වෛද්‍ය සාෆි නිදොස් කර ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව රතන හිමි කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වෛද්‍ය සාෆි නිදොස් කර ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව රතන හිමි කියයි (විඩියෝ)

• CIA හෙළිකර ගත් ව්‍යාජ මැණික් ජාවාරම (විඩියෝ)

• එස්.ටී.එෆ් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හතරදෙනෙකු උහනදී අත්අඩංගුවට

• අධ්‍යාපනය සඳහා දරුවන් විදෙස්ගත කිරීම් සිදුකරන ආයතන නියාමනයට අවධානය

• උදය ප්‍රභාත් ගම්මන්පිල​ සමග ‘දෙරණ 360’ (30-12-2019) (විඩියෝ)

• උදය ප්‍රභාත් ගම්මන්පිල​ සමග ‘අයි.ටී.එන් ටීවී – සංවාදය’ (07-01-2020) (විඩියෝ)

• ඇසිඩ් ප්‍රහාරයකින් 8 දෙනෙකු රෝහලේ (විඩියෝ)

• STF අණදෙන නිලධාරී ලතීෆ් ගැන සුදත්ත හිමිගෙන් අනාවරණයක් (විඩියෝ)

• රු. 50,000 ට වැඩි ගෙවීම්වලට අය කළ 5% රඳවා ගැනීමේ බද්ද අහෝසියි

• හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස ඉල්ලා කොළඹ ජනතාව සාමකාමී උද්ඝෝෂණයක

• ගුවනේදී මගීන් දෙදෙනෙක් හදිසියේම මියයයි – ලයන් එයාර් යානයක් මගීන් 285 ක් සමඟ කටුනායකට හදිසියේ ගොඩබස්සවයි

• පන්සල් යන පල්ලේපොල ව්‍යාපාරිකයෝ (විඩියෝ)

• උපාධිධාරී සියලු භික්ෂුන් වහන්සේලා පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගන්නවා – අගමැති (විඩියෝ)

• පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට වසර 30 ක සිර දඬුවම්

• මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකතා සොයන්න කොමිසමක්

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය සාෆි නිදොස් කර ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව රතන හිමි කියයි

(11.01.2020 – 21:17 +0530 – hirunews.lk/sinhala)

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ලවූ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නිදොස් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලිපියක් යොමුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

CIA හෙළිකර ගත් ව්‍යාජ මැණික් ජාවාරම

(11.01.2020 – 21:01 +0530 – hirunews.lk/sinhala)

නිදන්වලින් ලබාගත් මැණික් ගල් ලබාදෙන බව පවසමින් ජනතාව මුලා කරන වංචනිකයන් පිරිසක් ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත පොලිසිය හිගුරක්ගොඩ – ගල්අමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අද ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් හිගුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වෙමින් ව්‍යාජ මැණික් ගල් සකසන බවට ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

ජාවාරම්කරුවන් ව්‍යාජ මැණික් ගල් බහා තැබීම සදහා කෝව නමින් හැදින්වෙන බහාලුම ද කළුගලින් නිර්මාණය කරන්නේ ඒවා නිදන්වලින් ලබාගත් බවට හැගවීම සදහායි.

මෙලෙස සකස් කරන ව්‍යාජ මැණික් හා කෝවක් බහාලුම් රාත්‍රී කාලයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලේ, බැදිවැව, මැදිරිගිරිය, සෙවනපිටිය ආදී ප්‍රදේශවල ඇති ඉඩම්වල සැගවීමට මොවුන් කටයුතු කරනවා.

පසුව මොවුන් සිදුකරන්නේ, ඉඩම්වල හිමිකරුවන් වෙත ගොස් එම ඉඩම්වල නිදන් ඇති බව පවසමින් සුක්ෂමව රැවටීමට ලක්කර සැගවු ව්‍යාජ මැණික් සහිත බහාලුම් ගොඩගෙන රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර පළා යාමයි.

එවැනි තවත් වංචාවක් සිදුකිරීමට සැරසෙද්දී ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසිංහ මහතාගේ උපදෙස් මත මෙම වංචාකරුවන් වටලනු ලැබුවා.

මෙහිදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජව සකසන මැණික් සහ ඒවා සකසන උපකරණ නිවසක සගවා තිබියදී සොයා ගැනුනා.

වැටලීමේදී ව්‍යාජ මැණික් ගල් 06 ක් ඒවා බහා තබන කෝවක් ගල් 06 ක් ඇතුළු ඒවා සකස් කළ උපකරණ ඇතුලු ද්‍රව්‍ය පොලිස් භාරයට ගැණුනා.

සැකකරුවන් සිව්දෙනා අද හිගුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

***************************************

එස්.ටී.එෆ් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ හතරදෙනෙකු උහනදී අත්අඩංගුවට

(12.01.2020 – 09:21 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – උහන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඔවුන්ට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උහන ලාතුගල රක්ෂිතයේ කපා අතහැර දමා තිබූ දැව තොගයක් ට්‍රැක්ටර් රථයකින් එම නිලධාරීන් රැගෙන එමින් සිටියදී ලාතුගල මාර්ගයේදී ඊයේ (11) මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මග හරස් කර නතර කර පහරදී ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

ත්‍රිරෝද රථයටද සැකකරුවන් අලාභහානි සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ. සැකකරුවන් අද (12) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

අධ්‍යාපනය සඳහා දරුවන් විදෙස්ගත කිරීම් සිදුකරන ආයතන නියාමනයට අවධානය

(12.01.2020 – 09:38 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යාපනය සඳහා දරුවන් විදෙස්ගත කිරීම් සිදුකරන ආයතන නියාමනය සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මේ අතර අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

අසර්බයිජාන් හි මෙරට තානාපති කාර්යාලයක් නොමැති අතර ටෙහෙරාන්හි පිහිටි මෙරට තානාපති කාර්යාල නිලධාරීන් විසින් එරට රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ඔහු සදහන් කළේය.

එරට රජය මේ සම්බන්ධයෙන් ඉතා සංවේදීව කටයුතු කරමින් සිටින බවද රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරයි.

අසර්බයිජාන්, බකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය ෴

***************************************

“පිවිතුරු හෙළ උරුමය” නායක – උදය ප්‍රභාත් ගම්මන්පිල​ සමග ‘දෙරණ 360’ (30-12-2019)

මිනිත්තු 77

+++++++++++++++++++++++++++++++++++

උදය ප්‍රභාත් ගම්මන්පිල​ සමග ‘අයි.ටී.එන් ටීවී – සංවාදය’ (07-01-2020)

110 min.s

***************************************

ඇසිඩ් ප්‍රහාරයකින් 8 දෙනෙකු රෝහලේ

(12.01.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල – බුලත්කොහුපිටිය – මොරොන්තොට ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ 9 ට පමණ මොරොන්තොට ප්‍රදේශයේදී පවුල් දෙකක සාමාජිකයින් අතර ඇති වූ ගැටුමකදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙපාර්ශවයේම පුද්ගලයින් මේ වන විට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

***************************************

STF අණදෙන නිලධාරී ලතීෆ් ගැන සුදත්ත හිමිගෙන් අනාවරණයක්

(12.01.2020 – 14:54 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ විසුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කටයුතු කර ඇති බවට නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි චෝදනා කරයි.

අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ හිමියන් මෙසේද පැවසීය :

“සහරාන්ගේ ප්‍රහාරය ඔන්න මෙන්න තියෙද්දි ලතීෆ් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ විසුරුවා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට මාස 8 කට විතර කලින් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පිළිබඳ හෙවු කලවච්චිකුඩි විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ විසුරුවා තිබෙනවා.

මේ මොහොතේත් කලවච්චිකුඩි විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි අංශයක් නෑ. මන්නාරමේ, මුලතිව්වල බුද්ධි අංශ නැ.

ඒ හිටපු නිලධාරීන් සියලු දෙනා දැන් කොළඹ මරදානට කැඳවලා ඉවරයි.”

***************************************

රු. 50,000 ට වැඩි ගෙවීම්වලට අය කළ 5% රඳවා ගැනීමේ බද්ද අහෝසියි

(08.01.2020 – biz.adaderana.lk)

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි සහ මුදල් අමාත්‍යාංශය විසින් 2019 දෙසැම්බර් 31 වන දින ලබා දුන් උපදෙස් පරිදි, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සිදුකරන විධිමත් සංශෝධනයන්ට යටත්ව, 2020 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඕනෑම වාසික පුද්ගලයෙකු වෙත (රඳවා ගැනීමේ බදු අනුයෝජිතයෙකු විසින් යම් පුද්ගලයෙකුට මසකට රුපියල් 50,000 ක් ඉක්මවන ගෙවීමක් කරනු ලබන අවස්ථාවේ දී 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 85(1) (අ) වගන්තිය යටතේ සහ පළමු උපලේඛනයේ 10(ඇ) අයිතමය යටතේ 5% බදු අඩු කිරීම), ගෙවිය යුතු සේවා ගාස්තු මත රඳවා ගැනීමේ බද්ද ඉවත් කර ඇත.

ඒ අනුව, 2020 ජනවාරි 01 වන දින හෝ එදිනට පසුව, ඕනෑම වාසික පුද්ගලයෙකු විසින් සිදු කරන පහත සේවාවන් සම්බන්ධයෙන්, එවැනි පුද්ගලයෙකු වෙත කෙරෙන ගෙවීම් මත රඳවා ගැනීමේ බද්ද අය නොකරන ලෙස රඳවා ගැනීමේ බදු අනුයෝජිතයන් වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

  • ඉගැන්වීම, දේශන පැවැත්වීම, විභාගයක් පරීක්ෂා කිරීම, නිරීක්ෂණය කිරීම හෝ අධීක්ෂණය කිරීම වෙනුවෙන්,
  • වාසික රක්ෂණ, අලෙවි හෝ තැරැව් අනුයෝජිතයකු සඳහා කොමිස් මුදලක් හෝ බ්‍රෝකර් ගාස්තුවක් ලෙස,
  • සහතික කිරීමේ ගාස්තුවක් ලෙස,
  • ටෙන්ඩර් හෝ මිල නියම කිරීම මගින් කොන්ත්‍රාත්තු පදනමින් යම් භාණ්ඩයක් සැපයීමට අදාළව,
  • වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ, මෘදුකාංග සංවර්ධනය කරන්නන්, පර්යේෂකයින්, විද්‍යාර්ථීන් වැනි වෘත්තීන් හී, නිදහස් සේවා සපයන්නන් ලෙස සපයන ලද යම් සේවාවක් හෝ වෙනත් යම් ඒ හා සමාන සේවාවන්,
  • ගිවිසුමක් යටතේ හෝ එසේ ගිවිසුමක් නොමැතිව සලසන්නාවූ සේවාවන් වන ඉදිරිකිරීම් කටයුතු සම්බන්ධ යම් සේවාවන්, ආරක්ෂන සේවා, සනීපාරක්ෂක සේවා, යම් ආකාරයක උපදේශන සේවා, උත්සව අවස්ථා සංවිධානය, කෑම බීම සංග්‍රහ කටයුතු, මෝස්තර නිර්මාණය, ඇඳුම් සැකසීම, සංචාරක මාර්ගෝපදේශ, විනෝදාස්වාදය, නියෝජිත කාර්යයන් හෝ ඒ හා සමාන කටයුතු,
  • යම් කළමනාකරණ සේවාවක්,
  • නිදහස් සේවා සපයන්නකු ලෙස සලසන්නා වූ යම් ආකාරයක වෘත්තීය සේවා.

***************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස ඉල්ලා කොළඹ ජනතාව සාමකාමී උද්ඝෝෂණයක

(12.01.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට මගින් අධිකරණයට කළ බලපෑම් හරහා අනාවරණ වන තොරතුරු අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සංවිධාන කළ සාමකාමී උද්ඝෝෂණයක් අද පැවැත්වුණා.

ඒ, කොළොන්නාව නගර මධ්‍යයේදියි.

පා ගමනකින් පැමිණ පිරිස අනතුරුව උද්ඝෝෂණයේ නිරතවූ අතර, එහිදී අදහස් දැක්වූ යථාර්ථය සංවිධානයේ මහ ලේකම් ශාස්ත්‍රවේදී පුජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමියන් සඳහන් කළේ පසුගිය වසර හතර හමාරකට අධික කාලයක් රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් සිදුකර ඇති බවට රන්ජන් රාමනායකගේ හඬපට වලින් මනාවට පිළිබිඹු වන බවයි.

එමෙන්ම දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නඩු තීන්දුවටද එමඟින් බලපෑම් සිදුව ඇති නිසා ඔහුට සාධාරණය ඉෂ්ඨ විය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

එම අවස්ථාවට සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා එක්වූ අතර, එහිදී ඔහු කියා සිටියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට නිකුත්වීමත් සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අසාධාරණයක් සිදුව ඇති බවට මුළු මහත් ජනතාවම වටහා ගත් බවයි ෴

***************************************

ගුවනේදී මගීන් දෙදෙනෙක් හදිසියේම මියයයි – ලයන් එයාර් යානයක් මගීන් 285 ක් සමඟ කටුනායකට හදිසියේ ගොඩබස්සවයි

(13.01.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා බලා පියාසර කරමින් තිබූ ඒ 330 වර්ගයේ ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයක් මගීන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුර වී ජීවිතක්ෂයට පත්වීම නිසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්සවා තිබෙනවා.

මගීන් 285 දෙනෙකු රැගත් එම යානයේ ගමන් ගත් 77 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ 64 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකු ගුවන් ගමන් අතරතුර සිහිසුන් වී ඇති අතර, ප්‍රතිකාර සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබස්සවා ඇති බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ගුවන් තොටුපලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් රැගෙන එන විටත් මියගොස් සිටි බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනෙක් ෴

***************************************

පන්සල් යන පල්ලේපොල ව්‍යාපාරිකයෝ

(12.01.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala)

මාතලේ පල්ලෙපොල නගරයේ වෙළඳසැල් හිමියන් සෑම සෙනසුරාදා දිනකම පස්වරු 5 සිට පස්වරු 6 දක්වා වෙළෙඳ සැල් වසා දමා පන්සල්වලට ගොස් ආගමික වතාවත් වල නියැලීමේ නව වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඊයේ (11) දිනයේ සිට ව්‍යාපාරිකයන් එම වැඩසටහන ක්‍රියාත්මක කළා.

***************************************

උපාධිධාරී සියලු භික්ෂුන් වහන්සේලා පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගන්නවා – අගමැති

(12.01.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී උපාධිධාරී සියලු භික්ෂුන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වාද්දුව ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබු ශාස්ත්‍රපති පූජ්‍ය ගෝණදූවේ ගුණානන්ද හිමියන්ට උපහාර දැක්වීමේ උත්වය අද වාද්දූව – කොරොස්දූව පුරාණ වජිරකොත් මහා විහාරස්ථානයේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

***************************************

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට වසර 30 ක සිර දඬුවම්

(13.01.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම ඇතුලු චෝදනා තුනකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද (13) බරපතල වැඩ සහිත වසර 30 ක සිර දඬුවමක් නියම කළා.

එමෙන්ම මොහුට රුපියල් 30,000 ක දඩ මුදලක්ද නියම කළ විනිසුරුවරයා අපයෝජනයට ලක්වූ පිරිමි දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ගෙවන ලෙසයි නියෝග කළේ.

එම වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර 6 ක සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා දැනුම් දුන්නා.

මෙලෙස දඬුවම් නියම වූයේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට වන අතර, 2013 වසරේ නොවැම්බර් මස සිට 2014 නොවැම්බර් මස දක්වා වසරකට ආසන්න කාලයක් මොහු මෙම පිරිමි දරුවා බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබුණා.

මේ අතර හෙරොයින් ජාවාරමේ නිරත වීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (13) මරණ දඬුවම ලබා දුන්නා.

මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අදාළ පුද්ගලයා 2016 වසරේදී හෙරොයින් ග්‍රෑම් 13.23 ක් ළඟ තබාගෙන ජාවාරමේ යෙදුනු බවටයි චෝදනා එල්ලවූයේ ෴

***************************************

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකතා සොයන්න කොමිසමක්

(13.01.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති බරපතල මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කොමිසමක් පත් කිරීමට මගී ප්‍රවාහන, කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අදාළ කොමිසම පත් කරන ලෙසට අමාත්‍යාංශ ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතාට උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය සතියේදියි.

ඒ අනුව ලබන සතිය තුළ අදාළ කොමිසම පත් කිරීමට කටයුතු කරන අතර, එහි සාමාජිකයින් නම් කරනු ලබන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින්.

පසුගිය රජය සමයේ රථවාහන බලපත් සකස් කිරීම, මුද්‍රණය, ජාලගත කිරීම සහ ගොඩනැගීම මෙන්ම පැවරීම යන කාර්යයන් සිදුකිරීමට පෞද්ගලික සමාගමක් සමඟ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.

එම පෞද්ගලික සමාගමේ කොන්ත්‍රාත්තුව 2016 වසරේ අවසන් වීමට නියමිතව තිබුණත් එය සිදුකිරීමට නොහැකිවීමෙන් අදාළ පෞද්ගලික සමාගමට ප්‍රමාද ගාස්තු ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 175 ක් ගෙවා ඇති බව සඳහන්.

එමෙන්ම අදාළ පෞද්ගලික සමාගම මගින් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට මසකට රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ගෙවා ඇති බවටද තොරතුරු වාර්තාවන බවයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඒ අනුව එම තොරතුරු සම්බන්ධයෙන් සොයාබැලීමට සහ පරීක්ෂණ කටයුතු සිදුකිරීමටයි විෂයභාර අමාත්‍යවරයා විසින් මෙම කොමිසම පත් කිරීමට තීරණය කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *