කමිටුවෙන් නිර්දේශ නොකළ අයටත් පත්වීම් දීලා – නාලක ගොඩහේවා

(14.01.2020 – 22:24 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා නිර්දේශ ලබා දීමට පත් කළ විද්වත් කමිටුවෙන් නිර්දේශ නොකළ පුද්ගලයන්ටද පත්වීම් ලබාදී ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

එසේම ඔහු කියා සිටියේ එසේ වුවද සියයට අනූපහක්ම පත්වීම් පිළිබඳ සතුටු විය හැකි බවයි.

***************************************

ඉරාජ් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට

(14.01.2020 – 21:06 +0530 – sinhala.adaderana.lk)

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.

‘අද දෙරණ’ කළ විමසීමකදී ඉරාජ් වීරරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අද (14) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර තිබේ.

පසුගිය මැතිවරණ සමයේ ඉරාජ් වීරරත්න මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරණ කටයුතුවලද නිරත වූවෙකි.

+++++++++++++++++++++

Mathinta – Iraj (Edited)
https://www.youtube.com/watch?v=ahtxsA2iRvo

***************************************

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රුසියාවේ සහාය

(14.01.2020 – 22:13 +0530 – sinhala.adaderana.lk)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා අතර හමුවක් අද (14) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී දෙරට අතර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධවත් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම පිළිබඳවත් සාකච්ඡා කෙරුණු අතර ආරක්ෂණ හුවමාරු වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉහළ තාක්ෂණයෙන් හෙබි ආරක්ෂණ පහසුකම් සලසා දීමටද විදේශ අමාත්‍යවරයා එකඟතාවය පළ කළේය.

රුසියාව තුළ මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 5000 ට අධික ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයේ නිරතව සිටි බව පෙන්වා දුන් විදේශ අමාත්‍යවරයා වර්තමානයේදී 850 ට අධීක පිරිසක් උසස් අධ්‍යාපනයේ නිරත වන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් උසස් අධ්‍යාපන හුවමාරු වැඩසටහන් ලබා දීමට වැඩි අවධානයක් යොමු කරන බවද රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

රුසියානු වෙළෙඳපොල තුළ ශ්‍රී ලාංකීය තේ කර්මාන්තය තව දුරටත් ප්‍රවර්ධනය කිරීමටත් ගුණාත්මකභාවයෙන් වැඩි තේ නිෂ්පාදනය සඳහා ආයෝජන අවස්ථා ලබා දීමටත් රුසියානු රජය බලාපොරොත්තු වන බව එම සාකච්ඡාවේදී සදහන් විය.

ඉහළ පෙලේ රුසියානු ආර්ථීක සමුළු සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරකයින්ට අවස්ථාව හිමිකර දිමටත් ඒ තුළීන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික ප්‍රවර්ධනයක් අත් කර දීමටත් බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාත් ආරියසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ ෴

***************************************

මාර්තු පළමු දා සිට වතු කම්කරු දෛනික වැටුප 1000 ක් වෙයි

(14.01.2020 – 21:43 +0530 – sinhala.adaderana.lk)

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිමට රජය පියවර රැසක් ගෙන තිබේ.

දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් මීට ඇතුළත්ය.

මේ සහන හිමිවන්නේවතු සමාගම්වලට බැවින් එහි ප්‍රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍ර ලබන දියුණුවට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකරදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පවසයි.

***************************************

ධම්මපදය දන්නැති දේශපාලකයෝ මද්‍රසා ගැන දන්නෑ – පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමි

(15.01.2020 – epaper.aruna.lk)

ඉස්ලාම් අන්තවාදී උන්මත්තක බලවේග දේශපාලන බලය රහිතව වුවද තමන්ට අවශ්‍ය පුද්ගලයන් අවශ්‍ය ස්ථානවලට යෙදවීමේ උත්සාහයක නිරතව සිටින බව බොදු බල සේනා සංවිධානයේ සභාපති ගල​බොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (14 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

අන්තවාදී ප්‍රශ්නය පිළිබඳව අදාළ පුද්ගලයන් සාක්ෂි ඇතුව හෙළිකර තිබියදී සිද්ධියට අදාළ පුද්ගලයන්ටම තනතුරු තානාන්තර ලබාදීමට රාජපක්ෂ මහතාට ඇති වුවමනාව කුමක්දැයි උන්වහන්සේ එහිදී ප්‍රශ්න කර සිටියහ.

මෙම ඉස්ලාම් කණ්ඩායම් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති දේශපාලනඥයන් එය දන්නා පුද්ගලයන්ගෙන් විමසා බැලිය යුතු බව පවසන ඥානසාර හිමියෝ, සිංහල බෞද්ධ අපේක්ෂා මුදුන්පත් කරගැනීමට නම් තුන්වැනි බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළහ. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ.

“මේ හොරගල් අහුලන අතරතුරු ඔවුන් නැවත සංවිධානය වෙනවා. දැන් සියල්ල හරි කියලා ජනතාව හිතුවට ඒක එහෙම වෙලා නෑ.

මද්‍රසා පාසල් නියාමනය කිරීම පිළිබඳව දැන් කතාබහක් තියෙනවා. අපි දකින ඉස්ලාමය නෙවෙයි මේකේ තියෙන්නේ. මද්‍රසා ගැන මොනාද මැති ඇමැතිවරු දන්නේ? ඔවුන්ගේ සංස්කෘතියටත්, අපිටත් තර්ජනයක් නොවන විදියට මෙය සිදුවිය යුතුයි. සාම්ප්‍රදායික ස්වදේශික මුස්ලිම්වරු නැත්නම් අපට සුෆි මුස්ලිම්වරුන්ට දැන් ඉඩක් නෑ.

ලෝකය භීතියට පත්කළ මරාගෙන මැරෙන නායකයන් විසින් මෙහෙයවන මද්‍රසා පාසල් 48 ක් දෙමටගොඩ සිට වැල්ලම්පිටිය දක්වා පිහිටලා තියෙනවා. තැන් තැන්වල අහිංසක මුස්ලිම් දරුවන් එකතු කරගෙන පාට පාට ඇඳුම් අන්දවලා ත්‍රස්තවාදයට පාර කපනවා.

ආණ්ඩුව පත්වෙලා දින 50 ක් ගෙවුණත් මේ ගැන සාකච්ඡා කළාද? පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට සාධාරණයක් ඉටු කළාද? මරාගෙන මැරෙන මතවාදය ඔළුවට ගත්ත අන්තවාදීන් කණ්ඩායමක් රේගුවේ, ගුවන් සේවයේ හා අධ්‍යාපන සේවයේ ඉන්නවා. පාසල් පෙළ පොත්වලට විෂ එකතු කළේ මේ පුද්ගලයන්. මෙයාලා තමයි මද්‍රසා පාසල් ඉල්ලන්නේ. ධම්මපදයක් දන්නේ නැති අපේ දේශපාලනඥයන්ට මද්‍රසා ගැන තේරෙන්නේ නෑ.

ඒ නිසා මම ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් කියන්නේ නොදන්න දේවල් කරන්න ගිහින් නාස්ති වෙන්න එපා කියලා.

නිකන්ම නිකම් මරාගෙන මැරෙන මිනිස්සු බිහිවෙන්නේ නෑ. ගිය සතියේ කොල්ලුපිටියේ ආගම් මාරු කරන ස්ථානයකට බලපත්‍ර ලැබුණා. තව එකක් තියෙනවා වැල්ලවත්ත රෝහිණ්‍යා පටුමගේ. ඒ අයගේ වැඩපිළිවෙළ තාමත් ක්‍රියාත්මකයි. මද්‍රසා ප්‍රශ්නය බරපතළයි. පනත් ගෙනත් සම්මත කරන එකට වඩා තහනම් කරන එකයි කරන්න ඕනෑ.

ඒ වගේම මේ රටේ රන්ජන්ගේ හඬපට ප්‍රශ්නයට වඩා ප්‍රශ්න තියෙනවා කතා කරන්න. මේ සංසරණය වෙන හඬපට වාරණය කළ යුතුයි. මේ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග දෙකයි තියෙන්නේ. ඔහුව ඉක්මනට මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකොට අංගොඩ යැවිය යුතුයි. නැත්නම් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිම සඳහා මාස හයකටවත් අත්අඩංගුවට ගත යුතුයි. නැත්නම් මේ ආණ්ඩුවමයි හිරවෙන්නේ. අපිට නම් බයවෙන්න දෙයක් නෑ. අපි රන්ජන්ට කතා කරලා නෑ. නමුත් පොදුවේ ගත්තොත් ඒ මනුස්සයට කතා කරපු මිනිස්සු භීතියට පත්වෙලා ඉන්න විදිය බලන්න. රන්ජන් මොන කෙල්ලට කතා කළත් අපිට මොකද? ආණ්ඩු පෙරලන්න හෝ උසාවි සම්බන්ධ දෙයක් නම් ඒක එළියට ගත්තට කමක් නෑ. නමුත් සමාජ මාධ්‍ය තුළ හැම එකක්ම ඔහේ සංසරණය වෙන්න ඉඩ හරිනවා.

අපි මොනවා හරි කරනවා නම් ඒවා වාරණය කරනවා. තාමත් අපි සමාජ මාධ්‍ය තුළ වාරණයට ලක්වෙලා ඉන්නේ.

රන්ජන් පුදුම විෂයන් තොගයක් දන්න කෙනෙක්. යශෝධරා දේවිය පිළිබඳව අපි මොනතරම් ලස්සන පුරාවෘත්තද අහලා තියෙන්නේ. මේ වගේ අපහාස කරන පුද්ගලයන්ට ධාතු සුනඛයෝ කියන්න පුළුවන්. බුදු දහමේ විදියට පුද්ගලයෙක් හැදෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතු සහ ආකාස, විඥාන එකතු වෙලා. නමුත් රන්ජන්ම කියන ආකාරයට ජාන පැටලවිල්ල ගත්තම එතෙන්ට සුනඛ ඒවත් එන්න පුළුවන්නේ. එහෙම බලද්දී මෙයා ධාතු සුනඛයෙකි. ඒක තමයි මට දෙන්න පුළුවන් උත්තරය. ඒක නිසා ආණ්ඩුව තවදුරටත් රන්ජන් රටේ ඇති එකම ප්‍රශ්නය කරගත යුතු නෑ. ක්‍රිස්තියානු මූලධර්මවාදී සංවිධාන 455 ක් බොහොම තදට වැඩ කරනවා. ඒ දිහා බලන්න. ජාතියක් විදියට මිනිස්සු එකතු වුණා. දැන් ලස්සනට ජාතිය ගොඩනැගිය යුතුයි.”

55 min.s

***************************************

මරදානේ තොග අලෙවිසැල් ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවට

(14.01.2020 – 21:31 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (14) කොළඹ මරදානේ පිහිටි තොග අලෙවිසල් කිහිපයක් පරීක්ෂා කළේය.

ඒ ජනතාව වෙත ලබාදුන් බදු සහන නිසි ලෙස ලැබෙනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු බදු සංශෝධන කිහිපයක්ම හඳුන්වා දෙනු ලැබුවේය.

එහෙත් 2019 වසරේ දෙසැම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම බදු ප්‍රතිලාභ ලබාදුන්නද සිල්ලර,තොග හා ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට් බදු අඩුකිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයා වෙත නොලැබෙන බවට මහජනතාවගෙන් චෝදනා එල්ල වුණි.

ඒ අනුව එම ප්‍රතිලාභ මහජනතාව වෙත ලැබෙන්නේදැයි අධීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ (13) අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම තත්ත්වය සමීපව අධීක්ෂණය කරන ලෙසටද ජනපතිවරයා පාරිභෝගික අධිකාරියට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

එම උපදෙස් ක්‍රියාත්මක කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් පිරිසක් අද (14) කොළඹ මරදාන තොග අලෙවිසැල් කිහිපයක් අධීක්ෂණය කළේය.

***************************************

අත්අඩංගුවට ගැනීමේ දී නීතියට අනුව ක්‍රියා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(14.01.2020 – 20:57 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගැනීමේ දී සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

අත්අඩංගුවට ගැනීම දඬුවමෙන් කොටසක් නොවන අතර, අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්තිනාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බවත්,එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදුවන බවට සහතික කරගන්නා ලෙසටත් ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරුවැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් ඉහත කී රාජකාරිය ඉටුකිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි‍‍‍ ගෞරවය ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

එමෙන්ම මෙම උපදෙස් සියලු ශ්‍රී ලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරව අදාළ වන බවත්, කිසිදු තත්ත්වයක් යට‍තේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැංවීම නොකළ යුතු බවත්, කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසටත් දැනුම් දී ඇත.

දූරදර්ශීව නිසි ලෙස රාජකාරී ඉටුකරන ලෙසට හා අවශ්‍ය අවස්ථාවන්හි දී නීතිපති උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත ෴

+++++++++++++++++++++

***************************************

MCC ගිවිසුම ගැන ජනතා අදහස් සැලකිල්ලට ගත යුතුයි – ජනපති අමෙරිකාවට කියයි

(14.01.2020 – 20:40 +0530 – sinhala.adaderana.lk)

‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවේ අද (14) කියා සිටියේය.

දෙදෙනා අතර අද (14) කොළඹදී පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර විදෙස් දූත පිරිස් කිහිපයක්ම අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර මහජන චීන සමුහාණ්ඩුවේ විදේශ අමාත්‍ය චැන්ග් යී මහතා අද (14) ජනාධිපතිවරයාව හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරු වශයෙන් චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිලාශයන් වෙනුවෙන් පෙනි සිටින බව මෙහිදි චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

එමෙන්ම රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතාද අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණි.

+++++++++++++++++++++

***************************************

අසර්බයිජානයේ දී මියගිය ශිෂ්‍යාවන්ගේ දේහයන් දිවයිනට

(15.01.2020 – 11:09 +0530 – sinhala.adaderana.lk)

අසර්බයිජානයේ බාකු වෙස්ටර්න් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී , මියගිය සිසුවියන් තිදෙනාගේ මළ සිරුරු අද (15) උදෑසන 09:15 ට ලංකාවට ගෙනැවිත් තිබේ.

මෙම දේහයන් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්-664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත.

එම මළ සිරුරු භාර ගැනීමට එම සිසුවියන්ගේ දෙමාපියන් , භාරකරුවන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිට ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

***************************************

බූරුවන්ට නාම යෝජනා දීලා අශ්වයින් පත් කරන්න බෑ – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(14.01.2020 – 20:33 +0530 – sinhala.adaderana.lk)

බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරදීම සඳහා නාම යෝජනා ලබාදීමේදී සුදුස්සන්ට පමණක් ලබාදීමට පක්ෂ නාමයෝජනා කමිටු විසින් කටයුතු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

සමාජජාල ක්‍රියාකාරීන් සමග ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ පැවති සුහද හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදී අභයතිස්ස හිමි මෙසේ සිය අදහස් දැක්වීය :

“ජනපතිට පාර්ලිමේන්තුවේ බහුතරය හදන්න බැරි වුණොත් කේවල් කරන මන්ත්‍රීවරුන්ගේ ග්‍රහණයට හසුවෙනවා.

බූරුවන්ට නාම යෝජනා දීලා අශ්වයින් පත් කරන්න බෑ. නාමයෝජනා කමිටු බූරුවන්ට නාමයෝජනා දෙන්න එපා.

පැරදුණ මිනිස්සුන්ව නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කරන්න. ජයගත හැකි විද්වත් පිරිසක් ඇතුළත් කරන්න.

පෞද්ගලික හිතවතුන් සහ මතවාද ජයග්‍රහණය කරවන්න එපා.”

***************************************

එජාප ආණ්ඩුව කියන්නෙ TNA ආණ්ඩුව – අගමැති

(14.01.2020 – 20:14 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා දෙමළ ජාතික සන්ධානය බරපතළ සහයෝගයක් ලබා දුන්නත් උතුරේ ජනතාවගේ ගැටලුවලට විසදුම් සෙවීමට උත්සාහ නොගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දෙමළ මාධ්‍යෙව්දීන් ද ජාතීන් අතර දුරස්ථභාවයන් ඇතිකිරීමට කටයුතු කරන බවයි.

දෙමළ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ අද (14) පැවති හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දෙමළ මාධ්‍යවල විකාශය වන පුවත්වල ආණ්ඩු විරෝධී පුවත් සිරස්තල යොදා ගන්නා බවයි.

ජනතාව හා ආණ්ඩුව අතර ඇති සබඳතාව දුරස් කිරීම කාලාන්තරයක් තිස්සේ සිදු වුවක් බවත් එය තවදුරටත් සිදු කිරීම නිවැරදි නොවන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් උතුරු නැගෙනහිර මෙන්ම කන්ද උඩරට සිටින ජනතාවට ඇති ප්‍රශ්නවලට දේශපාලන භේදයකින් තොරව පිළිතුරු ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය :

“ජනතාව අවුරුදු 70 ක් රැවටුවා. එ.ජා.ප. ආණ්ඩුව අවුරුදු හතරට ප්‍රශ්නවලට විසඳුම් දුන්නද? අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය විසඳුවාද?

ඒ අම්මලා පෙළපාලි,උපවාස කරනකොට ඒ තැන් පහුකරගෙන යනකොට වාහනයෙන් බැහැලා ඒ ගැන ඇහුවාද?

ඡන්දය දීලා ආණ්ඩුව රැකගත්තේ ඒ අය. එ.ජා.ප.ආණ්ඩුව කියන්නෙ TNA ආණ්ඩුව.

මම හැදුවට පස්සෙ බෝක්කුවක් හැදුවද?”

+++++++++++++++++++++

***************************************

නව අධ්‍යාපන කාර්ය සාධන බලකා නිලධාරීන්ට පත්වීම්

(14.01.2020 – 18:00 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පියවර ගෙන ඇති අතර, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත.

දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා සියලු පාර්ශවකරුවන් සහ ආයතන සමග සම්බන්ධීකරණයෙන් යෝග්‍ය වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම සඳහා අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව අධ්‍යාපන අමාත්‍ය ගෝඨාභය රාජක්ෂ මහතා විසින් පියවර ගෙන ඇති අතර, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

එම කාර්ය සාධන බළකායේ නිලධාරීන් සඳහා අදාළ පත්වීම් ප්‍රදානය අද (14) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම කාර්ය සාධන බළකාය අධ්‍යාපන, සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන සහ මාධ්‍ය යන විවිධ ක්ෂේත්‍රයන්හි විෂය විශේෂඥයින්ගෙන් සමන්විත වන අතර, එහි කණ්ඩායම් ප්‍රධානී ලෙස ආචාර්ය එම් උපාලි සේදර මහතා පත්කර ඇත.

නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තවදුරටත් සුරක්ෂිත කොට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය පාසල් වැසීයාම වළක්වමින් ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නවීන තාක්ෂණය ඇතුළු පහසුකම් එම පාසල්වලට සැපයීම, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ගුරු සහායකයින් පාසල්පාදක ව බඳවාගැනීම, ත්‍රෛභාෂා අග්‍රගන්‍ය ජාතික පාසල් 20 ක් දිස්ත්‍රික්ක පදනමින් පිහිටුවීම, අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ, ගුරු මාරු ප්‍රතිපත්තියට අදාළ නෛතිකමය සංශෝධන, විෂය මාලා සංවර්ධනය, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය, සිසුදරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය, හා ආරක්ෂාව සහතික කෙරෙන ඵලදායී වැඩසටහන් දියත්කිරීම, ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා ඉහළ නැංවීම, ඇතුළු නව අධ්‍යාපන යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම කාර්යසාධන බළකාය ප්‍රමුඛ කාර්යභාරයක යෙදී උපරිම සහයෝගය තමා වෙත ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පත්වීම්ලාභී කාර්ය සාධන බළකායේ නියෝජිතවරුන් හමුවේ සඳහන් කළේය ෴

***************************************

රත්මලානේ ලක්ෂ 30 ක රන් බඩු සොරකම

(14.01.2020 – 13:41 +0530 – sinhala.adaderana.lk)

රත්මලානේ පිහිටි අලෙවි සැලකට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ 30 ක පමණ මුදල් හා ස්වර්ණාභරණ තොගයක් සොරා ගෙන තිබුණි.

ඊයේ (13) පස්වරුවේ මෙම සොරකම සිදුව ඇති බව වාර්තා වෙයි.

අදාළ සොරකම සිදුව කරන ආකාර මෙම වෙළඳ සැලේ සවි කර තිබූ ආක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රත්මලානේ රන් භාණ්ඩ වෙළඳසැලක් කොල්ලකෑ අටදෙනෙකු අත්අඩංගුවට

(16.01.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන – බෙලෙක්කඬේ හන්දියේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැළකින් රුපියල් විසි එක්ලක්ෂයකට අධික රන් භාණ්ඩ කොල්ලකෑ අටදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා මෙම වෙළඳසැලට ඇතුලුවූ පුද්ගලයින් හයදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අවි ආයුධ පෙන්වා එහි සේවකයින් බියගන්වා මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.

පසුව ගල්කිස්ස පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් සහ මොරටුමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී කොල්ලකන ලද රන් භාණ්ඩ සහ ආයුධ සමඟින් සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 18 සහ 27 අතර වයස්වල පසුවන රත්මලාන, අම්බලන්ගොඩ සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

රට මැද වෙන්න ගිය සුනාමියකට තිත තැබූ ‘හිරු CIA’ අනාවරණය

(14.01.2020 – 20:49 +0530 – hirunews.lk/sinhala)

මොරගහකන්ද ජලාශයේ වේල්ලේ පවතින ජල කාන්දුව පිළිබඳව හිරු CIA සිදුකළ අණාවරණයෙන් පසුව එය සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත් කළ බවට එහි ව්‍යපෘති අධ්‍යක්ෂවරයා අද ‘හිරු CIA’ වෙත තහවුරු කළා.

හිරු CIA හරහා පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා , මොරගහකන්ද ජලාශයේ වේල්ලේ පවතින මහා පරිමාණ ජල කාන්දුව පිළිබඳ මුල්වරට අප රටට අනාවරණ කළා.

ඉදිකිරීම් සිදුකල චීන සමාගම මෙම ජල කාන්දුව කොළ පැහැති දැල් ආවරණ යොදා ආවරණය කිරීමට පෙර සූක්ෂමව එහි දර්ශන ලබා ගනිමින් හිරු සී.අයි.ඒ. සිදුකල අනාවරණයෙන් පසු රටේ අවධානය ඒ වෙත යොමු වී තිබුණා.

දේශපාලන නියෝජිතයින් මෙන්ම වගකිවයුතු බලධාරීන්ද මොරගහකන්ද ජලාශය නිරීක්ෂණය කරමින් මෙම ජල කාන්දුවට අවශ්‍ය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

හිරු CIA හරහා දිගින් දිගටම සිදු කළ ගවේෂණාත්මක වාර්තාකරණය මත දින 10 ක් තුළ අදාළ ගැටළුවට විසඳුම් ලබාදෙන බවට මොරගහකන්ද ව්‍යාපෘති බළධාරීන් හිරු ප්‍රවෘත්ති හරහාම රටට පොරොන්දු වූ අතර අදාළ ජල කාන්දුව සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත් කිරීමට ව්‍යාපෘති කණ්ඩායම සමත් වූ බව ඔවුන් අද (14) ප්‍රකාශ කළා.

***************************************

පැය 3 ක් රහස් පොලීසියට ප්‍රකාශ දුන් රාජිත මාධ්‍ය මගහැර පිටව යයි

(14.01.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියා.

දින 18 කට පසු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් අද (14) අලුයම පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අද (14) දහවල් 12 ට පමණයි.

අව් කණ්නාඩියක් සහ හිස් වැසුමක් පැළඳ සාමාන්‍ය පරිදි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 26 වනදායි.

ඒ සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔහුට වරෙන්තුවක් නිකුත්ව තිබියදියි.

එදින හෘද රෝග දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වූ මන්ත්‍රීවරයා පසුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණද දින ගණනාවක්ම ඔහු එම රෝහලේ රැඳී සිටියා.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රෝහලේදීම අත්අඩංගුවට ගත් අතර, පසුගිය දෙසැම්බර් 30 වනදා ඔහුට අධිකරණයෙන් ඇප හිමිවුණා.

කෙසේ වෙතත් ඉන් අනතුරුවද රෝහලේ රැඳී සිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අද අලුයම රෝහලෙන් පිටව ගියා.

රෝහලෙන් පිටව ගිය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව එහි පැමිණි අතර, ඔහු පස්වරු 3.25 ට පමණ ඉන් පිටව ගියා.

එහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියෙකුට මන්ත්‍රීවරයා සමඟ පැමිණි පුද්ගලයෙකු බාධා කළ අතර, නැගූ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා පිළිතුරු ලබා නොදී පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

***************************************

හඳුනා නොගත් උණ රෝගයකින් පෙලෙන විදේශිකයින්ගේ සෙම් පටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට

(15.01.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

අයි.ඩී.එච් මූලික රෝහලේ ප්‍රතිකාර ලබන විදේශිකයන් දෙදෙනාට හඳුනා නොගත් උණ රෝගයක් වැලදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මඟීන් දෙදෙනෙකු අසනීප වීම හේතුවෙන් පෙරේදා (13) අලුයම කටුනායක ගුවන් තොටුපළට ලයන් එයාර් වර්ගයේ ගුවන් යානයක් ගොඩබැස්සවූ අතර ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටියා.

මේ අතර, එම යානයේම පැමිණි තවත් විදේශිකයන් දෙදෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහායි අයි.ඩී.එච්. මූලික රෝහලට ඇතුලත් කරනු ලැබුවේ.

ඉන්දුනීසියානු ජාතික පියෙකු සහ පුතෙකු මෙලෙස අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ සෙම පටල සහ රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

***************************************

සංස්ථා, මණ්ඩල ප්‍රධානීන්ගේ දීමනාවන්ට සීමා

(15.01.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පිරිවැය කළමනාකරණය කරමින් මහජනතාවට උපරිම සේවයක් සැලසීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවාවන් සැපයීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ලේකම්වරුන්, ආණ්ඩුකාර ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත එමගින් උපදෙස් නිකුත් කර ඇති අතර, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සදහා ලබාදෙන මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කර තිබීම ද විශේෂත්වයක්.

එමෙන්ම, සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ මාසික දීමනාව ද, රුපියල් 25,000 දක්වා සීමා කර ඇති අතර, ආයතන සභාපතිවරුන් සදහා ලබාදෙන ඉන්ධන දීමනාව, ඉන්ධන ලීටර් 150 කට සීමා විය යුතු බවටයි චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.

එමෙන්ම, ආයතනවල සිටින ක්‍රියාකාරි අධ්‍යක්ෂවරුන් වෙනත් ආයතනවල තනතුරු සදහා පත් නොකළ යුතු බවට ද, එමගින් සදහන් කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා සිය චක්‍රලේඛය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ආයතන ප්‍රධානීන් තමන් යටතේ සේවය කරන ප්‍රධාන විධායක නිලධාරිවරුන්ගේ සහ ගණකාධිකාරිවරුන්ගේ සුදුසුකම් පිළිබද ඇගයීමක් කළ යුතු බවයි.

එමෙන්ම, රාජ්‍ය ආයතන මගින් මහජනතාවට සේවා සැපයීමේදී සරල ක්‍රමවේදයන් අනුගමනය කල යුතු අතර, සේවා ගාස්තු කිසිදු අවස්ථාවක දෙවරක් අය කිරීමට ඉඩ නොතැබිය යුතු වනවා. ප්‍රවාහන, ප්‍රචාරණ මෙන්ම, වෙනත් ගෙවීම් සිදුකිරීමේදී නිසි කළමනාකරණයක් සිදුකළ යුතු බව ද, ජනාධිපති ලේකම්වරයා සිය චක්‍රලේඛය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

රාජ්‍ය ආයතන තුළ පිරිස් කළමනාකරණය සිදුකිරීමේදී දැනුම සහ සුදුසුකම් පදනම් කර ගත යුතු අතර, කාර්යක්ෂම මහජන සේවාවක් සැපයිය හැකි පරිදි එය සිදුකළ යුතුයි.

එමෙන්ම, බදු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේදී එය වඩාත් සරල විය යුතු වනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉහත දීමනා කිසියම් වෙනසකට ලක් කරන්නේ නම්, ඒ පිළිබඳව මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියක් ලබාගත යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *