවශ්‍ය සංශෝධන සිදු කිරීමේ වරදක්‌ නැති බව ද පෙන්වා දෙති පසුගිය පනත් කිහිපයක්‌ම රජය විසින් ඉදිරිපත් කරමින් ඒවා හොඳින් හෝ නරකින් හෝ රජය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කරගති. මේ නිසා නව ව්‍යවස්‌ථාවට අදාළ කෙටුම්පත් සකසා සාකච්ඡාවට යෑයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබීමෙන් එය ද කෙසේ හෝ සම්මතකොට ඉදිරියට මෙම පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයකින් සම්මත කර ගෙන එය ක්‍රියාත්මක කිරීමට රජය පෙළඹේ යෑයි ද, එයින් “ලබ්බට තිබ්බ අතම පුහුලටත් තබාවි” යන සැකය රටේ ජනතාව තුළ ඇතිවීම වැළැක්‌විය නොහැකිය.

මොන පනතක්‌ වුවද කවුරු කොහොම කෙසේ ගෙනාවත් හැමදාම එවිට විරුද්ධ වන පිරිසක්‌ ද සිටිති. ඔවුහු බොහෝ විට විරුද්ධ පක්‍ෂයේ සිටින අයම වීම මෙහිදී පැහැදිලිව දැකිය හැකි ලක්‍ෂණයකි. මෙබඳු පනතක්‌ පසුගිය රජය ගෙන ආවේ නම් අද ආණ්‌ඩු කරමින් මෙබඳු පනතක්‌ ගෙන එන මේ අය එදා විරුද්ධ පක්‍ෂයේ සිටින විට මෙයට අනිවාර්යයෙන්ම විරුද්ධව කටයුතු නොකරනවා යෑයි යමෙකුට පැවසිය නොහැකිය. එසේම එදා රජ කළ ආණ්‌ඩු පක්‍ෂයේ සිටි අය අද මෙබඳු පනතකට විරුද්ධවීම අනිවාර්යයෙන්ම සිදුවන බව ද නොරහසකි. ඒ බව ම.එ. පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු මහා නාහිමියන් බැහැදුටු අවස්‌ථාවේ ‘ඔබතුමාලාම නේද එම කමිටුවේ සිට මෙබඳු දේ සඳහා කටයුතු කළේ?” යන ප්‍රශ්නය නැගීමෙන්ම පෙනේ. මෙබඳු අවස්‌ථාවලදී නැන්දම්මට මතක නැතිලු නැන්දම්මා ලේළියක්‌ වෙලා හිටිය බව” යන ප්‍රස්‌ථාව පිරුළ ද සිහිකරවයි.

මෙබඳු පනතක අවශ්‍යතාව බටහිර රටවල්වල එන්. ජී. ඕ. සංවිධානවල එහෙමත් නැතිනම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය පරිදි සිදු කරන්නක්‌ය යන්න සමහරු පවසති. එසේ නැති නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙස ද හුවාදැක්‌වීමට සමහරු පෙළඹෙති. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බටහිර රටවල බලකිරීම් මත මෙබඳු ක්‍රියාදාමයන් සිදුවන බව ඇතමුන් පැවසුවද බටහිර රටවල් එසේ පැවසීමට හේතු කවරේද යන්න සොයා නොබැලීම නිසා ප්‍රශ්න, ගැටලුවල නිසියාකාර තත්ත්වයන් පැහැදිලිව නොදකී.

දශක තුනකට ආසන්න කාලයක්‌ අප රටේ පැවැති යුද්ධය නිසා බැට කෑවේ ශ්‍රී ලංකාව පමණක්‌ නොව සරණාගතයන් ලෙස ලක්‍ෂ ගණනින් ද්‍රවිඩ ජනතාව මුළු යුරෝපයටත්, ඇමරිකාව, කැනඩාව මෙන්ම ඔස්‌ටේ්‍රලියාව වැනි රටවලටත් සංක්‍රමණය වීමෙන් එම සංක්‍රමණිකයන්ගේ නිවාස, ඇඳුම්, පැලඳුම්, කෑම බීම, බෙහෙත් හේත්, අධ්‍යාපන කටයුතු රැකී රක්‍ෂා ආදී සියල්ලම සඳහා අති විශාල ධනස්‌කන්ධයක්‌ දැරීමට මේ රටවලට සිදුවිය. ඒ අතර යුද්ධය නිසා රට හැර ගිය ද්‍රවිඩ ජාතිකයන්ට වසර තිහකට පසුව ශ්‍රී ලංකාවේ සිය ඉඩකඩම්, දේපළ, දෙමාපිය, ඥති හිතමිත්‍රාදීන්, ආමික සබැඳියාව, සංස්‌කෘතිය මේ ආදී සියල්ලම අහිමි වීමෙන් තම ජීවිතය විනාශ වී ඇති බවද එහෙයින් තමන්ට ශ්‍රී ලංකාවේ ජීවත්වීමට සුදුසු පරිසරයක්‌ නොමැති බව ද ඔවුහු බලධාරීන්ට පෙන්වා දෙති. ඇරත් මෙපමණ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ යුරෝපීය පරිසරයකට, ජීවිතයකට හුරු පුරුදු වූ ඔවුනට යුරෝපයේ මෙන් සියලු පහසුකම්වලින් සපිරි දිවයිනක්‌ හෝ ජීවිතයක්‌ ඔවුනට ගතකිරීමට නොලැබෙන බව ද නොරහසකි.

ඒ කෙසේ වුවද මෙබඳු පනතක්‌ සර්ව සම්පූර්ණ පනතක්‌ බවට පත්විය නොහැක්‌කේ කිසිදාක රටේ සියලු ජාතීන්ගේ අදහස්‌ පිළිබිඹු වන පරිදි හෝ මුළු ජනගහනයෙන් හැම දෙනාගේම සිත් සතන් සතුටු කළ හැකි පනතක්‌ නොවන නිසාය. වෙනකක්‌ තියා පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනකුගේ අදහස්‌ හා කැමැත්ත පරිදි මෙබඳු පනතක්‌ සකසා ගත නොහැකි වන නිසාය, විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ දේශපාලන පක්‍ෂවල එල්ලුන, විවිධ දේශපාලන පක්‍ෂවල පාට ගාගත්ත දේශපාලකයන් සිටින පාර්ලිමේන්තුව තුළින් කවදාවත් මෙබඳු සියලු ජාතීන්ට සර්ව සාධාරණ වූ ව්‍යවස්‌ථා පනතක්‌ සම්මත කර ගැනීම කඩිමුඩියේ සිදුකළ නොහැක්‌කකි. මේ සඳහා අඩුම වශයෙන් වසර දහයක කාලයක්‌වත් වැය කරමින් ඒ සඳහා කටයුතු කළ යුතුවේ. එසේම මේ සඳහා ආගමික නායකයන්, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරුන් හා නීති විශාරදයන් මෙම දේශපාලන නායකයන්ගෙන් සමන්විත මණ්‌ඩලයක්‌ මගින් සියලු ජාතීන්ගේ හා සියලු ආගමිකයන්ගේ අභිමතාර්ථයන් 100% ක්‌ම නොවුණ ද අඩුම වශයෙන් 80% ක්‌ වත් ඵලගැන්වෙන අයුරින් සකස්‌ කළ යුතුය. පක්‍ෂ පාට නොබලා ඒ සඳහා සෑම දෙනාම කැපවිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් බහුතරයක්‌ සිංහල බෞද්ධ වේ. එම නිසා රටේ බහුතරය සෑම විටම අනෙක්‌ සුළු ජාතීන්ට ගෞරව කළ යුතුය. මන්ද එමගින් වඩාත් ගෞරවයට පාත්‍ර වන්නේ සිංහල බෞද්ධ මහ ජාතිය බැවිනි.

එපමණක්‌ නොව ශ්‍රී ලංකාවේ උපන් හැම ජාතිකයෙක්‌ම ජාත්‍යන්තර පිළිගැනීමට අනුව ශ්‍රී ලාංකිකයන් වන බව පිළිගත යුතුවේ. එදා චෝල දේශයෙන් ආක්‍රමණය කළ අය මෙන්ම මෙදා සුද්දා ඉන්දියාවෙන් වතු කම්කරු සේවය සඳහා ආනයනය කළ වතු ද්‍රවිඩයන් ද බොහෝ අය පරළොව ගොස්‌ ඇතිවාට සැකයක්‌ නැත. අද ඇත්තේ එම කල්ලතෝනින් නොවන බවද අප මව්බිම තුළ උපන් අය බව ද අප කවුරුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතුවේ. එම නිසා අෙන්‍යාන්‍යන්ගේ ආගම දහමට, සංස්‌කෘතියට, සිරිත් විරිත්වලට, භාෂාවට සභ්‍යත්වයට ඔවුනොවුන් ගරු කළ යුතුවේ. එවිට සංහිඳියාව අර්ථවත් වේ.

එක එක කාලෙට එක එක ආණ්‌ඩු විසින් ගෙන එනු ලබන මෙබඳු පනත්වලින් ඇතිවන්නේ නැති ප්‍රශ්න ඇතිවීමය. මෙය සමහරවිට දේශපාලකයෝ ද මැනවින් දනිති. මෙබඳු පනත් ගැනවත් ප්‍රශ්න ගැනවත් රටේ වෙසෙන විවිධ ජාතිකයන්ට අවශ්‍යතාවක්‌ තිබේ ද යන්න පළමුව විමසිය යුතුය. පසුගිය වසර ගණනාවක්‌ මේ පිළිබඳව කිසිවෙක්‌ කටක්‌ ඇරියේ නැත. දේශපාලකයන්ට කරන්න දෙයක්‌ නැති වූ විට මෙබඳු ජවනිකා වේදිකාවට ගෙන එති. කඩදාසි කොළවල මොන දේ ලීවත් ඒවා ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉන් වැඩක්‌ නැත. ව්‍යවස්‌ථාවල් ගෙන එමින්, ඒවා ගැන කතා කරමින්, මාධ්‍ය සංදර්ශන තබමින්, එකිනෙකාට දොස්‌ නගාගනිමින්, මඩ ගසා ගනිමින් කාලය කා දමනවා හැර රටේ සංවර්ධනයට වැඩපිළිවෙළක්‌ දියත් නොකරන බවක්‌ නොපෙනේ. මෙබඳු පනත්වලට වැඩිය රට පුරාම බලපැවැත්වෙන පරිදි හා මොන ආණ්‌ඩුවක්‌ බලයට පත් වුණත් අඛණ්‌ඩව රට තුළ දිවෙන අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, දේශපාලන, සමාජයීය හා ආගමික ආදී සෑම ක්‍ෂේත්‍රයකටම අදාළ වන පරිදි ජාතික ප්‍රතිපත්ති මාලාවක්‌ සැකසිය යුතුවේ. එවිට එක ආණ්‌ඩුවක්‌ පත් වුණාට පසුව එක එක්‌කෙනාට ඕනෑ විධියට කස්‌තිරම් ඇල්ලීමට ඉඩකඩ නොලැබේ.

රටට නිදහස ලැබී අවුරුදු 70 ක්‌ ගතවෙන මේ මොහොත දක්‌වා රටේ සංවර්ධනයෙහි වැඩි කොටසක්‌ ඉටු වී ඇත්තේ බස්‌නාහිර පළාතේ යෑයි පැවසුවහොත් එය නිවැරැදිය. සෑම අවුරුදු 10 ට එක පළාත බැගින්වත් රටේ සංවර්ධනය සිදු වූයේ නම් මේ වන විට රටේ පළාත් 7 ක සංවර්ධනය වී හමාරය. වත්මන් ආණ්‌ඩුවට මුදල් නැති බව පවසති. පැවැති රජය මහා මුදල් මංකොල්ල කෑ බව එයට හේතු ලෙස පවසති. එසේ රටේ මුදල් වංචාකොට ඇත්නම් ඒවා රටට නැවත ලබාගත යුතුය. වැරදිකරුවන්ට දඬුවම් පැමිණිය යුතුය. ඒ එසේ තිබියදී රජය පත්වී වසර දෙකක්‌ ගතවීමටත් පෙර රට තුළ බැඳුම්කර මහා වංචාවක්‌ සිදු වූ බව ප්‍රකටය. එයට දඬුවම වූයේ වරප්‍රසාද සහිතව මුදල් ඇමතිකම අහිමි කිරීමය. රට කිරීමට මුදල් නැතිනම් රට තව තවත් ණය උගුලක හිර කරනවා වෙනුවට කළ යුතු වන්නේ අඩුම වශයෙන් රට තුළ කර්මාන්ත ශාලා ඉදිකොට රැකී රක්‍ෂා උත්පාදනයකොට නිෂ්පාදනයන් අපනයනය කොට රටට මුදල් ඉපැයීමය. පටු දේශපාලනය නිසා මැතිවරණ සමයේ ඡන්ද පොරොන්දු හැටියට රැකීරක්‍ෂා ලබා දෙන බව පවසා ඒ පොරොන්දු ඉටුකරනුයේ නැවතත් ජනාධිපතිවරණයක්‌ හෝ පාර්ලිමේන්තු මැතිවරණයක්‌ එළඹෙන විටදීය. එය ද ඡන්දය බලාගෙන කරන දෙයක්‌ වීම නිසා රටේ සංවර්ධනයට මානව සම්පත් නිසියාකාරව අවශ්‍ය වෙලාවට නොයෙදේ. එම නිසා ද රටේ සංවර්ධනය අඩාලවේ.

පනත්වලට කාලය කා දමනවා වෙනුවට කළ යුත්තේ සෑම ක්‍ෂේත්‍රයටම ශක්‌තිමත් නීතියක්‌ ස්‌ථාපනයකොට ජනාධිපතිවරයාගේ සිට රටේ සියලුම පුරවැසියාටම සර්ව සාධාරණ පරිදි නීතිය නිවැරැදිව ක්‍රියාත්මක කිරීමය. එය පක්‍ෂ, පාට, තනතුරු සහ නිල ඇඳුම නොසලකා හැමටම සමාන විය යුතුය. පොත්වල ලියා නීතිය පොතේ ඇත. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ පක්‍ෂ පාට, බලතල අනුව වීම නිසා නීතිය වල්වැදී ඇත. රටක දියුණුව ආගම දහමින් ඇතිවිය යුතුය. නැතිනම් නීතියෙන් ඇතිවිය යුතුය. මේ දෙකෙන්ම රටක්‌ නොහැදේ නම් ව්‍යවස්‌ථා නමැති කඩදාසි කොළවලින් වැඩක්‌ නැත. ව්‍යවස්‌ථාවක්‌ රටකට ප්‍රයෝජනවත් වන්නේ එය ප්‍රායෝගිකව ජනතාවට පිටිවහලක්‌ වන තරමටය.

වත්මන් ශ්‍රී ලංකා දේශපාලන තත්ත්වය සඳහා ජර්මනියේ දේශපාලන ක්‍රමය ආදර්ශයට ගෙන ඇති බව කියෑවේ. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එදා මෙදාතුර නොවූ විරූ තත්ත්වයක්‌ ඇති වූයේ ජර්මනියේ මෙන් ලක්‌දිව ද ප්‍රධානතම දේශපාලන පක්‍ෂ දෙක වන එ.ජා. පක්‍ෂය සහ ශ්‍රී.ල.නි.පක්‍ෂය එකට එක්‌ව රට පාලනය කිරීමය.

ජර්මනියේ දේශපාලන ව්‍යුහය ආදර්ශයට ගැනීමේදී පළමුවෙන්ම කළ යුත්තේ ජර්මනියේ මෙන් සියලු රටවැසියා ජර්මන් භාෂාව ඉගෙනගත යුතුවීමය යන පදනමය, ජර්මනියේ මුළු ජනගහනය මිලියන 82 ක්‌ හෙවත් අටකෝටි විසිලක්‍ෂයකට වැඩිය. එයින් දෙවැනි වැඩිම ජනවර්ගය වනුයේ මිලියන 3 ක්‌ පමණ වන තුර්කි ජාතිකයන්ය. පිටරැටියන් ලෙස ජර්මනියේ ජීවත්වෙන පිරිස මිලියන දහයකට හෙවත් කෝටියකට වැඩිය. මේ හැම කෙනාම අනිවාර්යයෙන්ම ජර්මන් භාෂාව ඉගෙනගත යුතුමය. රටේ මව් භාෂාව වනුයේ ජර්මන් භාෂාවය, ප්‍රංශ, ඉංගී්‍රසි ආදී වශයෙන් මෙහි ජාතික භාෂා දෙක තුනක්‌ නැත, සෑම මනුෂ්‍යයකුටම සම අයිතිවාසිකම් ඇති අතර නීතිය හැම කෙනාටම පොදු වේ. අපරාධකරුවකු අල්ලා ගැනීමට සමහරවිට අවුරුදු 30 ක කාලයක්‌ රහස්‌ පොලිසිය වැය කර විත්තිකරු නීතියේ රැහැනට කොටුකර ගනී. අවශ්‍ය කෙනකුට යුරෝපීය ඕනෑම භාෂාවක්‌ ඉගෙන ගැනීමට පහසුකම් ඇත. රාජ්‍ය භාෂාව ජර්මන් භාෂාව නිසා රජයේ සහ පෞද්ගලික ආයතනවල සියලු කටයුතු සිදු කෙරෙනුයේ ජර්මන් භාෂාවෙනි.

ජර්මනිය පළාත් 16 කින් යුතු අතර තුර්කි ජාතිකයන් හෝ බවේරියානුවන් වැඩි වශයෙන් ජීවත්වෙන පළාත් යෑයි කියා ඔවුනට වෙනමම රාජ්‍ය සංකල්පයන් ඇතිකර ගැනීමට බැරිය. සංවර්ධිත පළාත්වල ආදායම්, ඌණ සංවර්ධිත පළාත්වල සංවර්ධනය සඳහා යෙදවිය යුතුවේ. ජර්මනියේ දේශපාලන ක්‍රමවේදය ආදර්ශයට ගන්නා ශ්‍රී ලංකාව මෙබඳු ආදර්ශයන් නොගැනීම ශ්‍රී ලංකාව බෙදීමට දත කනවා යෑයි හඬ නඟන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට හා බටහිර රටවලට ද උඩගෙඩි දීමකි. හරි විධිය නම් සියලුම ශ්‍රී ලංකාවාසීන් සිංහල ඉගෙනගත යුතුය. ඒ සඳහා උතුරු නැගෙනහිර ඇතුළු වතුකරයේ ජනතාවට සිංහල භාෂාව ඉගැන්විය යුතුය. ඒ සඳහා උසස්‌ පෙළ සමත් සියලුම අයට ගුරු පත්වීම් දී භාෂාව ඉගැන්විය යුතුය. කැමති අයට දෙමළ භාෂාව ද ඉගෙනීමට අවස්‌ථාව සලසා දිය යුතුය.

වත්මන් රජය බලයට පත් වූවාට පසුව සිදු වූ සාලාව ගිනි අවි ගබඩාව පිපිරීම, අරනායක නාය යැම, මීතොටමුල්ල කුණු කන්ද නාය යැම, පසුගිය රජයේ දේශපාලකයන් සිදු කළැයි කියන කෝටි ප්‍රකෝටි ධනස්‌කන්ධය රටට ආපසු ලබාගැනීමට සමත් නොවීම, බැඳුම්කර වංචාව කරලියට ඒම, සයිටම් ප්‍රශ්නයට නිසි විසඳුම් ලබා නොදීම, පළාත් සභා ඡන්ද කල් දැමීම හා මහා නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය විරුද්ධ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම වැනි කරුණු රජයට සුව නොවන තුවාල බවට පත්වී තිබේ. මෙම මාතෘකා ඊළඟ මැතිවරණයේදී විපක්‍ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත්වනු නියතය. නමුත් අර්බුදය වන්නේ මෙම දැවෙන ප්‍රශ්නවලට බලයට පත්වූ කිසිදු දේශපාලන පක්‍ෂයකට ප්‍රායෝගික විසඳුම් ලබාදීමට නොහැකි වීමය. එබැවින් එළඹෙන මැතිවරණවලදී දේශපාලඥයන් ලබාදෙන පොරොන්දු පිළිබඳව ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. ජනතාව බුද්ධිමත් වීම රටේ අනාගතයට හිතකරය.

– ශාස්‌ත්‍රපති රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි
බර්ලින් සම්බෝධි විහාරාධිපති හා දොරණෑගොඩ සදානන්ද පිරිවෙන් රජමහා විහාරාධිපති

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *