“අපේ සැකය හරි – ඇමති අනුකමිටුව IOC නිදහස් කරලා” – ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය

(15.11.2017 – lankatruth.com)

ඉන්ධන නැව පමා විමෙන් රට තුළ ඇති වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කළ ඇමති අනුකමිටුවේ වාර්තාව මගින් ඉන්දියන් ඔයිල් සමාගම නිදොස් කොට ඛනිජ තෙල් සංස්ථාව වෙත වැරැද්ද පැටවීමේ කුමන්ත්‍රණයක් දියත්වන බව ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා ඊයේ (14) අනාවරණය කළ අතර එම ඇමති අනුකාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ සරත් අමුණුගම මහතා ඊයේ මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයෙන් ඒ බව තහවුරු වේ.

ඉන්ධන හිඟයක අනතුරක් එන බව දැනගෙන සිටියද ඛනිජ තෙල් සංස්ථාව ඊට මුහුණ දීමට අවශ්‍ය පියවරක් ගෙන නොතිබූ බව එම ඇමැති අනුකමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇති.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන නොයෑම, තොග කළමනාකරණය නොකිරීම ඇතුළු කරුණු රැසක් ඉන්ධන අර්බුදයට හේතුවී ඇති බවද එම වාර්තාවේ සඳහන් බව පැවසේ.

කෙසේ නමුත් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කරන්නේ තෙල් සංස්ථාවේ ගබඩාවල මෙට්‍රික් ටොන් අසූදාහක් තිබූ බවත් ඒ වනවිට පැමිණීමට තිබූ නැවේ ඉන්ධය ගබඩා කිරීම සඳහා අවශ්‍ය ඉඩ ලබා ගැනීමට උක්ත මේට්‍රික් ටොන් අසූදාහෙන් හතලිස් දාහක් ඉවත් කළ බවයි.

ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වූ ඉන්ධන නැව නියමිත පිරිවිතයෙන් නොමැති වීමත් තෙල් සංස්තාව විසින් 02වනදා වනවටි ගෙන්වීමට නියමිතව තිබූ ඉන්ධන නැව 08 වනදා දක්වා ප්‍රමාදවීමත් තුළ අර්බුදය උත්සන්න වූ බවත් ය.

තෙල් සංස්ථාව විසින් ගෙන්වීමට නියමිතව තිබූ ඉන්ධන නැව ප්‍රමාද වීමත් ඉන්දියන් ඔයිල් සමාගම නියමිත පිරිවිතයෙන් තොර ඉන්ධන නැවත් ගෙන්වීමත් එම නැව වෙනුවට නියමිත පිරිවිතයන්ගෙන් යුතුව ගෙන්වා දෙන බවට ඉන්දියන් ඔයිල් සමාගම විසින් තෙල් සංස්ථාවට පොරොන්දු වූ නැව ගෙන්වීම අවසාන මොහොතේ ප්‍රතික්ෂේප කිරීමත් සම්බන්ධයෙන් උක්ත ඇමති අනුකමිටුව විසින් කිසිඳු විමර්ශනයක් සිදු කර නැති බවත් ඩී.ජේ. රාජකරුණා මහතා අවධාරණය කරයි.

ඒ වෙනුවට උක්ත වාර්තාව මගින් ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීම ඉක්මන් කිරීමට යොජනා කර ඇති බව සරත් අමුණුගම ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් අනාවරණය වන බවත් ආණ්ඩුව මේ සිදු කරන්නේ මෙරට ඉන්ධන සැපයුම ඉන්දියන් ඔයිල් සමාගම වෙත පැවරීමේ කුමන්ත්‍රණයක්දැයි සැකයක් මතුවන බවත් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සැක පල කරයි.

————————–

++++++++++++++++++++++++++++++++

තෙල් අර්බුදය හැදුවේ කරු ජයසූරියද.. ෆව්සිද.. සුසිල්ද.. අනුර යාපාද.. පාව රණවකද, චන්දිම වීරක්කොඩිද.. ?
(16.11.2017 – 06:26 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

පසුගිය දා ඇති වුණු තෙල් හිඟයට හිටපු තෙල් ඇමතිවරු දෙදෙනෙකු වගකිව යුතු බවට ඛණිජතෙල් සම්පත් ඇමති අර්ජුන රණතුංග මැතිතුමා පවසා තිබුණා. හිටපු ඛණිජතෙල් ඇමතිවරු හය දෙනෙක් ආණ්ඩුවේ ඉන්නවා. නම් වලින් කිව්වොත් කරු ජයසූරිය මැතිතුමා, ඒ එච් එම් ෆව්සි මැතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, අනුර යාපා මැතිතුමා, පා ච රණවක මැතිතුමා සහ චන්දිම වීරක්කොඩි මැතිතුමා. නම් නොකිව්වොත් මේ හයදෙනාටම අසාධාරණයක් වෙනවා.

ඒ නිසා මෙම ඇමතිවරු දෙදෙනා වහාම රටට හෙලි කරන්න කියලා අර්ජුන ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.

මෙගා ඩීල් ගැන ඡන්ද කාලයේ කතා කළත් අද වෙන තුරු සිඟිති ඩීල් එකකටවත් දඬුවම් කරලා නෑ. ඩීසල් මාෆියා ගැන වීර කතා කිව්වත් අද වෙන තුරු එක නමක් හෙලි කරලා නෑ.

ඒ නිසා මෙවර වත් වැරදිකරුවන් නම් කරලා එතැනින් නතර නොවී ඒ අයට දඬුවම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. නැවත මෙවැනි අර්බූද නොවන්නේ එහෙම කලොත් විතරයි.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *