ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතාට අසාධ්‍යයි

(15.11.2017 – webgossip.lk)

හෙළයේ මහා සංගීතඥ සුනිල් සාන්තයන්ගේ ප්‍රධානම ගෝලයෙකු වූ අයිවෝ ඩෙනිස් මහතා ස්නායු ආබාධයක් සඳහා සැත්කමකට ලක්වීමෙන් අනතුරුව මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ පුතු පවසා තිබෙනවා.

සුනිල් සාන්තයන්ගේ මග යමින් එතුමාගේ හඬ නැවත ජීවමාන කළ අයිවෝ ඩෙනිස් දැනට ජීවතුන් අතර සිටින එදා පරපුරේ ප්‍රවීණතම ගායකයෙකි. පසුගිය 31 වැනිදා ඇතිවූ වැටීමක් හේතුවෙන් හිසේ ඇති වූ අභ්‍යන්තර ලේ ගැලීමක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්යකර්මයකට බඳුන් කළ බවත්, එයින් අනතුරුව නැවත යථා තත්ත්වයට පත්වීම ප්‍රමාද වීම හේතුවෙන් ඒ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් ඔහුගේ පුතු සඳහන් කරනවා.

85 හැවිරිදි අයිවෝ ඩෙනිස් මහතාගේ තත්ත්වය මේ වන විට බරපතළ බවද අපට දැනගන්නට ලැබුණා ෴

+++++++++++++++++++++++++++++

meemessasinhalasongs.com > Ivo Denis

sarigama.lk > Ivo Denis

+++++++++++++++++++++++++++++++

තවමත් මට හොඳින් ගී ගයන්නට පුළුවන් – අසූ හැවිරිදි අයිවෝ ඩෙනිස් පවසයි (2012 දී)
(22.11.2012 – sarasaviya.lk)

(‘කුරුලු පරාදීසයේ’ ගී ප්‍රසංගය 28.11.2012 දා සවස 6.00 ට B. M. I. C. H හිදී පැවැත්වේ. මේ විශේෂ ලිපිය ඒ නිමිත්තෙනි)

මේ මියුරු ගීතයට ඇත්තේ දිගු ඉතිහාසයකි. ඒ ඉතිහාසය දශක පහකටත් වඩා ඈතට දිව යයි. නමුදු එහි ජනප්‍රියත්වය අදටත් වියැකී ගොස් නැත. සුනිල් සාන්තයන් විසින් එකල ගුවන් විදුලියට ඉදිරිපත් කළ ‘ රන් වලාව’ සංගීත වැඩ සටහන ඔස්සේ මුල්වරට මේ ගීතය ප්‍රචාරය වූයේ තවත් විශිෂ්ටතම ගායනවේදියකු හෙළ ගී ලොවට දායාද කරමිනි.

හේ නමින් අයිවෝ ඩෙනිස් ය.

එදා නව යෞවනයකු සේ ‘කුරුලු පරාදීසයේ’ ගීතය ගැයූ අයිවෝ ඩෙනිස් ගායනවේදියාට අද වයස අවුරුදු අසූවද ඉක්ම ගොස් තිබේ. නමුදු ඒ හඬ තවමත් තාරුණ්‍යයෙන් පිරිපුන්ය. ගැයුමෙන් නිරවුල්ය. ‘මට මහලු වයසේ හැකිය ගී ගායනා පෙර සේ’ කියන්නාක් මෙන් ඒ මියුරු ගායනා තවමත් අප හදවත් රංජනය කරයි.


අයිවෝ තරුණ වියේදී

මම ඉපදුනේ 1932 මැයි 28 වැනිදා. දැන් වයස අවුරුදු අසූවකුත් මාස හයක් වෙනවා. තවමත් මට හොඳින් ගීත ගයන්නට පුළුවන්. ඇත්තෙන්ම ඒක මට දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක් කියා සිතෙනවා.

අයිවෝ පවසන්නේ නිහතමානී හැඟීමකින් යුතුවය. සැබැවින්ම ඒ සාඩම්බරය ඔහුටත් වඩා දැනෙන්නේ සහෘදයන් හට යැයි කියා මට සිතේ. ඒ ඔහු ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ කලාකරුවකු බැවිනි.

වසර හැටක් සපිරෙන ඔබේ ගායන දිවියේ ආරම්භය ගැන සිහිපත් කළොත්?

‘ආධුනික පැය’ ඒ කාලේ ගුවන් විදුලියේ තිබුණ ඉතාමත් ජනප්‍රිය සංගීත වැඩ සටහනක්. මමත් ඊට සහභාගි වෙලා සුනිල් සාන්තයන්ගේ ගීතයක් ගායනා කළා. මොකද ඔහු තමා මගේ ප්‍රියතම සංගීත ශිල්පියා වෙලා හිටියේ’ ‘ආධුනික පැයෙන්’ එදා මම ගැයුවේ ‘වරෙන් හීන් සැරේ රිදී වලාවේ’ ගීතය. එදා මෙන්ම අදත් සුනිල් සාන්තයන්ගේ ගී අතරින් මා වඩාත්ම ප්‍රිය කරනා ගීතය එයයි. ඉතින් එතුමා අහම්බෙන් මගේ ගායනය අසලා ඔහුගෙන් සංගීතය හදාරන්න මට ඇරියුම් කළා. ඒ කාලේ සුනිල් සාන්තයන්ගේ ශිෂ්‍යයකුව සිටි පැට්‍රික් දෙනිපිටිය මඟින් තමයි එතුමා මට මේ ආරාධනය යොමු කළේ. ඒ 1952 වසරේ.

ඉන් පසු ඔබ සුනිල් සාන්තයන්ගේ ප්‍රධානතම ගෝලයෙක් බවට පත්වුණා?

ඔව්, ඒ ආරාධනයෙන් පසුව මම එතුමාගෙන් සංගීතය හදාරන්න පටන් ගත්තා. ඒ කාලේ පාසල්වල සංගීතය විෂයයක් හැටියට ඉගැන්නුවේ නැහැ. මම පාසල් යන අතරතුරමයි සුනිල් සාන්තයන්ගේ සංගීත පංතිවලට සහභාගි වුණේ. එතුමාගේ ගී ආර, ගී ශෛලිය ආරම්භයේ පටන්ම මගේ ගායන දිවියේ පදනම වුණා.

‘ආධුනික පැය’ට සුනිල් සාන්තයන්ගේ ගීයක් ගයමින් සිය අපූර්ව ගායන ප්‍රතිභාව විදහා දැක් වූ අයිවෝ ඩෙනිස්හට ගීත ක්ෂේත්‍රයේ මේ සා දිගු ගමනක් යාමට වරම, වාසනාව උදා වූයේ සිය ගුරු දේවයන් අතින් නිර්මාණය වූ ‘කුරුලු පරාදීසයේ’ ගීතයෙන් වීම සුවිශේෂත්වයකි. එය රචනා කරන ලද්දේ තිලක සුධර්මන් ද සිල්වාය.

ඒ ගීතයත් එක්ක මගේ නම ගායකයකු විදිහට ප්‍රසිද්ධියට පත් වුණා. සුනිල් සාන්තයන් ගුවන් විදුලියට නිර්මාණය කළ ‘මධුර මධු’, ‘පංච මධුර’ ‘සීගිරි ගී’ වගේ සංගීත වැඩසටහන්වලට මම නිතරම ගී ගායනා කළා.

ඔබේ හඬ සුනිල් සාන්තයන්ගේ හඬට ඉතාමත් සමීපයි. එය ඔබේ උප්පත්ති පිහිටීමක් ද නැතිනම් කිසියම් අනුකරණයක්ද?

මෙහෙම දෙයක් තියෙනවා. තමන් කැමැති ගායන ශිල්පියෙකු ඉන්නවා නම් ඔහුව අනුකරණය කරන්නට බොහෝ අය පෙළඹෙනවා. ඒක මුල් කාලයේ මටත් තිබුණා. මොකද සුනිල් සාන්තයන්ගේ ගීවලට මම බොහෝ සෙයින් ප්‍රිය කළ නිසා. ඒ ආභාෂය හා ගායන ශෛලිය මම දිගටම අරගෙන ආවා. මම හිතන්නේ ඒක ආත්මගත බැඳීමක්.

සුනිල් සාන්තයන්ගේ ගෝලයකුටත් වඩා මා දකින්නේ ඔබ ඔහු නැති හිඩැස පිර වූ ඔහුගේ අනුප්‍රාප්තිකයකු විදිහට. සුනිලුන්ගේ ගීත එදා මෙන්ම අදටත් ජනප්‍රියයි. ඊට හේතු විදිහට ඔබ දකින්නේ?

අපේ ජන සංගීතය වගේම හින්දුස්ථානී සංගීතය, බටහිර සංගීතය එතකොට බෙංගාලි සංගීත ශෛලිය මෙවා හැම දෙයකම සම්මිශ්‍රණයක් එතුමාගේ සංගීත නිර්මාණවල තිබුණා. ස්වර හතරකින් පහකින් වුණත් අතිශය අලංකාර, සාර්ථක ගීතයක් නිර්මාණය කිරීමේ හැකියාවක් ඔහුට තිබුණා. එය අනෙක් බොහෝ සංගීත නිර්මාණකරුවන් ළඟ නොතිබූ ගුණයක්. ඒ වගේම සුනිල් සාන්තයන් භාෂාව පිළිබඳ ඉතාමත් සැළකිලිමත් වූ කෙනෙක්. වෘත්තීය ජීවිතය ඔහු මුලින්ම පටන් ගත්තේ සිංහල ගුරුවරයෙක් විදිහට.

කුමාරතුංග මුණිදාසයන්ගේ හෙළ හවුලට එක් වීමෙන් තමයි එතුමා තමන්ගේ භාෂා ඥාණය වඩාත් පුළුල් කර ගත්තේ. අරිසෙන් අහුබුදු, හියුබත් දිසානායක වැනි භාෂා වියතුන්ගේ ගී පදමාලා ඔහු විශේෂයෙන් ගායනා කළා.

‘අනුරාපුර, පොළොන්නරුව සීගිරි මන බන්දනීය කුළුණු, පිළිම, බිතු සිතුවම් නන් සිතුවිලි රන්ජනීය’ යනුවෙන් ඇරැඹෙන විරිදු ගායනය ‘රේඛාව’ චිත්‍රපටයට ගයනු ලැබුවේ ද අයිවෝ ඩෙනිස්ය. එකල කුඩා ළමුන් අතර අතිශය ප්‍රසාදයට පත් වූ එම ගීතය අදට ද ජනප්‍රිය ගී නිර්මාණයකි. දේශීය සිනමා සංගීතයේ නිම්වළලු පුළුල් කළ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ තේමා ගීතය වූ ‘උදුම්බරා හිනැහෙනවා’ ගීතයට ටී. එම්. ජයරත්න, සුනිලා අබේසේකර සමඟ ඉතාමත් විශිෂ්ට ගායනයකට දායක වූයේ අයිවෝ ඩෙනිස්ය. චිත්‍රපට පසුබිම් ගායනයේදී ඔහුගේ හඬින් උපරිම ප්‍රයෝජනයක් ගත් සංගීතවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය.

‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ‘උදුම්බරා හිනැහෙනවා’ ගීතය මම හිතන්නේ සිනමා සංගීතයේ ඉතා විශිෂ්ට නිර්මාණයක්. ඩබ්ලිව්. ජයසිරි රචනා කළ එම ගීතයට කේමදාස මාස්ටර් යටතේ ගී ගයන්න ලැබීම මම ලැබූ භාග්‍යයක්. එතනදි ඔහු මගේ හඬින් උපරිම ප්‍රයෝජනයක් ගත්තා. කේමදාසයන්ගේ සංගීතයට ‘හිම කතර’ චිත්‍රපටයට ගැයූ ‘කන්ද එහා වැස්ස වසින්නා. . .’ ගීතයට 1985 වසරේ ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම ගායනයට හිමි සම්මානය මට ලැබුණා. එය රචනා කළේ ඔගස්ටස් විනයාගරත්නම්.

සුනිල් සාන්තයන්ගේ සහ කේමදාසයන්ගේ සංගීත විධි ක්‍රම එකිනෙකට වෙනස්. නමුත් ඔබ ඔවුන් දෙදෙනාම ඇසුරේ ඔබේ ගායන ශාක්‍යතා විදහා දැක්වූවා. කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ?

මා මුල පටන්ම සුනිල් සාන්තයන්ගේ ගී ආර ප්‍රගුණ කළ ඒ සමඟ ජීවත් වූ අයකු නිසා ඒ ආභාෂය මගේ ස්වතන්ත්‍ර නිර්මාණවල පවා තිබුණා. විශේෂයෙන්ම ඒ ගී වැඩි ප්‍රමාණයක් සංගීතවත් කළේත් සුනිල් සාන්තයන්මයි. කේමදාස මාස්ටර් සමඟ වැඩ කිරීමත් මට කිසිම අපහසුවක් වුණේ නෑ. එක් එක් ශිල්පියාගේ හඬ ඔහු භාවිතා කළේ ඒ හැකියාවන් උපරිම තලයට ගනිමින්. මමත් ඒ අත්දැකීම විඳලා තියෙනවා. මාස්ටර්ගේ ඔපෙරා, කැන්ටාටා, සිම්ෆනි වගේ නිර්මාණවලට දායක වෙන්නත් මට අවස්ථාව ලැබුණා. සුනිල් සාන්තයන් හා කේමදාසයන්ගේ නිර්මාණ ඉඳුරාම වෙනස් වුවත් ඒ දෙදෙනාම අපේ සංගීත ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙවරක් සිදු කළා. ඒ දෙදෙනාම විශිෂ්ටයෝ.

සුනිල් සාන්තයන්ගේ පමණක් නෙවෙයි ජීවත්ව සිටිනා ඔබේ ගී පවා අද ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය වෙනවා අඩුයි.?

ඇත්තටම විද්‍යුත් මාධ්‍යයෙන් අද අපට කිසිම අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. මම ගුවන් විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙක්. ගී ප්‍රචාරය කරනවා තබා අවුරුදු ගාණකින් සරල ගී වැඩ සටහනකට කතා කරළත් නෑ. ඕක තමයි අද තත්ත්වය. සුනිල් සාන්තයන්ගේ පමණක් නෙවෙයි ආනන්ද සමරකෝන් වැනි ශිල්පීන්ගේ ගීතත් අද ප්‍රචාරය වන්නේ නෑ. ජීවතුන් අතර නැති ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ගීත අද බොහෝ විට ගුවන් විදුලි නාළිකාවල අපට ඇසෙන්නේ පුතුන්ගේ හඬින්.

නිතර දෙවේලේ නොඇසුණත් ජනතාවගේ හදවත්වල ඒ ගීත තවමත් රැඳී තිබෙනවා. මම හිතන්නේ ඔබටත් ඒ අත්දැකීම එලෙසමයි ?

ඒක ඇත්ත. ‘කුරුලු පරාදීසයේ’ වගේම මම ගැයූ ‘දකුණ නැගෙනහිර’, ‘අභිමානනීය වූ නවෝදයේ’, ‘සැළෙන ළෙලෙන උකුළු තලේ’, ‘වළාකුලින් බැස’ වැනි ගීත අදටත් ජනප්‍රියයි. මම හිතන්නේ කොයි තරම් රැළි ආවත් ඒ ගීත නිර්මාණ ගහගෙන යන්නේ නැහැ.

අවුරුදු අසූවේදීත් සජීවී ගී ප්‍රසංගයක් පවත්වන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒක ලොකු සතුටක්. ප්‍රවීණ ගායන ශිල්පී වින්සන්ට් ද පෝල් පීරිස්ට පසුගිය දා වයස අවුරුදු අනූව සම්පූර්ණ වුණා. ඔහු පරම්පරා හතරක් එකතු කරගෙන ගී ප්‍රසංගයකුත් පැවැත්තුවා. තවමත් ඔහුට ඉතා හොඳින් ගී ගැයීමට පුළුවන්.

අවසන් වශයෙන් ප්‍රසංගය ගැන යමක් කිව්වොත්?

එදාට මා සමඟ විශාරද එඩ්වඩ් ජයකොඩි, ටී. එම්. ජයරත්න, නෙලූ අධිකාරී, නාලිනී රණසිංහ, දර්ශන ප්‍රමෝද් මේ ප්‍රසංගගයේදී සුනිල් සාන්තයන්ට උපහාර වශයෙන් ඔහුගේ ජනපි‍්‍රය ගීත කිහිපයක් ගායනා කරනවා. මගේ දුවගේ දුව අමාලි දෙව්මිණිත් එදාට මේ ප්‍රසංගයේ ගී ගයනවා. නවරත්න ගමගේ ප්‍රමුඛ වාද්‍ය වෘන්දය තමයි ප්‍රසංගය සංගීතවත් කරන්නේ. දැනට අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටිනා සුනිල් සාන්තයන්ගේ පුතණුවන් වන ලංකා සාන්ත හා සුනිල් සාන්ත මේ ප්‍රසංගය සඳහා මූල්‍යමය දායකත්වය පවා ලබා දෙනවා.

‘සුනිල් සාන්ත’ රසික සමාජයේ ලේකම් විජිත්කුමාර සහ භාණ්ඩාගාරික ලොයිඩ් ප්‍රනාන්දු ප්‍රසංගය සංවිධානයේදී ලබාදෙන සහය සුවිශාලයි. සිරස මාධ්‍ය ජාලය අපට විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ සහෘදයාගේ අප්‍රමාණ දායකත්වයත් මේ ප්‍රසංගයට සුවිශාල ශක්තියක්.

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා
ඡයාරූපය – මාලන් කරුණාරත්න

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *