පසුගිය ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 320 ක් අතුරුදන් – විශේෂ හෙළිදරව්ව

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පසුගිය ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 320 ක් අතුරුදන් – විශේෂ හෙළිදරව්ව (විඩියෝ)

• ආංශික කාරක සභාව ‘හතේ අපේ පොත’ නවත්වයි – ලිංගික අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්තියක් හදන්න තීරණය කරයි

• සහරාන් සමග සබඳතා පැවැත්වූ 5 ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි

• 6000/- ක චෙක්පත196,000/- ක් ලෙස වෙනස් කරලා… මැකිය හැකි පෑනකින් චෙක්පත් ලියා යළි වෙනස් කර බැංකුවෙන් වැඩි මුදලක් අරන්… !

• ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියගේ දුරකතන සංවාද උසාවියේදී දිග හැරේ

• ඇප් එකෙන් වැඩ කරන්න ඉරාජ්ගෙන් සැළසුමක් (ඔඩියෝ) (විඩියෝ)

• අසාද් සාලි බොරු සාක්ෂි දුන් බවට හෙළිවෙයි (විඩියෝ)

• සම්පත් බෙදීයාමේ විෂමතාව නිසා අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොමැති දරුවන් පිරිසක් (විඩියෝ)

• රැකියා ලක්ෂයේ සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 සිට (විඩියෝ)

• 19 ගැන එජාපයේ කිඹුල් කඳුළු උදය හෙළි කරයි (21.01.2020) (විඩියෝ)

• ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න ආ ජයම්පතිට දේශපාලනය එපාවෙයි – පවුල් පිටින් ස්විස් පදිංචියට යයි !

+++++++++++++++++++++++++++++++++++

පසුගිය ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 320 ක් අතුරුදන් – විශේෂ හෙළිදරව්ව

(21.01.2020 – 23:49 +0530 – lankaleadnews.com)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබූ මිලියන 320 කට අධික මුදලක් පසුගිය ආණ්ඩුව විසින් අවභාවිත කර ඇති බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය අද (21) අනාවරණ කළේය.

එහි නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙම අරමුදලේ සිදුකළ ඇතැම් ගෙවීම් පිළිබඳ නිෂ්චිත තොරතුරු පවා නොමැති බවයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා පිළිබඳ අදහස් පළ කළේය.

***************************************

ආංශික කාරක සභාව ‘හතේ අපේ පොත’ නවත්වයි – ලිංගික අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්තියක් හදන්න තීරණය කරයි

(21.01.2020 – 20:16 +0530 – lankaleadnews.com)

‘හතේ අපේ පොත’ පිළිබඳව අද දින (21) පැවැත්වූ ආංශික කාරක සභාවේදී අවසන් තින්දුවක් ගනිමින් එහි සභාපති ආශු මාරසිංහ මහතා විසින් හතේ අපේ පොත බෙදා හැරීම නැවැත්වීමට සහ ඉදිරියේදී පොත සකස් කිරීමට පෙර ඊට අදාළව ප්‍රතිපත්තියක් සහ ප්‍රමිතීන් සකස් කිරීමටද තීරණය කළ බව වාර්තාවේ.

එම කාරක සභාවේදී මහාචාර්ය පූජ්‍ය මැඳගොඩ අභයතිස්ස හිමි සහ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි එම පොතට විරුද්ධව ප්‍රභල ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කළ බවද වාර්තාවේ.

පාර්ලිමේනතුවේදී අද පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමේදී සංස්කෘතිය තුළ අතිශය සංවේදී වන මෙම ප්‍රජනක සෞඛ්‍ය පිළිබද ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබද පුලුල් අධ්‍යයනයක් සිදු කොට ඊට ගැළපෙන ආකෘතියක් ද මෙම ද්විත්ව කමිටුව එක්ව සකස් කරන ලෙසද අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව මෙහිදී නිර්දේශ කර ඇත.

මෙම ග්‍රන්ථ බෙදා හැරීම නැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තද මේවන විට මුද්‍රණය කරන ලද මෙම ග්‍රන්ථ 3,50,000 ක ප්‍රමාණයෙන් නැවත ලැබී ඇත්තේ ග්‍රන්ථ 25,000 ක ප්‍රමාණයක් පමණක් බවත් මේඅනුව ඉතිරි ග්‍රන්ථ බෙදා හැර ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

හතේ අපේ පොත පිළිබද මුල්වරට විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද මෙම අවස්ථාවට සහභාගි වු අතර උන්වහන්සේ පවසා සිටියේ ලිංගික අධ්‍යාපනය පිළිබද ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම අතිශය වැදගත් වුවද සංස්කෘතිය තුළ සංවේදී වන මෙවැනි කාරණා සිසුන් තුළ ලිංගිකත්වය පිළිබද උත්තේජනයක් ඇති නොවන ලෙස මීට වඩා සංයමයකින් යුතුව ඉදිරිපත් කළ යුතු බවය.

මෙම අවස්ථාවට සහභාගී වු පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ මෙම දැනුම ලබා දීම වැදගත් වුවද මෙවැනි කෘතියක් සම්පාදනය කිරීමේදි සිසු සිසුවියන්ට ග්‍රහණය කළ හැකි නිසි වයස් මට්ටම ද එම කරුණු ඉදිරිපත් කරන විලාශය පිළිබද මීට වඩා අවධානය යොමු කළ යුතු බවය ෴

***************************************

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5 ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි

(22.01.2020 – 04:22 +0530 – lankaleadnews.com)

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් මෙරටට රැගෙන විත් ඇත

මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් පස්දෙනා රහස් පොලිසිය භාරයේ රඳවාගෙන තිබේ.

ඩුබායි පොලිසිය කළ දැනුම්දීමක් මත ඉකුත් 19 දා රහස් පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් එරට බලධාරීන් භාරයේ සිටි මෙම කණ්ඩායම මෙරටට ගෙනැවිත් ඇත.

මෙම සැකකරුවන් වසර ගණනාවක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට හෙළි වූ කරුණු මත එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි ෴

***************************************

6000/- ක චෙක්පත196,000/- ක් ලෙස වෙනස් කරලා… මැකිය හැකි පෑනකින් චෙක්පත් ලියා යළි වෙනස් කර බැංකුවෙන් වැඩි මුදලක් අරන්… !

(22.01.2020 – divaina.com)

මැකිය හැකි පෑනකින් චෙක්පත් ලියා පසුව වෙනස් කර බැංකුවලින් වැඩි මුදල් ලබාගත් සැකකරුවකු කළුතර කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

ළමා ඇඳුම් සහ කුඩා දරුවන් සඳහා වූ කපු පුළුන් කොට්ට අලෙවිකරුවකු ලෙස පෙනී සිටිමින් රට පුරා ඇඳුම් අලෙවිසල්වලට යන මොහු තමා සතුව ඇති විශේෂ පෑනෙන් චෙක්පත් ලියවා ඒවා වෙළෙඳසල් හිමිකරුවන් ලවා අත්සන් කර පසුව වෙනස් කරමින් බැංකුගත කර විශාල මුදලක් වංචා කර ඇති බව හෙළිදරව් වී තිබේ.

කළුතර, බෝම්බුවල විදානආරච්චිගේ දමිඳු වීරරත්න යන අය පොලිසියට පැමිණිලි කරමින් තමා රුපියල් 6000/- ක් වෙනුවෙන් ලබාදුන් චෙක් පත රුපියල් 196,000/- ක් වශයෙන් වෙනස් කර මොහු මුදල් ලබාගෙන ඇති බව ප‍්‍රකාශ කර ඇත.

වස්කඩුව, පනාපිටිය, මිල්ලගස් හන්දියේ පදිංචි ගමගේ වජිරා අරුණකාන්ති යන අය පොලිසියට පැමිණි කර ඇත්තේ තමා දුන් රුපියල් 7020/- චෙක් පත වෙනස් කොට රුපියල් 110,000/- ක මුදලක් බැංකුවෙන් ලබාගෙන ඇති බවයි.

තමා සුළු ව්‍යාපාරයක් කරන අයෙකු බැවින් අනුකම්පා කොට බඩු ටිකක් ගන්නා ලෙස පවසා වෙළෙඳසල්වලට යන මොහු ඉතා සුළු වටිනාකමක් ඇති භාණ්ඩ අලෙවි කර මාස තුනක් ඉදිරියට දින දමා චෙක්පත් ලබාගෙන ඇති බව හෙළිදරව් වී තිබේ.

තම ගිණුම්වලින් විශාල මුදලක් චෙක්පත්වලට ගෙවූ බව වෙළෙඳසල් හිමියන්ගේ දුරකථනවලට එන කෙටි පණිවුඩ අනුව ඔවුන් මවිතයට පත්ව ඇති අතර පසුව පොලිසියට පැමිණිලි කර ඇත.

මොහු චෙක්පත් මාරු කර ගැනීම සඳහා ව්‍යාජ හැඳුනුම්පතක් ද භාවිත කර ඇති අතර එය ද මොහුගේ ජංගම දුරකථනය හා විශේෂ පෑන ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කදුරුවෙල, පොලොන්නරුව, මහර, කඩවත ආදී විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවකු බව හඳුන්වාදී ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කනන්විල ප‍්‍රබුද්ධගම ප‍්‍රදේශයේ නිවසකදීය.

සැකකරු අද (22 දා) කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි ෴

***************************************

ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියගේ දුරකතන සංවාද උසාවියේදී දිග හැරේ

(22.01.2020 – 10:38 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය පැහැරගත්තා යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරීශා බැස්ටියන් යන තිදෙනා ඇතුළු පිරිසක් දුරකතන මගින් සම්බන්ධවී ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (21) දැනුම් දුන්නේය.

ජනරජය අපහසුතාවට පත්කර බොරු සාක්ෂි ලබාදුන්නැයි චෝදනා ලැබ සිටින ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (21) යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරිණි.

සැකකාරියගේ දුරකතන දත්ත සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා ඇගේ ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස අධිකරණයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කරන ලෙසද රජයේ රස පරීක්ෂකවරයා වෙත වැඩිදුරටත් නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණී ගිරියාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ සහ පොලිස් පරීක්ෂක ඒ.එම්. ඉක්බාල් යන මහත්වරුන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය බාරයේ තිබූ සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ ජංගම දුරකතනය ඉකුත් නඩු දිනයේදී අධිකරණය බාරයට ගනු ලැබූ බවත් එහි දත්ත පිටපත් කර ගැනීමෙන් පසුව එය ආපසු දී ඇති බවත් මෙහිදී සැකකාර පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (21) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියාය.

සැකකාරිය වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් මහත්මියගේ සැමියා වන ප්‍රදීප් ෆ්‍රැන්සිස් සහ ඔහුගේ හිතවතකු වන දුෂ්‍යන්ත සෙල්වරාජ් යන දෙදෙනාගේ ජංගම දුරකතන අංක වෙතින් 2019 නොවැම්බර් මස 25 වැනිදා ආවරණය වන කාල පරාසය තුළ ලබාගත් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා කැඳවනු ලැබූ බවත්, එම දුරකතන අංකවලට අදාළ ලිඛිත පිහිටීම පිළිබඳව දුරකතන ආවරණ කලාප සහ දුරකතන ඇමතුම් හුවමාරුවීම සම්බන්ධයෙන් දුරකතන සම්ප්‍රේෂණ කුලුණු වාර්තා සිතියමක ලකුණු කොට එම දුරකතන ආයතන ඉදිරිපත් කර ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමග අනියම් සබඳතාවක් පැවැත්වූවා නොවේදැයි පැහැර ගැනීම සිදුකළ පුද්ගලයින් ඇසූ බවට පැහැරගැනීමට ලක්වූ බව කියන ගානියා ෆ්‍රැන්සිස් ප්‍රකාශ කරනු ලැබූවත් මේ සම්බන්ධ විමර්ශනයේදී ඇය අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බව හෙළිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබිණි. ඒ අනුව මෙම සැකකාරිය නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් එසේ පැවසුවේ ඇයි දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඇය පැහැරගැනීමට ලක්වූ බව කියන දිනයේදී ඇය භාවිත කළ ජංගම දුරකතන අංකය වන 0772272893 දරන අංකයෙන් 2019 නොවැම්බර් මස 10 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා වූ අතර කාලයේදී ලබාගත් දුරකතන ඇමතුම් විශ්ලේෂණයේදී සිද්ධියට අදාළ කරුණු රාශියක් අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

සැකකාර ගානියා ෆ්‍රැන්සිස් නමැත්තිය 2019 නොවැම්බර් මස 21 වැනිදා තත්පර 108 ක දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති අතර එම දුරකතන අංකයේ ලියාපදිංචි හිමිකාරිය වන්නේ නො. 34/1/1/2, ශ්‍රී විමලසිරි පාර, කළුබෝවිල, දෙහිවල පදිංචි ප්‍රංශ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදිනියක වන ලක්නා තරිඳු පරණමාන්න බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ දක්වා තිබිණි. ඒ අනුව ඒ තැනැත්තිය ඉකුත් 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගත් අතර, එහිදී ඇය සඳහන් කළේ තම නමින් ලියාපදිංචිව තිබූ එම දුරකතන අංකයට අදාළ සිම්පත 2011 වර්ෂයේදී සිලෝන් ටුඩේ පුවත්පතේ සේවය කරමින් සිටි සහ 2019 වර්ෂයේ ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ දරීශා බැස්ටියන් නමැති තම මිතුරියට ලබාදී තිබූ බව යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සිය වාර්තාවෙන් දක්වා තිබිණි.

ඒ අනුව එම දුරකතන ඇමතුම්වලට අදාළ දුරකතන අංකය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී දරීශා බැස්ටියන් මහත්මියගේ දුරකතන අංකයෙන් ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයාව සිටි ක්‍රිෂාන්ත කුරේ මහතා සමග අවස්ථා 21 කදී සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයාව සිටි ක්‍රිෂාන්ත කුරේ මහතා සිය ජංගම දුරකතන අංකය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ දුරකතනය සමග 2019 නොවැම්බර් මස 18 දින තත්පර 552 ක් එනම් විනාඩි 9 යි තත්පර 12 ක කාලයක් සම්බන්ධ වී ඇති බවට දුරකතන විශ්ලේෂණයේදී අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් දක්වා ඇත.

2019 නොවැම්බර් මස 24 වැනිදා අනවසරයෙන් විදෙස් ගතවූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඔහු විදෙස් ගතවීමට පෙර දින එනම් නොවැම්බර් මස 23 වැනිදා පැය 9.30 ට සම්බන්ධ වී ඇති බවට දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව හෙළිවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඉහත සඳහන් දුරකතන අංකය භාවිත කළ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරියව සිටි දරීශා බැස්ටියන් මහත්මිය ඉකුත් නොවැම්බර් මස 21 වැනිදා ස්විස් රට බලා විදෙස් ගතව ඇති බවත්, ඇය සන්තකයේ තිබූ දුරකතන අංකය ක්‍රියා විරහිතව ඇති බවත්, ලක්නා තරිඳු පරණමාන්න මහත්මිය ඇගේ ප්‍රකාශයේ සඳහන් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනයට අනුව මෙම නඩුවේ සැකකාරිය වන ගානියා ෆ්‍රැන්සිස් මහත්මිය ඉකුත් නොවැම්බර් මස 21 වැනිදා දරීශා බැස්ටියන් මහත්මිය මෙරටින් පිටත්ව යෑමට පෙර අවසන් ඇමතුම වශයෙන් ඇය සමග තත්ත්පර 160 ක කාලයක් දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බව හෙළිවී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

එසේම, මෙම ඇමතුම් හා සම්බන්ධ වන ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා 2019 දෙසැම්බර් 25 වැනිදා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ විමර්ශන පවත්වා අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් ලබන මස 11 වැනිදා තෙක් නඩුව කල් තැබීය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් දෙසැම්බර් මස 30 වැනිදාය.

– නිමන්ති රණසිංහ

***************************************

ඇප් එකෙන් වැඩ කරන්න ඉරාජ්ගෙන් සැළසුමක්

(22.01.2020 – nethnews.lk)

සංචාරක කර්මාන්තය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සඳහා නව තාක්‍ෂණය යොදාගත යුතු බව ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව සාමාජිකයෙකු වන ඉරාජ් වීරරත්න මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ ‘නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට’ වැඩසටහනේදීයි.

එහිදී “විදෙස් රටක ඉඳන් ලංකාවට ආපුවාම.. සංචාරකයාට පුළුවන් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇප් එක හරහා මෙයාලව ට්‍රැක් කරන්න. යම් සිදුවීමක් වුණොත් ඒ මොහොතෙම අපිට අවශ්‍ය සේවා ඒ අයට සම්බන්ධ කරන්න පුළුවන්.” යනුවෙන්ද සඳහන් කළා.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන සංචාරක ස්ථාන ලෙස තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීමටද ඉරාජ් වීරරත්න මහතා මෙහිදී යෝජනා කළා.

එහිදී “ලෝකයට පෙන්නන්න පුළුවන් ගොඩාක් තැන් අපේ රට තුළ තියෙනවා. අපිට Buddhist Tourism කියන අංශය තව ගොඩාක් දියුණු කරන්න පුළුවන්.” යනුවෙන් ද පෙන්වා දුන්නා.

ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ ‘නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ්’ කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් :

+++++++++++++++++++++

https://www.facebook.com/nethfm/videos/1293121767546627/

***************************************

අසාද් සාලි බොරු සාක්ෂි දුන් බවට හෙළිවෙයි

(22.01.2020 – 13:11 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පෙනි සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොමිසම විසින් ඊයේ (21) දැඩිව අවවාද කරනු ලැබුවේය.

ඒ අනුව කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමට අපහාස කිරිම සහ අපහාසාත්මක ලෙස හැසිරිම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසමට සාක්ෂි ලබා දීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ (21) පැමිණියේය.

මෙහිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආසාද් සාලි මහතාගෙන් කොමිසම දීර්ඝ ලෙස ප්‍රශ්න කර සිටියේය.

එහිදි ඔහු ප්‍රකාශ කළේ, 2017 වසරේ මාර්තු මස මාධ්‍ය හමුවක් පවත්වමින් පළමුවරට සහරාන් පිළිබඳව කරුණු ප්‍රකාශ කළත් ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගත් බවයි.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොමිසම අසාද් සාලි මහතාගෙන් විමසා සිටියේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, සතියකට පෙර තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයා විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවිමේ ලිපියක් තමන්ට පෙන්වු බවත් එහි සහරාන්ගේ නම ද සඳහන්ව තිබු බවයි.

ප්‍රහාරයට පිළිබදව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක්ද තිබු බවයි.

කෙසේවෙතත් ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ ප්‍රහාරය සිදුවු දිනයේදී තමන්ට අනතුරු ඇඟවීමේ ලිපිය පෞද්ගලික ආරක්ෂකයා විසින් ලබාදුන් බවත් ඊට පසුව මෙම රැස්වීම පැවැත්වු බවයි.

එහිදි කොමිසමේ විනිසුරු මඩුල්ල විසින් අසාද් සාලි මහතා ලබාදුන් ප්‍රකාශයේ පරස්පරභාවය පිළිබදව අවධානය යොමුකළ අතර එම පරස්පර ප්‍රකාශය ලේඛනගත කිරීමද සිදුකරනු ලැබුවේය.

කොමිසමේ සාක්ෂි සටහන් කරගන්න අවස්ථාවේදි අසාද් සාලි මහතා විසින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ සුහර්ෂි හේරත් මහත්මියට සුදුසු නොවන ආකාරයට ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් කොමිසම විසින් අවවාද කරනු ලැබුවේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ සුහර්ෂි හේරත් මහත්මියගේ ප්‍රශ්න කිරිම් හමුවේ අසාද් සාලි මහතා ආවේගශිලි ලෙස හැසිරිම පිළිබදව ඇය සිය විරෝධයද කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියාය.

එහිදි ඇයට ගෞරවාන්විතව ආමන්ත්‍රණය කර යුතු බවත් එම නියෝග පිළිනොගන්නේ නම් දඬුවම් ලබාදෙන බවටද ප්‍රධාන විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

එහිදි අසාද් සාලි මහතා රජයේ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරියගෙන් සමාව ඉල්ලා සිටියේය ෴

+++++++++++++++++++++

***************************************

සම්පත් බෙදීයාමේ විෂමතාව නිසා අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොමැති දරුවන් පිරිසක්

(22.01.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපනය ලැබීමේ අයිතියට පහසුකම් නොමැති දරුවන් ගැන හිරු ප්‍රවෘත්ති අපි වාර්තා කළේ වරක් දෙවරක් නොවේ.

හුදකලා සිද්ධීන් වශයෙන් ඒවාට පිළියම් ලැබුණත් ප්‍රමුඛතා හඳුනා නොගැනීමේ ප්‍රතිපලයක් ලෙස පිරිසක් සුහුරු පන්තිකාමරවල අධ්‍යාපනය ලබද්දී අවම පහසුකම් හෝ නොමැති පාසල් සිය ගණනක් රට පුරා තවමත් හමුවනවා.

මේ අනාවරණය තවත් එක් එවැනි පාසලක් පිළිබඳවයි.

***************************************

රැකියා ලක්ෂයේ සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 සිට

(22.01.2020 – 16:58 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය මේවන විට ආරම්භ වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සඳහන් කළේ අයදුම්කරුවන් විසින් ජනවාරි 20 වනදා පළවූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයදුම්පත් පෙබරවාරි 15 වනදාට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත භාරදිය යුතු බවයි.

ග්‍රාම නිලධාරීවරයා විසින් තොරතුරු සහතික කර තම ප්‍රාදේශීය ලේකම් වෙත පෙබරවාරි 20 වනදාට පෙර භාර දිය යුතු වනවා.

ග්‍රාම නිලධාරී විසින් තොරතුරු තහවුරු කර ගැනීමේදී ප්‍රදේශයේ බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂයෙන්, කොට්ඨාශය භාර මහජන නියෝජිතයාගෙන් කරුණු විමසිය හැකි බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ.

වැරදි තොරතුරු තහවුරු කිරීම රැකියාව අත්හිටුවීම ඇතුලු විනය ක්‍රියාමාර්ග ගැනීමට යටත් බව ද එහි සඳහන්.

ප්‍රාදේශීය ලේකම්වරුන් වරින් වර මෙම කටයුතු අධීක්ෂණය කරමින් රැකියා කළ හැකි දිළිඳුම පවුල්වලට මුල්තැන ලැබෙන පරිදි වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම සහතික කිරීමට කටයුතු කළ යුතු වනවා.

ග්‍රාම නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරු අයදුම්පත් මනා ලෙසට ලේඛනගත කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පෙබරවාරි 25 වන දින වන විට සම්පූර්ණ කළ යුතුයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සහ ප්‍රාදේශීය ලේකම් විසින් නම් කරන වෙනත් පොදු ස්ථානවලදී තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් පෙබරවාරි 26 වනදා සිට දින 5 ක් තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරී සහතික හා වෙනත් ලියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

තෝරාගත් අයදුම්කරුවන්ට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පුහුණුවීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී මගින් ලබාදෙනු ඇති.

පුහුණුවීම් මාර්තු මස 2වනදා ආරම්භ වනවා.

පුහුණු කාලය තුල මසකට රුපියල් 22,500 ක දීමනාවක් ගෙවන අතර මනා පුහුණු ලාභීන් ඔක්තෝම්බර් මස පළමුවනදා (01) සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකයන් ලෙසට පත් කෙරෙනවා.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් සුවිශේෂී ශ්‍රම සංචිතයක් නිර්මාණය කරනු ඇති.

වෘත්තීයවේදීන් විසින් කළමණාකරණය කරනු ලබන ශ්‍රම සංචිතය අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත හා අඩු ආදායම්ලාභී ගණයෙහිලා සැලකෙන පිරිස විවිධ නිපුණතාවන්ගෙන් සමන්විත පිරිසක් බවට පත් කර රජයේ මෙන්ම රජයේ නොවන බහුවිධ සේවා සපයන්නන් බවට පත් කිරීමට අපේක්ෂිතයි.

මෙම පිරිසට අයත් වන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18 ත් 45 ත් අතර රැකියා විරහිත පුද්ගලයන් පමණක් බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

බඳවා ගනු ලබන සාමාජිකයන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව සේවයෙහි ස්ථිර කෙරෙනවා.

සේවා නියුක්තිකයන්ට තම පවුල් ජීවිතයෙන් දුරස්ථ වීමක් සිදු නොවන පිරිදි පදිංචි ප්‍රදේශවලට ආසන්නයෙන් පිහිටි සේවා ස්ථානවල රාජකාරී පැවරෙනු ඇති.

ඔවුන්ගේ සතුටුදායක සේවය හා විනය මෙන්ම ඉහළ කාර්යසාධනය ද සැලකිල්ලට ගනිමින් පසුව විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර සඳහන් කළා.

***************************************

19 ගැන එජාපයේ කිඹුල් කඳුළු උදය හෙළි කරයි (21.01.2020)

+++++++++++++++++++++++++++++++++++

ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න ආ ජයම්පතිට දේශපාලනය එපාවෙයි – පවුල් පිටින් ස්විස් පදිංචියට යයි !

(23.01.2020 – 05:06 +0530 – lankaleadnews.com)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.

මේ බව මන්ත්‍රීවරයා කතානායකවරයා ‌වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

ඒ අනුව වික්‍රමරත්න මහතා සිය පවුලේ සාමාජිකයන්ද සමගින් ස්විට්සර්ලන්තයේ පදිංචියට ‌ගොස් ඇති බව වාර්තා ‌වේ.

19 වන සං‌ශෝධනය සකස් කිරීමේ ප්‍රධානියා වූයේද වික්‍රමරත්න මහතාය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *