දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි සමාගම ගැන හොයන්න ජනපති කොමිෂන් සභා 2 ක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි සමාගම ගැන හොයන්න ජනපති කොමිෂන් සභා 2 ක්

• ETI තැන්පත්කරුවන් වසර දෙකකට පසු විසඳුමක් අභියස

• අසර්බයිජාන්වල මියගිය සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර

• අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලංකික සිසුවියන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට

• ජනපති මහනුවරට – ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගනී

• ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් ගැන, වෘත්තීය සමිති පරීක්ෂණයක් ඉල්ලයි

• අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවට ප්‍රවාහන ඇමතිගෙන් යෝජනා දෙකක්

• වත්තල – කැළණිය හා බියගම ප්‍රදේශවලට සඳුදා (13) පැය 24 ක ජල කප්පාදුවක්

• විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

• මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩි කරනවා – උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

• පාස්කු ප්‍රහාරය සොයන ජනපති කොමිසම 39 දෙනෙකුගෙන් සාක්ෂි ගනී

• ආරක්ෂිත කැමරාවේ සටහන් වූ මැර ප්‍රහාරය

• හිරුගේ අනාවරණයෙන් සැබෑවන රත්නපුරයේ – මිල්ලකඩේ පවුල් 70 කගේ සිහිනය

• නිවාස රාජ්‍ය ඇමතිගේ ඇඹිලිපිටිය නායකත්ව පුහුණු ජාතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව උණුසුම් වෙයි

• විභාග කේන්ද්‍රීය නොව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි

• නිවාස කැඩූ වැඩතහනම් වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

• මගීන්ගේ රන් භාණ්ඩ කොල්ල කන, කල්ලියක 3ක් අත්අඩංගුවට

• කුඹුරක් ගොඩකර හදන සුසාන භූමිය

• ජනාධිපතිවරයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි පාර්ලිමේන්තුවක් අවශ්‍යයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

• අපේ රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කළේ අන්තවාදී දේශපාලඥයින් – කෙහෙළිය රඹුක්වැල්ල

+++++++++++++++++++++++++++++++++++

දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි සමාගම ගැන හොයන්න ජනපති කොමිෂන් සභා 2 ක්

(11.01.2020 – 06:50 +0530 – sinhala.adaderana.lk)

2015 ජනවාරි මස පළමු වනදා සිට 2019 නොවැම්බර් මස 16 වනදා දක්වා දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත් කර ඇත.

පසුගිය 9 වනදා සිට බලපැවැත්වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතනවල දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූවන් සම්බන්ධයෙන්මෙම කොමිසම මඟින් විමර්ශනය කරනු ඇති.

එම කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත වෙයි.

අදාල කාලය තුළ දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මෙම කොමිසම මඟින් විමර්ශනය කරෙනු ඇති.

2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සහ එම වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් අනතුරුව ඊට පෙර තනතුරු දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිසියේ සාමාජිකයින් දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ජනපති කොමිසම මඟින් කරුණු සොයා බැලීමට නියමිතයි.

මෙම ජනාධිපති කොමිශන් සභාව මඟින් මාස 6 ක කාලයක් තුළදී ඊට අදාල වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දිය යුතු වෙයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී සිටින ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම කොමිශන් සභාව පත් කර ඇති බව සඳහන්.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් එහි සාමාජිකයින් ලෙස විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩි.එම්.ගුණසේකර යන මහත්වරුන් පත් කර ඇත.

ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම ස්වකීය තැන්පතුකරුවන්ගේ ගනුදෙනු බේරුම්කිරීම සඳහා වත්කම් විකිණීම සිදු කළද මුල්‍ය සමාගමේ සිදුව ඇති බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් මෙම කොමිසම මඟින් විමර්ශනය කරනු ඇති.ඊ.ඒ.පි.බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ලිමිටඩ්හි අයිතිය විදේශිකයින් විසින් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති කඩ කරමින් බ්ලු සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ බෙන්හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලින් සැදුම්ලත් මුල්‍ය ආයතන සමුහයකට විකිණීම සහ විදේශිකයින් විසින් නිශ්චල දේපළ මිලදී ගැනීම තහනම් කෙරෙන ශ්‍රී ලංකාවේ නීතිකඩකරමින් ඊ.ටී.අයි සමාගමේ වත්කම් විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීම සඳහා ගැසට් නිවේදනය මඟින් බලය පවරා ඇති බව සඳහන්.

මෙම කොමිසමේ නිර්දේශ ඇතුලත් වාර්තාව මාස 3 ක් ඇතුළත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදිය යුතු බවයි අදාල ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

+++++++++++++++++++++

ETI තැන්පත්කරුවන් වසර දෙකකට පසු විසඳුමක් අභියස

(11.01.2020 – 12:36 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ සිදුවුණු බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියා ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ඊ.ටී.අයි. තැන්පත් සුරැකීමේ ස්වාධීන සංවිධානය ප්‍රසාදය පළ කරනවා.

එහි සභාපති අනූෂා ජයන්ති මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වසර දෙකක කාලයක් විසදුමක් නොමැතිව අසීරුතාවට පත්ව සිටි ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට මෙම කොමිසම මගින් යම් සාධාරණයක් ඉටු වේයැයි අපේක්ෂා කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ මෙම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගමලත් මහතා සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර මහතායි.

ඒ අනුව, බරපතල මූල්‍ය ගැටලුවලට මුහුණදී වත්කම් විකිණීමට සිදුවූ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදුවුණු බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කොමිසමට බලය පවරා තිබෙනවා.

එකී වත්කම්වලට ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස්, ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් කම්පැනි ලිමිටඩ් සහ එහි අනුබද්ධ සමාගම්, ඊ.ඒ.පී ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ලිමිටඩ් සහ එහි පාලිත සමාගම්, හොටෙල් සෆායර් පුද්ගලික සමාගම, ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් සහ ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගම සතු වෙනත් නිෂ්චල වත්කම් ඇතුළත් බව එම ගැසට් නිවේදනයේ සඳහන්.

එසේම, විදේශිකයන් විසින් මාධ්‍ය ආයතනයන්හි අයිතිය ලබා ගැනීම පිලිබඳ ශ්‍රී ලංකාවේ නීති කඩ කරමින් ඉහත ආයතන බ්ලූසමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ බෙන් හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලින් සැදුම්ලත් මූල්‍ය ආයතන සමූහයකට විකිණීම පිළිබඳව ද මෙම ජනාධිපති කොමිසම විමර්ශන සිදුකරනවා.

කොමිසමට බලය පවරමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ඊ.ටී.අයි වත්කම් විකිණීමට අදාළව රජයට සහ මහජනතාවට අලාභයක් හෝ හානියක් සිදුවීමට හේතු වූ වැරදි ක්‍රියාවක්, අක්‍රමිකතාවක් හෝ අයථා ක්‍රියාවක් මෙන්ම, නීත්‍යානුකූළ නොවන අයුරින් කටයුතු කිරීමක් සිදුවී ඇත්නම්, ඒ පිළිබඳව ද විමර්ශනය කර පරීක්ෂා කිරීම සිදුවිය යුතු බවයි.

ඒ අනුව, ඊ.ටී.අයි. ආයතනයේ වත්කම් විකිණීම සම්බන්ධයෙන් අවශ්‍ය විය හැකි පරීක්ෂණ සහ සියලුම විමර්ශන පවත්වන ලෙස ද කොමිසමට දන්වා ඇති ජනාධිපතිවරයා ඒ පිළිබඳ වාර්තාවක් මාස 3 ක් ඇතුළත තමන් වෙත යොමුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනී අනූෂා ජයන්ති මහත්මිය සඳහන් කළේ අදාළ කොමිසම තමන්ට කැදවීමක් කළහොත් මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට තම සංවිධානය සූදානම් බවයි.

***************************************

අසර්බයිජාන්වල මියගිය සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර

(11.01.2020 – 12:27 +0530 – sinhala.adaderana.lk)

අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

අසර්බයිජාන්හි මෙරට තානාපති කාර්යාලයක් නොමැති අතර ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

එරට රජය මේ සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කරමින් සිටින බව ද රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේය.

අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ ගින්නක් හටගෙන ඇති අතර එහි දුම ආඝ්‍රහණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාවය හේතුවෙන් ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිව සිටි ශිෂ්‍යාවන් තිදෙනෙකු බව සඳහන්.

මොවුන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් බවයි වාර්තා වන්නේ.

මියගිය මෙම ශිෂ්‍යාවන්ගේ මෘත දේහයන් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අසර්බයිජාන් රජය ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

+++++++++++++++++++++

අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලංකික සිසුවියන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට

(11.01.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

අසර්බයිජාන් රාජ්‍යයේ මහල් නිවාසයක හට ගත් ගින්නකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් 3 දෙනාගේ සිරුරු මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සබඳතා අමාත්‍යාංශය මේ වන විට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.

ලබන බදාදා පමණ වන විට දේහයන් මෙරටට රැගෙන ආ හැකි බවයි එම අමාත්‍යාංශය පවුලේ ඥාතීන් වෙත දැනුම් දී ඇත්තේ.

ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ අවුරුදු 21 සහ 23 ක් වයස්වල පසුවන දෙදෙනා එකම පවුලේ සහෝදරියන් වන අතර ඔවුන් අසර්බයිජාන් වෙත පිටත්ව ගොස් ඇත්තේ 2019 වසරේ ජුලි මස 16 වන දායි.

ඒ, එරට බටහිර කැස්පියන් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සහ විලාසිතා නිර්මාණකරණ පාඨමාලාවක් හැදැරීම සඳහායි.

ඔවුන්ගේ හදිසි වියෝව දැන ගැනීමෙන් පසු එම ශිෂ්‍යාවන්ගේ පිළියන්දල – බෝකුන්දර නිවසේ සිටි නැන්දණිය ද හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ආසියානු මහද්වීපයට අයත් ඉරානයට ආසන්න බකු අගනුවර බෙයිල් ජනාවාසයෙහි මහල් නිවාසයක පෙරේදා හට ගත් ගින්නකින් ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ සිසුවියන් තුන් දෙනා අතර සිටින 25 හැවිරිදි සිසුවිය කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යාංශය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා ෴

***************************************

ජනපති මහනුවරට – ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගනී

(11.01.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

පෙරවරු 10 ට පමණ දළදා මාළිගාවට පැමිණි ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.

දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා එහිදී එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

***************************************

ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් ගැන, වෘත්තීය සමිති පරීක්ෂණයක් ඉල්ලයි

(11.01.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ දුම්රිය එන්ජින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට වෘත්තීය සමිති ඉල්ලීමක් කරනවා.

රුපියල් කෝටි 120 ක මුදලක් වැය කරමින් දුම්රිය එන්ජින් 10 ක් ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිතව තිබුණත් මේ වන විට මෙරටට ගෙන්වා ඇත්තේ එන්ජින් 8 ක් පමණයි.

එලෙස ගෙන්වූ එන්ජින් වලින් ධාවනයට එක් කර ඇත්තේ 3 ක් පමණක් වන අතර ඉන් දෙකක් පසුගියදා පීලි පැනීමකට ද ලක්වුණා.

දෙමටගොඩ සහ මරදාන අතර ඉන්දියාවෙන් ගෙන්වන ලද එක් දුම්රිය එන්ජිමක් පීලි පැනීමකට ලක්වූයේ පසුගිය මස 19 වන දා වන අතර එමගින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවුණා.

අනෙක් පීලි පැනීම සිදුව ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේදීයි.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් කියා සිටියේ මෙලෙස ගෙන්වා ඇති එන්ජින් මෙරට දුම්රිය මාර්ගවලට ඔරොත්තු නොදෙන බරින් වැඩි ඒවා බවයි.

නිසි ක්‍රමවේදයකින් තොරව ගෙන්වා ඇති මෙම එන්ජින් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ඉන්දියාවෙන් ආනයනය කළ එන්ජින් 8 මේ වනවිට මරදාන දුම්රිය අංගනයේ ගාල් කර ඇති අතර, එම එන්ජින් ගෙන්වීම සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ෴

***************************************

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවට ප්‍රවාහන ඇමතිගෙන් යෝජනා දෙකක්

(11.01.2020 – 16:32 +0530 – hirunews.lk/sinhala)

සියලුම බස් රථවල ඝෝෂාකාරී සංගීත වාදනය නතර කිරීමට මේ මස 15 වනදා දක්වා කාලය ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ මස 15 වනදායින් පසු එවැනි ඝෝෂාකාරී සංගීත වාදනය කරන බස් රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ අර්ධ සුඛෝපභෝගී බස් රථ, අර්ධ සුඛෝපභෝගී මට්ටමට අවශ්‍ය සියලු පහසුකම් මගී ජනතාවට ලබාදිය යුතු බවත්, නැතිනම් සාමාන්‍ය ගාස්තු යටතේ එම බස් රථ ධාවනය කළ යුතු බවයි.

මේ සම්බන්දයෙන් බස් රථ හිමියන් දැනුවත්කර ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන ලෙස ද දන්වා ඇති බවයි ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියේ.

අම්බලන්තොට ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට අද (11) පෙරවරුවේ එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.

***************************************

වත්තල – කැළණිය හා බියගම ප්‍රදේශවලට සඳුදා (13) පැය 24 ක ජල කප්පාදුවක්

(11.01.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (13) පෙරවරු 8 සිට පැය 24 ක කාලයක් වත්තල, කැළණිය හා බියගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැදල, ඇලකන්ද සහ පල්ලියවත්ත ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල හා බතලහේන වත්ත ආදී ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(11.01.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

වියට්නාමයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් 12,75,000 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසියට පැමිණිලි 8 ක් ලැබී ඇති අතර, ඒවා විමර්ශනය කිරීමෙන් අනතුරුවයි මෙම කාන්තාව ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මුදල් වංචාව සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ විදේශගතව සිටින පුරුෂයා ද අත්අඩංගුවට ගැනීමට නියමිතයි ෴

***************************************

මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩි කරනවා – උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

(11.01.2020 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහමැතිවරණයෙන් පසු මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩි කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මහපොළ ශිෂ්‍යාධාර හිඟ මුදල් වහාම ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයට නියෝග කර ඇති බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 8 වනදා ඇති වූ මෙම ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

***************************************

පාස්කු ප්‍රහාරය සොයන ජනපති කොමිසම 39 දෙනෙකුගෙන් සාක්ෂි ගනී

(11.01.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව මේ වනවිට 39 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොමිසම හමුවේ 300 කට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිත බවයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ උසස් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබුවා.

ඊට අමතරව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු රහස්‍ය ප්‍රකාශ ද ලබාදී තිබුණා ෴

***************************************

ආරක්ෂිත කැමරාවේ සටහන් වූ මැර ප්‍රහාරය

(10.01.2020 – 22:07 +0530 – hirunews.lk/sinhala)

කිසියම් මැර කණ්ඩායමකගේ පහරකෑමට ලක්වූ තරණයෙකු ඔවුන්ගෙන් බේරීම සඳහා ඇඹිලිපිටිය – උඩගම ප්‍රදේශයේ නිවසකට දිව ගොස් දිවි බේරාගෙන ඇති අතර ඊට උරණ වූ මැර පිරිස අදාළ නිවසට පැමිණ පොලු මුගුරුවලින් පහරදී වෑන් රථයකට ත්‍රීරෝද රථයකට ඇතුළු දේපළවලට අලභ හානි සිදු කරන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

***************************************

හිරුගේ අනාවරණයෙන් සැබෑවන රත්නපුරයේ – මිල්ලකඩේ පවුල් 70 කගේ සිහිනය

(10.01.2020 – 21:21 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මෙරට බොහෝ පිරිසකට නිවසක් ඉදිකර ගැනීම යනු විසල් සිහිනයක්.

එම සිහිනය සැබෑ කර ගැනීම සදහා දිවා රෑ බලාපොරොත්තු දල්වා සිටි රත්නපුරයේ – මිල්ලකඩේ ප්‍රදේශයේ පවුල් 70 කගේ සිහිනය මේ වනවිට සැබෑවෙමින් පවතිනවා.

ඒ, හිරු ප්‍රවෘත්ති හරහා සිදුකළ අනාවරණයක් හේතුවෙන්.

රත්නපුර – දොඩම්පෙ ප්‍රදේශයේ පිහිටි පුරාණ නින්දගමක් සැදැහවත් පිරිසක් විසින් පූජ්‍ය කොටපොල සුදම්ම හිමියන්ට කලකට ඉහත පවරා දී තිබුණා.

අක්කර 52 ක භූමි භාගයකින් යුතු මෙය පර්චස් 10 බැගින් වූ බිම් කොටස්වලට වෙන් කරමින් අසරණ මිනිසුන් වෙත බෙදාදීමටයි සුදම්ම හිමියන් ක්‍රියා කළේ.

එම පුන්‍ය ක්‍රියාවෙනුත් නොනැවතී සුදම්ම හිමියන් තම ශක්ති ප්‍රමාණයෙන් තවත් ශිෂ්‍ය හිමිවරුන්ගේ ආධාර උපකාර ඇතිව බිම් සකසමින් නිවාස ඉදිකිරීම සඳහා මූලික කටයුතු සිදුකර තිබුණා.

එම උතුම් කටයුත්ත හිරු ප්‍රවෘත්ති හරහා පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දා අප ලොවට ප්‍රචාරය කළා.

හිරු හරහා සිදුවුණු එම අනාවරණයත් සමඟ දෙස් විදෙස් බොහෝ පිරිසක් සුදම්ම හිමියන්ගේ මෙම උතුම් කටයුත්තට උදව් උපකාර කර තිබුණා.

එම උපකාර සමඟ තමන් සිදුකළ පුන්‍ය ග්‍රාමයේ නිවාස ඉදිකිරීමේ කටයුතු වඩාත් වේගවත්ව සිදුකිරීමට උන්වහන්සේට මේ වනවිට අවස්ථාව සැලසී තිබෙනවා.

අසරණ පවුල් 75 කට නිවාස සාදාදීමේ මෙම මහැඟි ක්‍රියාවලිය සිදුවන්නේ ද සුදම්ම හිමියන්ගේ අධීක්ෂණය යටතේ ශිෂ්‍ය හිමිවරුන්ගේ දායකත්වයෙන්.

තමන්ටම කියා නිවසක් ඉදිවන අයුරු මෙම කුඩා දරුවන් බලා සිටින්නේ මහත් ආශාවෙන්.

ඒ අතරතුර යම් උපකාරයක් සිදුකළ හැකි එම පවුල්වල දරුවන් ද ස්වාමීන් වහන්සේට මෙලෙස හැකි පමණින් උදව් උපකාර කරනවා.

සාදා ඇති නිවාසවල වහල නිම කිරීම මෙන්ම මෙම නිවාසවලට විදුලි පහසුකම් සැපයෙන්නේ ද මෙම භික්ෂූන් වහන්සේගේම දෑතින්වීම විශේෂත්වයක්.

***************************************

නිවාස රාජ්‍ය ඇමතිගේ ඇඹිලිපිටිය නායකත්ව පුහුණු ජාතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව උණුසුම් වෙයි

(10.01.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇඹිලිපිටිය නායකත්ව පුහුණු ජාතික මධ්‍යස්ථානයේ අද (10) නිරීක්ෂණ චාරිකාවක නිතර වුණා.

ඒ අදාළ ආයතනයේ එක් කොටසක පිරිසක් අනවසරයෙන් පදිංචිවී සිටින බවට ලද තොරතුරක් පිළිබඳ සොයා බැලීම සඳහායි.

නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (10) පෙරවරුවේ ඇඹිලිපිටිය නායකත්ව පුහුණු ජාතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

පසුව අදාළ ස්ථානයේ රාජ්‍ය නොවන සංවිධානයක ශාඛාවක් පවත්වාගෙන යනු ලබන නිවසේ පදිංචිව සිටින පුද්ගලයා එම ස්ථානයට පැමිණියා.

එහිදී අමාත්‍යවරයා සහ ඔහු අතර උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.

මේ පිළිබඳ සොයා බැලීමට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට පැමිණියා.

***************************************

විභාග කේන්ද්‍රීය නොව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් විය යුතුයි

(10.01.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට අධ්‍යාපන ක්‍රමය විභාග කේන්ද්‍රීය නොවී ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද (10) පස්වරුවේ කොළඹදී පැවති කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සර්, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

***************************************

නිවාස කැඩූ වැඩතහනම් වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

(10.01.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පවසා නිවාස පරීක්ෂා කරන මුවාවෙන් රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු කඩවත සහ වීරකැටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතුරුගිරිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් අනුවයි.

අදාළ වැඩතහනමට ලක්වූ පොලිස් නිලධාරියා ඇතුළු සැකකරුවන් දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙලෙස සොරකම් සිදුකර ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

මොවුන් අතුරුගිරිය, පාදුක්ක, නවගමුව, කහතුඩුව, ගම්පහ, වීරගුල, ගනේමුල්ල, මොරගහහේන, පිලියන්දල, ගොඩකවෙල සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල මෙලෙස නිවාස 23 ක පමණ සොරකම් සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාර වැඩතහනමට ලක්වූ පොලිස් නිලධාරියා පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස වසර 10 කට ආසන්න කාලයක් රාජකාරි සිදුකර තිබෙනවා.

ඔහු වැඩතහනමට ලක්ව ඇත්තේ ද රාජකාරි අතරතුර අපරාධ කණ්ඩායමක් සමග එක්ව සිදුකළ සොරකමක් නිසාවෙන් බවයි සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

මොහු වැඩ තහනමට ලක්වීමෙන් පසු තම රාජකාරි පොලිස් හැඳුනුම්පතට සමාන ව්‍යාජ පොලිස් නිල හැඳුනුම්පතක් සකස් කර එය පෙන්වමින් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන ආකාරයෙන් නිවෙස් තුළට ඇතුළු වී අල්මාරි සහ සේප්පු පරීක්ෂා කරමින් රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් මීට පෙර ද, විවිධ සොරකම් සහ අත්බෝම්බයක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත වූවන් බවත් ඔවුන්ට එරෙහිව වලස්මුල්ල සහ මිරිහාන අධිකරණවල නඩු පවතින බවත්, සඳහන්.

මොවුන් කලක සිට මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කර ඇති අතර, ඔවුන්ට අනියම් කාන්තාවන් දෙතුන්දෙනා සිටින බවත්, පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සොරකම් කරන ලද රන් භාණ්ඩවල කොටසක්, ව්‍යාජ පොලිස් හැඳුනුම්පත් දෙකක්, සොරා ගත් මුදල් පසුම්බියක්, ටැබ් පරිගණකයක් සහ සැකකටයුතු ලියකියවිලි රැසක් ද සැකකරුවන් සතුව තිබී පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

මොවුන් විසින් සොරකම් කරන ලද රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද, මේ වනවිට අතුරුගිරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

***************************************

මගීන්ගේ රන් භාණ්ඩ කොල්ල කන, කල්ලියක 3ක් අත්අඩංගුවට

(10.01.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මගී සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකන ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙලි වී තිබෙනවා.

එම ජාවාරමට සම්බන්ධ කණ්ඩායමක සාමාජිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

බලංගොඩ නගරයේදී මගී බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි මාලය කොල්ල කෑ බවට ඊයේ (09) දිනයේදී බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙලි වූ තොරතුරු මත රන්මාල 04 ක්, අත් පළඳනා 02 ක්, මුදු 06 ක්, කරාබු ජෝඩු 02 ක් සහ පංචායුධ 02 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

වැඩිදුර විමර්ශනවලදී හෙලි වී ඇත්තේ මොවුන් සංවිධානාත්මකව මගීන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ ජාවාරමක කලක් තිස්සේ නිරතව සිට ඇති බවයි.

බදුල්ල, වව්නියාව, රත්නපුර, බලංගොඩ වැනි ප්‍රදේශ රැසක මෙම ජාවාරම සිදුකර තිබෙනවා.

මෙම අපරාධවලට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

කුඹුරක් ගොඩකර හදන සුසාන භූමිය

(11.01.2020 – 22:07 +0530 – sinhala.adaderana.lk)

කිසිදු බලධාරියෙකුගේ අවසරයකින් තොරව, කුඹුරක් ගොඩකර සුසාන භූමියක් සෑදීමට එරෙහිව බියගම වඩුවේගම ප්‍රදේශවාසීන් පිරිසක් අද (11) විරෝධය පල තළේය.

ඒ කුඹුර ගොඩකළ බවට පැවසෙන ප්‍රදේශයේ පල්ලියක් ඉදිරිපිටට පැමිණීමෙන්.

බියගම වඩුවේගම ප්‍රදේශයේ සියඹලාපේවත්ත වෙල්යායට අයත් නරිගල නම් වූ කුඹුර ගොඩකිරීම ආරම්භ කර ඇත්තේ, මීට මාස 6 කට පමණ පෙරයි.

අක්කර භාගයක පමණ භූමි ප්‍රෙදේශයක් සහිත මෙම කුඹුර මේ වනවිට සම්පූර්ණයෙන් ගොඩකර ඇති අතර සුසාන භූමියේ ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කර අවසන්.

ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගේ මෙම ක්‍රියාවට එරෙහිව තවත් ප්‍රදේශවාසීන් පිරිසක් සහ ස්වාමින්වහන්සේ අද එම ස්ථානයට පැමිණ සිය විරෝධය පල කළේය.

ප්‍රදේශවාසීන් පවසන්නේ, කුඹුර ආසන්නයේ පිහිටි ඇල මාර්ගය ද අවහිර කරමින් සුසාන භූමිය ඉදිකිරීම හේතුවෙන් කුඹුරු අක්කර 52 ක් පමණ පුරන් වී ඇති බවයි.

***************************************

ජනාධිපතිවරයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි පාර්ලිමේන්තුවක් අවශ්‍යයි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(11.01.2020 – 22:01 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සදහා ඉදිරි මහමැතිවරණයේදී පෙළ ගැසිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (11) කොළඹ පැවැති සංවාදයකදීයී.

“දිනන රටට ගැළපෙන පාර්ලිමේන්තුව” යන තේමාවෙන් තරුණ වෘත්තිකයින්ගේ සංගමය සංවිධාන කළ සංවාද මාලාවේ පළමුවැන්න අද (11) පස්වරුවේ කොළඹදී පැවැත් විය.

+++++++++++++++++++++

***************************************

අපේ රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කළේ අන්තවාදී දේශපාලඥයින් – කෙහෙළිය රඹුක්වැල්ල

(11.01.2020 – 16:58 +0530 – sinhala.adaderana.lk)

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කළේ අන්තවාදී දේශපාලඥයින් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානමින් සිටින ඒ එල්එම්. ෆාරිස් හාජියාර් මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (10) සවස මහනුවර මහයියාව ප්‍රදේශයේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“නිදහසින් පසුව ඉතා සුන්දර දේශපාලනයක් තිබුණු අපේ රටට මෑත කාලයේ ඉතා අප්‍රසන්න දේශපාන තත්ත්වයක් බවට පත් වන්නට සිදුවී තිබෙනවා.

1948 පිහිට වූ කැබිනට් මණ්ඩලයේ සියලු ජාතින් ඉතා සහයෝගයෙන් හිටියා.

එදා පටන් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ කාලය වෙනකම් මේ රටේ සැබෑ සංහිඳියාවක් තිබුණා.

ඒ සංහිඳියාව දේශපාලන වශයෙන් ඉතා උච්චතම අවස්ථාවට ගෙනාවේ ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ කාලයේ ලංකාවේ තිබුණ ප්‍රබලම අමාත්‍යාංශයක් වුණ අධ්‍යාපන අමාත්‍යාංශය දුන්නේ අල්හාජ් බද්යුදීන් මහමුද් මැතිතුමාට.

කිසිම කෙනෙක් ප්‍රශ්න කළේ නෑ මේ තරම් වැදගත් අමාත්‍යාංශයක් මුස්ලිම් කෙනෙකුට දුන්නේ ඇයි කියලා . ඒක බොහොම් ආදරයෙන් පිළිගත්තා. ඔහු අන්තවාදියෙක් විදිහට හැසිරුනේ නෑ.

ඔහු සියලු දෙනා එක්ක එකතු වෙලා වැඩ කළා. ඔහු මේ රටේ ජාතික අධ්‍යාපනය කේන්ද්‍රයක් කර ගත්තා. ඒ අධ්‍යාපනයේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම හිටියා. කිසි කෙනෙක් ඇඟිල්ලක් දික් කරල චෝදනාවක් කළේ නෑ. සැබෑ සංහිඳිවාව තිබ්බේ එදයි.

නමුත් කෘතිම සංහිඳියාවක් හදන්න ගිහින් මේ රට මහ විනාශයකට ගෙනිච්චා. මේ රටේ හිටියා මරික්කාර්, හමීඩ් ඇමතිතුමා, වගේ අය හාමුදුරුවන්ට වඳින කොට අපට ආස හිතෙනවා. සැබෑ සංහිඳියාවක් මේ රටේ තිබුණා. ජාතික ආගම් අනුව දේශපානය කරන්න ගිහින් දේශපාන අන්තවාදීන් විසින් මේ රටේ එකිනෙකා දකින කොට එකිනෙකාට ඊර්ෂ්‍යා කරන එකිනෙකාට වෛර කරන නැනට මේ රට ගෙනල්ලා තියෙනවා.

මේ තක්කඩි වෛරවාදී අන්තවාදී දේශපානය නතර කරන්න අපි මහනුවරින් ආම්භ කරන්න ඕන. අපි සියලු දෙනා දහම්පාසැල් ගිය අය.

අපේ කිසිම ආගමක තව කෙනෙකුට වෛර කරන්න උගන්වලා නෑ. අපි දහම් පාසැල් ගිය නිසා අපට සහජීවනය අලුතින් උගන්වන්න ඕන නෑ. අපේ පාසැලේ එක පැත්තක මුස්ලිම් දරුවා, අනෙක් පැත්තේ කතෝලික දරුවා. මේ රටේ තුන්වන පුරවැසියා වුණා එම්.එච්. මොහමඩ් මැතිතුමා.

තුන්වන පුරවැසියා වුණා බාකීර් මාකර් මැතිතුමා, කිසි කෙනෙක් ඒවට විරුද්ධ වුණේ නෑ. කතෝලික දෙමළ ජාතිකයෙක් වුණ කදිරගාමර් මැතිතුමාව අගමැති කරන්න ඕන කියලා මේ රටේ සිංහල බහුතරය කිව්වා. ඒ නිසා සංහිඳියාව තියෙන්නේ අපේ හදවතේ.

අන්තවාදී දේශපානය හෙළා දැකලා මේ රටේ සංහිඳියාව වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් දෙමළ බර්ගර් සියලු දෙනා එකට එකව සිටින රටක් අපි හදා ගන්න ඕන. තමන්ට ඡන්ද ලක්ෂ දෙකක් තියෙනවා; පහක්තියෙනවා කියලා රටෙන් කෑලි ඉල්ලන අය තමයි මේ රටේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව අන්තවාදීන් බවට පත් කරලා සංහිඳියාව විනාශ කරල දාලා තියෙන්නේ.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *