සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ, අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ, අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමට (විඩියෝ)

• හුංගමදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වී හිමිනමක් අපවත් වෙයි

• ප්‍රමුඛතාවන් ගැන ආණ්ඩුකාරවරුන්ට චක්‍රලේඛයක්

• ජනාධිපතිවරණ කාලසීමාවේ රාජ්‍ය ආයතනවල සිදුවූ අක්‍රමිකතා ගැන විමර්ශන ඇරඹේ

• සංචාරකයා අසීරුතාවට පත්කරන වීඩියෝව ගැන විමර්ශනයක් කරන්නැයි විෂය භාර ඇමතිගෙන් උපදෙස් (විඩියෝ)

• සෙල්ලකතරගම මැණික් ගඟේ හෙළුවෙන් දිය නාමින් සිටි පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් – 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම වෙනස් වෙයි

• දරු ඵල පෙන්වා කාන්තාවන් අපහරණ කළ පුද්ගලයෙකු CIA මැදිහත්වීමෙන් නීතිය හමුවට (විඩියෝ)

• හිටපු අගමැති රනිල්ට ආරක්ෂකයන් 200 ක් ලබාදී ඇතැයි අනාවරණයක් (විඩියෝ)

• ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සඳහා උපකරණ මිලට ගැනීමට ඉන්දියාවෙන් අමරිකානු ඩොලර් මිලියන 50 ක් (විඩියෝ)

• ETI තැන්පත්කරුවන්ට සැකයක් (විඩියෝ)

• කොළඹ අවට සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගණිකා නිවාස වටලා 57 දෙනෙකු අත්අඩංගුවට

• නවකවදය නිසා සරසවි හැර ගිය සිසුන්ට සහන සැලසීමට කමිටුවක් (විඩියෝ)

• ලබන මස මැද දී ජනපති චීන සංචාරයක – අගමැති මහින්දත් පෙබරවාරි 7 වන දා ඉන්දියාවට

• සියලු රාජ්‍ය ආයතන, ජාල ගත කිරීම ගැන ජනපතිගේ අවධානය

• ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් ඔයක් තරණය කරන ගම්වාසීන් (විඩියෝ)

• සිංහලේ සංවිධානයෙන් අනාවරණයක් (විඩියෝ)

• නිවාස අධිකාරියේ තිබී ලක්ෂ ගණනක් වැයකර මුද්‍රණය කළ ප්‍රචාරක පෝස්ටර් තොගයක් හමුවෙයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ, අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමට

(18.01.2020 – 21:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සහරාන් සමග සබඳතා පැවැත්වූ අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙක් අද (18) සාක්ෂි ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (18) පෙරවරුවේ අන්‍යනතාව හෙළි නොකළ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි විශේෂ සාක්ෂිකරුවෙකු සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණා.

සාක්ෂි ලබාදීම සඳහා අදාළ සාක්ෂිකරු කොමිසමේ විනිසුරුවරුන් හමුවේ පෙනී නොසිටි අතර ඔහු මාධ්‍යටද ආවරණය නොවන පරිදි වෙනත් ස්ථානයක රඳවා තිබුණා.

සාක්ෂි විමසීමේ කටයුතු සිදු කෙරුණේ කොමිසමේ සාමාජිකයින්ට පමණක් පෙනෙන අයුරින් විඩියෝ තාක්ෂණය ඔස්සේ වීම විශේෂත්වයක්.

එම පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවද යොදවා තිබීමද විශේෂත්වයක්.

එහිදී ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ 2015 අංක 4 දරණ අපරාධ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පණත යටතේ, සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික තොරතුරු අනාවරණ නොකරන ලෙසයි.

ජනාධිති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම ආරම්භ කළ සාක්ෂිකරු සඳහන් කළේ තමන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘ඉස්ලාමික් ස්ටුඩන්ට් මූමන්ට්’ නැමැති ආයතනයට සම්බන්ධ වී 50 ක පමණ පිරිසක් සමඟ ආගම සම්බන්ධයෙන් දින 5 ක වැඩමුළුවකට සහ දේශන සඳහා සහභාගී වූ බවයි.

රටපුරා එවැනි වැඩමුළු පවත්වන ස්ථාන 20 ක් පමණ ඇති බවත් උසස් පෙළ විභාගයෙන් අනතුරුව තවත් එවැනිම දින 7 ක වැඩමුළුවක් සඳහා සහභාගීවීමෙන් පසු තමන්ට ‘ජමයිතේ ඉස්ලමික්’ නමැති සංවිධානයේ සබරගමුව සංවිධායක ලෙස තනතුරක් ද පිරිනැමූ බව කොමිසමේ දී සාක්ෂි ලබාදෙමින් හෙළි කළා.

අදාළ සංවිධානවල දේශන තුළදී ‘ලෝකය පුරා ඉස්ලාමිය රාජ්‍යයක් තිබිය යුතු බවත් එහි සියලුදෙනා එකම නීතීයක් යටතේ ජීවත් වීය යුතු බවටත් ඒ සියල්ල කුරාණයේ සඳහන්ව ඇති බවට එම සංවිධානය විසින් ලබා දුන් දේශනවලදී සඳහන් කර ඇති බවද’ ඔහු සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

ලංකාවේ මුස්ලිම් ජාතිකයින්ට සිය ආගම ඇදහීම සම්බන්ධයෙන් උපදෙස් ලැබෙන්නේ කිනම් රටවල් වලින් දැයි රජයේ අධිනීතීඥවරිය විමසූ විට ඔහු පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ මේ සංවිධාන සියල්ල ඉන්දියාවේ සිට පැමිණි සංවිධාන බවත් එම සංවිධාන හරහා ශිෂ්‍යවත්ව ලබා දී මැලේසියාව, පිලිපීනය, ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල් සඳහා පුද්ගලයින් යවන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වී තිබූ බවයි.

ඔබට විදෙස්ගතව ආගම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණේ ද යන්න පිළිබඳ රජයේ අධිනීතීඥවරිය විමසූ අතර සාක්ෂිකරු සඳහන් කළේ, 2014 වසරේදී තමන් තුර්කිය බලා පිටත්ව ගිය බවත් එහි මාස 4 ක පමණ කාලයක් ආගම ඉගෙන ගැනීමකින් තොරව රැඳී සිටීමෙන් පසුව සිරියාව බලා පිටත්ව ගිය බවයි.

ඉන්අනතුරුව තමන් ලබාදෙන සාක්ෂි මාධ්‍යට අනාවරණ නොකරන ලෙසට සාක්ෂිකරු විමර්ෂණ කොමිසමේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් සිදුකළා.

ඒ අනුව සියලු මාධ්‍යවේදීන් අදාළ සාක්ෂි විමසීමට සවන්දෙමින් සිටි ස්ථානයෙන් ඉවත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිසම කටයුතු කළා.

පසුව නැවතත් මාධ්‍යවේදීන්ට සාක්ෂි විමසීමට සවන්දීමට අවස්ථාව ලබා දුන් අතර එහිදී විමසුවේ 2014 වසරේදී තුර්කිය හරහා සිරියාවට ගියේ කුමන ආකාරයෙන්ද යන්න කොමිසටම අනාවරණ කරන ලෙසයි.

එහිදිද සාක්ෂිකරු සඳහන් කළේ විදෙස් ගත වූ ආකාරය නීතී විරෝධී බැවින් ඒ පිළිබඳවද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කල නොහැකි බවයි.

පසුව කොමිසමේ සාක්ෂි විභාගය නැවතත් මාධ්‍යට විවෘත වූ අතර එහිදී සාක්ෂිකරු සදහන් කලේ දිගන සිද්ධියෙන් අනතුරුව සහරාන් හෂීම් සමාජ මාධයට නිකුත් කල දේශන ඇතුලත් වීඩියෝ පටයක් නැරඹීමෙන් පසු 2018 වසරේදී සහරාන් හෂීම් සම්බන්ධ කර ගත් බවයි.

එහිදී සාක්ෂිකරු කොමිසමෙන් විමසා සිටියේ මෙවැනි වීඩියෝ පට නිකුත් කර තිබියදීත් එවකට පැවති පොලිසිය සහ බුද්ධි අංශ කුමක් කළේ ද යන්නයි.

පසුව තමන් සහරාන් හෂීම් හමු වූ බවත් ඔහු සමඟ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි නිවසක සිට 2018 වසරේ ජූනි මාසයේදී සහරාන් හෂීම් ගේ දේශන සඳහා සහභාගී වී ඇති බවත් සාක්ෂිකරු සඳන් කළා.

එහිදී සහරාන් හසීම් සඳහන් කර ඇත්තේ තමන් අයි.එස් සංවිධානය සමඟ එක්ව කටයුතු කරන බවත්, එම සංවිධානයේ අරමුණ ‘ලෝකයම ඉස්ලාම් රාජයක් බවට පත් කිරීම’ වුවත්, ශ්‍රී ලංකාවේ එය සිදු කල නොහැකි බවයි.

නමුත් ‘අල්ලා දෙවියන් ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් විනාශ කිරීම සඳහා ආයුධ රැස් කළ යුතු’ බවත් අවම වශයෙන් පිහියක් හෝ සියලුදෙනා ළඟ තබා ගත යුතු බවත් සහරාන් හෂීම් තමන්ට ප්‍රකාශ කළ බව සාක්ෂිකරු සඳහන් කර සිටියා.

සහරාන්ගේ දේශන තුළදී, බුරුමයේ හිමි නමක් ශ්‍රී ලංකාවට පැමිණ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හමු වී ඇති බැවින් බුරුමයේ මුස්ලිම්වරුන්ට සිදු වූ සිදුවීම ශ්‍රී ලංකාවේද සිදුවීමට ඉඩ ඇති බැවින් බෞද්ධයින්ට එරෙහිව දේශනවලදී අදහස් පළ කල බව සාක්ෂිකරු සඳහන් කළා.

පසුව සහරාන් විසින් ටී 56 අවි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්ද එම පිරිස දේශන මඟින් දැනුවත් කල බවද සාක්ෂිකරු අනාවරණ කළා.

මෙම දේශන සම්බන්ධයෙන් පිටස්තර පුද්ගලයින් දැනුවත් කිරීමක් සිදු කළහොත් හෝ සිය සංවිධානයේ අරමුණූ පිළිබඳව හෙළි කළහොත් අදාළ පුද්ගලයින් ඝාතනය කරන බවට සහරාන් හෂීම් විසින් තර්ජනය කර ඇති බවද අනාවරණ වුණා.

වනාතවිල්ලුව ප්‍රදේශයේදි වෙඩි බෙහෙත් සහ පුපුරණ දුව්‍ය සම්බන්ධයෙන් හෙළිවීමත් සමඟ සහරාන් විසින් බෞද්ධයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කල යුතු බවට තීරණය කල බවත්, පසුව පිරිසක් ඊට විරෝධය පළ කරමින් සහරාන්ගේ කණ්ඩායමෙන් ඉවත් වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ හෙළි කළා.

ඒ වනවිට බෝම්බ නිශ්පාදනය කිරීම සම්බන්ධයෙන් සහරාන් කිසිවක් දැන නොසිටි බවත්, උසස් පොලිස් නිලධාරියෙක් සහ බුද්ධි අංශ නිලධාරියෙක් යූරියා උපයෝගී කරගනිමින් බෝම්බ නිෂ්පාදනය කල හැකි බව මාධ්‍යයට අනාවරණ කරන තෙක් සහරාන් බෝම්බ නිෂ්පාදනය කිරීම පිළිබඳ දැන නොසිටි බවද සාක්ෂිකරු සඳහන් කළා.

අනතුරුව මාධ්‍යවේදීන් එම පරිශ්‍රයෙන් ඉවත් කර නැවතත් රහසේ සාක්ෂි විමසීම සිදු කිරීමෙන් පසු අද (18) දිනට කොමිසමේ සාක්ෂි විභාගය අවසන් කළා.

***************************************

හුංගමදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වී හිමිනමක් අපවත් වෙයි

(19.01.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

හුංගම ප්‍රදේශයේ ඇතිවූ පොර බැදීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ හිමිනමක් අපවත්වී තිබෙනවා.

මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට එය නතර කරන ලෙස සංඥා කළද ඔහු එය නොනවත්වා ධාවනය කර ඇති අතර තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් ඔහු පසුපස ලුහුබැඳ නතර කළද, එහිදී පොලිස් නිලධාරීන් සහ අදාළ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඒ අසළින් ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි අපවත්වූ හිමිනමට වෙඩි වැදී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ 21 හැවිරිදි හිමිනම රෝහල් ගතකරන විටත් අපවත්වී සිටි බවයි අගුණකොලපැලැස්ස රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

20-01-2020

***************************************

ප්‍රමුඛතාවන් ගැන ආණ්ඩුකාරවරුන්ට චක්‍රලේඛයක්

(19.01.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ප්‍රමුඛත්වය හිමිවිය යුතු ක්‍ෂේත්‍රයන් හතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.

ජනාධිපතිවරයාගේ උපදෙස්වලට අනුව 2020 වසරේ වියදම් සඳහා පාර්ලිමේන්තුව අනුමත කළ අතුරු සම්මත ගිණුමේ සීමිත ප්‍රතිපාදන මගින් ඉටුකළ යුතු කාර්යයන් එමඟින් දක්වා තිබෙනවා :

පාසල්, රෝහල්, සති පොල, පොදු බස් නැවතුම්පල, මාර්ග පිරිසිදු කිරීම, බෝවන රෝග සහ කසළ කළමනාකරණය මෙලෙස හඳුනාගත් ක්‍ෂේත්‍රයන් හතයි.

දිළිඳුකම පිටුදැකීමට ජනාධිපතිවරයාගේ ඉහළම ප්‍රමුඛතාව හිමිවන අතර, ඉහත කාර්යයන් ඉටු කිරීමේදී ඒ සඳහා ප්‍රමුඛතාව හිමිවිය යුතුයි.

එහිදී ග්‍රාමීය, වතු සහ පහසුකම් අඩු නාගරික ප්‍රදේශවල අඩු ආදායම් ලබන, දුප්පත්කමින් පීඩා විඳින කණ්ඩායම්වලට පහසුකම් සැළසීමටත්, ඔවුන් සවිබල ගැන්වීමටත් ක්‍රියා කළ යුතුවනවා.

එවැනි ප්‍රදේශවල පාසල්වල ගුරු හිඟය සඳහා පිළියම් යෙදිය යුතු අතර, ගුරු අතිරික්තයක් සහිත පාසල්වල ගුරුවරුන් හිඟයක් සහිත පාසල්වලට යෙදිය හැකියි. අවම වශයෙන් එය දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදුකළ යුතුයි.

එලෙස වෙනත් පාසල්වලට ගුරුවරුන් යෙදවීම ඔවුන්ට අපහසුතාව අවම වන ලෙස සිදු කළ යුතුවනවා.

එමෙන්ම භාවිතයට ගෙන නොමැති සහ අතහැර දමා ඇති ගොඩනැගිලි, නිවාස ව්‍යාපෘති, ජල සම්පාදන යෝජනා ක්‍රම සහ දුර්වල නඩත්තුවක් සහිත පාලම් බෝක්කු ආදිය ප්‍රතිසංස්කරණයට පියවර ගත යුතුයි.

ඊට අමතරව බෙහෙත් ශාලා, ආයුර්වේද රෝහල, ප්‍රජා මධ්‍යස්ථාන, වැඩිහිටි නිවාස, ළමා හා මාතෘ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන, කුඩා ජලසම්පාදන යෝජනා ක්‍රම සහ වැව් අමුණු ආදිය මහජනතාවගේ ප්‍රයෝජන සඳහා ප්‍රකෘතිමත් කිරීමට කටයුතු කළ යුතුයි ෴

***************************************

ජනාධිපතිවරණ කාලසීමාවේ රාජ්‍ය ආයතනවල සිදුවූ අක්‍රමිකතා ගැන විමර්ශන ඇරඹේ

(19.01.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිසම් සභාවට ලද පැමිණිලි අදාළ රාජ්‍ය ආයතනවලට යොමුකර ඇති අතර, ඒවායේ බලධාරීන් විසින් එම පරීක්ෂණ සිදුකරනු ලබනවා.

මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, නිවාස අමාත්‍යාංශය සහ සමෘද්ධි අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතන රැසක මෙම විමර්ශන සිදුකෙරෙන බවයි.

අදාළ රාජ්‍ය ආයතන අභ්‍යන්තරයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය මැතිවරණ කොමිසමට ද දැනුම්දීමට කටයුතු කරනු ඇති ෴

***************************************

සංචාරකයා අසීරුතාවට පත්කරන වීඩියෝව ගැන විමර්ශනයක් කරන්නැයි විෂය භාර ඇමතිගෙන් උපදෙස්

(19.01.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සංචාරකයෙකු අසීරුතාවයකට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ සිද්ධිය තමා දැඩි ලෙස හෙළා දකින බවයි.

ඊට අදාළ පුද්ගලයින්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසට අදාළ අංශවලට තමා දැනුම්දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය ආසන්නයේ තහනම් කලාපය තුළ අනවසරයෙන් රැදී සිටිමින් දේශීය හා විදේශීය ගුවන් මගීන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කළ පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (18) අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් අවුරුදු 31 ත් 68 ත් අතර, වයස්වල පසුවන්නන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 16 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණීමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපතිවරයා ගුවන් තොටුපල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

***************************************

සෙල්ලකතරගම මැණික් ගඟේ හෙළුවෙන් දිය නාමින් සිටි පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් – 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

(19.01.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

= සෙල්ලකතරගමදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් 34 ක් අත්අඩංගුවට =

සෙල්ලකතරගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හංවැල්ල ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණ සෙල්ලකතරගම මැණික් ගඟේ දිය නාමින් සිටි පිරිසක් සහ ගම්වාසීන් අතර ඊයේ (18) අතර මෙම ගැටුම හටගෙන තිබුණා.

***************************************

ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම වෙනස් වෙයි

(19.01.2020 – 06:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නව මාර්ග සිතියම එළැඹෙන ජනවාරි 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.

මිනුම්පති එස්.එම්.පී.පී.සංගක්කාර මහතා කියා සිටියේ වසර 06 කට පසු මෙලෙස නව මාර්ග සිතියම එළිදැක්වීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

අධිවේගී මාර්ග පිළිබඳ තොරතුරු සහ අලුතින් ඉදි වූ තවත් මාර්ග පිළිබඳව තොරතුරු මීට ඇතුළත්.

එමෙන්ම, රෝහල්, පොලිස් ස්ථාන ආදිය පිළිබඳවද තොරතුරු ඊට ඇතුළත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව විශේෂයෙන් මෙරටට සංචාරය කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට නව මාර්ග සිතියම ප්‍රයෝජනවත් වනු ඇති බවයි මිනුම්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

දරු ඵල පෙන්වා කාන්තාවන් අපහරණ කළ පුද්ගලයෙකු CIA මැදිහත්වීමෙන් නීතිය හමුවට

(18.01.2020 – 21:34 +0530 – hirunews.lk/sinhala)

දරු ඵල අහිමි කාන්තාවන්ට දරුවන් ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරමින් කාන්තාවන් අපහරණය ලක්කළ පුද්ගලයෙකු ‘හිරු සී.අයි.ඒ.’ මැදිහත්වීම මත නීතිය හමුවට පමුණුවනු ලැබුවා.

ඒ, හලාවත – මුන්දලම ප්‍රදේශයේදියි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් මෙම පුද්ගලයා දරු ඵල අහිමි කාන්තාවන්ට දරුවන් ලබාදීම ඇතුළු කාන්තා රෝගවලට ප්‍රතිකාර කරන බව පවසමින් කාන්තාවන් අපහරණය කරන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු ලැබුණා.

පාරම්පරික වෛද්‍යවරයෙකු බවට අඟවමින් මොහු විවිධ ඖෂධ වර්ග ද කාන්තාවන්ට පානය කිරීමට ලබා දී තිබෙනවා.

‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු ගවේෂණය සඳහා දරුවන් නොමැති යුවළක් යොදා ගනිමින් ප්‍රතිකාර ලබා ගන්නා මුවාවෙන් තොරතුරු විමසා සිටියා.

ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටින මොහු පවසන්නේ තමන් විශාල පිරිසකට ප්‍රතිකාර කොට දරු ඵල ලබා දී ඇති බවයි.

ප්‍රතිකාර කිරීමේදී මොහු කාන්තාවන් නිවසේ කාමරයකට තනිව කැඳවා ගන්නවා.

පසුව කාන්තාවන්ට දරුඵල ලබාදෙන බව පවසා මොහු සිදු කරන්නේ කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීමයි.

මොහු සිදුකරන කාන්තා අපයෝජන ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම රහසිගතව රූගත කළා.

මෙලෙස කාන්තාවන් අපයෝජනය කරන අතරතුර අප මේ පිළිබඳ මුන්දලම පොලීසිය දැනුවත් කර නිලධාරීන් පිරිසක් අදාළ නිවසට කැඳවා ගත්තා.

එහිදී හෙළිවූයේ මොහු පෙනී සිටින්නේ ද ව්‍යාජ නමකින් බවයි.

ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි මොහුගෙන් කාන්තාවන්ට ලබාදුන් ඖෂධ පිළිබඳව ද පොලීසිය ප්‍රශ්න කර සිටියා.

ව්‍යාජ නමකින් ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් අපහරණය කළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ ලබන 22 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

***************************************

හිටපු අගමැති රනිල්ට ආරක්ෂකයන් 200 ක් ලබාදී ඇතැයි අනාවරණයක්

(18.01.2020 – 21:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ රංජන් රාමනායක, මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් කළ බවට හඬපට වලින් අනාවරණවී තිබියදීත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බව නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ අනාවරණ කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේවන විටත් ආරක්ෂකයින් 200 දෙනෙකු ලබාදී ඇති බවයි.

***************************************

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සඳහා උපකරණ මිලට ගැනීමට ඉන්දියාවෙන් අමරිකානු ඩොලර් මිලියන 50 ක්

(18.01.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ක්ෂේත්‍ර කිහිපයක ද්වීපාර්ශවික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව සමුද්‍රීය ආරක්ෂාව දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම යන කරුණු ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම මෙහිචී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා පෙන්වාදෙනු ලැබුවා.

සෙසු කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂකයන් ලෙසට මෙම ක්‍රියාදාමයට හවුල් කර ගත යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට අමරිකානු ඩොලර් මිලියන 50 ක් ලබාදෙන බවයි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ප්‍රකාශ කළේ.

ප්‍රථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

***************************************

ETI තැන්පත්කරුවන්ට සැකයක්

(18.01.2020 – 18:47 +0530 – hirunews.lk/sinhala)

පොලීසිය හා අධිකරණය පිළිබඳව ජනතාවට සැකයක් මතුව ඇති බැවින් තම නඩු කටයුතු සම්බන්ධයෙන් ද සැකයක් පවතින බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.

එහි සභාපති අනූෂා ජයන්ති මහත්මිය කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පසුගියදා පත් කළ ජනාධිපති කොමිසම හරහා ඊ.ටී.අයි. දේපල විකිණීම පිළිබඳව පමණක් නොව, තැන්පත්කරුවන්ගේ බිලියන 33 ක මුදල් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

***************************************

කොළඹ අවට සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගණිකා නිවාස වටලා 57 දෙනෙකු අත්අඩංගුවට

(18.01.2020 – 14:50 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාස 25 ක් කළමනාකරණ කිරීම ඇතුළු වැරදි වලට සම්බන්ධ කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තු මත සම්බාහන මධ්‍යස්ථාන 35 ක් මෙලෙස පරීක්ෂාවට ලක් කළ බවයි.

බොරැල්ල, වැල්ලවත්ත, කිරුළපන, බම්බලපිටිය, නාරාහේන්පිට, ග්‍රෑන්ඩ්පාස්, මරදාන සහ තලංගම ප්‍රදේශවල මේවා පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් පිරිස අදාල පොලිස් බල ප්‍රදේශවලට අයත්, අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති අතර, ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

නවකවදය නිසා සරසවි හැර ගිය සිසුන්ට සහන සැලසීමට කමිටුවක්

(18.01.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාල හැර ගිය සිසුන්ට සහන සැලසීම සඳහා කමිටුවක් පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබාදුන් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අදාළ කමිටුව සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සලීම් මර්ෂුක් මහතා, මහාචාර්ය නාරද වර්ණසූරිය මහතා, මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි, ආචාර්ය බෙනට් ශාන්ත ප්‍රනාන්දු පියතුමා, ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙනිය මහතා, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා සහ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පත් කිරීමට තමන් නිර්දේශ කළ බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

***************************************

ලබන මස මැද දී ජනපති චීන සංචාරයක – අගමැති මහින්දත් පෙබරවාරි 7 වන දා ඉන්දියාවට

(18.01.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිව් දින නිළ සංචාරයක් සඳහා ලබන මස දෙවන සතියේ චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙය ජනාධිපතිවරයාගේ දෙවන නිළ සංචාරය වන අතර, චීන විදේශ අමාත්‍ය චැන්ග් හයි මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී චීනයේ සංචාරයක් සඳහා ජනාධිපතිවරයාට සිදුකළ ආරාධනය අනුව මෙම සංචාරය සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී – ජින්පින් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා සිදුකරනු ඇති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිළ සංචාරය ලෙස ඉන්දියාවේ සංචාරය කළේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන්.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම පදවියට පත්වීමෙන් පසු සිදුකරන පළමු නිළ සංචාරය ලබන මස 7 වන දා ඉන්දියාවේ සිදුකිරීමට නියමිතයි.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිත වනවා.

එසේම මෙම සංචාරය තුළ දී ඉන්දීය සංස්කෘතිකාංග ඇතුළත් උත්සවයක් පැවැත්වීමට ද ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

සියලු රාජ්‍ය ආයතන, ජාල ගත කිරීම ගැන ජනපතිගේ අවධානය

(18.01.2020 – 07:12 +0530 – hirunews.lk/sinhala)

සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටු දැකීම අරමුණු කර ගනිමින්.

ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ බලධාරින් සමග මීට අදාළ හමුවක් පැවති අතර, එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ සේවාලාභියා සේවා සපයන්නා වෙත ගමන් කරනවා වෙනුවට අන්තර්ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතීන් සපයන ක්‍රමවේදයක් කඩිනමින් සකසන ලෙසටයි.

දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්ෂමතාව සහ දූෂණය වළක්වා ගත හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ජනතාවට තොරතුරු සන්නිවේදනය යළි සක්‍රිය කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

එසේම, රාජ්‍ය සේවයේ සිටින දක්ෂයින් ඉතා කඩිනමින් හදුනාගෙන නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ඒ අනුව, වහාම අදාළ පිරිස් හදුනාගෙන එම සංචිතය සදහා නිර්දේශ යොමුකරන ලෙස ද ජනාධිපතිවරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, ජාතික බාල දක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත, ඊයේ (17) නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබුවා.

ඒ සමගම සංගමයේ ප්‍රධාන අනුශාසක ධුරය ද ජනාධිපතිවරයාට පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, අබුඩාබි එමිරේට්ස්හි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර සේනාධිනායක ෂේක් මොහොම බින් සයිඩ් අල් නහ්යන් සිය උණුසුම් සුභාෂිංශන ජනාධිපතිවරයා වෙත පුදකර තිබෙනවා.

ඒ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසෙමින්.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ දෙරට අතර ද්වීපාර්ශවික සබදතා ශක්තිමත් කර ගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට පැමිණෙන්නැයි ඔටුන්න හිමි කුමරු එහිදී ජනාධිපතිවරයාට ආරාධනා කළ බවයි.

ඔටුන්න හිමි කුමරුගේ එම ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා ෴

***************************************

ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් ඔයක් තරණය කරන ගම්වාසීන්

(17.01.2020 – 22:43 +0530 – hirunews.lk/sinhala)

ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් ඔයක් තරණය කරන ගම්වාසීන් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

ඒ, බිබිල මැදගම ප්‍රදේශයෙන්.

නිල්ගල රක්ෂිතයට ආසන්නව පිහිටි බිබිල – කොටබෝව – දිඹුල්දෙන ගම්මානයේ පවුල් 48 ක් වෙසෙන අතර ඔවුන්ගේ ජීවිකාව වන්නේ ගොවිතැනයි.

මෙම ගම්මානයට බිබිල සිට පිවිසෙන මාර්ගය පවතින්නේ ඉතා අබලන් තත්ත්වයකයි.

මේ හේතුවෙන් ගම්වාසීන් දඟමල්ඔය තරණය කර නගරයට පිවිසීමට කෙටි මාර්ගයක් සකසා ගෙන තිබෙනවා.

ඒ සඳහා ඔවුන් මෙම ඔය තරණය කිරීමට යොදාගෙන ඇත්තේ ඉවුරේ පිහිටි අට්ටික්කා හා කුඹුක් ගස් දෙකක් යා කර ඒ මත ලෑලි අතුරා සකස් කර ගන්නා ලද පාලමයි.

ඉතා අවදානම් සහගත මෙම පාලම ජල මට්ටමට වඩා අඩි 60 ක පමණ ඉහළින් පවතින අතර මේ වනවිට එය දිරාපත්ව ඇති ආකාරය දක්නට ලැබුණා.

ගම්වාසීන් පවසන්නේ මෙම මාර්ගය භාවිතා නොකරන්නේ නම් ඔවුන්ට බිබිල නගරයට යාමට කිලෝමීටර් 30 ක් පමණ දුරක් ගෙවිය යුතු බවයි.

පාසල් සිසුන් පවා තම ජීවිත අවදානම නොතකා මෙම මාර්ගය භාවිතා කරන අයුරු එහි ගිය අපට දක්නට ලැබුණා.

ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගම්මානයට ප්‍රවිශ්ටවීමට ස්ථිර පාලමක් ඉදිකර තමන් ජීවිත අවදානමෙන් මුදා ගන්නා ලෙසයි.

***************************************

සිංහලේ සංවිධානයෙන් අනාවරණයක්

(17.01.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

මංගල සමරවීර මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ මත්පැන් නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ බලපත්‍ර නිකුත් කිරීම් හරහා රුපියල් ලක්ෂ 5000 ක පමණ පාඩුවක් සිදුව ඇති බවට සිංහලේ සංවිධානය අද අනාවරණයක් සිදුකළා.

එම සංවිධානය ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු අදාළ බලපත්‍ර නිකුතුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

***************************************

නිවාස අධිකාරියේ තිබී ලක්ෂ ගණනක් වැයකර මුද්‍රණය කළ ප්‍රචාරක පෝස්ටර් තොගයක් හමුවෙයි

(17.01.2020 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පහත මාලයේ තිබී එම අධිකාරියේ ලක්ෂ ගණනක මුදල් වැයකොට මුද්‍රණය කර තිබූ ප්‍රචාරක පෝස්ටර් තොගයක් අද සොයා ගැනුණා.

ආයතනයේ සේවකයන් චෝදනා කරන්නේ 2019 වර්ෂය තුළ පමණක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය ඉහළ දමාගැනීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි 33 ක මුදලක් වැයකොට ඇති බවයි.

නිවාස හා ඉදිකිරීම් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල උදාගම් ව්‍යාපෘතීන් වෙනුවෙන් තම රුව යෙදූ පෝස්ටර් තොගයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුද්‍රණාලයේ මුද්‍රණය කර ගොඩ ගසා තිබියදී අද (17) එහි සේවකයන් පිරිසක් විසින් සොයාගනු ලැබූවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීමට තිබූ පෝස්ටර් තොගවලට අමතරව උදාගම් සදහා සමරු කලාප හා ආරාධනා පත්‍ර ද මෙම ස්ථානයේ මුද්‍රණය කර තිබියදී හමුවුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *